Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 12
ISBN 978-955-44323-2-1
පසුදින උදෑසනින්ම ඔවුන්ට ඉලක්කයට වෙඩි තැබීමේ පොලිස් පුහුණු කදවුරකට සහභාගී වීමට සිදු වූ හෙයින් ගජසිංහ ඉල්ලූ වාර්තාව අවසන් කිරීමට නොහැකි විය. එයට සහභාගී වීම සදහා පොලිස් ස්ථාන කිහිපයකින්ම කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයෙන්ම සැලකිය යුතු පිරිසක් පැමිණ තිබුණි. සියලු වැඩ පසෙකලා ආකාශ් සහ නිශාට ද එයට යාමට සිදු වුණේ සහභාගී වීම අනිවාර්ය කර තිබූ හෙයිනි.
පුහුණුව මෙහෙයවූයේ විශේෂ කාර්ය බලකා නිලධාරින් පිරිසක් විසිනි. මූලික උපදෙස් ලබා දීමෙන් අනතුරුව මීටර පනහක් පමණ ඈතින් ඇති ඉලක්කයකට වෙඩි තැබීමට ඔවුන්ට නියම විය. පෝලිමක රැදී සිටි ඔවුන්ට තම අවස්ථාව එළඹෙන තුරු මිනිත්තු කිහිපයක් බලා සිටීමට සිදුවිය. පුහුණුවකටත් වඩා විනෝද ක්‍රීඩාවක් වූ මෙය එතැන සිටි බොහෝදෙනෙකුට විනෝදාස්වාදය සපයන්නක් විය.
නිවැරදිම ඉලක්කයට වෙඩි තැබිය හැකි වූයේ එතැනි සිටි පිරිසෙන් ඉතාමත් ස්වල්ප දෙනෙකුට පමණක් බව එදෙස බලා සිටි ආකාශ්ට දක්නට ලැබුණි. ආයුධ හරිහැටි නුපුහුණු බොහෝ දෙනෙකුගේ වෙඩි පහරවල් ඉලක්කයට එපිටින් වැදුණි. ඔහුට සමාජ ශාලාව තුළ ටෝනි සහ දයාන් අතර සිදු වූ සිදුවීම මතක් විය. දයාන් සිය අතින් නවතා දැමුවේ මෙවැනිම වෙඩි උණ්ඩ දෙකක් නොවෙදැයි ආකාශ්ට මෙනෙහි විය. එසේම එය උත්සහ කර බැලීමටද ඔහුට ආශාවක් ඇති විය. නමුත් මේ එයට සුදුසු අවස්ථාව නොවේ.
නමුත් සුළු මොහොතක් දැඩි අවධානයෙන් යුතුව වෙඩි තබන ආකාරය දෙස බලා සිටි හෙයින් තමාට වෙඩි උණ්ඩ ගමන් කරන ගමන් පථය දැකිය හැකි බව ඔහුට හැගුණි. දයාන් පැවසූ ආකාරයට නම් වේගයට තම දෙනෙත හුරු කරගත් විට උණ්ඩය දැකීම එතරම් අපහසු කරුණක් නොවේ. ආකාශ් තවදුරටත් සිය අවධානය තියුණු කරමින් ගිනි අවි වලින් නිකුත් වන වෙඩි උණ්ඩ දෙස බලා සිටියේය. පළමු වතාවේ එය තරමක් අසීරු වූවද මිනිත්තුව කිහිපයක් ඇතුලත උණ්ඩ වල ගමන් පථය ග්‍රහණය කර ගැනීමට ඔහු සමත් විය. දයාන් පැවසූ පරිදිම එය එතරම් අපහසු දෙයක් නොවේ. අවශ්‍ය වූයේ හොදින් හුරුපුරුදු කළ සිහිය පමණි.
