Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 11
ISBN 978-955-44323-3-8
සම්මුඛ පරීක්ෂණයකින් හෝ වෙනත් ආකාරයක පිළිගත් යෝග්‍යතාවයකින් තොරව මෙවැනි බරපතල ආයතනයකට යමෙකු සම්බන්ධ කර නොගන්නා බව ආකාශ් මීට පෙර අසා තිබුණි. නමුත් මේ අවස්ථාවේදි එවැනි කිසිවකින් තොරව තමාගේ මුහුණටම ඇසූ එම පැනය හේතුවෙන් මෙම ජෙෂ්ඨ නිලධාරින් දෙදෙනා ගිනිඅවි පිළිබදව තමා සතු දැනුම පිළිබදව විස්මයට පත්ව ඇති බව ආකාශ් පැහැදිලිවම වටහා ගත්තේය. නමුත් සිය ඉරියව් තුළින් ඒ බවක් ඔහු නොපෙන්නුවේය.
“ඒ කිව්වෙ සර්?”
මෙහෙමයි ආකාශ්, ඇත්තම කියනව නම් අද දවල් නෙවිල් ඔයා ගැන මට කියපු විස්තර ටික නම් මං එච්චරම ගණන් ගත්තෙ නෑ. හැබැයි මේකන් පස්සෙ, දැන් නම් මට තේරෙනවා කතාව ඇත්ත කියල.” ගජසිංහ පැවසුවේ ආකාශ් විසින් සවි කළ ගිනි අවිය පෙන්වමිනි.
“වේපන්ස් ගැන ඔයාට තියෙන දැනුම හින්දයි ඔයාගෙන් මේ වගේ දෙයක් මම ඇහුවෙ. මම දැන් අවුරුදු ගාණක් මේ ෆීල්ඩ් එකේ වැඩ කරනවා. ඒ වුණාට නෙවිල් කියපු විදියට නම් මටවත් ඔයාට තරම් වේපන්ස් ගැන දැනුමක් තියෙනව කියල මං හිතන්නෙ නෑ. ඉතින් මං හිතනවා, ඔයා මේකට කැමති වුණොත් අපි හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වෙයි කියල.”
සුළු මොහොතකට පසුව ආකාශ් සිය හඩ අවදි කළේ මදක් කල්පනා කිරීමෙන් පසුවය.
“සර්, මට මේකට එකපාරටම උත්තරයක් දෙන්න අමාරුයි. ඇත්තම කියනව නම් මං කවදාවත් මේ වගේ තැනක වැඩ කරන්න නම් හිතල නෑ. අනික සර්, තවම මගේ ඩිග්‍රි එක ඉවරත් නෑ…”
“හරි හරි, ඒ ගැන කලබල වෙන්න එපා. අපි ඔයා ගැන විස්තර ඔක්කොම දන්නව. ඔයාගෙ ඩිග්‍රි එකේ වැඩ මුකුත්ම මග හැරෙන්නෙ නැති විදියට මෙතන වැඩ කරන්න පුළුවන්. සතියටම පැය ගාණක් විතරයි වැඩ කරන්න තියෙන්නෙ. වැඩ කරන විදියට අතට ගාණකුත් ලැබෙයි. අනික බය වෙන්න එපා. අපි එකපාරටම ඔයාව වැඩට දාන්නෙ නෑ. මුලින්ම මාස දෙක තුනක විතර පොඩි ට්‍රේනිං එකක් දෙනවා.”
“මං ආවොත් කරන්න තියෙන ඩියුටි එක මොකද්ද සර්?”
“ම්… ඒක අපි ට්‍රේනිං එක ඉවර වුණාට පස්සෙ බලමු. දැනට නම් අපි හිතාගෙන ඉන්නෙ මුලින්ම ඔයාව ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් විදියට වේපන් රෙපෙයාරින් සෙන්ටර් එකට දාන්න. ඒ වගේම ටික දවසක් වැඩ කළාට පස්සෙ ක්‍රිමිනල් කේස් වලදි පාවිච්චි කරපු වේපන්ස් බුලට්ස් එහෙම චෙක් කරල රිපෝට්ස් හදන වැඩේටත් ඔයාව දාන්නයි මං හිතාගෙන ඉන්නෙ. ඔයා දැන් කරපු වැඩේම තමයි කරන්න තියෙන්නෙ.”
මේ අයුරින් තවත් හෝරාවක පමණ කාලයක් පුරා කරන ලද ප්‍රශ්න කිරීම හා පැහැදිලි කිරීම් වලින් යුතු සාකච්ඡාවකින් පසුව ගජසිංහගේ යෝජනාවට ආකාශ් එකග වූයේ කැමති ඕනෑම අවස්ථාවක තමාට මෙම තාවකාලික රැකියාව අතහැර දැමිය හැකි බවට ස්ථිර වශයෙන්ම දැන ගැනීමෙන් අනතුරුවය.
