Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 6
ISBN 978-955-44323-3-8
“ආ… කමක් නෑ, ඉදගන්න. ම්… ඔයා මාව දන්නවද? අනේ මට නම් මතකයක් නෑ ඔයා…”
“නෑ. නෑ. අපි මීට කලින් හම්බවෙලා නෑ. මම නිකමට මෙතනට ආවෙ. මාත් එක්ක ආපු යාළුවෝ තාම ඇතුලෙ. එයාල එනකන් මට කරන්න දෙයක් නැති නිසා ඔයත් එක්ක ටිකක් කතා කරන්න ආවා.”
“ආ… එහෙමද?” සිනසෙමින් පැවසූ ඇය “මම ලෝචනා.” පවසා ඔහු වෙත සිය සුරත දිගු කළාය.
“මම ආකාශ්.” ඇගේ සුරත අල්ලා සොලවමින් ඔහු පැවසුවේය.
“ඉතින් ආකාශ්. යාළුවො ඇතුලෙ ඉන්දෙද්දි ඔයා මොකද මේ එළියෙ?”
“එයාල නටනවා. මට කම්මැලි හිතුන හින්ද එළියට ආවා.”
“ඉතින් ඔයාත් එයාලත් එක්ක නටන්න එපැයි. අද ගොඩක් කට්ටියත් ඉන්නවා.”
ඇයගේ වදන් වලට පිළිතුරක් නොදී සිනාසුනු ඔහු “ඔයා මොකද මෙතන කරන්නෙ?” ඇසුවේය.
“මමත් මේ යාළුවෙක් එනකන් බලං හිටියා. ඒත් මේ දැන් එයා කතා කරල කිව්වා එයාල අද මෙහෙ එන්න වෙන්නෙ නෑ කියල.” සිය ජංගම දුරකතනය දෙස බලමින් ඇය පැවසුවාය.
“ඔයා ආපු එක හොදයි. මමත් මේ කම්මැලිකමේ හිටියෙ. ආපු එකේ මෙච්චර ඉක්මණට ගෙදර ගිහින් වැඩකුත් නැ.”
“ඔයා ඉස්සර ඉදන් මෙහෙ එනවද?”
“ඔව්. ටික කාලෙක ඉදන්. මගේ සමහර පරණ යාළුවො මෙහෙ එනවා. ඉතින් එයාලව හම්බවෙන්න සමහර වෙලාවට මං මෙහෙ එනවා.” පැවසූ ඇය තත්පර කිහිපයකට පසුව “ඔයා නම් මෙහෙට අලුත් කෙනෙක් වගේ. මම මීට කලින් නම් ඔයාව දැකල නෑ.” කීවාය.
“ඔව්. මම නම් වැඩිය මෙහෙට එන්නෙ නෑ තමයි. අද ආවෙත් තුන්වෙනි වතාවට. අනික මම මේකෙ මෙම්බර් කෙනෙකුත් නෙමෙයි.”
“ඒක තමයි මට ඔයාව මතක නැත්තෙ. හරි, ඒකට කමක් නෑ. ඔයා දැන් මාත් එක්ක කතා කරන්නනෙ ආවෙ. ඉතින් කියන්නකො බලන්න ඔයාගෙ විස්තර.” ඇය සිනාසෙමින් ඇසුවාය.
“මගේ විස්තර? මගේ විස්තර කියල මට එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නෑ.” ඔහුද පෙරළා සිනාසෙමින් කීවේය.
“ඇයි අනේ එහෙම කියන්නෙ. අඩුගානෙ ඔයා කරන්නෙ මොනවද කියලවත් කියන්න බැරිද?”
ඇයගේ කතා විලාශයට ඔහුට සිනහ පහළ විය. මැය ඉතා සාමාජශිලී තරුණියක් බව ඔහු අවබෝධ කරගත්තේය. එසේම ඇය එවැන්නෙකු නොවේ නම් මෙවැනි සමාජ ශාලාවක සමාජිකාවක්ද නොවනු ඇත.
