Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 15
ISBN 978-955-44323-3-8
“මහේෂ් මහත්තය හදිසියේම මේ පැත්තෙ තවත් මහත්තයෙකුත් එක්ක. මයෙ හිතෙ මේ කොළඹින් ආපු පොලිස් මහත්තය වෙන්න ඇති.” ලොකු ස්වාමීන් වහන්සේ ආකාශ් දෙස බලමින් විමසූ සේක.
“එහෙමයි අපේ හාමුදුරුවනේ. මේ කොළඹින් ආපු ආකාශ්.” මහේෂ් කීවේය.
“දැන් මහත්තය මේ ගමට ආපු පරීක්ෂණ කටයුතු එහෙම අහවරයිද?”
“එහෙමයි.”
“පියසිරි, මේ මහත්තරුන්ට බොන්න තේ කහට ටිකක් වත්කරපන් දරුවො.” පසෙකින් සිටගෙන සිටි ඇබිත්තියාට පැවසූ වැඩිහිටි ස්වාමීන් වහන්සේ නැවතත් නිලධාරීන් දෙසට හැරී, “ඉතින් මේ මහත්තරු මාව හම්බවෙන්න ආපු කාරණාව?” විමසා සිටි සේක.
“ඇත්තම කියනව නම් අපේ හාමුදුරුවනේ මේ කොළඹින් ආපු මහත්තයට තමයි ඔබවහන්සේව මුණගැහෙන්න උවමනා කරල තියෙන්නෙ.” මහේෂ් ආකාශ් දෙස බලමින් පැවසුවේය.
“මොකද්ද මහත්තයො කාරණාව?”
“මේකයි අපේ හාමුදුරුවනේ, මම දෙව්ගල කන්ද ගැන උනන්දුයි. මං ඒ ගැන හොයන්න පෙළඹුණේ මේ ගමේ හිටපු ගිහාන් කියන ළමයගෙ අතුරුදහන් වීම හින්ද. අපි සෝමපාල හම්බවෙන්නත් ගියා. කන්ද ගැන එයාගෙ අත්දැකීම් ටිකත් අපි අහගෙනයි ආවෙ. සෝමපාල ඒ ගැන ඔබවහන්සේට කිව්වහම ඔබවහන්සේ එයාට කියපු දේත් අපිට අහන්න ලැබුණා. ඉතින් මට හිතුනා ඔබවහන්සේ හම්බවෙලා ඒ ගැන විස්තර ටිකක් දැනගන්න.”
ස්වාමීන් වහන්සේ ස්වල්ප මොහොතක් ආකාශ් දෙස බලා සිටියේය.
“මේ ලෝක විෂය අනන්තයි මහත්තයො. මේක ඉමක් කොනක් අපිට හොයාගන්න බෑ. හොයන්න ගියොත් කෙළවරක් නැති පාරවල් ගොඩක ඇවිදිනව වගේ අපිව අතරමං වෙන එක විතරයි වෙන්නෙ.”
“එහෙමයි ස්වාමීන් වහන්ස.” පැවසූ ආකාශ් ඊළග පැනය ඇසිය යුත්තේ කෙසේ දැයි සිතන්නට විය.
“ඔබවහන්සේ සෝමපාලට කියල තියෙනව ‘සත්වයො ජීවත් වෙන්නෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි’ කියල. මට දැනගන්න පුළුවන්ද සෝමපාලගෙ කතාව ඇහුවහම ඔබවහන්සෙ ඒ විදියෙ උත්තරයක් දෙන්න හේතුව මොකද්ද කියල?” පැවසූ ආකාශ් නැවතත් තත්පර කිහිපයකට පසුව සිය හඩ අවදි කළේය.
“ඇත්තම කියනව නම් ස්වාමීන් වහන්ස මමත් සෝමපාල දැකපු දේම දැකල තියෙනව. ඒ මීට අවුරුදු ගාණකට කලින් අනුරාධපුරේදි. ඒකයි මං මේ ගැන හොයන්න මේ තරම් උනන්දු.”