* * *
“මොන විකාරයක්ද? ඔයාට තේරෙන්නෙ නැද්ද ඕක මහ පිස්සු වැඩක් කියල.” ලෝචනා පැවසුවේ තරමක ආවේගශිලී හඩකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමට ඔහු ගත් හිතුවක්කාර තීරණය පිළිබදව ඇයගේ සිත තුළ කෝපයක් මෙන්ම බියක්ද හටගෙන තිබුණි.
මෙය ගිවිසුම් අත්සන් කිරීමෙන් ලද ස්ථීර රැකියාවක් නොව තමා කැමති ඕනෑම අවස්ථාවක අතහැර දැමිය හැකි තාවකාලික එකක් පමණක් බව ආකාශ් කොපමණ පැහැදිලි කළද දිගින් දිගටම ඇයගෙන් එල්ල වූයේ විරෝධයක් පමණි.
“ඔයා දන්නෙ නෑ ආකාශ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නෙ හැම තිස්සෙම දේශපාලනෙත් එක්ක වැඩ කරන්න වෙන තැනක්. ඉතින් සමහර වැඩ කරන්න ගියාම ඒකෙ ඉන්න මිනිස්සුන්ට වෙන්නෙ හිතාගන්නවත් බැරි දේවල්. ඔයා ඒව ගැන දන්නෙ නෑනෙ. මං ඔය දේශපාලන වැඩ ගැන ටිකක් හරි දන්න හින්දයි මේ කියන්නෙ.”
“ඔව්, ඒක එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මං මේ දිගටම කරන්න හදන ජොබ් එකක් නෙමෙයිනෙ. ආසාවට ටිකක් ටෙස්ට් කරල බලනවා. ඊට පස්සෙ අතහැරල දානවා. ඒක ඉතින් එච්චර අවුලක් නෑනෙ.” ඔහු පැවසුවේ එතරම් බරක් පතලක් නොමැති ස්වරයකිනි.
මෙලෙස ඔවුන් දෙදෙනා අතර ඇති වූ සංවාදය තරමක් උණුසුම් අයුරින් දික් ගැස්සීම හේතුවෙන් එදින ඔවුන් සමුගත්තේ වෙනදා මෙන් සුපුරුදු සිප වැළද ගැනීමකින් තොරවය.

ඔහු කිසිදු අයුරකින් ඇයට දෝෂාරෝපණයක් නොකළද තමාගේ තීරණය හමුවේ හැඩූ කදුළින් යුතුව ඇය ඉවතට පිය නගනු සුළු මොහොතක් බලා සිටි ඔහුද එතැනින් ඉවතට පියමැන්නේ කෝපයත්, කළකිරීමත් මිශ්‍ර වූ සිතකිනි. තමා ඉදිරිපත් කළ කරුණු කිසිවක් පිළිගැනීමට එකග නොවූ ඇයගේ මෙම තදබල විරෝධයට හේතුවක් ලෙස ඔහුට සිතාගත හැකි වූයේ එකම එක කරුණක් පමණි. එනම් ඇයගේ පියාද ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු පුද්ගලයෙකු වීමයි. මෙරට බොහෝමයක් අමාත්‍යංශ වල මෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේද අල්ලස් සහ දූෂණ සිදුවනු ඇත. එහෙයින් අනාගතයේ යම් දිනක කිසියම් හෝ හේතුවක් මත තමා ජයලත් දිසානායක සමග ගැටෙනු ඇතැයි ඇය බිය වූවා විය හැක.
එදින රාත්‍රී දහයට පමණ ආකාශ්ගේ ජංගම දුරකතනය නාද විය. ඇමතුම ලෝචනාගෙනි. ඔහු මෙය බලාපොරොත්තුවෙන් සිටියේ සාමාන්‍යයෙන් සුළු සිත් රිදවීමකින් හෝ සමුගත් සෑම දිනකම පාහේ අදාළ දවසේ රාත්‍රියේදි ඇය ඔහුව අමතන නිසාය.
ඇමතුම ආරම්භයේදී ඔවුන් දෙදෙනාගේම ස්වරයන් වෙනදා මෙන්ම ඉතා ආදරබර විය. නමුත් රැකියාව පිළිබදව මාතෘකාවට පැමිණි විට එය ඉතා ඉක්මණින් වෙනස් විය.
“මොකද්ද අනේ ඔයාගෙ ඔය පිස්සු තීරණේ? ඔයාට මං වෙනුවෙන්වත් ඕක අතහරින්න බැරිද? අනික මං අපේ තාත්තට කියල ඔයාට ඕකට වැඩිය දෙතුන් ගුණයක් පඩි තියෙන ජොබ් එකක් හොයල දෙන්නම්.”
