Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 7
ISBN 978-955-44323-2-1
“මොනවද අනේ ඔයාට ඔච්චරටම තියෙන වැඩ, ආ…? ඔයාට දැන් මාත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැද්ද?”
ලෝචනා කතා කරන්නේ තමා සමග තරමක කේන්තියකින් බව ආකාශ් වටහා ගත්තේය. නමුත් ඔහු ඇයට පෙරළා සිය කෝපය පළ නොකළේ ඇයගේ කේන්තිය සාධාරණ එකක් වූ නිසාය. සති දෙකකට පමණ පසුව ඔවුන් මුණගැසුනේ අදය. එයද ඇයගේ තදබල පෙරැත්ත නිසාය. නමුත් මීට පෙර ඔවුන් දෙදෙනා සතියකට අවම වශයෙන් දෙවතාවක්වත් මුණගැසුණු බව ඔහුට සිහි විය.
“මේ රස්සා වල හැටි එහෙම තමයි ඉතින්. මට සමහර දවස් වලට රෑ වැඩ වැටෙනව. මං කලිනුත් කිව්වනෙ ඔයාට, අපේ රස්සාවෙ හැටියට රෑ දවල් බලන්න බෑ කියල.” ආකාශ් පැවසුවේ සන්සුන් ස්වරයකිනි.
“අනේ ඔයාගෙ රස්සාව…” ඉවත බලාගත් ඇය පැවසුවේ හැඩුම්බර ස්වරයකිනි.
එය ආදරවන්තයින්ගේ තෝතැන්නක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ ගාලු මුවදොර වෙරළෙහි පෙම්වතුන් සදහාම වෙන්කළ එළිමහන් ආපන ශාලාවකි. කොල්ලුපිටියෙහි පිහිටි ඔවුන්ට සුපුදුරු සමාජ ශාලාවෙහි හමුවීම නවතා දමා මෙම ස්ථානය තෝරා ගැනීමට මූලික හේතුව වූයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක් සහ සාමාන්‍යය තරුණයෙකුගේ පෙම් සබදතාවයක් ගැන කටකතා පැතිරීම වළක්වා ගැනීමටය. ඊට අමතරව මෙම තනායම පිහිටි පරිසරයෙහි වූ චමත්කාරජනක සුන්දරත්වයට ඔවුන් දෙදෙනාම බෙහෙවින් ප්‍රිය කළෝය.
ඇය ඉමක් කොනක් නොපෙනෙන සාගරය සමග අනන්ත වූ අහස යාවෙන ක්ෂිතිජ රේඛාව හා මුසුවීමට සැරසෙන තැඹිලි පැහැයෙන් දිස්වන අග්නි බෝලය දෙස බලා සිටියාය. වෙලාව සවස හයේ කනිසම පසු වී තිබුණද තවමත් අදුර බෝවී නොතිබුණේ මෙම අග්නි බෝලයෙන් දසත විසිරුනු රත් පැහැති ආලෝක කදම්බ අහසත් පොළොවත් එක සේ වර්ණ ගැන් වූ හෙයිනි.
