Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 13
ISBN 978-955-44323-2-1
සේවකයෙකු විසින් විවෘත කරල ලද විශාල ගේට්ටුවක් තුලින් ලෝචනා තම මෝටර් රථය පදවාගෙන යන විට ආකාශ්ගේ සිත තුළ ඇති වූයේ තරමක චකිතයකි. පිටතින් තිබූ උස තාප්පය නිසා ඔහු මීට පෙර කිසිදිනෙක ලෝචනාගේ නිවස දැක තිබුණේ නැත. මැනවින් නඩත්තු කරන ලද තරමක් විශාල වත්තක් මැද තිබූ සුදු පැහැයෙන් පිරියම් කළ මහල් තුනකින් සමන්විත එම නිවස අතිශයින්ම සුඛෝපභෝගි එකක් බව බැලු බැල්මට ආකාශ්ට පෙනුණි.
ලෝචනා මෝටර් රථය වාහන ගාල් කරන ස්ථානයේ නවත්වා එන්ජිම අක්‍රිය කළාය. ලෝචනාගේ වාහනයට අමතරව එහි තවත් නවීන පන්නයේ මෝටර් රථ දෙකක් ගාල් කර තිබුණි. වාහනයේ යතුර ඉවතට ගත් ලෝචනා ආකාශ් දෙස බැලුවාය. ඔහු තරමක චකිතයකින් පසුවන බව ඇයට වැටහුණි.
“එන්න බබා. අපි ඇතුලට යමු.” ලෝචනා පැවසුවේ ඔහුගේ අතකින් අල්ලා පිරිමදිමිනි.
ඉන්පසුව ඔවුන් දෙදෙනාම වාහනයෙන් බැස නිවසේ ඉදිරි දොරටුව වෙත පියනගන්නට විය. මිදුලේ එක් පසෙකින් තරමක් විශාල පිහිනුම් තටාකයක්ද තිබෙනු ආකාශ් දුටුවේ එවිටය.
කුඩා කාමර තුනක්, දර ළිපේ දුම වැදුනු මුළුතැන්ගෙයක්, වැසිකිළියක් සහ කුඩා විසිත්ත කාමරයක් පමණක් ඇති තමා කුඩා කාලයේ සිට හැදි වැඩුණු අනුරාධපුරයේ පිහිටා ඇති තම නිවස ඔහුට සිහි විය. ආර්ථිකය, වංශවත් බව සහ පවුල් පසුබිම අතින් තමා කිසිසේත්ම ලෝචනාට නොගැලපෙන බව ඔහුට හැගී ගියේය.
“මං බැලුව මොකද මේ පරක්කු කියල. එන්න පුතා ඇතුලට” ඔවුන් දෙදෙනාව පිළිගැනීමට ලෝචනාගේ මව ඉදිරියට පැමිණියාය.
ඇමතිවරයෙකුගේ භාර්යාවක් නිසා ලෝචනාගේ මව යැයි පැවසූ විට මීට පෙර ආකාශ්ගේ සිතේ මැවී තිබුණේ වටිනා සාරියකින් හෝ ඔසරියකින් සැරසී ආභරණ පැළදගත් තරමක් තරබාරු කාන්තාවකි. නමුත් එම චිත්ත රූපය සම්පූර්ණයෙන්ම වැරදි බව ඇය දුටු විගසම ඔහුට වැටහුණි. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක් ඇති ඇය ඇද සිටියේ ඉතා චාම් ඇදුමකි. ලෝචනාගේ මුහුණුවරට තරමක් සමාන මුහුණක් ඇති ඇය තරුණ අවධියේදී ලෝචනා මෙන්ම රූමතියක් වී සිටින්නට ඇති බව ඔහුට සිතුණි.
පාවහන් ගලවා දැමූ ඔවුන් දෙදෙනා නිවසට ඇතුල් විය. නිවසේ පිටතට දක්නට ලැබූ සුඛෝපභෝගී බව නිවස තුළ දෙගුණ තෙගුණ වී තිබුණි. පිගන් ගඩොල් ඇල්ලූ පොළොවක් සහ ඉතා වටිනා ගෘහ භාණ්ඩ වලින් සමන්විත එම සාලය ඉතා විශාල එකක් විය. තමා මීට පෙර කිසිදු දිනක මෙවන් සුඛෝපභෝගී නිවසකට ඇතුල් වී නොමැති බව ආකාශ්ට සහතික කර කිව හැකි විය.
“ආ… මේ දෙන්නම ඇවිල්ල ඉන්නෙ. පරක්කු වෙච්ච හින්ද අපි බැලුව අද එන්නෙ නෑවත්ද කියල.”