මෙහිදී ආකාශ් කතා කළේ ඉතාමත් ඉවසීමෙන් යුතුවය. තමාට වේතනය හෝ රැකියාවේ තත්වය නොවැදගත් බවත් මෙම රැකියාව යාමට හේතුව එම දෙපාර්තමේන්තුවේ වැඩ කිරීමට ඇති කැමැත්ත පමණක් බවත් කොපමණ වාරයක් පැහැදිලි කළද ඇයගෙන් එල්ල වූයේ පෙර පරිදිම විරෝධයක් පමණි. අවසානයේදි ආකාශ්ද කෝපයට පත් විය. පහසුවෙන් කෝපයට පත්වන්නෙකු නොවූවද කේන්ති ගත් විට ඔහු ඉතා දරුණු තත්වයට පත්වන්නෙකි. මෙම අවස්ථාවේදී ද තමා කලාතුරකින් පත්වන ඇයට දරාගත නොහැකි දරුණු මට්ටමකට පැමිණ ඇති බව ඔහුට වැටහුණේ ඈ තදින් ඉකිබිදින හඩ දුරකතනය තුළින් ඇසෙන විටය. ඔහු වහාම නිහඩ විය. ඔවුන් දෙදෙනාම තත්පර කිහිපයක් යනතුරුම කතා නොකළෝය. නමුත් ඇය හඩන ශබ්දය නම් එම තත්පර කිහිපය පුරාම ඔහුට ඇසුණි.
“ලෝචනා, පොඩ්ඩකට මං කියන දේ අහන්නකො.” මෙවර ඔහු ඉතා කාරුණික ස්වරයකින් කතා කළද සංවාදය තවදුරටත් පවත්වා ගැනීමට ඇයට අවශ්‍යය නොවිය. දුරකතනය විසන්ධි විය.
ස්වල්ප මොහොතක් ඔහු තම ජංගම දුරකතනය දෙස හිස් බැල්මකින් යුතුව නිහඩව බලා සිටියේය. විශාල වැරැද්දක් සිදු වූ බව ඔහුට හැගුණි. නමුත් දැන් එය සිදු වී හමාරයි. එසේම එම වැරැද්ද නැවත නිවැරදි කළ හැකි දැයි සැක සහිතය. සිතෙහි ඇති වූ තදබල දුක හේතුවෙන් ඔහුගේ මනස වර්තමානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් විය. කළ යුත්තේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය.
මෙතෙක් කල් ඔහුගේ හිත පුරා දුව පැන ඇවිද ගිය සුන්දර ආදරය මීට මිනිත්තු කිහිපයකට පෙර තමා අතින් බරපතල අයුරින් පළුදු වූ බව ඔහුට දැනුණි. කදුළු පිරි දෙනෙතින් යුතුව සහනයෙහි හාන්සි වූ ඔහුට හැඩීමට අවශ්‍ය වූවද හෙතෙම නොහැඩුවේය.
තවත් අඩ හෝරාවකට පමණ පසුව මහා කළු ගලක් මෙන් බර වූ සිතෙහි වේදනාව සුළු වශයෙන් පහව ගිය හෙයින් ඔහුගේ කල්පනා කිරීමේ ශක්තිය නැවත මතු වී පැමිණියේය. තමාගේ ජීවිතය මෙන් වූ ආදරය පවා නොදන්නා රැකියාවක් වෙනුවෙන් කැප කිරීම පිළිබදව ඔහු තුළ ඇති වූයේ ප්‍රශ්නාර්ථයකි. සැබවින්ම ගජසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර කිසිදාක අපරාධ පරීක්ෂකයෙකු ලෙස සේවය කිරීමට ඔහුගේ සිතෙහි කිසිදු අදහසක් නොතිබුණි. නමුත් දැන් සිදුවී ඇති පෙරළිය කුමක්ද? ඔහුට ඔහුගේම සිතිවිලි මත රැදුණු තීරණ තේරුම්ගත නොහැකි තත්වයකට පත්ව ඇත. වටහා ගත නොහැකි මේ ආශාව කුමක්ද? සිතාමතා නොවූවද මෙම ගුප්ත ආශාව හේතුවෙන් හිරේ විලංගුවේ වැටුණු අවස්ථාවේදීත් තමාට ආලය දැක් වූ පෙම්වතියට ඔහු පිටුපා ඇත. ඇයගේ ආදරය නොමැති ලොවක විසීම දුෂ්කර හෙයින් ලැබීමට නියමිත රැකියාව වහාම අතහැර දැමිය යුතු බව ඔහුගේ තර්ක බුද්ධිය පෙන්වා දුන්නේය. නමුත් සිතේ අභ්‍යන්තරයෙහි ඇති වී තිබෙන පැහැදිලි කළ නොහැකි ආවේගයක් විසින් එයට විරුද්ධව නැගී සිටියේ ඔහුට එම රැකියාව අවශ්‍යයම බව පවසමිනි. නමුත් එම මානසික බලවේගය කුමක්දැයි වටහා ගැනීමට හෙතෙම අපොහොසත් විය.