පරිසරයෙහි වූ අකලංක සුන්දරත්වය එසේ වූවද ඇගේ සිත තුළ නම් වේදනාත්මක අදුරක් පැතිරෙමින් තිබුණි. හේතුව වෙනත් කිසිවක් නොව ඔහුමය. වංශවත් පවුලක දියණියක් වශයෙන් කොතරම් වත්කම් තිබුණද ඇයට නම් වටිනාම වස්තුව ඔහුම විය. එසේ හෙයින් ඔහුගේ සුළු වෙනසකට වූවද ඇගේ සිත ඉතා ඉක්මණින් සැලෙයි. දුකට පත්වෙයි. මේ මොහොතෙහි ඒ වේදනාව වැඩි වී ඇත්තේ නොබෝ දිනක සිට ඔහුගේ කිසියම් වෙනසක් ඇයට තදින් දැනෙන්නට වූ හෙයිනි. මීට පෙර කිසිදිනක තමාව හමුවීමට දෙවරක් නොසිතූ ඔහු පසුගිය දින කිහිපය පුරා කිහිපවරක්ම වැඩ අධික බව පවසමින් ඇයව මගහැරියේය. ඊටත් වඩා බරපතල කාරණය වූයේ ඇයට පැහැදිලිව සිතාගත නොහැකි කිසියම් වෙනසක් ඔහු තුළින් දැනෙන්නට වීමයි. එය පිටතින් පෙනෙන පෙනුමේවත්, කතාබහේවත් වෙනසක් නොවිය. නමුත් කුමක් හෝ වෙනසක් ඇති බව ඇයට දැනෙයි. ඒ බව ඇයට තදින්ම දැනුණේ මීට දින දෙකකට පෙර කායික ආශ්වාදයක් ලබාගැනීම සදහා පෙම්වතුන්ගේ කුටියක තනි වීමට ඇරයුම් කළ මොහොතේ කිසිදු හේතුවක් නොදක්වා ඔහු විසින් ඍජුවම එය ප්‍රතික්ෂේප කිරීමයි. මීට පෙර එවැනි අවස්ථාවකදී ඔහු විසින් කිසිවිටෙකත් ඇයට එවැනි ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි. දරාගත නොහැකි වේදනාව හේතුවෙන් රහසේම එදා හැඩූ තරම දන්නේ ඇයම පමණි. මතකය විසින් එම සිත් වේදනාව නැවතත් ඇවිස්සූ හෙයින් මේ මොහොතෙහිද ඇගේ නෙතගින් කදුලු බිදු කඩා වැටෙන්නට විය.
ඈත ක්ෂිතජය දෙස නෙත් යොමාගෙන ඇය බොහෝ වේලාවක් කල්පනා කරන අයුරු ආකාශ් නිහඩව බලා සිටියේය. තමාගේ සැබෑ තත්වය ඇයට පැවසීමට ඔහුට දැඩි උවමනාවක් තිබුණි. මීට පෙර දෙවතාවක්ම ඔහු ඒ සදහා උත්සහ කළද සිත අභ්‍යයන්තරයේ හටගත් බියක්, පසුබැසීමක් හෝ චකිතයක් වැනි හැගීමක් හේතුවෙන් ඔහුට එය කියාගත නොහැකි විය. මීට ටික කාලයකට පෙර ඔවුන් දෙදෙනා අතර රහස් නොවිය. රහස් යනු ඔහුත් ඇයත් පමණක් දැන සිටි පිටස්තරයන් නොදන්නා දේවල් පමණක්ම විය. නමුත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස් එකකි. තමා පමණක් දැන සිටින, ඇයගෙන් වසන් කළ බොහෝ කරුණු ඔහුගේ සිත තුළ ඇත. එසේම එම රහස් වසන් කිරීම සදහා තමන් පසුගිය දින කිහිපය පුරා කිහිපවරක්ම ඇයට බොරු කී අයුරුත්, ඇයව මගහැරි අයුරුත් ඔහුට මතක් විය. ඇය දුකකින් පීඩාවකට පත්වනු දැකීමට ආකාශ් කිසිසේත්ම කැමති නොවූවද තමා විසින්ම ඇයගේ සිත තදින්ම රිදවා ඇති බව ඔහුට වැටහුනේ ඇයගේ දෙනෙතින් කදුළු බිදු කඩා වැටෙනු දුටු විටය.