ඊළග මිනිත්තු කිහිපය ගත වූයේ ආකාශ්ගේ අතීත අත්දැකීම විස්තර කිරීම සදහාය. එම සිදුවීම ඇසූ මහේෂ් විස්මයට පත් වූවද ස්වාමීන් වහන්සේගේ මුහුණෙහි නම් විශේෂ වෙනසක් දක්නට නොලැබුණි.
“වෙන්න පුළුවන් මහත්තයො, ඔය වගේ සිද්ධි අතීතයෙත් සිද්ධවෙලා තියෙනව කියල අටුවා පොත්පත් වල ලියවිල තියෙනව. ඉතින් වර්තමානේ වුණත් ඔය වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.”
“ඒ කියන්නෙ ඔබවහන්සෙ විශ්වාස කරනවද මම ඒ දැක්කෙ වෙන ලෝකෙක ජීවින්ගෙ යානාවක් කියල?”
“සමහර විට වෙන්න පුළුවන්. මහත්තය දැකපු දේ හැටියට අපිට ඒ විදියට හිතන්න බැරි කමකුත් නෑ.”
ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක දිගු නිහැඩියාවකි. ආකාශ්ගේ සිත සතුටත්, කුතුහලයත්, ත්‍රාසයත් මිශ්‍ර වූ නැවුම් හැගීමකින් පිරී යන්නට විය. මෙම අද්භූත සිද්ධිය හේතුවෙන් අනුරාධපුරයේදී අද්භූත මරණයක් සහ දෙව්ගලදී පැහැදිලි කර ගත නොහැකි අතුරුදහන්වීමක් සිදුවී තිබුණද ආකාශ්ගේ සිතට බියක් ඇති නොවිය.
“ඔබවහන්සේ හිතන්නෙ ගිහාන් අතුරුදහන් වෙච්ච එකට මේ යානා සම්බන්ධයි කියලද?” මහේෂ් ඇසුවේය.
“ඒක නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො. පිට ලෝක ගැන දකින්න තරම් ඍර්ධි ඥාන ශක්තියක් මට නැහැ නෙව.” ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.
“ඔබ වහන්සේට මේ සිද්ධි ගැන මොනව හරි අදහසක් තියෙනව නම් අපි කැමතියි අහගෙන ඉන්න. මොකද අපි දෙන්නම මේ ගමට අලුත්.” මහේෂ් කීවේය.
නායක ස්වාමින් වහන්සේ සිය හඩ අවදි කළේ සුළු මොහොතක් නිහඩව කල්පනා කිරීමෙන් අනතුරුවය.
“මෙහෙමයි මහත්තයො. ඔය කියන වීදුරු වගේ යානා නම් කිසිදෙයක් මං දැකල නෑ. හැබැයි ඔය කන්ද මුදුන හරියෙ අමුතු එළි නම් කීප දොහක්ම මං දැකල තියෙනව.”
“ස්වාමීන් වහන්ස, මට අහන්න ලැබුණ ඔය කන්ද මීට අවුරුදු ගාණකට කලින් භාවනා කරන ස්වාමීන් වහන්සේලා වැඩ හිටපු තැනක් කියල. ඉතින් වෙන ලෝකෙක ජීවින් ඔය කන්දට එනව නම් ඒකත් හේතුවක් වෙන්න බැරිද? මොකද බණ කතා වලදී මං අහල තියෙනව ඍර්ධි ඵල තියෙන ස්වාමීන් වහන්සේලා වෙන ලෝක වල අයත් එක්ක අදහස් හුවමාරු කරගෙන තියෙනව කියල.” ආකාශ් කීවේය.
“මහත්තය ඔය කියපු දේ ගැන මමත් මීට කලින් කල්පනා කරල තියෙනව. ඒත් මහත්තයො ඔය ආරණ්‍යය අතහැරල දාල තියෙන්නෙ පෘතුගීසිකාරයො මේ රටට එන්නත් කලින් කාලෙකදි. ඉතින් වෙන සක්වළකින් කවුරු හරි ආවත් ඔය ගල් කන්ද උඩ කවුරු මුණගැහෙන්නද? මුණගැහුණත් ඒ මනුස්සයෙක් නම් වෙන්න බෑ.”
