Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 19

ISBN 978-955-44323-3-8

එදින රාත්‍රියේ ලෝචනාට නින්දක් නොමැති විය. නිවසට ගිය විගස ඇය කළේ ආකාශ්ට දුරකතනයෙන් ඇමතීමය.

 

‘ඔබ ඇමතූ අංකය විසන්ධි කර ඇත. කරුණාකර නැවත ඇමතීමට පෙර අංකය පරික්ෂා කර බලන්න.’

 

ඇය තමා සතු සිම්පත් කිහිපයකින්ම උත්සහ කර බැලුවේය. නමුත් ප්‍රතිඵලයෙහි වෙනසක් නොවිය. ඔහු තමාට නොපවසාම ජංගම දුරකතන අංකය වෙනස් කරගෙන ඇත. ඇයට ඇති වූයේ ශෝකයක් සහ තරහකි.

 

“ඉන්නවකො. හම්බවුණාම මං අල්ලගන්න.” තමාටම පවසා ගත් ඇය මීළගට සතිස්ව දුරකතනයෙන් ඇමතුවාය. පළමු විමසුමේදී පිළිතුර වූයේ ආකාශ්ගේ අලුත් අංකයක් පිළිබදව තමන් නොදන්නා බවයි. නමුත් මේ කපටියා ආකාශ්ගේ ඉල්ලීම මත තමාට බොරු කියන බව ඇය දැන සිටියාය. බොහෝ වේලාවක් ඇවිටිලි කිරීමෙන් අනතුරුව ආකාශ්ගේ නව අංකය ලබා ගැනීමට ඇය සමත් විය.

 

ඇය ඔහුව ඇමතුවේ තමා සතු අලුත් සිම්පතකිනි. පැරණි අංකය හදුනාගෙන ඔහු ප්‍රතිචාර නොදක්වා සිටි යැයි ඇය බිය වූවාය.

 

“ආකාශ්, ඔයාට මාව අදුරගන්න පුළුවන්ද?”

 

“මට මොකද ඔයාව අදුරගන්න බැරි. ඉතින් කොහොමද ලෝචනා, කාලෙකට පස්සෙ.” බොහෝ කලකට පසුව ඇසුනු ඔහුගේ හඩ දෙසවන් හරහා ඇයගේ හදවතටම කිදා බැස්සේය. මේ හඩ ඇසීමට ඇය කොතරම් නම් කාලයක් බලා සිටියාද?

 

මිනිත්තුවක් පමණ ආගිය තොරතුරු කතා බහ කිරීමෙන් පසුව ඇය තම යෝජනාව ඔහුට ඉදිරිපත් කළාය.

 

“ආකාශ්, මට ඔයාව හම්බවෙන්න ඕනෙ. පුළුවන් තරම් ඉක්මණට.”

 

“ඒ මොකෝ, හදිසියේම?”

 

“ඒක මං හම්බවුණාම කියන්නම්. ඔයා එනව නේද? හෙට පුළුවන්ද?”

 

“ම්… හෙට නේද? හෙට පුළුවන් ලෝචනා. හැබැයි හවස තමයි. මොකද හෙට මං වැඩට යන්න ඕනෙ.”

 

“හරි, හරි. ඒකට කමක් නෑ. ඔයා වැඩට ගිහින් එන්න. ඔයාට පහමාර වෙද්දි අපි වෙනදා හම්බවෙන තැනට එන්න පුළුවන්නෙ?”

 

“ඔව්, ඒ වෙලාවට නම් පුළුවන්. ඉතින් මට කියන්නකො මොකද්ද හේතුව කියල.” ඔහු විමසුවේ මීට පැය කිහිපයකට පමණ පෙර දුටු දසුනට අනුව තමා තවදුරටත් ඇයව හමුවිය යුතු දැයි හැගුණු නිසාය.

 

“මං කිව්වනෙ අනේ, හම්බවුණාම කියන්නම්. මාත් එක්ක ඩිනර් එක ගන්න බලාගෙනම එන්න හොදේ. ඔයා අනිවාර්යෙන් එනව නේද? මං බලන් ඉන්නවා.”

 

ඇය මේ සූදානම් වන්නේ කුමකට දැයි ඔහු ඉක්මණින් කල්පනා කරන්නට විය. තමාට ශානක නමැති පුද්ගලයාව හදුන්වා දී ප්‍රශ්නය කෙළවර කිරීමටද? එසේත් නැතිනම් තමා සහ ඇය අතර වූ සම්බන්ධය නැවත ඇරඹීමටද? එක් අතකින් බලන විට සමාජශාලාවේ ඇය සහ ශානක අතර ඇතිවූ දෙබස නැවත සිහි කළ විට ශානක යනු ගයාන් වැනිම ඇය පසුපස වැටුණු තවත් තරුණයෙකු ලෙස සිතිය හැක. කාරණය කුමක් වූවද ඕනෑම දෙයකට මුහුණ දීමට ආකාශ් සිතා ගත්තේය.

