Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 8

ISBN 978-955-44323-3-8

“ඒකිට කලින් ගයාන් කියල කොල්ලෙක් හිටියා.”


සතිස් තත්පර කිහිපයක් නිහඩව බලා සිටියේ ආකාශ්ගේ මුහුණෙහි යම් වෙනසක් ඇති වේ දැයි නිරික්ෂණය කිරීමටයි. ආකාශ් වහාම එය වටහා ගත්තේය.


“මචං මේ… මට එයා ගැන උඹල ඔය හිතන විදියෙ අදහසක් නෑ. මම ඇහුවෙ නිකමට දැනගන්න.”


“හරි, එහෙනම් මෙන්න මෙහෙමයි කතාව.” පවසමින් සතිස් ඇදෙහි කොනක හිද බිත්තියට හේත්තු වූයේ දීර්ඝ කතාවකට මුලපුරන්නාක් මෙනි.


“මට මතක හැටියට එයාගේ එෆෙයා එක කැඩිලා දැන් මාස පහක් හයක් විතර වෙනව. ඕකිගෙ කොල්ලගෙ තාත්ත ව්‍යාපරිකයෙක්. නාන්නම සල්ලි තියෙන එකෙක්. මට මතකයි ඒ කාලෙ මිනිහ ක්ලබ් එකට ආවෙත් සුදු පාට ලෑන්ඩ් කෲසර් එකක. ඒ වුණාට උගෙ චරිතෙ නම් ගන්නම දෙයක් නෑ.”


“ඇයි? බේබද්දෙක්ද?”


“බේබදුකමයි, සූදුවයි පැත්තකින් තියපන්කො. එව්ව ඌට සල්ලි වැඩිවෙච්ච හින්ද පුරුදු වුණ ඒවා කියල හිතන්න පුළුවන්නෙ. හැබැයි ගණිකාවො? උඹට කියන්න මචෝ ඔය වගේ වලත්තයෙක් නම් මං ජීවිතේට දැකල නෑ. එකම ක්ලබ් එකේ හින්ද මං මිනිහව ටිකක් අදුරනවා. මට මතකයි ඉස්සර ලෝචනා නැති දවස් වලට මිනිහා එක එක දවස් වලට එක එක ගෑනුත් එක්ක යනවා. පුදුමයි තාම මුකුත් ලෙඩක් හදාගෙන නැතුව ඉන්නවා. ඊළග දවසේ ගියාම හිටියොත් මං උඹට පෙන්වන්නම්.”


සතිස්ගේ විස්තරය අසා සිටි ආකාශ්ට දුකක් හෝ ඊර්ෂියාව වැනි විශේෂ හැගීමක් ඇති නොවුණි. ලෝචනාගේ රූමත් බව හා උසස් පැලැන්තිය හේතුවෙන් ඔහුගේ සිතෙහි තරමක් චංචල බවක් ඇති වූවද එය කිසිම ආකාරයක බැදීමක් නම් නොවිය.


“එයා උඹ කියන විදියේ ඩීසන්ට් කෙල්ලෙක් නම් ඇයි දන්නෑ අරූ වගේ එකෙකුට අහු වුණේ?”


“ඒකි අහු වුණේ නෑ බං. මට තේරිච්ච විදියට ඒකිට අර ගයාන් ගැන මෙලෝ කැමැත්තක් තිබුණෙ නෑ. ඒක ගෙවල් වලින් කරපු ප්‍රපෝසල් එකක්ලු. දන්නැද්ද ඉතින්, සල්ලිකාරයො තව සල්ලිකාරයෙක්ට එකතු වෙන්න බලනවනෙ. මේකත් ඒ වගේ වැඩක්. මට මතකයි මුල් කාලේ ඉදන්ම අරකි ගයාන්ව මග ඇරල ඉන්නයි බැලුවෙ. මම හිතන්නෙ අරූගේ වලත්ත වැඩක් ලෝචනාගේ අතටම මාට්ටු වෙන්න ඇති. කොහොම හරි එයා දැන් ගයාන් එක්ක කතා කරනව තියා මූණවත් බලන්නෙ නෑ.”


“ඉතින් ගයාන් මොකද කරන්නෙ?”


