Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 7
ISBN 978-955-44323-3-8
“එන්නෙද? ඒක නම් හරියටම කියන්න බෑ. කොහොමත් එනව නම් මට සතිස් එන දවසක තමයි එන්න වෙන්නෙ.”
ඔහුගේ පිළිතුර නැවත ඔවුන් හමුනොවන ආකාරයේ එකක් වූවද එයින් ඇය අධෙර්යයට පත් නොවිය. ඇයට ඔහු සමග ඇසුර දිගටම පවත්වා ගැනීමට අවශ්‍යය වූයේ ඔහු සතු කඩවසම් බව නිසාම නොව, මීට පෙර ඇසුරු කර ඇති වෙනත් තරුණයන් සමග සැසදු කළ මොහු සතුව ඇති සුවිශේෂි වෙනස් ලක්ෂණ නිසාය. වෙනත් තරුණයන් මෙන් මොහු තමා සමග එල්ලීගෙන කතා නොකළේය. පුරසාරම් දොඩවන්නෙකුද නොවේ. පුද්ගලික අදහස් ප්‍රකාශ කිරීමේදි තරමක් කුලෑටි ගතියක් පෙන්වුවද තමාගේ පියා ඇමතිවරයෙකු බව පැවසූ විට පවා ඔහු කලබලයට පත් නොවිය. කුමක් හෝ හේතුවක් නිසා මෙම ගති ලක්ෂණ වලට ඇය බෙහෙවින් ප්‍රිය කළාය.
“එහෙමද? එහෙනම් ඔයාගෙ මොබයිල් නම්බර් එකක් තියෙනවද?”
“ආ… ඔව්.” හෙතෙම පැවසුවේ ඇයගේ ඇසුර දිගටම පවත්වා ගැනීමට ජංගම දුරකතන අංකය ඉල්ලාගත හැකි ආකාරයක් ඔහුද කල්පනා කරමින් සිටි හෙයිනි.
ඔවුනොවුන්ගේ ජංගම දුරකතන අංක සටහන් කරගෙන එකිනෙකාට සුබ රාත්‍රියක් පැතීමෙන් අනතුරුව ආකාශ් නිවස වෙත ඇවිද ගියේ තෘප්තිමත් සිතකින් යුතුවය. එදින ඔහුගේ සවස් යාමය රූමත් තරුණියකගේ ඇසුරකින් ගෙවී යාම මීට හේතුව විය. පාසල් වියේ සිටම තරුණියන් සමග සීමිත ඇසුරක් පැවැත්වූ තමාට මෙවැනි නාදුනන තරුණියක් සමග මෙතරම් සාර්ථකව සංවාදයක නියැලීමට ධෙර්යයක් කොහෙන් ලැබුණේ දැයි හෙතෙම තමා ගැනම විස්මයට පත් විය. කෙසේ වූවද ඊට පෙර සිදු වූ සිදුවීම නම් ඔහුගේ සිත තුළ ඇති කළේ චකිතය මුසු ගුප්ත හැගීමකි. හෙතෙම දෙවන වතාවටත් සාක්කුවට අත දමා පිස්තෝලය තිබේ දැයි පරික්ෂා කළේ එය යම් අයුරකින් අස්ථාන ගත වුවහොත් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති හෙයිනි.
ඔහු සතිස්ගේ නිවසට යන විට මෙහෙකරු හැර වෙනත් කිසිවෙකු නිවසෙහි රැදී නොසිටීම ගැන සතුටට පත් වූයේ මෙවැනි වාතාවරණයක් මත සතිස්ගේ කුටිය තුළ දී පිස්තෝලය පරීක්ෂා කිරීමට ඔහුට කිසිදු අයුරක බාධාවක් එල්ල නොවන බව දැන සිටීම හේතුවෙනි. ප්‍රථමයෙන් මෙම ව්‍යාපාරයට තමාව හසු කිරීම සම්බන්ධයෙන් දැඩි කෝපයක් සිත තුළ පැවතියද ක්‍රමයෙන් එය පහව ගොස් දැන් ඔහු තුළ ඇත්තේ කුතුහලයක් හා පිස්තෝලය පරීක්ෂා කිරීමට ආශාවකි.
