Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 1
ISBN 978-955-44323-3-8
“අම්මේ, මං එහෙනම් නිදාගන්න යනවා” පවසමින් ආකාශ් සිය කුටියට වැද දොර වසා ගත්තේ නිවැසියන් මහත් සේ ඇබ්බැහි වූ නමුත් ඔහුට රුචි නොවූ රූපවාහිනි ටෙලිනාට්‍යය වල ශබ්දයෙන් මිදී නිදහස් වීමටය.
නින්දට යාම පිණිස සිය සයනේ දිගා වීමට සූදානම් වෙත්ම විවෘත වූ කවුළුවෙන් ආරාධනාවකින් තොරව පැමිණි සීතල සුළං පොදක් ඔහුගේ මුහුණ සිපගනිමින් හමා ගියේය. සිසිල් සුළං රැල්ලෙන් කළ ගුප්ත ආරාධනාවක් නිසාදෝ නිරායාසයෙන්ම කවුළුව වෙත ඔහු ඇවිද ගියේය.
ඔවුන්ගේ ගෙවතු මායිමේ සිට ඇරඔෙන විශාල වෙල් යායත්, ඊට බොහෝ ඈතින් පිහිටි අනුරාධපුර ගුවන් හමුදා මූලස්ථානයේ දැල්වෙන රතු හා නිල් පැහැති විදුලි බුබුළුත් ඔහුට පෙනුණි. තම වැඩිමහල් සහෝදරයා මේ මොහොතේද එහි වූ ගුවන් විදුලි පාලක මැදිරියේ සේවය කරන බව ඔහු දැන සිටියේය. සද එළියෙන් නැහැවුණු එම පරිසරයේ නිස්කලංකත්වය සිත්ගන්නා සුළු වුවද ඔහුගේ අවධානය යොමු වූයේ එයට නොව අනන්ත අපරිමිත තරු වලින් හැඩ ගැන්වූ ඉහළ අකාසය වෙතය. “මේ අහසේ මොන තරම් තරු ගොඩක් ඇත්ද? හැමදාම අපිට පේන්නෙ එකම තරුද නැත්නම් වෙනස් තරුද? ගණන් කරන්න බැරි තරම් තියෙන මේ තරු හැම එකක්ම පාළුවට ගිය ඒවද? ඒව වල සමහර විට සත්තු ඉන්නත් පුළුවන්. සමහර විට අපි වගේම මිනිස්සු හරි එහෙමත් නැත්නම් අපිට වඩා දියුණු කට්ටිය හරි ඉන්නත් පුළුවන්. එහෙමත් නැත්නම්… මේක දෙවියන්ගෙ වාස භූමියද?” මෙවැනි ප්‍රශ්න ඔහු අනන්ත වාරයක් සිත තුළ මෙනෙහි කර තිබුණද පිළිතුරු පෙනෙන තෙක් මානයකවත් නොවිය. තමාට එම පිළිතුරු සිය ජීවිත කාලය තුළ සොයා ගත හැකි වේ යැයි ඔහු බලාපොරොත්තු වූයේද නැත. කෙසේ වූවද මුළු අභ්‍යාවකාශයම සිය නමෙහි ඇතුලත් ආකාශ් තරුපති නමැති මෙම තරුණයා අන් සියල්ලන්ගෙන්ම වෙනස් වූ ප්‍රධාන කරුණ නම් ඔහු අහසට ඇලුම් කිරීමයි.
සිය වැඩිමහල් සොහොයුරු නිමේෂ් නිවසේ නැතිවීම හේතුවෙන් ඔහුට නිදන කාමරය තනිවම පරිහරණය කළ හැකි වූවද සාකච්ඡාවක් පැවැත්වීමට කෙනෙකු නොමැති වීම පාළුවට කාරණයක් විය. ආකාශ් මෙන් අහසට විශේෂ ඇල්මක් නොදැක්වූවද සිය සොහොයුරා සිටියා නම් ගතවූ සතිය තුළ ගුවන් හමුදා කදවුරේ සිදුවූ සිදුවීම් ආකාශ් සමග පවසනු ඇත. වරක් ආකාශ් සිය සොහොයුරා සමග රාත්‍රියේදී කදවුරට ගිය අවස්ථාවකදී එහි තිබූ ගුවන් යානා නිරීක්ෂණය කිරීමට යොදාගන්නා පැරණි පන්නයේ අඩු විශාලක බලයක් සහිත දුරේක්ෂයකින් ආකාශ වස්තූ නිරීක්ෂණය කිරීමට උත්සහ ගත්තේය. නමුත් ඔහුට යන්තමින් හෝ බැලීමට හැකි වූයේ චන්ඳ්‍රයා පමණි. එයද එතරම් පැහැදිලි නොවිය.