“ඌට නම් අපරාදේ කියල හිතෙනව ඇති. ඇයි ඉතින් ඔය වගේ ලස්සන සල්ලි තියෙන බඩුවක් ඌ වෙන කොහෙන් හොයා ගන්නද? මං දැකල තියෙනව මිනිහා තාම කෙල්ලත් එක්ක කතා කරන්න හදනවා. හැබැයි ලෝචනා ඌව ගණන් ගන්නෙවත් නැද්ද කොහෙද? ජරා යකෙක් වුණාට සමහර විට ඌ ලෝචනාට ඇත්තටම කැමතිත් ඇති.”


* * *

ආයුධ අලුත්වැඩියාවේ ගනුදෙනුව පියවීම සදහා ඔවුන් නැවතත් සමාජ ශාලාවට පැමිණියේ තවත් දින තුනකට පසුවය. පිස්තෝලය නිවැරදිව සාදා තිබීම නසීර්ගේ දැඩි සතුටට හේතු විය. ඔවුන් ගාස්තුව වශයෙන් ඉල්ලා සිටි මුදලට අමතරව සන්තෝෂමක් වශයෙන් තවත් අමතර මුදලක් දීමෙන් මේ බව පැහැදිලි විය. එමෙන්ම මෙවැනි අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා තව බොහෝමයක් ඇති හෙයින් එවැනි කටයුතු සදහා ආකාශ්ගේ සහය තවදුරටත් අවශ්‍ය බව පැවසූ හෙතෙම ඒ සදහා හොදින් ගෙවීම් කරන බවටද පොරොන්දු විය.

 

“අඩෝ ආකාශ්. අන්න උඹ දකින්නම ඕනෙ දෙයක් තියෙනවා. අපි නියම වෙලාවට ඇවිත් තියෙන්නෙ.”

 

නසීර්ගේ ගනුදෙනුව පියවීම අවසන් කර පහළ මාලයට පැමිණි විගස ආකාශ්ගේ අවධානය සතිස් යම් සිදුවීමක් වෙත යොමු කළේය. සිය පළමු බැල්මෙන්ම එහි ලෝචනා සිටින බවත් මීට පෙර නොදුටු නාදුනන තරුණයෙකු ඇය සමග කතා කිරීමට උත්සහ කරන බවත් ඔහු දුටුවේය.

 

“ඔය වටේ කැරකි කැරකි ඉන්න එකා තමයි ගයාන්.” සතිස් ආකාශ්ගේ කනට කොදුරා කීවේය.

 

ගයාන් ලෙස හදුනාගත් තැනැත්තා ආකාශ් විසින් හොදින් නිරීක්ෂණය කරන්නට විය. බැල්මක්වත් නොලැබෙන තරුණියක් සමග කතා කිරීමට ඔහු විසින් ගන්නා උත්සහය ආකාශ්ට පෙනුනේ හාස්‍යයජනක ජවනිකාවක් ලෙසිනි. ඇද සිටි ඇදුම් හා මැණික් කටුව වටා පැළදි ස්වර්ණාභරණය හේතුවෙන් ඔහුට ධනවත් පෙනුමක් ලැබී තිබුණද ගයාන්ගේ හැඩහුරුකම් වල නම් කිසිදු ආකර්ෂණිය බවක් නොවිය. සාමාන්‍යය උසක් සහ තරමක් තරබාරු සිරුරක් සහිත ඔහු ලෝචනා වැනි රූමතියකට කිසිසේත්ම නොගැලපෙන්නෙකු බව ආකාශ්ට සිතුණි.

 

ගයාන්ට බැල්මකින්වත් සංග්‍රහ නොකළ ලෝචනා ඉක්මණින් එතැනින් ඉවත් වී ඇයගේ යෙහෙළියන් යැයි සිතිය හැකි වෙනත් තරුණියන් දෙදෙනෙකු සිටි මේසයක් වෙත ගියේය. නමුත් ගයාන්ද ලෙහෙසියෙන් අධෙර්යයට පත් නොවන අයෙකු බව දක්නට ලැබුණි. ඔහු කිසිදු පැකිලීමකින් තොරව තරුණියන් සිටි මේසය වෙත ගොස් එහි වූ පුටුවක වාඩි විය. එහි සිටි අනිත් තරුණියන් දෙදෙනා ඔහු සමග වචන කිහිපයක් හුවමාරු කර ගත්තද ලෝචනාගේ බැල්ම තවදුරටත් ගයාන්ගෙන් ඉවතට යොමුව තිබෙනු දුටු ආකාශ්ගේ දෙතොලට නැගුණේ උපහාසාත්මක මදහසකි.

