Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 18

ISBN 978-955-44323-3-8

සවස හයයි හතළිහ පසුවන තෙක් උද්‍යානයේ රැදී සිටි ඔහු ඉන්පසුව ගමන් කළේ රැකියාව කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතය. ගොඩනැගිල්ල ඇතුලට යාමට ඔහුට අදහසක් නොවිය. සිව්වන මහලේ ස්ථාන කිහිපයක විදුලි බුබුළු දැල්වෙනු මාර්ගයේ සිටි ඔහුට දක්නට ලැබුණි. බොහෝ දුරට නිශා තවමත් කාර්යාලයේ රැදී සිටීමට ඉඩ ඇත. සිය අත්දැකීම බෙදාගැනීමට වෙනත් අයෙකු මේ මොහොතෙහි අවශ්‍යය වූවද ඒ සදහා සුදුසු පුද්ගලයෙකු ඔහුට සිතා ගැනීමට නොහැකි විය. සැබවින්ම නිශා යනු කවරෙක්ද? පුරා මාස කිහිපයක සේවා කාලය තුළ වෘත්තියට අදාළ දෙයක් හැර වෙනත් යමක් ඔවුන් කතා කළේ නම් ඒ ඉතා කලාතුරකිනි. ස්වභාවයෙන්ම තමා මෙන්ම තරමක් නිහඩ චරිතයක් වූ නිශා සහ ඔහු අතර පෞද්ගලික සංවාදයක් සිදු නොවූ තරම්ය. ඇයගේ පුද්ගලික ජීවිතය පිළිබදව ඔහු දැන සිටි එකම කරුණ වූයේ ඇය තවමත් අවිවාහක බව පමණි. සැබවින්ම ඔවුන් දෙදෙනා මිතුරන් නොවිය. සිය වෘත්තියෙහි යෙදෙන එකිනෙකා හදුනන වෘත්තියන් දෙදෙනෙකු පමණක් විය.

 

නිශා පිළිබදව අදහස අතහැර දමා ඔහු එතැනින් ඉවතට ඇවිද ගියේ මීළගට කළ යුත්තේ කුමක්දැයි සිතමිනි. තමාට සිදුවූ විපර්යාසය පිළිබදව කාට හෝ පැවසීමට ඔහුට වුවමනාවක් ඇති විය. සතිස් හා සුරේෂ් ඔහුගේ සමීප මිතුරන් වූවද දෙදෙනාම මුදලට කෑදරකමක් දැක්වූ හෙයින් ඔවුන් පිළිබදව පූර්ණ විශ්වාසයක් තැබිය නොහැක. එසේම ගිනිඅවි අලුත්වැඩියා දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහුගේ මිතුරා වූ දසුන්ට මෙය තේරුම්ගත නොහැකි වනු ඇතැයි ආකාශ් සිතුවේය. සිය වැඩිමහල් සොහොයුරා වූ නිමේෂ් තමන්ට විශ්වාසවන්තම පුද්ගලයෙකු වූවද ඔහුට මේ පිළිබදව පැවසීමට අනුරාධපුරයට යා යුතුය. දුරකතනයෙන් මෙවැනි අද්භූත දෙයක් කතා කිරීම සුදුසු නැත. නමුත් ඔහු කෙසේ නම් නිවසට යන්නද? පොලීසියට හසු වී පියාගේ දෝෂාරෝපණයට ලක්වීමෙන් අනතුරුව ඔහු තවමත් නිවසට ගොස් නැත. එසේ නම් සිය සොහොයුරාව වෙනත් ස්ථානයකදී හමුවිය යුතුය. නමුත් නිමේෂ් හමුදා නිලධාරියෙකු වූ හෙයින් හදිසි නිවාඩු දැමීම හෝ ඉවතට යාම ඔහුගේ වෘත්තියට ගැටලු මතු කරනු ඇත. තත්වය එසේ වූ කළ ඔහුට ඉතිරි වූ එකම විසදුම ලෝචනා පමණි.

 

ඔවුන් දෙදෙනා අතර කිසිදු ආකාරයක හමුවීමක් හෝ කතා බහක් මාස කිහිපයක සිට සිදු නොවුණද ඇය තමාව අත්හැර නැති බව ඔහු විශ්වාස කළේය. මෙවැනි අද්භූත කරුණක් මෙවැනි අවස්ථාවක ඇයට පැවසීම සුදුසු දැයි ඔහුට සිතාගත නොහැකි වූවද අඩුම තරමින් ඇයව දැකීමටවත් යා යුතු යැයි ඔහුට හැගුණි.

