Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 10
ISBN 978-955-44323-3-8
බලපත් රහිතව නීති විරෝධි ගිනි අවියක් ළග තබා ගැනීම හේතුවෙන් ආකාශ්ව සහ සුරේෂ්ව අත්අඩංගුවට ගැනීමට වෙනත් සාධකයක් අවශ්‍ය නොවිය. මාංචු දමා පොලිස් මූලස්ථානයට ගෙන ගිය තරුණයන් දෙදෙනාව දරුණු ප්‍රශ්න කිරීමකට භාජනය කරන ලදී.
“මං මේ අන්තිම වතාවටයි අහන්නෙ. තමුසෙල කාටද වැඩ කරන්නෙ? කියාපිය.” අඩි හයකට වඩා මදක් උසැති කාල වර්ණ රැවුලක් සහිත මෘග පෙනුමැති පොලිස් නිලධාරියා තෙවන වතාවටත් ඇසුවේ දෑත් පිටුපසට කර කණුවක බැද සිටි ආකාශ්ගේ උදරයට දැඩි මුෂ්ටි ප්‍රහාරයක් දීමෙන් අනතුරුවය.
එකපිට වැදුණු දෙවන ප්‍රහාරයද හේතුවෙන් සිය උදරය පුපුරා ගියාක් මෙන් ඔහුට දැනුණි. අධික වේදනාව හේතුවෙන් ඔහුට කැරකිල්ලක් සමග ඔක්කාර ගතියක් ඇති විය. සිතෙහි ඇති වූයේ තදබල කෝපයකි. මේ මොහොතේ බැද දමා තිබූ දෑත නිදහස් වූයේ නම් පොලිස් නිලධාරියා කොපමණ මෘගයෙකු වූවද, කොපමණ ශක්තිවන්තයෙකු වූවද ආකාශ් ඔහු වෙත කඩා පනිනු ඇත.
“මම කිව්වනෙ යකෝ. අපි කාටවත් වැඩ කරන්නෙ නෑ. කැඩිච්ච හදනව විතරයි. තොපිට සිංහල තේරෙන්නෙ…” ඔහුට එම වාක්‍ය අවසන් කිරීමට නොහැකි වූයේ දකුණු කම්මුල හරහා එල්ල වූ තදබල පහරක් හේතුවෙනි. ඔහුගේ යටිතොල පැලී ලේ ගලන්නට විය. දෙනෙත ඉබේටම මෙන් යොමු වූයේ පසෙකින් සිටි සුරේෂ් වෙතය. යටි බඩට වැදුණු පහරක් හේතුවෙන් අඩ සිහියෙන් යුතුව ඔහු බිම වැතිරී සිටියේය.
ප්‍රශ්න කරන්නා බලාපොරොත්තු වන තොරතුරු නොලැබුණු හෙයින් සෑම තත්පර කිහිපයකටම වතාවක් සිරුරේ කොතැනකට හෝ තදබල පහරක් එල්ල විය. උදරයෙන් සහ ඇලපත ප්‍රදේශ වලින් නැගෙන වේදනාව ඉවසිය නොහැකි හෙයින් පියවි සිහිය ක්‍රමයෙන් තමා වෙතින් පලා යනු ඔහුට දැනෙන්නට විය. එහෙත් කෙසේ හෝ හොද සිහියෙන් සිටීමට හෙතෙම උත්සහ කළේය. නමුත් මීළග මොහොතේදී නැවතත් එල්ල වූ තදබල මුෂ්ටි පහරක් හේතුවෙන් ඔහුගේ උත්සහය ඵල රහිත විය. අඩ සිහියෙන් යුතුව බැද සිටි කණුවේ එල්ලෙමින් හෙතෙම පසෙකට ඇල විය.
* * *
සිහියත් අසිහියත් අතර මාරුවෙමින් සිට ස්ථිරවම හොද සිහිය ලබන විට ඔහු සිටියේ සිර කූඩුවක් තුළය. පැලුණු තොලෙහි ඉදිමුම අඩු වී රුධිරය වහනය වීම නතර වී තිබුණද වැතිර සිටි ඉරියව්ව වෙනස් කර බිම හිද ගැනීමට උත්සහ කළ විටම උදරය දෙසින් නැගුණේ තදබල වේදනාවකි. එම නිසා එය මදකට අත්හල ආකාශ් වැතිර සිටි ඉරියව්වෙන්ම වටපිට බැලූ ඔහු දුටුවේ කුටියේ මුල්ලක බිම හිද සිටි සුරේෂ් තමා දෙස බලා සිටින ආකාරයයි.