තවත් මිනිත්තු කිහිපයකට පසුව උණ්ඩයක් ගිනි අවියකින් නිකුත් වූ පසු එය ගමන් කරන සම්පූර්ණ ගමන් පථයම ඔහුට දැකගැනීමට හැකි විය. එසේම පිටවන උණ්ඩය ඉලක්කයට වැදීමට පෙර දිවගොස් එය අල්ලා ගැනීමට තමාට හැකි බවද ඔහුට හැගුණි.
“මොකෝ මේ ගල් ගැහිල බලා ඉන්නෙ?” නිශාගේ හඩින් ආකාශ් උණ්ඩ වෙත යොමුකර තිබූ අවධානය බිදි ගියේය.
“කට්ටිය වෙඩි තියන හැටි මං මේ බලන් හිටියෙ. කවුරුවත් හරියට තියන්නෙ නෑනෙ” ආකාශ් පැවසුවේ සිනාමුසු මුහුණෙනි.
“ආ… දැන් ඔයාට හරියටම තියන්න පුළුවන්ද?”
“ශුවර් නෑ. බලමු ඉතින්.” ආකාශ් පැවසුවද මේ ඉලක්කය නොව මීට වඩා බොහෝ ඈතින් ඇති ඉලක්කයකට වූවද නිවැරදිව තමාට වෙඩි තැබිය හැකි බව ඔහු දැන සිටියේය. නමුත් මේ අවස්ථාවේදි එවැනි හපන්කමක් සිදුකර අන්‍යයන්ගේ අවධානය දිනාගැනීම අනවශ්‍යය කරදර ඇති වීමට හේතුවක් විය හැක.
තවත් මිනිත්තු කිහිපයකට පසුව නිශාගේ අවස්ථාව පැමිණියේය. එක් අයෙකුට ලැබෙන්නෙ උණ්ඩ හයකි. එයින් උණ්ඩ දෙකක් ඉලක්කයට තරමක් ආසන්නයෙන් පතිත වූවද ඉතිරි උණ්ඩ හතරම ඉලක්කයට එපිටින් පතිත විය. තමා වෙඩි තැබූ ස්ථාන දෙස සුළු මොහොතක් සෑහීමකට පත්නොවූ හැගීමකින් යුතුව බලා සිටි නිශා ඉන්පසුව රිවෝල්වරය අගුළුදමා එතැනින් ඉවත් විය.
ඉන්පසුව උදාවූයේ ආකාශ්ගේ අවස්ථාවයි. මැගසීනයට උණ්ඩ හයක් දමා වෙඩි තබන ස්ථානයට පැමිණ හෙතෙම ඉලක්කය දෙස බැලුවේය. මීටර පනහක් පමණ දුරින් තිබුණද ඉතාමත් පැහැදිලිවම ඉලක්කය පෙනුන හෙයින් මේ උණ්ඩ හයම ඉතාමත් නිවැරදිව ඉලක්කය වෙත යොමු කිරීමට තමාට හැකි බව ඔහු දැන සිටියේය. නමුත් මේ මොහොතේ එය අනවශ්‍යය දෙයක් හෙයින් ඔහු ඕනෑකමින්ම ඉලක්කයට තරමක් ඈතින් උණ්ඩ හයම පතිත කළේය.
“අච්චර තුවක්කු ගැන දන්න හින්දා මං හිතුව අඩුගානේ මට වැඩියවත් හොදට තියයි කියල.” නිශා සිනාසෙමින් පැවසුවාය. එයට පෙරළා සිනාසුනද ආකාශ් කිසිවක් නොකීවේය.
