Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 2
ISBN 978-955-44323-3-8
“ඔන්න පුවක් බණ්ඩා.” හදිසියෙන්ම ඇසුණු කමල්ගේ බියපත් කෑගැසීම හේතුවෙන් ආකාශ්ගේ අවධානය ගසෙන් පහළට යොමු විය.
ඔවුන් සිටි අඹ ගසට යාර පහළොවක් පමණ ඈතින් පුවක් බණ්ඩා කැලේ කඩාගෙන දුවමින් සිටියේය. දෑත අහස වෙත යොමු කරමින් හෙතෙම දුවමින් සිටියේ උඩහ කැලය වෙතටය. ළමුන් දෙදෙනා කෙරෙහි ඔහුගේ අල්ප මාත්‍රයක හෝ අවධානයක් නොවිය. දුවන අතරේ ඔහු වරින්වර යමක් පැවසූ අතර එය සුළගේ ඝෝෂාව අතරින් ආකාශ්ට යන්තමින් ඇසුණි. එනම් “දෙවියො ඇවිල්ලා. මාව එක්කන් යන්න දෙවියො ඇවිල්ලා” යන්නයි.
පුවක් බණ්ඩා උඩහ කැලයේ තුරුවැල් අතර වූ අදුරු සෙවණැලි වෙත දිව යද්දී සුළග හමුවේ වේගයෙන් සෙලවුණද හැකි ඉක්මණින් ගසෙන් බිමට බැසගත් ආකාශ් “අන්න පුවක් බණ්ඩා දෙවියො බලන්න ගියා. එනවා. අපිත් ඉක්මණට යමු.” පවසමින් කමල්ගේ අතින් ඇදගෙන පුවක් බණ්ඩා ගිය දිශාවට දුවන්නට විය.
පුවක් බණ්ඩා උමතුවෙන් උඩහ කැලය වෙත දිව යනු බලා සිටියා මිස ඉහළ අහසේ වූ කිසිවක් නොදුටු කමල් තුෂ්ණිම්භූතව ආකාශ් පසුපස ඉදිරියට ඇදුණේය. නමුත් ඔවුන් දෙදෙනාටම වැඩි දුරක් යාමට හැකි නොවිය. උඩහ කැලයේ අද්භූත වස්තුව නොපෙනී ගිය ප්‍රදේශයෙන් හදිසියේම මද සුදු ආලෝකයක් නිකුත් වූ අතර ඒ සමගම නැගුණු මිනිසෙකුගේ භයානක විලාප හඩක් හේතුවෙන් ඔවුන් දෙදෙනා සිටි තැනම ගල්ගැසී නතර වූවෝය. එම විලාපය පුවක් බණ්ඩාගේ බව සැකයක් නොවිය.
දැඩි ලෙස බියට පත් වූ කමල් ආකාශ්ගේ අතද ගසා දමා තමාට හැකි තරම් වේගයෙන් ඈතින් පෙනෙන සිරිනේලිස්ගේ පැල වෙත දුවන්නට විය. වර්ෂාවද මේ වන විට තරමක් ඇද හැලෙමින් තිබූ අතර චණ්ඩ සුළගේ වේගයට තමාව ගසාගෙන යාවිදෝ යැයි ආකාශ්ට සිතුණි. කැලය තුළින් නැගුණු මරලතෝනියෙන් ඔහුද බියපත්ව සිටියේය. ඉදිරියට ගොස් පුවක් බණ්ඩාගේ දෙවියන් බැලීමට ඔහුට අවශ්‍ය වූවද, ඒ සදහා ප්‍රමාණවත් ෛ ධර්යයක් නම් මේ මොහොතේ සිතේ නොවිය. තත්පර කිහිපයක් එක තැන ගල්ගැසී බලා සිටි ආකාශ් ආපසු හැරී කමල් පසුපස දුවන්නට විය.
තමන්ට හැකි උපරිම වේගයෙන් මිනිත්තු පහක් පමණ පසුපස හැරී නොබලමින් ධාවනයේ යෙදුනු ඔවුන් දෙදෙනා හති දමමින් කුඔුර මැද පිහිටා ඇති තරමක් උස ගසක් මුදුනේ සදා තිබූ සිරිනේලිස්ගේ පැල ඉදිරියට ගොස් “සිරිනේලිස් මාමේ” යැයි කෑගැසුවෝය. මේ වන විට වර්ෂාවද තරමක් තදින් ඇද හැලෙමින් තිබූ අතර මිහිතලය දෙදරුම් කන තරමට අහස ගුගුරුවමින් සිටියේය. මෙවැනි මොහොතක තෙත බරිත ඇදුම් සහිතව ගමේ කුඩා කොලුවන් දෙදෙනෙකු තමාගේ පැල ඉදිරියේ සිටගෙන සිටිනු දුටු සිරිනේලිස් විස්මයට පත් විය.
“මේ හෙණගහන වෙලාවෙ උඹල මොකද ඔතන කරන්නෙ? ඉක්මණට පැල ඇතුලට වර.”