තමන් ඇයට විශාල වරදක් කර ඇති බව දැනෙන්නට වූ හෙයින් ඔහු තුළ ඇති වූයේ තදබල පසුතැවීමකි. කළ හැකි නම් ඇයගේ සිත තුළ වූ වේදනාව ඔහු ආපසු ඇද ගනු ඇත. නමුත් එවැන්නක් ඔහුට කළ නොහැක. ඔහුට කළ හැකි එකම දෙය නම් තවදුරටත් ඇයට එම සිත් වේදනාවෙන් පීඩා විදීමට ඉඩ නොදීමයි. ඒ සදහා ඔහු තවත් එකදු නිමේෂයක් හෝ ප්‍රමාද නොවිය. ඇයගේ ඉණ වටා අතක් යැවූ හෙතෙම ඇයව තමා වෙතට ඇද ගත්තේය. මෙම ආපන ශාලාව පෙම්වතුන් උදෙසාම සකස් කළ එකක් වූ හෙයින් වාසනාවකට මෙන් ඔවුන් දෙදෙනා හිදගෙන සිටි දිගැති බංකුව ආසන වලට වෙන් කර නොතිබුණි. එම නිසා අවශ්‍ය තරමට ඇයව තමා වෙතට ඇද ගැනීමට ඔහුට බාධාවක් නොවිය.
හුස්ම පවා ඉකිබිදීමට සැරසෙන මේ මොහොතේ හදිසියේම ඔහු විසින් තමාව තුරුලට ඇදගත් හෙයින් වැටෙන්නට පෙර මග බලා සිටි කදුළු බිදු පවා එක්වරම අතුරුදහන් විය. ඇයගේ සිතෙහි ඇති වූයේ අහිමි වෙන්නට ගිය වටිනාම වස්තුවක් නැවත හිමි වූවෙකු තුළ ඇති වන සැනසිලි බවකි. ඔහුගේ ආදරය පිළිබදව ඇයට සැකයක් නොවිය. එය තමන්ටම පමණක් හිමි වස්තුවක් බව ඇය දැන සිටියාය. නමුත් නොබෝ කලක සිට ඇයට දැනෙන නමුත් නොවැටහෙන මේ වෙනස කුමක්ද? ඔහු යමක් කියන්නට උත්සහ කළද එය කියාගත නොහැකිව පසුබසින බව මීට පෙර කිහිපවාරයක්ම ඇයට දැනී තිබුණි. මොහු නැවතත් පාතාලයේ ආයුධ අලුත්වැඩියා කිරීම වැනි නිති විරෝධි කටයුත්තක් ආරම්භ කර ඇත්ද? එසේත් නැතිනම් පොලීසිය විසින් මෙහෙයවනු ලබන රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වී ඇත්ද? ඇයගේ සිත තුළ තරමක චකිතයක්ද ඇති විය. නමුත් හදිසියේම උදා වූ මේ ආදරණීය මොහොත ඒ පිළිබදව සිතීමට හෝ ප්‍රශ්න කිරීමට සුදුසු වේලාවක් නොවේ.
ඔහුගේ උණුසුම් ස්පර්ශය හමුවේ ඇගේ සිත තුළ වූ වේදනාව හිරු දුටු පිනි බිදු මෙන් අතුරුදහන් වී ගියද ඕ ඒ බවක් පිටතට නොපෙන්නුවාය. ඒ තවදුරටත් ඔහුගෙන් ආදරණිය වදන් හෝ ස්පර්ශයන් බලාපොරොත්තුවෙනි. ඔහුගේ හැසිරීම් ඇය හොදින්ම දැන සිටියාය. තමන් සැනසුනු බව එත්තු යන තුරුම ඔහු මේ අයුරින් ප්‍රේමාන්විත වනු ඇය මීට පෙරද ඕනෑ තරම් අත්දැක ඇත. එවැනි අවස්ථාවක් ලද සෑම විටම ඇය කරන්නේ සිතෙහි ඇති අමනාපකම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වූවද ඒ බවක් නොපෙන්වා වැඩි වැඩියෙන් ආදර වදන් සහ සිපගැනීම් ලබා ගැනීම උදෙසා සුළු රංගනයක යෙදීමයි. ඔහු තමාව තුරුල් කර ගත්තත් මේ අවස්ථාවේදීද ඉවත බලාගත් ඇය නියැලුනේ සුපුරුදු රැගුමෙහිය.
“මොකද? මාත් එක්ක තාම තරහෙන්ද ඉන්නෙ?” ඇය වෙත තවත් ළං වූ ඔහු ඇයගේ කණට කොදුරමින් ඇසුවේය.