“අයියෝ… එහෙම කියන්න බැරිකමක් නෑ. ඔයා ඕන දෙයක් අහන්න.” පැවසූ ඔහු මද නිහැඩියාවකට පසුව, “මං දැනට කොළඹ කැම්පස් එකේ මිකැනිකල් ඉන්ජිනියරින් ඉගෙන ගන්නවා. මගේ ගම අනුරාධපුරේ. ඒ හින්දා මෙහෙ බෝඩ් වෙලා තමයි ඉන්නෙ.” පැවසුවේය.
ඇය ස්වල්ප වෙලාවක් ඔහු දෙස බලා සිටියාය.
“හානේ, ඔයා අනුරාධපුරේද? පොඩි කාලේ ගියාට පස්සෙ මට එහේ යන්නත් බැරි වුණා. ඒ වුණාට මං ගොඩක් ආස පැත්තක්. ම්, චුට්ටක් ඉන්නකො.” පැවසූ ඇය වේටර්වරයෙකු ලවා සිසිල් බීම බෝතලයක් සහ වීදුරු දෙකක් ගෙන්වා ගත්තාය.
“මේක මං ගානෙ.” ඇය වීදුරු දෙකට බීම වත් කරමින් පැවසුවාය.
“ඇයි? අද මොකක් හරි විශේෂ දවසක්ද?”
“ම්… ඔව්, ඇයි අපි මුලින්ම හම්බවුනේ අදනෙ.”
ආකාශ් සිසිල් බීම වලට එතරම් කැමැත්තක් නොදැක්වූවද මේ අවස්ථාවේදි එය පිළිගත්තේ ඇය තමා අමුතු මනුස්සයෙකු යැයි සිතීම වැළැක්වීමටය.
“ඉතින් මොනවද ඔයාගේ කැම්පස් එකේ විස්තර. කියන්න ගොඩක් දේවල් ඇතිනෙ.”
“ගොඩක් දේවල්, ඒ කිව්වෙ?”
“ඇයි ඉතින් හැමදාම වගේ ඔය නිව්ස් වල කියන්නෙ උපවාස, උද්ඝෝෂණ, එතකොට ගුරු ශිෂ්‍ය ගැටුම්.” ඇය සිනාසෙමින් පැවසූ අතර එම වදන් වල සියුම් උපහාසයක් ගැබ්ව ඇත්දැයි ඔහුට සිතුණි.
“ආ… ඒවද? ඒව ගැන නම් මං ලොකුවට දන්නෙ නැ. මොකද මං ඔය කුණු ගොඩවල් වලින් පුළුවන් තරම් අයින් වෙලා ඉන්නෙ.” ඔහුද පෙරළා සිනාසෙමින් පැවසුවේය.
“අයියෝ, අපරාදෙනෙ. එව්වට යන්න එපැයි. මම ඔයාගෙ කැම්පස් එකේ හිටිය නම් අනිවාර්යෙන්ම ඕවට යනවා. හරි කමක් නෑ. එහෙනම් කියන්නකො මෙහෙදි ඔයා කරන වැඩ ගැන. කරපු ප්‍රොජෙක්ට් එකක් හරි, ඔයාගෙ හොබීස් ගැන හරි.”
“මිකැනිකල් සයන්ස් ගැනද?”
“ඔව්. මොනව හරි. ඕන දෙයක්. ඔයාගෙ හොබී එකක් ගැන වුණත් කමක් නෑ.”
ඔහුගේ සිත්ගත් විෂය ක්ෂේත්‍ර ගත් කළ සංවාදයකට නම් ඕනෑ තරම් කරුණු තිබුණි. නමුත් මෙවැනි ස්ථානයක මෙවැනි තරුණියක් සමග එවැනි කරුණු සාකච්ඡා කිරීම සුදුසුද යන්න ගැටලුවකි. සැබවින්ම ඔහුගේ සිත වශී කළ විෂය වූයේ අභ්‍යාවකාශ විද්‍යා විෂය ක්ෂේත්රයේ අංශයක් වූ පිටසක්වල ජීවයයි. නමුත් ඒ පිළිබදව කතා කිරීම වඩාත් අන්තරාදායක වූයේ බාල වියේදී ඔහු ඇසින් දුටු සිද්ධිය පැවසීමට ගොස් මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු අන්‍යයන්ගේ හාස්‍යයට ලක් වී තිබීම හේතුවෙනි. මැය කුමන අන්දමේ තරුණියක් දැයි නොදන්නා හෙයින් යමක් තීරණය කිරීමට හෝ පැවසීමට පෙර ඇයගේ ස්වභාවය හදුනාගත යුතු යැයි ඔහුට සිතුණි.