නමුත් කොළඹ විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව කටයුතු කරන එක්තරා පෞද්ගලික ආයතනයක් සතු සැලකිය යුතු විශාලක බලයක් සහිත දුරේක්ෂයට ඔහු වඩාත් ප්‍රිය කළේය. මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ කාර්මික විද්‍යාව පිළිබදව උපාධියක් හදාරන පළමු වසරේ නේවාසික ශිෂ්‍යයෙකු වන ඔහු කොළඹ පිහිටි එම ආයතනය සතු දුරේක්ෂය ආධාරයෙන් චන්ඳ්‍රයා, සිකුරු, අගහරු වැනි විවිධ ආකාශ වස්තු නරඹා තිබුණි.
තමා මේ අයුරින් අහසට ඇල්මක් දැක්වීමට හේතු වූ මූලික කරුණ දැන සිටියේ ඔහුම පමණකි. සැබවින්ම ඔහු සිය දෙනෙතින් සුවිශේෂි සිදුවීමක් දුටු පුද්ගලයෙකි. නමුත් එම සිදුවීම පිළබදව ඔහු කළ විස්තරය කිසිවෙක් සැලකිල්ලට නොගත්තේ එය තරමක් අපැහැදිලි වීමත්, එය සිදුවන විට ඔහු වයස අවුරුදු අටක කුඩා ළමයෙකු වීමත්ය. කෙසේ වූවද, මීට දශක එකහමාරකට පමණ පෙර සිදුවූ මෙනෙහි වන විට පවා ලොමු දැහැ ගැන්වෙන සුළු එම සිද්ධිය තවමත් ඔහුගේ මතකයේ රැදී තිබුණි.
* * *
එය කිසියම් මාසයක පුන් පොහෝ දිනයකි. එදින සවස් යාමය බැස යන හිරු කිරණින් නැහැවිය යුතුව තිබුණද අනුරපුර අහස් තලයම දැවැන්ත අදුරු වැහි වළාකුළු වලින් වැසී තිබුණි. පන්සලේ බණ දේශනා හඩ අභිබවා අකුණු ගසන ශබ්දය මිහිතලය කම්පා කරමින් දසත පැතිර ගියේය. බොහෝ දෙනා ආගමික වතාවත් වල නියැලීම සදහා ගමේ පන්සල වෙත ගොස් සිටි නිසා ගම්මානය පාළු ස්වභාවයක් ඉසිලීය.
ආකාශ්ද එදින සිය මව සමග පන්සලට පැමිණ සිටියේය. දගකාර ළමා අවධියේ පසු වූ ඔහුට එකතැන හිදගෙන හෝරාවක් පමණ බණ දේශනා වලට සවන්දීම අතිශයින්ම අලස කටයුත්තක් විය. ඔහුගේ පාසල් සගයා වූ කමල් ද තමාගේ මව සමග පන්සලට පැමිණ සිටි හෙයින් කෙසේ හෝ ඔහු සමග පන්සලෙන් පිට වීමට හෙතෙම ඉටා ගත්තේය. පන්සල් වත්තේ ඇවිදීමට යන බව පවසා සිය මවුවරුන්ගෙන් ගැලවුණු ඔවුහු ලද අවසරයෙන් වහාම පන්සලෙන් පිටවී වෙල් යාය මැදින් වැටුණු පාර දිගේ පහළ කැලය වෙත දුවන්නට විය.
“මේ… හොදටම වහින්නයි එන්නෙ. ඇදුම් තෙමා ගෙන ගියොත් එහෙම මට අම්මගෙන් ගුටි කන්නයි වෙන්නෙ.” අදුරු වූ අහස දෙස බලමින් කමල් උස් හඩින් පැවසුවේ ඒ වන විටද වේගයෙන් හැමූ සුළගේ ඝෝෂාව යටපත් කිරීමට උත්සහ දරමිනි.
“බෑ බෑ. අදම යන්න ඕනෙ. හෙට වෙනකොට වැස්ස නිසා ඉදිච්ච අඹ ඔක්කොම වැටිල තියෙයි.” ඉදිරියෙන් ගමන් කළ ආකාශ් කීවේය.
“ඒ වුණාට දැන් හයියෙන් වහින්නයි එන්නෙ. අනික අපි අඹ කඩනකොට පුවක් බණ්ඩට අහු වුණොත් එහෙම? මිනිහා අපිට පොරොවෙන් කොටයි.”