“ඒ කිව්වෙ ස්වාමීන් වහන්ස?”
ඉන්පසුව සුළු නිහැඩියාවක් ඇති විය. නායක ස්වාමීන් වහන්සේ සිය හඩ අවදි කළේ තවත් තත්පර කිහිපයකට පසුවය.
“මහත්තය මේ තරම් අහන හින්දයි මං මේක කියන්නෙ. මොකද මේ කාරණා ගැන කතා කරල හොයන එකෙන් වෙන්නෙ කෙළවරක් නැති ලෝකෙ අපිව තවත් පැටලෙන එක විතරයි.”
නැවතත් සුළු නිහැඩියාවක් ඇති විය.
“දැන් මේ පිටින් නොපෙනුනාට මේ රජමහා විහාරෙත් ඔය කන්ද උඩ තියෙන ආරණ්‍යය තරමටම පරණයි මහත්තයො. ඉතින් ඒ කාලේ ඉදන්ම මේ විහාරස්ථානෙට උරුම වෙලා තියෙන පුස්කොළ පොත් වගයක් තියෙනව. ඒව ලියල තියෙන්නෙ මීට අවුරුදු පන්සීයකට හයසීයකට විතර උඩදි මෙහෙ වැඩ හිටපු ගෝතම කියල ස්වාමීන් වහන්සේ නමක්.”
“පුස්කොළ පොතේ ලියල තියෙන විදියට උන්වහන්සේත් ඔය කන්ද උඩ ආරණ්‍යයට ගිහින් තියෙනව භාවනා කරන්න. උන්වහන්සේත් එක්ක එකට භාවනා කරපු හුගදෙනෙක් මාර්ගඵල ලැබුවලු. ස්වාමීන් වහන්සේලා කිහිපනමක් රහත් වුණා කියලත් ලියල තියෙනව. ඒත් ගෝතම ස්වාමීන් වහන්සේට මාර්ගඵලයක් ලබන්න පුළුවන් වුණා කියල සදහනක් නෑ. මොකද පුස්කොළ පොත කියවනකොට මට තේරුණ විදියට නම් උන්වහන්සේ සමථ භාවනාවට අනවශ්‍යය විදියට ඇලිලා තියෙනව. ඒ වගේම උන්වහන්සේ කසින භාවනා ක්‍රමත් පුරුදු පුහුණු කළා කියල ලියල තියෙනව. ඒ හින්ද ගෝතම ස්වාමීන් වහන්සේට එක එක විදියෙ ඍර්ධි හැකියා ලැබිල තියෙනව. ඒවායින් එක හැකියාවක් තමයි පිට ලෝක වල අයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන් වෙච්ච එක. උන්වහන්සේ ඒ කාරණය පැහැදිලිවම පුස්කොළ පොතේ ලියල තියෙනව.”
ලොකු ස්වාමීන් වහන්සේගේ කතාව අවසන් වීමත් සමගම කුටිය තුළ කිසිවෙකු නොසිටින්නාක් මෙන් නිහැඩියාවක් ඇති විය. අසන්නට ලැබුණු විස්මයජනක කතා පුවත හේතුවෙන් ඔවුන් දෙදෙනාම මොහොතකට ගොලු විය.
“ඒත් අපේ හාමුදුරුවනේ මුලින්ම කියපු කතාව මට තාම පැහැදිලි නෑ.” අවසානයේ නිහඩතාවය බිද දැමුවේ මහේෂ් විසිනි.
“මොන කතාවද මහත්තයො? කන්ද උඩ හම්බවෙන්න එන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑ කියල කියපු කතාවද?”
“එහෙමයි.”
