Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 16
ISBN 978-955-44323-3-8
ආකාශ් ජීප් රියෙන් අම්පාර ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණෙන විට සවස හය පසු විය. විමුක්ති ස්වාමීන් වහන්සේ පැමිණෙන තුරු බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවේ යැයි සිතුවද ආකාශ් පැමිණ මිනිත්තු පහළොවක් ගතවීමටත් පෙර උන්වහන්සේ රැගත් කොළඹ අම්පාර බස් රථය පැමිණියේය.
සිහින් සිරුරක් සහිත වයස විසි ගණන් වල පසුවේ යැයි සිතිය හැකි විමුක්ති ස්වාමීන් වහන්සේට තමාව හදුන්වා දීමෙන් අනතුරුව ආකාශ් පොලිස් ජීප් රිය නැවත දෙව්ගල ගම්මානය බලා ධාවනය කිරීම ඇරඹුවේය.
ධාවනය අතරතුරදී ආකාශ් විසින් සිය අතීත සිද්ධියත්, දෙව්ගල පිළිබදව තමා උනන්දු වීමට හේතුවන කරුණුත් විමුක්ති ස්වාමීන් වහන්සේට කෙටියෙන් පැවසුවේය.
“මහත්තය හොයන්න අතගහල තියෙන්නෙ අගක් මුලක් පේන්නැති කාරණාවකට නෙව. පුස්කොළ පොත් ටික කියවගෙන යනකොට මට තේරිච්ච දෙයක් තමයි මහත්තයො අච්චර වටින සමාධි හැකියාවක් තිබ්බ ගෝතම ස්වාමීන් වහන්සේට ඒ භවයෙදිම රහත් වෙන්න බැරි වුණෙත් ඔය මාතෘකාව ගැන හොයන්න ගිය හින්ද වෙන්න ඕනෙ.”
“උන්වහන්සේට සෝවාන් වෙන්නවත් බැරි වෙලාද හාමුදුරුවනේ?”
“මං තාම පුස්කොළ පොත් ඔක්කොම කියවල ඉවර නෑ මහත්තයෝ. මං කියවපු ටිකේ නම් මාර්ගඵලයක් ලැබුව කියල සදහනක් නෑ. ඒත් උන්වහන්සෙ ධර්මයේ ගොඩක් ගැඹුරු තැන් පුස්කොළ පොත් වල ලියල තියෙනව. ඉතින් ඒ වගේ අවබෝධයක් තිබුණු කෙනෙක්ට මාර්ගඵලයක් ලැබුණෙ නෑ කියල හිතන්න අමාරුයි.”
“අනිත් එක මහත්තය දන්නවද? උන්වහන්සෙ වැඩිපුරම බණ කියල තියෙන්නෙ මේ ලෝකෙ මිනිස්සුන්ට නෙමෙයි. මහත්තය ඔය උනන්දු වෙන පිට ලෝකෙ කට්ටියකට.”
බටහිර අහසේ සූර්යයා සැගව ගොස් ඇති බැවින් ක්‍රමයෙන් අදුර බෝ වෙමින් පැවතුණි. මාර්ගයේ දෙපස එක යායට විහිදුනු පුළුල් තැනිතලා තණ බිමෙහි එක් පසෙක සිටි මුවන් රංචුවක් රථයේ ශබ්දයට බිය වී මාර්ගයෙන් ඉවතට දිව යන්නට විය. ඉදිරි මාර්ගය දෙස බලමින් නිහඩව රථය පදවන අතරතුරදී ගෝතම ස්වාමීන් වහන්සේ වෙනත් ජීවීන් කොට්ඨාශයකට ධර්මය දේශනා කරන අයුරු සිතින් මවා ගැනීමට හෙතෙම උත්සහ කළේය. සිත උද්යෝගයෙන් පිරී තිබූ හෙයින් විමුක්ති ස්වාමීන් වහන්සේගෙන් කෙසේ කරුණු විමසීම ආරම්භ කළ යුතු දැයි ඔහුට සිතාගත නොහැකි විය.
