Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 8
ISBN 978-955-44323-2-1
අද්භූත පුද්ගලයා සිටී දැයි සෙවීමට වටපිට බැලුවද කිසිදු හෝඩුවාවක් නැත. සියල්ල සුපුරුදු පරිදිය. බේබද්දන්, කුඩුකාරයන්, ගංජා ගසා මනෝ ලෝක වල සිටින්නන්, සල්ලාලයන්, සල්ලිකාරයන් සහ ඔවුන්ව මැදිකරගෙන සිටින ගණිකාවන් හැර වෙනත් විශේෂ අයෙකු සොයා ගැනීමට ආකාශ්ට නොහැකි විය.
තමාට පැමිණිය නොහැකි දිනයන් වලදී මෙම ස්ථානයේම රැදෙන වෙනත් අයෙකුගෙන් තොරතුරු දැනගැනීමට හැකි නම් කොතරම් වාසියක් දැයි ආකාශ්ට සිතුණු වාර ගණන බොහෝය. සුදු ටෝනි වූවද ඔහුට තොරතුරු සපයන්නේ තරග පැවැත්වෙන දිනයන් සහ වේලාවන් ගැන පමණි. ඒ ඔහුගේම උපදෙස් අනුවය. එසේම සුදු ටෝනි තමාව පෞද්ගලිකව නොහදුනනවා සේම ඔහු සිතා සිටිනු ඇත්තේ තමා යක්ෂයෙකු හෝ වෙනත් ආකාරයක අවතාරයක් බවයි.
දින කිහිපයක සිට ආකාශ්ගේ අවධානයට ලක් වූ වෙශ්‍යයා තරුණියක් සිටියාය. ඇය ඔහුගේ අවධානයට ලක් වීමට හේතු වූයේ ඇය සතු හුරුබුහුටි රූමත් පෙනුමත් ඔහු පැමිණි සෑම දිනකම ඇය මෙම ස්ථානයේ රැදී සිටීමත්ය. ඇය සමග කතා බහ කර ඇයව හිතවත් කර ගැනීමට ඔහුට අදහසක් තිබුණද එය එතරම් පහසු නොවිය. ඇයට බොහෝ ඉල්ලුමක් ඇති හැඩකි. පෙර දිනයේද ඇයට කතා කිරීමට ඔහු මාන බලන් සිටියද ඇයව ළගින් තබා ගැනීමට දෙතුන්දෙනෙකුම පොර කෑ හෙයින් ආකාශ්ට පසෙකට වී සිටීමට සිදුවිය. අද තත්වයද එසේමය. ඇයව උකුලෙහි තබා ගත් මැදිවියේ පසු වූ ධනවත් යැයි සිතිය හැකි බීමත් පුද්ගලයෙකු ඇයගේ සිරුර අතගාමින් සිටියේය. එම පුද්ගලයා වරින් වර ඇයගේ ස්ත්‍රී අවයව අතගෑමට උත්සහ කරන අයුරුද ඒ සෑම අවස්ථාවකදීම මෙන් ඇය සීරුවෙන් ඔහුගේ අත ඉවතට ඇද ගනුද දුටු ආකාශ්ට සිනහ පහළ විය.
තවත් මිනිත්තු කිහිපයකට පසුව ආකාශ් බලා සිටි මොහොත උදා විය. ඒ දෙවන වටය අවසානයේදී තරගකරුවන්ට විවේකය ලබා දුන් මොහොතේදීය. මෙතෙක් වෙලා මැදිවියෙහි පසු වූ කාමාතුරයාගේ ග්‍රහණයෙහි සිටි ඇය ඉන් ගැලවී බීම දෙන ස්ථානයට ගියාය. මොහොතක් හෝ පමා නොවූ ආකාශ් ඉක්මණින්ම ඇය සිටි තැනට ගියේය. ඔහු එහි යන විට ඇය සිටියේ එක හුස්මට වතුර වීදුරුවක් පානය කරමිනි.
“ඔයා ආශ්‍රය කරන්නෙ වයසක මිනිස්සුන්ව විතරයිද?” එක්වරම පිටුපසින් නැගුණු හඩ නිසා ඇය පානය කරමින් සිටි වතුර වීදුරුවද පහතට හෙලා ආපසු හැරී බැලුවාය.
“අරය වගේ.” ඔහු අත දිගු කර පෙන්වූයේ ඇය මොහොතකට පෙර සතුටු කරවූ පුද්ගලයාවය. ඒ දෙස බැලූ ඇය දුටුවේ තමා සමග වැඩ කරන වෙනත් යෙහෙළියක් ඒ වන විටද ඔහු සිට උකුලට ගෙන ඇති අයුරුය.