* * *
එදින සවස පහට පමණ ආකාශ් ඔහු රැකියාව කරන ගිනිඅවි අලුත්වැඩියා වැඩපොළෙන් පිට වූයේ තම ගමන් මල්ලේ සගවාගත් රිවෝල්වරයක්, උණ්ඩ කිහිපයක් සහ ශබ්දය අවශෝෂණය කිරීම සදහා රිවෝල්වරයට සවිකරන රබර් ආවරණයක්ද සහිතවය. නවාතැන වෙත පැමිණි ඔහු පාවිච්චි කිරීම සදහා සතිස් විසින් ලබා දී තිබූ යතුරු පැදියට නැග මොරටුව සහ පානදුර ආශ්රිත වෙරළට යාම සදහා පිටත් විය. ආකාශ් මේ සූදානම් වන්නේ එදා රතු උකුස්සා සමාජ ශාලාව තුළ දයාන් විසින් සිදුකළ හපන්කම අත්හදා බැලීමටයි. ඒ සදහා සෙනග අඩු පාලු මුහුදු තීරයක් ඔහුට අවශ්‍යය විය. මොරටුව සහ පානදුර අතර මෙවැනි වෙරළ තීරයක් ඇති බව ඔහු දැන සිටියේය.
පැය භාගයකට පමණ පසුව සිය ගමනාන්තයට පැමිණි ඔහු යතුරු පැදිය නවතා තබා වෙරළට ඇවිද ගියේය. වටපිට බලා කිසිවෙකුත් නැතිබව සැකහැර දැනගත් ඔහු තම ගමන් මල්ලෙන් රබර් ආවරණය සහිත රිවෝල්වරය පිටතට ගෙන එහි ආරක්ෂක අගුල මුදා හැරියේය. ඉන්පසුව තම උපරිම අවධානය යොමුකර නැවතත් අවට නිරීක්ෂණය කළේ කිසිවෙකු ළග පාත නැති බව සැක හැර දැන ගැනීමටය. මීළග මොහොතේ ඔහු දෙවරක් නොසිතාම වැලි පොළොවට වෙඩි තැබුවේ උණ්ඩය කෙරෙහි මනා අවධානයෙන් යුතුවය. ඔහුට උණ්ඩයේ ගමන් මග ඉතා පැහැදිලිව පෙනුනි. තම සිතට වඩාත් ප්‍රත්‍යයක්ෂ කර ගැනීම සදහා නැවත වාරයක් ඔහු වැලි පොළොවට වෙඩි තැබුවේය. උණ්ඩය අතින් අල්ලා ගැනීමට හැකි තරමටම පැහැදිලිව ඔහුට එහි ගමන් පථය පෙනුනි.
නාස්ති කිරීමට කාලයක් නැත. කිසිවෙකු හෝ මෙහි පැමිණියහොත් තමාට මෙය පරික්ෂා කර බැලීමට නොහැකි වනු ඇත. හිතට ධෛර්යය ගත් ආකාශ් එක් අතකින් තුන්වන වෙඩිල්ල තබනවාත් සමගම අනිත් අතින් උණ්ඩය අල්ලා ගැනීමට තැත් කළේය. පුදුමයකි. කිසිදු අපහසුවකින් තොරව ඔහුට එය අල්ලාගත හැකි විය. උණ්ඩයේ සැලකිය යුතු තරම් උෂ්ණත්වයක් තිබුණද ඔහුට එයින් වේදනාවක් නොදැනුණි. තම මහපට ඇගිල්ලත්, දඹර ඇගිල්ලත් අතර රැදුනු උණ්ඩය දෙස ඔහු බැලුවේ ජයග්රාහි හැගීමකිනි. එසේ නම් දයාන් පැවසුවේ මුසාවක් නොවේ. සැබවින්ම මෙය එතරම් අපහසු දෙයක් නොවේ.
ඉන්පසුව තව දෙවතාවක්ම එම ක්‍රියාවම පුහුණු වෙමින් ඔහු සිය හැකියාව තහවුරු කරගත්තේය. මේ මොහොතේ ආකාශ්ගේ සිතෙහි අලුත් අදහසක් පහළ වී තිබුණි. එනම් බිමට නොව තිරස් අතට වෙඩි තබා උණ්ඩය පසුපස ගොස් එය අල්ලා ගැනීමයි. ඔහුට එසේ සිතීමට හේතුව වූයේ තමන් උණ්ඩයට වඩා වේගවත් බව හැගුණු නිසාය.