“තමුසෙට අමාරුයිද?” සුරේෂ් ඇසුවේය.
“ඔව්, පපුව පල්ලෙහා පැත්ත ටිකක් විතර රිදෙනවා. අපි කොහෙද මේ ඉන්නෙ?”
“කොහෙද? ඇයි උඹට පේන්නෙ නැද්ද මේ කොහෙද කියල?”
ස්වල්ප මොහොතකට පසුව ආකාශ්ට ක්‍රමයෙන් තමා සිටින තත්වය අවබෝධ විය. මෙය තමාට පහර දුන් පොලිස් ස්ථානයේම බිම් මහලේ පිහිටි අපරාධකරුවන් රදවන සිරකූඩුවකි. අපිරිසිදු පැහැති බිත්තියකින් වෙන් වූ තමාට වම් පසින් ඇති සිර මැදිරියෙහිද යමෙකු රැදී සිටින බව නැගුණු අඩි ශබ්දයෙන් ඔහුට වැටහුණි. කොරිඩෝවෙහි සවිකර ඇති කහ පැහැති කුඩා විදුලි බුබුලින් නැගුණු මලානික අලෝකය හැරුණු විට හාත්පස පැතිරුණේ අන්ධකාරයකි. තෙත් වූ බිත්ති වලින් නැගුණු පුස් ගදද ඔහුට දැනෙන්නට විය.
“දැන් අපි මොකද කරන්නෙ?”
“උඹට සිහි එන්න කලින් පොලිස්කාරයෙක් ඇවිල්ල ඇහුව දන්වන්න ඕනෙ කවුරු හරි ඉන්නවද කියල. මම සතිස්ගෙ නම කිව්ව. මං හිතන්නෙ තව පැය දෙක තුනකින් ඌ එයි.”
“ඒක හොදයි.” පහත් හඩින් පැවසූ ආකාශ් නැවතත් බිම වැතිරුනේ දැන් තමාට කිරීමට කිසිවක් නොමැති හෙයිනි. සැබවින්ම මෙම උගුලෙන් ගැලවීමට වඩා ඔහුගේ සිතට වද දුන් කරුණ වූයේ යම් අයුරකින් මෙම සිද්ධිය තම නිවසට ආරංචි වුවහොත් සිය මවට හා පියාට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.
සතිස් ඉක්මණින් පැමිණේ යැයි ඔවුන් බලාපොරොත්තු වූවද ඔහුගේ පැමිණිම පැය තුනකින් පමණ ප්‍රමාද විය.
“යකෝ, අපේ ගෙදරට පොලිසිය පැනල හැමතැනම චෙක් කළා. හොද වෙලාවට මුකුත් ප්‍රශ්නයක් වුණේ නෑ.” සතිස් එම වාක්‍ය පැවසුවේ වටපිට බලමින් තරමක් පහත් හඩිනි.
“ගෙදර තත්වෙ කොහොමද?” ආකාශ් ඇසුවේය.
“ගන්න දෙයක් නෑ ඕයි, ඉවරයි. තාත්ත නම් තාම විස්තරේ හරි හැටි දන්නෙ නෑ. හැබැයි පොලිසිය පයිනකොට අම්ම ගෙදර හිටියා. ආයෙත් උඹල දෙන්නව පැත්ත පළාතේ වද්දගන්න එපා කිව්ව. මං දැන් මෙහෙට ආවෙත් රටේ නැති බොරු වගයක් කියල.”
“අපිව එළියට ගන්න පුළුවන්ද?”
“උඹලට තව දවස් දෙක තුනක් යනකන් ඇප දෙන්න බෑ. ඔත්තුව දීපු කාලකන්නියා කියල තියෙන්නෙ අපි හොර බඩු විකුණනවා කියල. ඉතින් හොයල බලල වැඩේ ඔප්පු වෙනකන් උඹලට ඇතුලෙ තමයි ඉන්න වෙන්නෙ. ඊට පස්සෙ උසාවි ගිහිල්ල…, අනේ මන්දා, උඹල දෙන්නටම ඇප කීයක් විතර කියයිද දන්නෙ නෑ.”
