Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 12
ISBN 978-955-44323-3-8
පළමුවෙන්ම මෙය සාමාන්‍යය මනුෂ්‍යයෙකුට විශ්වාස කිරීමට අපහසු අතිශයින්ම විශ්මයජනක සිදුවීම් මාලාවක් බව කිව යුතුය. මෙම සිද්ධි දාමයේ ආරම්භයක් හෝ අවසානයක් පැවසීම කළ නොහැකි දෙයකි. සැබවින්ම එය කවදා හෝ මිනිසාට සොයා ගැනීමට හැකිවේද යන්නත් සැක සහිතය.
එය 2023 ඔක්තෝබර් මාසයේ අග භාගයේ දිනයකි. එම දිනයන් තුළ ඉන්දියානු සාගරයේ ස්ථාන කිහිපයක පීඩන අවපාතයන් ක්‍රියාත්මක වූ හෙයින් දිවයිනේ මුහුදුබඩ පළාත් රැසකට ගිගුරුම් සහිත තදබල වැසි ඇතිවන්නට විය. එම නිසා ආකාශ්ද එදින තම රැකියාව කරන ගිනිඅවි අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයට පැමිණිමට තරමක් ප්‍රමාද විය.
ප්‍රධාන ශාලාවේ තිබූ මේසයකට හේත්තු වී වෙනත් නිලධාරියෙකු සමග කතාවක නිරත වී සිටින නෙවිල්ව ආකාශ් ඈත සිටම දුටුවේය. කිසියම් ආකාරයක අලුත් හෝ බරපතල රාජකාරියක් ලැබීමට නියමිත බව ආකාශ් අනුමාන කළේය. එසේ නොමැතිව නෙවිල් මෙම ස්ථානයට එන්නෙ කලාතුරකිනි. එසේම එම රාජකාරිය බොහෝ දුරට තමන්ට භාර වීමට ඇති එකක් බවටද හෙතෙම අනුමාන කළේය.
මේ වන විට ආකාශ්ගේ සේවා කාලය මාස අට ඉක්මවා ගොස් තිබුණි. ගිනිඅවි අලුත්වැඩියා තාක්ෂණික අංශයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ හෙයින් මේ වන විට ආකාශ් එම දෙපාර්තමේන්තුව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබුණි. ඒ නිසාම හදිසි හෝ බරපතල රාජකාරි බොහෝ විට ආකාශ්ට භාර දීම නෙවිල් සහ ගජසිංහ පුරුද්දක් කරගෙන සිටියෝය. මේ නිසා තමා එම දෙපාර්තමේන්තුවේම රාජකාරි කරන ලක්මාල් ඇතුළු තවත් කිහිපදෙනෙකුගේ නොරිස්සුමට ලක් වී ඇති බවද ආකාශ් දැන සිටියේය.
“අද උදෙන්ම නාගෙන වගේ?” තමා දෙසට ඇවිද එන ආකාශ්ගේ වැසි දියෙන් තරමක් තෙත බරිත වූ ඇදුම් දෙස බලමින් නෙවිල් ඇසුවේ සිනාසෙමිනි.
“ඔව් සර්, එළියට බහිනකොටම වැස්ස සෙට් වුණා.” ආකාශ්ද පෙරළා සිනාසෙමින් පිළිතුරු දුන්නේ සිල්ක් රෙද්දෙන් මැසූ තමාගේ කළු පැහැති වැහි කබාය එම ස්ථානයේ තිබූ රාක්කයක එල්ලමිනි.
“ආකාශ්, ටිකක් හදිසි වැඩක් තියෙනවා. මේක පුළුවන් තරම් ඉක්මණටම කරගන්න ඕනෙ. සතියක් වගේ ඇතුලත රිපෝට් එකක් ඉල්ලනවා.” නෙවිල් කීවේ තරමක් බැරෑරුම් හඩකිනි.
“මොකද්ද සර් කේස් එක?”
“යුද්ධ කාලේ වෙච්ච පරණ කේස් එකක්. දැන් මේ හදිසියේම පත්තු වෙලා ඇවිල්ලා. මෙන්න මේක පොඩ්ඩක් කියවල බලන්න.” නෙවිල් මේසය මත වූ ලිපිගොනුවක් ආකාශ් වෙත දික් කරමින් පැවසුවේය.
එය අතට ගත් ඔහු ලිපිගොනුව පෙරළා බැලුවේය. එහි වූයේ අත් අකුරින් ලියන ලද සාමාන්‍යය පොලිස් වාර්තාවක ඡායා පිටපතකි. නමුත් එය සමග අමුණා තිබූ කිසියම් හමුදා බලඇණියක ලාංඡනය සහිත තරමක් පැරණි සටහන ඔහුගේ කුතුහලය ඇවිස්සීමට හේතු විය. එහි දිනය ලෙස සටහන් වූයේ 2007 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනයකි. ස්ථානය දිවයිනේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි දෙව්ගල නමැති ගම්මානයකි.
