Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 13

ISBN 978-955-44323-3-8

පසුදින උදෑසන පුරාවටම රාජකාරියේ යෙදීමට සිදු වූ හෙයින් ඔහුට දෙව්ගල පිළිබදව විස්තර සොයා බැලීමට අවස්ථාවක් නොලැබුණි. එදින උදෑසන වරුවම ගත වූයේ ඝාතනය සදහා යොදාගත් උණ්ඩ කොපු හා එම කාල වකවානුවේ හමුදා භටයින් පරිහරණය කළ අවි පරික්ෂා කිරීමටයි. ළගම පිහිටි කදවුරේ සිටි සිවිල් ආරක්ෂක භටයන්ගෙන් තොරතුරු විමසීමක්ද සිදුකරන ලදී. ලැබුණු තොරතුරු හා කරන ලද පරීක්ෂා වලට අනුව මහේෂ් විසින් ලිපියෙහි සදහන් කළ කරුණු සත්‍ය බව ආකාශ්ට පෙනී ගියේය. නමුත් මෙය සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම සදහා විස්තරාත්මක සමීක්ෂණ වාර්තාවක් පිළියෙල කළ යුතු විය.

 

දහවල් ආහාරයෙන් පසුව සවස තුනට පමණ නැවත දෙව්ගල පොලිස් වසමට පැමිණි ආකාශ් සිය වාර්තාව සෑදීම ඇරඹුවේය. නමුත් එය අරඹා අඩ හෝරාවක් පමණ ගත වූ පසු ඔහුට තද නිදිමත ගතියක් දැනෙන්නට වූ හෙයින් වාර්තාව සෑදීම පසෙක තබා හෙතෙම නිමල් හමුවීමට ගියේ දෙව්ගල පිළිබදව වැඩි විස්තර දැන ගැනීම පිණිසය. නමුත් ඔහු දුටුවේ රාජකාරිමය කටයුත්තක් සදහා මහේෂ් පිටතට ගොස් ඇති හෙයින් සහය නිලධාරි නිමල් මේසයකට හිස තබා ගොරවමින් නිදා සිටින අයුරුය.

 

අලස මිනිසාගේ හැසිරීමට සිනාසෙමින් ආපසු හැරුණු ඔහු තමාගේ අලසකම නැති කිරීම සදහා කාර්යාලයේ මේසය මත ඇති මහජන පැමිණිලි ලෙස නම් කර තිබූ ලිපිගොනුව කියවීමට පටන් ගත්තේය.

 

පසුගිය වසර දහය පුරාම දෙව්ගල පොලිස් වසමට ලැබුණු පැමිණිලි එම ලිපිගොනුවෙහි තිබුණද එය ගණන් කළ හැකි තරම් ඉතා සුළු ප්‍රමාණයකි. මෙම ගම්මානය එක් පසෙකින් අම්පාර වන රක්ෂිතයටත් අනිත් පසින් නැගෙනහිර වෙරළ තීරයටත් මායිම්ව පිහිටා ඇති ගොවිතැන සහ හේන් වගාව සිය ප්‍රධාන ජීවිකාව කර ගත් පවුල් පනහක් පමණ වාසය කරන කුඩා සාමකාමී ගම්මානයකි. එම නිසා සුළු සොරකම් හෝ අනවසර කසිප්පු පෙරීම් වැනි සුළු සිදුවීම් හැර වෙනත් පැමිණිලි මෙහි නොතිබීම ගැන හෙතෙම පුදුම නොවූයේය. නමුත් ලිපිගොනුව වැසීමට ගිය මොහොතේ එහි අවසානයේ වූ ලිපියක ලියා තිබූ ‘ආගිය අතක් නොමැත’ යන වදන් කිහිපය දුටු හෙතෙම නැවත ලිපිගොනුව විවෘත කර එය කියවීමට පටන් ගත්තේය.