 

“හරි, එහෙනම් හෙට පහමාර වෙද්දි මං එන්නම්. ලෝචනා, මං දැන් මේ පොඩි වැඩක ඉන්නෙ. මං එහෙනම් තියනවා.”

 

“ආකාශ්, පොඩ්ඩක් ඉ…” දුරකතනය විසන්ධි විය. සමුගැනීමේ වදනක් හෝ නොමැතිව සංවාදය අවසන් වීම පිළිබදව ඇය දුක් වූවාය. නමුත් ඇය ඔහු කෙරෙහි උරණ නොවූවාය. ශානක තමාව සිප ගැනීමට තැත් කරනු දුටු මොහොතේ ඔහුට කුමක් සිතෙන්නට ඇත්ද? ඔහු තමා පිළිබදව සිත බිද ගෙන ඇති බව ඇය සිතුවේ ඔහු ශානක පිළිබදව වචනයක් හෝ නොවිමසූ හෙයිනි. ඊට කම් නැත. මේ සියලු අමනාපකම් හෙට දිනයේ ඔවුන්ගේ හමුව සිදුවන තුරු පමණක් බව ඇය විශ්වාස කළාය.

ඔහුගේ රැකියාවට ඇය තවමත් විරුද්ධ වූවද එය හේතුවක් කරගෙන ආකාශ්ව අහිමි කර ගැනීම ඇයට කිසිසේත්ම කළ නොහැකි විය. විරසක වූ දා සිටම ඇය බලා සිටියේ ඔවුන්ගේ ඇසුර නැවත ඇරඹීමට සුදුසු අවස්ථාවක් එළඹෙන තුරුය. මේ ඊට සුදුසුම අවස්ථාවයි. තවත් ප්‍රමාද වුවහොත් ඔහුව සදහටම අහිමව යා හැක. එවැන්නක් සිදු වුණොත් ඇයට තම ජීවිතයෙන්ද ඵලක් නොවනු ඇත.


* * *


පොරොන්දු වූ පරිදිම සවස පහමාර වන විට ඔහු එළිමහන් උද්‍යානයේ ගේට්ටුව අසලට පැමිණියේය.


අපේක්ෂා කළ පරිදිම ඇය ඔහු එනතුරු බලා සිටියාය. ඇය සිටින්නේ හුදෙකලාව බව දුටු ඔහුට තමාගේ පළමු අනුමානය වැරදි බව හැගී ගියේය. යම් අයුරකින් ඔවුන් දෙදෙනා අතර තිබූ සම්බන්ධය නැවත ඇරඹිය යුතු බව ඇය පැවසුවහොත් තමන් කුමන ආකාරයේ පිළිතුරක් දිය යුතු දැයි හෙතෙම සිතන්නට විය. තමන් තවමත් ඇයට ආදරය කරන බව ඔහු දැන සිටියේය. නමුත් දෙව්ගල බලා ගිය ගමනින් පසුව ආදරයට අමතරව සිතීමට තවත් බොහෝමයක් කරුණු ඔහුට එකතු වී ඇත.


“මොකද මට කියන්නෙ නැතුව නොම්බරේ වෙනස් කළේ?” ඔහුගේ අත තමාට හැකි පමණ තදින් අල්ලා සොලවමින් සහ කොනිත්තමින් ඇය ඇසුවේ බොරු තරහ මුහුණක් පෙන්වමිනි.


දිනයේ පළමු පැනය ලෙස ඔහු මෙවැන්නක් අපේක්ෂා නොකළේය. කෙසේ වූවද ඔහුට එයින් ගැලවිය හැකි වූයේ බොහෝ වේලාවක් නිදහසට කරුණු පැවසීමෙන් පසුවය.


ඔවුන් දෙදෙනා සාමාන්‍යය මිතුරන් දෙදෙනෙකු මෙන් කතා බහ කළේ පෙර දින කිසිවක් සිදු නොවුණාක් මෙනි. ඇයට එය සිත කළඹන ගැටලුවක් විය. ඔහු මේ දැන් ශානක පිළිබදව විමසනු ඇතැයි ඇය සිතුවාය. නමුත් එවැන්නක් පෙනෙන්නට නැත. අඩුම තරමින් ඔහුගේ මුහුණෙහි කණස්සල්ලක ලකුණකුදු දක්නට නැත.