ඇය ඉදිරියෙහි සිටගෙන සිටියේ අදුරු පැහැති ඇදුමක් ඇද සිටි තරුණයෙකි. පළමුවෙන්ම ඇයගේ අවධානයට යොමු වූයේ ඔහු සතු කඩවසම් බවටයි. ඉන්පසුව ඇය මතක් කිරීමට උත්සහ කළේ තමා මොහුව හදුනනවාද යන්නයි. නමුත් මීට පෙර මොහුව දුටු අවස්ථාවක් ඇයට මතක් කරගත නොහැකි විය.
“ඔයා කවුද? මොනවද ඕනෙ?” ඇය තරමක් වේගවත් හඩකින් ඇසුවේ ඔහුව මෙල්ල කරගැනීමට මෙනි.
ඇයගේ වදන් වල ස්වරයට සිනහ පහළ කළ ආකාශ් “මං ඔයාව ගන්නයි ආවෙ. පුළුවන්ද?” ඇසුවේය.
ඇය සුළු මොහොතක් ඔහු දෙස බලා සිටියාය. මුදලක් හම්බකර ගැනීමට වඩා ඇයගේ අවධානය යොමු වූයේ ඔහු සතු ආකර්ශණිය බවටයි. මනදොළ පිනවීම සදහා ඔවුන්ට වැඩිපුරම ලැබෙන්නේ මැදිවියේ පුද්ගලයන් හෝ ඊටත් වඩා වයසින් වැඩි මහලු මිනිසුන්වය. ඊට හේතුව වූයේ ධනවත් ව්‍යාපාරිකයන් වූ ඔවුන් බොහෝදෙනා අතේ සාමාන්‍යය රැකියාවක යෙදෙන තරුණයින්ට වඩා යහමින් මුදල් ගැවසීමයි. එවැනි ගැණුම්කරුවන් සිටින විට මෙම ආයතනයට තමා වැනි වෙශ්‍යයා තරුණියන්ගෙන් ලැබෙන කොමිස් මුදල වැඩිවෙනවා සේම සූදුවේදි සහ ඔට්ටු ඇල්ලීමේදී ලැබෙන ආදායමද කිහිපගුණයකින් වැඩි වේ. එම නිසා තමා ඇතුළු මෙම සේවාවේ යෙදෙන සියළු තරුණියන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ආයතනය විසින් තමන්ට ලබාදෙන මිනිසුන්ගේ මනදොළ පිනවීමට සිදුවේ.
නමුත් මේ ලැබී ඇත්තේ ඉතාමත්ම කලාතුරකින් ලැබෙන අවස්ථාවකි. ඉදහිට හෝ ඇයට තරුණයන්ගේ මනදොළ පිනවීමේ අවස්ථා ලැබුණද මෙවැනි හැඩකාර තරුණයෙකු නම් මීට පෙර ලැබී නැති තරම්ය. මොහුත් සමග යහන් ගත වීමට ලැබේ නම් මුදලක් නොලැබුණත් කමක් නැතැයි ඇයට සිතුණි.
“පේනවනෙ, දැන් නම් මං වැඩ.” තම සිතෙහි මොහු පිළිබදව ඇති වූ ආකර්ෂණය පිටතට නොපෙන්වමින් ඇය ඇගට පතට නොදැනෙන්නට මෙන් කීවාය.
“එහෙනම් ඔයාට කීයටද පුළුවන්?”
“දහයාමාරෙන් පස්සෙ වගේ. දැන් නම් බෑ. අර පේනවනෙ.” ඇය පැවසුවේ තමා එනතුරු බලා සිටින ගැණුම්කාරයා දෙස බලමිනි. ඇයගේ ඉගිය අනුව ආකාශ්ද එදෙස බැලුවේය. ඔහු දුටුවේ තමා දෙස නොරිස්සුම් සහගත බැල්මක් යොමු කරගෙන සිටින පෙර කී මැදිවියේ මිනිසාවය. සැලකිය යුතු මුදලක් ගෙවා මිලට ගත් තැනැත්තියව කතාවට අල්ලාගෙන ප්‍රමාද කිරීම හේතුවෙන් ඔහු තමා සමග උරණ වී ඇති හැඩකි.
“ඔයාගෙ ගාණ කීයද? මට මුළු රෑම ඕනෙ නෑ. පැය දෙක තුනකට හිටිය නම් ඇති.”
“හාරදාහයි.” ඇය පැවසුවේ නිමේෂයක් කල්පනා කිරීමෙන් අනතුරුවය. පැයකට හෝ මුළු රැයටම වේවා යහන්ගත වීමට නම් හොද ඉල්ලුමක් ඇති ඇයගේ අවම ගණන රුපියල් පහළොස් දහසකි. එම මිල බොහෝ අවස්ථා වල ඊට වඩා වැඩි කිරීම හැර මීට පෙර කිසිදු අවස්ථාවක ඇය තම පෞද්ගලික වැඩ වලදී මිල පහළ දමා නම් නැත.
