Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 17
ISBN 978-955-44323-3-8
ඔවුන් දෙව්ගල පර්වතය මුදුනට ළගා වන විට වේලාව පෙරවරු හතට ආසන්න විය. පර්වතය මුදුනේ භූමිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා විශාල බව අවට පිරික්සූ පළමු මිනිත්තුවෙහිම ඔවුන්ට අවබෝධ විය. ගම්මානයේ සිටි බැලූ විට නොපෙනුනද දෙව්ගල පර්වතයේ අනිත් පස එනම් රක්ෂිතයට මුහුණලා පිහිටි ප්‍රදේශය පහළට විහිදුනු දිගු බෑවුමක් සහිත භූමි භාගයකි. මධ්‍යහන චණ්ඩ හිරු රැස් පර්වතය මුදුනට පතිත වීමට පෙර සිය පරීක්ෂණය අවසන් කිරීමේ තීරණයත් සමග ඔවුහු දිශා තුනකට බෙදී ගියෝය.
ආකාශ්ට භාර වූයේ පර්වත බෑවුමෙහි සාගරයට මුහුණලා පිහිටි ප්රදේශයයි. භූමිය පරීක්ෂා කරමින් ඇවිද ගිය ඔහුට අවබෝධ වූයේ දෙව්ගල යනු සම්පූර්ණයෙන්ම කළුගල් පර්වතයක් නොවන බවයි. පස් රැදීම හේතුවෙන් බොහෝ ස්ථාන වල දැවැන්ත වෘක්ෂලතා සරුවට වැඩී තිබුණි. ඔහු නොකඩවාම සැලකිල්ලෙන් යුතුව භූමිය පරීක්ෂාවේ යෙදුණද සෝමපාල පැවසූ පරිදි විශේෂ භූවිෂමතාවයක් හෝ සළකුණක් ඔහුට නම් දක්නට නොලැබුණි. මෙලෙස මිනිත්තු කිහිපයක් තුරුවැල් අතරින් ඇවිද ගිය ඔහු හදිසියෙන්ම එළිමහන් බිමකට පැමිණියේය. සරුවට වෘක්ෂලතා වැඩුණු බිමක මේ ආකාරයේ එළිමහන් බිමක් තිබීම තරමක් අස්වාභාවික වූවද එවැනි පිහිටීමක් විවිධ ස්වාභාවික හේතුන් මත ඇති විය හැකි බව ඔහුට සිතුණි. එම නිසා මේ පිළිබදව බෑවුමෙහි අනිත් කෙළවරේ සිටින මහේෂ්ට දැනුම් දීම අනවශ්‍යය බව හෙතෙම කල්පනා කළේය.
විෂ්කම්භය අඩි දහයක් පමණ වූ වෘත්තයක හැඩය ගත් එම භූමි භාගයෙහි එකදු තණකොළ ගසක් හෝ වැඩී නොතිබුණු අතර පාෂාණ දිරාපත් වීමෙන් සෑදුණු පස් හා කුඩා ගල් කැබලි පමණක් තිබුණි. එය මත තරමක් ඉදිරියට ඇවිද ගිය ඔහු ඈතින් පෙනෙන තෙරක් නොපෙනෙන ඉන්දියානු සාගරය දෙස නෙත් යොමා ගෙන මෙවැනි භූවිෂමතාවයක් ඇති වීමට බලපෑ හැකි හේතු මොනවා දැයි කල්පනා කරන්නට විය.