පසෙකින් වූ පුටුවක හිද ගත් ඔහු ලිපිගොනුවේ තිබූ වාර්තා කියවා බැලුවේය. එය මීට දශක එකහමාරකට පමණ පෙර එනම් සිව්වන ඊළාම් යුද්ධය පැවති කාල වකවානුවේදි කොටි සංවිධානය විසින් සිදුකළ සිවිල් වැසියන් සහ ග්රාමාරක්ෂක භටයන් කිහිපදෙනෙකු ඝාතනය කිරීමක් පිළිබදව වාර්තාවකි. දශක එකහමාරකට පමණ පෙර අතීතයේ සිදු වූ මෙම සිද්ධිය නැවත විමර්ෂණයට ලක් කිරීමට හේතුව ලිපිගොනුවෙහි සදහන් නොවූවද දෙව්ගල ග්‍රාම නිලධාරි වසමේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එවන ලද රාජකාරි ලිපියක එය සදහන්ව තිබුණි. නමින් මහේෂ් වූ එම පොලිස් නිලධාරියා විසින් මීට සතියකට පමණ පෙර මෙම ලිපිය තැපැල් කරන්නට ඇතැයි එහි දිනය දුටු ආකාශ් වටහා ගත්තේය.
මහේෂ් බණ්ඩාර,
ප්‍රධාන පොලිස් වසම,
දෙව්ගල.
2023-10-21
(මෙම ලිපිය මීට පෙර දෙව්ගල පොලිස් වසමේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හැරිස් ප්‍රේමරත්න මහතාගේ අනුදැනුම යටතේ 2007 අගොස්තු මස 11 වන දින කරන ලද අංක 232 බී වාර්තාව සමග බැදේ.)
මෙලෙස ආරම්භ කර ඇති ලිපියෙහි අන්තර්ගතයෙහි වූයේ අදාළ සිද්ධියේ ඇති සැක කටයුතු සහිත නොදන්නා පැතිකඩක් පිළිබදව විස්තරයකි.
මහේෂ්ගේ අදහසට අනුව මෙම සමූහ ඝාතනය සදහා මුදලට යටවූ හමුදා නිලධාරියෙකුගේ සහයද ලැබී ඇත. එම සැකයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ හමුදා පාලන බල ප්‍රදේශයක් යටතේ පැවති දෙව්ගල ගම්මානයට ඝාතනය සිදුවූ කාල වකවානුවේදී නිරායුධ කොටි සාමාජිකයන් සාමාන්‍යය ජනතාව සේ වෙස් වලාගෙන ඇතුල් වූ බවට බුද්ධි අංශ තොරතුරු ලැබී තිබුණද ප්‍රහාරයක් දියත් කිරීම සදහා අවශ්‍ය අවි ආයුධ ඔවුන් සතුව නොතිබීමයි. නමුත් ලැබී ඇති සාක්ෂි වලට අනුව ප්‍රහාරය දියත් කර ඇත්තේ එම ප්‍රදේශයේම රාජකාරියෙහි යෙදුණු හමුදා සෙබළුන් පරිහරණය කරන ගිනිඅවි භාවිතයෙනි. ඒ අනුව කිසියම් ආකාරයක නීතිවිරෝධි ආයුධ පිට කිරීමක් සිදු වී ඇතැයි තමා සැක කරන බව මහේෂ් සිය ලිපියෙහි සදහන් කර තිබුණි.
“අපි මොකද්ද කරන්න ඕනෙ සර්? බුලට්ස් චෙක් කරල රිපෝට් එකක් හදන්නද? ආකාශ් ඇසුවේ ලිපිගොනුව මේසය මත තබමිනි.
“ඔව්, ඒවා දෙව්ගල පොලීසියෙ තියෙනව කියල කිව්ව. අපි මේ රිපෝට් එක දවස් පහක් වගේ ඇතුලත දෙන්න ඕනෙ. ඒ හින්දා ඔයා එහෙට ගිහිල්ල වැඩේ බලල හොයාගන්න පුළුවන් ඔක්කොම විස්තර ටික දාල නිශාට ඊමේල් එකක් එවන්න. ඉතුරු ටික එයා කරයි.”
“හරි සර්, එහෙනම් මං කවද්ද එහෙට යන්නෙ?”
“ම්… දැන් නම් ටිකක් පරක්කු වුණා. වැස්සත් එක්කනෙ. ඔයා මෙහෙම කරන්න. හදිසි වැඩ ටික ඉක්මණට ඉවර කරල දාලා අද ටිකක් වේලසනින් ඔෆ් වෙන්න. හෙට උදෙන්ම පිටත් වෙන්න. ඔයා ගෙනියන්න ඕනෙ ඩොකියුමන්ට්ස් ටිකයි, මහේෂ්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් ටිකයි නිශා ගාව ඇති. ඒ නිසා ඔෆ් වෙන්න කලින් එයාව හම්බවෙලා යන්න.”