නමුත් මේ අවස්ථාවේදී ඇය පැවසුවේ මීට පෙර කිසිදු අවස්ථාවක අය නොකළ තරම් අඩු මිලකි. එම මිල, ඉල්ලුම ඉතාමත් අඩු ගණිකාවන් අය කරන මිලට සමාන මිලකි. සාමාන්‍යය ගණන පැවසුවහොත් මිල වැඩි යැයි පවසා ඔහු තමාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඇය සැබවින්ම බිය වූවාය.
ඇය පැවසූ මිල ආකාශ්වද විස්මයට පත් කළේය. දින කිහිපයක්ම මෙම සමාජ ශාලාවේ කරක් ගැසීම හේතුවෙන් මෙහි සිටින ගණිකාවන් සාමාන්‍යයෙන් අලෙවි වන මිල ගණන් ඔහු දැන සිටියේය. ඇගේ රූමත් පෙනුමද, ඇයට ඇති ඉහළ ඉල්ලුමද සලකා බැලූ විට ඔහුද මීට වඩා දෙතුන් ගුණයක මිලක් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් එය එසේ නොවිය. සිතුවාට වඩා මෙය ලාභදායක බව ඔහුට හැගුණි. නමුත් ඔහු ඒ බවක් ඇයට නොපෙන්නුවේය.
“හරි, එහෙනම් මං දහයාමාරෙන් පස්සෙ මෙතනට එන්නම්. අ… අනිත් එක, මං කොහොමද ඔයාව හොයාගන්නෙ? ඔයාගෙ නම කියන්න පුළුවන්ද?”
“මං මීනා. මීනාව හම්බවෙන්න ආව කියල කියන්නකො. එහෙම කිව්වහම මෙතන වැඩ කරන ඕන කෙනෙක් දන්නව.”
“හරි මීනා. එහෙනම් මං දැන් යනවා. අපි දහයාමාරට හම්බවෙමු.” පැවසූ ආකාශ් ආපසු සිටි තැනට යාමට හැරුණේය.
මීනා යනු ඇයගේ සත්‍ය නම නොවන බව ඇය එය පැවසූ මොහොතේම ආකාශ්ට වැටහුණි. නමුත් ඇයගේ සත්‍ය නම දැනගැනීමට ඔහුට උවමනාවක්ද නොවිය. එසේම මැය සමග යහන් ගත වී තමාට පණ මෙන් ආදරය කළ ලෝචනාට ඳ්‍රෝහී වීමටද ඔහුට කිසිදු අදහසක් නොවිය. ඔහුට අවශ්‍යය වූයේ වෙනත් තොරතුරු කිහිපයක් දැන ගැනීමට පමණි.
“මේ… පොඩ්ඩක් ඉන්න.” ඈ ඔහුව නැවැත්තුවාය.
“මුකුත්ම නැතුව මට ඔයා එනකන් බලන් ඉන්න බෑ. ඔයා ආවෙ නැති වුණොත් එහෙම ඒකත් නෑ. මේකත් නෑ. ඒ හින්ද මට දැන් ඇඩ්වාන්ස් එකක් ඕනෙ.”
ඇය පවසා සිටියේ අතිකාරම් මුදලක් ලබා ගත්තොත් ඇයට වාසි දෙකක් ලැබෙන නිසාය. එකක් නම් අතිකාරම් මුදලක් ලබා දීමෙන් පසුව ඔහු නොපැමිණ සිටීමට හේතුවක් නැත. අනික කිසියම් හෝ හේතුවක් මත ඔහු නොපැමිණියහොත් අඩුම තරමින් අතිකාරම් මුදල හෝ ඇයට ඉතිරි වනු ඇත.
සිනාසෙමින් ආපසු ඇය දෙසට හැරුණු ආකාශ් රුපියල් දහසේ නොට්ටුවක් ඇය වෙත දික් කළේය.
“දැනට මේ ඇතිනෙ. ඉතිරි ටික වැඩේ ඉවර වුණාට පස්සෙ.”
“හරි.” ඇය නොට්ටුව අතට ගත්තේ පෙරළා ඔහු වෙත සිනහවක් පාමිනි.
තරගකරුවන්ට ලබා දුන් කෙටි විවේකයෙන් පසුව සටන් තරගය නැවත ආරම්භ විය. ආකාශ් සටන හොදින් නැරඹිය හැකි ස්ථානයකට ගිය අතර මීනා නමින් හදුනාගත් තරුණිය නැවතත් සිය ගැණුම්කරුවා වෙත ගියාය.
“මොකද මීනා එච්චර වෙලා කළේ? කවුද ඒ මිනිහා?” මැදිවියේ පුද්ගලයා ඇසුවේ තරමක් නොරිස්සුම් හඩකිනි.
