Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 1 - 4
ISBN 978-955-44323-3-8
ආකාශ් කල්පනා කරන්නට විය. මොහු කුමන ආකාරයේ ප්‍රයෝගකරුවෙක්ද? ඔහු දියත් කිරීමට සැරසෙන වැඩපිළිවෙල ආකාශ්ට ආසන්න වශයෙන් සිතාගත හැකි විය.
“උඹ ප්‍රශ්න පත්තරේ පැන්නුවද?”
සතිස්ගේ දෙනෙත එකවර මහත් වූ අතර ක්ෂණිකව ආකාශ් දෙස බලා “උඹ මොකෝ එහෙම අහුවෙ?” ඇසුවේය.
“නිකමට, මට එකපාරටම හිතුණේ එහෙමයි.”
“ඕයි, මේ අහනවා. උඹ මට උදව් කරපු හින්දයි මං මේ උඹට උදව් කරන්න හදන්නෙ. දැන් උඹ හදන්නෙ මගේ කටින් වැඩේ අල්ල ගන්න. මම කිව්ව වගේම විභාගෙට මට සෑහෙන උදව්වක් කරන්න පුළුවන්. හැබැයි මම කිව්වනෙ. විස්තර කියන්න කලින් මට උඹේ වචනෙ ඕනෙ.” පැවසූ සතිස් මද නිහැඩියාවකට පසුව නැවත සිය හඩ අවදි කළේය.
“මේක ඕනෙ නෑ කියල හිතෙනව නම් කතාව මෙතනින් නතර කරමු.”
ඔවුන් දෙදෙනා තත්පර කිහිපයක් කතා බහකින් තොරව ගමනේ යෙදුණෝය. අවසානයේ නිහැඩියාව බිද දැමූ ආකාශ් විසිනි.
“මෙහෙමයි, උඹේ වැඩේ කාටවත් කියන්නෙ නෑ කියල පොරොන්දුවෙන්න පුළුවන්. හැබැයි ඕකට හවුල් වෙනවද නැද්ද කියල කියන්න වෙන්නෙ වැඩේ මොකද්ද කියල දැනගත්තට පස්සෙ තමයි.”
ආකාශ්ගේ බුද්ධිමත් පිළිතුර ඇසූ සතිස් සිනාසෙන්නට විය.
උඹේ කතාවෙ හැටියට නම් උඹට උදව් කරන්න වටින්නෙ නෑ. ඒත් ඉතින් කමක් නෑ. මට උදව් කරපු එකානෙ. අර තියෙන්නෙ මගෙ වාහනෙ. අපේ ගෙදරට වැඩි දුරක් නෑ. යමුකො, එහෙ ගිහල්ල වැඩේ බලාගන්න බැරියැ.”
නවීන කළු පැහැති මෝටර් රථයක් පෙන්වමින් ඒ වෙත ගිය සතිස් මද නිහැඩියාවකට පසුව මෙසේ පැවසුවේය.
“උඹ කිව්ව හරියටම හරි මචං. මං පේපරේ පැන්නුවා.”
සතිස්ගේ මෝටර් රථයට ගොඩ වූවද ආකාශ් සිතාගත්තේ මෙම වංචා සහගත නිතිවිරෝධි ක්‍රියාවට සම්බන්ධ නොවී සිටීමටය. නමුත් ගමන අතරතුරදී කතාවෙහි රුසියෙකු වූ සතිස් පැවසූ අපූරු කතාවකින් පසුව ආකාශ්ගේ සිත වෙනස් විය.
“මේ අහපං මචං. දැන් උඹ කියනව මේක වංචාවක් කියල. හරි, දැන් මට කියපංකො කෙනෙක් විභාගෙකදි කරන්නෙ මොකද්ද කියල. තමන්ගෙ දක්ෂතා පුළුවන් තරම් පාවිච්චි කරන එක. ඒ කිව්වෙ කරුණු හොයන්න, මතක තියාගන්න, මොළේ පාවිච්චි කරන්න, ලියන්න වගේ දේවල් වලට තියෙන හැකියාව පාවිච්චි කරන එක. ඉතින් මමත් කළේ මගේ හැකියාවක් පාවිච්චි කරපු එක. එක එකාට එක එක විදියේ හැකියා තියෙනව වගේ මට පුළුවන් හැක් කරන්න. ඉතින් මම ඒ හැකියාව පාවිච්චි කරල අපේ සර් කාරයගේ ඊමේල් එකට රිංගුවා. එතනින් මට පේපරේ පන්නගන්න ඕනෙ විස්තර ටික ලැබුණා. එච්චරයි. මම මේක විකුණන්න යන්නෙ නැති නිසා කාටවත් කරදරයක් නෑනෙ.”