 

‘ගිහාන් සෝමරත්න, වයස විසි එකයි. 2023 ජුනි අටවන දා සිට ආගිය අතක් නැත.’ වාර්තාවේ පළමු වැකිය තමාටම මුමුණාගත් ආකාශ් ඉන්පසුව පැමිණිලිකරුවන් විසින් පවසන ලද කට උත්තර කියවීමට පටන් ගත්තේය. එහි වූ විස්තරයට අනුව පන්සලේ වූ පිංකමකට දවුල් බෙර ගැසීමෙන් අනතුරුව පන්සලෙන් පිට වූ ඔහු ඉන්පසුව කිසිවෙකුට කිසිදාක හමුවී නැත. සිවිල් යුද්ධය පැවති කාල වකවානුවේදි නම් දෙව්ගල වැනි මායිම් ගම්මාන වල මෙවැනි අතුරුදහන්වීම් ඉතා සුලබ දෙයකි. නමුත් මෙය ඉතා මෑත කාලයේ එනම් මීට මාස දෙකකට පමණ පෙර සිදු වූවකි. එම නිසා මේ පිළිබදව විමසීමට හෙතෙම නිමල් වෙත ගියේය.

“ඒයි නිමල්, නැගිටිනවා. මොකද මේ වැඩ කරන වෙලාවෙ නිදි?” ආකාශ් මේසයට තට්ටු කරමින් තරමක් උස් හඩින් ඇසුවේය.


“ආහ්… මහත්තයා.” තිගැස්සී නින්දෙන් පිබිදුණු නිමල් “මේ රස්නෙට ඉසේ ඇම්මක් හැදිල ඔළුව ටිකක් තියාගත්ත පාර දන්නෙම නැතුව ඇස්දෙක පියවුණා මහත්තයො.” බයාදු ලෙස සිනාසෙමින් කීවේය.


“මෙන්න මේ පැමිණිල්ල කියවල බලන්න. මොකද්ද මේ?”


සටහන කියවූ නිමල්ගේ මුහුණෙහි වූ අලස බව එක්වරම අතුරුදහන් විය. දෑස් මහත් වී ගිය ඔහුගේ මුහුණට එක්වරම ආරූඩ වූයේ බිය මුසු බවකි.


“මහත්තය කොයින්ද මේක හොයා ගත්තෙ?”


අර පැමිණිලි පොත අස්සෙ තිබුණෙ. මොකද්ද ඔය කේස් එක?”


“අනේ මහත්තයො, මේක ගැන කතා නොකර ඉන්න එක අපි දෙන්නටම හොදයි. මේව අපිට විසදන්න පුළුවන් දේවල් නෙමෙයි.” නිමල් පැවසුවේ බිය මුසු පහත් හඩකිනි.


“ඒ කිව්වෙ?”


“ඕක දේව සාපයක් මහත්තයො.” පහත් හඩින් පැවසූ නිමල් තත්පර කිහිපයක් නිහඩව සිටියේය.


“ඔය සෝමරත්න කොලුවාව මං දන්නවා. ඌ හිත හොද එකා වුණාට මහා හිතුවක්කාරය. ඌ දෙයියො කෝප වෙන වැඩ කළා. ඉතින් ඌට ලැබුණු දඩුවම ඕකයි.”


“මොකද්ද? දෙයියො කෝප කළා? මේ නිමල්, සිද්ධ වුණේ මොකද්ද කියල මට පොඩ්ඩක් පැහැදිලිව කියනවද?” ආකාශ් විමසුවේ තරමක කුතුහලය මුසු වූ හඩකිනි.


“අනේ මහත්තයො, මං කිව්වනෙ. අපි මේ කතාව නොකර ඉමු. ඉන්න, මේ පැමිණිලි කොළේ මං ගිහින් තියන්නම්. මෙව්ව අපිටත් දේව සාප වදින වැඩ.” පවසමින් නිමල් ලියවිල්ල අතට ගෙන හිද සිටි පුටුවෙන් නැගිට්ටේය.


“පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න.” පැවසූ ආකාශ් ඔහුව නවතා නැවතත් මෙය කුමක්දැයි විමසුවද දැඩි ලෙස බියට පත්ව සිටි නිමල්ගෙන් ඍජු පිළිතුරක් නම් නොලැබුණි. සිය නිලය භාවිතයට ගෙන නිමල්ව ප්‍රශ්න කර අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වුවද මෙම අහිංසක මෝඩ මිනිසාව බිය වැද්දීමට හෙතෙම අකමැති විය.