තව දුරටත් පමා නොවූ ආකාශ් හැකි ඉක්මණින් ඔහුගේ සුපුරුදු සමාජ ශාලාව වෙත ගමන් කරන්නට විය. රථ වාහන නැවතුම් අංගනයේ ලෝචනාගේ කළු පැහැති මෝටර් රථය දුටු ඔහු දීර්ඝ හුස්මක් ගෙන සිය ධෙර්යය වඩවා ගත්තේය. සාමාන්‍යය මිනිසෙකු සතු භෞතික සංවේදන හැකියාවන් ඉක්මවා ගිය පුද්ගලයෙකු හෙයින් ඉතා ඉක්මණින් ඈත සිටම ලෝචනාව සොයා ගැනීමට ඔහුට හැකි විය. නමුත් ඔහු අපේක්ෂා කළ අන්දමින් ලෝචනා සිටියේ හුදෙකලාව හෝ ඇයගේ මිතුරියන් සමග නොවේ. ඇය වෙනත් තරුණයෙකු සමග සුහද පිළිසදරක යෙදෙමින් සිටියාය. බරපතලම කාරණය වූයේ එම තරුණයා ඇයගේ අතකින් අල්ලාගෙන සිටීමය.

 

දුටු දසුනින් ඔහු ශෝකයටත් වඩා පුදුමයට පත් විය. ඇයට මෙතරම් ඉක්මණින් තමාව අමතක කළ හැකි බව හෙතෙම විශ්වාස නොකළේය. නැත! මෙවැන්නක් සිදුවිය නොහැක. ඔහු ලෝචනාගේ චරිත ස්වභාවය ඉතා හොදින්ම දැන සිටියේය. ඇය චපල තරුණියක් නොවූවාය. එසේ නම් මේ ගයාන් වැනි බලයෙන් හා මුදලින් උදම් වූ තරුණයෙක්ද? ඔහුට වහාම මෙම ගැටලුව විසදා ගැනීමට අවශ්‍යය විය.

 

ශෝකයෙන් සහ කළකිරීමෙන් සිටි ඔහුට තමා සතු අපූරු ශ්‍රවණ හැකියාව මතක් වූයේ අඩි කිහිපයක් ඉදිරියට ඇවිද යාමෙන් අනතුරුවය. ආපසු හැරුණු ඔහු බිත්තියකට ආවරණය වී ලෝචනා සහ නාදුනන තරුණයා වෙත සිය සවන් යොමු කළේය.

 

“වැඩි දවසකට නෙමෙයිනෙ බබා. සති දෙකක් විතරයිනෙ. අනික එහේ ගියාම මට පුළුවන් අපේ තාත්තට ඔයාව පෙන්නන්න. එයත් ඔයාව බලන්න ආසාවෙන් ඉන්නෙ.”

 

“බලමු. අනික ශානක මං තාම අපේ ගෙදරට මේ ගැන කිව්වෙත් නෑ. ඉතින් මං දැන්ම ඔයාගෙ තාත්තව…” ඒ ඇයගේ කට හඩය. මෙය ඔහු අපේක්ෂා කළ අන්දමේ සංවාදයක් නොවූවද මාස ගණනකට පසුව ඇයගේ හඩ දෙසවන් පුරා අසන්නට ලැබීම ඔහුගේ යටපත් වූ හැගීම් නැවත පුබුදුවාලීමට සමත් විය.

 

“අයියෝ ලෝචනා…, ඔයා ගෙදරට කියනකන් හිටියොත් නම් මේ දේවල් කවදාවත් වෙන්නෙ නෑ. මං දන්නැද්ද ඔයාගෙ හැටි.”

 

මිනිත්තු කිහිපයක් ඔවුන්ගේ කතා බහ අසා සිටි ඔහු එතැනින් ඉවත් වූයේ තවදුරටත් තමාට එහි කිරීමට දෙයක් නොමැති බව හැගුණු හෙයිනි. ලෝචනා තවදුරටත් තමා ගැන නොසිතන බව ඔහුට දැනුණද එය පිළිගැනීමට සිත තවමත් මැලි විය.