* * *
කාලය ක්‍රමයෙන් ගෙවී ගිය අතර වෙහෙසකර සති කිහිපයකට පසුව එක්තරා දිනක ආකාශ් පොලිස් පුහුණු මධ්‍යස්ථානයෙන් පිට වූයේ තෘප්තිමත් සිතින් යුතුවය. මාස තුනකට ආසන්න පුහුණුවේ දීර්ඝතම මෙන්ම සමත්වීමට අපහසුම කොටස වූ අපරාධ පරීක්ෂකයෙකු දැන සිටිය යුතු නීතිමය හා සාරධර්ම කරුණු සම්බන්ධ පරීක්ෂණයට සාර්ථකව මුහුණ දීමට ඔහුට හැකි වීම ඊට හේතුව විය. ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටද අවසන්ව තිබූ හෙයින් තවත් සතියකට පමණ පසුව ඔහුට නිල වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී සේවය කළ හැක. නමුත් මෙම තෘප්තිය වසා දමමින් වරින් වර සිතෙහි මතුවන තදබල වේදනාව මුසු වූ හුදෙකලා බවක් ද තිබුණි. ඒ ලෝචනා පිළිබදව මතකයයි. ඔහුගේත්, ඇයගේත් ඇසුරෙහි නැවතීමේ තිත තබා මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇත.
එදා විරසක වීමෙන් අනතුරුව දින දෙකකට පසුව ඔහු ලෝචනාට දුරකතන ඇමතුමක් ගත්තේ කෙසේ හෝ මෙය සමථයකට පත් කර ගැනීමේ අරමුණෙනි. එහෙත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්වූවාය. මිනිත්තු කිහිපයකට පසුව ඔහු නැවත වාරයක් ඇමතුමක් ගත්තේය. නමුත් ඇයගෙන් ප්‍රතිචාරයක් නැත. ඔවුන්ගේ ඇසුර ඇරඹූ දා සිට මේ විරසක වීම සිදුවන තෙක්ම ඔවුන් කතා නොකළ දිනයක් නොමැති විය. එහෙත් දැන් තත්වය වෙනස් වී ඇත. දින දෙකක සිට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. දැඩි සිත් වේදනාවට පත් වූ ඔහු ඇයට මෙසේ කෙටි පණිවිඩයක් යැව්වේය.
“මං ක්‍රිමිනල් ඩිපාට්මන්ට් එකට රෙජිස්ටර් වුණා. ඔයාට පුළුවන් නම් එක පාරක් මාව හම්බවෙන්න එන්න.”
මිනිත්තු කිහිපයකට පසුව ඇයගෙන් පිළිතුරු කෙටි පණිවිඩයක් ලැබුණි.
“ඔයාගෙ ඔය තීරණේ වෙනස් කළාට පස්සෙ මට කතා කරන්න. එහෙම නැතුව මට කතා කරන්න එපා. වෙනස් කරන්න බැරි නම් ඉතින් අපිට තවත් කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.”
නමුත් ආකාශ් මේ වන විටත් තීරණයක් ගෙන තිබුණි. එම නිසා තමාට ඇයව සම්පූර්ණයෙන්ම අහිමි වීමට ඉතා ආසන්න බවක් ඔහුට දැනුණි. තදබල වේදනාවකින් වෙලී ගිය සිත පාලනය කිරීමට උත්සහ කරන අතරේ ඇයගෙන් තවත් කෙටි පණිවිඩයක් ලැබුණි.
“අනේ තේරුම් ගන්න රත්තරං. ඔයා කරන වැඩේ ගැන මං ගොඩක් බයෙන් ඉන්නෙ.”
එය කියවූ ඔහුගේ සිත තුළ වූ ශෝකය අතුරුදහන් වී ගියේය. ඇය තවමත් තමාව අතහැර නැති බව පවසන යම් ඉගි කිරීමක් එම කෙටි පණිවිඩය තුළින් ඔහුට දැනුණි. නමුත් ඔහු ඇයට පිළිතුරක් යැව්වෙ හෝ ඇමතුමක් ගත්තෙ නැත. ඇය තවමත් ඇයගේ ස්ථාවරයේම සිටින හෙයින් කතා කිරීමෙන් ඵලක් නොවන බව ඔහු දැන සිටියේය. තවත් අවුලක් ඇති කර ගැනීමට වඩා මෙවැනි ප්‍රශ්න කාලයට භාර දීම සුදුසුය. කෙදිනක හෝ ඇය තමාව තේරුම් ගන්නා තුරු මෙම ප්‍රශ්නය විසදීම කාලයට භාර කළ ඔහු නිහඩ විය.