නැවත වාරයක් ළග පාත කිසිවෙකු නැති බව ඔහු සැක හැර දැනගත්තේය. ඔහුට මීටර සියයක් පමණ නුදුරින් වෙරළ තීරයෙහි අඩි හතරක් පමණ උස තරමක් විශාල කළු ගලක් විය. ආකාශ් එම කළු ගල වෙත රිවෝල්වරය එල්ල කළේ උණ්ඩය එයට වැදීමට පෙර දිව ගොස් අල්ලා නතර කිරීමටය. තවත් ප්‍රමාද නොවූ ඔහු දෙවරක් නොසිතාම කළු ගල වෙත වෙඩි තබනවාත් සමගම උණ්ඩය පසුපස හඹා යාම ඇරඹුවේය.
කළු ගල් පර්වතයට මීටර විස්සක පමණ දුරක් තිබියදී උණ්ඩය අල්ලා ගැනීමට ඔහු සමත් විය. ආකාශ්ගේ සිතට දැනුණේ අතිශයින්ම තෘප්තිමත් හැගීමකි. ඔහුට පළමු වතාවට තමාගේ හැකියාවන් ගැන සියුම් ආඩම්බරයක් ඇති විය. සියල්ලන්ටම වඩා තමා බලවත් බව ඔහුට මොහොතකට සිතුණි. ඒ නිසාම මෙය නැවත නැවතත් කර බැලීමට ඔහුට සිත් විය.
ඔහු එය නැවත වාරයක් සිදුකර බැලුවේය. මෙවර පෙරටත් වඩා වේගවත් වූ ඔහු කළු ගල් පර්වතයට මීටර හතිළිහක් පමණ දුර තබා උණ්ඩය නැවැත්තුවේය. මේ අයුරින් ඔහු තව හතර වතාවක් එය සිදුකර බැලුවේය. අවසාන වතාවේදී වඩාත් වේගවත් වූ ආකාශ් උණ්ඩය රිවොල්වරයෙන් පිට වී මීටර විස්සක් ගමන් කිරීමටත් මත්තෙන් එය අල්ලා නැවැත්වීමට සමත් විය.
මෙය සිදුකළ සෑම වතාවකදීම කලින් වතාවට වඩා තම වේගය වැඩි වූ බව ඔහුට දැනුණි. සුළු මොහොතකට පසුව ඔහුට ඒ සදහා බලපෑ හේතුවද කල්පනා විය. එනම් ඔහුට නිශ්චිත ඉලක්කයක් ලැබීමයි. දයාන් පසුපස ලුහුබැදි අවස්ථාව හැර මීට පෙර සෑම අවස්ථාවකම ඔහු ධාවනයේ යෙදුනේ ඉලක්කයක් නොමැතිවය. එම නිසා අධික වේගයකට පැමිණි පසු තව දුරටත් වේගය වැඩි කර ගැනීමට ඔහුට අවශ්‍යය නොවිය. නමුත් මේ අවස්ථාවේදී උණ්ඩය ලුහුබැදීම නිසා එහි වේගයට සාපේක්ෂව ඔහු තම වේගය වැඩි කරගෙන ඇත. තවදුරටත් තම වේගය වැඩි කළ හැකි බව ඔහුට සිතුණද එය ඔහු නොකළේ සිය ඇදුම් ඒ සදහා ඔරොත්තු නොදීමයි. අවසාන වතාවේදී ද තම ඇදුම් තරමක් ඉහළ උෂ්ණත්වයකට රත් වනු ඔහුට දැනුණි. තවදුරටත් වේගය වැඩි කළේ නම් තම ඇදුම් වලට ගිනි ඇවිළිමට පවා ඉඩ ඇත.
