Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 14

ISBN 978-955-44323-3-8

ඔවුන් සෝමපාල වාසය කරන පැල වෙත ළගා වන විට සවස හතර පසු වී තිබුණි. එය වනාන්තරයේ තරමක් ඇතුලට වෙන්නට පිහිටා තිබූ හෙයින් ගමනේ අවසන් භාගයේ ජීප් රිය මග නවතා දමා පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය. සතුන් දඩයම් කිරීම සදහා නිතර වනගත වන සෝමපාල මේ මොහොතේ නිවසේ සිටිදෝයි සැකයෙන් පැමිණියද වාසනාවකට මෙන් ගැමි දඩයක්කරුවා නිවසේ රැදී සිටියේය.

 

“ආ… මහත්තයො, මොකෝ මේ ඉර බැහැගෙන යන අවේලාවෙ මේ පැත්තෙ? මේ සතා සිව්පාවා වනාන්තරේ කරක් ගහන වෙලාව නොවැ.” මහේෂ්ව දුටු විගසම ගෙපැලින් පිටතට පැමිණි සෝමපාල පැවසුවේ තරමක් රළු හඩකිනි. දෙව්ගල වන රක්ෂිතය තුළ සතුන් දඩයම් කිරීම නීතියෙන් තහනම් හෙයින් ඔහු මහේෂ්ගේ පැමිණිම නුරුස්සන බව ආකාශ් වටහා ගත්තේය.

 

“ආ… සෝමපාල ගෙදර ඉන්න එක ලොකු දෙයක්. අපි මේ සෝමපාල හම්බවෙන්නමයි ආවෙ කාරණා වගයක් දැනගන්න.” මහේෂ් සිනාමුසු මුහුණින් යුතුව සුහදශිලී ස්වරයකින් පැවසුවේ මෙම දඩයක්කාර ගැමියා තමාව නුරුස්සන බව වටහාගෙන විය යුතුය.

 

“ඒ කිව්වෙ මහත්තයො?”

 

“විශේෂ දෙයක් නෙමෙයි සෝමපාල. මෙන්න මේ මහත්තය කොළඹ ඉදන් ඇවිල්ල තියෙන්නෙ. එයාට මේ වනාන්තරේ ගැන විස්තර දැනගන්න ඕනෙලු. ඒකයි අපි මේ තකහනියෙන්ම සෝමපාල හම්බවෙන්න ආවෙ.”

 

“මේක දිවි, කොටි, වළස්සු ගැවසෙන මහ කැලෑව මහත්තයො. මේ පැත්තෙන් වැඩිය නොපෙනුනාට ඔය පේන පරුවතේ එහා පැත්තෙ ඉදන් අඩියක්වත් තියාගන්න බැරි තරමට මහ කැලෑව.” දෙව්ගල පර්වතය වෙත දිය අතක් දිගු කරමින් සෝමපාල ආකාශ් දෙස බලාගෙන පැවසුවේ කොළඹින් පැමිණි මේ ඉලන්දාරියා වනාන්තරය ගැන කරුණු සොයන්නේ කුමන හේතුවකට දැයි සිතමිනි.

 

“එහෙමද? ආකාශ්ගේ දෙනෙත ඉබේටම මෙන් දෙව්ගල පර්වතය වෙත යොමු විය. බැස යන සූර්යයාගේ තැඹිලි පැහැති වර්ණ කදම්බයන්ගෙන් එහි එක් කොටසක් ආලෝකමත් වී තිබුණි.

 

“මහත්තයල එහෙනම් ඇතුලට ගොඩ වුණා නම්?” සෝමපාල පැවසුවේ ගෙපැල දොර දෙසට අතක් දිගු කරමිනි.

 

“නෑ කමක් නෑ සෝමපාල. අපි මේ ඉක්මණට යන හදිස්සියෙන් ආවෙ.” පවසමින් මහේෂ් මිදුලෙහි තිබූ ලී බංකුවක් මත හිද ගත්තේය.

 

“ඉතින් සෝමපාල. තව මොනවද මේ කැලෑව ගැන දන්න විස්තර?” සුළු මොහොතකට පසුව නැවතත් සිය හඩ අවදි කළ මහේෂ් ඇසුවේය.

