Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 5
ISBN 978-955-44323-3-8
“අම්මෝ, මේ හැමදෙයක්ම දැන්ම උඹට කියන්න බෑ. අපි කොහොමද දන්නෙ හෙට උදේ වෙනකොට උඹ අපි ගැන මොනව පතුරල තියෙයිද කියල.” සතිස් සිනාසෙමින් හාස්‍යය මුසු අයුරින් පැවසුවද එය විහිළුවක් නොවන බව වටහාගත් ආකාශ් තවදුරටත් ඒ පිළිබදව නොවිමසුවේය.
කෙසේ වූවද ඉහත සිදුවීම සිදු වූ දිනයේ සිට සතිස් හා ආකාශ් සමීප මිතුරන් බවට පත්විය. සතිස්ගේ නිවසට ආකාශ්ට නිරන්තරයෙන් ඇරයුම් ලැබුණු අතර සමහර දිනවල ආකාශ් නවාතැන් ගත්තේ සිය බෝඩිමේ නොව සතිස්ගේ නිවසෙහිය. එපමණක් නොව කොළඹ වෙසෙන කාලය තුළ ආකාශ්ට පාවිච්චි කිරීමට තම නිවසේ ඇති යතුරු පැදියක් ලබා දීමටද සතිස් කටයුතු කළේය.
මෙවැනි සිදුවීම් සමග කාලය ගතවන විට සතිස්ගේ හා සුරේෂ්ගේ විනෝදාංශයන් හා ක්‍රියාවන් බොහෝමයක් ආකාශ් දැන ගත්තේය. එපමණක් නොව ඔවුන් පාවිච්චි කරන විවිධ පරිගණක යෙදවුම් පවා ආකාශ් උගත්තේය. නමුත් එම විෂය කෙරෙහි ඔහුගේ සිතෙහි එතරම් උනන්දුවක් නොවිය. එසේ වූවද එමගින් කළ හැකි විවිධාකාර වූ වංචනික හා වංචනික නොවන ක්‍රියාවන් නම් ආකාශ්ගේ සිත් ගත්තේය. ඊට හේතුව වූයේ සතිස්ගේ හා සුරේෂ්ගේ පරිගණක විජ්ජාවන් දෙස නීතිමය ඇසකින් බැලූ විට තත්වය කුමක් වූවද මෙවැනි දේවල් කළ හැක්කේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්රයේ කෙළ පැමිණි විශාරදයන්ට පමණක් බව හෙතෙම අවබෝධ කරගෙන සිටීමයි.
මේ සියල්ලටම වඩා ඔහු මවිත වූයේ ඔවුන් විනෝදාංශයක් ලෙස සිදුකරන එක්තරා ක්‍රියාවක් පිළිබදව ඇසූ විටය. රේඩාර් උපකරණය භාවිතා කර පොලිස් හා හමුදා වැනි ආරක්ෂක අංශ වල පණිවිඩ හුවමාරු සිදුවන සංඛ්‍යාත වලට සිය උපකරණ සුසර කර එම අංශ වල රහසිගත පණිවිඩ වලට සවන්දීම අතිශයින්ම භයානක කටයුත්තකි. නමුත් සතිස්ට හා සුරේෂ්ට එය විනෝදය ගෙන දෙන්නක් විය. ආකාශ්ගේ අදහස වූයේ මෙවැනි නීති විරෝධි නවීන උපකරණයක් නිවස තුළ තබා ගැනීම පවා අන්තරාදායක බවයි.
“උඹ හිතන්නෙ අපි මේ පොලිස්කාරයන්ගෙ කතා අහන්නෙ ආතල් එකට කියලද?” ආකාශගේ අනතුරු ඇගවීමට පිළිතුරු වශයෙන් සුරේෂ් කීවේය.
“මචං, අපි කරන මොකක් හරි වීරක්‍රියාවක් නිකමට හරි පොලීසියට මාට්ටු වුණොත් උන්ගේ සමහර පණිවිඩ අපිට මේකෙන් දැනගන්න පුළුවන්. තව මේ පැත්ත හොල්ලගෙන ඉන්න මැර අයියල පොලීසිය අල්ලන්න යනකොට කතාකරන පණිවිඩ එහෙම අහන්න පුළුවන්. අපිත් ඉතින් උනගේ පොඩි පොඩි කොන්තරාත්තු අදිනවනෙ. ඉතින් හැමදෙයක්ම දැනගෙන ඉන්න ඕනෙ.