“ආ… ඒ මගේ පරණ යාළුවෙක්.” පවසමින් ඇය නැවතත් ඔහුගේ උකුල මත වාඩි වූවාය.
“එහෙමද?” ඔහු පැවසුවද ඇයගේ පිළිතුර විශ්වාස කළේ නැත.
“මේ… ඒක නෙමෙයි. අද මරු දවස. මොකද කියන්නෙ… අද අපි දෙන්නා…”
“අනේ අද නම් මට බෑ. මට අද රෑට වෙන වැඩක් තියෙනව.”
“අයියෝ මීනා. අර හිගන්නත් එක්කද ඔයාට වැඩ තියෙන්නෙ. කොහෙන් ආපු කාලකණ්නියෙක්ද? ඔයාට බීම එකක් අරන් දෙන්නවත් ඕක ගාව සල්ලි නැතුව ඇති.” මිනිසා පැවසුවේ ආකාශ් සිටි දිශාවට සිය අතක් දික් කරමිනි.
“හිගන්නෙක් වුණත් එයා උඹ වගේ පෙරේත නාකියෙක් නෙමෙයිනෙ.” ඒ ඇයගේ සිතට පැමිණි සිතිවිල්ලයි. නමුත් එය වදන් ලෙස මුවින් පිට නොකළ ඈ තම ගැණුම්කරුවා දෙස බලා සිනාසුණාය.
මේ බඩ මහත ගුජුප්සාජනක කාමාතුර මිනිසා දැන් දින කිහිපයක සිටම ඇගේ පසුපස වැටී ඇත. මොහු මෙම ආයතනයට වැඩිපුර මුදලක් ගෙවා තමාව ලබාගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබුණි. එසේම මොහු තමන්ටද අඩුවක් නැතිව මුදලින් සංග්‍රහ කරයි. එමගින් මෙම පුද්ගලයා තමාගෙන් බලාපොරොත්තුවන්නේ කුමක් දැයි ඇය හොදින්ම දැන සිටියාය. දැන් දින දෙකක සිටම ඔහු උත්සහ කරන්නේ කුටියකට තමාව ඇදගෙන ගොස් අදාළ කාර්යය කිරීමටය. නමුත් කුමක් හෝ පවසා ඒ සෑමවිටම ඇය එම ඉල්ලීම මගහැරියාය. සැබවින්ම මේ කාමාතුරයා සමග යහන්ගත වීම ගැන සිතීම පවා ඇයට මහත් අප්‍රසන්න දෙයකි. මීට පෙර දිනයන් වලදි මොහු තමන්ට දුන් මුදල් ආපසු මොහුගේම මුහුණට දමා ගැසීමට සිතෙන තරමටම මේ මිනිසා දැන් ඇයට වධයක් වී ඇත. නමුත් මෙම සමාජශාලාව තුළ තමාට ලැබී ඇති රැකියාව අහිමි වේ යැයි බියෙන් ඈ මේ සියල්ල ඉවසුවාය.
“මීනා… අරූ ඔයාට කීයක්ද දෙනව කිව්වෙ? කීය වුණත් කමක් නෑ මං ඔයාට ඒ වගේ තුන්ගුණයක් දෙනවා.”
“අනේ මං කිව්වනෙ අද මට බෑ කියල. මං බාර ගත්ත වැඩක් තියෙනව.”
ඇගේ එම දැඩි ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුගේ කෝපය ඇවිස්සුනි.
“ඔයා ඊයෙත් ඔය කතාවමනෙ කිව්වෙ. එතකොට ඔයාව ගන්න මං මෙහෙට දීපු සල්ලි. මට හැමදාම බලන් ඉන්න බෑනෙ.”
“ඇයි? මං ආවෙ නැත්නම් ඔයා මොනව කරන්නද?” ඈ එකට එක කීවේ ඇයගේද කෝපය ඇවිලීම හේතුවෙනි.
“මට මොනවද ඔයාට කරන්න බැරි කෙල්ලෙ.” පැවසූ ඔහු සිය අතක් ඇගේ ළැම වෙත දිගු කළේය.
ඔහුගේ එම ක්‍රියාව ඇය ඒ අවස්ථාවේදී බලාපොරොත්තු නොවූවකි. එම නිසා ඔහුව වැළැක්වීමට ඇය ප්‍රමාද වූවා වැඩිය. අඩක් පමණක් නිරාවරණය වන සේ කෙටි ඇදුමකින් වැසී තිබූ ඇගේ පියයුරු ඔහුගේ අතට හසු විය. ඇති වූ ක්ෂණික තිගැස්මටත් වඩා සිතේ ඇති වූ පිළිකුල හේතුවෙන් ඇය ඇඹරුණාය.