මෙම අපූරු තරුණයා පිළිබදව ආකාශ්ගේ සිතේ නොරුස්සන සුළු ගතියක් සහ ප්‍රසාදයක් එක්වරම ඇතිවිය. නීතිවිරෝධි කටයුතු වල යෙදෙන බොහෝදෙනෙකු තුළ දක්නට ලැබෙන සහජ ලක්ෂණයක් වන ‘තමන්ගේ ක්‍රියාවේ ඇති වැරැද්ද පිළිනොගැනීම’ මොහු තුළද ආකාශ්ට පැහැදිලිවම දක්නට ලැබුණි. නමුත් මොහු ඔහුටම අවේණික වූ සුවිශේෂි දක්ෂතා සහිත පුද්ගලයෙකු විය යුතුය. පරිගණක විද්‍යාව පිළිබදව කතා වල සත්‍යතාවය කුමක් වූවද සතිස් යනු කතාවෙන් පුද්ගලයෙකු හිතවත් කර ගැනීමට අතිදක්ෂයෙකු බව ආකාශ්ට සිතුණි.
මිනිත්තු පහළොවක් ගතවීමටත් පෙරම ඔවුන් සතිස්ගේ නිවසට පැමිණි අතර සතිස්ගේ ආර්ථික තත්වය ගැන තමා අනුමාන කළ කරුණු නිවැරදි බව එහි ළගා වූ විටම ආකාශ්ට අවබෝධ විය. කොළඹ හත ප්‍රදේශයට ආසන්නව පිහිටා තිබූ එය නවීන පන්නයේ දෙමහල් නිවසකි. සතිස්ගේ මෝටර් රථයට අමතරව තවත් මෝටර් රථයක් හා යතුරු පැදි දෙකක් ගරාජය තුළ නවතා තිබෙනු හෙතෙම නිරීක්ෂණය කළේය.
“වරෙං මචං. ගෙදර වැඩකරන කෙනයි, මගේ යාළුවෙකුයි ඇරෙන්න වෙන කවුරුවත් මේ වෙලාවෙ ගෙදර නෑ.” රථයෙන් බැස නිවසට ඇතුල් වෙමින් සතිස් කීවේය.
පිගන් ගඩොල් ඇල්ලූ ගෙබිමක් සහිත එම නිවස සැබවින්ම අලංකාර එකක් විය. වටිනා ගෘහභාණ්ඩ සහිත විසිත්ත කාමරයටත්, කෑම කාමරයටත්, මුළුතැන්ගෙයටත් පහළ මාලය වෙන්වූ අතර සතිස්ගේ කාමරය පිහිටියේ දෙවන මහලේය.
තරුණයින් දෙදෙනා එහි පිවිසෙන විට තමාගේම වයසේ පසුවේ යැයි සිතිය හැකි තරුණයෙකු මේසය මත වූ පරිගණකයකින් චිත්‍රපටයක් නරඹමින් සිටියේය.
“ආකාශ්, මේ ඉන්නෙ මං කියපු යාළුවා සුරේෂ්.” පැවසූ සතිස් ඉන්පසුව ආකාශ්වද හදුන්වා දුන්නේය.