ආකාශ් මේ අයුරින් මිනිත්තු තුනක් පමණ සිටින්නට ඇත. මුහුදු සුළං වැදීම නිසා ඇති වූයේ යැයි සිතූ සුළු නිදිමත මිනිත්තුවක පමණ කාලයක් ඇතුලත දෑස් පියවෙන තරමට දැඩි විය. තවත් තත්පර කිහිපයක් ඇතුලත එය කොතරම් උග්‍ර වූයේ දැයි කිවහොත් කරකැවිල්ලක් සමග හිස බමන ගතියක්ද දැනෙන්නට විය. හදිසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මෙය සිදු වූ බව ඔහු නොසිතුවේය. නමුත් සිදුවන්නේ කුමක් දැයි ඔහුට සිතාගැනීමට නොහැකි විය. වහාම මහේෂ් සිටින ස්ථානයට යා යුතු යැයි හැගුණු මොහොතේම ඔහුගේ නාසයට දැනුණේ කිසියම් ආකාරයක පිළිස්සෙන ගදකි. ඒ සමගම දැනුණු කිසියම් අමුත්තක් හේතුවෙන් හෙතෙම සිය දෑත් දෙස බැලුවේය. පුදුමයකි! ඔහුගේ රෝම කූප වල අගිස්ස දැවෙමින් තිබුණි. පිළිස්සුනු ගද දැනුණේ එම නිසාය. ඒ සමගම ඔහුට කාරණය අවබෝධ විය. තමා අධි බලැති විකිරණ ක්ෂේත්රයකට හෝ විද්‍යුත් අරෝපණ ක්ෂේත්රයකට හසු වී ඇත. බොහෝ විකිරණ වර්ග මිනිස් සිරුරට අහිතකර බලපෑම් එල්ල කරන බැවින් මෙය ඉතා භයානක තත්වයක් බව විද්‍යාවේදී උපාධි අපේක්ෂකයෙකු වූ ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. හැකි ඉක්මණින් එම ස්ථානයෙන් ඉවත්වීමේ අරමුණින් ආපසු ඇවිද යාම ඇරඹුවද අඩි පහකට වඩා ඔහුට යා නොහැකි විය. ආකාශ් විකිරණ භූමියෙහිම මුණින්තලාව ඇද වැටුණි. සැබවින්ම ඔහු සිහිසුන් වූවා නොව, තද නින්දකට භාජනය විය.
* * *
මුහුණට වැටුණු දිය දහරාවක සිසිලස නිසා ආකාශ් නැවත අවදි වන විට පැය දෙකක් පමණ ගතවී තිබුණි. දෑස් විවර කළ විටම ඔහු දුටුවේ තමා දෙස විමතියෙන් බලා සිටින මහේෂ්ගේ සහ විමුක්ති ස්වාමීන් වහන්සේගේ මුහුණුය. ඒ සමගම ඔවුන් මේ සිටින්නේ විකිරණ කලාපයේ බව ඔහුට සිහි විය.
“අයින් වෙන්න. මෙතන ඉන්න එපා. ඉක්මණට… අර ගස් තියෙන පැත්තට යන්න.” වේගවත් හඩින් පවසමින් වහාම නැගී සිටි ආකාශ් අනිත් දෙදෙනාවද තල්ලු කරමින් තුරුවැල් සහිත පෙදෙසට දුවන්නට විය.
“ඇයි? මොකද්ද ප්‍රශ්නෙ?” කිසිවක් නොදත් මහේෂ් පුදුමයෙන් ඇසුවේය.
“මෙතන පොළොවෙන් විකිරණ පිටවෙනව පේන්නෙ නැද්ද? ගස් මුකුත් වැවිල නැත්තෙත් ඒකයි. ඉක්මණ් කරන්න.”
ඔවුන් තිදෙනා හැකි ඉක්මණින් අස්වාභාවික භූමි භාගයෙන් පිට වී වෘක්ෂලතා සහිත ප්‍රදේශයට පැමිණියේය.
“මචං, මොකද්ද වුණේ?” මහේෂ් විමසුවේ තවමත් කිසිවක් තේරුම් ගත නොහැකි හෙයිනි.
“අතන පොළොවෙ මොකක් හරි තියෙනව. මං එතනට ඇවිල්ල විනාඩි පහක්වත් ගියෙ නෑ තද නිදිමතක් එක්ක කරකැවිල්ලක් ඇවිල්ල මාව සිහි නැතුව ඇදගෙන වැටුණා.” පැවසූ ආකාශ් තත්පර කිහිපයක විරාමයකට පසුව “දැන් වෙලාව කීයද?” ඇසුවේය.