වෙරළෙහි වූ කඩා වැටුණු පොල් ගසක කද මත ඉද ගත් ආකාශ් ඈත ක්ෂිතිජය දෙස බලාගෙන කල්පනා කරන්නට විය. තමාගේ වේගයේ සීමාවන් තවමත් තමන් නොදන්නා බව ඔහුට වැටහුණි. තමාගේ චලන වේගය රදා පවතින්නේ කයේ ශක්තියටත් වඩා මනසේ හැසිරීමට අනුව නම් මෙහි වේග සීමාව තමා සිතනවාටත් වඩා බොහෝ වැඩි විය යුතුය. තමා සතු මෙම විශේෂ හැකියාවන් ක්‍රියාකරවීමට අවශ්‍යය ජවය ලබා දෙන මූලික පද්ධතිය තමාගේ කය හෝ කාය ශක්තිය නොව තමාගේ මනසේ සිතිවිලි විය යුතු බව පළමු වතාවට ඔහුට හැගුණි.
* * *
“අනේ මන්දා. මට නම් හිතාගන්නවත් බෑ මොකද්ද මේ වෙලා තියෙන්නෙ කියල.” ලෝචනා පැවසුවේ ආකාශ්ගේ ජංගම දුරකතනයේ තිබූ බැංකු මංකොල්ලයේ සීසීටීවී වීඩියෝව නැවත වාරයක් නරඹමිනි.
“මේ කේස් එකේ ඉන්න කට්ටියටත් හිතාගන්න බැරුව ඉන්නෙ මොකද්ද කරන්න ඕනෙ කියල. ඔයාගෙ තාත්ත කෙළින්ම අපේ ඔෆිස් එකට කතා කරලනෙ.” ආකාශ් පැවසුවේ සිනාසෙමිනි.
ලෝචනාද එයට පෙරළා සිනාසුණාය.
“ඇයි දැන් කට්ටිය බය වෙලාද ඉන්නෙ?”
“බය වෙලා වෙන්න ඇති… කොහෙද ඉතින් ඇමති තාත්තලයි ඇමති දූලයි පොලීසියේ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ රස්සාවක් කරන්නෙ දෙන්නෙ නෑනෙ.” ආකාශ් කට කොනකින් සිනාසෙමින් පැවසුවේ ඇයට ඇවිස්සීමටය.
“අනේ යනවා යන්න… මැට්ටා.” කියමින් ඇය ඔහු කෙනිත්තුවාය.
“මේ… ඉතින් කියන්නකො. ඔය නැති වෙච්ච බණ්ඩාර කියන කෙනා ඔයාගෙ තාත්තගෙ ලොකු ෆිට් එකක්ද?”
“ඔව් අනේ. අපේ තාත්තගෙ ගිය පාර ජන්ද කැම්පේන් එකේ භාගෙකට වඩා වියදම් කළේ එයා. අර ශානක ඉන්නෙ. අපේ ගෙදරන් මාව ප්‍රපෝස් කරන්න හදන්නෙ. අන්න එයාගෙ මාමා.”
“අප්පට සිරි. මේක එච්චර ලොකු කේස් එකක්ද? ඉතින් ශානක ඔයාට මේ ගැන මුකුත් විස්තර කිව්වෙ නැද්ද?”
“ඕක වෙච්ච දවසෙම උදේ මට කෝල් කරල කිව්වා මාමා නැති වුණා හිතාගන්නවත් බැරි විදියකට කියල. ෆියුනරල් එකට එන්න කියලත් කිව්වා. ඒ ඇරෙන්න ඒ වෙලාවෙ නම් වෙන මුකුත් විස්තරයක් කිව්වෙ නෑ. ඊට පස්සෙත් එයා මට තුන් හතර වතාවක් කෝල් ගත්තා. මං ආන්සර් කළේ නෑ.”
“ඉතින් ඔයා ෆියුනරල් එකට ගියෙ නැද්ද?”
“අපෝ නෑ. ගියා නම් එහෙම ශානකගෙ අම්මයි තාත්තයි ආපහු ඔය ප්‍රපෝසල් කතාව ඇදල ගන්නවා.”
ආකාශ් සුළු මොහොතක් ඉවත බලාගෙන කල්පනා කරන්නට විය.