“පෙරේතයා, තෝ ඕන මගුලක් කරගනින්.” දැඩි ලෙස කෝපයට පත් වූ ඇය සිටි තැනින් නැගිට දත්මිටි කමින් කීවාය.
ඔහු විස්මයට පත්ව ඇයට කුමක් සිදුවී ඇත් දැයි යන සිතිවිල්ලෙන් යුතුව මුව අයාගෙන බලා සිටියදී මීනා වේගයෙන් එතැනින් ඉවතට ඇවිද ගියාය.
ඇගේ වෘත්තියට අනුව එවැනි සිදුවීම් කිසි ලෙසකින් වත් කෝප නොගත යුතු සුළු සිදුවීම්ය. සැබවින්ම ඒ අවස්ථාවේදී තමාගේ හැසිරීම ගැන ඇයටද පුදුම සිතුණි. එය ඇයට මෙම ස්ථානයේ ලැබී ඇති රැකියා අවස්ථාවද අනතුරේ වැටිය හැකි හැසිරීමකි. නමුත් හදිසියේම ඇගේ සිතෙහි ඉස්මතු වූ කාන්තා සිතිවිලි වඩාත් ප්‍රභල විය. එනම් කඩවසම් තරුණයෙකු සිටින විට තමන් තවදුරටත් මෙවැනි මැදිවියෙහි අප්‍රසන්න මිනිසුන් සමග යහන්ගත වීම අනවශ්‍යය බවයි.
තම ශ්‍රවණ හැකියාව උපයෝගී කරගත් ආකාශ් කට කොනකින් සිනාසෙමින් මීනාත් ඇයගේ ගැණුම්කරුවාත් අතර වූ දෙබස අසාගෙන සිටියේය. ඇය මුදල් මතම යැපෙන වෙශ්‍යාවක් නොවන බව ඔහුට සිතුණි. එය එසේ නම් තමා ඇය සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. සිය ගැණුම්කරුවාගේ ග්‍රහණයෙන් ඉවත් වූ ඇය ඇවිද එන්නේ තමා වෙතට බව වටහාගත් ආකාශ් මීළගට කරන්නේ කුමක්දැයි කල්පනා කරන්නට විය.
“අපි දැන් යමුද?” ආකාශ් අසලටම පැමිණි ඇය එක්වරම විමසුවේ ඔහුගේ අතකින්ද අල්ලා ගනිමිනි.
බලාපොරොත්තු නොවූ අයුරින් එක්වරම සිදු වූ මේ විමසීමෙන් ඔහු විස්මයට පත් විය. සුළු මොහොතක් යන තුරු ඔහුට වචන පවා ගලපා ගත නොහැකි විය.
“ආ… ඔයා දැන් වැඩ නේද? ඒ… ඒ වැඩේ ඉවරයිද?”
“අර පෙරේත යකා… අහ්, ඒවයින් දැන් වැඩක් නෑ. ඒ වැඩේ ඉවරයි. අපි ඉක්මණට යමුද? උඩ හොද කාමරේකුත් තියෙනව.” ඇය නැවතත් විමසුවේ සෙමින් ඔහුගේ අත අදිමිනි.
“අ… අපි තව පොඩ්ඩකින් යමුද? මේක බලල ඉවර වෙලා.”
“ඔයත් මේ ලේ පෙරෙනකන් ගහගන්න ඒවට කැමතිද?” අල්ලාගෙන සිටි ඔහුගේ අත අත්හරිමින් ඇ ඇසුවේ තරගය දෙස බලමිනි. ඇගේ සිතෙහි ඇති වූයේ පරාජිත හැගීමකි. මීට පෙර ඇයට හමුවූ සියලුම පිරිමින් උත්සහ කළේ හැකි ඉක්මණින් තමාව කුටියකට කැදවාගෙන යාමටය. තමන් “හා යමු” කියන තුරු ඒ කාමාතුර පිරිමින් බලා සිටියේ දැඩි නොඉවසිල්ලෙනි. එහෙත් මේ තරුණයා තම ඉල්ලීම කල් දැමීම ඇයට වටහාගත නොහැකි විය.
“එහෙම කියල ලොකු කැමැත්තක් නෑ. ඒත් ඉතින් බලන් ඉන්න නම් හොදයි. ඇයි මොකද? ඔයා කැමති නැද්ද?” ඔහු සිනාසෙමින් ඇසුවේය.
“ඉස්සර නම් මාත් බලන් හිටියා. දැන් නම් එපා වෙලා තියෙන්නෙ.”
“ඒ කිව්වෙ… ඔයා දැන් ගොඩක් කල් ඉදන් මෙහෙ වැඩ කරනවද?”
“ඔව්, දැන් අවුරුද්දක් විතර ඇති.”
“ආ… එහෙමද? ඔයා එහෙනම් මේ ගහගන්න කට්ටියව අදුරනවත් ඇති නේද?”