“අනේ මේ යන්න.” ඇය අමනාප ස්වරයකින් පැවසීමට උත්සහ කළද ඇගේ සිත තුළ වූ ප්‍රබෝධය හඩ තුළින් පිට විය. එය ඔහුටද දැනුණි.
“තාම තරහයි..? කෝ බලන්න.” ඔහු තම අතින් ඉවතට යොමු වී තිබුණු ඇයගේ මුහුණ තමා වෙතට හරවා ගත්තේය.
“ඔව්, මං තරහයි තමයි.” පවසමින් නැවතත් සිය මුහුණ ඉවතට හරවා ගැනීමට ඇය උත්සහ කළද ඔහුගෙන් ඊට ඉඩක් නම් නොලැබුණි. ඇසිපිය සලන නිමේෂයක් තුළ ඇය වෙත තවත් ළං වූ ඔහු ඇය යමක් සිතීමටත් පෙර ඇගේ උණුසුම් දෙතොල් සිප ගත්තේය.
වචනයෙන් විස්තර කළ නොහැකි තරමට සොදුරු වූ යමක් තම සිරුර පුරාම පැතිර යනු ඇයට දැනුණි. ඔහුගේ සිපගැනීම් හමුවේ තවදුරටත් කුමන රැගුම්ද? රැගුම තබා වෙනත් දෙයක් ගැන සිතීමට පවා අසමත් වන තරමටම ඇයගේ කල්පනා ශක්තිය අන්තයටම පිරිහිනි. ඕ සිපගැනීම තුළම අතරමං විය. ඇයගේ පාලනයෙන් ගිලිහුනු ඇයගේම දෙඅත් ඇයටම හොරා ඔහුගේ ගෙල වටා එතී ගියේ ඇයගේ යටි සිතට පමණක්ම දන්වමිනි.
ඔහු කොපමණ වේලාවක් තමාව සිපගත්තේ දැයි ඇයට නිනව්වක් නොවිය. ඒ තරමටම ඈ එයට වශී වී සිටියාය. ක්‍රමයෙන් තමාට හති වැටෙන බව ඇයට දැනුණද එය නතර කිරීමට ඇයට අවශ්‍යය නොවිය.
ඇයට හති වැටුණු බව වටහා ගත් ආකාශ් සෙමින් සිය දෙතොල ඇයගේ දෙතොලින් ඉවතට ගත්තේය. එවර නම් ඈ ඔහු වෙත හෙළුවේ සැබවින්ම අමනාප සහගත බැල්මකි. ඒ සිතුවාට වඩා ඉක්මණින් ඔහු එය නතර කිරීම ගැන අමනාපයයි.
“කෝ… එච්චරයිද අනේ?” ලෝචනා ඇසුවේ ලගන්නා සුළු හඩකිනි.
“දිගටම කරන්න ඔයාට පණ නෑනෙ.”
“අනේ මේ…” පවසමින් ඇය ඔහුගේ ගෙල වටා එතී තිබූ සිය අතකින් ඔහුගේ කණක් මිරිකන්නට වූවාය.
“අනේ වස්තුවෙ… ළග පාත කවුරුවත් නැති එකේ තව පාරක් කරන්නකො.” ඇය බැගෑපත් වූවාය.
කිසිවක් නොපැවසූ ඔහු ඇය දෙස බලාගෙන සිනාසුණේය.
“හිනාවෙන්න නෙමෙයිනෙ කිව්වෙ. අනේ ඉක්මණට, කවුරු හරි එන්න කලින්.” ඇය පැවසුවේ ඔහුගේ උරහිසින් අල්ලා ඔහුව සොලවමිනි.
“හරි හරි, එහෙනම් තව ටිකක් ළං වෙන්නකො.” ඔහු පැවසුවද සිරුරින් නම් තවදුරටත් ළං විය නොහැකි තරමටම ඈ ඔහුට තුරුල් වී සිටියාය. ඔවුන්ගේ දෙතොල් අතර නම් අගල් දෙක තුනක පරතරයක් විය. ඔහුගේ වදන් හමුවේ එම පරතරයද අඩු කරමින් ඈ තවත් ඔහුට ළං වූවාය.