* * *
“හරි…, තාක්ෂණික සහය නිලධාරි ආකාශ් තරුපති. ලියාපදිංචි අංක එකසිය හතලිස් නවය.” ජේෂ්ඨ නිලධාරි ගජසිංහ විසින් රජයේ නිල මුඳ්‍රාව සහිත ආකාශ්ව ලියාපදිංචි කළ ලියවිල්ලෙහි අඩංගු දෑ හඩ නගා කියෙව්වෙ තෘප්තිමත් සිතින් යුතුවය. අහඹු ලෙස ඔවුන්ට හමු වූ මෙම තරුණයා සුවිශේෂි දක්ෂතාවයන්ගෙන් යුතු පුද්ගලයෙකු බව පුහුණුවට පැමිණි මුල් දින වලදීම අවබෝධ කරගත් ගජසිංහ තුළ ආකාශ්ගේ ඉදිරි ගමන ගැන බලාපොරොත්තුවක් තිබුණි. වසර දෙකක් පමණ නීති විරෝධි ගිනිඅවි අලුත්වැඩියා කළ නිසා ගිනිඅවි වල ඇති කාර්මික ක්‍රියාකාරිත්වය සහ තාක්ෂණික දැනුම පිළිබදව ආකාශ් තුළ පැවති දැනුම ගජසිංහව විස්මයට පත් කළේය. එම දෙපාර්තමේන්තුවේම ආකාශ්ගේ දැනුමට සම කළ හැකි නිලධාරීන් සිටියේ අතලොස්සක් පමණි. ඔවුන්ද සහජ හැකියාවක් සහිත පුද්ගලයන් නොව වසර ගණනාවක් මෙම දෙපාර්තමේන්තුව තුළ වැඩ කිරීම නිසා ලැබුණු අත්දැකීම් මත ගොඩනැගුනු දැනුමක් සහිත පුද්ගලයන් විය. මෙවැනි හැකියාවක් නවකයෙකු තුළ පවතිනු ගජසිංහ දුටු පළමු අවස්ථාව මෙය විය. එම නිසා මෙම විශ්මිත හැකියාව ආකාශ් විසින් උපතින් ලද දායාදයක් යැයි ගජසිංහ සිතා ගත්තේය.
“දැනට සහය නිලධාරී වුණාට තව මාස හයකට පස්සෙ ඔයා මෙතන ඉන්න කැමති නම් අනිවාර්යෙන්ම ස්ථීර වෙන්න පුළුවන්.” පැවසූ ගජසිංහ සිය හඩ මදක් බාල කර ” කවුද දන්නෙ? සමහර විට රෙපෙයාරින් ඩිපාට්මන්ට් එකේ හෙඩ් වෙන්නත් බැරි කමක් නෑ.” සිනාසෙමින් කීවේය.
ජේෂ්ඨ නිලධාරියාගේ වදන් වලට පිළිතුරක් නොදුන්නද ස්තූති පූර්වක සිනහවක් පෑමට ආකාශ් වග බලා ගත්තේය.
“සර්, මගේ වැඩ කරන දවස් බෙදිල තියෙන්නෙ කොහොමද? රෙපෙයාරින් සෙන්ටර් එකේ වැඩ කරන දවස් දෙක නම් හරි. ඔෆිස් එකේ කරන ටික කොහොමද කරන්නෙ?”
“මෙහෙමයි ආකාශ්. ඔෆිස් එකේ නම් ඔයාට කරන්න ලොකු වැඩක් නෑ. ක්‍රිමිනල් කේස් එකකදි වේපන්ස් ගැන මොනව හරි රිපෝට්ස් හදන්න ඕන වුණොත් තමයි ඔයාට ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ. එතකොට ඉතින් සතියකට දවසක් එකහමාරක් විතර තමයි ඔෆිස් එකේ වැඩ කරන්න වෙන්නෙ. ඇත්තටම ඔයාව ඔෆිස් එකට දාන්න හේතුව මේ ඩිපාර්ට්පන්ට් එකේ වැඩ කෙරෙන විදිය ඉගෙන ගන්න. කොහොමත් ඔයාට වැඩිපුර වැඩ කරන්න වෙන්නෙ රෙපෙයාරින් සෙන්ටර් එකේ තමයි.”
“හරි සර්, එතකොට මම රෙපෙයාරින් සෙන්ටර් එකේදි ලක්මාල් සර්ට රිපෝට් කරනව වගේ මෙහෙදි කරන්නේ කාටද?”
“නිශා කියල මිස් කෙනෙක්. මෙහෙට එන්න කලින් අවුරුද්දක් විතර ක්‍රිමිනල් කේස් ලෝයර් කෙනෙක් විදියට වැඩ කරපු කෙනෙක්. යමු. මං ඔයාට එයාව හදුන්වල දෙන්නම්. එයා තමයි දැනට රිපෝට් හදන වැඩ ඔක්කොම කරන්නෙ.”