 

ආකාශ්ට නිරායාසයෙන්ම අතීතය මෙනෙහි වන්නට විය. ඔවුන් දෙදෙනා සවස් යාමයේ ගාලු මුවදොරෙහි ඇවිද ගිය අයුරු, සෙනග නොගැවසෙන කොහේ හෝ මුල්ලකට වී සිප වැළදගත් අයුරු, තමා අත්අඩංගුවේ පසු වූ විට ඇය තමන්ව බැලීමට පැමිණි අයුරු…! දෙනෙත් කදුළින් තෙත් වෙන තරම් ශෝකයකින් ඔහු වෙළි ගියේය. සිහිනෙන්වත් වෙන් වීමට නොසිතූ ඇය මෙතරම් ඉක්මණින් තමාව අමතක කළේ කෙසේද? සිතෙහි ඇවිලුණු තදබල පරාජිත හැගීම හේතුවෙන් හෙතෙම පාර අයිනේ තිබූ ගලකට වෙර යොදා පයින් ගැසුවේය.

 

ගල ඈතට විසි වී ගියේය. ඔහු අපේක්ෂා කළාට වඩා බොහෝ ඈතට විසි වී ගියේය. සැබවින්ම සාමාන්‍යය මිනිසෙකුට විසි කළ නොහැකි තරම් වේගයකින් එය විසි වී ගොස් මීටර සියයක් පමණ ඈතින් වූ තාප්පයක තරමක හඩක් නගමින් වැදුණි. ගැටීම සිදු වූ ස්ථානයේ තාප්පය පුපුරා සිමෙන්ති හා ගඩොල් කැබලි කිහිපයක් කැඩී විසි වී ගියේය.

 

තමා සතු මනුෂ්‍යය ස්වභාවය ඉක්මවා ගිය තවත් හැකියාවක් හෙතෙම ඒ අයුරින් හදුනා ගත්තේය. තමාගේ කායික ශක්තිය අසාමාන්‍යය බව ඔහුට හැගුණි. එය පරීක්ෂා කිරීම උදෙසා හෙතෙම අසල වූ තාප්පයක කෙළවරකට අත මිට මොළවා වේගවත් මුෂ්ටි පහරක් එල්ල කළේය. අතෙහි ඉතා සුළු සීරීමක් පමණක් සිදුවිය. නමුත් පහර වැදුණු තැන තාප්පයෙහි සිමෙන්ති පතුරක් ගැල වී ගියේය. නමුත් ආකාශ්ට තම නව හැකියාවන් පිළිබදව දිගින් දිගටම සිතීමට හෝ උද්දාමයට පත් වීමට හැකි නොවිය. ඒ ලෝචනා පිළිබද වූ දුක්බර සිතිවිලි ඔහුගේ මනස පුරා රැව් පිළි රැව් දෙන්නට වූ හෙයිනි. බස් නැවතුම් පොළක තිබූ බංකුවක හිද ගත් ඔහු හැකි තාක් තම සිතිවිලි සහ හැගීම් පාලනය කර ගැනීමට උත්සහ කළේය.

 

එක් අතකින් බලන විට කවදා හෝ සිදුවීමට තිබූ වෙන්වීම මේ අයුරින් ඉක්මණින් අවසන් වීම වඩා යහපත් යැයි තරමක් දුරට කල්පනා කරන විට ඔහුට හැගී ගියේය. ඔහු සාමාන්‍යය පවුලක තරුණයෙකි. නමුත් ඇය ප්‍රභු පැලැන්තියේ ඇමතිවරයෙකුගේ දියණියකි. ආශ්‍රය පැවතුණු කාලයේ පවා ආකාශ්ට ඔවුන්ගේ එකතුවීම පිළිබදව තිබුණේ අවිනිශ්චිත හැගීමකි. එසේම දැන් තවත් ගැටලුවක් මතු වී ඇත. එනම් දෙව්ගල ගමනින් පසුව තමාට සිදුවී ඇති විපර්යාසයයි. තමාගේ සිරුරේ මෙම නව ක්‍රියාකාරිත්වය පිළිබදව ඔහුට අවබෝධයක් නොතිබුණි. එසේම දැනට දක්නට ඇති කරුණු වලට අනුව තමා සතු හැකියාවන් සාමාන්‍යය මනුෂ්‍යයෙකු ඉක්මවා යන බව ඔහු දැන සිටියේය. එවැනි හේතූන් මත ඇය තමාව පෙර සිටි ආකාශ් වශයෙන් තේරුම් නොගනු ඇතැයි ඔහුට සිතුණි.