දිගින් දිගටම කතා කළ සතිස් ඉන්පසුව සිය හඩ අවදි කළේ බැරෑරුම් ස්වරයක් සහිතව මද නිහැඩියාවකට පසුවය.
“උඹ දන්නවද? ලෝචනා සේරම විස්තරේ දැනගෙන. මං හිතන්නෙ අර කාලකන්නියා ගයාන්, වැඩිපුර අතිනුත් දාල ඒකිට කියලද කොහෙද. පැයකට විතර කලින් මට කෝල කරල හාර හාර විස්තර ඇහුවා. දැන් කොයි වෙලාවෙ හරි උඹව බලන්න මෙහෙට එයි.”
සතිස් පැවසූ පරිදිම පසු දින උදෑසනින්ම ලෝචනා පොලීසියට පැමිණියාය. සිරුරේ විවිධ ස්ථාන වල වූ තැලීම් හා තුවාල සහ ඒ වන විට තරමක් සුව වී තිබුණද ඔහු සිටි දුක්ඛිත තත්වය දුටු ඈ බෙහෙවින් කම්පා වූවාය. ඇයගේ හඩෙහි ශෝකයත් කළකිරීමත් ගැබ්ව තිබුණි.
“ඇයි ආකාශ් ඔයා මට බොරු කළේ?”
ඔහු පිළිතුරු දුන්නේ සුළු මොහොතක් ඇයගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටීමෙන් අනතුරුවය.
“මං ඔයාට කවදාවත් බොරු කළේ නෑ. මං කළේ මේ ගැන හංගපු එක විතරයි.”
“ඉතින් ඇයි එහෙම කළේ? ඔයාට මාව විශ්වාස නැද්ද?” ඈ වේගවත්ව ඇසුවේ ඔහුගේ දකුණු අත තදින් ග්‍රහණය කර ගනිමිනි.
ඔහුට පැවසීමට දෙයක් නොමැත. හෙතෙම ඉවත බලා ගත්තේය.
“ඇයි අනේ ඔයා මෙහෙම දෙයක් කළේ? ඇයි මට හැංගුවෙ? ඔයා හිතුවෙ ඇත්ත දැනගත්තහම මං ඔයාව අතහරියි කියලද? අඩුගානේ මං ඔයාට කොච්චර ආදරෙයිද කියලවත් ඔයාට තේරෙන්නෙ නැද්ද?” සිරමැදිරියෙහි යකඩ කූරු අතරින් සිය දෑත දමා ඔහුව සොලවමින් ඇය ඇසුවේ හැඩුම්බර ස්වරයකිනි.
“මං දන්නවා ලෝචනා. ඒක මං දන්නවා. මං මේ දේවල් ඔයාගෙන් හැංගුව තමයි, ඒක හරි. ඒත් ඒ ඔයා ගැන විශ්වාසයක් නැතුව නෙමෙයි.”
ඉන්පසුව මද නිහැඩියාවක් ඇති විය.
“මං ඔයාට ආදරේ නිසයි මේ දේවල් ඔයාට කිව්වෙ නැත්තෙ. මේව ගැන විස්තර දැනගත්තොත් ඔයාටත් කරදරයක් වෙයි කියල මට හිතුණ. මං කොහොමද ලෝචනා මේ හොර වැඩ වලට ඔයාව පටලවගන්නෙ. විස්තර දැනගෙන ඉදල හැංගුව කියල ඔප්පු වුණොත් එහෙම ඔයත් වැරදිකාරයෙක් වෙනව. සතිස් ගැනත් දැන් පොලිසිය ඇහැ ගහගෙනයි ඉන්නෙ.”
ඇය කදුළු බිදු ගලා හැලෙන දෙනෙතකින් යුතුව ඔහු දෙස බලා සිටියාය. ඉන්පසුව ඇය හඩ අවදි කළේ ඔවුන්ගේ කතා බහ ඇසෙන මානයේ කිසිවෙකු ඇත් දැයි බැලීමෙන් අනතුරුවය.
“මට හැමදෙයක්ම දැනගන්න ඕනෙ, කිසිම අඩුවක් නැතුව. මේ දැන්ම.” ඇය ස්ථීර හඩකින් කීවේ ඔහුගේ දෑත් තවදුරටත් තදින් අල්ලා ගනිමිනි.