“ඔව්, මේකෙ අරක්ගෙන ඉන්න ගොඩක් එවුන්ව මං හොදටම අදුරනවා.” ඇය පැවසුවේ අවලාදාත්මක ස්වරයකිනි.
මෙම තරගකරුවන් ගැන ඇයට ඒ හැටි පැහැදීමක් නැති බව ආකාශ්ට වැටහුණි.
“ඉතින්… ඔයාට කියන්න පුළුවන්ද මේකෙන් කවුරු දිනයිද කියල?” ඔහු විමසුවේ තරගය වෙත සිය අතක් දිගු කරමිනි.
“ඕක ඉතින් අහන්නත් දෙයක්ද? අර පොඩි කොල්ලට පුළුවන්ද අර පෙරේත යකා එක්ක හැප්පෙන්න. ඌ මහ තිරිසනෙක්.”
මේ වන විට තරගය තීරණාත්මක තත්වයකට පත්ව තිබුණි. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති තරුණයා දක්ෂ සටන්කරුවෙකු බව පෙනුනද ඔහු පහර එල්ල කරනවාට වඩා සිය ප්‍රතිවාදියාව මගහරිමින් සටන් වළල්ල පුරාම එහාටත් මෙහාටත් පනින්නටත් දුවන්නටත් විය. එම නිසා මීනා විසින් තිරිසනෙකු යැයි සදහන් කළ මිනිසා දැඩි කෝපයට පත්ව සිටියේය.
“ගෑණියෙක් වගේ දුවන්නෙ නැතුව මූණට මූණ වරෙන් පරයො.” ඔහු සිය පපුවට ගසාගනිමින් කෑගසන්නට විය.
නමුත් තරුණයා එය ගණන්ගත් බව දක්නට නොලැබුණි. එම නිසා උස මහත මිනිසාගේ ඉවසීමේ අවසන් සීමාවද ඉක්මවා ගියේය. අසල වූ බරැති පුටුවක් ඔසවා ගත් ඔහු තරග නීති කිසිවක් නොසලකමින් හැකි වෙර යොදා තරුණයා වෙත දමා ගැසුවේය.
පුටුවෙන් පහර කෑ තරුණයා අඩපණ වී බිම ඇද වැටුණි. ඒ අවසරයෙන් තරුණයා මතට පිනූ හැඩි දැඩි මිනිසා තරුණයාගේ මුහුණට පහර පිට පහර එල්ල කරන්නට විය.
“මොකද්ද ඒ කළේ? එහෙම කරන්න පුළුවන්ද?” ආකාශ් පැවසුවේ වේගවත් හඩකිනි. ඔහුගේ කටහඩෙහි කෝපය ගැබ්ව තිබුණි.
“මෙහෙ ඔව්ව වැඩිය බලන්නෙ නෑ. කවුරු හරි කොහොම හරි දිනනව නම් එච්චරයි. ඒකයි මටත් මේ පිස්සුව එපා වෙලා තියෙන්නෙ.”
ඉදිරියට ගොස් මේ අසාධාරණය විසදා දීමට ආකාශ්ට සිතුණි. නමුත් එය තමාට අයිති දෙයක් නොවන්නා සේම තමාගේ රහසිගත බවට සිදුවන හානිය ගැන සිතා හෙතෙම ඉවසීමෙන් බලා සිටියේය.
තවත් මොහොතකට පසුව පහර කෑ තරුණයා සිහිසුන් තත්වයකට පැමිණෙන බව දුටු කිහිපදෙනෙකු මැදට පැන හැඩි දැඩි මිනිසාව ඉවතට ඇද දමා තරුණයාව සටන් වළල්ලෙන් ඉවතට ඔසවාගෙන ගියේය. තරගයේ ජය හැඩි දැඩි මිනිසාට හිමි විය.
මීළග තරගය සදහා නිවේදකයා සමග සටන් වළල්ලට පැමිණියේ සුදු ටෝනි සහ තවත් මරුමුස් පෙනුමැති මිනිසෙකි.
“ඔව්, දැන් තරගය…”
නිවේදකයාට එතැනින් එහාට කිසිවක් පැවසීමට නොලැබුණි. සුදු ටෝනිව දුටු පිරිස මහා හඩින් ඔල්වරසන් දෙන්නට විය. ඔවුන් දන්නා සුපිරිතම ශූරයා සුදු ටෝනි විය. නමුත් සති කිහිපයකට පෙර සුදු ටෝනි නාදුනන අබිරහස් අයෙකුට පැරදුනු බව දැන සිටියේ මෙහි සේවය කරන කිහිපදෙනා සහ බලා සිටි ප්‍රේක්ෂකයන්ගෙන් අතළොස්සක් දෙනා පමණි.