සාලයේ එක් කෙළවරකින් ඇසුණු කටහඩක් නිසා ආකාශ් ඒ දෙස හැරී බැලුවේය. දුටු වහාම ඒ නම් ලෝචනාගේ නැගණිය විය යුතු බව ආකාශ්ට වැටහුණි. ඇයට තිබුණේ බොහෝ සෙයින්ම ලෝචනාට සමාන මුහුණුවරකි. නමුත් ඇයගේ සිරුර ලෝචනාට වඩා ස්වල්පයක් තරුබාරු විය. නමුත් එය තරුණියකට නොගැලපෙන තරබාරු බවක් නොවේ. ඇයද ලෝචනා මෙන්ම ඉතා රූමත් තරුණියක් වූවාය.
“මං නෙමෙයි මෙයා තමයි පරක්කු වුණේ. ගෙදරට එනකොට මුකුත් ගත්තෙ නෑලු. ටී ෂර්ට් එක පරණයිලු. ඒ නිසා අද එන්න බෑ කිය කිය හිටියෙ.”
“අයියෝ පුතා. මෙහෙ එනකොට මොන තෑගිද? දැන් ඉතින් මේක ඔයාගෙත් ගෙදර තමයි.”
පිළිතුරක් නොදුන් ආකාශ් ඔවුන්ට සුහද ලෙස සිනාසුණේය.
“එන්න පුතේ. මෙතනින් ඉදගන්න.” ඇයගේ ආරාධනාව අනුව ආකාශ් සැප පහසු පුටුවක අසුන් ගත්තේය.
“අපි මොනව හරි බීල ඉමු. ඔයා මොනවද පුතේ බොන්න කැමති. ටී එකක්ද, මිල්ක් කොෆි එකක්ද නැත්නම්…”
“මෙයා වැඩිය තේ බොන්න කැමති නෑ අම්මෙ. ෆ්රුට් ජූස් මොනව හරි ගේන්න කියන්න.” ආකාශ් පිළිතුරු දීමට පෙරම ලෝචනා කීවාය.
“ආ… හරි. සමන්… පොඩ්ඩක් මෙහෙට එන්න.” කාන්ති නමින් හැදින්වූ ලෝචනාගේ මව නිවසේ සිටි සේවකයෙකුට කතා කළාය. සුළු මොහොතකට පසුව සුදු ඇදුමකින් සැරසුනු මැදිවියෙහි පසු වූ පුද්ගලයෙකු ඔවුන් සිටි ස්ථානයට පැමිණියේය.
“මේ… ඊයෙ ගෙනාපු පළතුරු තිබුණා නේද? අන්න ඒව වලින් මේ මහත්තයට ෆ්රුට් ජූස් එකක් හදල ගේන්න. මේ දෙන්නට මිල්ක් කොෆි දෙකකුයි, මට ප්ලෙන්ටී එකකුයි. හරි නේ?”
සේවකයා එතැනින් ඉවත්ව ගිය පසු ඇය නැවතත් ආකාශ් වෙත හැරුණාය.
“ඉතින්, මෙයා එකපාරටම ගෙදර යමු කිව්වහම පුතාට මොකද හිතුනෙ?” ඇය ඇසුවේ සිනාසෙමිනි.
දැන් තමාගේ කතා වාරය පැමිණ ඇති බව ආකාශ්ට වැටහුණි. මැයව කුමන අයුරින් ආමන්ත්‍රණය කළ යුතු දැයි ආකාශ් සුළු මොහොතක් සිතුවේය.
“හිතාගන්න බැරි වුණා මැඩම්. මං හිතුවෙ නෑ ලෝචනා මෙච්චර ඉක්මණට ගෙදරට එන්න කියයි කියල.”
“අයියෝ පුතා. මේ… මට මැඩම් කියන්න එපා. අම්මෙ කියල කතා කරන්න. මං කිව්වෙ… දැන් මේක ඔයාගෙත් ගෙදර. ඔයා දැන් මගේම පුතෙක් වගේ තමයි.”
පිළිතුරක් නොදුන් ආකාශ් සිනාසුණේය. මැය කරුණාවන්ත තැනැත්තියක් විය යුතු බව ඔහුට හැගුණි.
“දුව මට ඔයා ගැන ගොඩක් විස්තර කිව්ව. ඒත් ඉතින් ඔයාගෙ කටින්ම ඒ දේවල් දැනගන්න මං ආසයි. එතකොට පුතා වැඩ කරන්නෙ පොලිසියේ වේපන් ඩිපාර්ට්මන්ට් එකේද?”
“ඔව් මැඩම්… සොරි සොරි, අම්මෙ. මට එකපාරටම හුරු නෑ එහෙම කියන්න.” ආකාශ් පැවසුවේ සිනාසෙමිනි.