“තව ටිකක්.”
ඇය තව ළං වූවාය.
“තවත් ටිකක්.”
ඔවුන්ගේ දෙතොල් එකිනෙක ගෑවෙන නොගෑවෙන තරමට ඇය ඔහුට ළං වූවාය. නමුත් ඔහු කිසිවක් නොකර බලා සිටියේය.
“කෝ අනේ?” තත්පර කිහිපයක් බලා සිටීමෙන් පසුව නොඉවසිලිමත් වූ ඇය ඇසුවාය.
“කෝ කියල අහන්නෙ? මං දැන් වතාවක් දුන්නනෙ. දැන් ඔයාගේ වාරෙ.” ඔහු පැවසුවේ දගකාර සිනහවක් පාමිනි.
“පිස්සා.” ඇය ප්‍රමාද වූයේ එම වචනය පැවසීමට පමණි. මීළග මොහොතේ තම පෙම්බරාව තමා වෙතට ඇදගත් ඈ ඔහුව තදින් සිපගැනීමට පටන් ගත්තාය.
ඔහුගේ මුළු මුහුණම තම හාදු වලින් නැහැවී යන තුරු ඇය බොහෝ වේලාවක් ඔහුගේ දෙතොලත් මුහුණත් සිපගත්තාය.
“එදා බෑ කිව්වට අද බෑ කියන්නෙ නෑ නේද?” ඇය ඇසුවේ ඔහුගේ ගෙල වටා එතී ගිය තම දෑත් වලින් ඔහුගේ මුහුණ තමා වෙතට නැඹුරු කර ගනිමිනි.
ඇය තමාව කැදවන දෙයට වෙනත් දිනයකදී නම් ඔහු කිසිදු පැකිලීමක් නොදක්වනු ඇත. බොහෝ වේලාවක් පුරා නොකඩවා කළ සිපගැනීම් හේතුවෙන් ඇය මෙන්ම ඔහුද බොහෝ සෙයින් මත් වී සිටියේය. ඔහුටද එය අවශ්‍යය විය. නමුත් තමාට සිදුවී ඇති විපර්යාසය හේතුවෙන් ඇයට යම් ආකාරයක අනතුරක් වේ යැයි සිතීම නිසා ඇය සමග කායික එක්වීමකට ඔහු බිය විය. එසේම අද එළඹෙන රාත්‍රියේ ඔහුට මගහැරිමට නොහැකි රාජකාරියක් තිබුණි. එනම් අද රාත්‍රියේ සටන් තරගයක් පැවැත්වෙන බව සුදු ටෝනිගෙන් මීට පැය කිහිපයකට පෙර කෙටි පණිවිඩයක් ලැබී තිබීමයි.
“ෂිහ්… මේ කාලකණ්නියා කවද එයිද මන්ද?” ඔහුට සිතුණි.
ටෝනි සම්පූර්ණයෙන් සුව අතට හැරී නැවතත් සටන් තරග වලට පිවිස දැන් සති දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. තමා සොයන තමාට සමාන යැයි සිතිය හැකි අද්භුත පුද්ගලයා අදවත් එතැයි සිතමින් ආකාශ් පසුගිය දෙසතියකට ආසන්න කාලය පුරාම කල් මැරුවේය. රෙඩ් ඊගල් සමාජ ශාලාවේ ටෝනිගේ තරග පැවැත්වෙන සෑම දිනකම එහි ගොස් නැරඹීමට පැමිණෙන අය ගැන දැඩි විමසිල්ලෙන් යුතුව සිටියද ඔහු සොයන පුද්ගලයා පිළිබදව කිසිදු හෝඩුවාවක් නොවිය. පසුගිය දින කිහිපය පුරාම ඇයට නොයෙකුත් මුසා බස් පැවසීමට ඔහුට සිදු වුණේද මේ නිසාමය.
