Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 11
ISBN 978-955-44323-2-1
“ඉතින් ඔය නිශාද කවුද කියන එක්කෙනා ඔයා ගැන දැන ගත්තොත් අවුලක් කරන එකක් නෑ කියල ෂුවර්ද?”
කසුන්ගේ පැනයට ආකාශ් පිළිතුරු දීම ඇරඹුවේ සිය දෙවුර හකුළුවමිනි.
“මොන ෂුවර්ද? මොනව කරයිද කියල හිතාගන්න බෑ.”
ඉන්පසුව ඇති වූයේ සුළු නිහඩතාවයකි. එය බිද දැමුවේ කසුන් විසිනි.
“මොකෝ බං වීඩියෝ එක දිහා බලාගෙන කල්පනා කරන්නෙ. ඇත්ත කියපං, උඹ නේද සාප්පුවට ගේම දුන්නෙ? ඔන්න අපි නම් දන්නෙ නෑ. උඹ දැන් පොලීසියේ අතටම මාට්ටු.” ජංගම දුරකතනයේ තිරය දෙස නෙත් යොමාගෙන නිහඩව කල්පනාවේ වෙලී සිටි දයාන්ගේ පිටට පහරක් ගසමින් කසුන් පැවසුවේ උස් හඩින් සිනාසෙමිනි.
එම විහිළුවට පෙරළා සිනාසුණු දයාන් නිහඩවම ආකාශ්ගේ අතට ජංගම දුරකතනය බාර දුන්නේය.
“මොනවද දයාන් කල්පනා කරන්නෙ? වීඩියෝ එක ගැනද?” ආකාශ් විමසුවේය.
එම පැනයට දයාන් පිළිතුරු දීම ඇරඹුවේ තත්පර කිහිපයක් ආකාශ්ගේ දෙනෙත දෙස ඍජුව බලා සිටීමෙන් අනතුරුවය.
“ඔව්, මං කල්පනා කළේ ඌට තිබුණ හයිය ගැන. යකඩ නැව්වෙ නිකං කොළ කෑලි නවනව වගේ.”
“ඉතින් ඔයත් අද බුලට් දෙකක් අතින් නැවැත්තුවෙ?”
“බුලට් අතින් නවත්තන්න මහ ලොකු හයියක් ඕනෙ නෑ. ඒ වේගෙ අදුරගෙන ඒකට පුරුදු වුණාම හරි. පුරුදු වුණොත් ඔයාටත් කරන්න පුළුවන්. ඒත් මේක වෙන කතාවක්. කඩදාසි නවනව වගේ යකඩ නවනව කියන්නෙ… අනේ මන්දා. අපි කට්ටියම එකතු වුණත් ඌව නවත්තන ඒක ලේසි වෙයි කියල මං නම් හිතන්නෙ නෑ.”
“නවත්තන්න කලින් ඌ කවුද කියල දැනගෙන ඉන්න එපැයි බං. උඹට මාව කනාවට වගේ සෙට් වුණාට මූව කොයි ලෝකෙන් හොයන්නද?” පවසමින් කසුන් මැදට පැන්නේය.
ඉන්පසුව ඔවුන් තිදෙනා අතර නැවතත් නැවතත් මද නිහැඩියාවක් හට ගත්තේ කසුන්ගේ පැනයට පිළිතුරක් කිසිවෙකුත් දැන නොසිටීම හේතුවෙනි. නිහැඩියාව මදකින් හෝ බිද දැමුවේ සයුරේ රළ බිදෙන හඩ පමණි.
ආකාශ් විමසිල්ලෙන් යුතුව දයාන්ගේ මුහුණේ ඉරියව් සහ හැගීම් පරීක්ෂා කරන්නට විය. කුමක් හෝ හේතුවක් නිසා ස්වර්ණාභරණ සාප්පුව කැඩූ පුද්ගලයා දයාන් යැයි ඔහුට සිතෙන්නට විය. නමුත් එය පරික්ෂා කරගත හැකි ක්‍රමයක් ඔහුට කල්පනා නොවිය. එසේම ආකාශ්ට දයාන්ගෙන් දැනගත යුතු තවත් කරුණක් තිබුණි.
“දයාන්, පොඩි දෙයක් තියෙනව මට දැනගන්න.”
“මොකද්ද?”
“ඔයා ටෝනිත් එක්ක හැප්පෙන්නෙ සල්ලි නිසාද? නැත්තං වෙන මොකක් හරි හේතුවක්ද?”
දයාන් පිළිතුරු දුන්නේ තත්පර කිහිපයක් ඉවත බලාගෙන කල්පනා කිරීමෙන් අනතුරුවය.
“ඒක මට ඔයාට කියන්න බෑ.”