කුටියට වැද දොර වසාගෙන පිස්තෝලය අතට ගත් ආකාශ්ගේ සිතට පැමිණි පළමු සිතිවිල්ල නම් තමා අතැති මෙම මාරක ආයුධයෙන් මීට පෙර අපරාධ කොපමණ සංඛ්‍යාවක් සිදුකර ඇත්ද යන්නයි. නමුත් එම සිතිවිල්ල ඔහු මත චකිතයක් ඇති කිරීමට සමත් නොවූයේ කුතුහලය මගින් සිත මුළුමනින්ම පාහේ ආවරණය කරගෙන සිටීම හේතුවෙනි.
පිස්තෝලය ඒ මේ අත හරවමින් සිටි ඔහුට මිනිත්තු කිහිපයක් ඇතුලත එය ගැලවිය හැකි ආකාරය පිළිබදව අවබෝධ විය. වහාම එහි තිබූ ඉස්කුරුප්පු ඇණ කිහිපය බුරුල් කර පිට ආවරණය ගලවා හෙතෙම ඇතුලත පරීක්ෂා කිරීම ඇරඹුවේය. එය ක්‍රියාත්මකවන මූලික යාන්ත්‍රනය වටහා ගැනීමට ඔහුට වැඩි වෙලාවක් ගත නොවුණද කොටස් වෙන් වෙන් වශයෙන් හදුනා නොගැනීම හේතුවෙන් අන්තර්ජාලයට පිවිස අවශ්‍ය තොරතුරු සොයාගැනීමට ඔහු තීරණය කළේය. පිස්තෝලයේ බදෙහි කොටා ඇති නිෂ්පාදන නාමය ඔස්සේ තොරතුරු පිරික්සීම ඇරඹු ඔහුට පළමුවෙන්ම පෙනී ගිය කරුණ නම් මෙය ඇමරිකාවේ නිෂ්පාදිත පැරණි මාදිලියේ එකක් බවයි. පිස්තෝලයේ අභ්‍යන්තර ඡායාරූප පරීක්ෂා කළ ඔහුට එහි වූ දෝෂය හදුනාගැනීමට ගත වූයේ මිනිත්තු කිහිපයක් පමණි. සිදුවී ඇත්තේ කොකා මත ක්‍රියාකරන දුන්න පැනීම පමණකි. ඔහුට එය නිවැරදිව සැකසීමට ගත වූයේ තවත් මිනිත්තු කිහිපයක් පමණි. පෙනෙන පරිදි වෙනත් ස්ථානයක දෝෂයක් තිබිය නොහැක. මෙවැනි ඉතා සුළු දෝෂයකටවත් පිළියමක් යෙදිය නොහැකි නසීර් කුමන අන්දමේ මෝඩයෙකු දැයි ඔහුට සිතුණි. ඔහුට සිනහ පහළ වූයේ නිතැතිනි.
පිස්තෝලය නැවත සවි කිරීමෙන් අනතුරුව ඔහු එහි කොකා කිහිපවරක් තද කර බැලුවේය. කලින් නික්මුණු බොල් හඩට වඩා දැන් එයින් නැගුනේ ස්ථාවර හඩකි. එයින් තෘප්තියට පත් වූ ඔහු කුටියේ දොර අගුළු දමා ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව පිස්තෝලය අතැතිව කැඩපත ඉදිරියට ගියේය.
මෙම මාරක ආයුධය අතැතිය සිටින විට තමාගේ බාහිර රූපයේ අමුතුම තේජසක් ඇති බව ඔහුට හැගුණි. ඔහු සිටගෙන, ඉදගෙන, දණ නමාගෙන, සහ පසෙකට ඇල වී වැනි පිස්තෝලය අමෝරාගෙන සිටින විවිධාකාර ඉරියව් කැඩපත තුළින් නිරීක්ෂණය කළේය. මීට පෙර තමා තුළින් නොදුටු නමුත් දැන් කැඩපත තුළින් පෙනෙන අමුතුම තේජස් බවින් හෙතෙම කුල්මත් විය.