පිරිසගේ ඔල්වරසන් හඩ අඩුවන තුරු නිවේදකයාට බලා සිටීමට සිදුවිය.
“ඔව්, මොකට ආපහු අදුන්වල දෙන්නද? ඔබ කවුරුත් දන්න අපේ වීරයා ටෝනි එක්ක අද තරග කරන්නේ… පියල්.” නිවේදකයා මරුමුස් පෙනුමැති අනිත් මිනිසාව පෙන්වමින් හදුන්වා දුන්නේය.
“හරි… දැන් සුපුරුදු විදියට අභියෝගය. ටෝනි එක්ක හැප්පෙන්න පුළුවන් කවුරු හරි ඉන්නව නම්… විනාඩි දෙකක් තියෙනව. එන්න ඉස්සරහට. දින්නොත් රුපියල් ලක්ෂ දෙකයි. කජු ඇට කොස් ඇට නෙමෙයි. රුපියල් ලක්ෂ දෙකක්… ඒ වෙලාවෙම කෑෂ් දෙනවා…”
“හරිනෙ මං කිව්වා. අර තිරිසනා දිනයි කියල. ඉතින්, දැන් අපි යමුද?” ඇය ඇසුවේ තරමක නොඉවසිලිමත් හඩකිනි.
“අ… මේකත් බලලම යමුද? ඇත්තම කියනව නම් මං අද ආවෙත් ටෝනි ගහගන්නව බලන්නමයි. ටෝනිට ගහන්න කවුරුවත්ම නෑලු නේද?”
එවර නම් ඇගේ සිතෙහි ඇති වූයේ තරමක කෝපයකි. තමාගේ ලිංගික හැගීම්ද උත්සන්න වී ඇති මේ මොහොතෙහි ඔහුගෙන් ලැබූ මෙම ප්‍රතිචාරය ඇයව නොසන්සුන් බවටත් අසහනයටත් පත් කිරීමට හේතු විය. නමුත් ඒ බවක් පිටතට නොපෙන්වූ ඈ හැකි තාක් සිය හැගීම් පාලනය කර ගැනීමට උත්සහ කළාය.
“කලින් නම් එහෙම තමයි. ඒත් දැන් ටික දවසකට කලින් ඌ පැරදුණා. දවස් ගාණකට ආපහු එන්න බැරිවෙන්නම ඌ කෑවා.”
“පැරදුනා? කාටද? මං අහල තියෙන්නෙ සුදු ටෝනි කාටවත් පරදින්නෙ නෑ කියලනෙ.”
තමාට අවශ්‍යය තැනට දැන් ඇය පැමිණ ඇත. දැන් කල්පනාකාරීව සීරුවෙන් ඇයගෙන් තොරතුරු එළියට ගත යුතුය.
“කවුද කියල නම් දන්නෙ නෑ. එදා මමත් නිවාඩු දාලා හිටපු හින්ද මෙහෙ වැඩ කරන මගේ යාළුවෙක් තමයි මටත් විස්තරේ කිව්වෙ. එයා කිව්ව ඒ මිනිහව මීට කලින් නම් මෙහෙදි දැකල නෑලු. ඌට ටෝනිව බිම දාන්න විනාඩියක්වත් ගියෙ නෑලු. කොහොම හරි ටෝනිට ආපහු නැගිට ගන්න බැරි වෙන්නම වැදිල තියෙනව. පර බල්ලා. හොද වැඩේ ඕකට. ඔහොම වෙලා මදි.”
“මොකද ටෝනි එක්ක ඔච්චර තරහ?”
“උගෙ වැඩ ගැන ඔයා දන්නෙ නෑනෙ.”
“ඇයි? මොනවද එයාගෙ වැඩ.”
ඇය වරක් ආකාශ් දෙස බලා නැවත වරක් තරගය දෙස බැලුවාය.
“ඕක මහ ගෑණු පෙරේතයෙක්. හොදට ඇග පත තියෙන කෙල්ලෙක්ව ඌට පේන්න බෑ.”
“ඇයි? ටෝනි ඔයාට මොනව හරි කළාද?”
සුසුමක් හෙලූ ඈ පිළිතුරු දීම ඇරඹුවේ මද නිහැඩියාවකට පසුවය.