 

සෝමපාල බොහෝ දේ පැවසුවේය. වනාන්තරයේ විශාලත්වය, එහි මායිම්, වාසය කරන රුදුරු වන සතුන්, වැනි බොහෝ කරුණු ඔහු පැවසුවේය. ආකාශ් ඉවසීමෙන් යුතුව බලා සිටියේ දෙව්ගල ගැන විමසීමට අවස්ථාවක් ලැබෙන තුරුය. නොයෙකුත් අද්භුත විශ්වාස දරණ මෙම නූගත් ගැමියාව බිය නොවද්දා ඔහු දන්නා තොරතුරු පිටතට ගත යුතුය.

 

“අනිත් එක මහත්තයො, මේ වනාන්තරේ මහ පූජනීය බිමක්. ඇතුලට යනකොට තැනින් තැන ගල් ගුහා තියෙනව. එව්ව සමහරක් ඉස්සර ස්වාමීන් වහන්සේලා භාවනා කරපු ආරණ්‍ය කියල මං පොඩි කොල්ල කාලෙ අපේ අප්පොච්ච මට කියල තියෙනව.”

“ඔය කිව්ව වගේ ආරණ්‍යයක් මේ කන්ද උඩත් තියෙනව කියල මට අහන්න ලැබුණා. එක ඇත්තක්ද සෝමපාල?” ආකාශ් විමසුවේ මෙය සුදුසුම අවස්ථාව යැයි සිතමිනි.


සෝමපාල පිළිතුරු දීම සදහා සිය හඩ අවදි කළේ සුළු මොහොතක් ආකාශ් දෙස බලා සිටීමෙන් අනතුරුවය.


“ඔව් මහත්තයො, තියෙනව නම් තමයි. මාත් ජීවිතේටම එක වංගියයි ගිහිල්ල තියෙන්නෙ. ඒත් මීට අවුරුදු ගාණකට කලින් මහත්තය වගේ තරුණ කාලෙදි.”


“ඒ කාලෙ මං කිසිදෙයක් කනකට ගන්නෙ නැති මහ දඩබ්බරය නෙව. ඒ හින්ද තහනම් කලාපෙට අඩිය තිබ්බ මිසක් ඒ පැත්ත අපි වගේ නරයන්ට යන්න අවසර තියෙන තැනක් නෙමෙයි.”


“ඒ කිව්වෙ සෝමපාල…, දැන් ඔය ආරණ්‍යය තියෙන තැන වෙන කවුරු හරි ඉන්නවද?” ආකාශ් කල්පනාකාරී හඩකින් විමසුවේය.


“හෝව්…, හෝව් මහත්තයො…, කට වරද්ද ගන්න එපා. මේ දේවල් ගැන කතා කරනකොට ගෞරව කරල හරි පරිස්සමෙන් කතා කරන්න ඕනෙ. එතුමන්ලට කවුරුවත් කියල කියන්න එපා. එතන වැඩ ඉන්නෙ මහ බල සම්පන්න දේව උත්තමයො.” සෝමපාල සිය දෑත අඩක් ඔසවමින් වේගයෙන් පැවසුවේ බියපත් හඩකිනි.


“සෝමපාල කොහොමද හරියටම කියෙන්නෙ ඔතන වැඩ ඉන්නෙ දේව උත්තමයො කියල?” මෙවර ප්‍රශ්නය නැගුවේ මහේෂ් විසිනි.


“මං කිව්වනෙ මහත්තයො, මං කොලු ගැටයා කාලේ ඔය පැත්තෙ අඩිය තිබ්බ කියල. එදාම මට තේරුණා මේක නම් ශුද්ධ භූමියක් කියල. අනිත් එක මහත්තයො…” සෝමපාල සිය කතාව නවතා නිහඩව අහස දෙස බැලුවේය.


“ඇයි සෝමපාල ‘අනිත් එක’ කියල නැවැත්තුවෙ?” මහේෂ් ඇසුවේය.


සෝමපාල නැවතත් සිය හඩ අවදි කළේ මද නිහඩතාවයකින් අනතුරුවය.


“මේ තහනං මාතෘකා ගැන කතා කොරනවට දේව උත්තමයො මට සමාව දෙන්න ඕනෙ…, මේකයි මහත්තයො මං කියන්න ගියෙ. දේව උත්තමයන්ව මං දැකල නම් නෑ. හැබැයි එතුමන්ල වැඩම කරන යාත්‍රාව නම් මං මීට අවුරුදු පහකට විතර උඩදි මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා.”


