Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 3
ISBN 978-955-44323-3-8
දින, සති, මාස හා අවුරුදු ක්‍රමයෙන් ගෙවී යද්දී පුවක් බණ්ඩා පිළිබදව මතකය ගම්මුන්ගෙන් ගිලිහී යන්නට විය. එහෙත් ආකාශ්ට එය කෙසේ නම් අමතක වෙන්නද? අන් සියල්ලන්ටම වඩා එම අද්භූත අත්දැකීම විදි ඔහුට එය වරින් වර සිහිනයෙන්ද පෙනුණි. කිසිවෙකු විශ්වාස නොකිරීමත්, සමරුන්ගේ හාස්‍යයට ලක්වීමත් හේතුවෙන් මරණ පරීක්ෂණය සිදුකළ ගම් සභා දිනයෙන් පසුව ඔහු මෙම සිද්ධිය කිසිවෙකුටත් නොකීවේය. නමුත් එම සිද්ධිය පැහැදිලි කර ගැනීමට ඔහු තුළ වූ අවශ්‍යතාවය කිසිවිටෙකත් බැහැර නොවිය. බොහෝ කලක් යනතුරු අනුමාන පිළිතුරක් හෝ සොයගැනීමට හෙතෙම අපොහොසත් විය. නමුත් ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ගමේ පාසලෙන් අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයට ඇතුළු වූ ඔහුට සිය පිළිතුර සොයා ගැනීමට අවශ්‍ය පළමුවැනි මාර්ගය සොයා ගැනීමට හැකි විය. එනම් විවිධාකාර කරුණු පිළිබදව ලියුවුණු වටිනා ග්‍රන්ථ සම්භාරයකින් යුත් විද්‍යාලීය පුස්තකාලයයි.
සය වැනි වසරේ සිටම පුස්තකාල සාමාජිකයෙකු වූ ඔහු දහතුන්වැනි වසරේදී පාසලෙන් ඉවත් වන විට එහි වූ විවිධාකාර සිංහල මෙන්ම ඉංග්‍රීසි පොත්ද බොහෝමයක් කියවා තිබුණි. උසස්පෙළ සදහා හදාරන භෞතික විද්‍යාව පිළිබදව ලියැවුණු පොත් පත් කියවීමට අමතරව ඔහු වඩාත් ප්‍රිය කළේ උසස් පෙළ විභාගය සදහා කිසිදු අයුරක අදාළත්වයක් නැති වූවද ඔහුට ඉතා රසවත් වූ අභ්‍යාවකාශ සහ තාරකා විද්‍යාව ගැන ලියැවුණු පොත් කියවීමටය. මෙවැනි පොත්පත් සහ සගරා බොහෝමයක් කියවීම හේතුවෙන් ඔහුට තමා සොයන කරුණට යම් තාක් දුරට සාධාරණයක් ඉටුකළ හැකි අනුමාන පිළිතුරක් සොයා ගැනීමට හැකි විය. එනම් පුවක් බණ්ඩාට අනුව ඔහුව කැටුව යාමට පැමිණි දෙවියන් යනු ආකාශ්ට අනුව නම් පිටස්තර ග්‍රහලොවක සිට පැමිණි නිශ්චිත වශයෙන් විස්තර කළ නොහැකි කිසියම් ආකාරයක යානාවකි. එසේම තමා අත්දුටු අත්දැකීමට සමාන අත්දැකීම් වලට මුහුණ දුන් මිනිසුන් බොහෝමයක් ලොව පුරා විසිර සිටින බව සගරා කියවීම මගින් ඔහුට දැනගන්නට ලැබුණි. එම වාර්තා වලට අනුව සමහරක් අද්භූත පැහැර ගැනීම් හා අතුරුදහන්වීම් වැනි බරපතල සිද්ධීන් විය. 1950 දශකයේ සිට ලොව නන් දෙසින් වාර්තා වූ මෙවැනි සිද්ධීන් කියවා අධ්‍යයනය කළ ඔහුට එම සිදුවීම් වල කිසියම් ආකාරයක පොදු සමානත්වයක් දැකිය හැකි විය. එනම් නිශ්චිත වශයෙන් පැහැදිලි කළ නොහැකි මෙවැනි එකදු සිදුවීමක්වත් සාධක සහිතව පැහැදිලිව සනාථ කිරීමට කිසිවෙකු මේ වන තෙක් සමත් නොවීමයි.