“ඔබවහන්සේ මේ ගැන දැනට හොයාගත්ත විස්තර මට කියන්න පුළුවන්ද?”
විමුක්ති ස්වාමීන් වහන්සේ පිළිතුරු දීම ඇරඹුවේ මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“මං දන්න ටික මහත්තයට මං කියන්නම්. මොකද මහත්තයො ඔය පුස්කොළ පොත් වලින් භාගෙකටවත් වඩා අඩුවෙන් තමයි මට තාම කියවල ඉවර කරන්න පුළුවන් වුණේ. ඒකෙනුත් සමහර දේවල් මට තාම තේරුම් ගන්න බැරි වුණා. නොයෙකුත් වචන තියෙනව අපිට අදහසක්වත් තේරුම් ගන්න බැරි. මොකද සාමාන්‍යය පුස්කොළ පොත් වල තියෙන දේවල් නෙමෙයිනෙ මේව වල තියෙන්නෙ. වෙනස්ම කතාවක්නෙ.”
“ගෝතම හාමුදුරුවො ලියල තියෙන විදියට ඔය කියන සත්ව කොට්ඨාශයේ මව් ලෝකෙ තියෙන්නෙ අපි මේ ඉන්න මන්දාකිණියෙමයි. ඒ ලෝකෙට ආලෝකෙ ලැබිල තියෙන්නෙ අපේ ඉර වගේ සිය ගුණයක් විශාල නිල් සුදු ඉරකින්. ඒ ග්‍රහ මණ්ඩලේ අටවෙනි ලෝකෙ තමයි එයාලගෙ මව් ලෝකය. හැබැයි ඒ ජීවින් එයාලගෙ ග්‍රහ මණ්ඩලේ අනිත් ග්‍රහලෝක වලත් ජනාවාස පිහිටවගෙන ඉදල තියෙන්නෙ.”
“මට තේරිච්ච විදියට මහත්තයො එයාල මේ පොළොවෙ මිනිස්සු බිහිවෙන්න කලින් ඉදන්ම පරිණාමය වෙච්ච ජීවි කොටසක්. මොකද එයාල තාක්ෂණය පැත්තෙන් මිනිස්සුන්ට වැඩිය හුගක් දියුණුයි කියල ලියල තියෙනව. හැබැයි ජීවිතයේ හරය, අධ්‍යාත්මික සුවය වගේ දේවල් ගැන එයාලට හරි හැටි අවබෝධයක් තිබිල නෑ. ගෝතම ස්වාමීන් වහන්සේ ධ්‍යානයකට සම වැදිල විශ්වය ගැන අරමුණු කරල ඒ ගැන හොයනකොට තමයි මේ සත්වයො හම්බවෙලා තියෙන්නෙ. උන්වහන්සෙ ඒ අයත් එක්ක ටෙලිපති වගේ ක්‍රමයකින් අදහස් හුවමාරු කරගෙන තියෙනව. එතකොට මේ ජීවින් ජීවිතේ හරය හොයනව කියල දැනගෙන උන්වහන්සෙ බුදුදහම ගැන එයාලට දේශනා කරල තියෙනව. ඒ ජීවියො බුදුදහම ගැන හුගක් පැහැදුනාලු. ඊට පස්සෙ තමයි එයාල මේ ලෝකෙට යන්න එන්න පටන්ගෙන තියෙන්නෙ.”
ආකාශ් කල්පනා කරන්නට වූයේ මෙම දියුණු පිටසක්වල ජීවීන් වර්තමානයේදී පෘථිවියට පැමිණෙන්නේ කුමක් සදහාද යන්නයි. පුස්කොළ පොත් වල සදහන් වන ආකාරයට ගෝතම ස්වාමීන් වහන්සේ අපවත් වී මේ වන විට වසර සිය ගණනක් ගත වී ඇත.
“ඔබවහන්සෙ හිතනවද ඒ අය තාමත් මේ ලෝකෙට එනව කියල?”