පුවක් බණ්ඩා පිළිබදව සිහිවීම හේතුවෙන් ආකාශ්ගේ සිත තුළද යම් තරමක භීතියක් උපන්නේය. පුවක් බණ්ඩා යනු පහළ කැලය තුළ දිරා ගිය කුඩා පැලක හුදෙකලාව ජීවත් වූ අවුරුදු පනහක් පමණ වයසැති තරමක් උන්මත්තක මිනිසෙකි. සැබෑ නම බණ්ඩාර වූ ඔහු ජීවිකාව උදෙසා කැලය තුළ වූ පුවක් හා වෙනත් විවිධ ගෙඩි වර්ග කඩමණ්ඩියට විකිණු නිසා පුවක් බණ්ඩා නමින් ගම්මානය තුළ ප්‍රසිද්ධව සිටියේය. කිසිවෙකුටත් හිරිහැරයක් නොකළ අහිංසකයෙකු වූවද කෝප වූ විට කෙළවරක් නොමැතිව ඇද බාන තිත්ත කුණුහරුප හේතුවෙන් ගමේ ළමුන් ඔහු කෙරෙහි දැක්වූයේ තරමක බියකි.
“පුවක් බණ්ඩා මේ වැස්සෙ එළියට එන එකක් නෑ. අපි ඉක්මණට ගිහින් අඹ කඩාගෙන එමු. මොනව හරි කිව්වොත් එහෙම අතන පැලේ ඉන්න සිරිනේලිස් මාමට කියමු.” ආකාශ් පැවසුවේ කුඹුරු යාය මැද තරමක් ඈතින් පිහිටා තිබූ පැලක් පෙන්වමිනි.
තවත් මිනිත්තු කිහිපයකට පසුව ඔවුහු වෙල් යාය පසුකර පහළ කැලයට ඇතුල් වූහ. තරමක බෑවුම් සහිත පහත් බිමක පිහිටා තිබූ පහළ කැලය සරුසාරය වැඩුණු අඹ ගස් වලින් පිරී තිබුණි. ඊට අක්කර කිහිපයක් ඔබ්බෙන් වූයේ කදු ගැටයකින් ආරම්භ වන උඩහ කැලය හෙවත් තෙරක් නොපෙනෙන අනුරාධපුර වන රක්ෂිතයයි.
සිහින් වැහි බිංදු මුහුණ සිපගන්නා අතරේ කමල් බිම සිටියදී ආකාශ් තරමක් උස අඹ ගසක හැකි තාක් ඉහළට ගොස් ගෙඩි කඩා බිම දමන්නට විය. කුණාටුවක පෙරනිමිත්තක් වන් චණ්ඩ මාරුතයට හසු වූ ගස බොහෝ සේ පැද්දීම හේතුවෙන් සමබරතාවය රැක ගැනීමට අපහසු වූ ආකාශ් අඹ කැඩීම පසෙක තබා බිමට බැසීමට සූදානම් විය. නමුත් හදිසියේම දුටු දර්ශනයෙන් හෙතෙම මවිතයෙන් ගල් ගැසුණේය.
පහළ කැලයේ බිම සිට නොපෙනුණද, උස අඹ ගසකට නැග සිටීම හේතුවෙන් ආකාශ්ට උඩහ කැලය ආරම්භ වන කදු ගැටයේ මුදුන හොදින් පෙනුණි. කදු ගැටයට ඉහළ අහසේ යමක් රැදී තිබුණි. එය කුමක් දැයි නිශ්චිතව සිතා ගැනීමට ඔහු අපොහොසත් වූයේ එවැන්නක් මීට පෙර කිසිදිනෙක දැක හෝ අසා නොතිබුණු නිසාය. එය නිශ්චිත වශයෙන් ප්‍රමාණයක් සිතා ගැනීමට අපහසු කිසියම් වස්තුවක් විය. නමුත් එය අහසේ රැදී තිබූ සුළු කාලය තුළ කරුණු කිහිපයක් ඔහුගේ සිතේ ධාරණය විය. එනම් මෙය අහසේ පැහැයට හුරු ලා නිල් පැහැයක් ගත් බවත් එයින් කිසියම් ආලෝකයක් පිට වූ බවත්ය. නමුත් එම ලක්ෂණ දෙකටම වඩා ඔහු විස්මයට පත් වූයේ එම වස්තුවේ විනිවිද පෙනෙන ස්වභාවයටය. සැබවින්ම ඔහුට එහි හැඩයක් හෝ ප්‍රමාණයක් සිතා ගැනීමට නොහැකි වූයේද මෙම විනිවිද පෙනෙන සුළු බව හේතුවෙනි. තත්පර පහකට අඩු කාලයක් අහසේ එක තැන රැදී තිබූ එය ඉන්පසුව ක්‍රමයෙන් පහළට යන්නට විය. කදු ගැටය හේතුවෙන් තවදුරටත් එය ඔහුට නොපෙනුණි.
Beginning curious & beautiful
Thank you.