“ඔච්චර අහන්නෙ, ඔයා සයන්ස් වලට කැමතියි වගේ?”
“සයන්ස් වලට…! අපෝ, ඕලෙවල් කරන කාලෙ ඉදන් මට ඒවා බෑ. ඇත්තම කියනව නම් පොඩි කාලෙ ඉදන් මට ගණං වලට ලකුණුත් අඩුයි.” ඇය සිනාසෙමින් පැවසුවාය.
“එහෙමද? හැබැයි අහපු විදියට මට හිතුනා ඔයා සයන්ස් ඩිග්රි එකක් කරනවද කියල. ඇත්තටම ඔයා මොකද කරන්නෙ? ජොබ් එකක් කරනවද? නැත්නම් තවම ඉගෙන ගන්නවද?”
“මේ… මේ. මමයි මුලින්ම ප්‍රශ්න ඇහුවෙ. දැන් ඔයා ඒක මගහැරල මගෙන් අනිත් පැත්තට ප්‍රශ්න අහනවා.” ඇය සිනාසෙමින් බීම උගුරක් පානය කළාය. ඇයගේ ප්‍රකාශයට ඔහුටද සිනහ පහල විය. මැයත් සමග කතා කිරීම එතරම් පහසු දෙයක් නොවන බව ඔහු වටහා ගත්තේය.
“කමක් නෑ. කමක් නෑ. මංම මුලින් උත්තර දෙන්නම්කො. මම ඒ ලෙවල් වලට කළේ ලැන්වේජස්. කැම්පස් යන්න නම් ලකුණු තිබ්බෙ නෑ. ඒ හින්ද ප්‍රයිවට් කැම්පස් එකක මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරනවා. තව රුසියන් ලැන්වේජ් කෝස් එකක් කරනවා.”
“කොහෙද? කැම්පස් එකේද?”
“නෑ. ඒක නම් කරන්නෙ රුසියන් එම්බසි එකේ. ඇත්තම කියනව නම් මම එම්බසි එකේ පාට් ටයිම් ට්‍රේනිං ජොබ් එකක් කරනවා.”
“ඔයා තානාපති කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවද?”
එක්වරම විස්මයට පත් වූ ඇය තත්පර කිහිපයක් ඔහු දෙස සිය දෙනෙත් විශාල කර බලා සිටියාය.
“අම්මෝ… ඔයාට මගේ හිත කියවන්න පුළුවන්ද? ඔයා ඇයි එහෙම ඇහුවේ?”
ඇය විස්මයට පත්ව සිටිනු දුටු ඔහුට සිනහ පහළ විය.
“එහෙම කිව්වෙ ඉතින් ඔයා එම්බසි එකේ ට්‍රේන් වෙනව කිව්වහම මට හිතුන ඔයා තානාපති කෙනෙක් වෙන්න පුරුදු වෙනව ඇති කියල. ඇත්තටම ඔයා ඒකටද ට්‍රේනිං වෙන්නෙ?”
ඇය ස්වල්ප වේලාවක් ඔහු දෙස බලා සිටියේ මොහු කුමන අන්දමේ පුද්ගලයෙකු දැයි නිශ්චය කර ගැනීමට මෙනි.
“මේ… මේ. මම දැන් මං ගැන ගොඩක් විස්තර කිව්වා. දැන් ඔයා මගේ අනාගත බලාපොරොත්තු ගැනත් අහනවා. ඔයා ගැන තාම මුකුත්ම කිව්වෙ නෑ. මේක හරි අසාධාරණයි. දැන් ඔයාගෙ වාරේ. කෝ, කියන්න බලන්න ඔයාගෙ විස්තර. මොනාද ඔයාගෙ අනාගත බලාපොරොත්තු?” පැවසූ ඇය දීර්ඝ පිළිතුරක් අපේක්ෂාවෙන් මෙන් ඔහු දෙසට හැරී සිය ඉරියව්ව වෙනස් කළාය.