“මං හිතන්නෙ එනව මහත්තයො. අපේ ගමේ හිටපු ගිහාන් ළමය අතුරුදහන් වෙච්ච එකටත් මයෙ හිතේ එයාල සම්බන්ධයි.”
“ඉතින් හාමුදුරුවනේ බුද්ධ ධර්මය ගැන හොයන්න ආපු කට්ටියක් මිනිස්සු අතුරුදහන් කරන්නෙ මොකටද? අනිත් එක හාමුදුරුවනේ, මං කලිනුත් කිව්වෙ, පුවක් බණ්ඩ කියල අපේ ගමේ හිටපු මනුස්සයෙක් ඔය වගේ සිද්ධියක් හින්ද මැරුණා.”
ස්වාමීන් වහන්සේ පිළිතුරු දීම ඇරඹුවේ සුළු මොහොතක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“මෙහෙමයි මහත්තයො. මහත්තයගෙ ගමේ ඔය කිව්ව පුවක් බණ්ඩ කියන මනුස්සයට වෙච්ච දේ නම් මොකද්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි ගිහාන් ළමය අතුරුදහන් වෙච්ච එකට ඔය ජීවීන් සම්බන්ධයි නම් ඒකට හේතුවක් තියෙන්න ඕනෙ. මොකද පුස්කොළ පොතේ එක තැනක අමුතු කාරණාවක් ලියල තිබුණා.”
“ඒ කිව්වෙ හාමුදුරුවනේ?”
“එක තැනකදි ඔය ජීවීන් ගෝතම ස්වාමීන් වහන්සේගෙන් අහල තියෙනව මේ ධර්මය කියල දුන්න එක වෙනුවෙන් එයාලට දෙන්න පුළුවන් දේ මොකද්ද කියල. එතකොට උන්වහන්සෙ වදාරළ තියෙන්නෙ සසර ගමන නතර කරන්න උත්සහ කරන කෙනෙක් හින්ද තමන්ට කිසිම දෙයක් අවශ්‍ය නෑ කියල. එතකොට එයාල ආපහු අහල තියෙනව මේ ග්‍රහලෝකෙ මිනිස්සු වෙනුවෙන් එයාලට කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියල. එතකොට ගෝතම ස්වාමීන් වහන්සෙ උපදෙස් දීල තියෙනව මිනිස්සුන්ගෙ පැවත්මට වැරැද්දක් වෙන්නෙ නැතුව කරන්න පුළුවන් දෙයක් තියෙනව නම් කරන්න කියල. එතකොට එයාල කිව්වලු මිනිස්සුන්ට දියුණු වෙන්න උදව් කරන්නම් කියල.”
“ඉතින් හාමුදුරුවනේ ඔබවහන්සේ දන්න විදියට ඒ වගේ දෙයක් වෙලා තියෙනවද?”
“ඒ ගැන නම් මට ඒ හැටි තේරුමක් නෑ මහත්තයො. එයාල මේ ලෝකෙට උදව් කරනව නම් ඒක අපිට නොතේරෙන විදියට කරනව වෙන්න පුළුවන්.”
“එතකොට හාමුදුරුවනේ ගිහාන්ගෙ සිද්ධිය ගැන ඔබවහන්සෙ මොකද හිතන්නෙ?” ආකාශ් නැවතත් විමසුවේය. ගිහාන් සම්බන්ධව ආකාශ් මේ වන විටත් උපකල්පනයකට පැමිණ සිටියද ඔහුට අවශ්‍යය වූයේ විමුක්ති ස්වාමීන් වහන්සේගේ අදහස දැන ගැනීමටය.
“ඒ ගැනත් මට හරියටම කියන්න බෑ මහත්තයො. හැබැයි මට මෙහෙම හිතෙනව. ගිහාන්ව අතුරුදහන් කළේ ඔය පිට ලෝකෙ ජීවීන් නම් මං හිතනව ඒ ළමය වැඩි දොහක් යන්න කලින් කරදරයක් නැතිව ආපහු ඒවි කියල.”