“ඒක නම් පුතේ ඉක්මණට හුරු කරගන්න. මැඩම් කිව්වහම මගේ හිතටත් හරි නෑ. ඒකයි.” කාන්ති මහත්මියද පැවසුවේ සිනාසෙමිනි.
“එතකොට පුතා ඒ ඩිපාර්ට්මන්ට් එකේ කරන්නෙ වේපන්ස් හදන එකද?”
“ඔව් අම්මෙ. හැබැයි අලුතෙන්ම හදනව නෙමෙයි. රෙපෙයාරින් කරන්නෙ. ලංකාවෙ පොලිසියෙයි හමුදාවෙයි ඩැමේජ් වෙච්ච වේපන්ස් ඔක්කොම එතනට තමයි එන්නෙ රෙපෙයාරින් වලට.”
“ෂා… මරුනෙ අයියෙ. එතකොට ඔයා හැම වේපන් එකක්ම පාවිච්චි කරන්න දන්නව ඇති නේද?” නිම්සරා නමින් හැදින්වූ ලෝචනාගේ සොයුරිය එක්වරම කතාව මැදට පැන්නාය.
“එහෙම නම් දන්නෙ නෑ නංගි. හදපුව ටෙස්ට් කරන්න සමහර වෙලාවට වෙඩි තියල බලනව. ඒ ඇරෙන්න මම වේපන්ස් ලොකුවට පාවච්චි කරන්න දන්නෙ නෑ. හැබැයි දැනට ලංකාවෙ පාවිච්චි වෙන හැම ජාතියකම වගේ වේපන්ස් මම රෙපෙයාර් නම් කරල තියෙනව.”
“අනේ අයියෙ… මට හරි ආසයි ඔයා වැඩ කරන තැන බලන්න. මාව දවසක එතනට එක්ක යන්නකො.”
“ආ… මෙන්න වැඩක්. ඒක ක්ලබ් එකක් කියල හිතුවද බලන්න යන්න. පිස්සු කියවන්නෙ නැතුව ඉන්න නංගි. මංවත් තාම එතනට ගිහිල්ල නෑ.” ලෝචනා කීවාය.
“හරි ඉතින්. ඒ වුණාට මෙයා එතන වැඩ කරන නිසා කිව්වොත් අපිට පාස් එකක් ගන්න පුළුවන් වෙයිනෙ.”
“මෙහෙමයි නංගි. ලෝචනා කිව්ව වගේම මං දන්න විදියට නම් පිට අයට ඒක ඇතුලට කොහොමටවත් යන්න දෙන්නෙ නෑ. ඕනෙ නම් මං පොඩ්ඩක් අහල බලන්නම් බලන්න යන්න විතරක් වෙන කෙනෙක්ට පාස් එකක් ගන්න පුළුවන්ද කියල.”
“නෑ නෑ බබා. එහෙම ඕනෙ නෑ. මෙයාට මේ පිස්සු. අනික මෙයා එතනට එක්කන් ගියොත් හොදට තියෙයි.” පවසමින් ලෝචනා සිය නැගනියට රැව්වාය.
“අනේ ඔව් පුතා. ඔයා මේ ළමය කියන දේවල් ගණන් ගන්න එපා. මේ කෙල්ලට පිස්සු.” කාන්ති මහත්මියද සිනාසෙමින් කීවාය.
“පුතා අද දවල්ට මෙහෙන් කාල නේද යන්නෙ?”
“අනේ අද නම් බෑ අම්මෙ. අද දවල් දොළහමාරට මං කැම්පස් එකේ ඉන්න ඕනෙ… අසයින්මන්ට් එකක් තියෙනව. ඒකට හිටියෙ නැත්නම් සබ්ජෙට් එකම රිපීට් වෙනව. මං අනිවාර්යෙන්ම වෙන දවසක ලන්ච් එකට හරි ඩිනර් එකට හරි ලෝචනා එක්ක මෙහෙ එන්නම්.”
“ආ… එහෙමද? කමක් නෑ පුතා. එහෙනම් වෙන දවසක ඒකට එන්නකො. දැනට මං ෂෝර්ට් ඊට්ස් මොනව හරි ගේන්න කියන්නම්.” පැවසූ ඇය නැවතත් සේවකයෙකු අමතා කෑම වර්ග කිහිපයක් ගෙන එන ලෙස පැවසුවාය.
“පුතා… මං මේ නිකමට දැනගන්න අහන්නෙ. ඔයාට ඔෆිස් එකෙන් එළියෙ ෆීල්ඩ් එකෙත් වැඩ කරන්න වෙනවද? දුව මට කිව්වා ඔයා එකපාරක් අම්පාර පැත්තෙ වැඩකටත් ගියා කියල.”