ඇයට කුමක් පැවසිය යුතු දැයි ඔහුට එක්වරම ගලපාගත නොහැකි විය. ඔහු ප්‍රිය කළ විෂයන් කිහිපයක්ම තිබුණද සැබවින්ම සිය අනාගතය පිළිබදව නිශ්චිත අරමුණක් ඔහුට නොතිබුණි. කාර්මික ඉන්ජිනේරුවෙකු ලෙස රැකියාවක් සොයා ගැනීමේ අපේක්ෂාවක් තිබුණද එය ඔහුගේ ආශාව නොවිය. එය විශ්ව විද්‍යාලය තුළ ඔහු ඉගෙන ගන්නා විෂයට වඩාත්ම ගැලපෙන රැකියාව විය. ඔහුගේ ආශාව සැගවුණු එකකි. සියල්ලන්ගෙන්ම සැගවුණු, ඔහුම පමණක් දැන සිටි ආශාවකි. සැබවින්ම ඔහුට එය ඇය ඉදිරියේ තැබීමට හැකි දෙයක් නොවිය.
තමා බාල වියේදි දුටු සිද්ධිය නිවැරදිව පැහැදිලි කර ගත හැකි ක්‍රමයක්, එසේත් නැතිනම් පිටසක්වල ජීවින් පෘථවියට පැමිණෙන තුරු බලා සිටීම වැනි දේ කෙසේ නම් ඇයට පවසන්නද? එවැනි දෙයකට ඇය අනිවාර්යෙන්ම විමතිය පළ කරනු ඇත. එසේම තමා මානසික රෝගියෙකු, එසේත් නැතිනම් අඩුම වශයෙන් තමා සිහින ලොවක ජීවත්වන්නෙකු ලෙස අනුමාන කරනු ඇත. මේ මොහොතේ තම දකුණු සාක්කුවේ නසීර් විසින් දුන් පිස්තෝලයද ඇති බව හදිසියේම ඔහුට මතක් විය. තමා මැරයන්ගේ ගිනිඅවි අලුත්වැඩියා කිරීමේ අලුත්ම ව්‍යාපාරයක් අරඹා ඇති බව මැයට පවසන්නද?
“මෙහෙමයි. ඇත්තම කියනව නම් මට ඔයාට වගේ හරිහමන් ඉලක්කයක් නෑ. දැනට නම් මං හිතාගෙන ඉන්නෙ මිකැනිකල් පැත්තෙන් මොනව හරි කරන්න. මුලින්ම ජොබ් එකක් හොයාගෙන පස්සෙ මගේම මොනව හරි දෙයක් පටන්ගන්න.”
ස්වල්ප වේලාවක් නිහඩව ඔහු දෙස බලා සිටීමෙන් අනතුරුව ඇය සිය හඩ අවදි කළාය.
“ඔයාට එච්චරයිද කියන්න තියෙන්නෙ?”
“ම්… ඔව්. ඔයාට තව මොනව හරි දැනගන්න ඕනෙ නම් අහන්න. මම කියන්නම්.”
“ඔයා හරි අමුතුයි අනේ.”
“අමුතුයි! ඒ මොකද?”
“නෑ. මං කියන්නෙ මෙහෙමයි. මෙහෙ ඉන්න අනිත් අයට වඩා ඔයා කතා කරනවා අඩුයි. ඒකයි මං කිව්වෙ. දැන් බලන්න ඔයා මෙතනට ආවෙ තනියම ඉන්න හින්ද මාත් එක්ක කතා කරන්න. හැබැයි දැන් මමයි ඔයාව කතා කරවන්නෙ.” ඇය සිනාසෙමින් කීවාය.
“ආ… ඒකද? කමක් නෑ ඉතින් මම නැතුවට ඔයා හරි මෙතන කතා කරනවනෙ. කොහොම හරි වැඩේ වෙනවනෙ.” ඔහුද පෙරළා සිනාසෙමින් කීවේය.