“මේ… මෙතනදි?” ඔහු ඇසුවේ විමතියට පත් හඩිනි.
“ඔව් මෙතනදි. මේ දැන්ම.”
“දැන් වෙලාව ඉවරවෙන්නත් කිට්ටුයි නේද?”
“ඒකට කමක් නෑ. මට දැන්වත් කියන්නකො අනේ.” ඇය මෙවර ඇසුවේ ඔහුව සොලවමිනි.
මෙය තරමක අවදානමක් බව ඔහු දැන සිටියද මෙවෙලෙහි ඇයට අවදානම් බව පහදා දීමට යාම අර්ථ විරහිත දෙයකි. එම නිසා සියලු කරුණු ඔහු හැකිතාක් කෙටියෙන් විස්තර කළේය. තමා මෙය ආරම්භ කළ දිනය ඔවුන් දෙදෙනාගේ මුල්ම හමුව සිදු වූ දිනය බවත් එදින තමා ඇය සමග කතා කරන විටත්, ඇයගේ මෝටර් රථයේ ගමන් කරන විටත් කලිසම් සාක්කුවක කුඩා පිස්තෝලයක් තිබුණු බවත් පැවසූ විට ඇය විස්මයට පත් වූවාය. කෙසේ වූවද අවසානයේදී ඔහු පාතාල ලෝකයේ ගණුදෙනු තුළින් සැලකිය යුතු දුරක් ගොස් ඇති හෙයින් මෙම භයානක ආශ්‍රයන් හේතුවෙන් ආකාශ්ගේ ජීවිතයට අනතුරක් සිදුවේ යැයි ඇයගේ සිත තුළ බියක් ඇති විය.
“සල්ලි ප්‍රශ්න තියෙනව නම් ඇයි රත්තරන් මට කිව්වෙ නැත්තෙ? ඔයාට මගෙන් ඉල්ලන එක මදිකමක්ද?”
“අනේ නෑ. එහෙම නෙමෙයි. මම කිව්වෙ මං මේක පටන් ගත්තෙ අපි මුලින්ම හම්බවෙච්ච දවසෙමයි කියල. ඉතින් ඒ කාලේ අපි අතරෙ මෙහෙම දෙයක් තිබුණෙ නෑනෙ.”
“ඉතින් ඔයාට ඊට පස්සෙ නවත්තන්න තිබුණනෙ?”
ඇයගෙන් ගැලවීමක් නොමැති බව ඔහුට දැනුණි.
“ඔව්, පස්සෙ නම් නවත්තන්න තිබුණ තමයි. ඒත්…, ඔයා දන්නවනෙ, මට හරි හමන් ඉන්කම් එකක් තිබුණෙත් නෑ. ඔයාගෙන් ඉල්ලන්නත් මොකද්ද වගේ. ලොකුකමකට නෙමෙයි. ඒත් ඉතින්…, ඔයාට තේරෙනව ඇතිනෙ. මං කොල්ලෙක්නෙ. සාමාන්‍යයෙන් කොල්ලනෙ කෙල්ලට වියදම් කරන්න ඕන. ඉතින් මං කොහොමද ඔයාගෙන් සල්ලි ඉල්ලන්නෙ.”
ඔහුගේ වදන් අසා සිටි ඇයගේ වතෙහි දවසේ පළමු වතාවට මද සිනහවක් ඇති විය. ඉමහත් ආදරයෙන් යුතුව මැදිරියෙහි යකඩ කූරු අතරින් අත දමා ඔහුගේ මුහුණ අත ගෑ ඇයගේ මුවින් පිට වූයේ එකම එක වදනකි.
“පිස්සා.”
ඉන්පසුව තත්පර කිහිපයක් නිහඩව ගෙවී ගියේය. කාලය ගත වන බව දැනුණු ආකාශ් නිහඩතාවය බිද දැමුවේය.
“දැන් යන්න. ආයෙත් මෙහෙ එන්න එපා. ඔයා ජයලත්ගේ දුව කියල දැනගත්තොත් ඔයාටත් ලෙඩක් වැටෙයි. ඒ හින්ද ආපහු එන්න එපා. මං පුළුවන් තරම් ඉක්මණට එළියට එන්න බලන්නම්.”