“හොරා උසස්පු මාලෙ ගැන ශානක විස්තර දන්නවද දන්නෑ නේද? අපේ රිපෝට් එකේ තිබුණ විදියට ඒක එයාලගෙ පරම්පරාවෙන් ආපු පරණම එකක්.”
“අනේ බබා… දැන් ආපු වෙලේ ඉදන් මේ පොලිස් කේස් එකක් ගැන කියවනව. දැන් ඕක ඇති අනේ… අපි ගැන කතා කරන්නෙ නැද්ද? වෙන මොනව හරි කියන්නකො.” ඇය කීවේ ආකාශ්ව තමා වෙතට ඇද ගෙන තම හිස ඔහුගේ උරහිස මත තබමිනි.
“හරි හරි ඉතින්. මං මෙච්චර විස්තර ඇහුවෙ ඔයාගෙ තාත්තත් මේකට අතගහල ඉන්න හින්දයි. හරි… දැන් ඒ කතාව ඇති.” ඔහු පැවසුවේ ළං වූ ඇයගේ ඉන වටා අතක් යවා තවත් තුරුළු කර ගනිමිනි.
“මං අද ඔයාට ගුඩ් නිවුස් එකක් කියන්නත් එක්කයි මේ හදිසියේම එන්න කිව්වෙ. කෝ ඉතින්. ආපු ගමන් පොලිස් කේස් එකක් ඇද ගත්තනෙ.”
“ආ… ඒ මොකද්ද?”
එයට පිළිතුරු නොදුන් ඇය ආකාශ්ගේ උරහිස් වලින් අල්ලා ඔහුව තමා වෙතට හරවාගෙන තම දෙඅත් ඔහුගේ ගෙල වටා යැව්වාය. ස්වල්ප මොහොතක් ඔහුගේ දෑස දෙස එක එල්ලේ බලා සිටි ඇය මීළග මොහොතේ ඔහුගේ මුහුණ සිප ගත්තාය.
“ඊයේ හවස මං අපේ අම්මටයි නංගිටයි ඔයා ගැන කිව්ව.”
තමාගේ හදගැස්ම එක්වරම වැඩි වූ බව ආකාශ්ට දැනුණි. මෙය ඔහු කිසිසේත්ම මේ මොහොතේ ඇයගෙන් අපේක්ෂා නොකළ දෙයකි.
“මොකෝ මේ බය වෙලා?”
“බය හිතෙන්නෙ නැද්ද බබා ඔයා එකපාරටම එහෙම දෙයක් කිව්වහම.”
“බය වෙයි කියල හිතපු හින්ද තමයි මැට්ටෝ මුලින්ම මං කිව්වෙ ගුඩ් නිවුස් එකක් කියල.”
“ආ… එක පාරටම මට ඒකත් අමතක වුණා. ඉතින් ඉතින්, මොකද්ද එයාල කිව්වෙ?” මෙවර ආකාශ් උනන්දුවෙන් ඇසුවේ ඇයගේ ඉනෙන් අල්ලා ගනිමිනි.
“මේ පිස්සු හොන්තුවට අහුවෙච්ච මෝඩයා කවුද කියල නංගි ඇහුව.”
“එතකොට අම්මා”? ආකාශ් ඇසුවේ සිනාසෙමිනි.
“අම්මට ඔයාව හම්බවෙන්න ඕනෙ කිව්ව. ඉක්මණටම.”
“ආ… එහෙම කිව්වද? ඉතින් ඔයා මොකද කිව්වෙ?”
“මං කිව්ව හරි මං අද එක්කන් එන්නම් කියල.”
“ඈ…. මේ…. මේ අද.”
“ඔව්. තව ටිකකින් අපි දෙන්න අපේ ගෙදර යනවා. ඇය මොකද?”
“අනේ බබා. දැන් යන්නෙ කොහොමද? ඔයාගෙ ගෙදරට ගෙනියන්න මං මුකුත් ගත්තෙත් නෑ. අනික මං මේ පරණ කලිසමකුයි ටී ෂර්ට් එකකුයි ඇදගෙනත් ඉන්නෙ.”