ටෝනිට සහ අද්භුත පුද්ගලයාට වෙන දෙයක් සිදුවීමට ඉඩ හැර ඇයත් සමග ගොස් යහන් ගතවීමට ඔහු තුළ ඇති වූයේ දැඩි ආශාවකි. ඇගේ උණුසුම් ස්පර්ශයන් සහ වදන් පමණක් නොව දෙනෙත කරකවමින් බලන බැල්ම පවා ඔහුව යොමු කෙරුවේ ඇගේ තුරුලටය. නමුත් මේ මොහොතෙහි හැගීම් වලට ඉඩ ලබා දුන්නොත් පසුගිය දින කිහිපය පුරාම වැය කළ තමාගේ මහන්සිය අපතේ යා හැක. එසේම තමාගේ උපදෙස් අනුව ක්‍රියා කළ සුදු ටෝනිගේ ජීවිතයද අවදානමේ වැටිය හැක. එම නිසා කරන්නට දෙයක් නැත. අද දිනයේද ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හැර වෙනත් විකල්පයක් ඔහුට ඉතිරි නොවිය. සිතට ධෙර්යය ගත් ඔහු පිළිතුරු දීමට පෙර දිගු හුස්මක් ගත්තේය.
“බබා… අද දවස විතරක් මට දෙන්න පුළුවන්ද? කලින් දා ගත්ත වැඩක් තියෙනව, අතහැරල දාන්නම බැරි එකක්. මං අනිවාර්යෙන්ම හෙට එන්නම්. හෙට හවස් වරුව ඔයාගෙම විතරයි. ඒක පොරොන්දුවක්.”
ඇය තම ඉරියව්ව වෙනස් නොකරම ඔහු දෙස තත්පර කිහිපයක් නිහඩව බලා සිටියාය. ඇය නැවතත් අමනාප වේ යැයි ඔහු බලාපොරොත්තු වුවද එම බැල්මෙහි අමනාප ස්වභාවයක් නම් නොතිබුණි.
“වස්තුවේ, මට ඔයාව විශ්වාසයි. ඒත් මට මොකද්දෝ බයක් දැනෙනවා.”
“බයක්… ඒ ඇයි?”
නමුත් එයට පිළිතුරක් ඇය දැන නොසිටියාය. ඒ නිසාදෝ කිසිවක් නොපැවසූ ඈ ඔහුගේ ළය තුළ සිය මුහුණ හොවා ගත්තාය. සැබවින්ම ඇයගේ සිත තුළ හේතුවක් නොවැටහෙන මහා බියක් හටගෙන තිබුණි. ජීවිතය තරම් ආලය කළ තම පෙම්වතාගේ මේ උණුසුම් ස්පර්ශය ලැබීමට තමාට තව කොපමණ කාලයක් වරම් ඉතිරිව ඇත්දැයි ඇයට සිතෙන්නට විය.
ආදරණිය හැන්දෑවේ තවත් තත්පර කිහිපයක් එලෙස නිහඩවම ගෙවී ගියේය. නමුත් හදිසියේම එම නිහඩතාවය අවසන් වූයේ ඔහුගේ ළය තුළ සිය මුහුණ හොවා ගෙන සිටි ඇය ඉකිබිදින හඩිනි.
එම හඩ ඇසුණු විගසම තම ළයෙහි මුහුණ සගවාගෙන සිටි ඇයව ඉන් ඉවතට ගත් ඔහු ඇයගේ මුහුණ තම මුහුණට ළං කර ගත්තේය.
“බබා… ඇයි මේ? මොකද වුණේ?” ඇයගේ දෙනෙතින් එක දිගට කදුළු බිදු වැගිරෙනු දුටු ඔහුගේ සිතෙහි ඇති වූයේ කණගාටුවක් සහ විමතියකි.
නමුත් ඉකිගැසීම හේතුවෙන් ඇයට කතා කරගත නොහැකි විය.