“ආකාශ්, ඔයාට මගෙන් දැනගන්න දෙයක් නැද්ද?” ඇය අවසානයේදි ඇසුවේ මෙය ඉවසිය නොහැකි තැනය.


“දැනගන්න…, මොකද්ද?”


ඇය ස්වල්ප මොහොතක් ඔහු දෙස බලා සිටියාය. අඩුම තරමින් ඔහුට ඊර්ෂියාවක් හෝ ඇති නොවුණේද?


“ඊයෙ රෑ මාත් එක්ක හිටියෙ කවුද? මාව කිස් කරන්න හැදුවෙ කවුද කියල ඔයාට දැනගන්න ඕනෙ නැද්ද?”


ඔහු පිළිතුරු දීම ඇරඹුවේ දීර්ඝ සුසුමක්ද සමගිනි.


“ඒ ගැන මං ඔයාගෙන් අහන්න මං කවුද ලෝචනා. ඔයාට ඔයාගේ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතියක් තියෙනව. එක අතකට මේ දේවල් මෙහෙම වෙච්ච එකත් හොදයි. ඔයාගෙ ගෙදරින් මට කැමති වෙයි කියල කොහොම හිතන්නද?”


මෙය ඇය ඔහුගෙන් කිසිදිනෙක අපේක්ෂා නොකළ පිළිතුරකි. කිසිදු සෙවීමක් බැලීමක් නොමැතිව ඔහු මේ තරම් ඉක්මණින් බලාපොරොත්තු අත්හැරගෙන ඇත්තේ තමා ගැන අවිශ්වාසයෙන්ද? ශෝකයත්, කේන්තියත් හේතුවෙන් ඇගේ දෙනෙත් තෙත් විය. ඔහුගේ මුහුණ හරහා අතුල් පහරක් ගැසීමට සිතෙන තරමට ඇයගේ හැගීම් ඇවිස්සුණි. සැබවින්ම මාස ගණනකට පසුව සිදුවූ පළමු හමුවීම නොවන්නට ඇය සැබවින්ම එය කරනු ඇත.


“මොකද්ද කිව්වෙ? ඔයා මගේ කවුද? මොන විකාරයක්ද? ඔයා මේ තරම් ඉක්මණට මාව අත්හැරියද? අඩු ගාණෙ ඒ කවුද කියලවත් අහන්නෙ නැතුව…”


ඇයට ඉකිගැසීමට පැමිණියාය. නමුත් ආයාසයෙන් එය මැඩගත් ඇය නැවත කතා කරන්නට වූවාය.


“එයාගෙ නම ශානක. දයාසිංහ ගෘප් එකේ අයිතිකාරයගෙ පුතා. ගයාන්ට මං කැමති වෙන්නෙම නැති හින්ද අපේ තාත්ත ඊළගට ගහපු ගැටේ තමයි ඕක. ඔයාට ඒකවත් තේරුම් ගන්න බැරි වුණාද? මට තේරෙන්නෙ නෑ ඔයා ඔය විදියට මං ගැන හිතුවෙ කොහොමද කියල.”


ආකාශ් වචනයකුදු කතා නොකළේය. ඇයට කතා කිරීමට ඉඩ දුන් ඔහු නිහඩව බලා සිටියේය. නමුත් ඇය නැවත කතා කිරීම ඇරඹුවේ තත්පර කිහිපයක නිහඩතාවයකින් පසුවය.


“මේ අහන්න ආකාශ්.” ඇය සිය හඩ අවදි කළේ දෑතින්ම ඔහුගේ අතක් මෘදුව අල්ලා ගනිමිනි.


“අපි දෙන්න නිකං බොරුවට දැන් මාස ගාණක් තිස්සෙ කතා නොකර ඉන්නව. ඒක අදින් නතර කරමු. මං දන්නව ඔයා මට ගොඩක් ආදරෙයි කියල. මාත් ආදරෙයි රත්තරං…, ගොඩක්.”


ඔහුගේ සිතට දැනුණේ ප්‍රීතිමත් ජයග්‍රාහි බවකි. එසේ නම් ඇයගේ ආදරය තවමත් තමා සතුය. නමුත් ගැටලුව වූයේ එය බාර ගැනීමට තමා සුදුසුද යන්නයි. දෙව්ගල ගමනින් පසුව සිදු වී ඇති විපර්යාසයන් පිළිබදව තවමත් තමාට හරි හැටි අවබෝධයක් නොමැත. යම් අයුරකින් තමා ඇය සමග එක් වුවහොත් මෙම විපර්යාසයන් තමාගෙත් ඇයගේත් ජීවිත වලට කුමන ආකාරයකින් බලපානු ඇත්දැයි සිතා ගත නොහැක. ප්‍රීතිය අතුරුදහන්ව ගොස් සිතට දැනුණේ අසරණ බවකි. නමුත් තමා තීරණයක් ගත යුතුය. එම තීරණය තමාටත්, ඇයටත් දරාගත නොහැකි තරම් සිත් වේදනාවක් ගෙන දෙන්නක් වූවද ඒ තීරණය ඔවුන් දෙදෙනාගේම යහපත වෙනුවෙනි. දීර්ඝ හුස්මක් ගත් ඔහු සිතේ ධෙර්යය වඩවා ගත්තේය.