“මෙහෙමයි මහත්තයො, සමථ භාවනාව දියුණු කරල ධ්‍යාන ලබා ගත්ත කෙනෙකුට පුළුවන් ඊළග භවය දේව, ඛ්‍රහ්ම වගේ උසස් තලයකට යන්න. ඉතින් ගෝතම ස්වාමීන් වහන්සේත් ඒ වගේ භවයක උපත ලැබුව නම් අපිට ගෝචර නැති විදියකින් කටයුතු කරනව වෙන්න පුළුවන්. අනිත් එක මහත්තයො…, කන්ද පැත්තෙන් ඔය පේන එළි දේවතා එළි වෙන්නත් පුළුවන්.”
ආකාශ් ස්වල්ප මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය.
“ස්වාමීන් වහන්ස, ගෝතම ස්වාමින් වහන්සේ ලියපු පුස්කොළ පොත් අපිට බලන්න පුළුවන්ද? ඒව වල තියෙන විස්තර හැමදෙයක්ම කියවගන්න පුළුවන් වුණොත් මට මේ ගැන තව හොයන්න පුළුවන් වෙයි.”
“ඒවා ඔක්කොම වගේ අපේ පොඩි නම කොළඹ අරන් ගියා නෙව, අපිට තේරෙන ලියන සිංහලට හරවන්න. සමහර විට ඒ කටයුතු මේ වෙනකොට අහවර කරලත් ඇති.”
පොඩි නම ලෙස හැදින්වූ විමක්ති ස්වාමීන් වහන්සේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල හා සංස්කෘත පීඨයේ අධ්‍යයනය ලබන බව ආකාශ්ට ලොකු ස්වාමීන් වහන්සේගෙන් දැන ගැනීමට ලැබුණි. තවදුරටත් ප්‍රමාද නොවී විමුක්ති ස්වාමීන් වහන්සේව මුණගැසීමට ආකාශ්ට අවශ්‍යය විය. නමුත් හෙට දිනයේ පිටත් වුවහොත් නැවතත් මෙහි පැමිණිම අවිනිශ්චිතය. එවිට දෙව්ගල පර්වතය පරික්ෂා කිරීම තමාට අතපසු වනු ඇත.
“විමුක්ති ස්වාමීන් වහන්සේ කවද්ද ආපහු මෙහෙ වැඩම කරන්නෙ?” ආකාශ් විමසුවේය.
“මං හිතන්නෙ අද රෑ වෙනකොට වැඩම කරයි. අනිද්ද කඨින පිංකමක් තියෙන හින්ද උන්වහන්සෙ අද ගමට වඩිනව කියල මට කලින්ම කිව්වා.”
“කීය විතර වෙයිද අපේ හාමුදුරුවනේ?”
“මයෙ හිතේ ටිකක් සුනංගු වෙයි මහත්තයො. රෑ දහය විතර වෙයි. මේ පැත්තට එන වාහනත් හරි අඩුයිනෙ.”
“උන්වහන්සේ අම්පාර බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් වාහනේකින් ආවොත් ඊට වැඩිය වේලාසනින් එන්න පුළුවන් වෙයි නේද?”
“ඒක නම් එහෙම තමයි මහත්තයො, ඒත් අම්පාරෙ ඉදන් හවස් වෙලාවට මේ කැලෑව පැත්තට වැඩිය වාහන එන්නෙ නෑ. වල් අලි කරක් ගහන වෙලාව නෙව.”
“එහෙමද අපේ හාමුදුරුවනේ.” පැවසූ ආකාශ් තත්පර කිහිපයක් කල්පනා කිරීමෙන් අනතුරුව, “මෙහෙම කරමු මහේෂ්, මම ජීප් එක අරගෙන ගිහින් විමුක්ති හාමුදුරුවන්ව මෙහෙට වඩම්මගෙන එන්නම්. එතකොට මට අදම පුස්කොළ පොත් වල තියෙන විස්තර දැනගන්න පුළුවන් වෙයි. එතකොට කරන දෙයක් කරන්න හෙට දවස තියෙනව. මොකද අනිද්ද මං අනිවාර්යෙන් කොළඹ ඉන්නෙ ඕනෙ.”
* * *