ගසට බැද තිබූ ඉණිමග දිගේ ඉහළට ගිය ඔවුන් සීතල වැහි බිදු වලින් මිදෙනු වස් හැකි ඉක්මණින් පැල තුළට ගොඩ වූහ’
“මේ මහ වැස්සෙ තෙමි තෙමි වෙල මැද්දෙ ඇවිදින්න උඹලට ඔල්මාදෙද? ඇත්ත කියපං. උඹල පන්සලෙන් කට්ටි පැන්න නේද? සිරිනේලිස් පැවසුවේ ළමුන් දෙදෙනාගේ වැසි දියෙන් පෙගුණු සුදු ඇදුම් දෙස බලමිනි.
“නෑ නෑ මාමේ. අහන්නකො පොඩ්ඩක්. අපි පහළ කැලේට අඹ කඩන්න ගියා. ගහ උඩදි මම දැක්ක උඩහ කැලේ පැත්තෙන් ලා නිල් පාට බෝලයක් වගේ එකක් අහසේ තියෙනවා…”
මේ අයුරින් ආකාශ් නොඉවසිල්ලෙන් යුතුව තමාට දක්නට ලැබුණු විස්මයජනක සිදුවීම සිරිනේලිස් ඉදිරියේ කියාගෙන ගියේය. පැටලිලි සහගත වූ ආකාශ්ගේ කතාව සිරිනේලිස්ට හරි හැටි අවබෝධ නොවිය. නූගත් ගැමියෙකු වූ සිරිනේලිස් අකුණු හා අකුණු නිසා ඇතිවන හෙණ නමින් හදුන්වන ගිනිබෝල පිළිබදව හැර අහසේ සිදුවන වෙනත් විපර්යාස ගැන දැන සිටියේ නැත. එම නිසා මේ ළමයා දුටුවේ කිසියම් ආකාරයක අකුණක් හෝ හෙණයක් බව හෙතෙම සිතුවේය. නමුත් පුවක් බණ්ඩාගේ සිද්ධිය පිළිබදව ඔහු උනන්දුවක් දැක්වීය. ආකාශ්ගේ කතාව සත්‍ය නම් නිසැකවම පුවක් බණ්ඩාට අකුණක් වැදී ඇති බව හෙතෙම නිගමනය කළේය. මේ මිනිසා පිළිබදව සොයා බැලීමට සිරිනේලිස්ට අවශ්‍ය වූවද එය වර්ෂාව මදක් පහවන තුරු කල් දැමීමට හෙතෙම තීරණය කළේය.
තවත් මිනිත්තු විස්සකට පමණ පසුව වර්ෂාව තරමක් තුරල් වූ හෙයින් ළමුන් දෙදෙනාව සිරිනේලිස් පන්සල වෙත ඇරලුවේය. තමා හෝරාවක් පමණ ප්‍රමාද වූ හෙයින් ඒ වන විටද තරමක් කෝපයෙන් පසු වූ සිය මවගේ කේන්තිය තව දුරටත් ඇවිස්සීමට බිය වූ ආකාශ් සිදු වූ විශේෂ සිදුවීම් කිසිවක් ඒ අවස්ථාවේදි සිය මවට නොපැවසූ අතර පහළ කැලයෙන් අඹ කැඩීමට යන අතරතුරදී වර්ෂාවට හසු වීම නිසා සිරිනේලිස්ගේ පැලවෙත ගිය බව පමණක් පැවසුවේය.
එදින ආකාශ්ට විශේෂ දිනයක් විය. ඔහු අහසේ පාවෙන විනිවද පෙනෙන සුළු අලංකාර වස්තුවක් ගෙවී ගිය සවස් යාමයේදී දැක ඇත. පුවක් බණ්ඩාට අනුව නම් ඒ දෙවියන්ය. ඔහුට අනුව නම් පැහැදිලි අදහසක් කිව නොහැකි කිසියම් දෙයකි. එදින නිවසට පැමිණි පසු තමා දුටු දේ පිළිබදව සිය වැඩිමහල් සහෝදරයා වූ නිමේෂ්ට පැවසුවද අගක් මුලක් ගලපාගත නොහැකි ආකාශ්ගේ කතාව තේරුම් ගැනීමට ඒ වන විට අවුරුදු දොළහක ළමයෙකු වූ ඔහුටද හැකි නොවිය. ඔහු ඇසූ ප්‍රශ්න දෙකටම ආකාශ් ළග පිළිතුරු නොතිබුණි. එනම් එය පැමිණියේ කොහේ සිටද? එය ගියේ කොහේටද? යන ප්‍රශ්න දෙකයි. කෙසේ වූවද සිය බාල සොහොයුරා තමාට බොරු නොකියන බව නම් නිමේෂ් දැන සිටියේය.