“වැඩක් නැ ලෝචනා…, ඔය පහුගිය දේවල් අමතක කරල දාන්න.”


“මොකද්ද?”


“මං කිව්වෙ පහුගිය දේවල් අමතක කරල දාන්න කියල. මට මේක දිගටම කරගෙන යන්න බැ. අපි දෙන්න දැන් ගොඩක් කාලෙක ඉදන් වෙන් වෙලානෙ ඉන්නෙ. ඒ විදියටම දිගටම ඉමු. ඒක අපි දෙන්නටම හොදයි.”


“හේතුව?” ඉතාම පහත් හඩින් ඇය ඇසුවේ සිහිනෙන් මෙනි.


“හේතු වලින් ඔයාට වැඩක් නෑනෙ. මට මේක දිගටම කරන්න බෑ. එච්චරයි.”


“මට හේතුව කියනවා.” මෙවර ඇය කේන්තිය මුසු වූ උස් හඩින් ඇසුවේ ආකාශ්ගේ කමිස කොළරය අල්ලා ඔහුව තමා දෙසට ඇද ගනිමිනි.


“අපි දෙන්න වෙන් වෙනව නම් මට ඒකට හොද සාධාරණ හේතුවක් ඕනෙ.”


ආකාශ් ස්වල්ප මොහොතක් ඇගේ දෙනෙත දෙස බලා සිටියේය. සිත මහා කළු ගලක් මෙන් ශෝකයෙන් බරව තිබුණි. නමුත් ඔහුට වෙනත් විකල්පයක් නොපෙනුණි.


“ඔයාට හේතුවද ඕනෙ. හරි…, මං කියන්නම්. මං දැන් වෙන කෙනෙකුට ආදරේ කරනව. ඒකයි හේතුව.”


අල්ලාගෙන සිටි කමිස කොළරය ඇයගේ අතින් ගිලිහුණි. අඩක් විවර වූ තම මුව දෑතින්ම වසාගෙන ඇය තත්පර කිහිපයක් සුදුමැලිව ගිය මුහුණකින් යුතුව ඔහු දෙස බලා සිටියාය. දහසක් වූ ආදරණීය බලාපොරොත්තු දරා සිටි හදවත කුඩා කැබලි වලට බිදී යන්නාක් මෙන් ඇයට දැනුණි. දෙනෙතින් කදුළු රූටා වැටෙන්නට විය. ඉකිබිදුම් කිහිපයක් නිතැතින්ම පිට වුණි.


ඇය හැඩීමට පටන් ගත්තාය. නමුත් දරා ගත නොහැකි ශෝකය පිට කිරීමට ඇයට හැඩීම පමණක් ප්‍රමාණවත් නොවිය. වෙනත් හේතුවක් නම් අසාගෙන සිටිය හැක. නමුත් සිහිනෙන්වත් ඔහුගෙන් වෙන්වීම නොපැතූ ඇය මෙවැන්නක් කෙසේ නම් දරාගන්නද?


“වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඔයා බොරු කියන්නෙ. ඔයාට එහෙම දෙයක් කරන්න බෑ. මට කියන්න, ඔයා බොරු නේද කියන්නෙ? කතා කරන්නකො මගෙ වස්තුවෙ.” නැවතත් ආකාශ්ගේ උරහිස් දෑතින්ම අල්ලාගෙන ඔහුව දුබල අන්දමින් සොලවමින් ඇය ඇසුවාය.


ආකාශ්ද පසු වූයේ ශෝකයෙනි. ඇය මේ අයුරින් වේදනා විදිනු බලා සිටීම ඔහුට මහත් අපහසුවක් විය. නමුත් වෙනත් විකල්පයක්ද ඔහුට නොපෙනුණි.


“මං දන්නෑ ලෝචනා. ඔයා කැමති නම් විශ්වාස කරන්න.”


“කවුද ඒ? මොකද්ද ඒ ගෑනිගෙ නම?”