“ආ… ඔව්. එක වතාවක් එහෙම යන්න වුණා. යුද්ධ කාලෙ වෙච්ච පරණ කේස් එකක බුලටුයි තුවක්කුයි චෙක් කරල රිපෝට් එකක් හදන්න. මං වේපන්ස් වල පාට්ස් හොදට අදුරන හින්ද තමයි ඒකට මාව යැව්වෙ. ඒ ඇරෙන්න මාව එළියෙ වැඩ වලට යවන්නෙ නෑ. මාව එහෙම යවන්නත් බෑ මොකද මං මේකෙ රේජිස්ටර් වෙලා ඉන්නෙ ටෙක්නිකල් මිකැනික් කෙනෙක් විදියට. කේස් වලට යන්න පුළුවන් සාජන්ට්, කොස්තාපල් වගේ පොලිස් ඔෆිසර් කෙනෙක්ට විතරයි. මං එහෙම කෙනෙක් නෙමෙයි. පොලීසියේ වැඩ කරාට මට පොලිස් යුනිෆෝම් එකක්වත් නෑ.”
“එහෙනම් කමක් නෑ. එතකොට අපේ හිතටත් බයක් නෑ. පුතා පොලීසියේ වැඩ කරනව කියල දුව කිව්වහම මං බයේ හිටියේ ඒකට. ඔය පාතාලෙත් එක්ක හැප්පෙන්න ගියාම ජීවිතේ විශ්වාස නෑනෙ.” පැවසූ කාන්ති මහත්මිය සුළු මොහොතකට පසුව නැවතත් සිය හඩ අවදි කළාය.
“දැන් පුතා මොකද්ද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ? දිගටම ඔතන වැඩ කරනවද? නැත්නම් ඩිග්රි එක ඉවර වුණාට පස්සෙ වෙන තැනකට මාරු වෙනවද?”
පිළිතුරු දීමට තරමක් අපහසු පැනයක් ආකාශ් ඉදිරියේ විය. සැබවින්ම ඒ පිළිබදව නිශ්චිත අදහසක් ඔහුට නොවිය. ඊට හේතුව වූයේ ඔහු සතු අසාමාන්‍යය හැකියාවයි. තමාගේ ජීවිතය උදේ අටේ සිට සවස පහ දක්වා දිවෙන ඒකාකාරී රැකියාවකට වැය කරනවාට වඩා වැඩි දෙයක් තමාට කළ හැකි බව ඔහුට විශ්වාසයක් තිබුණි. නමුත් එය ආරම්භ කරන ආකාරය, ආරම්භ කරන දිනය හෝ මේ පිළිබදව තම සමීපතයින්ට පවසන ආකාරය පිළිබදව ඔහුට අදහසක් නොවිය. සැබවින්ම තමා සතු හැකියාවන් පිළිබදව මෙතැන සිටින තිදෙනා දැනගතහොත් ඔවුන් තමාට කුමන ආකාරයේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ආකාශ් සුළු මොහොතක් කල්පනා කළේය. එය කුමක් වූවත් දැන් තමා දිය යුතු පිළිතුර ලෝචනාව අපහසුතාවයට පත් නොකරන එකක් විය යුතුය.
“මං දැනට නම් හිතාගෙන ඉන්නෙ ඩිග්රි එක ඉවර වුණාට පස්සෙ මං ඉගෙන ගන්න ෆීල්ඩ් එකේම ඉන්ජිනියරින් ජොබ් එකකට ඇප්ලයි කරන්න. දිගටම නම් මෙතන ඉන්න අදහසක් නෑ.”
“ඒක හොදයි පුතා. මාත් මේ එකම තමයි කියන්න හැදුවෙ. ඔය පොලීසි වල වැඩ කරනව කියන එක මහ කරදර වැඩ. පුතා කැමති නැද්ද බිස්නස් වලට එන්න. දැනට මෙයාගෙ තාත්තට වැඩිපුර ශෙයාර්ස් තියෙන බිස්නස් දෙකක් තියෙනව. එයා මට ගොඩක් සැරයක් කිව්ව එයාට හම්බවෙන පළවෙනි බෑණාව ඔය බිස්නස් දෙකෙන් එකක ඩිරේක්ට බෝඩ් එකට දාන්න ඕනෙ කියල. ඔයාල මැරි කළාට පස්සෙ පුතා බිස්නස් වලට එන්න කැමති නම් ඔයාට ආපහු වෙනම ජොබ් හොයන්න ඕනෙ නෑ.”
“ශානක අයියට තමයි දැන් පාඩු. ඒකත් නෑ. මේකත් නෑ.” නිම්සරා කීවාය.
“නංගි මේ. ඕන්නැති කතා මෙතනට ඇදගන්නෙ නැතුව ඉන්නවද? මං කිව්වනෙ දැන් ඒ ඔක්කොම ඉවරයි කියල. ළගදිම මං මේ ගැන තාත්තිටත් කියනව.”