“අනේ බබා ඉතින්… අඩන්නෙ නැතුව කියන්නකො, මොකද්ද අවුල?” ඔහු නැවතත් ඇසුවේ දෑතින්ම ඇගේ වත වැළද ගනිමිනි.
සුළු මොහොතකට පසුව ඈ සිය හඩ අවදි කළේ ඉකිබිදුම් අතරිනි.
“අනේ මට බයයි රත්තරන්. මට ඔයාව නැති වෙයි කියල. කියන්න… ඔයා කවදාවත් මාව දාල යන්නෙ නෑ නේද? මට මේ දැනෙන්නෙ බොරු බයක් නේද? අ…”
සිතෙහි ඇති වූ තදබල පසුතැවීම නිසාම ඔහු මොහොතකට නිරුත්තර විය. තමා යමක් වසන් කරන බව ඇයට දැනී ඇත. එසේම ඇය මේ පිළිබදව තදින් හාර අවුස්සා නොඅසන්නේ තමාව අමනාප කරගැනීමට ඇති බිය නිසාම බව ඔහු හොදින්ම දැන සිටියේය.
ඔහුගේ සිතෙහි ඇති වූයේ විශාල මනස්තාපයකි. තමාගේ නොයෙකුත් මුරණ්ඩුකම් නිසා ඇය මුහුණ එල්ලාගෙන අමනාපයෙන් සිටීම ඔහුට ඉවසිය හැක. එය සාමාන්‍යය දෙයකි. නමුත් ඇය වැළපෙනු බලා සිටීම නම් ඔහුට ඉවසිය හැකි නොවිය. එය ඔහු දැකීමට ඉතාමත්ම අකමැති දෙයකි. එසේම ඇය වැළපෙන්නේ තමා සම්බන්ධ කරුණක් වීම ඔහුට කිසිසේත්ම ඉවසිය හැක්කක් නොවිය.
පැවසීමට යමක් තිබුණද එය කෙසේ නම් කරන්නද? මොහොතකට නිරුත්තර වූ ඔහු දෑතින්ම ඇගේ කදුළු පිස දමා තවත් ඇය වෙත නැඹුරු වී ඇගේ සුන්දර දෙනෙත දෙස බලා සිටියේය.
“ඔයාට මං ගැන ඔහොම හිතෙන එකට මං තරහ නෑ. ඒත් මේ අහන්නකො බබා…” පැවසූ ඔහු දීර්ඝ හුස්මක් ඉහළට ඇද්දේය.
“මේ දවස් වල මං ටිකක් වැඩිපුර එහෙ මෙහෙ යනව තමයි. දන්නවනෙ අපේ රස්සාවෙ හැටි. සමහර විට රෑ දවල් බලන්න බෑ. ඒකයි මට පහුගිය දවස් ටිකේ එන්න බැරි වුණේ.”
“අනිත් එක මං මේ දවස් වල ටිකක් ලොකු වැඩකට අතගහලයි ඉන්නෙ. ඒත් ඔයා ඒ ගැන බයවෙන්න එපා. සෑහෙන හොද ආරක්ෂාවක් ඇතුවයි මං වැඩ කරන්නෙ. අනික මගේ මේ වැඩ ගැන හැමදෙයක්ම මං ඔයාට කියන්නම්. මට තව ටික කාලයක් දෙන්න. මට ඔයාගෙන් මුකුත්ම හංගන්න ඕනෙ නෑ. මටත් මේ හැමදෙයක්ම ඔයාට කියල හිත නිදහස් කරගන්න ඕනෙ.”
ඔහුගේ ගෙල වටා සිය දෑත පටලවාගෙන සිටි ඈ ඔහුගේ දෙනෙත දෙස බලාගෙන සියල්ල අසා සිටියාය. තම පෙම්වතා බොරු කීමට එතරම් දක්ෂයෙකු නොවේ. එමෙන්ම ඔහු බොරු කියන සමහර අවස්ථා වලදී කුමක් හෝ හේතුවක් මත ඇයට එය දැනෙයි. නමුත් මේ මොහොතෙහි නම් ඔහුගේ දෙනෙතහි වූ සත්‍යවාදී බව අසරණ බව ඇගේ හදවතටම දැනුණි.