ආකාශ් කිසිවක් නොපවසා නිහඩව බලා සිටියේය. ඔහු ලෝචනා ගැන දැන සිටියේය. එමෙන්ම ලෝචනාද තමා ගැන හොදින්ම දන්නා බව හෙතෙම දැන සිටියේය. තමා මෙවැනි චපලකමක් නොකරන බව ඇයට විශ්වාසය. එහෙයින් මෙම මුසාව ඇයට ඒත්තු ගැන්වීම තමාට කළ නොහැකි වේ යැයි ඔහුට සිතුණි. ප්‍රශ්නය තවදුරටත් දික්ගැස්සීමට පෙර හැකි ඉක්මණින් මෙතැනින් ඉවත්ව ගොස් තමාගේත්, ඇයගේත් අනාගතය පිළිබදව වඩාත් ගැඹුරින් කල්පනා කළ යුතු යැයි ඔහුට හැගුණි.


“මට මෙතන තවත් ඔයා එක්ක කතා කරන්න දෙයක් නෑ ලෝචනා. මං දැන් යන්න ඕනෙ.” ඔහු නැගිටීමට සැරසුණේය.


“බෑ බෑ. ඔයාට යන්න බෑ. දැන් කියපු කතාව බොරු කියල කියනකන් මං ඔයාට යන්න දෙන්නෙ නෑ.” ඇය ඔහුගේ අතක එල්ලෙමින් කීවාය.


“ලෝචනා, මට පරක්කු වෙනව. මං දැන් යන්න ඕනෙ.”


“මං කිව්වනෙ. ඔයා කියන දේ මං විශ්වාස කරන්නෙ නෑ. මං හොදටම දන්නව ඔයාට එහෙම දෙයක් කරන්න බෑ කියල. ඔයාට වෙන ප්‍රශ්නයක් තියෙන්නෙ. කියන්න රත්තරං…, ඔයා බොරු නේද කිව්වෙ?” දෙනෙතින් කදුළු ගලා ගියද වඩාත් සන්සුන් හා ආදර බර හඩකින් ඇය ඇසුවේ එක් අතකින් ඔහුගේ උරහිසත් අනිත් අතින් ඔහුගේ මුහුණත් ස්පර්ශ කරමිනි.


ඇයගේ අසීමිත වූ ප්‍රේමය හමුවේ තවදුරටත් බොරුව පවත්වාගෙන යාමට ඔහුට නොහැකි විය.


“ලෝචනා, මට ඔයාට කියන්නෙ දෙයක් තියෙනව. මං ඒ හැමදේම ඔයාට කියන්නම්. හැබැයි අද නෙමෙයි. මට ඒකට ටිකක් කල් ඕනෙ.”


“ඇයි ඒ?”


“ඒක මේ වෙලාවෙ එච්චර වැදගත් නැති හින්ද. අනික ඒක ගැන මං තවම හරියටම දන්නෙ නෑ.”


“ඒක අපි දෙන්නට සම්බන්ධ දෙයක්ද?”


“ම්…, ඔව්. අපි දෙන්නගෙ අෆෙයාර් එකට පොඩ්ඩක් විතර. හැබැයි අපේ ආදරේට නම් චුට්ටක්වත් නෑ.”


“ඒක හින්දද ඉස්සල්ල මට බොරු කිව්වෙ?”


ඔහුට නිතැතින්ම සිනහ ගියේය. තමාගේ බොරුව දැන් හසු වී අවසන්ය.


“ඔව්, බොරු කියනව හැර ඒ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් කල්පනා වුණේ නෑ.”


ඇයගේ සිතට දැනුණේ කිව නොහැකි තරම් සැනසුමකි. සිතේ හිර වී තිබූ තදබල වේදනාව ක්ෂණිකව වාෂ්ප වී ගියාක් මෙන් ඇයට දැනුණි.


“තව පොඩ්ඩක් ළගට එන්නකො.” ඇය පැවසුවේ ආලයත්, සතුටත් උතුරා යන හැගීම් බර හඩකිනි.


“ඒ මොකටද?”


ඇය එයට පිළිතුරු නොදුන්නාය. තවදුරටත් වචන වලට කාලය වැය කිරීම අපරාධයකි. මොහොතක් හෝ පමා නොවූ ඇය තමා වෙතට සෙමින් ළං වෙන ඔහුව උරහිසෙන් අල්ලා වේගයෙන් තමා වෙතට ඇදගත්තාය. එදින ඔවුන්ගේ දෙතොල් එක් වූයේ මාස ගණනාවකට පසුවය.




******************************


ගුප්ත පරීක්ෂණ පළමු වෙළුම සමාප්තයි!


******************************

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!