කිවයුත්තක් සිතාගත නොහැකි වූ ආකාශ් මුනිවත රැක්කේය. මිනිස් සමාජයේ ශිෂ්ඨ බව රකින නීතිමය රාමුවෙන් පිට පැන්නද සිය මිතුරන් දෙදෙනාගේ ක්‍රියාකරකම් පිළිබදව ඔහු තුළ ඇති වූයේ පුදුමයකි.
“උඹලට කොහෙන්ද බං මේ රජ භාණ්ඩෙ හම්බ වුණේ?” රේඩාර් උපකරණය අසලට ගොස් එය පරීක්ෂා කිරීම පිණිස බිම හිදගත් ආකාශ් මද නිහැඩියාවකට පසුව ඇසුවේය.
“මුගෙ තාත්ත ලවා පන්නපුව තමයි ඉතින්.” සතිස්ව පෙන්වමින් කට කොනකින් සිනාසෙමින් සුරේෂ් කීවේය.
සතිස්ගේ පියා කිසියම් රාජ්‍ය දෙපාර්තමේන්තුවක ඉහළ තනතුරක් දැරූ බව ආකාශ් දැන සිටියද එය කුමක්දැයි එදින සතිස් පවසන තුරුම හෙතෙම දැන නොසිටියේය. සතිස්ගේ පියා ශ්‍රී ලංකා වරාය දෙපාර්තමේන්තුවේ රේගුව සතු භාණ්ඩාගාරයේ ප්‍රධාන පරිපාලන නිලධාරියෙකු විය. මෙම වටිනා රේඩාර් උපකරණය ඔහුට ලැබී ඇත්තේ සිය පියාගේ ඉහළ තනතුර සතු වරප්‍රසාද හා බලය පිහිටෙනි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාල වකවානුවේ යුධ කටයුතු සදහා මෙවැනි උපකරණ කිහිපයක් එක්සත් ජනපදයෙන් ආනයනය කළද විවිධාකාර හේතූන් මත ඒවා ලැබීමට ප්‍රමාද විය. එනම් එම උපකරණ ලංකාවට ලැබී තිබුණේ යුද්ධය නිම වී සති කිහිපයකට පසුවය. එම නිසා ඒවායින් කිහිපයක් පමණක් ආරක්ෂක අංශ වලට බෙදා දී ඉතිරිය ආපසු නිෂ්පාදකයාට යැවීමට තීරණය විය. මේ පිළිබද ආරංචි වූ විගසම වහාම ක්‍රියාත්මක වූ සතිස් සිය පියාගේ මාර්ගයෙන් ආපසු යැවීමට සූදානම් කර තිබූ රේඩාර් උපකරණ වලින් එකක් රේගුවේ භාණ්ඩාගාරයෙන් අතුරුදහන් කළේය.
“මේක සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න දෙන්නෙ නැති හින්ද පැන්නුවට පස්සෙ ප්‍රශ්නයක් වුණේ නැද්ද?” සතිස්ගේ කතාවට සාවධානව ඇහුම්කන් දුන් ආකාශ් ඇසුවේය.
“නෑ බං. එහෙම මුකුත්ම අවුලක් ගියෙ නෑ. ඒ කාලෙ යුද්ධෙ ඉවර වෙච්ච අලුතනෙ. ඉතින් මේ වගේ පොඩි දේවල් ගැන වැඩිය කවුරුවත් හොයන්න ගියෙ නෑ.”
* * *
මේ අයුරින් සතිස්ගේ දක්ෂතාවයන් මිතුදම ඇරඹුණු දිනයේ සිටම ආකාශ්ට දක්නට ලැබුණද ආකාශ් සතු උපකරණ අලුත්වැඩියා කිරීමේ කාර්මික කුසලතාවය සතිස් අවබෝධ කරගත්තේ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ අඩක් ගෙවීමෙන්ද අනතුරුවය.
“උඹට තිබ්බෙ මෙහෙ ඉගෙන ගන්න නෙමෙයි. කටුබැද්දෙ යන්න.” සිය නිවසෙහි වූ විදුලි මෝටරයකින් ක්‍රියාකරන උපකරණයක් අලුත්වැඩියා කිරීමට ආකාශ් දැක්වූ කුසලතාවය දුටු සතිස් කීවේය.