“හරි, එහෙනම් මට මේ ගැන කියනවකො. මහේෂ් මේ ගැන දන්නවද? එයා මේ ගැන මොනව හරි හොයාගත්තද?” අවසානයේදී ආකාශ් ඇසුවේ සිද්ධිය පිළිබදව නිමල්ගෙන් තොරතුරු විමසීම ඵලක් නොවූ හෙයිනි.


“ඔව්, මහේෂ් මහත්තය මේ ගැන ටිකක් හෙව්ව. හැබැයි මේක සිද්ධ වුණේ හැරිස් මහත්තය ඉන්න කාලෙ. මහේෂ් මහත්තය මේ පළාතට පත්වීම ලැබිල ආවෙ ඔය සිද්ධිය වෙලා මාසෙකට විතර පස්සෙ. ඒ කිව්වෙ දැන් මාස දෙකකට විතර කලියෙන් ආපු අලුත මහේෂ් මහත්තය ඔය පැමිණිල්ලට සෑහෙන්න මහන්සිවෙලා වැඩ කරා. ඒත් මේ කොටින්ට තුවක්කු පන්නපු ප්‍රශ්නෙ ගැන හොයන්න වෙච්ච හින්ද ඒක එහෙම්ම යට ගියා.” පැවසූ නිමල් සුළු නිහැඩියාවකට පසුව යළිත් සිය හඩ අවදි කළේය.


“හොද වෙලාවට එහෙම වුණේ මහත්තයො. නැත්නම් අපේ මහේෂ් මහත්තයටත් මොනවයින් මොනව වෙලා තියෙයිද දන්නෑ.”


සිය කුටියට වැදුණු ආකාශ් නිහඩව කල්පනා කිරීමට පටන් ගත්තේය. නිමල්ගේ වදන් වල සත්‍ය හෝ අසත්‍ය බව කුමක් වූවද මෙම සිද්ධියේ කිසියම් ආකාරයක ගුප්ත බවක් ඇති බව ඔහුට ඉවෙන් මෙන් දැනෙන්නට විය. ගිහාන් සෝමරත්න යනු කවරෙක්ද? පන්සලෙන් පිට වූ පසු ඔහුට සිදු වූයේ කුමක්ද? මේ ගැන සොයා බැලීමට ආකාශ් නොඉවසිල්ලෙන් පසු වූවද මහේෂ් නැවත පැමිණෙන තුරු ඔහුට බලා සිටීමට සිදුවිය. කුටියෙහි විවෘත වූ ජනේලය දෙස බැලූ ඔහු දුටුවේ ඈතින් සිටින යෝධයෙකු සේ අහසට නැගුණු සුවිසල් දෙව්ගල පර්වතයයි. ඒ දෙස බලා සිටි ඔහුට පළමු වතාවට දෙව්ගල යන නමෙහි අරුත මෙනෙහි විය. එහි තේරුම ‘දෙවියන්ගේ පර්වතය’ නොවේද? නිමල් පැවසූ පරිදි සැබවින්ම මෙය දෙවියන්ගේ අඩවියක්ද? 


* * *


“ඉතින් මේ ගැන සැක කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැද්ද?” ආකාශ් විමසුවේ එදින සවස මහේෂ් පෙරළා පැමිණි පසු සවස තේ පානය කරන අතරතුරදීය.


“මේ ප්‍රශ්නෙ ආපු හින්ද මට ඕක ගැන වැඩිය හොයන්න ලැබුණෙ නෑ. ඒත් ඔය ගිහාන් කියන කොල්ල ගැන වෙලාව ලැබුණු හැටියට මං එහෙන් මෙහෙන් හොයල බැලුවා. ඌ ගමේ හිටපු සාමාන්‍යය කොල්ලෙක්. මං එයාගෙ යාළුවන්ගෙනුත් අහල බැලුවා, ඌට එහෙම කියල හතුරෙක්වත් ඉදල නෑ.”