මනෝමය ලොවක ස්වල්ප වේලාවක් ගත කළ ඔහුගේ සිත මීළගට යොමු වූයේ පිස්තෝලයේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීමට ලැබුණු උණ්ඩ කිහිපය සහ රබර් ආවරණය වෙතටය. ඒ සමගම ඔහුගේ යොවුන් සිතට ඇතුළු වූයේ තරමක් අන්තරාදායක අදහසකි. කුරුදුවත්ත වැනි ජනාකීර්ණ එමෙන්ම ආරක්ෂාව අධික ප්‍රදේශයක පිස්තෝලයක් ක්‍රියාකරවීම කොතරම් භයානක කටයුත්තක් වුවද ඔහුගේ ආශාව මැඩ පැවැත්විය නොහැකි විය. එමෙන්ම මෙහෙකරු පමණක් නිවසේ සිටින මෙවැනි රාත්‍රි කාලයක් පිස්තෝලය බාර දීමට පෙර ඔහුට ලැබේ දැයි සිතිය නොහැක.
පිස්තෝලයට උණ්ඩ දමන ආකාරය සහ ක්‍රියාත්මක කරන ආකාරය අන්තර්ජාලයෙන් පිරික්සා වටහාගත් ඔහු මෙතෙක් වෙලා උණ්ඩ රහිතව හිස්ව තිබූ මැගසීනය උණ්ඩ දෙකකින් පුරවා බදට රබර් ආවරණයද සවි කළේය. ඉන්පසුව ඉදිරි දොරින් පිට වී ගෙවත්ත පිටුපසට ගිය ඔහු සිය කාර්යය ඇරඹීම සදහා සුදුසු ස්ථානයක් සෙව්වේය. නිවසෙහි පිටුපසින්ම මුළුතැන්ගෙයට තරමක් දුරින් පිහිටා ඇති අඹ ගස මෙයට උචිත ස්ථානයක් බව ඔහුට පෙනුණි. එය වෙත ගොස් ගස මුල ඉලක්ක කර කොකා ගැස්සීමට සූදානම් වෙත්ම නැවතත් ඔහුගේ සිත දෙගිඩියාවෙන් පිරී ගියේ මෙයින් නැගෙන ශබ්දයේ ප්‍රභලතාව කොතරම් දැයි හෙතෙම දැන නොසිටි හෙයිනි. කෙසේ නමුත් නිවසේ සිටින්නේ සේවකයා පමණක් වීමත් ඔහු යමක් ඇසුවොත් බොරුවක් කීමට සිතාගත් ආකාශ් මීළග මොහොතේ සිතට ධෙර්යය ගෙන වෙඩි තැබුවේය.
සියුම් ගිනි පුපුරක් සහ අතට දැනුණු තරමක දෙදිරීමක් සහිතව නිවැරදිව ක්‍රියා කළ පිස්තෝලයෙන් නිකුත් වූ උණ්ඩය ගස මුල අගල් දෙකක් පමණ හාරා දැමුවේය. ශබ්ද අවශෝෂක රබර් ආවරණය නිසා එයින් නැගුණේ ආකාශ් අපේක්ෂා කළාටත් වඩා අඩු හඩකි. සැබවින්ම එය පොල් ගසකින් ගෙඩියක් බිමට වැටෙන විට නැගෙන ශබ්දයට සමාන වූ බොල් හඩකි. එයින් තෘප්තියට පත් වූවද නැවත වාරයක් කොකා ගැස්සීමට පෙර ඔහු මිනිත්තු දෙකක් පමණ නිහඩව බලා සිටියේ මෙහෙකරු හෝ වෙනත් අයෙකු මෙම අමුතු ශබ්දය කුමක් දැයි බැලීමට පැමිණේ යැයි සැකයෙනි. අපේක්ෂා කළ පරිදිම කිසිවෙකුත් නොපැමිණි හෙයින් සෑහීමකට පත් වූ ආකාශ් ඉන්පසුව අඩි කිහිපයක් අඹ ගසින් ඉවතට ගොස් නැවතත් පෙර වෙඩි තැබූ ස්ථානය ඉලක්ක කර දෙවන වෙඩිල්ලද තැබුවේය. එම උණ්ඩය පතිත වූයේ පළමු උණ්ඩයට අගල් දෙකක් පමණ දුරිනි. පිස්තෝලය නිවැරදිව ක්‍රියාකරන බවට සාධක තවදුරටත් අවශ්‍ය නොවූ නිසා ආපසු සතිස්ගේ කාමරයට ගිය ඔහු දොර වසා පිස්තෝලය කුටියෙහි වූ පොත් රාක්කයක් තුළට දමා සතිස්ගේ ඇදෙහි හාන්සි විය. ඉන්පසුව සිය ජංගම දුරකතනය අතට ගත් ඔහු තමා නැවත නිවසට පැමිණි බව දන්වමින් සතිස්ට කෙටි පණිවිඩයක් යැව්වේය.