“එහේ යන්න කෝ බං ලකුණු? අනික සිවිල් ඉන්ජිනියරින් නම් මට එච්චරය සෙට් නෑ බං.”
ආකාශ්ගේ පිළිතුරට සවන්දෙන බවක් පෙන්නුවද ඒ මොහොතෙහි සතිස්ගේ සිතෙහි ඇති වූයේ අලුත්ම අදහසකි. ආකාශ් සතු මෙම දක්ෂතාවය මූල්‍යමය වශයෙන් ඉතා වටිනා එකක් බව ඔහුට හැගුණි. ඔහුගේ දෘෂ්ඨි කෝණයෙන් බැලූ විට මෙය පහසුවෙන් මුදල් සොයා ගත හැකි දක්ෂතාවයකි. සැබවින්ම සතිස්ට එවෙලෙහි පහළ වූ සිතුවිල්ල තම ජීවිතයේ හැරුම් ලක්ෂ්‍යයක් වන බව ආකාශ් සිහිනෙන්වත් නොසිතුවේය.
එදින සවස සතිස්, තමා හා සුරේෂ් සමග රාත්‍රී සමාජ ශාලාවට එන මෙන් ආකාශ්ට ආරාධනා කළේය.
“අනේ මචං, මට කම්මැලියි බං. උඹ දන්නවනෙ, මං ඔය මගුලෙ රිංගන්න එච්චර කැමති නෑ කියල.” ආරධනාව ප්‍රතික්ෂේප කරමින් ආකාශ් කීවේය.
ඔහු මීට පෙර දෙවතාවක් පමණ සතිස් සමග රාත්‍රී සමාජ ශාලාවට ගොස් ඇත. යහමින් මුදල් ඇති ඉහළ පන්තියේ යැයි හදුන්වාගත් මිනිසුන් ගැවසෙන ස්ථානයක් වන මෙය මධුවිත, සූදුව, නැටුම් ගැයුම්, හා සුරූපි ලලනාවන්ගෙන් පහස ලැබූ ස්ථානයක් වූවද ආකාශ් මෙම විනෝදකාමී ලෝකයට එතරම් කැමැත්තක් නොදැක්වීය. ඊට හේතුව ඔහු බයාදු හෝ සබකෝලයෙන් යුතු පුද්ගලයෙකු වීම නොව ස්වභාවයෙන්ම නිහඩතාවය හා හුදෙකලාව ප්‍රිය කළ සමාජශීලි අයෙකු නොවීමයි.
“අපි මේ පිස්සු කෙලින්න යනව නෙමෙයි බං. උඹේ ඔය පුස්කන්න දාල තියෙන ඔළුවෙන් පොඩි වැඩක් ගන්නයි හදන්නෙ.”
“ඒ කිව්වෙ?”
“තමුසෙට ඔය පොඩි පොඩි බඩු හදන්න පුළුවන් එකෙන් ගාණක් හම්බකර ගත්තොත් නරකද?”
“ගාණක් හම්බ කරගන්න?” මොකෝ, ජැක් පොට් එකවත් කැඩිලද?” ආකාශ් සිනාසෙමින් ඇසුවේ කාර්මික ශිල්පියෙකුට මුදල් උපයාගත හැකි විදියක් ඔහු දන්නා තරමින් සමාජ ශාලාවක් තුළ නොවූ නිසාය.
“මේ, වැඩ හොයල දෙන එක මං බලාගන්නම්. උඹ රෑ හත වෙද්දි යන්න ලෑස්ති වෙලා හිටපංකො. එච්චරයි.”
සිය මිතුරාගේ පෙරැත්ත නිසාම සමාජ ශාලාවට යාමට සතිස් එකග විය. සතිස්ගේ මෝටර් රථයෙන් ඔවුන් එහි ළගා වන විට රාත්‍රී හතහමාරට ආසන්න විය. ගාලු මුවදොර ආසන්නයේ මනරම් වටපිටාවක පිහිටා තිබූ මෙම සමාජ ශාලාවට පැමිණෙන පුද්ගලයන්ගේ වත්කම් පිළිබදව සුළු ඉගියක් එහි නවතා තිබූ වාහන වලින් පෙන්නුම් කළ අතර ආකාශ් බෙහෙවින් අගය කළ සතිස්ගේ නවීන මෝටර් රථය පවා මෙහි ඇති වාහන සමග සැසදූ විට එතරම් වැදගත්කමක් නැති එකක් සේ පෙනුණි.