දයාන්ගේ හඩෙහි ශෝකයත් කළකිරීමත් තදින්ම ගැබ්ව තිබූ හෙයින් ඒ ගැන ප්‍රශ්න කිරීම කල් දැමීමට ආකාශ් සිතා ගත්තේය. නමුත් එය සොයා ගත යුතු කාරණාවකි.
“අපි දැන් මෙතනින් යමු. කුඩ්ඩො අල්ලන්න එන පොලීසිය සමහර විට මේ පැත්තෙ කරක් ගහනව.” මිනිත්තුවක් පමණ ඉවත බලාගෙන නිහඩව කල්පනා කරමින් සිටි දයාන් එක්වරම හුන් තැනින් නැගී සිට කීවේය.
“අපි කොහොමද ආපහු හම්බවෙන්නෙ?” දයාන්ගෙන් දැනගත යුතු තවත් කරුණු බොහෝමයක් තිබුණද ඔහුගේ අදහසට එකග විය යුතු යැයි ආකාශ්ට සිතුණි.
“ඔයාගෙ නම්බරේ දෙන්න. මං මිස් කොල් එකක් ගහන්නම්.”
* * *
එදින තරමක් තදින් සුළං හැමූ ඉරිදා දිනයකි. අතීතයේදී සාමාන්‍යයෙන් ඔහු විවේකි ඉරු දිනයන් වල හෝරාවක් පමණ වැඩිපුර නිදා ගත්තේය. නමුත් දෙව්ගල සිදුවීම සිදු වූ දින පටන් කුමක් හෝ හේතුවක් මත ඔහුගේ නින්ද සීමා වී ඇත. දිනකට එය උපරිම වශයෙන් පැය දෙකක් හෝ තුනක් පමණක් විය. සාමාන්‍යය මිනිසෙකුට නම් එය වෙද්‍යය උපදෙස් ගත යුතු තත්වයකි. නමුත් දැන් ඔහු කාගේ නම් උපදෙස් පතන්නද? උපදෙස් පැතීමට අවශ්‍යතාවයක්ද නැත. නිදාගන්නා කාලය අඩු වූවද ඔහුට කිසිදු ආකාරයක රෝගී තත්වයක් නොතිබුණි.
හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාදවෙන්නට විය. ඇමතුම නිශාගෙනි. එදින නිවාඩු දිනයක් වූ හෙයින් නිශාගෙන් ඇමතුමක් ලැබීම ගැන ඔහු විමතියට පත් විය.
“ගුඩ් මෝනිං ආකාශ්.”
“ගුඩ් මෝනිං. අනේ මේ… අද නම් මට රිපෝට් හදන්න කියන්න එපා. මං අද මේ ආතල් එකේ ටිකක් ඉන්න බැලුවෙ.” ආකාශ් හාස්‍යය මුසු ස්වරයෙන් පැවසුවද සැබවින්ම ඔහුට එදින නිවාඩුව අවශ්‍යය විය.
“අපෝ නෑ, නෑ. වැඩක් කරගන්න නෙමෙයි කතා කළේ. මට තව අමුතු වීඩියෝ එකක් ලැබුණ රිපෝට් එකක් හදන්න. ඔයා සිකුරාදා ඔෆිස් ආපු නැති නිසා මට පෙන්නන්න බැරි වුණා.”
“අමුතු වීඩියෝ එකක් කිව්වෙ?”
“අර රත්තරන් බඩු සාප්පුව කඩපු හොරාගෙ වගේම කෙනෙක්. මේ පාර බැංකුවක් කඩලා. ලොකුම කේස් එක එතන හිටපු මනුස්සයෙකුත් මැරිලා.”
“බැංකුවක් කඩලා? කවද්ද ඕක වෙලා තියෙන්නෙ?”
“මේකෙ තියෙන විදියට නම් දවස් පහකට විතර කලින් තමයි වැඩේ වෙලා තියෙන්නෙ. සිද්ධිය දැකල තියෙන්නෙ බැංකුවේ මැනේජර් විතරයි. මට වීඩියෝ තුනක් හම්බ වුණා. එකේ තියෙන්නෙ එයාගෙන් ගත්ත කටඋත්තරෙයි, සිකුරුටි කියුපු දේවලුයි, සීසීටීවී රෙකෝඩින් එකයි. සීසීටීවී එක නම් හරියට පේන්නෙ නෑ.”
“වීඩියෝ ටික ඔයා ළග දැන් තියෙනවද?”
“මං ඒක අපේ සර්වර් එකට දැම්මා. ලින්ක් එකත් ඔයාට ඊමේල් කළා. ඔයා ඊමේල් එක දකින්නෙ නැතුව ඇති කියල හිතුන හින්ද තමයි කෝල් කළේ.”
“තැනක් යූ නිශා. ඔයා මට කොල් කරපු එක ලොකු දෙයක්. දැන් මං මේක බලන්නම්. බලල ඉවරවෙලා ඔයාට කෝල් එකක් ගන්නම්.”