නිවසේ සියලු දෙනා නින්දට ගිය පසුද මධ්‍යම රාත්‍රිය පසුවන තුරු ආකාශ් නොනිදා නිවසේ කවුළුවක් තුළින් උඩහ කැලයේ කදු මුදුනට ඉහළින් පෙනෙන අහස දෙස බලා සිටියේ පුවක් බණ්ඩාගේ විස්මයජනක දෙවියන් නැවත පැමිණියේ යැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඈත අභ්‍යාවකාශයේ දිදුලන අනන්ත අප්‍රමාණ තාරකා හැර වෙනත් යමක් ඔහුගේ දෙනෙතට හසු නොවිය. දිදුලන වස්තුව දිදුලන තරු අතරේම සැගව ගොස් ඇත.
* * *
ආකාශ් අනුමාන කළ පුවතක් පසුදින උදෑසනම ඔහුට අසන්නට ලැබුණි. එනම් පුවක් බණ්ඩාගේ මළ සිරුර උඩහ කැලයේ කදු ගැටය පාමුල තිබී හමුවීමයි. ආරංචියට අනුව එය අර්ධ වශයෙන් පිළිස්සී ඇති අතර මිනිය මුලින්ම දැක ඇත්තේ සිරිනේලිස් විසිනි. මරණය පිළිබදව දැනුම් දීමට ගම්මුන්ව ගම් සභාව වෙත රැස් කළ අතර එහිදී සාක්ෂි විමසීමක්ද සිදුකරන ලදී. සිරිනේලිස්ගේ සාක්ෂියට අනුව පුවක් බණ්ඩාව මරණයට පෙර අවසානයට දුටු අය ලෙස ආකාශ් හා කමල්ගෙන්ද විමසීම් කරන ලදී. මිනීමරුමක් වැනි බරපතල යමක් නොවූ නිසා මෙම පරීක්ෂණය මෙහෙයවන ලද්දේ අනුරාධපුර ශාඛා පොලිස් ස්ථානයක සේවය කළ ධර්මසේන නමැති සහයක පොලිස් නිලධාරියෙකු විසිනි. උඩු රැවුලක් සහිත තරබාරු එකල අවුරුදු තිහක් පමණ වයසැති ඔහු එතරම් බුද්ධිමත් පුද්ගලයෙක් නොවිය. කෙසේ වූවද වර්තමානයේ ඔහු එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විය.
ආකාශ් තමා දුටු දේ නිලධාරියාට පැවසුවද මෙම කුඩා දරුවාගේ කතාව හෙතෙම එතරම් ගණනකට නොගත්තේය. කුඩා ළමුන්ට නම් ඕනෑම දෙයක් කිය හැක. ඔහුට අවශ්‍ය වූයේ මෙම පරීක්ෂණය හැකි ඉක්මණින් අවසන් කිරීමටය. මළසිරුරේ පිළිස්සුණු හැඩයන් තරමක් අස්වාභාවික වූවද පෙර දිනයේ කාලගුණ තත්වය පිළිබද ගම්මුන්ගේ විස්තරයත් තමාගේ දැනුමත් අනුව මෙම පුද්ගලයා අකුණකට හසු වී මියගිය බව ඔහු පහසුවෙන්ම නිගමනය කළේය. ආකාශ් දුටු දේ ඔහු ළගින්ම සිටි කමල් නොදුටු නිසා ආකාශ්ගේ කතාව ඉතා පහසුවෙන් බැහැර කළ අතර පුවක් බණ්ඩාට ඥාතීන් කිසිවෙකු නොසිටි හෙයින් මෙම පරීක්ෂණය ගැඹුරට හදාරන මෙන් ඉල්ලීමක්ද නොවූ නිසා පුවක් බණ්ඩා මියගිය ස්ථානය පරික්ෂා කිරීම පවා ඔහු අතපසු කළේය. මේ සියල්ලටම වඩා වැසි දියෙන් මඩ වූ කැලය තුළ රිංගා යාම ඔහුට අතිශයින්ම අප්‍රියජනක විය.
මේ අයුරින් අවසානයේදි පුවක් බණ්ඩා නමැති මැදිවියේ පසු වූ තරමක් උන්මත්තක මිනිසා අයහපත් කාලගුණ තත්වයක් යටතේ අපරික්ෂාකාරීව හැසිරීම හේතුවෙන් අකුණු ප්‍රහාරයකට ලක් වී මියගිය බව පොලිස් වාර්තා වල සදහන් විය. ඔහුගේ මළ සිරුර එදින සවස ගමේ පොදු සුසාන භූමියේ වළ දමන ලදී. ගම්වාසීන්ට හා ධර්මසේන නිලධාරියාට අනුව පුවක් බණ්ඩාගේ චරිතය එතෙකින් නිමාවිය. නමුත් කිසිවෙකු දැන නොසිටි එක් සත්‍ය කරුණක් ආකාශ් දැන සිටියේය. එනම් පුවක් බණ්ඩා මිය ගියේ කිසිදු අයුරක අකුණු පහරකින් නම් නොවන බවයි.