“බෑ බෑ. ඒක කරන්න බෑ. ඔයා මෙතන ඉන්දෙද්දි මං කොහොමද නිකං ඉන්නෙ? මං ආපහු එනවා ඔයාගේ ඇප සල්ලි අරගෙන ඔයාව එළියට ගන්න බලාගෙනම.”
මෙයට ආකාශ් විරෝධය පෑමට උත්සහ කළද එයින් ථලක් නොවිය. ඒ සමගම රැදවියන් හමුවන වෙලාව අවසන් බව හගවන නලාව නාද විය.
“වෙලාව ඉවරයි ලෝචනා. දැන් ඔයා පරිස්සමින් ගෙදර යන්න.” ඔහු පැවසුවේ ඇයගේ අතක් සිප ගනිමිනි.
යකඩ කූරු අතරින් ගොස් වැළද ගැනීමට නොහැකි වූ හෙයින් ඔහුගේ දෑත සිය දෑතින් වෙලාගෙන සිටි ඇයට එතැනින් ඉවත්ව යාමට අවශ්‍ය නොවිය. නමුත් තාවකාලික සමුගැනීම හැර වෙනත් විකල්පයක් නොවිය. සිප ගැනීමට ඔහුව සෙමින් තමා වෙතට ඇද ගත්තද ඒ මොහොතෙහිම එතැනට පොලිස් නිලධාරියෙකු පැමිණි හෙයින් ඇයට එය කළ නොහැකි විය.
“අනේ රත්තරන්…, පරිස්සමින්.” අවසාන වශයෙන් පැවසූ ඇය එතැනින් නික්ම ගියාය.
මේ අයුරින් රණ්ඩු වීමකින් හෝ වෙනත් අයුරක සිත් රිදවීමකින් තොරව ලෝචනා සමග මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට හැකිවීම පිළිබදව හෙතෙම සතුටු වූයේය. නමුත් පොලීසිය විසින් ඔහුගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමෙන් දැනගත් තොරතුරු වලට අනුව අනුරාධපුර නිවසට දැනුම් දුන් හෙයින් ආකාශ්ව බැලීමට පැමිණි දෙමව්පියන් සමග නම් මෙම ප්‍රශ්නය සතුටුදායක අයුරින් නොවිසදුණි. ඔහුගේ මව හැඩූ කදුළින් සිටියද පියා දැඩි කෝපයෙන් යුතුව කළ දෝෂාරෝපණය ඔහුගේ දැඩි සිත් වේදනාවට හේතු විය.
“උඹ මේකටද මේ කොළඹ නවාතැන් ගත්තෙ? ඈ යකෝ, අපේ හත්මුතු පරම්පරාවෙ එකෙක්වත් කරපු වැඩක්ද මේකා මේ කරල තියෙන්නෙ. කන්න බොන්න සල්ලි නැතුවද තෝ මැර වැඩ කරන්න ගියේ?”
“කිහපං, මගේ මූණටම කියපං. අපි උඹේ වියදමට එව්ව සල්ලි මදිද? නැත්නං ඇයි යකෝ හිරේ විලංගුවේ වැටෙන වැඩ කරේ? අපි කොහොමද ගම්මුන්ට මූණ දෙන්නෙ? උඹ මේ වැඩ කරන්න ඇත්තෙ අම්ම තාත්ත ගැන අමතක කරලනෙ. දැන් ඉතින් දිගටම එහෙම හිටපන්. මීට පස්සෙ අපිව බලන්න නාවට කමක් නෑ.”
මේ අයුරින් අධික කෝපයෙන් යුතුව කළ දෝෂාරෝපණය නැවැත්වීමට පවුලේ වැඩිමහල් දරුවා වූ නිමේෂ් උත්සහ නොකළද අවසානයේදී පිය එතැනින් ඉවත්ව ගිය විට ඔහු ආකාශ්ට කතා කළේය.
“මල්ලි ඕව ගණන් ගන්න එපා. තරහ ගියාම තාත්තගේ හැටි දන්නවනෙ. ටික දවසකින් ඕක නිවිල යයි. උඹව ඉක්මණට එළියට ගන්න මං පුළුවන් දෙයක් කරන්නම්.”