“නවයයි කාලයි.”
“මොකක්? නවයයි කාලයි! ඒ කියන්නෙ මං පැය දෙකක් විතර සිහිනැතුවද ඉදල තියෙන්නෙ.”
එය ඇසූ මහේෂ් සහ විමුක්ති තෙරුණ් මුහුණට මුහුණ බලා ගත්තෝය. දෙදෙනාගේම මුහුණු වල ප්‍රශ්නාර්ථයක ලකුණු දක්නට ලැබුණි.
“මහත්තය සිහිනැතුව නෙමෙයි. නිදාගෙනයි හිටියෙ.”
විමුක්ති තෙරුණ්ගේ වදන් අසා එවර පුදුමයට පත් වූයේ ආකාශ්ය.
“නිදාගෙන හිටියෙ?” පහත් හඩින් මිමිණු ආකාශ් කිසිවක් සිතාගත නොහැකිව මහේෂ්ගේ මුහුණ දෙස බැලුවේය.
“ඔව්, උඹ තදට හුස්ම අල්ල අල්ල නිදාගෙන හිටියෙ. අපි විනාඩි පහක් විතර උඹට කතා කර මේ වතුර බෝතලේ ඉවර වෙනකන්ම වතුර ගැහුවට පස්සෙ තමයි උඹ ඇහැරුනේ.” මහේෂ් පැවසුවේ සිය අතෙහි හිස්වී තිබූ වතුර බෝතලය පෙන්වමිනි.
එය සැබෑවක් බව ඔහුට හැගුණේ තම හිසකෙස් සහ කමිසයේ කොලරය සම්පූර්ණයෙන්ම ජලයෙන් පෙගී තිබූ හෙයිනි. නමුත් චණ්ඩ හිරු රැස් වලට නිරාවරණය වෙමින්, ගල් හා වැලි සහිත රළු භූමියක එකවරම පැය දෙකක ගැඹුරු නින්දකට වැටීම ඔහුට කිසිසේත්ම විශ්වාස කළ නොහැකි විය. නමුත් විමුක්ති තෙරුණ් සහ මහේෂ් පවසන අන්දමට සිදු වී ඇත්තේද එයයි.
“ඔයගොල්ලො ඇත්තටම අතන විනාඩි පහක් විතර හිටියද?”
“ඔව්, උඹව නැගිට්ටව ගන්න අපිට සෑහෙන්න අමාරු වුණා.”
“ඉතින් කාටවත් මුකුත් වෙනසක් දැනුණෙ නැද්ද? නිදිමතක්, කරකැවිල්ලක් වගේ දෙයක්.”
“නෑ. එහෙම මුකුත් නෑ.”
ආකාශ් සුළු මොහොතක් කල්පනා කළේය. සිදු වූ දෙය ඔහුට තේරුම්ගත නොහැකි විය. සිය දෑතෙහි රෝම පිළිස්සුණු බව හදිසියේම මෙනෙහි වූ හෙයින් වහාම ඔහු සිය දෑත් පරීක්ෂා කළේය. නමුත් පෙර තිබුණාට වඩා වෙනසක් දක්නට නොමැති විය. එසේම තදබල විකිරණ වලට නිරාවරණය වූ මිනිස් සිරුරක දක්නට ලැබෙන ආකාරයේ කිසිදු සළකුණක් ඔහු වෙතින් දක්නට නොතිබුණි. එසේ නම් සිදු වූයේ කුමක්ද? තමා බාහිර බලවේගයකට අසු වුණා වත්ද? නමුත් දෑතෙහි රෝම දැවෙන දර්ශනය හැර වෙනත් කිසිදු විශේෂ යමක් නොදුටු බවද ඔහුට සහතිකය.