“සොරි…” දගකාර ලෙස සිනාසෙමින් නිම්සරා එය පැවසූ අන්දම දුටු ආකාශ්ට සිනහ පහළ විය. මැය ලෝචනාටත් වඩා සමාජශිලී සහ කටකාර තැනැත්තියක් විය යුතු යැයි ආකාශ්ට හැගුණි.
ඉන්පසුව සුළු නිහැඩියාවක් පැවතුනි. එය බිද දැමුවේ කාන්ති මහත්මිය විසිනි.
“මං තව ටිකකින් ඒ ගැන කතා කරන්නයි හිටියෙ. මෙයා ඉතින් මැදට පැන්නනෙ. දැන් ඉතින් ඒක කතා කරල ඉවර කරමු. මං හිතන්නෙ දුව ඔයාට කියල ඇති. මෙයාගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ පුතෙක්ගෙන් මෙයාට ප්‍රපෝසල් එකක් ආවා. ශානක කියල ළමයෙක්.”
“ඔව් අම්මෙ, ලෝචනා මට විස්තර ඔක්කොම කිව්ව.”
“බලන්නකො. මේ ළමය ඔයා ගැන කියන්න ඊයෙ වෙනකන්ම හිටියනෙ. මෙයාව මීට කලින් ප්‍රපොස් කරල තිබුණෙ ගයාන් කියල වෙන කෙනෙක්ට. අඩු ගානෙ ඒ ප්‍රපෝසල් එක කැන්සල් වෙච්ච දවස්වල හරි මෙයා පුතා ගැන මට කියල තිබ්බ නම් ශානකගෙ ප්‍රපෝසල් එක ආපු වෙලාවෙම කැන්සල් කරන්න තිබුණ. දැන් ඉතින් මෙයාගෙ තාත්තටත් කරුණු පැහැදිලි කරන්න වෙනව. අර මිනිස්සුන්වත් තරහ කරගන්නෙ නැතුව කතා කරන්න වෙනව.”
“මෙහෙමයි අම්මෙ. ඒක නම් ඇත්තටම ලෝචනාගෙ වැරැද්දම විතරක් නෙමෙයි. මං පොලීසියෙ ජොබ් එකට ගියෙ මෙයා එපා කියද්දි. ඒ හින්ද මාස දෙක තුනක් මෙයා මාත් එක්ක තරහ වෙලා හිටියෙ. මං හිතන්නෙ ප්‍රපෝසල් එක එන්න ඇත්තෙ ඒ කාලෙදි.” ආකාශ් ලෝචනා දෙස බලා සිනාසෙමින් කීවේය.
“ආ… මං ඕකට අයියව අල්ලගන්න හිටියෙ. දන්නවද ඒ දවස්වල අක්කට ඔයත් එක්ක තිබ්බ කේන්තිය මගේ පිටින් තමයි ගියෙ. මං මොනව කරත් මෙයා මට බැන බැන හිටියෙ. දැන් ඉතින් ඔය දෙන්නටම ඒව වල පොළියත් එක්ක මං දෙන්නම්.”
“නංගි ටිකක් චණ්ඩියි වගේ නේද?” ආකාශ් සිනාසෙමින් ඇසුවේය.
“මං එහෙම තමයි.”
“ආපෝ මෙයාද. බබා මේ. ඔන්න මං දැන්ම කිව්ව. අපි මැරි කළාට පස්සෙ මෙයා ඉන්න පැත්ත පළාතකවත් ඉන්න බෑ හොදේ.” ලෝචනාද සිනාසෙමින් කීවාය.
“හරි හරි. දැන් ඔය රණ්ඩුව ඇති. ආ… සමන්, ඔය ටික ටීපෝ එක උඩන් තියන්න. අපි ගන්නම්.” සේවකයා බන්දේසිය කවිච්චිය මත තබා එතැනින් පිටත් වෙන තුරු කාන්ති මහත්මිය බලා සිටියාය. ඇය නැවත සිය කතාව ඇරඹුවේ සේවකයා විසිත්ත කාමරයෙන් පිටත්ව ගිය පසුවය.
“ටික කාලයක් තරහ වෙලා හිටියට ඔයාල සෙපරේට් වුණේ නෑනෙ. ඒ හින්ද මෙයාට මේ ගැන මට කියන්න තිබ්බ. දැන් ඉතින් ඒව ගැන කතා කරල වැඩක් නෑ. වෙච්ච දේ වෙලා ඉවරයිනෙ.”