* * *
ආකාශ් වෙනුවෙන් ලෝචනා ඕනෑම මොහොතක ඕනෑම ඇප මුදල් ප්‍රමාණයක් ගෙවීමට සූදානම්ව සිටි හෙයින් මෙම ගැටලුවට අවධානය යොමු කරගෙන සිටි සතිස් ඇතුළු බොහෝ දෙනා ආකාශ්ගේ ඉක්මණ් නිදහස් වීම බලාපොරොත්තුවෙන් සිටියෝය. නමුත් ඕනෑම අවස්ථාවක අනපේක්ෂිත යමක් සිදුවිය හැක. මෙහිදීද එවැන්නක් සිදුවිය. ආකාශ් අපරාධකරුවෙකු බව ඔප්පු කළ නොහැකි වූවා සේම ඔහු කාර්මික ශිල්පියෙකු පමණක් බව ඔප්පු කිරීමටද නොහැකි විය. එසේම පොලිස් පරීක්ෂණ මගින් ආකාශ් නැමැති පුද්ගලයා දැනට අපරාධ රැසකට සැකයට භාජනය වී ඇති අපරාධකරුවන් කිහිපදෙනෙකු සමග යම් ආකාරයක ගනුදෙනු සිදුකර ඇති බවට සාක්ෂි සොයා ගැනීමටද හැකි විය. මේ අයුරින් මෙම ගැටලුව තවදුරටත් පැටලිලි සහගත බවට පත් වූ හෙයින් පරීක්ෂණ කටයුතු දිගින් දිගටම සිදුකිරීම සදහා ඇප ලබා දීමේ හැකියාව තවදුරටත් ප්‍රමාද කරන ලදී. සුරේෂ්ට විරුද්ධව ඔත්තුවක් හෝ පැමිණිල්ලක් ගයාන් විසින් නොදී තිබූ හෙයින් උසාවි නියෝගයක් මත ඔහුට අවවාද කර නිදහස් කරන ලදී.
අනපේක්ෂිත ලෙස කොටු වූ ආකාශ්ව පරීක්ෂණ කටයුතු වඩාත් හොදින් සිදුකිරීම උදෙසා වෙනත් පොලිස් ස්ථානයකට මාරු කරන ලදී. එම ස්ථානය ඔහු පෙර සිටි පොලිස් ස්ථානය මෙන් නොවිය. එය කොළඹ ප්‍රදේශයේ පිහිටා ඇති අපරාධ වැටලීමේ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන රහස් පොලිස් මූලස්ථානයකි. මෙහිදී ඔහුව ඉතා සූක්ෂම අයුරින් ප්‍රශ්න කිරීමකට භාජනය කරන ලදී. පහරදීම්, වධදීම් හෝ අසභ්‍ය වචන වලින් බැණ වැදීම් වලින් තොර වූ මෙය මෙම කාර්යය උදෙසාම විශේෂ පුහුණුවක් ලද මනෝ වෙද්‍යයවරුන් යැයි සිතිය හැකි පුද්ගලයන් විසින් කරන ලද සියුම් ප්‍රශ්න කිරීමක් විය. අවසානයේදී ඔවුන්ගේ නිගමනය වූයේ ආකාශ් තරුපති යනු පාතාල ලෝකය තුළ මුදලට ගිනිඅවි අලුත්වැඩියා කරන්නෙකු මිස වෙනත් අපරාධ වලට සම්බන්ධ අයෙකු නොවන බවයි.
මේ බව වැඩි දුරටත් පරික්ෂා කර තහවුරු කිරීම උදෙසා නෙවිල් නමැති ජේෂ්ඨ අපරාධ පරීක්ෂකයෙකු වෙත ආකාශ්ව යොමු කරන ලදී. මෙහිදී නෙවිල් විසින් අපරාධ සදහා යොදාගන්නා විවිධාකාර ගිනිඅවි හා පතරොම් වර්ග ආකාශ් වෙත ඉදිරිපත් කර ඒවා හදුනන්නේ දැයි විමසා බැලුවේය. මෙහිදි නෙවිල්ව විස්මයට පත් කරමින් ආකාශ් කිසිදු අපහසුවකින් තොරව ඒ සියල්ල හදුනා ගත්තේය. ඉන්පසුව හදුනාගැනීම සදහා ආකාශ්ට ලැබුණේ ගලවා දැමූ ගිනිඅවි වල කොටස්ය. ඔහුට එයින් හදුනාගත නොහැකි වූයේ අතීතයේ පරිහරණය කළ නමුත් දැන් භාවිතයේ නොයෙදෙන පැරණි පිස්තෝලයක කොටස් කිහිපයක් පමණි.