අනපේක්ෂිත එම තොරතුරෙන් විස්මයට පත් ආකාශ් සහ මහේෂ් මුහුණට මුහුණ බලා ගත්තේය.


“යාත්‍රාව කිව්වෙ?” ආකාශ් විමසුවේ පෙරට වඩා උනන්දුවෙනි.


“මට ඒක විස්තර කොරන්න අමාරුයි මහත්තයො. හැබැයි මං ඒක මගේ මේ දෑහින්ම දැක්කා. මට විශ්වාසයි ඒ මං දැක්කෙ දේව උත්තමයන්ගෙ යාත්‍රාවක්මයි කියල. ඒත් මට ඒක විස්තර කොරගන්න තේරෙන්නෙ නෑ මහත්තයො. ඒක වීදුරු බෝලයක් වගේ.”


“මොකද්ද කිව්වෙ? වීදුරු බෝලයක් වගේ. ඒ කිව්වෙ ඒක එහා පැත්තෙ අහස විනිවිද පෙනුනද?” මෙවර ආකාශ් විමසුවේ කුතුහලයත් උනන්දුවත් කැටි වූ වේගවත් උස් හඩකිනි. ඔහුගේ මතකය ක්ෂණිකවම ඇදී ගියේ කුඩා අවධියේදී තමා මුහුණ දුන් පුවක් බණ්ඩා සම්බන්ධ අද්භූත සිදුවීම වෙතයි.


“අන්න හරි මහත්තයො. ඒ විදිය තමයි. ඒකෙ හැඩේ මට හිතාගන්න බැරි වුණෙත් ඒ හින්දම තමයි.”


“සෝමපාල කොහෙදිද ඕක දැක්කෙ?”


“වෙන කොහෙවත් නෙමෙයි මහත්තයො. ඔය පේන දෙව්ගල කන්ද මුදුනෙ ආකාසෙ තත්පර දෙක තුනක් එක තැන නවත්තගෙන හිටිය. ඇත්තම කියනව නම් එදා මං සතෙක් එලා ගන්න කැලේට ගිහින් ඔය පරුවතේ ළගින් වැටුණු අඩිපාරක් දිගේ ආපහු පැලට එන ගමන් හිටියෙ. එදා ටිකක් වැඩිපුර සුනංගු වෙච්ච හින්ද ඉර කොච්චර අවරට ගොහින්ද කියල බලන්න මම කන්ද උඩින් ආකාසෙ දිහා බැලුවා. එතකොට තමයි මහත්තයො මං ඕක දැක්කෙ. මට මගේම නේත්‍රා අදහගන්න බැරුවයි හිටියෙ. මං බලාගෙනම හිටියා. ඒක වැඩි වෙලා එතන තිබ්බෙ නෑ. අදහගන්න බැරි තරම් වේගෙකින් අහසට ඇදිල අතුරුදහන් වෙලා ගියා… කිසිම සද්දයක් නැතුව.”


“කිසිම සද්දයක් නැතුව?” ආකාශ් නැවත එයම ප්‍රතිරාවය කළේය.


“ඔව් මහත්තයො. මයෙ කන්දෙක පල්ල. ගහකොළ හුළගට හෙලවෙන සද්දෙ ඇරෙන්න ඒ වෙලාවෙ වෙන කිසිම සද්දයක් තිබුණෙ නෑ.”


ආකාශ් ස්වල්ප මොහොතක් නිහඩව සිය අතීත මතකයන් ගවේශණය කරන්නට විය. එසේ නම් එදා තමා දුටුවේ හෙණ ගැසීමක් හෝ අකුණු කෙටීමක් නිසා සිදු වූ හුදු දෘෂ්ටි මායාවක් නොවේ. කවුරු කුමක් කීවද එදා තමා දුටු දේ ඒ අයුරින්ම වෙනත් ස්ථානයකදී සෝමපාල ද දැක ඇත. තමාගේ අත්දැකීම මෙහි සිටි කිසිවෙකුත් නොදැන සිටියද ඔහුගේ සිත සතුටින් පිරී ගියේ සිය දෙනෙත සනාථ කළ සාක්ෂිකරුවෙකු හමු වූ හෙයිනි.


“සෝමපාල වෙන කාටද මේක කිව්වෙ?” උනන්දුවෙන් එහෙත් සැකයෙන් යුතුව සවන් යොමු කරගෙන සිටි මහේෂ් ඇති වී තිබූ නිහඩතාවය බිදිමින් ඇසුවේය.