“වෙන හේතුවක් වෙන්න බැරිද? මොකද නිමල් එහෙම මේ ගැන කතා කරන්නත් බයයි. අනික මිනිහ මට දෙව්ගල කන්ද ගැනත් එක එක කතා කිව්ව.”


මහේෂ් සුළු මොහොතක් ආකාශ් දෙස බලා සිටියේය.


“උඹ ඔය කියන ගම්මුන්ගෙ කතා විශ්වාස කරනවද?”


“කෙලින්ම විශ්වාස කරනව නෙමෙයි බං. ඒත් කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මං ඔය වගේ දේවල් අතහරින්නෙ නෑ.” ආකාශ් පැවසුවේ තමා හිද සිටි ඉරියව්ව වෙනස් කර ආසනයට බර වෙමිනි.


මහේෂ් ස්වල්ප මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය.


“උඹ කියන එක හරි. ඒත් අපි ඔය වගේ දේවල් ගැන විශ්වාස කරල ඇති වැඩේ මොකද්ද? අනිත් එක ඔය වගේ දෙයක් ගැන හොයන්න අපි කොහෙන්ද පටන් ගන්නෙ?”


“මට ඒ ගැන දැන්ම කියන්න බෑ. හැබැයි උඹේ උදව් ලැබෙනව නම් මේ ගැන ටිකක් හොයන්න මං කැමතියි. මට නම් ඔය සිද්ධිය ගැන පොඩි අනුමානයක් තියෙනව. හැබැයි ඒ ගැන හිතන්න කලින් මට තව විස්තර දැනගන්න ඕනෙ.”


මහේෂ් ස්වල්ප වේලාවක් දෙනෙත් පියාගෙන කල්පනා කරන්නට වූයේ සිය මතකය අවදි කර ගැනීම සදහාය.


“ඇත්තම කියනව නම් මටත් ඕක ගැන හොයන්න ඕනෙ. මොකද ඔය සිද්ධිය මං අතහැරල දාපු කේස් එකක්. ඒ දවස් වල නම් මං ඕක ගැන ටිකක් මහන්සි වෙලා හෙව්ව. ඒත් මට ඒ හැටි විස්තරයක් හොයාගන්න ලැබුණෙ නෑ.”


“හරි, උඹ මොනවද හොයාගත්තෙ? අඩුගාණේ පොඩි දෙයක් හරි.”


එම පැනයට පිළිතුරු දීම සදහා මහේෂ් සිය හඩ අවදි කළේ තත්පර කිහිපයක් ඉවත බලාගෙන කල්පනා කිරීමෙන් අනතුරුවය.


“මුලින්ම මං මේක කියන්න ඕනෙ. ගිහාන් අතුරුදහන් වුණේ පැහැර ගැනීමක් හින්ද නම්, කවුරු මොන හේතුවක් හින්ද ඒක කළාද කියල නම් මං දන්නෙ නෑ. අඩුම ගානෙ සැක කරන්න පුළුවන් කෙනෙක්වත් කියන්න මං දන්නෙ නෑ. අනුමානයක් කරන්න පුළුවන් විදියෙ දෙයක්වත් නෑ. ගමේ මිනිස්සුන්ගෙ කට කතා ටිකක් විතරයි තියෙන්නෙ. එව්ව හින්ද මේ සිද්ධිය තවත් අවුල් වෙනව.”


“මොනවද ඒ කට කතා?” මහේෂ්ගේ කතාවට බාධා කරමින් ආකාශ් විමසුවේය.


“වෙන මොනවද ඉතින්? නිමල් උඹට දොඩවපුවම තමයි.”


“නිමල් මට හරියට මුකුත්ම කිව්වෙ නෑ. මිනිහ කතා කරන්න බයයි. මේව හාර අවුස්සන්න ගියොත් දෙයියො කෝප වෙයි කියල විතරමයි මිනිහ කිව්වෙ.”


“එහෙමද? ඌගෙන් නම් ඕව අහල වැඩක් නෑ තමයි. විකාර මනස්ගාත ඔළුවෙ තියන් ඉන්න එකෙක්.” මහේෂ් පැවසුවේ තරමක් නුරුස්සන සුළු හඩකිනි.