ගිනිඅවි පිළිබදව ආකාශ් සතු මෙම විශේෂඥ දැනුම නෙවිල්ගේ අවධානය මෙම තරුණයා කෙරෙහි යොමු කිරීමට සමත් විය. සැබවින්ම නෙවිල් දන්නා පරිදි මෙවැනි දැනුමක් තිබිය හැක්කේ මෙම ක්ෂේත්‍රය තුළ වසර ගණනාවක් නියැලුණු අත්දැකීම් වලින් පරිපූර්ණ ජේෂ්ඨ නිලධාරියෙකුට පමණි.
“ඔයාට හදන්න ලැබිල තියෙන හොදම වෙපන් එක මොකද්ද?” නෙවිල් ඇසුවේය.
ආකාෂ් පිළිතුරු දුන්නේ ස්වල්ප වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“ස්නයිපර් එකක් සර්.”
“ඒ කොයි කාලෙද?”
“මාස පහකට හයකට විතර කලින්.”
“මොකද්ද ඒකෙ තිබ්බ අවුල?”
“මට මතක විදියට සර් ඒකේ බට වල පොඩි ඇදයක් තිබුණා. හරියට ටාගට් ගන්න බෑ කියල තමයි කිව්වෙ.”
නෙවිල් කල්පනා කරන්නට විය. ඔහුගේ සිතෙහි කිසියම් ආකාරයක නව අදහසක් පහළ වෙමින් තිබුණි. රාජකාරි ලිපි ලේඛන පිළියෙල කිරීමෙන් අනතුරුව පසුදින උදෑසන නිදහස් වීමට හැකි බව පැවසූ නෙවිල් තාවකාලිකව ආකාශ්ගෙන් සමුගත්තේ නැවතත් සවස් වරුවේ මුණගැසීමට අවශ්‍ය බව පවසමිනි.
පැවසූ පරිදිම එදින සවස පහට පමණ නෙවිල් තවත් අමුත්තෙකු සමග ආකාශ් රදවා සිටි කුටිය වෙත පැමිණියේය. ගජසිංහ නමින් හැදින්වූ අඩි හයක් පමණ උස මුහුණ පුරා රැවුල වවාගෙන සිටි එම අමුත්තා ප්‍රතාපවත් පෙනුමැති මිනිසෙකු විය. කෙටි කතා බහකින් අනතුරුව කොටස් වලට වෙන් කළ ගිනිඅවියක කොටස් ආකාශ් වෙත ලබා දී තමන් ඉදිරියේ එය නැවත සවිකරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
දුටු ක්ෂණයෙහිම මෙය කුමන වර්ගයේ ගිනි අවියකට අයත් කොටස් දැයි ආකාශ් හදුනාගත්තේය. ඉන්පසුව පැමිණි නිලධාරීන් දෙදෙනාව විස්මයට පත් කරමින් කඩිසරව ක්‍රියාත්මක වූ තම දෑත් ආධාරයෙන් එය නැවත සවි කිරීමට ඔහුට ගත වූයේ සුළු කාලයක් පමණි.
සම්පූර්ණයෙන්ම නිවැරදිව සවි කළ ගිනි අවිය අතට ගත් ගජසිංහ තත්පර කිහිපයක් එය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේය. පුදුමයට පත් සළකුණු ඔහුගේ දෙනෙතෙහි පැහැදිලිව සටහන් වී තිබුණි.
“මං කිව්ව හරි නේද?” මෙතෙක් වෙලා පැවති නිහඩතාවය බිදිමින් නෙවිල් ඇසුවේය.
ඉන්පසුව ඇති වූ මිනිත්තු කිහිපයක සංවාදයක් තුළ නිලධාරින් දෙදෙනා විසින් ආකාශ්ගේ උපන්ගම, පවුලේ විස්තර වැනි විවිධාකාර තතු විමසන ලදී. එම තොරතුරු විමසීම අවසන් වූයේ ගජසිංහ විසින් විමසන ලද ආකාශ්ගේ විමතියට හේතු වූ පැනයකිනි.
“ඔයා කැමතිද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට එකතු වෙලා අපිත් එක්ක වැඩ කරන්න?”