තමා අහඹු ලෙස මෙම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ නවකයෙකු හෙයින් නිසැකවම සහයකයෙකු ලෙස වෙනත් කෙනෙකු යටතේ සේවය කිරීමට සිදුවන බව ආකාශ් දැන සිටියේය. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ස්ථානයක කාන්තාවක් යටතේ සේවය කිරීමට සිදුවේ යැයි හෙතෙම කිසිසේත්ම අපේක්ෂා නොකළේය. පුහු මාන්නයෙන් තොර පුද්ගලයෙකු වූ ආකාශ්ට එය කිසිදු අයුරකින් ගැටලුවක් නොවූවද තමගේ ප්‍රථම සුපරීක්ෂකවරයා කාන්තාවක් වීම පිළිබදව ඔහු තුළ විස්මයක් හා යම් ආකාරයක උනන්දුවක් ඇති කිරීමට සමත් විය.
ඔවුන් ගොඩනැගිල්ලේ සිව්වන මහල වෙත ගොස් එහි වූ දිග කොරිඩෝවක් දිගේ ඇවිද යන්නට විය. ඉන්පසුව ගජසිංහ එහි වූ එක් දොරකින් විශාල කුටියකට ඇතුල් විය.
“මේ තියෙන්නෙ ඔයාගෙ ඩෙස්ක් එක.” ගජසිංහ පෙන්වූයේ කුටිය තුළ වූ විශාල මේසයකි.
ඊට අමතරව එම කුටිය තුළ ලිපිගොනු දැමූ විශාල රාක්ක දෙකක්, පුටු තුනක් හා මේස දෙකක් විය. නමුත් ආකාශ්ගේ අවධානය එක්වරම යොමු වූයේ මේ කිසිවකටවත් නොව එක් මේසයක් මත වූ පරිගණකයක් ක්‍රියාකරවමින් සිටි තරුණිය වෙතටය.
උපැස් යුවළක් පැළද සිටි ඇය සතු විශේෂ ලක්ෂණයක් ලෙස ආකාශ්ට පළමුවෙන්ම නිරීක්ෂණය වූයේ ඇය සතු රූමත් බවයි. දෙවැන්න නම් අනෙකුත් නිලධාරීන් සමග සැසදූ කළ මැයද තමා මෙන්ම ලාබාල අයෙකු වීමයි.
එකිනෙකා හදුන්වා දීමෙන් හා සුළු කතා බහකින් පසුව ගජසිංහ එතැනින් ඉවත් වූයේ ආකාශ්ව සහ නිශා කළ්‍යාණි වශයෙන් හදුන්වා දුන් එම තරුණිය කුටිය තුළ හුදෙකලා කරමිනි.
සිය රැකියාවෙහි පළමු දිනයේදීම තරුණියක් සමග වැඩ කිරීමට සිදුවීම පිළිබදව ආකාශ්ගේ සිත තුළ තරමක කෝඩු ගතියක් ඇති කළද හෙතෙම එය යටපත් කර ගැනීමට උත්සහ කළේය.
කෙටි කතා බහකින් අනතුරුව පරීක්ෂණ වාර්තා ලිපිගොනුවක් ආකාශ් වෙත ලබා දුන් ඇය එය කියවන මෙන් ඉල්ලා සිටියාය. පසුගිය මාස කිහිපය ඇතුලත ඇය සකස් කළ පරීක්ෂණ වාර්තාවන් අඩංගු වූ එම ලිපිගොනුව කියවන අතරතුරදී ඔහු නිශාව වඩාත් හොදින් නිරීක්ෂණය කිරීමට උත්සහ කළේය. ලෝචනා සමග සැසදූ කළ මැයද ලෝචනා මෙන්ම රූමත් තරුණ තැනැත්තියකි. නමුත් ලෝචනා සතුව ස්වභාවයෙන්ම ඇති කෙළිලොල් දගකාර බව මැය තුළ දක්නට නොවිය. ඒ වෙනුවට නිශා තුළ ආකාශ් දුටුවේ තැන්පත් බුද්ධිමත් බවකි.
“කියවල ඉවරයිද?” අඩ හෝරාවකට පමණ පසුව ඇය ඇසුවේ ආකාශ්ට සිනහවකින් සංග්‍රහ කරමිනි.
“ආ…, මං රිපෝට් ඔක්කොම වගේ එහෙන් මෙහෙන් බැලුවා මිස්. වැඩිපුර තියෙන්නෙ පුද්ගල අතුරුදහන් වීම් නේද?”
“ඔව්, ඒවයිනුත් වැඩි හරියක් දේශපාලනේ ගෑවිච්ච ඒවා. ඒ හින්දා ඔය වාර්තා වල සමහර දේවල් ඇත්තම නෙමෙයි. වෙනස් කරපු තැන් ගොඩක් තියෙනවා.”
“මේ ඔක්කොම මිස් හදපු එව්වද?” ඔහු විමසුවේ එහි විවිධාකාර පරීක්ෂණ වාර්තා විස්සකට වැඩි ගණනක් තිබූ හෙයිනි.
“අපෝ නෑ. ඔතන තියෙන ඒව වලින් මාර්තු මාසෙන් පස්සෙ ඒව මං හදපුව. අනිත් ඒවා මීට කලින් මෙහෙ හිටපු අය හදපුව.”