 

මේ අයුරින් වෙන්වීමට අවශ්‍යය කරුණු කොතෙකුත් පෙනුනද ඔහු තවමත් ලෝචනාට පෙමින් බැදුණු ආකාශ්ම විය. අවසන් හමුවක් හෝ නොමැතිව තමාව අමතක කර දැමීම විශාල අසාධාරණයක් යැයි ඔහුට හැගුණි. එම නිසා වරක් හෝ ඇය ඉදිරියේ පෙනී සිට තමා තවමත් ජීවතුන් අතර සිටින බව ඇයට මතක් කර දිය යුතුය.

 

* * *

 

“ශානක, මං දැන් ගෙදර යන්න ඕනෙ. මට පොඩි වැඩ වගයකුත් තියෙනව ගිහිල්ල කරන්න.” ලෝචනා පැවසුවේ ශානක අල්ලාගෙන සිටි තම අත සෙමින් ඉවතට අදිමිනි.

 

“මෙච්චර ඉක්මණට? තාම අට පහු වුණා විතරයිනෙ.”

 

“ඒ වුණාට මං අද ඉක්මණට යන්න ඕනෙ අනේ.”

 

“ම්… ඒකත් එහෙමද? හරි එහෙනම්. මං ඔයාව ගිහින් බස්සවන්නම්.”

 

“මාව බස්සවන්න? එතකොට කවුද මගෙ කාර් එක අරන් යන්නෙ.”

 

“හරි හරි, ඔයා ඔයාගෙ වාහනෙන් යන්න. මං මගේ වාහනෙන් ඔයාගෙ පස්සෙන් ගෙදරට වෙනකන් එන්නම්.”

 

“අනේ මේ පිස්සු නැතුව ඉන්න ශානක. මගේ පස්සෙන් එන්න මං බබෙක්ද? අනික අර බලන්න. ඔයාගෙ යාළුවොත් අතන ඔයා එනකන් බලන් ඉන්නවා.”

 

“උන්ව හම්බවෙන්න පස්සෙ බැරියැ. දැන් මම ඔයාගෙ…”

 

“අනේ මේ…, මගේ පස්සෙන් එහෙම එන්න ලෑස්ති වෙන්න එපා.”

 

“හරි හරි, මං එන්නෙ නෑ. ඔයාව කාර් එක ළගටවත් එක්කන් යන්න මට අවසර දෙන්න. පැවසූ ශානක නාට්‍යයමය ස්වරූපයකින් ඇයට ආරාධනා කරන්නාක් මෙන් ඇය වෙත සිය සුරත දිගු කළේය.

 

ඔහුගේ මෙම හැසිරීමෙන් ලෝචනා මදක් කුපිත වූවාය. වටපිටාවේ මිනිසුන් බලා සිටින හෙයින් වෙනත් කිරීමට දෙයක් නොමැති නිසා ඇයද සිය අත දිගු කර හුන් තැනින් නැගී සිටියාය.

 

ඔවුන් දෙදෙනා දෙඅත් පටලවාගෙන සෙමින් ඉවතට පැමිණියෝය. ඉවතට පැමිණි මොහොතේම ඇගේ දෙනෙත ඉබේටම මෙන් යොමු වූයේ එක් කෙළවරක තිබූ හුදෙකලා පුටු දෙකක් හා මේසයක් වෙතය. ඇයට එම ස්ථානය ජීවත්ව සිටින තාක් කෙලෙසකින්වත් අමතක නම් නොවනු ඇත. ඒ ආකාශ්ව ඇයට මුලින්ම හමු වූ ස්ථානයයි. සිතට නැගුනු තදබල වේදනාව හේතුවෙන් දෙනෙත තෙත් වෙන්නට ගියද ඇය මහත් ආයාසයකින් යුතුව එය මැඩගත්තාය. ඇසුරට තිත තැබූ දා සිට අද වන තෙක් තමා කොපමණ වාරයක් හැඩුවේ දැයි දැන සිටියේ ඇයම පමණි.

 

ශානක යනු ප්‍රභු පැලැන්තියේ තරුණයෙකු වූවද ඔහු ගයාන් මෙන් නොව ගුණයහපත් අයෙකු බව ඇය දැන සිටියාය. නමුත් ශානක වූවද තමාගේ ජීවිතයට ළං වීමට උත්සහ කිරීම ඇයට වදයක්ම වූයේ ආකාශ් හැර වෙනත් කෙනෙකුට ඇගේ සිතෙහි ඉඩක් නොමැති හෙයිනි. ලෝචනාගේ ආදරය ආකාශ් පමණක්ම විය.