 

“මචං, අර අතන කෙළවරේ තියෙන මේසෙ හිස්. එතන ඉදගෙන අපිට වෙන දේවල් හොදට බලාගන්න පුළුවන්.” සතිස් පැවසුවේ කෙළවරක වූ මේසයක් පෙන්වමිනි. ඔවුන් තිදෙනාම එම මේසය වෙත ගියෝය.

 

ලෝචනා ඉද සිටියේ ඔවුන්ට පිටුපාමිනි. එම නිසා ඇයට ආකාශ් ඇතුළු පිරිස නොපෙනුණි. ඇය සමග කතා බහ කිරීමට ආකාශ් තුළ කැමත්තක් තිබුණද ඔහුට එක්වරම එතැනට කඩාවැදිය නොහැකි විය. එමෙන්ම අද දින ඇය සිටින්නේ හුදෙකලාව නොවන හෙයින් පෙර දින මෙන් පහසුවෙන් කතා කිරීමට තමාට හැකිවේ දැයි සැක සහිතය. සමුත් කුමක් හෝ හේතුවක් නිසා මිනිත්තුවකට පමණ පසුව පිටුපස හැරුණු ඇය ආකාශ්ව දුටුවාය. ඒ සමගම සුන්දර මදහසකින් සිය වත සරසවා ගත් ඇය හුන් තැනින් නැගිට වහා ඔහු වෙත පැමිණියාය.

 

“හානේ ආකාශ්, ඔයා කොයි වෙලාවෙද මෙහෙට ආවෙ?”

 

“විනාඩි පහකට විතර කලින්.”

 

“ඉතින් ඇයි මට කතා කළේ නැත්තෙ?”

 

“නෑ ඉතින් ඔයාගේ යාළුවො කට්ටියකුත් ඉන්න හින්ද තව ටිකකින් කතා කරන්නයි මං හිටියෙ.” ආකාශ් පැවසුවේ තිදෙනෙකුට පමණක් ඉඩ ඇති රවුම් මේසයට තවත් අමතර පුටුවක් දමා ගයාන්ද එහි රිංගා ඇති අයුරු බලමිනි. එහි සිටි තරුණියන් දෙදෙනා හා ගයාන්ද තමා වෙත නෙත් යොමු කරගෙන සිටින බව එවිට ඔහු දුටුවේය.

 

“යාළුවො හිටියට මොකද? දැන් ඔයා මෙතන යාළුවොත් එක්ක ඉන්නකොට මම මෙතනට ආවෙ.” සිනාසෙමින් පැවසූ ඇය සතිස් දෙස බලා “මෙයා නේද සතිස් කියන්නෙ?” ඇසුවේය.

 

“ආ… ඔව්, එතකොට මෙයා සුරේෂ්.”

 

“ඔයාව නැති වුණාට මේ දෙන්නව නම් මම මීට කලින් ඕන තරම් දැකල තියෙනවා.” ඇය පැවසුවේ ඔවුන් දෙදෙනාට සිනහවකින් සංග්‍රහ කරමිනි.

 

“ආකාශ් මේ දෙන්නත් එක්ක අතනට එන්න. මගේ යාළුවො දෙන්නා ඔයාව අදුරගන්න බලාගෙනයි ඉන්නෙ. මම එයාලට ඔයා ගැන විස්තර ඔක්කොම කිව්වා.”

 

ඇයගේ ආරාධනාව අනුව ආකාශ්, සතිස් හා සුරේෂ් ලෝචනා සහ ඇගේ යහළුවන් සිටි මේසය වෙත ගියෝය.

 

“ආකාශ්. ඔයාට මතකද දන්නෑ මං ඔයාට කිව්වෙ මගේ ඉස්කෝලෙ යාළුවො කට්ටියක් මෙහෙට එනව කියල. මේ ඉන්නෙ එයාල. මේ හසිනි, මේ ශානිකා.”

 

එකම සමාජ ශාලාවේ සාමාජිකයන් වීම හේතුවෙන් සතිස් හා සුරේෂ් සමග ඔවුන්ගේ සුළු හැදුනුම්කමක් තිබුණද ආකාශ් ඔවුන්ව දුටු පළමු අවස්ථාව මෙය විය.

 

“එතකොට ඔයා?” ආකාශ් ගයාන් දෙස බලමින් ඇසුවේ කිසිවක් නොදත්තෙකු මෙනි.