ඔහුගේ වදන් වලට පිළිතුරක් නොදුන් ඇය සිනාසුණාය. මෙවෙලෙහි ලෝචනාගේ ජංගම දුරකනනයට ඇමතුමක් පැමිණි හෙයින්, “එක්ස් කියුස් මී” යැයි පවසා ඇය ඇමතුමට ප්‍රතිචාර දක්වන්නට වූවාය.
“ඔව් අම්මා, ගමනක් යනවා? කොහෙද? …. ඉතින් මම දැන් එන්න ඕනෙද?…… නෑ මං මේ යාළුවෙක් එක්ක ඉන්නෙ. ආ.. නෑ නෑ. දෙව්මිණි නෙමෙයි. අම්මා මෙයාව අදුරන්නෙ නෑ….. හරි හරි. මං තව ටිකකින් එන්නම්.” ඇමතුම විසන්ධි කළ ඇය දිගු ප්රාශ්වාසයක් පිට කර සිනාසෙමින් “අපේ අම්මා” කීවාය.
“අද තාත්ත එන්න රෑ වෙනවලු. දැන් අම්මට හදිසියේ කොහෙද යන්න ඕනෙ කියල මට ගෙදර එන්නලු. ගෙදර වැඩට ඉන්න අය ඇරුණහම නංගි විතරයි ගෙදර ඉන්නෙ. ඒකයි.”
“ඔයාට නංගි කෙනෙකුත් ඉන්නවද?”
“ඔව් අනේ. නංගියි මමයි විතරයි.” පැවසූ ඇය මද නිහැඩියාවකට පසුව, “ආකාශ්, මං දැන් යන්න ඕනෙ. ඔයා මොකද කරන්නෙ?” ඇසුවාය.
“මමද? මට ඉතින් අර ඇතුලෙ පිස්සු නටන උන් දෙන්න එනකන් ඉන්න වෙනව.” ඔහු සිනාසෙමින් කීවේය.
“ඒකත් එහෙමද?” පැවසූ ඇය නිහඩව කල්පනා කිරීමෙන් අනතුරුව නැවතත් සිය හඩ අවදි කළාය.
“ඔයා නැවතිල ඉන්නෙ මේ ළගද?”
“ආ… ඔව්. වැඩි දුරක් නෑ. කුරුදුවත්තෙ හත්වෙන පාරෙ.”
ඇයගේ දෙනෙත එක්වරම විස්මයෙන් මහත් විය. නමුත් ආකාශ්ගේ අවධානයට ලක්වීමට පෙර වහාම ඇය සිය හැගීම් පාලනය කර ගත්තාය.
“හානේ… ඇත්තද? මම යනකොට ඒ හරිය පහු කරගෙනයි යන්නෙ. ඔයා කැමති නම් මං ඔයාව දාගෙන යන්නම්.”
මෙය ආකාශ් අපේක්ෂා නොකළ වාසියකි. නසීර්ගේ පිස්තෝලය තවමත් ඔහුගේ කලිසම් සාක්කුවේ නිසා ඔහුටද හැකි ඉක්මණින් සතිස්ගේ නිවසට යාමට අවශ්‍ය විය.
“ඇත්තම කියනව නම් මට අද තව වැඩ වගයකුත් තියෙන නිසා ඉක්මණට ගෙදර යන්න තියෙනව නම් හොදයි. ප්‍රශ්නයක් නැද්ද මම ආවට?”
“අයියෝ, මොන ප්‍රශ්නයක්ද? මම කිව්වෙ මං එතන පහුකරගෙනයි යන්නෙ කියල. මං ඔයාව පාර ළගින්ම බස්සන්නම්.”
ලෝචනා විසින් සිසිල් බීම බෝතලයේ බිල ගෙවා දැමීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා වාහන ගාල් කර ඇති ස්ථානයට යන්නට විය.
“ඔයාගෙ අර ඇතුලේ ඉන්න යාළුවො දෙන්නට කියන්න ඕනෙ නැද්ද?” ඇවිදන අතරතුරදී ඇයි ඇසුවාය.