“හරි. ඕකේ. බායි.”
“බායි.”
දුරකතන ඇමතුම විසන්ධි විය. වහාම සිය ජංගම පරිගණකය පණ ගැන්වූ ආකාශ් තම කාර්යාල විද්‍යුත් ලිපිනයට පිවිසුනේ නිශා එව්වේ යැයි පැවසූ වීඩියෝ පටයේ සබැදිය සෙවීමටය. ඇය පැවසූ පරිදිම ඔහුට ඊමේල් පණිවිඩය එවා තිබුණි.
ඔහු පළමු වීඩියෝ පටය නැරඹීම ඇරඹුවේය. එය ප්‍රසිද්ධ වානිජ බැංකුවක ශාඛා ගොඩනැගිල්ලක් තුළ පටිගත කළ වීඩියෝවකි. එහි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ බැංකු කළමණාකරුවා යැයි සිතිය හැකි පුද්ගලයෙකු සිටියෝය.
“මට තවම හිතාගන්න බෑ මොකද වුණේ කියල. මං අද වෙනකන් හොල්මන් විශ්වාස කළේ නෑ. ඒත්…”
“රූපසිංහ මහත්තයා මුලින් ටිකක් සන්සුන් වෙන්නකො. ඔයා දැකපු දේ මුල ඉදන් අපිට පැහැදිලිව කියන්න. අපි දැන් මේක රෙකෝඩ් කරනවා.”
ඒ වීඩියෝ පටය ආරම්භ වූ ආකාරයයි. රූපසිංහ නමින් හැදින්වූ බැංකු කළමණාකරු යැයි සිතිය හැකි පුද්ගලයා තම කතාව නවත්වා මේසය මත තිබූ වතුර වීදුරුවෙන් උගුරු කිහිපයක් පානය කළේය. ඉන්පසුව ඔහු සිය හඩ අවදි කළේ තත්පර කිහිපයක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“මං දැකපු විදියට හැමදෙයක්ම කියන්නම්. ඒත් මේක විශ්වාස කරන්න පුළුවන්ද කියල නම් මං දන්නෙ නෑ.”
“ඒකට කමක් නෑ. මහත්තය දැකපු දේ කියන්නකො.”
ඉන්පසුව රූපසිංහ කතාව ආරම්භ කළේ සුළු මොහොතක් බිම බලාගෙන කල්පනා කිරීමෙන් පසුවය.
“මේ නැති වෙච්ච බණ්ඩාර මහත්තය දැන් ගොඩක් කල් ඉදන් අපේ හොදම කස්ටමර් කෙනෙක්. එයාගෙ ගිණුම් තුන හතරක්ම අපේ බැංකුවේ තියෙනවා. ඒ නිසා මං ඒ මහත්තයව හොදට අදුරනවා.”
“රස්සාවෙ හැටියට මට මේ දේවල් කියන්න තහනම්. ඒත් දැන් වෙච්ච දේ නිසා මං මේක කියන්නම්. ගොඩක් කල් ඉදන් ගණුදෙනු කරන නිසා අපේ බැංකුවෙන් එයාට වෙනම වොලට් එකක් දීල තියෙන්නෙ. ඒක ලේසියකට කඩන්න බෑ.”
“අද පාන්දර පහමාරට විතර ඒ මහත්තය මට කතා කළා. කතා කරල කිව්වෙ මාලයක් තියෙනව. ඒක ගොඩක් වටින එකක්. ගෙදර තියාගෙන ඉන්න බයයි. ඒ හින්දා ඒක පුළුවන් තරම් ඉක්මණට බැංකුවේ තියන්න ඕනෙ කියල.”
“එයා අපේ හොදම කස්ටම කෙනෙක් නිසා හදිසි වැඩ වලදි අපි ඒ මහත්තයට ටිකක් විශේෂත්වයක් දෙනවා. ඉතින් මං කිව්ව උදේ හතට විතර මං බැංකුවට එන්නම් කියල.”
“ඉතින් මං කිව්ව වගේ උදේ හතට විනාඩි දහයක් වගේ තියෙද්දි මං බැංකුවට ආවා. එතකොටත් බණ්ඩාර මහත්තය ඇවිල්ල හිටියෙ. එයා මං එනකන් වාහනේ ඇතුලට වෙලා බලාගෙන හිටියා. මාව දැක්කට පස්සෙ තමයි වාහනෙන් බැස්සෙ.”
“ඊට පස්සෙ…”
“මට මේක කියන්න මහත්තයා.” එක් නිලධාරියෙකු රූපසිංහගේ කතාවට බාධා කරමින් පැවසුවේය.
“බණ්ඩාර වාහනේ හිටියෙ තනියමද? නැත්තම් තව කවුරු හරි හිටියද?”
“වෙන කවුරුවත් හිටියෙ නෑ. එයා තනියම තමයි හිටියෙ.”