උසස් පෙළින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබූ හෙතෙම විෂයන් තෝරා ගැනීමේදී ඔහු වඩාත් ප්‍රිය කළ තාරකා විද්‍යාව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට ඔහුට සිදුවිය. එයට හේතු වූ කරුණු දෙකක් විය. පළමුවැන්න වූයේ තාරකා විද්‍යාව උපාධියක් ලෙස ඉගෙන ගැනීම සදහා නිසි පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති වීමයි. දෙවැන්න තාරකා විද්‍යා උපාධියක් ලබාගත් අයෙකුට ශ්‍රී ලංකාව තුළ කිරීමට දෙයක් නොමැති වීමයි. තවමත් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව තාරකා විද්‍යාව, අභ්‍යාවකාශ යානා හෝ චන්ඳ්‍රිකා තාක්ෂණය ගැන සිතාවත් නොමැත. එසේම කොරොනා වසංගතය සහ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පරිහානයට පත්වෙමින් තිබුණි. එම නිසා තාරකා විද්‍යාව හැදෑරු අයෙකුට ශ්‍රී ලංකාව තුළ රැකියාවක් සොයා ගැනීම නම් කළ නොහැකි දෙයක් විය. එම නිසා ඕනෑම තැනක පහසුවෙන් රැකියාවක් සොයා ගත හැකි ක්ෂේත්‍රයක් වන කාර්මික ඉන්ජිනේරු විද්‍යාව යන විෂය සිය උපාධිය සදහා තෝරා ගැනීමට ආකාශ් තීරණය කළේය.
විශ්ව විද්‍යාලය තුළ පළමු වසරේ පළමු වාරයට අදාළ පළමු මාස හය හෙතෙම සාමාන්‍යය ශීෂ්‍යයෙකු ලෙස ගෙවා දැම්මේය. මෙම කාලය තුළ තමා ඉගෙනුම ලැබූ පීඨයේ පමණක් නොව ෛවද්‍ය, වානිජ සහ කලා පීඨ වල අධ්‍යයනය ලැබූ බොහෝ පිරිසක් හදුනා ගැනීමට ලැබුණද තමාට ගැලපෙන සමීප මිතුරෙකු හෝ මිතුරියක් සොයා ගැනීමට හෙතෙම අපොහොසත් විය. ඒ නිසාම ස්වභාවයෙන්ම සමාජශීලි පුද්ගලයෙකු නොවූ ආකාශ් වැඩිපුර යහළුවන් ඇසුරු නොකළේය. එසේම පහළ මධ්‍යම පන්තියේ පවුලක සාමාජිකයෙකු වූ ආකාශ්ට රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ මුදල් ප්‍රශ්නද තිබුණි. එම නිසා තමාගේ වියදම් පියවා ගැනීම සදහා සුළු රැකියාවක් සොයා ගැනීමට ආකාශ්ට අවශ්‍ය වූ අතර සිය වැඩිමහල් සොහොයුරා වූ නිමේශ්ගේ හැදුනුම්කමක් මත යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක කාර්මික සේවකයෙකු ලෙස සුළු රැකියාවක් සොයා ගැනීමට ආකාශ්ට හැකි විය. එම නිසා විශ්ව විද්‍යාලයේ මුල් අවධියේදි ඔහුට සමීප මිතුරෙකු හෝ කල්ලියක් නොසිටි අතර හෙතෙම ඒ පිළිබදව තැකීමක්ද නොකළේය.