ඔහු නැවත අවදි වූයේ කාමරයෙහි වූ දොර විවෘත කරගෙන කිසිවෙකු ඇතුලට ඇවිද එන අඩි ශබ්දයෙනි. සතිස් සහ සුරේෂ් පැමිණ සිටියහ. වේලාව මධ්‍යම රාත්රියද පසු වී තිබුණි. ඔවුන්ගේ ප්රාශ්වාස සමග මුසු වී ඇති මත්පැන් වල සැර ගන්ධය ආකාශ්ට හොදින්ම දැනුණි.
“මෙන්න මේ යකා මෙතන නිදි. ඒ… අඩෝ, උඹ කීයටද ගෙදර ආවෙ?” සතිස් ඇසුවේ ඇද අයිනේ වාඩිවෙමිනි.
“මම නවයට කලින් ආවා.”
“තමුසෙ නම් අනේ මන්දා ඕයි. මෙලෝ රහක් නැති එකෙක්. අද නම් හිටිය කෑලි ටිකක්… අම්මෝ, උඹ දකින්නයි තිබුණෙ. පිස්සු හැදෙනව යකෝ. කොහෙන් බැහැපු උන්ද මන්ද. ඊළග දවසේ මට ඔය එකෙක්ව රූම් එකකට අරන් යන්න පුළුවන් වෙයි.” සතිස් පැවසුවේ සිනාසෙමිනි.
“මේ, කෝ යකෝ අර පිස්තෝලේ? උඹ වේලසනින් ගෙදර ආපු එකේ ඒක ගලවලවත් බැලුවද?” සුරේෂ විමසුවේ හදිසියේම යමක් මෙනෙහි වූ ආකාරයෙනි.
“ආ… ඕයි. කෝ ඒක? උඹ එන ගමන් මග හලා ගත්තෙ නෑ නේද?” සතිස් කලබලයට පත් වූ ස්වරයකින් ඇසුවේ වටපිට බලමිනි. මෙය දුටු ආකාශ්ට සිනහ පහළ විය.
“මම ඒක හදල ඉවරයි.”
“මොකක්?”
“ඔව්. හදල වත්ත පිටිපස්සට ගිහින් වෙඩි තියලත් බැලුවා. මුකුත් අවුලක් නෑ. ගාණට වැඩ. අර පොත් රාක්කෙ දෙවෙනි තට්ටුවේ ඇති.”
සතිස් හා සුරේෂ් මුහුණට මුහුණ බලා ගත්තෝය. මෙය ඔවුන්ට ඇදහිය නොහැකි දෙයක් විය.
“ඈ… උඹ මේ ගේ පිටිපස්සෙ වෙඩි පත්තු කළා කිව්වා?”
“ඔව් බං. රබර් කෑල්ල දැම්මට පස්සෙ සද්දෙ එන්නෙම නෑ.”
සතිස් ඉක්මණින් පොත් රාක්කය වෙත ගොස් එහි තිබූ පිස්තෝලය පිටතට ගෙන උණ්ඩ නැති බව පරික්ෂා කිරීමෙන් අනතුරුව දෙතුන් වතාවක් කොකා තද කර බැලුවේය. පෙර තිබූ දෝෂය දැන් එහි නොවන බව ඔහුටද පෙනුණි.