“මේකයි පුතා වැඩේ. ගිය පාර ජන්දෙදි ශානකගේ තාත්තයි, මේ ළගදි නැතිවෙච්ච එයගේ මාමයි ලොකු ගාණක් ජයලත්ගෙ කැම්පේන් එකට වියදම් කළා. මෙයාගෙ තාත්ත ප්‍රපෝසල් එකට කැමති වෙලා ඉවර හින්ද ඔය දෙන්නගෙ සම්බන්දෙට එයා එකපාර කැමති වෙන එකක් නම් නෑ. ඒ වුණාට ඉතින් දුව අකමැති කෙනෙක්ව බලෙන් මැරි කරවන්න තරම් එයා නපුරු නෑ. ඒ හින්ද තව ටික දවසකින් අපිට මේක විසදගන්න පුළුවන් වෙයි. පුතාගෙ පැත්තෙන් වෙන්න ඕනෙ මෙච්චරයි. ඔයා තාත්තගෙ බිස්නස් වලට ජොයින් වෙන්න කැමති වෙන්න. අනිත් දේ තමයි දුව මට කිව්ව පුතා රිමාන්ඩ් එකේ හිටපු නිසා ඔයාගෙ තාත්ත පුතා එක්ක තරහ වෙලා ඉන්නෙ කියල. ඒකත් ඉක්මණට විසදගන්න බලන්න. තාත්ත තරහයි කියල එහෙම බයේ ගෙදර නොගිහින් ඉන්න එපා. ඒ ඔයාගෙ තාත්තනෙ. පිටින් කේන්තියෙන් වගේ හිටියට එයා ඔයා එනකන් බලාගෙන ඇත්තෙ. මං දුවටත් කිව්ව පුතා එක්ක අනුරාධපුරේ ගිහින් ඒ දෙන්නට කතා කරල එන්න කියල.”
“ෂා… අනුරාධපුරේ යනව නම් මාත් එනව. කාලෙකින් ඒ පැත්තෙ ගියෙ නෑ.” නිම්සරා නැවතත් මැදට පැන්නාය.
“ඔයා මොකටද එන්නෙ?” ලෝචනා ඇසුවාය.
“මොකටද කියල අහන්නෙ? ඇයි මට අනුරාධපුරේ යන්න බැරිද?”
“අපෝ පුළුවන්. මං අහන්නෙ ඇයි අපිත් එක්ක එන්නෙ කියල?”
“ඔය ඉතින්. ආයි පටන් ගත්ත. කෝ ඉතින් මේ කෙල්ලො දෙන්න මට මේක කියන්න දෙන්නෙ නෑනෙ. ඔයා කියන්න පුතා. ඔයාට මං කියපු වැඩ දෙක කරන්න පුළුවන් නේද?”
“හරි අම්මෙ. බිස්නස් වලට ජොයින් වෙන්න මගේ අකමැත්තක් නෑ. ගෙදර ප්‍රශ්නෙත් මං ඉක්මණටම විසදගන්නම්.”
“එහෙනම් ඒකත් හරි. හැබැයි ඉතින් ලොකුම ප්‍රශ්නෙ එන්නෙ ශානකගෙ ෆැමලි එකෙන්. ලොකු දුවේ, ඔයා තාම මේ ගැන ශානක පුතාට කිව්වෙ නෑ නේද?”
“කොහෙ කියන්නද අම්මෙ? මං ඔයාලට කිව්වෙත් ඊයෙනෙ. අනික මට හිතාගන්න බැරි මං මෙච්චර එයාව මගහැරලත් මං එයාට කැමති නෑ කියල එයාට තේරෙන්නෙ නැත්තෙ ඇයි කියල.”
“අක්කි, ශානක අයියා ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නෙ. එක අතකට එයා පව්.”
“මං එයාට කිසිම හෝප් එකක් දෙන දෙයක් කිව්වෙත් නෑ. කළෙත් නෑ. එයාම හිතින් හදාගෙන. පව් කියල හිතෙනව නම් ඔයා එයාව මැරි කරන්න. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි.”
“මං මැරි කරන්න… ශානක අයියව. ඊයා… මට නම් බෑ. අනික එයා මට නෙමෙයි ඔයාටනෙ කැමැති.”
“ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ.”
“ඒ වුණාට එයා පව්. ඔයා නම් හරි නරකයි අක්කි. ආකාශ් අයියත් එක්ක තරහවෙලා ඉන්න දවස් වල කම්මැලිකම යන්න ශානක අයියත් එක්ක කතා කර කර ඉදල ඒ කොල්ලගෙ හිතට හෝප්ස් දීල ආකාශ් අයියව ආපහු යාළු කරගත්තට පස්සෙ අරයට බූට් එක තිබ්බ. දැන් ඉන්නව මෙතන මුකුත් දන්නැති බබා වගේ.”
“ඇත්තමයි නංගි මං දැන් ඔයාට… බලන්නකො අම්මෙ. මෙයාට යන්න කියන්නකො. මේකි මෙතන හිටියොත් නම් අපිට මුකුත් කතා කරන්න වෙන්නෙ නෑ.” එවර නම් ලෝචනා කීවේ තරමක් කෝපයට පත් හඩකිනි.