“වෙනදටත් එයා තනියමද එන්නෙ?”
“සමහර දවස් වලට එයා එක්ක වැඩ කරන කෙනෙක් වාහනේ දාගෙන එනවා. තනියම එන දවසුත් තියෙනව.”
“හරි. ඊට පස්සෙ මොකද වුණේ?”
“ඊට පස්සෙ අපි කතා කර කර දොර ළගට ආවා. ඇතුලට ඇවිත් බණ්ඩාර මහත්තයට අතන පුටුවෙ වාඩිවෙන්න කියල මං ලයිට් දාන්න ගියා. මං ආපහු එනකොට එයා මාලෙ අතේ තියාගෙනයි හිටියෙ.”
“මමත් ඇවිත් ඉදගත්තට පස්සෙ එයා මාලෙ දිග ඇරල මේසෙ උඩ තිබ්බ. එතකොට තමයි මං ඒක හරියටම දැක්කෙ. ඒක සෑහෙන්න වටින පරණ මාලයක්. පවුම් විස්සකටත් වඩා වැඩි ඇති කියල මට ඒ වෙලාවෙම හිතුනා.”
“එයා මට කිව්වෙ ඒ මාලෙ කොච්චර පරණද කියල එයාවත් දන්නෙ නෑලු. මාලෙ මෙච්චර දවස් තිබිල තියෙන්නෙ එයාගෙ අයියා ළගලු. අයියා දැන් මාස දෙක තුනකට විතර කලින් නැති වෙලා තියෙනව. එයා බැදල නැති නිසා මෙයාට මාලෙ ලැබුණලු. ලැබුණ ගමන් කරන්න දෙයක් හිතාගන්න බැරි වෙච්ච හින්දා බැංකුවට අරගෙන ආවලු.”
“ඊට පස්සෙ මං කිව්ව පවුම් ගාණ මැනල ඉවර වෙලා ඩොකියුමන්ට් සයින් කළාට පස්සෙ මං මේක එයාගෙ වොලට් එකට දාන්නම් කියල.”
“පොඩි දෙයක් මට දැනගන්න ඕනෙ රූපසිංහ මහත්තයා.” නැවතත් පොලිස් නිලධාරියෙකු රූපසිංහගේ කතාවට බාධා කළේය.
“ඒ වෙලාවෙ බණ්ඩාර මහත්තය මොකකට හරි බය වෙලා වගේද හිටියෙ?”
එම පැනයට රූපසිංහ පිළිතුරු දුන්නේ තත්පර කිහිපයක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“එහෙම බයවෙලා කියල නම් පෙනුනෙ නෑ. හැබැයි ටිකක් විතර කලබල වෙලා හිටියෙ.”
“හරි මහත්තයා. කතාව දිගටම කියන්න.”
“ඊට පස්සෙ තමයි හිතාගන්න බැරි දේ වුණේ. මං මාලෙ අතට ගන්න හැදුව විතරයි. එක පාරටම ලොකු හුළගක් එක්ක හෙවනැල්ලක් වගේ එකක් අපි ළගින් ගියා. බණ්ඩාර මහත්තය කෑගහගෙන පුටුවෙන් පිටිපස්සට වැටුණා. එකපාරටම මොකද වුණේ කියල හිතාගන්න බැරි වෙච්ච හින්ද මං හෙවනැල්ල දිහා බැලුවා. එතකොට තමයි දැක්කෙ එතන කවුද කෙනෙක් හිටගෙන ඉන්නව.”
“ඒ මනුස්සයෙක්ද කියල කියන්න නම් මං දන්නෙ නෑ. මං දැක්ක විදියට නම් මූණ රෙදි කෑල්ලකින් වහගෙනයි හිටියෙ. මට හිතාගන්න බෑ. මේසෙ උඩ තිබ්බ මාලෙ එයාගෙ අතේ තිබුණෙ.”
රූපසිංහ නැවතත් වතුර උගුරක් පානය කළේය. ඔහු ඉතා තදින් තැතිගැනීමකට ලක්ව ඇති බව පෙනෙන්නට තිබුණි.
“ඒ නම් මනුස්සයෙක් වෙන්න බෑ. හුළගක් වගේ ඇවිල්ල හුළගක් වගේ ආපහු ගියා. ඒ… ඒ හොල්මනක්ද කොහෙද.”
“මහත්තයා, දැන් වෙච්ච දේ වෙලා ඉවරයිනෙ. දැන් බය වෙලා වැඩක් නෑ. අපිට අකුරක් නෑර වෙච්ච දේ කියන්නකො.” නිලධාරියෙකු පැවසුවේ රූපසිංහව සන්සුන් කිරීමේ අදහසිනි. නමුත් රූපසිංහ සිටියේ අධික ලෙස බියට පත්වය.