“උඹ කොහොමද බං මේක මෙච්චර ඉක්මණට හැදුවෙ? මොකද මේකට වෙලා තිබුණෙ?”
“කොකාගෙ දුන්න පැනල තිබුණා. එච්චරයි. මං හිතන්නෙ කවුරු හරි කලින් ඕක ගලවල හයිකරන්න හදල තියෙනවා. කවුරු වුණත් ගලවපු එකා දුන්න හරියට හයි කරල නෑ. ඒකයි පයින්න ඇත්තෙ. දැන් ඒක හරි.”
සතිස් ආකාශ් දෙස විමතියෙන් බලා සිටියේය.
“යකෝ, උඹ දෙයියෙක්නේ.” මහත් වූ ප්‍රීතිමත් හඩකින් ඔහු පැවසුවේ ආකාශ්ගේ උරහිසට පහරක්ද ගසමිනි.
“මේක නම් නැගල යන වැඩක් වෙයි වගේ. උඹ දන්නවද? දැන් ආයුධ පන්නන්න අමාරු හින්ද උන්ට කැඩිච්ච එව්ව හදාගන්න බැරුවයි ඉන්නෙ. මේ විදියට වැඩේ සද්දයක් නැතුව කරල දෙනවට උන් අපිට ඕන ගාණක් දෙයි.”
“අනිත් එක, ආපහු එතන්ට ගිය දවසට උඹ කියන්න එහෙම එපා මේකෙ දුන්නක් විතරයි පැනල තිබුණෙ කියල. තව මොනව හරි අතින් දාලා කියපන්. ඔය මැර අම්බයට ඕන තරම් සල්ලි තියෙනවා. ඌගෙන් ටිකක් වැඩිපුර කඩා ගත්තට පව් නෑ.”
තවත් අඩ හෝරාවකට පමණ පසුව ඔවුන් මුහුණ කට සෝදා ඇදුම් මාරු කර නින්දට යාමට සූදානම් විය.
“මේ… දැන් උඹේ වෙරි බැහැලද?” ආකාශ් යහනේ ඇලවී සිටින අතරතුරදී හදිසියේම විමසුවේ සතිස්ගෙනි.
“වෙරි? මොන වෙරිද බං. අද පොඩි ෂොට් දෙක තුනක් විතරයි ගත්තෙ. ඇයි යකෝ, එනකොට මම වැනි වැනිද ආවෙ?”
“හරි හරි බං. මං නිකමට කිව්වෙ. උඹ නිකමටවත් ඇහුවෙ නෑනෙ මං අද ගෙදර ආවෙ කොහොමද කියල?”
“ආ… ඔව්. උඹ කොහොමද ගෙදර ආවෙ? ඒයි අඩෝ, කෑල්ලක්වත් ගොඩ දා ගත්තද?” සතිස් ඇසුවේ හාස්‍යජනක ස්වරයකිනි.
සතිස් කළ මෙම අනුමානයේ නිවැරදිතාවය හේතුවෙන් ආකාශ්ට නිතැතින්ම සිනහ පහළ විය.
“හෙහ්, උඹ හරියටම කිව්වනෙ බං. ඇත්තටම අද මාව ගේ ළගට ඇරලුවෙ කෙල්ලෙක්. ඒ විතරක්ද, ඒකි මට ආපහු කතා කරන්න කියල නම්බරෙත් දුන්න.”
“අනේ පලයං.” මෙතෙක් වෙලා නිහඩව කුටියේ අනිත් කෙළවරේ ඇදක හාන්සි වී සිටි සුරේෂ් හදිසියේම කතාවට මැදිහත් වූයේ ආකාශ් පැවසූ වදන් විශ්වාස කළ නොහැකි හෙයිනි.
“අනේ පලයං නෙමෙයි බං. මම සිරාවටම කියන්නෙ. එයා මේ ළගමයි ඉන්නෙ. මූව දන්නව කියලත් කිව්ව. නම ලෝචනා දිසානායක.”