“විශේෂයෙන් කාටවත් කිව්වෙ නෑ මහත්තයො. අපේ ගෑනිටයි, පන්සලේ ලොකු හාමුදුරුවන්ටයි කිව්ව.”


“ඉතින් එයාල මොකද කිව්වෙ?”


“අපේ ගෑනිට නම් ඕවගෙ බරක් පතලක් තේරෙන්නෙ නෑ. ඒකි මහ මෝඩියක්. ඒත් අපේ ලොකු හාමුදුරුවො නම් මගෙ කතාව අහපු ගමන් කිව්වෙ ‘සත්වයො ජීවත්වෙන්නෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි කියල.”


“ලොකු හාමුදුරුවො එහෙම කිව්වද? උන්වහන්සෙ වෙන මොනවත් කිව්වෙ නැද්ද?” ආකාශ් විමසුවේය. ඒ මොහොතේම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ව හැකි ඉක්මණින් මුණගැසිය යුතු යැයි ඔහුගේ සිතෙහි අදහසක් ඇති විය.


“වෙන නම් විශේෂ දෙයක් කිව්වෙ නෑ මහත්තයො. ‘සත්වයො ජීවත් වෙන්නෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි. ඒක බුදු දහමෙත් සදහන් වෙනව. මේ ආකාසෙ අපිට හිතාගන්නවත් බැරි තරම් විසාලයි. ඒ හින්ද ඕක ගැන කල්පනා කොරන එක තේරුමක් නැති වෙයි. තමන්ගෙ ආරක්ෂාව ගැන හිතල කන්ද පැත්තෙ නොයා ඉන්න එක ඇගට ගුණයි’ කියල තමයි එදා ලොකු හාමුදුරුවො මට කිව්වෙ.”


තවත් මිනිත්තු කිහිපයක් කතා බහ කිරීමෙන් පසුව ආකාශ් සහ මහේෂ් පිටත්වීමට සැරසුනේය.


“යන්න කලින් තව එක ප්‍රශ්නයක් තියෙනව සෝමපාල?” ඉවතට පිය නැගූ ආකාශ් නැවතත් ගැමියා වෙත හැරුණේය.


“ඒ මොකද්ද මහත්තයො?”


“සෝමපාල තරුණ කාලෙදි දෙව්ගල කන්ද නැග්ග කිව්ව නේද? එදා ඇයි සෝමපාලට හිතුනෙ ඒක ශුද්ධ භූමියක් කියල?”


එම පැනය සදහා සෝමපාල දුන් පිළිතුරද පුදුම සහගත එකකි. ඔහු පවසා සිටියේ පර්වතය මුදුනේ පාෂාණ පිහිටා ඇති ආකාරය සහ භූමි දර්ශනය අතිශයින්ම ගුප්ත සහගත බවයි.


එම පිළිතුර නිසා ආකාශ්ට දෙව්ගල කන්ද ගවේෂණය කිරිමේ උවමනාව තවත් වැඩි විය. නමුත් ඒ සියල්ලටම පෙර ගමේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේව හමුවිය යුතු බව ඔහුගේ සිත කියන්නට විය.


* * *


“මොනවද බං අර සෝමපාලය කියපු කතා? කාටද ඕව විශ්වාස කරන්න පුළුවන්?” ආපසු එන ගමනේදී ජීප්රිය පදවන අතරතුරදී මහේෂ් ඇසුවේය.


කිසිවක් නොපැවසූ ආකාශ් ඉදිරි මාර්ගය දෙස බලාගෙන සිනාසුණේය.


“ඇයි උඹ හිනාවෙන්නෙ?”


“සෝමපාලගෙ කතාවෙ මං දන්න විදියට ඇත්ත නැත්ත හැමදෙයක්ම මං උඹට කියන්නම්. හැබැයි ඊට කලින් අපිට යන්න තව පොඩි ගමනක් තියෙනව. උඹට අද හවස කරන්න තව මොනව හරි වැඩක් තියෙනවද?”


“විශේෂ වැඩක් නෑ බං. ඇයි උඹට තව කොහේ හරි යන්න ඕනෙද?”


“ඔව් මචං. ඔහොම්ම යමංකො ගමේ පන්සලට. මට ලොකු හාමුදුරුවො ටිකකට හම්බවෙන්න ඕනෙ.”


* * *

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!