එය සමාජ ශාලව තුළ වැඩිපුර සෙනග ගැවසුණු දිනයකි. මේ හේතුවෙන් සතිස්ට හා සුරේෂ්ට අතට අත දෙන පිරිසද වැඩි විය. කෙසේ හෝ මිනිත්තු පහළොවකට පමණ පසුව ඔවුන් නැටුම් ගැයුම් වලින් තොර වූ ගොඩනැගිල්ලේ තෙවන මහලට පැමිණියෝය.
එහි වූ වසා තිබූ දොරක් අසල සිටි මිනිසෙකු වෙත ගිය සතිස්, “නසීර් මහත්තයට ගිහින් කියන්න පුළුවන්ද සතිස් ඇවිත් ඉන්නව කියල.” කීවේය.
වසා තිබූ දොර ඇර කුටිය තුළට ගිය මිනිසා සුළු මොහොතකට පසුව නැවත පිටතට පැමිණ, ” නසීර් මහත්තය කිව්ව මහත්තයලට ඇතුලට එන්න කියල.” කීවේය.
ඉන්පසුව ඔවුන් තිදෙනා කුටියට ඇතුල් වූවෝය. සැබවින්ම එය කුටියකට වඩා ගෘහ භාණ්ඩ වලින් පිරි විසිත්ත කාමරයකට සමාන විය. එහි සැපපහසු ආසනයකට වී කෙටි ඇදුමින් සැරසුණු තරුණියකගේ කරට අත දමා ගත් මැදිවියේ පසු වූ තරමක් තරබාරු මුස්ලිම් ජාතිකයෙකු මධුවිත තොල ගාමින් සතිස්ව බලාපොරොත්තුවෙන් සිටියේය.
“අම්මෝ, මගෙ යාළුවා සතිස්. උඹලව දකින්න තියෙන අමාරුව. එන්න, එන්න. ඇතුලට ඇවිත් වාඩි වෙලා මං ගාණෙ පොඩි අඩියක් ගනිං.” නසීර් ලෙස හැදින්වූ මිනිසා සතිස්ට කතා කළේ සිය හිතවත්ම මිතුරෙකුට කතා කරන ආකාරයෙනි.
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි වැඩ හින්ද මේ පැත්තෙ එන්න බැරි වුණා.”
“අයියෝ බං, කොල්ලො වුණාම ටිකක් ජොලියෙ ඉන්න එපැයි. මෙහෙ එන්න උඹලට සල්ලි මොනව හරි ප්‍රශ්න තියෙනව නම් මට කියපං. ඒව මං බලාගන්නම්.” පැවසූ නසීර් ඉන්පසුව තමා මෙතෙක් වෙලා බදාගෙන සිටි තරුණිය අමතා, “ප්‍රීති, ඉක්මණට මෙයාලට බීම ලෑස්ති කරන්න.” කීවේය.
ඔහුගෙන් මිදුනු ඇය මත්පැන් බෝතල් දෙකක් හා වීදුරු තුනක් ගෙන මධුවිත මිශ්‍ර කර ඉතා යුහුසුළුව සිය කාර්යය කරන්නට වූවාය. ඇයට මෙය හොදින් හුරුපුරුදු ක්‍රියාවක් බව ඇය වැඩකරන අයුරු බලා සිටි ආකාශ්ට අවබෝධ විය.
සතිස් හා සුරේෂ් බීම වීදුරු පිළිගත්තද ආකාශ් එය ප්‍රතික්ෂේප කිරීම නසීර්ගේ විමතියට හේතු විය.
“ඇයි යාළුවා. ඕව රුසියාවෙන් ගෙන්නපු නොම්මර එකේ බඩු. ලේසියට හොයාගන්න ලැබෙන්නෙ නෑ. ඕක ගන්න.”
“නෑ නසීර්. මෙයා සැර එව්ව බොන්නෙ නැති ජාතියේ කෙනෙක්.” සතිස් වහා ඉදිරිපත් විය.