සතිස්ගේ කාමරයද ඔහුගේ චරිතයටම ගැලපෙන අපූරු ස්ථානයක් බව හාත්පස නිරීක්ෂණය කළ ආකාශ්ට දක්නට ලැබුණි. කුටියේ එක් පසෙක දෙදෙනෙකුට නිදාගත හැකි ඇදක් හා අල්මාරියක් තිබූ අතර අනිත් පැත්තේ තිබූ ලාච්චු සහිත දිග මේසයක් මත පරිගණක දෙකක් තිබුණි. එම මේසය මත හා කාමරයේ එක් කෙළවරක විවිධාකාර වූ පරිගණක දෘඩාංග යැයි සිතිය හැකි විද්‍යුත් පරිපථ විසිරුවා දමා තිබුණි. නමුත් මේ සියල්ලටම වඩා ආකාශ්ගේ සිත ඇදී ගියේ එළිමහනට විවෘත වූ ජනේලය අසල තබා තිබූ සුදු පැහැති වෘත්තාකාර තැටියක් බදු උපකරණය වෙතටය. මෙය නිසැකි වශයෙන්ම කිසියම් ආකාරයක රේඩාර් උපකරණයක් විය යුතුය. මෙවැනි උපාංග ඔහු සිය සොහොයුරා සේවය කරන කදවුරේ දැක තිබුණද ඒ කිසිවක් මේ උපකරණය තරම් නවීන සහ හුරුබුහුටි නොවිය. මෙය නම් නිසැක වශයෙන්ම ඉතා නවීන සහ දියුණු උපකරණයක් විය යුතුය. ඒ පිළිබදව විමසීමට සිතූ විටම සතිස් ඔහු ළගට පැමිණ මුද්‍රිත කඩදාසි කිහිපයක් ආකාශ්ගේ දෙඅත මත අතහැරියේය.
“ඔය තියෙන්නෙ උඹේ නිධානෙ. දැන් ඉතින් ඕකට ඒ එකක්වත් ගනින්.”
ආකාශ් තම දෑතෙහි වූ කඩදාසි පරික්ෂාකර බැලුවේය. තව දින කිහිපයකින් තමාට මුහුණ දීමට සිදුවන ඇති තොරතුරු තාක්ෂණික ප්‍රශ්න පත්තරය පමණක් නොව එහි සම්පූර්ණ පිළිතුරු සැකැස්මද එහි තිබුණි.
“ඔය පිස්සු ප්‍රශ්න වලට උත්තර හොයන්න අමාරු නිසා මම මාකින් ස්කීම් එකත් කොහොමහරි පැන්නුවා.” ආකාශ් පිළිතුරු පත්තරය දෙස විමතියෙන් බලා සිටිනු දුටු සතිස් සිනාසෙමින් පැවසුවේය.
ප්‍රශ්න පත්‍රය පිටුවක් නෑර කියවා එය නිරීක්ෂණය කිරීමට අවශ්‍යය වූවද ආකාශ්ට මේ මොහොතේ එය කළ නොහැකි විය. ඔහුගේ සිතෙහි ඇති වූයේ අමුතුම ආකාරයේ හැගීමකි. තමාගේ හිසෙන් විශාල බරක් නිදහස් වූ බවක් දැනුණද සිත අභ්‍යන්තරයේ කිසියම් ආකාරයක සියුම් චකිතයක්ද ඇති විය. මෙවැනි ක්‍රියාවක් සතිස් සිදුකළේ කෙසේ දැයි ආකාශ්ට සිතා ගැනීමටවත් නොහැකි විය. ප්‍රශ්න පත්තරය පමණක් නොව පිළිතුරු සැකැස්මද ඔහු පන්නා ඇත.
“උඹල දැන් ප්‍රශ්න පත්තරේ කරනවද? කරනව නම් මං අනිත් කාමරයට යන්නම්. මට ටිකක් නිදිමතයි බං. ඊයෙත් පිස්සු නටල රෑ වෙලානේ ගෙදර ආවෙ.” සුරේෂගේ හඩින් ආකාශ් පියවි ලොවට පැමිණියේය.
“නෑ, නෑ. අපි දැන් ඕක කරන්නෙ නෑ. මේ සුරේෂ්, අපේ මේ අලුත් කොල්ලව පොඩ්ඩක් ආශ්‍රය කරල අදුරගන්න බලපන්කො.” පැවසූ සතිස් ඉන්පසුව ආකාශ් දෙස බලා මෙසේ කීවේය.
“උඹ ඕක අරං ගිහිං පස්සෙ බලපං. හැබැයි කාටවත් ඕක පෙන්නන්න එහෙම එපා.”