“එතකොට දැන් මිස් මෙහෙ වැඩට ඇවිල්ල කොච්චර කල්ද?”
“මං රිපෝටින් සෙක්ෂන් එකට ඇවිල්ල නම් තවම මාස හතරයි. හැබැයි මං මෙහෙට එන්න කලින් ක්‍රිමිනල් ඩිපාර්ට්මන්ට් එකේ අවුරුද්දක් විතර ලෝයර් කෙනෙක් විදයට වැඩ කළා.”
“ආ…, ඔව් මිස්. මට ගජසිංහ සර් කිව්ව තමයි මිස් මෙහෙට එන්න කලින් ලෝයර් කෙනෙක් විදියට වැඩ කළා කියල.” පැවසූ ආකාශ් ලිපිගොනුවේ තිබූ මාර්තු මාසයෙන් පසුව දින යෙදූ ලිපියක් තෝරා ගත්තේ එය සම්පූර්ණයෙන්ම කියවීමට සිතාගෙනය. ඇය නීතිඥ වෘත්තිය හැර දමා මෙම දෙපාර්තමේන්තුවට මාරු වීමට හේතුව දැන ගැනීමට ආකාශ්ට වුවමනාවක් ඇති වුවද පළමු දවසේම එවැනි දේ ඇසීම සුදුසු නොවන බව ඔහුට හැගුණි.
එදින දවසම ඔහු ගත කළේ පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කරමිනි. එහි වූ වාර්තා කිහිපයක්ම ඔහු සම්පූර්ණයෙන්ම කියෙව්වේය. නිශාගෙන් ප්‍රශ්න ඇසුවේය. සමාජයේ අදුරු හා ගුප්ත ස්ථාන පිළිබදව විස්තර සොයන මෙම ක්ෂේත්‍රයට ඔහු සම්පූර්ණයෙන්ම නවකයෙකි. පිටතින් ඉතා උද්යෝගිමත් ක්ෂේත්‍රයක් ලෙස පෙනුනද ඇතුලත ඇති භයානක බව බුද්ධියෙන් යම්තාක් දුරට අවබෝධ කරගත හැකි වූවද අත්දැකීම් නොමැති හෙයින් ඒ පිළිබදව හැගීමක් ඇති කර ගැනීමට ඔහුට නොහැකි විය.
* * *
කාලය ක්‍රමයෙන් ගෙවී ගොස් දින සති බවට පෙරළි, සති මාස බවටද පත් විය. එම කාලය තුළ ආකාශ් සතු ගිනි අවි අලුත්වැඩියාව පිළිබදව දැනුම ඉතා වේගයෙන් දියුණු විය. සමහර අවස්ථා වලදී එය ජේෂ්ඨ නිලධාරීන්ගේ දැනුමද ඉක්මවා යන්නක් විය. එම නිසාම ගිනිඅවි අලුත්වැඩියා කරන දෙපාර්තමේන්තුවේ සිටින සමහර නිලධාරීන්ගේ ඊර්ෂියාවට ඔහුව බදුන් විය. විශේෂයෙන්ම ඔහුගේ සුපරීක්ෂකවරයා වූ ලක්මාල් නමැති නිලධාරියා ආකාශ්ගේ මෙම හැකියාවට බෙහෙවින් ඊර්ෂියා කළේය. ඒ නිසාම හැකි අවස්ථා වලදී ආකාශ්ව කපා දැමීමට ඔහු උත්සහ කළේය. පිටතින් හොද මුහුණ පෙන්වූවත් ලක්මාල්ගේ චරිත ස්වභාවය ආකාශ් ඉතා පැහැදිලිව වටහාගෙන සිටියේය. නමුත් එයට විරුද්ධව ඔහු කිසිදු පැමිණිල්ලක්වත් නොකළේ ආකාශ්ට මෙම රැකියා අවස්ථාව ලබා දීමට මුල් වී කටයුතු කළ නෙවිල් නමැති කාර්මික හා තාක්ෂණික අංශයේ ප්‍රධානියාගේ උපදෙස් හේතුවෙනි. දෙපාර්තමේන්තුව තුළ ආකාශ්ට ඇති මෙම ගැටලුව පිළිබදව දැනගත් නෙවිල් විසින් ආකාශ්ට මේ සම්බන්ධයෙන් පෞද්ගලිකවම කතා කර තිබුණි.