“පිස්සු කියවන්නෙ නැතුව ඉන්න අනේ. ජොබ් එකක් ගන්න ඉන්ටවිව් එකකට යනව නෙමෙයිනෙ. ඔය ටී ෂර්ට් එක හොදටම හොදයි. අනික අද මං ඔයාව අපේ ගෙදර එක්කන් ගියෙ නැත්තන් මට අද අම්මගෙනුයි නංගිගෙනුයි කනක් ඇහිල ඉන්න වෙන්නෙ නෑ. ඔයාව බලන්න ඕනෙ කියල නංගි මේ දැනුත් මාත් එක්ක එන්නමයි හැදුවෙ. අපි දෙන්නට කතා කරන්න තියෙනව කියල තමයි මං එයාව තියල අවෙ. ඒ හින්ද තව ටිකකින් ඔයයි මායි අපේ ගෙදර යනවා. එච්චරයි.”
ආකාශ් ඇය දෙස බලාගෙන සිනාසෙන්නට විය. අද තමාට මෙයින් ගැලවීමක් නොමැති බව ඔහුට වැටහුණි.
“ඔයා මොනවද මං ගැන කිව්වෙ?”
“හැමදෙයක්ම කිව්වා.”
“හැමදෙයක්ම කිව්වෙ… මං රිමාන්ඩ් එකේ හිටපු එකත් කිව්වද?”
“ඔව්. අපි හම්බවෙච්ච දවසෙ ඉදන් වෙච්ච හැමදේම කිව්ව. රූම් වලට ගිය ඒව හැර.” ඇය පැවසුවේ දගකාර සිනහවක් පාමිනි.
“අප්පා… ඉතින් එක දැනගෙනත් ඔයාගෙ අම්ම මාව ගෙදරට වද්දගන්න කැමතිද?”
“අපේ අම්ම හරි හොදයි අනේ. තාත්ත වගේ නෙමෙයි. ඔයාට ගියාට පස්සෙ තේරෙයි. දැන් අපි යමුකො.”
මේ… ඔයාගෙ තාත්ත මේ මුකුත් දන්නෙ නෑ නේද? දැන් එයත් ගෙදර ඉන්නවද?”
“නෑ. නෑ. බය වෙන්න එපා බබා. එයා මොකද්ද වැඩකට කළුතර ගිහිල්ල. අද කොහොමත් ගෙදර එන්නෙ නෑ කිව්ව. හෙට හරි අනිද්ද හරි තමයි එන්නෙ. ඒ හින්ද තමයි මං මේක අදම දාගත්තෙ.”
“හ්ම්….. හරි හරි. අපි එහෙනම් යමුකො. ආ… යන්න කලින් තව පොඩි දෙයක් බබා. එකපාරටම මං ගැන ගෙදරට කියන්න හිතුනෙ මොකද?”
“එකපාරටම නෙමෙයි. මං දැන් දවස් ගාණක් තිස්සෙ ඉදන් කියන්න තමයි හිතාගෙන හිටියෙ. තාත්තත් ගෙදර නැති නිසා ඊයෙ තමයි ඒකට වෙලාවක් හම්බවුණේ. අපිට හැමදාම මෙහෙම හොරෙන් ඉන්න බෑනෙ රත්තරං. ඔයාගෙ තාත්ත ඔයා එක්ක තරහවෙලා ඉන්න හින්ද මං හිතුව මං මුලින් අපෙ ගෙදරට කියනව කියල.” පැවසු ඇය සුළු මොහොතක් ඔහුගේ දෙනෙත දෙස බලා සිට නැවතත් සිය හඩ අවදි කළාය.
“ළගදිම දවසක අපි දෙන්නම අනුරාධපුරේ යමු ඔයාගෙ අම්මටයි තාත්තටයි කතා කරන්න. එතකොට බබා ඔයාගෙ තාත්තගෙ තරහ ඔක්කොම ඉවරවෙයි.”
* * *