“ආ… ඒකට ප්‍රශ්නයක් නෑ. උන් කීයට හරි එයිනෙ. මං ගෙදර ගිහින්ම මැසේජ් එකක් දාන්නම්. දැන් කිව්වොත් එහෙම මට ඒ දෙන්න එනකන් ඉන්න වෙනව.”
සැබවින්ම ආකාශ් පැවසුවේ සත්‍යයකි. පාතල සාමාජිකයෙකුගේ පිස්තෝලයක් අතැතිව සිටින හෙයින් නාදුනන අයෙකුගේ වාහනයක නොයන ලෙස බොහෝ දුරට සතිස්ගෙන් උපදෙස් ලැබෙනු ඇත. නමුත් ආකාශ්ට හැකි ඉක්මණින් ජනයා ගැවසෙන ස්ථාන වලින් ඉවත් වීමට අවශ්‍යය වූයේද එම හේතුව නිසාමය. පිස්තෝලය ළග තබා ගැනීම ඔහුට මහත් වූ මානසික වදයක් විය.
ඔවුන් ගමන් කළේ රතු පැහැති නවීන මෝටර් රථයකය. සුළු මොහොතක් ඔවුහු කතා බහකින් තොරව ගමන් කළ අතර පළමුවෙන්ම නිහඩතාවය බින්දේ ආකාශ් විසිනි.
“ඔයාගෙ ගෙවල් කොහෙද?”
එයට පිළිතුරු දීමට පෙර ඇය සිනාසුණාය.
“මම ඉන්නෙත් වැඩි ඈතක නෙමෙයි. කුරුදුවත්තෙම දෙවෙනි පටුමගේ. මට පුදුමත් හිතුන ඔයා හත්වෙනි පටුමගේ ඉදලත් මීට කලින් දැකල නැති එක ගැන.”
ආකාශ්ට නම් ඒ පිළිබදව එතරම් විමතියක් නොවිය. අඩු සමාජශීලි පුද්ගලයෙකු වූ ඔහු අඩුම තරමින් සතිස්ගේ නිවසට අසල්වැසි පුද්ගලයින්වත් හරි හැටි නොහදුනන්නේය. නමුත් ලෝචනා පදිංචි දෙවන පටුමගේ යැයි පැවසීම ඔහුගේ කුතුහලය ඇවිස්සීමට හේතු විය. ඊට හේතුව නම් එම වීදියේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ සහ වර්තමාන කැබිනට් ඇමතිවරු දෙදෙනෙකුගේ නිවාස පිහිටා ඇති බව සතිස් විසින් මීට පෙර ඔහුට පවසා තිබීමයි. මැය නියත වශයෙන්ම එයින් එක් පවුලක සාමාජිකයෙකු විය යුතුය. බැලු බැල්මට මෙම මෝටර් රථයද ඇගේ පවුලේ වාහනයක් නොව මැයගේම පෞද්ගලික රථය විය යුතු බව ඔහුට හැගුණි. මෙවැනි හේතුන් නිසාම ඇයගේ වතගොත දැන ගැනීමට ඔහුට උවමනාවක් ඇති විය.
“ඔයාගේ තාත්ත බිස්නස් කරන කෙනෙක්ද?”
ඔහුගේ එම පැනයටද ඇය පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
“ඔන්න ඔන්න, ඔයා ඕන්නැති ප්‍රශ්නයක් ඇහුවා.”
“ඈ… ඇයි ඒ?”
මෙවර ඔහුගේ ප්‍රතිචාරය දුටු ඇය හඩ නගා සිනාසුණාය.
“නෑ නෑ අනේ. මම නිකං විහිළුවට කිව්වෙ. මම අපේ තාත්ත ගැන කියන්නම්. හැබැයි ඒ ගැන එච්චර හිතන්න එපා හොදේ. මොකද මං අපේ තාත්ත වගේ නම් නෙමෙයි.” පැවසූ ඇය මද නිහැඩියාවකට පසුව නැවතත් සිය හඩ අවදි කළාය.
“එයා දැන් වැඩ කරන්නෙ ෆොරින් මිනිස්ට්‍රි එකේ. නම ජයලත් දිසානායක.”