“බය නොවී කොහොමද? හොල්මන් අවතාර එන්න ගත්තට පස්සෙ මම කොහොමද රස්සාව කරන්නෙ? ඊට වැඩිය මගේ ජීවිතේ… අනේ දෙයියනෙ… මාව මැරෙන්නත් තිබුණා.” කියමින් හෙතෙම සිය මුහුණ දෑතෙහි ඔබා ගත්තේය.
ඉන්පසුව තත්පර කිහිපයක නිහැඩියාවක් ඇති විය. ඔවුන් රූපසිංහට නැවතත් යථා තත්වයට පත්වීමට කාලය ලබා දුන්නෝය. එක්වරම හිස එසවූ රූපසිංහ නැවතත් කතා කිරීම ඇරඹුවේය.
“ඊට පස්සෙ ඒක පාරටම එයා පාවෙලා වගේ අපේ මේසෙ උඩට ආව.”
“මොකද්ද කිව්වෙ? පාවෙලා ආව?” නිලධාරියා ඇසුවේ අවිශ්වාසය කැටි වූ හඩකිනි.
“ඔව්. උඩින් තමයි ආවෙ. මට පෙනුන විදියට අන්න අතන තියෙන මල් පෝච්චියේ ඉදන් තමයි එයා පාවෙල මෙතනට ආවෙ.” රූපසිංහ පැවසුවේ තරමක් ඈතින් තිබූ කිසියම් දෙයක් පෙන්වමිනි.
“ඉතින් රූපසිංහ මහත්තයො එතන ඉදන් මෙතනට අඩි විස්සක් විතර තියෙනවනෙ. කොහොමද එච්චර දුරක් පනින්නෙ?”
“ඒක තමයි මටත් හිතාගන්න බැරි.”
“මහත්තයට ඔය කියන දේවල් ගැන හොදටම විශ්වාසයි නේද?”
“අනේ මන්දා. මට නම් වෙලාවකට මේක හීනයක් වගේ’” පවසමින් රූපසිංහ සිය දෑත හිසෙහි ගසා ගත්තේය. රූපසිංහ සිටින්නේ එතරම් හොද සිහියකින් නොවන බව ආකාශ්ට වීඩියෝව තුළින් වූවද දැකගත හැකි විය.
“හරි මහත්තය. ඊළගට මොකද වුණේ?”
“ඊට පස්සෙ… ඔව්. ඊට පස්සේ එයා පාවෙලා ඇවිත් මේසේ උඩ නැවතුනා. නැවතිලා පුටුවෙන් බිමට වැටිච්ච බණ්ඩාර මහත්තය දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. ඊට පස්සෙ එකපාරටම අතුරුදහන් වුණා.”
“අතුරුදහන් වුණා?” එක් නිලධාරියෙකු අවිශ්වාසය කැටි වූ හඩින් එයම ප්රතිරාව කළේ මේ මොන විකාර කතාවක් දැයි අසන්නාක් මෙනි.
“ඔව්. එක පාරටම ලොකු හුළගක් එක්ක එයා නැතිවෙලා ගියා. මට මතක එච්චරයි. බය වෙච්ච පාරට මට කලන්තයක් වගේ හැදුනද කොහෙද? මං එහෙමම මේසෙට ඔළුව තියාගත්ත. මං කොච්චර වෙලා එහෙම හිටියද කියල කියන්න මං දන්නෙ නෑ. මං ආපහු නැගිටිනකොට බණ්ඩාර මහත්තය ඒ වැටිච්ච විදියටම හිටිය. ඊට පස්සෙ මං උදව් ඉල්ලලා කෑගැහුවා. එතකොට තමයි දොරෙන් එළියේ හිටපු සිකුරුටි දෙන්නා දුවගෙන ආවෙ.” රූපසිංහ සිය කතාව අවසන් කළේය.
දෙවන වීඩියෝ රූපරාමුවේ ප්‍රශ්න කිරීම සිදුකළේ රූපසිංහගේ කෑගැසීම ඇසී බැංකුව ඇතුලට පැමිණි මුරට සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙනි. නමුත් ගොඩනැගිල්ලෙන් පිටත සිටි හෙයින් ඇතුලත සිදුවූ කිසිවක් ගැන නොදන්නා බව ඔවුන් පැවසුවෝය. අඩුම තරමින් බණ්ඩාර පුටුවෙන් වැටෙන ශබ්දය පවා ඔවුන්ට ඇසී තිබුණේ නැත.
තෙවන වීඩියෝ රූපරාමුවේ තිබුණේ සීසීටීවී ආරක්ෂක කැමරා දර්ශන කිහිපයකි. ආකාශ්ද නොඉවසිල්ලෙන් බලා සිටියේ මෙය නැරඹිමටය.