නමුත් එම වසරේම දෙවන වාරයේ අවසන් මාසයේදි එනම් වාර අවසාන පරීක්ෂණයට සතියකට පමණ පෙර සිදුවූ සිදුවීමකින් මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය. එය ආකාශ් සිය ජීවිතයේ පළමු වතාවට සැලකිය යුත වංචාවකට සම්බන්ධ වූ අවස්ථාව විය.
මෙම වාරයේදී පළමු වසරේ සෑම ශිෂ්‍යයෙකුම විසින් නිම කළ යුතු අනිවාර්ය කේවල ව්‍යාපෘතියක් වූ අතර විවිධ හේතූන් මත ආකාශ් ඇතුළු සිසුන් කිහිපදෙනෙකුට කල් වේලා ඇතිව එය නිම කිරීමට නොහැකි විය. එම නිසා ඔවුන්ට සිදුවූයේ අවසාන විභාගය සදහා සූදානම් වීමය ලැබුණු දින කිහිපය ඒ සදහා යොදා ගැනීමටයි. කෙසේ හෝ දිගින් දිගටම වැඩ කිරීම හේතුවෙන් නියමිත දිනයට පෙර සිය ව්‍යාපෘතිය නිම කිරීමට ආකාශ්ට හැකි විය.
මෙම ප්‍රමාද වූ කණ්ඩායම තුළ සතිස් නමැති තරුණයෙකුද සිටියේය. ඔහු පරිගණක විද්‍යා පීඨයේ ශිෂ්‍යයෙකු වූ හෙයින් ආකාශ් ඔහු සමග කිහිපවාරයකට වඩා කතා කර නොතිබුණි. සතිස් පිළිබදව ආකාශ් දැන සිටි කරුණු වූයේ ඔහු ඕනෑම කෙනෙකු සමග හොදින් කතා බහ කරන, විශේෂයෙන්ම තරුණියන් සමග සමීප සබදතා පවත්වන, තමාගේම පෞද්ගලික මෝටර් රථයකින් විශ්ව විද්‍යාලයට පැමිණෙන, බැලු බැල්මට යහමින් මුදල් ඇති අයෙකු බවයි. සෑම විටම විනෝදයෙන් කල් ගෙවුවද මේ අවස්ථාවේදි නම් ඔහු දැඩි අර්බුධයක පැටලී සිටියේය. අධ්‍යයනය කුටිය තුළ ඔහු සිටි මේසය පුරා විසිරුවා දමා තිබූ පොත් සහ කඩදාසි ගොඩකට මැදිව හිසේ අත ගසාගෙන කල්පනාවක නිරතව සිටි හෙතෙම හදිසියේම අධ්‍යයනය කුටියෙන් පිටතට යන ආකාශ් වෙත වේගයෙන් පැමිණියේය.
“ආකාශ්, උඹ වැඩේ ඉවර කළාද?” ඉදිරියට පැමිණි සතිස් ඇසුවේය.
“ඔව්, මේ දැන් තමයි ඉවර කරගත්තෙ.”
“අනේ මචං, උඹට පුළුවන් නම් මට මේ මගුල ඉවර කරගන්න පොඩි උදව්වක් දීපංකො. මම දැනටමත් මේකෙ භාගෙකට වැඩිය හදල ඉවරයි. ඒත් අන්තිම ටික ඉවර කරගන්න තේරෙන්නෙ නෑ.”