* * *
ඉහත සංවාදයෙන් දින දෙකකට පසුව එළඹුණු දිනයේ උදෑසන ආකාශ් දෙව්ගල බලා පිටත් විය. පාළු ජනශුන්‍ය ප්‍රදේශ හරහා වැටුණු මග ඉතා දීර්ඝ එකක් වූ හෙයින් දෙව්ගල පොලිස් වසමට ළගා වන විට සවස හයද පසු වී තිබුණි.
පොලිස් වසම පිහිටි ගොඩනැගිල්ල අබලන් නොවූවද ඉතා පැරණි එකක් විය. එය ප්‍රමාණයෙන් වූවත් මේ වන විට එහි සිටියේ මහේෂ්ට අමතරව තවත් එක් පොලිස් නිලධාරියෙකු පමණි. දැන් තත්වය එසේ වූවද සිවිල් යුද්ධය පැවති කාලය තුළදී රාජකාරියෙහි යෙදුණු ග්රාමාරක්ෂක හා හමුදා භටයන් මෙහි නවාතැන් ගෙන සිටි බව ආකාශ්ට පසුව දැනගන්නට ලැබුණි.
රාත්‍රී ආහාරයෙන් පසුව කල්වේලා ඇතිව නිදාගැනීම සදහා ආකාශ් සිය කුටියට පැමිණියේ ගමන් විඩාවත් පසුදින උදෑසන කිරීමට නියමිත වැඩ බොහෝමයක් තිබීමත් හේතුවෙනි. තරමක උණුසුමක් දැනුණු හෙයින් ඔහු කුටියෙහි වූ ජනෙල් පියන් විවෘත කළේය. ඒ සමගම නැගෙනහිර සාගරය දෙසින් හැමූ ලුණු රස මිශ්‍ර වූ සුළගක් කුටිය හරහා හමා ගියේය. වෙරළ තීරය ඔහු සිටි කුටියේ සිට මීටර හාරසියයක් පමණ ඈතින් පිහිටියද නිහඩ ගම්මානය හරහා හමා ගිය සුළග හේතුවෙන් රළ බිදෙන හඩ විටෙන් විට ඔහුට ඇසෙන්නට විය. ගොඩබිම දෙසට වෙන්නට එක යායට වැවුණු තුරු වැල්ද, ඊටත් දුරින් නැගෙනහිර වන රක්ෂිතයට මායිම්ව පිහිටා තිබූ දෙව්ගල නමැති දැවැන්ත පර්වතයද යෝධයෙකුගේ දැවැන්ත අදුරු ඡායාවක් මෙන් සද එළිය තුළින් යන්තමින් පෙනෙන්නට විය.
“මහත්තය දන්නවද ඔය පරුවතේ සෑහෙන්න දිග ඉතිහාසයක් තියෙන තැනක්.” ආකාශ්ගේ සිහියට පැමිණියේ මීට හෝරා දෙක තුනකට පමණ පෙර මෙම පර්වතය දුටු මොහොතේ තමා මහේෂ්ගේ සහය නිලධාරියා වූ නිමල්ගෙන් ඒ පිළිබදව ඇසූ විට ඔහු පැවසූ කතාවයි.
“ඕක මහ පුදුම තැනක් මහත්තයො. ඔතන නොයෙකුත් හාස්කම් තියෙනවා.”
“හාස්කම් කිව්වෙ?”
“මං දැන් මේ පළාතෙ වැඩට ඇවිල්ල අවුරුදු හතරකට වැඩියි. ඉතින් මහත්තයො ඔය කාලෙ ඇතුලත ඔය පරුවතේ සිද්ධවෙන දේවල් මං මේ ඇස් දෙකෙන්ම දෙවතාවක් දැක්ක. මයෙ හිතේ සමහර කාල වලදි ඔය පරුවතේට දෙවි දේවතාවුන් වහන්සේල වැඩම කරනව. මුලින් ගම්මු ඕක ගැන දොඩනකොට මමත් හිතුවෙ බේගලයක් කියල. ඒත් පස්සෙ වතාවක් ඔය දේවතා එළි මං මේ ඇස් දෙකෙන්ම දැක්කා. මහත්තය දවස් දෙක තුනක් මේ පළාතෙ නතරවෙන්න ආපු හින්ද මහත්තයගෙ ආරක්ෂාවටයි මං මේ කියන්නෙ. රාජකාරියකට උනත් ඔය පැත්තෙ අඩිය තියන්න යන්න එපා මහත්තයො. ඔය පරුවතේ දේව බැල්ම වැටිච්ච දෙවියන්ගේ අඩවියක්. ආයෙ ඒකෙ දෙකක් නෑ.”
අද්භූත දේ ගවේෂණයට ප්‍රිය කළ ආකාශ්ට එම පුවත රස අදුනක්ම විය. එම නිසා මේ ප්‍රදේශයෙන් පිටව යාමට පෙර සුළු වශයෙන් හෝ ඒ පිළිබදව සොයා බැලීමට හෙතෙම අදිටන් කර ගත්තේය.