තවත් මිනිත්තු කිහිපයකට පමණ පසුව ඔවුන් නැවතත් විකිරණ තිබුණේ යැයි පැවසූ භූමිය වෙත ගොස් එහි වඩාත් හොදින් පරික්ෂා කරන්නට විය. ප්‍රථමයෙන් ආකාශ් එයට විරුද්ධ වූවද, පරීක්ෂාව ආරම්භ කර සුළු මොහොතකට පසුව එහි පෙර තිබූ ආකාරයේ අනතුරක් නැති බව ඔහුටද පෙනුණි. එසේ නම් තමාට අත්විදීමට සිදුවූයේ කුමක්ද? එය සිහිනයක් නම් නොවූ බව ඔහුට විශ්වාසය.
කිසිදු වැදගත් යමක් සොයාගත නොහැකිව ඔවුන් සිය ගවේශණය අවසන් කර නැවත ගම්මානයට පැමිණෙන විට දහවල් දෙක පසු වී තිබුණි. විමුක්ති තෙරුණ්ගෙන් සමුගත් ආකාශ් සහ මහේෂ් නැවත පොලිස් ස්ථානයට පැමිණියෝය. එදින රාත්‍රී ආහාරය ගන්නා අතරතුරදී පවා මහේෂ් සිදුවූයේ කුමක්ද යන වග ආකාශ්ගෙන් දෙවරක්ම විමසා සිටියද, ඒ පිළිබදව කතා කිරීමට ආකාශ් උනන්දු නොවූයේය. අවසානයේදී සිය කුටිය තුළට වැදුණු ආකාශ් සිය ඇදුම් හා අනෙකුත් බඩු බාහිරාදිය අසුරන්නට වූයේ පසුදින උදෑසනින්ම කොළඹ බලා පිටත්වීමේ අරමුණෙනි.
උදෑසනින්ම දෙව්ගලින් පිට වූවද බස් රථ ප්‍රමාදයක් හේතුවෙන් ඔහු නවාතැන් ගෙන සිටින කොළඹ පොලිස් නේවාසිකාගාරය වෙත ළගා වන විට සවස පහ පසුවිය. එදින රාත්‍රී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආකාශ් පසුදින නිවාඩු දිනයක් හේතුවෙන් උදේ ආහාරය සදහාද තමාට කතා නොකරන ලෙස නේවාසිකාගාරය භාර නිලධාරියාට පවසා සිය කුටියට ගියේ ආහාර ගැනීමට තරම් ප්‍රියතාවයක් නොදැනීමත්, අධික නිදමතත් හේතුවෙනි. යන්තම් මුහුණ සෝදා ගැනීමෙන් අනතුරුව යහනට පිවිසි ඔහු ඉතා ඉක්මණින් ගැඹුරු නින්දකට වැටුණි.
* * *
“මහත්තයා, ආකාශ් මහත්තයා?” කුටියේ දොරට තට්ටු කරමින් සිටි නිලධාරියාගේ හඩින් අවදි වූ ආකාශ්ගේ දෙනෙත පුරුද්දට මෙන් ඔරලෝසුව වෙත ගියේය. එහි වෙලාව දැක්වුණේ සවස හය පසු වී විනාඩි දහයක් ලෙසය. තමා කුටියට පැමිණෙන විටද හවස හත පසු වී තිබූ හෙයින් ඔරලෝසුවේ කිසියම් දෝෂයක් ඇතැයි සිතූ ආකාශ් එය පසෙකින් තබා කුටියෙහි දොර ඇරියේය.
“ආ… මහත්තයා, උදේටයි දවල්ටයි දෙකටම නොකා කාමරේ අස්සටම වෙලා හිටපු හින්ද මං මේ ආවෙ රෑටවත් කනවද කියල අහන්නයි.” නේවාසිකාගාරය භාර පීරිස් නමැති නිලධාරියා ඇසුවේ ආකාශ්ගේ හැසිරීම ගැන විමතියෙනි.
පීරිස් මේ පවසන්නේ කුමක්දැයි ආකාශ්ට තත්පර කිහිපයක් යනතුරු වටහා ගත නොහැකි විය.