තිරයේ වෙලාව පෙරවරු 6.56 ලෙස දැක්වූ අතර රූපසිංහ සහ බණ්ඩාර ප්‍රධාන දොරටුවෙන් ඇතුල් විය. ඉන්පසුව රූපසිංහ පැවසූ පරිදිම බණ්ඩාර පුටුවෙහි ඉදගෙන තම අතෙහි තිබූ පෙට්ටියකින් යමක් පිටතට ගන්නා අතරදී රූපසිංහ විදුලි බුබුළු දල්වා නැවත පැමිණියේය. ඔවුන් දෙදෙනා මිනිත්තු කිහිපයක් කතා කරන අයුරුත් බණ්ඩාර විසින් රූපසිංහට මාලය බාර දීමට සූදානම් වන අයුරුත් ඔවුන්ට පෙනුණි. සිද්ධියේ වැදගත්ම කොටස සිදුවූයේ ඉන්පසුවය. පැහැදිලි කළ නොහැකි ඡායාවක් වැනි දෙයක් දර්ශන තිරයේ ඇති වී නැති වී ගිය අතර ඒ සමගම බණ්ඩාර පුටුවෙන් පිටිපසට ඇද වැටුණි. ඉන්පසුව තවත් තත්පර කිහිපයකට පසුව අදුරු පැහැති ඇදුමකින් සැරසුනු කිසිවෙකු මේසය උඩ සිටගෙන සිටියේය. ඒ ආගන්තුකයා මේසය වෙත පැමිණ එයට නැග්ගා නොව අහසින් පහත් වූවාක් මෙන් ඉහළක සිට මේසය මතට පිනූ බවක් දක්නට ලැබුණි. තත්පර දෙකක් හෝ තුනක් වැනි සුළු කාලයක් මේසය මත සිටගෙන සිටි එම ආගන්තුකයා මීළග මොහොතේදී වාෂ්පයක් මෙන් අතුරුදහන් වී ගියේය.
පරිගණකය භාවිත කර රූප රාමු වල දර්ශන වේගය හැකි තාක් අවම කර කිහිපවාරයක් නැරඹුවද එම අද්භූත පුද්ගලයාව හදුනාගත හැකි එකදු ලක්ෂණයක්වත් සොයාගැනීමට ආකාශ්ට නොහැකි විය. අද්භුත පුද්ගලයාගේ අධික වේගයත්, රූපරාමු වල ඇති අපැහැදිලි ස්වභාවයත් හේතුවෙන් අද්භූත පුද්ගලයා විසින් බණ්ඩාරට පහරක් එල්ල කළාද නැද්ද යන වග පවා ආකාශ්ට නිශ්චය කර ගැනීමට නොහැකි විය. එසේම මෙය මිනීමැරුමක් වූවත් නොවූවත්, මෙයට රූපසිංහ නමැති බැංකු නිලධාරියාගේ සම්බන්ධයක් නොමැති බව සීසීටිවී දර්ශන වලට අනුව ඔහුට පැහැදිලි විය.
මෙම පරීක්ෂණයේ නිරත වී සිටින පොලිස් නිලධාරීන්ට නම් මෙම සිද්ධිය පැහැදිලි කරගත නොහැකි අපබ්‍රංශයක් වී ඇති බවට සැක නැත. ඔවුන් විසින් පළමුවෙන්ම මෙය කෘතිමව සෑදූ සීසීටීවී දර්ශන පෙළක්ද යන්න පරික්ෂා කරනු ඇත. නමුත් ආකාශ්ට නම් මෙම සීසීටීවී දර්ශන බොරුවක් නොවන බව සහතිකය. නමුත් එතැනින් එහාට යමක් ඔහුද දැන නොසිටියේය.
හොරාව සෙවීම ආරම්භ කළ හැකි කිසිදු ක්‍රමයක් ඔහුට කල්පනා නොවිය. එසේම මෙම අද්භූත අමුත්තාගේ ශක්තිය සහ වෙනත් හැකියාවන් ගැනද ඔහුට පැහැදිලි අවබෝධයක් නොවිය. මේ පිළිබදව දයාන්ට සහ කසුන්ට පැවසීමට ආකාශ්ට සිතුනද ඔහුගේ සිත තුළ වෙනත් සිතිවිල්ලක් ක්‍රියාත්මක විය. මෙම රත්තරන් මංකොල්ලය මේ වන විටත් ඔවුන් දෙදෙනා දැනුවත්ව සිදුවන එකක් නම්? එසේම මෙම අද්භුත සොරා දයාන් නම්?
* * *
“ආ… අරකෙ රිපෝට් එක මේ දැන් එවල.” පරිගණකය පිරික්සමින් සිටි නිශා පැවසුවේ දහවල් ආහාරය ගැනීම සදහා ආපන ශාලාවට පිටත් වීමට සූදානම් වූ මොහොතහිය.
“මොනවද කියල තියෙන්නෙ?” ආකාශ් ඇසුවේ ඇගේ පරිගණක තිරය වෙත එබී බලමිනි.