“ඒකත් එහෙමද? එහෙනම් මෙයා වෙන්න ඇති උඹ අද උදේ මට කතා කරල කියපු බඩු හදන හාදයා?”
සතිස් හිස වනමින් එය ස්ථිර කළේය.
“ඒක තමයි. ඔය සමහර සයන්ටිස්ල එහෙමනෙ. සැර ජාති එහෙම වැඩිය ගන්නෙ නෑ. ඒක හින්ද වෙන්න ඇති උන්ට අපිට වැඩිය මොළේ තියෙන්නෙ. එහෙනම් ප්‍රීති අපේ යාළුවට චෙරි එකෙන් ටිකක් දාල දෙන්න.”
මෙවර තරුණිය ආකාශ් වෙත පැමිණියේ වයින් යැයි සිතිය හැකි රතු පැහැති ප්‍රියමනාප සුවදක්ද සහිත බීම විදුරුවක් රැගෙනය. උද්ගතව ඇති අවස්ථාවට අනුව මෙයද ප්‍රතික්ෂේප කළ නොහැකි හෙයින් ආකාශ් එය පිළිගත්තේය.
“නසීර්, අපි වැඩේ පොඩ්ඩක් බලමුද? මම පල්ලෙහ ඉන්න කට්ටියට කියල ආවෙ ඉක්මණට එනව කියල.” සතිස් මධුවිත තොල ගාන අතරතුරදී පැවසුවේය.
“ආ… ඔව් බලමු.” පැවසූ නසීර් හුන් තැනින් නැගිට කාමරය මුල්ලෙහි වූ අල්මාරියක් වෙත ගොස් එහි වූ ලාච්චුවක් විවර කර යමක් පිටතට ගත්තේය. එය කළු පැහැති පිස්තෝලයක් බව දුටු ආකාශ් විස්මයට පත්ව සතිස් දෙස බැලුවේය. නමුත් ඔහුගේ මුහුණෙහි කිසිදු ආකාරයක චකිතයක් හෝ වෙනසක් නොවිය.
“මේක තමයි භාණ්ඩෙ.” පිස්තෝලය සතිස් අතට දෙමින් නසීර් කතා කරන්නට විය.
“අවුරුදු දෙකකට කලින් ඕකෙන් වැඩ ගත්තා. මුකුත් ලෙඩක් දුන්නෙ නෑ. ඒත් මේ ළගකදි ඉදන් කොකාගේ පොඩි අවුලක් තියෙනවා. එකපාර පත්තු වෙන්නෙ නෑ.”
“අපි මේක අද අරන් යන්නම්. මෙයා මේක ගලවල අවුල හොයා ගනියි.” ආකාශ්ට පිස්තෝලය දෙමින් සතිස් කීවේය. ආකාශ් මොහොතක් අන්දමන්දව සිට සෙමින් පිස්තෝලය අතට ගත්තේය. නසීර් යනු පාතාලයේ සාමාජිකයෙකු බව හෙතෙම අනුමාන කළ අතර තමාට භාරව ඇති කටයුත්ත පිළිබදව ආකාශ්ට හොදින් අවබෝධ විය.
සතිස් වෙනුවෙන් කුණුහරුප වැලක් සිය දිව අගට පැමිණියද මෙය කලබල කිරීමට සුදුසු අවස්ථාවක් නොවන බව තර්ක බුද්ධිය ඔහුට පෙන්වා දුන්නේය.
“මල්ලි, ඕක හදන්න පුළුවන් නම් ලොකු උදව්වක්. ඔය බඩු දැන් පුදුම විදියට හිගයිනෙ. යුද්ධෙ කාලෙ නම් ආයුධයක් පන්නන එක එච්චර දෙයක් නෙමෙයි. දැන් නම් එව්ව ගැන කතා කරල වැඩක් නෑ අප්පා. වැඩේ හරියට කළොත් මම උඹලට අවාසියක් වෙන්න දෙන්නෙ නෑ.”
ආකාශ් කිසිවක් පැවසුවේ නැත. තමන් නොදන්නා මැරයෙකු ඉදිරියේ අනවශ්‍යය දෙයක් මුවින් පිට කිරීමට වඩා නිහඩව සිටීම සුදුසු බව ඔහු සිතුවේය.