“පීරිස්, දැන් වෙලාව කීයද?”
“දැන් වෙලාව… හයයි දහයයි. මහත්තය කාමරේ ඇතුලෙම හිටපු හින්ද උදේ දවල් යනව තේරෙන්නෙ නැතුව ඇති නේද?”
විමතියට පත් ආකාශ් තත්පර කිහිපයක් පීරිස් ඉදිරියේ නිහඩව සිටියේය. එසේ නම් ඔරලෝසුවේ දෝෂයක් නොමැත. එනම් තමා එකදිගට පැය විසිහතරක් පමණ නින්දේ පසු වී ඇත. මීට පෙර කිසිදිනෙක ඔහුට එවැන්නක් සිදු වී නොමැත.
“ඔව් පීරිස්, මට මේ වැඩ වගයක් තිබුණා. හරි, මං රෑ කෑමට තව ටිකකින් එන්නම්.” පැවසූ ආකාශ් දොර වසා දමා ආපසු පැමිණ සිය යහන මත හිද ගත්තේය.
දෙව්ගල ගමනින් පසුව තමාට යම්කිසි ආකාරයක බලපෑමක් සිදුවී ඇති බව ඔහුට දැන් සක්සුදක් සේ පැහැදිලිය. තවත් පමා නොවී වෙද්‍යවරයෙකු හමුවීමට යා යුතු බව ඔහුට සිතුණි. නමුත් රෝගය ලෙස කුමක් පවසන්නද? රෝග ලක්ෂණය ලෙස වැඩිපුර නින්ද යන බව පවසන්නද? ඔහු වෙනදාටත් වඩා යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයකින් පසුවෙයි. දීර්ඝ නින්දෙන් අවදි වීමෙන් පසුව මේ මොහොතෙහි සිතේ ඇති කුකුස නොවන්නට ගතට මෙන්ම සිතටද දැනෙන්නේ ප්‍රබෝධමත් බවකි. එම නිසා වෙද්‍යවරයෙකු හමුවීමට යාම හෙතෙම දින කිහිපයකට කල් දැම්මේය.
කළ යුත්තේ කුමක්දැයි නිශ්චිත අදහසක් නොමැතිව යහනෙහි හිද සිටි ආකාශ්ගේ දෙනෙත මීළග මොහොතේ ඉබේටම මෙන් යොමු වූයේ කුටියේ අනිත් පස බිත්තියේ එල්ලා තිබූ දින දර්ශනය වෙතය. ස්වල්ප මොහොතක් හෙතෙම හේතුවක් නොමැතිව ඒ දෙස බලා සිටි ආකාශ්ට පළමු වරට තමාට සිදුවී ඇති විපර්යාසයේ ප්‍රතිදානයක් අවබෝධ විය.
කුටියේ අනිත් පස බිත්තියේ එල්ලා ඇති දින දර්ශනය යට කෙළවරෙහි කුඩා අකුරින් ලියා තිබූ වාක්‍ය පේළිය කියවා අවසන් කරන තුරුම සාමාන්‍යය මිනිස් දෑසකට මෙතරම් දුර සිට ඒ තරම් කුඩා අකුරු කියවිය නොහැකි බව ඔහුට අවබෝධ නොවිය. කුතුහලයට පත් වූ ඔහු මීළගට සිදු කළේ පුවත්පත් පත්‍රයක් ගෙන එය කුටියේ එක් කෙළවරක බිත්තියේ අලවා හැකි තරම් ඈතට ගොස් ඒ දෙස බැලීමයි. අරුමයකි! ඔහුට සම්පූර්ණ පුවත්පත් පත්‍රයම හොදින් කියවිය හැකි විය. කුඩා වූවද ඔහුට එහි තිබූ සියලුම අකුරු හා වචන බොදවීමකින් තොරව වෙන් වෙන්ව දැකිය හැකි විය.