එම වදන් ඇසූ ක්ෂණයෙහිම සතිස් ඉද්ද ගැසුවාක් මෙන් ඇදෙහි හිද ගත්තේය. විස්මයෙන් අඩක් විවෘත වූ මුවින් හා විශාල වූ දෙනෙතින් යුතුව සිටි ඔහුට සිය හඩ අවදි කිරීමට තත්පර කිහිපයක් ගත විය.
“ලෝචනා, අර ජයලත්ගෙ දුව උඹව ගේ ළගින් ඇරලුව කිව්වා?”
වචනයෙන් පිළිතුරක් නොදුන් ආකාශ් හිස වනා එය ස්ථිර කළේය.
“අඩෝ, මම හිතුවට වඩා උඹ වැඩ්ඩෙක්නෙ. මම දන්න හැටියට ඔය ලෝචනා ගෑනි නන්නත්තාරේ කොල්ලොත් එක්ක එල්ලෙන ජාතියේ බඩුවක් නෙමෙයි. ඒකි සුපිරිම කෑල්ලක්නෙ බං. ක්ලබ් එකේ කොල්ලොම කීදෙනෙක් ඕක දාගන්න හැදුවද? හැබැයි එයා එකෙක්ටවත් අහු වුණේ නෑ. ඇග බේරගෙන ඉන්නවා. ඒකිට එහෙ තව යාළුවො දෙතුන්දෙනෙක් ඉන්නවා. මම හිතන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම යාළුවොද කොහොද? උන් එක්ක විතරයි එයා ළග ආශ්‍රයක් තියාගන්නෙ. අනිත් අයත් එක්කත් හොදට කතා බහ කරනවා. හැබැයි අතේ දුරින්. මම කියන්නෙ ඒකි ඔළුව ඉදිමිච්ච කෑල්ලක් කියල නෙමෙයි. හැබැයි ගාණට ඉන්නවා. ඔන්න මචෝ දාගන්නව නම් ඉතින් ලොතරැයියක් ඇදුන වගේ තමයි.”
“උඹ මේ මගුලක් කතා කරනවා. තාම කවුද කියලවත් හරියට දන්නෙ නෑ. මම මේ අහන්නෙ දාගන්න විදියක් ගැන නෙමෙයි. මෙච්චර කෙල්ලො ගැන කියවන උඹ මේ ළග පාතම ඉන්න ඇමතියගෙ දුව ගැන මට කවදාවත් කියල නැති එකයි.”
“උඹ ඉතින් කෙල්ලො සම්බන්ධ විෂයට ඒ හැටි උනන්දුවක් නෑනෙ.”
සතිස්ගේ ඍජු පිළිතුරට ආකාශ් සිනාසුණේය. නමුත් ඔහු එය විශ්වාස කළේය. තමා දන්නා විදියට සතිස් යනු යුවතියකට හදවතින්ම බැදෙන ආකාරයේ පුද්ගලයෙකු නොවේ. ඔහු උනන්දු වූයේ ඇසුරු කරන මොහොතෙහි පමණක් තරුණියකගෙන් ලබා ගත හැකි සතුට ගැන පමණි.
“උඹ තව මොනවද ලෝචනා ගැන දන්නෙ?”
“ඕකි ගැන විස්තර ටිකක් නම් තියෙනවා…”
“ඉතින් කියපන්.”
“ෂහ්, පුදුමයි. මූට කෙල්ලෙක් ගැන හිත ගිහිල්ලද කොහෙද?” එවර කතාවට මැදිහත් වූයේ සුරේෂ්ය.
“ඒවයින් වැඩක් නෑනේ. උඹල දන්න විස්තර ටික කියපන්කො.” ආකාශ් සිනාසෙමින් කීවේය.
“හරි, කියන්නම්. මං මේ උඹව ඩිස්කරේජ් කරනව නෙමෙයි. හැබැයි උඹට ඒකි ගැන මොකක් හරි අදහසක් තියෙනව නම්, කරන්න දෙයක් නෑ, උඹට මුලින්ම අහන්න තියෙන්නෙ එපාම කරපු දෙයක්.”
“ඒ මොකද්ද?”
නියම කතාව!!
බොහොම ස්තූතියි.