ශ්‍රී ලාංකීය දේශපාලන කරළියේ ජයලත් දිසානායක යන නාමය ඉතා ප්‍රසිද්ධ එකකි. ඔහු වර්තමාන විදේශ කටයුතු පිළිබද කැබිනට් ඇමතිවරයාය. නමුත් ආකාශ් එම නම ඇසීමෙන් එතරම් විමතියට පත් නොවිය. පෙර කළ අනුමානයක් හේතුවෙන් ඔහු එවැනි පිළිතුරක් ඇයගෙන් බලාපොරොත්තු විය. නමුත් ඔහු විමතියට පත් වූයේ අසල්වාසීන් වූවද ජයලත්ගේ මෙම රූමත් දියණිය පිළිබදව සතිස් විසින් මීට පෙර තමාට පවසා නොතිබීමයි.
“මොකද, ඒ පාර කතා නැතුව කල්පනා කරන්නෙ?”
පිළිතුරක් නොදුන් ආකාශ් සිනාසුණේය.
“මම දන්නව ඔයා හිතන දේ. දැන් ඉතින් හිතනව ඇති හානේ මං මෙච්චර වෙලා කතා කර කර හිටියෙ ඇමති කෙනෙක්ගෙ දුවෙක් එක්කද කියල.” පැවසූ ඇය මදක් ඔහු වෙත නැඹුරු වූවාය.
“මං හරි නේද?”
මුවෙහි ඇති වූ සිනහව එලෙසම රදවාගත් ආකාශ්ද මදක් ඇය වෙත නැඹුරු විය.
“නෑ, වැරදියි. ඔයාට නම් අනුන්ගෙ හිත් කියවන්න පොඩ්ඩක්වත් බෑ.”
“හරි හරි. එහෙනම් ඔයාම කියන්නකො මොකද්ද හිතුවෙ කියල.” ඇය සිනාසෙමින් පැවසුවාය.
මම හිතුවෙ මගේ යාළුවා ගැන.”
“යාළුවා… කවුද?”
“අර මාත් එක්ක ආපු දෙන්නගෙන් එක්කෙනෙක්. එයාගෙ ගෙදර තමයි මම දැන් නැවතිල ඉන්නෙ. එයාව නම් ඔයා දන්නවත් ඇති. සතිස් කියල කෙනෙක්.”
“අර කණ්ණාඩි දාන ටිකක් කෙට්ටු කෙනාද?”
“ඔව්, එයා තමයි. ඔයා එයාව දන්නව ඇති නේද?”
“මං එයාව හොදටම අදුරන්නෙ නම් නෑ. එහෙදි හම්බවුණාම දෙතුන් වතාවක් කතා කරල තියෙනව. එච්චරයි. හැබැයි එයා ඔයා වගේ නම් නෙමෙයි. මම දන්න හැටියට ක්ලබ් එකට සතියට දෙතුන් වතාවක් එනවා.”
“ඔව්, මිනිහට නම් ඒක ගෙදර වගේ. ඉන්න හැමෝවම වගේ අදුරනවා.” ආකාශ් පැවසුවේ සිනාසෙමිනි.
“සතිස් ඔයාගෙ නෑදෑ කෙනෙක්ද? නැත්නම් යාළුවෙක් විතරද?”
“යාළුවෙක්. කැම්පස් එකේදි තමයි අදුරගත්තෙ.”
ඉන්පසුව ඔවුන් කතා බහකින් තොරව සුළු මොහොතක් ගමනෙහි යෙදුණෝය.
“ඔන්න අපි ඔයාගේ ගෙවල් පාරට ආවා.” ඇය පැවසුවේ මාර්ගය අසල නැවැත්වීම සදහා තිරිංග යොදන අතරතුරදීය.
“එහෙනම් ලෝචනා. මං යන්නම්.” පැවසූ ආකාශ් තවදුරටත් හාස්‍යමුසු ස්වරයකින් යුතුය “කරපු උදව්වට බොහොම පිං.” කීවේය.
ඔහුගේ වදන් වලට සිනහවකින් ප්‍රතිචාර දැක්වූ ඇය “පිං නම් පස්සෙ ගන්න බැරියැ. ක්ලබ් එකට ඔයා ආයෙත් කවද්ද එන්නෙ?” ඇසුවාය.