 

ස්වල්ප මොහොතකට පසුව ඔවුන් ලෝචනාගේ වාහනය නවතා තිබූ ස්ථානයට පැමිණියෝය.

 

“එහෙනම් ඩාලිං, හෙට ලැස්තිවෙලා ඉන්න. මං ඔයාව ගන්න ගෙදරට එන්නම්.” පැවසූ ශානක ඇය වෙත නැඹුරු වූයේ සිප ගැනීමටය.

 

ඔහුගෙන් ගැලවීමට සිය මුහුණ පසෙකට හැරවූ ලෝචනාට කළු ඇදුමින් සැරසුණු රුවක් තමා දෙස බලා සිටිනු නෙත් කොනින් දක්නට ලැබුණි. වහා එදෙස බැලූ ඇය දුටු දෙයින් ගල් ගැසී ගියාය. හදවත පුරා කැටයම් වූ ඒ රුව හදුනා ගැනීමට ඇයගේ එක් බැල්මක් පමණක් ප්‍රමාණවත් විය. සැමදා දකින්නට ලැබේවා යැයි පැතූ ආකාශ්ගේ රුව දැන් තමා ඉදිරියෙහි විය. නමුත් ඇය නොසිතූ මොහොතකය. ශානක තමාව ආශ්‍රය කිරීමට ගත් උත්සහය ඇරඹු දා සිටම ඇය බිය වූයේ ආකාශ් මේ පිළිබදව වැරදි වැටහීමක් ඇති කර ගනු ඇති බවයි. ඔහුගේ රුව ඇගේ නෙතට රස අදුනක්ම වූවද අනපේක්ෂිත බව හේතුවෙන් කළ යුත්තේ කුමක්දැයි ලෝචනාට සිතාගත නොහැකි විය.

 

ආකාශ් වචනයකුදු කතා නොකළේය. තත්පර කිහිපයක් පමණක් ඇය දෙස බලා සිටි ඔහු ඊළග මොහොතේ වේගයෙන් ඉවතට ඇවිද ගොස් අතුරු මාර්ගයකට හැරුණේය.

 

ඔහු අතුරු මාර්ගයෙන් නොපෙනී යන තුරුම ගල් ගැසී බලා සිටි ඇයට පියවි සිහියට පැමිණිමට නොහැකි විය. ‘ආකාශ්’ යැයි නම කියා කෑ ගැසීමට උත්සහ කළද දෙතොල් සෙලවුණා මිසා හඩක් නම් පිට නොවිය. තවදුරටත් පමා නොවූ ඇය අතුරු මාර්ගය වෙත දිව ගියාය. පුදුමයකි! ඔහුගේ සේයාවක්වත් දක්නට නොමැත. මෙතරම් සුළු කාලයක් ඇතුලත ඔහු කොහේ අතුරුදහන් වූවාද?

 

“ලෝචනා, කවුද ඒ මිනිහා? ඔයා අදුරන කෙනෙක්ද?” ඇයගේ පසුපසින් පැමිණි ශානක කලබලයට පත් හඩින් ඇසුවේය.

 

“ම්… එයාද? එයා මං…, මං දිහා ටිකක් වෙලා බලන් හිටියා. ඒකයි මං ආවේ.”

 

“ගයාන්ගෙ මිනිහෙක්වත්ද?”

 

“ආ…, ඔව් සමහර විට වෙන්න ඇති. එයා මීට කලිනුත් ඔහොම වැඩ කරල තියෙනවනෙ.” ගැලවීමේ පිළිතුර ශානක විසින්ම ලබා දීම පිළිබදව ඇය සැනසීමට පත් වූවාය.

 

“කෝ… මේ යකා කොහෙට වාෂ්ප වුණාද?” පාළුවට ගිය මාර්ගය පිරික්සමින් ශානක කීවේය.

 

“ඔයා බයවෙන්න එපා ඩාලිං, මං මේ ගැන බලා ගන්නම්. මං කලින් වතාවෙත් මේ ගැන හොදින් ඌට කිව්ව. මට පේන්නෙ ඌට හොදින් කියන දේ තේරෙන්නෙ නෑ වගේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!