“මං මුලින්ම මෙහෙට ආවෙ මේ කාලකණ්නි රස්සාව කරන්න නෙමෙයි. කුස්සියේ වැඩ කරන්නයි එන අයට කෑම බීම අල්ලන්නයි. දැන් අර කොල්ලට පුටුවෙන් ගහපු එකා ඉන්නෙ. උගෙ නම මාලන්. ඒ බල්ල දවසක් මාව දැකල බලහත්කාරෙන්ම මාව උගෙ කාමරේට ඇදන් යන්න හැදුවා. එතකොට මං මෙහෙට ඇවිල්ල සති තුනක්වත් නැතුව ඇති. එතකොට ඔතනට ටෝනි ආවා. ටෝනි ඌට සද්දයක් දාල මාව මාලන්ගෙන් බේරගත්ත. මං ඒ කාලෙ මෙහෙ කා ගැනවත් දන්නෙ නෑ. මාව බේරගත්තට මං ටෝනිට පිං දුන්න. මං ඌට වැන්දෙ නැති එක විතරයි. එතකොට ඌත් හරි සුදන වගේ කතා කළේ. මෙහෙ වැඩ කරනකොට මගේ ආරක්ෂාවට ආයුධයක් දෙන්නං කියල ඌ මාව උගේ කාමරේට එක්කන් ගියා. ඒක විශ්වාස කරල මාත් ඌගෙ කාමරේට ගියා. එච්චර තමයි ඉතින්. මට වුණෙ උගෙ එක රහ බලන්න. හොද කෙල්ලෙක් විදියට හිටපු ඌ මගෙ ජීවිතේම විනාස කරල දැම්ම. එදා ඉදන් අශානි නෝනට යන්න අමාරු දවස් වලට මට තමයි උගෙ වල්කම් පිරිමහන්න වෙලා තියෙන්නෙ.”
“මට දැන් මගෙ අම්ම තාත්තගෙ මූණ බලන්න විදියක් නෑ. අනේ ඔය බල්ල නැත්තටම නැතිවෙලා යන්නෑනෙ.” ඇය අවසන් වදන් කිහිපය පැවසුවේ දත්මිටි කමින් තද සිත් වේදනාවකිනි.
ඔහුට ඇය ගැන තරමක අනුකම්පාවක් ඇති වුවද මේ ඒ පිළිබදව සිතීමට සුදුසු වෙලාව නොවන බව ඔහුට වැටහුණේ ටෝනිගෙ අභියෝගය බාර ගැනීමට එක් අයෙකු ඉදිරිපත් වීමට කැමති බව පැවසූ වදන් ඇසීම හේතුවෙනි. උමතු වූවෙකු හෝ තමා පිළිබදව දැඩි අධිතක්සේරුවෙන් සිතන අයෙකු හැර වෙනත් කවරෙකු හෝ සටන් ශුරයෙකු වූ ටෝනිට නොබියව අභියෝග කළා නම් ඒ තමා සොයන අද්භූත පුද්ගලයාම විය යුතු බව ආකාශ් සැක කළේය.
සියලුදෙනාගේම අවධානය එම පුද්ගලයා වෙත යොමු විය. ඔහු සෙමින් සෙමින් පියවර තබමින් සටන් වළල්ල මැදට ඇවිද ආවේය. දුඹුරු පැහැති ඇදුමක් සහ විශාල හිස්වැස්මක් පැළද සිටීම හේතුවෙන් ඈතට ඔහුගේ මුහුණ එතරම් පැහැදිලි නොවිය. නමුත් එම පුද්ගලයා සමීපයෙහි සිටි ටෝනි සහ නිවේදකයාගේ මුහුණු වල සටහන් වූ මාරන්තික බියකට පත් වූ සළකුණු ආකාශ්ගේ සැකය තහවුරු කළේය. ඔහු දින ගණනාවක්ම බලා සිටි පුද්ගලයා දැන් මෙතැනට පැමිණ ඇත. සටන පැවතුනහොත් බොහෝදුරට ටෝනිට කුමක් හෝ අනතුරක් සිදුවනු ඇත. නමුත් ආකාශ්ට දැන් ඒ පිළිබදව එතරම් තැකීමක් නොවිය. ටෝනි යනු ආරක්ෂා කිරීමට තරම් වටින පුද්ගලයෙකු නොවන බව මීනාගේ කතාවෙන්ම පැහැදිලි විය. ආකාශ්ට අවශ්‍යය වූයේ මේ අද්භූත පුද්ගලයා කවරෙකු දැයි හොදින් හදුනාගැනීමටය.
ඉන්පසුව ආගන්තුක පුද්ගලයා සහ නිවේදකයා අතර පහත් හඩින් යම් වචන හුවමාරුවක් සිදුවිය. දැඩි උනන්දුව හේතුවෙන් සිය ශ්‍රවණ හැකියාව පවා ආකාශ්ට අමතක විය. සුළු මොහොතකට පසුව එය ඔහුට මතක් වූවද ඒ වන විට එම කතා බහ අවසන් වී තිබුණි. ඉන්පසුව නිවේදකයා හැරුණේ ටෝනි වෙතය. ආකාශ් වහාම සිය ශ්‍රවණ අවධානය ඒ වෙත යොමු කළේය.
“අපිට දැන් මේක පටන් ගන්න පුළුවන් නේද?” නිවේදකයා ටෝනිගෙන් ඇසුවේය.