“උඹ කොහොමද බං මේක කළේ?” ආකාශ් තම සිතෙහි නලියමින් තිබූ පැනය ඉදිරිපත් කළේය.
“ඕව ඉතින් මගෙයි සුරේෂ්ගෙයි වැඩ තමයි. නැද්ද මචං.” පවසමින් සතිස් සිනාසුණේය.
ප්‍රශ්න පත්තරේ පන්නපු එක නම් සුළු වැඩක් මචං. පැය භාගයක්වත් ගියෙ නෑ. උඹලට උගන්වන කුලවංශ කියල සර් කෙනෙක් ඉන්නවනෙ. අපිට කළේ මිනිහගේ ඊමේල් එකට රිංගපු එක විතරයි. එතනින් පාස්වර්ඩ් ටිකයි ඕන විස්තර ටිකයි ඔක්කොම හොයාගත්තා.” සුරේෂ් කියාගෙන ගියේය.
ඔහුගේ වදන් වලට අනුව ඔවුන්ට මෙය සුළු කාර්යයක් වූවද ආකාශ්ට තවමත් ඒ ක්‍රමවේදයන් පිළිබදව අවබෝධයක් නොවිය. ආකාශ්ගේ මෙම නොපැහැදිලි බව වටහාගත් නිසාදෝ ඉන්පසුව සතිස් සිය හඩ අවදි කළේය.
“මෙහෙමයි බං. අච්චු ගහපු පත්තර නම් උන් කබඩ් වල දාල ලොක් කරල තියාගෙන ඇති. හැබැයි හැකිං ගේමක් ගහයි කියල මං නම් හිතන්නෙ නෑ උන් හිතයි කියල. මං හිතන්නෙ අපේ සර් කාරය තාමත් දන්නෙ නැතුව ඇති කවුරු හරි මිනිහගෙ ඊමේල් එකට රිංගුව කියල. හරියට කරොත් මේව ලේසියකට අල්ලගන්න බෑ මචං. මොකො, ඇගිලි සලකුණු වදින්නෙ නෑනේ. ඊමේල් එකට රිංගුව කියල දැන ගත්තත් මං නම් හිතන්නෙ නෑ කවුද කළේ කියල උන්ට හොයාගන්න පුළුවන් වෙයි කියල. මම මේ ලොකු කතා කියනව කියල හිතන්න එපා. මේව ඔක්කොම කියන්නෙ අත්දැකීමෙන්. නැද්ද සුරේෂ්.”
කිසිවක් නොපැවසූ සුරේෂ් සිය හිස සිරස් අතට වනමින් සිනාසුණේය. මේ වන විට ආකාශ්ට කාරණය පිළිබදව යම් අවබෝධයක් ඇති වී තිබුණි. මෙවැනි හැකර්වරුන් පිළිබදව විදෙස් පුවත් මගින් හා බටහිර චිත්‍රපටි වලින් ඔහු අසා තිබුණුද එවැන්නෙකු කෙදිනක හෝ තමාට හමුවේ යැයි හෙතෙම කිසිවිටෙකත් බලාපොරොත්තු නොවිය. නමුත් දැන් තමා ඉදිරියේම එවැනි පුද්ගලයන් දෙදෙනෙකු සිටිති. වැදගත්ම කරුණ නම් ඔහුගේම විශ්ව විද්‍යාලයේ ඔහුගේම වසරේ ශිෂ්‍යයෙකු වීමයි. පැවසිය යුත්තෙ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වූ ආකාශ් ස්වල්ප වෙලාවක් මුනිවත රැක්කේය.
“මචං, අර අතන තියෙන්නෙ රේඩාර් එකක්ද?” අවසානයේ නිහඩතාවය බිදිමින් ආකාශ් සිය හඩ අවදි කළේය.
“ඔව්, අලුත්ම එකක්. මම දන්න හැටියට ඔය ජාතියේ ඒව ලංකාවටම තියෙන්නෙ දහයකටත් අඩුවෙන්. ඒවයිනුත් එකක් අපි ගාව.”
“උඹලට මොකටද බං රේඩාර් එකක්?”