ආකාශ් පැටලුනේ ගැලවිය නොහැකි ගැටලුවකය. වෙනත් අවස්ථාවකදී නම් ඔහු නොපැකිලිවම උපකාර කරනු ඇත. නමුත් මෙම ව්‍යාපෘතිය බාර දීමෙන් අනතුරුව තවත් දින දෙකකින් ඇරඹීමට නියමිත වාර අවසාන විභාගය සදහා තමන් සූදානම් විය යුතුය. එහි විෂයන් හතරක් වූ අතර එයින් විෂයන් තුනක් ඔහුට එතරම් ගැටලුවක් නොවිය. නමුත් පරිගණක විද්‍යාව සම්බන්ධ තොරතුරු තාක්ෂණ විෂයේදී නම් ඔහු සිටියේ තරමක් අවදානම් තත්වයකය. වාර මැද පරීක්ෂණයේදී තොරතුරු තාක්ෂණ විෂයට හොදින් ලකුණු ගැනීමට නොහැකි වූ ඔහුට මේ අවස්ථාවේදීත් ලකුණු ලබා ගැනීමට නොහැකි වුවහොත් එය අවසන් උපාධිය ලබා ගැනීමේදී ගැටලුවක් විය හැක. නමුත් තමාගේම වසරේ ශිෂ්‍යයෙකු උපකාරයක් පැතූ අවස්ථාවක අකාරුණක වීමටද ආකාශ්ට නොහැක. එම නිසා අධ්‍යයන කටයුතු වල නියැලීමට ඇති කාලයෙන් පැය තුනකට අධික කාලයක් වැය කර සතිස්ගේ ව්‍යාපෘති ඇගයිම සම්පූර්ණ කිරීම උදෙසා සහය වීමට ආකාශ්ට සිදුවිය. කෙසේ හෝ ව්‍යාපෘතිය බාරගන්නා අවසන් දිනය ඉකුත් වීමට පෙර සිය ව්‍යාපෘති බාර දීමට දෙදෙනාටම හැකි විය.
“උඹ දැන් විභාගෙට එහෙම ලෑස්තිද බං?” ව්‍යාපෘති බාර දී ආපසු එන අතරතුරදී සතිස් ඇසුවේය.
“හරියටම නෑ බං. අයිටී එක නම් ෂුවර් නෑ. ෆේල් වෙයිද දන්නෙ නෑ.” ආකාශ් පැවසුවේ එම විෂයෙහි වූ තමා මගහැරි සමහර පැවරුම් මතක් වීම හේතුවෙනි. එසේම එම පැවරුම් පුරුදු වීමට ආකාශ් සතුව පරිගණකයක් නොතිබුණි.
“උඹ හොදයි බං. මං ඔයිටත් අන්තයි. මේ ඉන්න තත්වෙන් විභාගෙ ලිව්වොත් අනිවාර්යෙන්ම ඉවරයි.” සතිස් පැවසුවේ සිනාසෙමිනි.
“ඇයි බං? උඹ අයිටී ෆැකල්ටි එකේ නේද? ඉතින් උඹට මොකෝ අයිටී විභාගෙ අවුල්?”
“අයිටී එකේ වුණාට කෝඩ් කරන්න තියෙන එක පේපරේ ලියන්න පුළුවන්ද බං. එහෙම පුළුවන්ද අයිටී කරන්න.” පැවසූ සතිස් සුළු නිහැඩියාවකට පසුව “හැබැයි මට ඕකට පොඩි වැඩපිළිවෙලක් තියෙනවා.” කීවේය.
“වැඩපිළිවෙලක්? කවුරුහරි කෙල්ලෙක්ගෙන් කුප්පියක් දාගන්න සෙට් කරගත්තද?”
“අනේ උන් දාන කුප්පි. අනික කුප්පියකින් මේව කරගන්න පුළුවන් නම් මොනව කරන්න බැරිද?” ආකාශගේ පැනයට සිනාසෙමින් පිළිතුරු දුන් සතිස් මද නිහැඩියාවකට පසුව තරමක අවධාරණාත්මක හඩකින් මෙසේ පැවසුවේය.
“මේක ඊට වැඩිය වෙනස්. මට උඹවත් මේකට හවුල් කරගෙන ලේසියෙන් විභාගෙ ගොඩයන්න පුළුවන්. හැබැයි මතක තියාගනින්, මේක රහසක්. අපි දෙන්න අතරේ විතරයි.”
“ඒ කිව්වෙ?”
“ඒ කිව්වෙ රහස් වැඩක්. විස්තර කියන්න කලින් රහස රකිනව කියල මට උඹ වචනයක් දෙන්න ඕනෙ.”