“පොඩි දුව…” මවාගත් කෝපයකින් යුතුව තරමක් උස් හඩකින් කාන්ති මහත්මිය පැවසුවද ඇයටද තම සිනහව මැඩගත නොැහැකි විය. නිම්සරාගේ කටකාරකමට ආකාශ්ටද සිනහ පහළ විය. ඔහුට සිටින්නෙ සොහොයුරෙකි. එම නිසා සොහොයුරියන් දෙදෙනා අතර ඇතිවන මෙම වාග් ප්‍රහාර ඔහුට මුළුමනින්ම නවමු අත්දැකීමක් විය.
“ඉතින් අම්මෙ… මං ඇත්තනෙ කිව්වෙ.”
“දැන් ඕක ඇති. ආපහු රණ්ඩු කරොත් මං ඔයාව මෙතනින් යවනවා. පේනවනෙ පුතා මේ දෙන්නගෙ රණ්ඩු.” සිනාසෙමින් පැවසූ කාන්ති මහත්මිය සුළු නිහැඩියාවකට පසුව නැවතත් තම හඩ අවදි කළාය.
“මමනෙ දැන් මෙච්චර වෙලා පුතාගෙන් ප්‍රශ්න ඇහුවෙ. පුතාට තව මොනවද කියන්න තියෙන්නෙ? කියන්නකො තව විස්තර ටිකක්.”
මේ අයුරින් ඔවුන් තවත් හෝරාවකට අධික කාලයක් කතා බස් කරමින් සිටියෝය. විශ්ව විද්‍යාලයේ තමා අනිවාර්යෙන් පෙනී සිටිය යුතු ඇගයිම සදහා වේලාව ළගාවන බැවින් ආකාශ් නිවැසියන්ගෙන් සමුගැනීමට සැරසුණේය. කාන්ති මහත්මිය ආකාශ්ට සමුගැනීමට අවසර දුන්නේ රාත්‍රි ආහාරයක් සදහා දිනයක් වෙන්කරගෙන ඔහු එන බව පොරොන්දු කරවා ගැනීමෙන් අනතුරුවය.
“ඉන්න බබා. මං ඔයාව කැම්පස් එක ළගින් දාන්නම්.”
“මෙතන ඉදන් පොඩ්ඩ දුරයිනෙ. මං ටුක් එකක් දාගෙන යන්නම්. අවිස්සාවෙල්ලෙ යාළුවෙක්ගෙ පාටියකට යන්න තියෙනව කිව්ව නේද? ඒ හින්ද බබා ඔයා ලැස්ති වෙන්න. මං යන්නම්.”
සැබවින්ම කොළඹ විශ්ව විදයාලයට ලෝචනාගේ නිවසේ සිටි ඇත්තේ කෙටි දුරක් නිසා ඇය ඊට එකග විය. ටැක්සි රථයකට ආකාශ්ව නැංවීම සදහා ඇය ඔහුත් සමග ගේට්ටුව වෙත පියනගන්නට විය.
“ඒ අයිය හරි ෂෝක් අම්මෙ. දසුන් අයියට වැඩිය දාහකින් හොදයි. මාත් කැමති ඒ වගේ කෙනෙක්ට.” ඔවුන් දෙදෙනා පිටත්වන අයුරු දෙස බලා සිටි නිම්සරා සිය මවට කීවාය.
“ඔව්. මටත් හරි ආදරේ හිතුනා. ඒ වුණාට ඔය කැමති කතා අක්කට එහෙම ඇහෙන්න කියන්නෙ නෑ. ආපහු රණ්ඩුවක් පටන් ගන්න.”
* * *
“අක්කි. ආකාශ් අයිය නම් හරි ෂෝක් අනේ. ඔයාට නියමෙට මැච් වෙනව.” නිම්සරා පැවසුවේ ලෝචනා තම කාමරය තුලදී සාදයට යාම සදහා ඇදුමක් තෝරන විටදීය.
“මැච් වෙන හින්ද තමයි මං එයාව මැරි කරන්න හදන්නෙ.”
“මේ… මට ආකාශ් අයියගෙ මොබයිල් නම්බර් එක දෙනවකො.”
“මොබයිල් නම්බර් එක? ඒක මොකටද ඔයාට?”
“මොකටද කියල අහන්නෙ? කතා කරන්න. ඒ මගේ මස්සිනානෙ.”
“නෑ නෑ. ඔයාට නම් ඒක දෙන්නෙ නෑ. එයාගෙත් ඇගේ එල්ලෙන්නද කොහෙද මේකි මේ හදන්නෙ?”