තවත් මිනිත්තු කිහිපයක් කතා බහ කිරීමෙන් අනතුරුව මිතුරන් තිදෙනා නසීර්ගෙන් සමුගෙන කුටියෙන් පිටතට පැමිණියේ නිවැරදිව ක්‍රියා කරන්නේ දැයි පරික්ෂා කිරීමට පිස්තෝලය දමන උණ්ඩ කිහිපයක් හා ශබ්දය අවම කර ක්‍රියාකරවීමට සවිකරන රබර් ආවරණයක්ද සහිතවය.
“වල් හරකෝ, තෝ හදන්නෙ මාව…” පහළ මාලයට යන අතරතුදී ආකාශ් තම සිතෙහි පැවති වචන කිහිපය සතිස් හමුවේ පවසන විටම සතිස් වහා ඉදිරියට පැන කතා කර ඔහුව නැවැත්වීය.
“පොඩ්ඩක් හිටපන්. ඉවසපන්. මං දන්නව උඹට කියන්න ගොඩක් දේවල් තියෙනව කියල. කරන දෙයක් ගෙදර ගිහින් බේරගමු. මෙතන මේ සෙනග අස්සෙ පිස්සු කෙලින්න එපා. දැන් ඉතින් ඔය හිතේ තියෙන මළ යන්නත් එක්ක ඔය ඉන්න කෙල්ලෙක් අල්ලගෙන නටල පොඩි ආතල් එකක් ගනිං.” පැවසූ සතිස් ඊළග මොහොතේ වේග රිද්ම සංගීතයට නැටුමෙහි යෙදෙන පිරිස සමග එකතු විය.
තරමක් කෝපයෙන් සිටි ආකාශ් සිය මිතුරන් දෙදෙනා මීට පෙර ඔහු දැක නොමැති තරුණියන් දෙදෙනෙකු සමග නැටුමෙහි යෙදෙනු ස්වල්ප වෙලාවක් බලා සිටියේය. සමාජශාලාවට ආගන්තුකයෙකු වූ ඔහු සතිස් හා සුරේෂ් හැර වෙන කිසිවෙකු හදුනන්නේ නැත. එම නිසා තවදුරටත් මෙහි කිරීමට කිසිවක් නොමැති බව වටහාගත් ඔහු තමාට හිසරදයක් වූ ඝෝෂාකාරී සංගීතයෙන් මිදීම උදෙසා පිටතට පැමිණියේය.
මුහුදු වෙරළට මායිම්ව පිහිටා තිබූ මෙම ගොඩනැගිල්ලෙ පිටත පරිසරයට ආකාශ් වඩාත් ප්‍රිය කළේය. පාරේ ගමන් කළ වාහන වල ශබ්දය හා තරමක් චණ්ඩ වූ මුහුදෙහි රළ බිදෙන හඩ හැර වෙනත් ඝෝෂාකාරී ශබ්දයක් එහි නොවිය. මිදුලෙහි මේස පුටු වල සිටි කිහිපදෙනා අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින් මත්පැන් වීදුරු හිස්කරන්නට විය. වටපිටාව බැලූ ආකාශ් දුටුවේ කෙළවරෙහි වූ පුටුවකට වී මුහුද දෙස බලා සිටි හුදෙකලා තරුණියකි. ඇය ප්‍රභූ පැලැන්තියේ රූමත් තරුණියක් බව දුටු වහාම ඔහු වටහා ගත්තේය. ස්වල්ප වෙලාවකට පෙර සතිස් පැවසූ වදන් එනම්, “කෙල්ලෙක් අල්ලගෙන නටල පොඩි ආතල් එකක් ගනිං” හදිසියේම මෙනෙහි වීම හේතුවෙන් ඇය වෙත ගොස් කතා කිරීමට ඔහුට සිතුණි. සිය මිතුරන් දෙදෙනාද තව බොහෝ වේලාවක් යන තුරු පිටතට නොපැමිණෙන බව හෙතෙම දැන සිටි හෙයින් සිතට ධෙර්යය ගෙන සෙමින් ඇය වෙත පියමැන්නේය.
“මම මෙතන ඉදගන්නද?”
ඇය තත්පර කිහිපයක් ඔහු දෙස බලා සිටීමෙන් අනතුරුව සිය හඩ අවදි කළාය.