 

“ආ… මචං, මම ගයාන්. මම තමයි මෙයාව බදින්න ඉන්නෙ.” ආකාශ්ගේ සුරත අල්ලා සොලවමින් ඔහු ලෝචනාව පෙන්වමින් කීවේය. ඒ සමගම ලෝචනාගේ මුහුණෙහි ඇති වූ නොරිස්සුම් සහගත බව ආකාශ් පැහැදිලිවම දුටුවේය. තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකුද යන්තමින් සිනාසෙනුද හෙතෙම නෙත් කොනින් දුටුවේය. නමුත් ඔහු සිය හැගීම් මුහුණෙන් පළ නොකිරීමට වග බලාගත්තේය.

 

ඔවුන් හෝරාවකට ආසන්න කාලයක් සංවාදයෙහි යෙදෙමින් සිටියෝය. අන්‍යයන්ගේ කැමැත්ත ඇතිව හෝ නැතිව වැඩිපුර කතා කළේ ගයාන් විසිනි. ඔහු තරමක් දුරට පුරාජේරුකාරයෙකු බව ඔහුගේ කතා වලට සවන් දී සිටි ආකාශ් වටහා ගත්තේය. සතිස් හා සුරේෂ්, ගයාන් සමග කතා කළේ පැරණි මිතුරෙකුට මෙනි. ශානිකා සහ හසිනි නමින් හැදින්වූ තරුණියන් දෙදෙනාද සියලුදෙනා සමග හොදින් කතා කළද ගයාන්ගේ ඇසුර කිසිසේතම ප්‍රිය නොකළ ලෝචනා හැකිතාක් නිහඩව සිටීමට උත්සහ කළාය. අවසානයේදී සමුගැනීමට පෙර ගයාන් පැවසූ වදන් හේතුවෙන් නැගුණු මදහස ආකාශ් මැඩගත්තේ අපහසුවෙනි.

 

“මචං, තව මාස හතරකින් පහකින් විතර මමයි ලෝචනයි මැරි කරනවා. එදාට උඹල තුන්දෙනා අනිවාර්යෙන්ම එන්න ඕනෙ.”

 

* * *

 

එදින රාත්‍රී එකොළහට පමණ ජංගම දුරකතනය නාද වන විට ආකාශ් සිටියේ නින්දත් නොනින්දත් අතරය. නමුත් ජංගම දුරකතනයේ සදහන්ව තිබූ ලෝචනා යන නම දුටු විගසම ඔහුගේ නිදිමත අතුරුදහන් විය.

 

“ආ… ලෝචනා, කොහොමද ඉතින්?”

 

“අනේ ආකාශ්, මං ඔයාට කරදර කළාද මන්ද? ඔයා නිදාගෙනද හිටියෙ?”

 

“නෑ, නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ. මං දැන් ඇදේ තමයි ඉන්නෙ. හැබැයි තාම නින්ද ගියෙ නෑ.”

 

“ආ… ඇත්තද? එහෙනම් කමක් නෑ. මං මේ නිකමට ඔයාට කතා කළේ. හරි කම්මැලියි අනේ, ඒකයි.”

 

මෙය සත්‍යයක් නොවන බව ආකාශ් වටහා ගත්තේය. මෙවැනි මධ්‍යම රාත්‍රියට ආසන්න වේලාවක තමා සමග ආදරය වැනි විශේෂ සම්බන්ධයක් නොමැති තරුණියක් හදිසියේ දුරකතන ඇමතුමක් ලබා දීමට විශේෂ හේතුවක් තිබිය යුතුය.

 

“නිකමට කතා කළා? ඒක වෙන්න බෑනෙ.”

 

“මොකද්ද?”

 

“මෙහෙමයි. ඔයා මේ හදිසියෙ මහ රෑ මට කෝල් කළේ නිකමට නම් වෙන්න බෑ. මොකක් හරි හේතුවක් තියෙන්නෙ ඕනෙ.”

 

“ඔයා කොහොමද එහෙම කියන්නෙ?”

 

“මට නිකමට හිතුණා.”

 

ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක නිහැඩියාවකි.

 

“ඔයා නම් හරි නරකයි අනේ. හැමතිස්සෙම මගේ හිත කියවනවා.”

 

“ආ… ඒකනේ මං කිව්වෙ. හරි, එහෙනම් දැන් කියන්නකො බලන්න ඇයි මට කතා කළේ කියල?” ආකාශ් ඇසුවේ සිනාසෙමිනි. ඉන්පසුව නැවතත් සුළු නිහැඩියාවක් ඇති විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!