දැන් කළ යුත්තේ කුමක්දැයි හෙතෙම සුළු මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය. මිනිත්තු කිහිපයක් ඇතුලට ඉක්මණින් ඇද පැළදගත් ආකාශ් හැකි ඉක්මණින් නේවාසිකාගාරයෙන් පිට වී පාරට බැස්සේය. ඔහුට අවශ්‍යය වූයේ තමාව පරික්ෂා කර සිදු වී ඇති විපර්යාසය හදුනා ගැනීමටයි.
අතුරු මාර්ග අතරින් රථ වාහන පිරුණු මහා මාර්ගයකට පිවිසුනු විටම ඔහුට දැනුණේ වෙනදාට වඩා තරමක් ඝෝෂාකාරී බවකි. නමුත් ඝෝෂාකාරී බව තුළින් වූවද ඈතින් ගමන් කරන වාහනයක ශබ්දය පවා තමාට වෙන්කර හදුනාගත හැකි බවක් ඔහුට හැගුණි. තම ශ්‍රවණ ඉන්ඳ්රියන්ද කිසියම් ආකාරයක විපර්යාසයකට ලක් වී ඇති බව ඔහුට දැනුනද එය සනාථ කරගත හැකි ක්‍රමයක් හෙතෙම දැන නොසිටියේය. දිගින් දිගටම ඇසෙන ඝෝෂාකාරී ශබ්ද හේතුවෙන් ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කිරීම අසහනකාරී වූ හෙයින් ඔහු හැකි ඉක්මණින් එයින් ඉවත්ව අතුරු මාර්ගයකට හැරී පෙම්වතුන් සදහා ඉදිවූ එළිමහන් උද්‍යානයක් තුළට ගොස් විශාල නුග ගසක් යට තිබූ හුදෙකලා බංකුවක හිද ගත්තේය.
වටපිට බැලූ ඔහුට දක්නට ලැබුණේ අදුර බෝ වෙමින් තිබුණද තවමත් පෙම්වතුන් ජෝඩු කිහිපයක් තැනින් තැන එකිනෙකා සමග තුරුල් වෙමින් පිළිසදරෙහි යෙදෙන අයුරුය. සිතේ තිබූ අහේතුක බිය මේ වන විට පහව ගොස් තිබූ හෙයින් ඔහුට ලැබුණු හැකියාවන් වඩාත් හොදින් පරික්ෂා කිරීමට ආකාශ්ට අවශ්‍යය විය. ළගින්ම සිටි පෙම්වතුන් ජෝඩුවට ඔහු සිටි ස්ථානයේ සිට මීටර හතලිහක පමණ දුර ප්‍රමාණයක් තිබුණි. සන්සුන් සිතින් යුතුව හෙතෙම සිය අවධානය ඔවුන් වෙත යොමු කළේය.
මුල් තත්පර කිහිපයේදී තරමක් අපැහැදිලි වූවද ඉතා ඉක්මණින් ආකාශ්ට පෙම්වතුන් යුවළ කතා බස් කරන දෑ පැහැදිලිව අසන්නට හැකි විය.
“ඉතින් ඇයි බබා ඔයා එයා එක්ක කතා කරන්න ගියේ. ඔයා හොදටම දන්නවනේ මං ඒකට කැමති නෑ කියල.”
“මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ අනේ. මගදි හම්බවෙලා කතා කරාට පස්සෙ කතා නොකර වෙන මොකක් කරන්නද?”
ආකාශ් බිම බලාගෙන තනිවම සිනාසෙන්නට විය. අහම්බෙන් ලැබුණු විශ්මිත හැකියාවෙන් හෙතෙම උද්දාමයට පත්ව සිටියේය. ඉන්පසුව ඔහු තවත් අඩ හෝරාවක් පමණ එහි රැදී කතා බහ කරමින් සිටි පෙම්වතුන්ගේ බොළද වදන් වලට සවන් දෙන්නට විය. ඔහුට එය හාස්‍ය මුසු විනෝදයක් ගෙන දුන්නේය.