“හරි මචං, අපිට උගෙන් වැඩක් නෑ. ගම්මුන්ගෙ කට කතායි, දෙව්ගල කන්ද ගැන උඹ දන්නෙ දේවලුයි මට කියපන්කො.” ආකාශ් නැවතත් විමසුවේය.


මහේෂ් ස්වල්ප මොහොතක් නිහඩව කල්පනා කළේ එම පැනයට තමා දිය යුතු පිළිතුර කුමක් දැයි සිතමිනි.


“ඔය කන්ද දෙවියො වැඩම කරන ශුද්ධ භූමියක් කියලයි ගමේ මිනිස්සු හිතන්නෙ. සමහර කාල වලදි ඔය කන්ද උඩ දේවතා එළි පේනවලු.”


“උඹ ඒවා දැකල තියෙනවද?”


“මං තාම මෙහෙට ඇවිල්ල මාස දෙක තුනයි. ඒ කලෙ ඇතුලත නම් ඔය කියන කිසිදෙයක් මම නම් දැකල නෑ. හැබැයි නිමල් දැකල තියෙනවලු.”


“ඔව්, මිනිහ මට කිව්වා.” පහත් හඩින් පැවසූ ආකාශ් මද නිහැඩියාවකට පසුව “උඹට ඕක ගැන කිසිම අදහසක් නැද්ද?” ඇසුවේය.


මහේෂ් සිය හිස දෙපසට වනමින් අවිනිශ්චිත බව පළ කළේය.


“අනේ මන්ද බං. මට නම් තේරෙන්නෙ නෑ. ඔය දේවතා එළි ගැන නම් මං දන්නෙ නෑ. හැබැයි ඔය දෙව්ගල කන්දෙ මොකක් හරි අමුතු දෙයක් තියෙනව කියල නම් මට හිතෙනව.”


“ඒ කිව්වෙ?”


“කවුරුවත් වැඩිය දන්නෙ නැති වුණාට ඔය කන්ද රජ කාලේදි පාවිච්චි කරපු තැනක්ලු. කන්ද මුදුනට කිට්ටු වෙන්න නටබුන් වෙච්ච ආරණ්‍යයක් තියෙනව. අවුරුදු සිය ගාණකට කලින් එතන භාවනා කරන ස්වාමීන් වහන්සේලත් වැඩ ඉදල තියෙනවලු. දැන් නම් මම දන්න විදියට එහේ කවුරුවත් නෑ. කවුරුවත් එහෙට යන්නත් බයයි.”


ආකාශ් කිසිදු බාධා කිරීමකින් තොරව නිහඩව විස්තරයට සවන් දුන්නේය.


“මං හිතන්නෙ ඔය කන්දෙ මොකක් වුණත් අමුත්තක් තියෙනව. මොකද ඔය කන්ද පාමුල කැලේ ඇවිදපු මිනිස්සුන්ට බාගෙට පිච්චිච්ච කුරුල්ලො එහෙම හම්බවෙලා තියෙනව. ඒක කොහොම වුණාද කියල කියන්න කවුරුවත් දන්නෙ නෑ.”


“ඉතින් උඹ කන්ද නැගල බැලුවෙ නැද්ද?”


“නෑ බං. මට තාම ඒක කරන්න බැරි වුණා. අනිත් එක මාත් එක්ක යන්න වෙන කවුරුවත් එන්නෙත් නෑ. මේ ගමේ චණ්ඩි වුණත් ඔය පැත්තෙ පස් පාගන්න බයයි.”


සුළු මොහොතක් නිහඩව ගත විය. ආකාශ්ගේ මතකය අතීතයට දිව ගියේය. තමා ළමා අවධියේදි අඹ කැඩීමට ගොස් අත්විදි අද්භූත සිද්ධිය සිතුවම් පටයක් මෙන් ඔහුගේ සිත තුළ පෙළගැසෙන්නට විය. තමා දුටු විනිවිද පෙනෙන අද්භුත වස්තුව, පැහැදිලි කළ නොහැකි අද්භූත එළි, පුවක් බණ්ඩාගේ පිළිස්සුණු මළ සිරුර හා දෙව්ගල දී හමු වූ පිළිස්සුණු පක්ෂීණ්! ළමා අවධියේදී තමා මුහුණ දුන් ගුප්ත සිදුවීමත්, මෙහිදී අසන්නට ලැබුණු සිදුවීම් පෙළත් එකම සිද්ධි දාමයක පුරුක් නොවේ දැයි ඔහුට සිතෙන්නට විය.