ආකාශ් දෙව්ගල විහාරයට යන තුරුම විමුක්ති ස්වාමීන් වහන්සේ සමග විවිධ කරුණු සාකච්ඡා කළේය. එහිදී ඔහුට කරුණු දෙකක් අවබෝධ විය. පළමුවැන්න නම් විමුක්ති ස්වාමීන් වහන්සේ විශ්ව විද්‍යාලයේ කලා පීඨයක අධ්‍යයනය ලැබුවද විද්‍යාව ගැන යම් ප්‍රමාණයක දැනුමක් ඇති බුද්ධිමතෙකු බවයි. දෙවැන්න, උන්වහන්සේද තමා මෙන්ම පිටසක්වළ ජීවය පිළිබදව උනන්දු වීමයි. හෙතෙම ඒ පිළිබදව විමසීමට සිතුවේය.
“හාමුදුරුවනේ, මට තව දෙයක් දැනගන්න ඕනෙ. ඔබවහන්සේ මේ කතාව පටන් ගන්නකොටම මට කිව්ව මං හොයන්න අතගහල තියෙන්නෙ කෙළවරක් නැති මාතෘකාවක් කියල. ඉතින් එහෙම එකේ ඔබවහන්සෙ මේ ගැන හොයන්න හේතුව මොකද්ද?”
ස්වාමීන් වහන්සේ පිළිතුරු දීම ඇරඹුවේ සිනාමුසු මුහුණකිනි.
“වෙන හේතුවක් නෙමෙයි මහත්තයො, ආසාව. මමත් මහත්තය වගේම මේ ගැන හොයන්න ආසයි. ඒකයි මං මේ තරම් මේක පස්සෙ එළවන්නෙ. හැබැයි මට තවත් හේතුවක් තියෙනව.”
“ඒ මොකද්ද හාමුදුරුවනේ?”
“මෙහෙමයි මහත්තයො, ගෝතම ස්වාමීන් වහන්සෙගෙන් බණ අහපු ජීවීන් ඔය කියන තරමට දියුණුයි නම් ඒ ලෝකෙ මාර්ගඵල ලබපු අය ඇති කියල මට හිතෙනව. ඉතින් එහෙම අය ඉන්නව නම් ඒ උත්තමයන්ගෙන් බණ පදයක් අහන්න මට ආසයි.”
* * *
එදින ආකාශ්, මහේෂ් සහ විමුක්ති තෙරුණ් අලුයම දෙකේ කනිසම පසුවන තුරුම විහාරයේ කුටියකට වී ගෝතම ස්වාමීන් වහන්සේ විසින් ලියල ලද පුස්කොළ පොත් පරීක්ෂා කිරීමෙහි යෙදුනහ. පුස්කොළ පොත් සංඛ්‍යාවෙන් අඩක් පමණ විමුක්ති ස්වාමීන් වහන්සේ කොළඹ තබා පැමිණිම ඔවුන්ගේ පරීක්ෂාවේ බොහෝ ස්ථාන අපැහැදිලි වීමට හේතු විය. නමුත් පරික්ෂා කරන ලද කිහිපයෙහි කුතුහලය දනවන සුළු අද්භූත කරුණු රැසක්ම ඔවුන්ට දක්නට ලැබුණි. ලියන ලද සිංහල භාෂාවේ වචන තරමක් පැරණි සහ මේ වන විට භාවිතයේ නොයෙදෙන ඒවා නිසා බොහෝමයක් කරුණු ඔවුන් ආසන්න වශයෙන් වටහාගත් ඒවා විය. තිදෙනාගේම කුතුහලය ඇවිස්සී තිබූ හෙයින් එළඹෙන උදැසන දෙව්ගල පර්වතය තරමක් දුරට හෝ පරීක්ෂා කිරීමට ඔවුන් තීරණය කළෝය.
* * *