කැබිනට් අමාත්‍යවරයෙකුගේ දියණියක් වූ හෙයින් සිය පියාද බරපතල රාජ්‍ය හෝ දේශපාලන රහස් සිතෙහි තබාගෙන පීඩනයෙන් සිටිනු ඇය ඕනෑ තරම් දැක ඇත. පැවසීමට අවශ්‍යය වුවද එය කළ නොහැක. සිතේ ගුලි කරගෙන සිටීම හැර කිරීමට වෙනත් දෙයක් ඇත්තේම නැත. එම නිසා තම පෙම්වතා සිටින තත්වය අවබෝධ කරගැනීමට ඇයට එතරම් අපහසු නොවිය. මේ මොහොතෙහි තමා ඒ පිළිබදව හාර අවුස්සා විමසුවහොත් සිදුවන්නේ ඔහුගේ මානසික ආතතිය තව තවත් වැඩි වීමයි. එම නිසා සුදුසු කාලය තීරණය කිරීම ඔහුටම පැවරීමට ඇය සිතුවාය.
ඔවුන්ගේ දෙතොල් අතර වූයේ අගල් කිහිපයක පරතරයක් පමණි. එම දුරද පියවමින් ස්පර්ශ වන තුරු ළං වූ ඇය මෙතෙක් වෙලා නිහඩව සිටි තම හඩ අවදි කළාය.
“කියන්න… මට ගොඩක් ආදරෙයි නේද?”
ඇගේ පැනයට පිළිතුරක් නොදුන් ඔහු සුළු මොහොතක් සිනාසෙමින් බලා සිටියේය. ඉන්පසුව ඔහු පිළිතුරු දුන්නේ ඇගේ දෙතොල් සිපගැනීමෙන් පසුවය.
“මං හුස්ම ගන්නවද කියල අහන්නෙ නැත්තෙ ඇයි?”
* * *
ආකාශ් සමාජ ශාලවට පැමිණෙන විට සටන් තරග ආරම්භ වී තිබුණි. තරගය පැවැත්වූ ශාලාව තරමක් විශාල එකක් වූ අතර එහි ඒ වන විටත් තුන්සීයකට ආසන්න පිරිසක් රැස්ව සිටියෝය. ඔවුන් අතරින් බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ශාලාව මධ්‍යයේ පැවති සටන් තරගය වෙතය. වයස් භේදයකින් තොරව සියල්ලන්ම පාහේ තමන් ප්‍රිය කරන හෝ ඔට්ටු ඇල්ලූ ක්‍රීඩකයාට ඔල්වරසන් නගමින් සිටියෝය.
කිසිවෙකුගේ විශේෂ අවධානයට ලක් නොවී තරගය පවත්වන ස්ථානය වෙත ළගා වූ ආකාශ් තරගය වෙතත් පැමිණ සිටින පිරිස වෙතත් මාරුවෙන් මාරුවට සිය අවධානය යොමු කරන්නට විය.
එවෙලෙහි සටන් කරමින් සිටියේ අඩි හයකටත් වඩා උස විශාල සිරුරක් සහිත මරුමුස් පෙනුමක් ඇති පුද්ගලයෙකු සහ බොක්සිං ක්‍රීඩකයෙකුගේ පෙනුමැති මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති තරුණයෙකි. මරුමුස් පෙනුමැති මිනිසා කෑගසමින් සිය තරගකරුවාට එක පිට එක පහර එල්ල කළද තරුණයා එහාට මෙහාට පනිමින් දක්ෂ අයුරින් ඒ සියලුම පහරවල් මගහරිනු බලාසිටින්නන් පමණක් නොව ආකාශ්වද අමන්දානන්දයට පත් කළේය. කිහිපදෙනෙකුට මැදිව සුදු ටෝනිද පසෙකට වී තරගය නරඹමින් සිටිනු ආකාශ් දුටුවේය.