“ගිහාන් ගැන තව මොනවද හොයාගත්තෙ? පැමිණිල්ලෙ ලියල තිබුණු දේවල් ඇරුණහම වෙන මුකුත් නැද්ද?”


“ඔය සිද්ධිය වෙනකොට මං මෙහෙ නෙමෙයි හිටියෙ. ඒ කාලේ මෙහේ හිටියේ හැරිස් කියල කෙනෙක්. එයා මේ කේස් එක හරියට කරල නෑ. මට ඒ ගැන තේරුණෙ ගිහාන්ගෙ ගෙදර අය හම්බවෙන්න ගිය වෙලාවෙ ඒ ගොල්ලො කියපු විස්තර වලින්.”


“මොනවද එයාල කිව්වෙ?”


“හැරිස් එයාලගෙ පැමිණිල්ල ලියාගත්ත එක ඇරුණහම වෙන මුකුත් කළේ නෑ කියල තමයි ගිහාන්ගෙ තාත්තා කිව්වෙ. වෙච්ච දේ ගැන නම් එයාලටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ.”


“උඹට වෙන විශේෂ දෙයක් දැනගන්න ලැබුණෙ නැද්ද? ගිහාන් ගැන ටිකක් අමුතු විදයෙ කතාවක්. මොකද නිමල් මට කිව්වෙ ගිහාන් දෙයියො කෝප වෙන වැඩක් කළා කියල.”


“එහෙම දෙයක් ගැන නම් මං දන්නෙ නෑ මචං. ගිහාන්ගෙ ගෙදර අයත් මට කිසිම විශේෂ දෙයක් කිව්වෙ නෑ. හැබැයි මේ පැත්තෙ ඉන්නව සෝමපාල කියල හේන් ගොවිතැන් කරන මිනිහෙක්. මිනිහගේ හේන තියෙන්නෙ ගමේ ඉදන් ටිකක් විතර දුරින්. ඒ කිව්වෙ කැලෑව ටිකක් ඇතුලෙ කන්දට කිට්ටුවෙන් වගේ. එයා ඉන්න පැල තියෙන්නෙත් හේන කිට්ටුවෙන්මයි. ඔය මිනිහ මට කිව්ව ගිහාන් අතුරුදහන් වෙන්න සති දෙක තුනකට කලින් ඉදන් දෙව්ගල කන්ද පැත්තෙ රවුම් ගහන්න පුරුදු වෙලා හිටියා කියල. එයා ගිහාන්ට කිව්වලු ඒ පැත්තෙ යන්න එපා කියල. ඒත් කනකට ගත්තෙ නෑ කියල තමයි කිව්වෙ.”


“ඔය සෝමපාල දෙව්ගල කන්ද ගැන මොකද කියෙන්නෙ?”


“අනිත් අය කියන කතාවම තමයි. ඔය කන්ද දේව හාස්කම් සිද්ධ වෙන ශුද්ධ භුමියක්ලු.”


“අපි දැන් ගියොත් මිනිහව හම්බවෙන්න පුළුවන්ද?”


“වැඩක් නෑ බං. මං උඹට දැන් කියපු කතාවම තමයි අහන්න වෙන්නෙ.” මහේෂ් පැවසුවේ තරමක උදාසීන හඩකිනි.


“නෑ මචං, මට දැනගන්න ඕනෙ ගිහාන්ගෙ සිද්ධිය ගැන විස්තර නෙමෙයි. දෙව්ගල කන්ද ගැනයි, නටබුන් වෙච්ච ආරණ්‍යය ගැනයි විස්තර. කන්ද කිට්ටුව පදිංචි වෙලා ඉන්න හින්ද අනිත් අයට වඩා දෙයක් මිනිහ දන්නව ඇති.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!