“ම්… ඉන්න බලන්න. හේතුව නම් දාලා තියෙන්නෙ හදිසි කම්පනය නිසා හටගත් හෘදයාබාදයක් කියල. මිනීමැරුමක් කියල මේකෙ කියල නෑ.”
“ඔව්… සාක්ෂි කියපු එක්කෙනත් කිව්වෙ මේ ආපු හොරා එයාලට මුකුත් කරදරයක් කළේ නෑ කියල. මාලේ අරගෙන අතුරුදහන් වුණා. එච්චරයි.”
“එතකොට ඇයි එයා මේසෙ උඩට ඇවිල්ල වැටිච්ච කෙනා දිහා බලාගෙන හිටියෙ?” නිශා ඇසුවේ මේ සිද්ධියේ වූ ගුප්ත බව නිසාය.
“වැටිච්ච මනුස්සයට මොකද්ද වුණේ කියල බලන්න ඇති.”
“අනේ මන්ද. මෙහෙම දේවල් දිගටම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනව. මුලින්ම අර රත්තරන් බඩු සාප්පුව කඩන වීඩියෝ එක දැක්කහම මං මේක එච්චරම විශ්වාස කළේ නෑ. කවුරු හරි හදපු වීඩියෝ එකක් කියලම තමයි මට හිතුනෙ. හැබැයි දැන් ඒ වගේම තව එකක් වෙලා. මේ විදියේ හොරු ඉන්නව නම් කීයටවත් උන්ව අල්ලන්න නම් වෙන්නෙ නෑ.”
“ඔව්. මුන්ව අල්ලගන්න එක නම් ප්‍රශ්නයක් තමයි.”
“ඔයා හිතන්නෙ මුං කවුරු කියලද? මිනිස්සුද, හොල්මන්ද එහෙමත් නැත්නම්…,” සිය කතාව නැවැත්වූ නිශා නිහඩව කල්පනා කරන්නට විය. ආකාශ් ඇයට කල්පනා කරන්නට ඉඩ දී නිහඩව බලා සිටියේය. ඇය තම හඩ අවදි කළේ තත්පර කිහිපයකට පසුවය.
“මං ඩිග්රි එක කරන කාලෙදි මනෝ විද්‍යා සබ්ජෙට් එකේදි මට මතකයි එක දවසක ඉගැන්නුව අධි මානසික හැකියා කියල. ඉගැන්නුව කිව්වට ඉගැන්නුව නෙමෙයි. සිලබස් එකේ තියෙන එක නිකං උඩින් කියවගෙන ගියා. එකෙදි කිව්වා මේ විදියෙ එක එක හැකියා තියෙන කට්ටිය ගැන. මං නම් එව්ව එච්චරම විශ්වාස කළේ නෑ. ඊට පස්සෙ ඒක ගැන හෙව්වෙත් නෑ. මට වෙලාවකට හිතෙනව මේ එහෙම කෙනෙක්ද කියල. ඔයාට මොකද හිතෙන්නෙ?” ඇය ඇසුවේ ආකාශ්ගේ දෑස දෙස කෙලින් බලාගෙනය.
“ඔව්. එහෙම වෙන්නත් පුළුවන්.” ආකාශ් පැවසුවේ කිව යුත්තක් සිතාගත නොහැකි වීම හේතුවෙනි.
“ඒත් ඉතින් එහෙම හැකියාවක් තියාගෙන එයා මොකටද රත්තරන් බඩු හොරකං කරන්නෙ? ඔහොම හැකියාවක් තියෙනව නම් එයාට ඔයිට වැඩිය සෑහෙන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. රත්තරන් කියන්නෙ මේ ලෝකෙ තියෙන වටිනම දේ නෙමෙයිනෙ.”
“ඔයා කියන්නෙ රත්තරන් නැතුව මැණික්, දියමන්ති වගේ දේවල් හොරකන් කරන්න පුළුවන් කියලද?” ආකාශ් ඇසුවේය.
“එහෙම නෙමෙයි. මං කියන්නෙ මෙහෙමයි. මං අහල තියෙන විදියට අධි මානසික හැකියා තියෙන්නෙ මනස දියුණු කරගත්ත අයට. සාමාන්‍යයෙන් ඒ වගේ අය මනස දියුණු කරන්නෙ භාවනා කරල. ඉතින් එහෙම කෙනෙක් මේ විදියට හොරකමේ යයි කියල හිතන්න පුළුවන්ද?.”
“එහෙනම් ඔයා හිතන්නෙ මේ හොරා මොන ජාතියේ එක්කෙනෙක් කියලද? හොල්මනක්වත්ද?”
“එහෙමවත් හිතන්න තීබුණා මෙයා රත්තරන් බඩු හොරකන් නොකර වෙන මොනව හරි කළා නම්. මට හිතෙන තව දෙයක් තියෙනව. හැබැයි ඒක පිළිගන්නවට වැඩිය මෙයා හොල්මනක් කියල කියන ඒක ලේසියි.”