“ඔයා මෙහෙට එන්න කලින් ලක්මාල් තමයි ඔතන වේපන්ස් රෙපෙයාරින් ගැන වැඩිපුරම දැනගෙන හිටියෙ. මිනිහ කොහොමත් ඩිපාට්මන්ට් එකේ මැනේජර් පෝස්ට් එකකට ඇහැ ගහගෙන හිටියෙ. හැබැයි දැන් ඔයා ආවට පස්සෙ තත්වෙ වෙනස් වුණා. මිනිහට පෝස්ට් එක ගැන බයක් ඇති, ඒක ඔයාට යයි කියල. ඇත්තම කියනව නම් මමත් කැමතියි ඒක ලක්මාල්ට නැතුව ඔයාට ලැබෙනව නම්. කොහොමත් ලක්මාල්ගේ වැඩ ඔයා එච්චර ගණන් ගන්න එපා. මං මෙතන ඉන්නකන් ඔයාට වේපන්ස් ඩිපාර්ට්මන්ට් එකේදි මුකුත්ම අවුලක් වෙන්නෙ නෑ.” දිනක් නෙවිල් එසේ පැවසුවේ ඔහුගේ කාර්යාල කුටිය තුළදීය.
එසේම ගිනිඅවි අලුත්වැඩියා දෙපාර්තමේන්තුවේ සේවය කළ දසුන් නමැති තරුණයෙකු සමග ආකාශ් හොදින් මිත්‍ර විය. දුගී පවුලක තරුණයෙකු වූ දසුන් අවංක පුද්ගලයෙකු ලෙස ආකාශ් හදුනාගත් අතර ඔහු සෑමවිටම ආකාශ්ගේ සහය වෙනුවෙන් සිටියේය.
මේ අයුරින් කාර්මික අංශය තුළ වේගයෙන් ඉගෙන ගනිමින් කැපී පෙනෙන දක්ෂතාවයන් දැක්වූවද නිශා යටතේ සිදුකරන පරීක්ෂණ කරුණු අධ්‍යයනය කර වාර්තා සැකසීම නම් ඔහුට එතරම් පහසු නොවිය. එය ඉතා සියුම් කාර්යයක් වූ අතර ඔහුට බොහෝ අලුත් දේවල් ඉගෙන ගැනීමට සිදුවිය.
විශේෂයෙන්ම රට තුළ නීතිය ක්‍රියාත්මක වීමේදි නිශ්චිත රාමුවක් තුළ ක්‍රියාත්මක නොවීම මෙම දුෂ්කරතාවයට ඔහු මුහුණ දුන් ප්‍රධාන හේතුව විය. නීති පොත් වල කුමක් ලියැවී තිබුණද ප්‍රයෝගිකව නීතිය ක්‍රියාත්මක වීමදී තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් විය. දේශපාලනය, මුදල්, බලපුළුවන්කාරකම් වැනි කරුණු වලට අමතරව සමාජ සංස්කෘතිය හා ආගමික චින්තනය වැනි කරුණුද නීති පොත් වල ලියැවුණු නීතිය සහ ප්‍රයෝගික නීතිය අතර පරතරය වැඩි කිරීමට හේතු වී ඇති බව ඔහු අත්දැකීමෙන්ම උගත්තේය.
මාස කිහිපයක් පුරා මෙවැනි බොහෝ දේ උගත් ඔහු අපරාධ පරීක්ෂණ ක්ෂේත්‍රයේ සංකීර්ණත්වය වැඩි කරන මූලිකම හේතුව මැනවින් වටහා ගත්තේය. එනම් මෙය එක් විෂයකට පමණක් සීමා නොවීමයි. මත්කුඩු පිළිබදව පිළියෙල කරන පරීක්ෂණ වාර්තාවකදී ඔහු මත්කුඩු වෙළදාම පිළිබදව අධ්‍යයනය කළ යුතුය. මූල්‍ය වංචාවක් ගැන වාර්තාවක් සෑදීමේදී ඔහු මුල්‍ය හා වානිජ කටයුතු පිළිබදව යම් ආකාරයක දැනුමක් ලබා ගත යුතුය. මෙලෙස මෙහි සීමාවක් දැකිය නොහැක. එම නිසා නිශා සමග කරන මෙම රාජකාරිය ඉතාමත් ඉවසීමෙන් සහ කැපවීමෙන් යුතුව ප්‍රගුණ කළ යුතු බව ඔහු වටහා ගත්තේය.
මේ අයුරන් කැපවීමෙන් යුතුව රැකියාවේ නිරත වූ හෙයින් ඔහු බෙහෙවින් ප්‍රිය කළ අභ්‍යාවකාශ විද්‍යාව සහ ඒ සමග මුසු වූ ගුප්ත සිදුවීම් පිළිබදව සෙවීම නම් ඔහුට අතපසු විය.
නමුත් රැකියාව භාරගෙන අට මසකට පමණ පසුව එම තත්වය වෙනස් කරන සිද්ධියක් ඔහුට හමු විය. සැබවින්ම එය ඔහුට ඉතා අහඹු ලෙස හමු වූ සිදුවීමකි. නමුත් එය මිනිසාගේ ඉතිහාසයත් අනාගතයත් වෙනත් දිශානති වලට යොමු කරන සිද්ධි මාලාවේ තවත් එක් ආරම්භයක් විය.