“ඔව්. මට ඕනෙ නම් මං එයාගෙ ඇගේ එල්ලෙනවා. ඒ මගේ මස්සිනානෙ. ඇයි ඔයා මොනව කරන්නද?”
“හිතේ ඇති. දෙන්නම් මං ඇගේ එල්ලෙන්ම…” ලෝචනා කීවාය. තම නැගණිය නැවතත් තමාව ඇවිස්සීමට උත්සහ කරන බව ඇය දැනගත්තාය. එසේම නිම්සරා යනු තම නැගණිය වූවද ඇයද ඉතා රූමත් තරුණියකි. එම නිසා නිම්සරා වූවද ආකාශ්ට සමීප වීමට උත්සහ දැරීම ලෝචනාට රිස්සුවේ නැත. එසේම නිම්සරාගේ සිතුම් පැතුම් සහ චරිත ස්වභාවය පිළිබදවද ලෝචනා ඉතා හොදින් දැන සිටියාය.
“හරි ඉතින්. මට අයියගෙ නම්බරේ දෙන්නකො. පොඩ්ඩක් කතා කරල අදුරගන්න.”
“මෙච්චර වෙලා කතා කරේ. තව මොනව කතා කරන්නද? මෙච්චරයි නංගි. මං ඔයාට එයගෙ නම්බරේ දෙන්නෙ නෑ.”
“අනේ අක්කි…”
“යන්න අනේ කරදර නොකර. මට පරක්කුත් වෙනව.” තම නැගණියව අතින් ඇදගෙන ගිය ලෝචනා ඇයව කාමරයෙන් එළියට දමා ඇතුලතින් අගුළු දැම්මාය.
නිම්සරාගේ සිතේ තම සොයුරිය ගැන තරමක කෝපයක් ඇති විය. ඇය සෙමින් විසිත්ත කාමරය වෙත ඇවිද ආවාය. එහි වූ පුටුවක ලෝචනාගේ අත් බෑගය තිබෙනු දුටු නිම්සරාගේ මුහුණේ ඇදී ගියේ ජයග්‍රාහි සිනාවකි. ලෝචනාට එය කුටිය තුළට ගෙන යාමට අමතක වී ඇත. වහාම ඒ වෙත ගිය නිම්සරා අත් බෑගය පිරික්සා එය තුල තිබූ ලෝචනාගේ ජංගම දුරකතනය පිටතට ගෙන එහි කෙටි පණිවිඩ වල ඉහළින්ම තිබූ ආකාශ්ගේ ජංගම දුරකතන අංකය ඉක්මණින් තම ජංගම දුරකතනයේ සටහන් කරගත්තාය.
සාදයට යාම සදහා සූදානම් වන තම සොයුරිය දැන්ම කුටියෙන් පිටතට නොඑන බව දැන සිටි නිම්සරා ආකාශ් සහ ලෝචනා අතර හුවමාරු වූ කෙටි පණිවිඩ කියවීමට පටන් ගත්තාය. සැබවින්ම තම වැඩිමහල් සොයුරියගේ පෙම්වතා මෙතරම් අපූරු තරුණයෙකු යැයි දැකීමට පෙර ඇය කිසිසේත්ම අපේක්ෂා නොකළාය. ඔහුට තිබුණේ වෙනස්ම ආකාරයේ පෞරුෂයකි. ඔහුගේ දෙනෙතෙහි තිබුණේ තැන්පත් එහෙත් ගුප්ත බවකි. එසේම ඔහුගේ පෞරුෂය තුළින් නොසැලෙන නිර්භිත බවක් සහ අමුතුම පිරිමිකමක් ඇයට දැනුණි. එවැනි ලක්ෂණ සහිත පුරුෂයෙකු ඇයට මින් පෙර කිසිදිනෙක හමුවී තිබුණේ නැත.
නිම්සරාට මීට පෙර පෙම් සබදතා දෙකක් තිබුණද ඇය විසින්ම ඒවා නවතා දමා තිබුණේ එම තරුණයන් දෙදෙනාම ඇය බලාපොරොත්තු වූ ආකාරයේ චරිත නොවීම හේතුවෙනි. ඇමතිවරයෙකුගේ පුතෙකුද ඇය සමග සම්බන්ධකමක් ඇති කරගැනීම සදහා මේ වන විට ඇය පසුපසින් වැටී සිටියද ඒ තරුණයා කෙරෙහිද ඇය එතරම් තැකීමක් නොකළාය. නමුත් ආකාශ් යනු ඒ සියලුදෙනාටම වඩා වෙනස් අයෙකු බව දුටු පළමු මොහොතේම ඇයට හැගුණි. ජීවිතයේ පළමු වතාවට ඇයට තම වැඩිමහල් සොහොයුරිය ගැන තදබල ඊර්ෂියාවක් ඇති විය.
* * *