“ඒ මොකද්ද?” ආකාශ් ඇසුවේ තරමක් උනන්දුවෙනි.
“මෙහෙමයි ආකාශ්. මේක මේ මට නිකමට හිතිච්ච දෙයක් විතරයි.”
“හරි හරි. එකට කමක් නෑ. ඔයා කියන්නකො. මොකද්ද ඔයාට හිතුනෙ?”
නිශා පිළිතුරු දීම ඇරඹුවේ තත්පර කිහිපයක් ඉවත බලාගෙන කල්පනා කිරීමෙන් අනතුරුවය.
“ඔයා අහල තියෙනවද ඇමරිකාවයි චීනෙයි රුසියාවයි අතගහල තියෙන සුපර් සෝල්ජර්ස්ල හදන ප්‍රොජෙක්ට් ගැන?”
“සුපර් සෝල්ජර්ස්ල? ඒ මොකද්ද ඒ? මං අහල නෑනෙ.”
“ඒක හොරෙන් කරන වැඩක් කියලයි මං අහල තියෙන්නෙ. හැබැයි ඔය ප්‍රොජෙක්ට් ඇත්තටම කරන ඒවද එහෙමත් නැතිනම් බොරු කට කතාද කියල මං හරියටම කියන්න දන්නෙ නෑ. මමත් ඕක ගැන දැනගත්තෙ ඔය ආණ්ඩු වල ඕප දූප ගැන ලියන මැගසින් වෙබ් සියට් එකකින්. ඔයා බලල තියෙනවද කැප්ටන් ඇමරිකා ෆිල්ම් එක?”
“ඔව්. ඔයා කියන්නෙ මේ හොරාත් ඒ වගේ හදපු කෙනෙක් කියලද?”
“මම එහෙමමයි කියල කියන්නෙ නෑ. ඒත් ඉතින් මේ වගේ හිතාගන්න බැරි දෙයක් වුණාම අපි වෙන්න පුළුවන් හැමදෙයක් ගැනම හිතන්න ඕනෙ. ඒකයි මං කිව්වෙ.”
“වෙන රටක ප්‍රොජෙක්ට් එකකින් හදපු කෙනෙක් මෙහෙ ඇවිල්ල රත්තරන් බඩු හොරකම් කරයි කියල මට නම් හිතන්න අමාරුයි. මට නම් හිතෙන්නෙ මේ වැඩේ කරන්නෙ වෙන රටක අය නෙමෙයි. මේ රටේම කෙනෙක්.”
“ඇයි ඔයා එහෙම කියන්නෙ?” එවර නිශා ඇසුවේ තරමක් කල්පනාකාරී හඩකිනි.
“කාලෙකට කලින් මං කියවපු ආටිකල් එකක තිබුණා සමහර වෙලාවට අනතුරු වලින් මිනිස්සුන්ට එක එක විදියෙ හැකියා ලැබෙනව කියල. ඒ කිව්වෙ නිකං අකුණකට අහු වෙලා බේරිච්ච අයට. තව ඔළුවට තද පාරක් වැදිච්ච අයට.”
“ඒ මොන පිස්සු කතාවක්ද? මං නම් අහල නෑ. ඒ වගේ දේවල් ඇත්තටම වුණා කියල ඔප්පු වෙලා තියෙනවද?”
“ඒක නම් මං දන්නෙ නෑ. මමත් මේ අහපු කතාවක් තමයි කිව්වෙ.”
“දැන් ඔය ජාතියේ එක එක කතා වලින් මේ රිපෝට් එකට මොන කතාව දාන්න කියයිද දන්නෑ.”
“ආ… ගජසිංහ මෙච්චර ඉක්මණට රිපෝට් එකක් ඉල්ලුවද?” ආකාශ් ඇසුවේ විස්මයෙනි.
“සම්පූර්ණ රිපෝට් එක නෙමෙයි. සිද්ධිය ගැන ලියපු පොඩි සාම්පල් එකක් වගේ එකක්. මොකද දන්නවද? මේ නැති වෙච්ච කෙනාට මොකක් හරි පොලිටිකල් කනෙක්ෂන් එකක් තියෙනව වගේ. මට ආරංචි වුණ විදියට ෆොරින් මිනිස්ට්‍රි ඔෆිස් එකෙන් කෙලින්ම මෙහෙට කතා කරල තියෙනව.”
“ෆොරින් මිනිස්ට්‍රි එකෙන්?”
ආකාශ් කල්පනාකාරි හඩකින් නැවත එයම ප්රතිරාවය කළේය. විදේශ කටයුතු අමාත්‍යංශය යනු ලෝචනාගේ පියා වර්තමානයේ අමාත්‍යය ධූරය හොබවන අමාත්‍යංශයයි.
* * *