Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 1 - 9

ISBN 978-955-44323-3-8

“අර මිනිහට පිස්සු අනේ. එයා හිතාගෙන ඇති කියන කියන පදේට මං නටයි කියල.” ඇය තරමක ආවේගශීලි හඩකින් කීවාය.

 

“පිස්සු? කාටද?”

 

“වෙන කාටද ඉතින්. ඔයාට අද හම්බවෙච්ච ගයාන්ට.”

 

“ඇයි එයා මොකද කළේ?”

 

“අනේ ආකාශ් එයා මං ගැන කියපු හැමදෙයක්ම බොරු. අපි අතරේ ඒ වගේ කිසිම සම්බන්ධයක් නෑ. තිබිලත් නෑ. මට එයාව බැදගන්න කිසිම ඕනකමක් නෑ.”

 

ආකාශ්ගේ සිතෙහි ඇය කෙරෙහි ඇතිවූයේ යම් ආකාරයක අනුකම්පාවකි. කොතරම් මිල මුදල් ඇති උසස් පැලැන්තියේ තරුණියක් වූවද මෙම අවස්ථාවේදි ඇය අසරණ බව ඔහුට හැගුණි.

 

“හරි හරි ලෝචනා. ඔයා දැන් ඒක ගැන එච්චර හිතන්න එපා. මමත් ඒ වෙලාවෙදි එයා කියපු දේ විශ්වාස කළේ නෑ. ඔයාගෙ මූණෙ හැටි දැක්කහම මට තත්වෙ තේරුණා.”

 

“ඔව් අනේ, බලන්නකො මට තියෙන වදයක්. ඒ මනුස්සයා හීන ලෝක වල ජීවත් වෙනව මදිවට ඒවට මාවත් පටලවගෙන තැන තැන ගිහින් කියවනවා. වෙලාවකට මට හරි කේන්තියි.”

 

“හරි හරි ලෝචනා. ඔයා ඔව්ව ගණන් ගන්න එපා. මම කිව්වනෙ මං ඌ කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ කියල. මිනිහ කියන්නෙ බයිලා කියල මං සතිස්ලටත් කියන්නම්.” පැවසූ ආකාශ් මද නිහැඩියාවකට පසුව “ඔයා කොහොමද මේකට පැටලුණේ?” ඇසුවේය.

 

“මේ අපේ ගෙදරින් දාපු ලෙඩක්නෙ. ගයාන්ගෙ තාත්තයි අපේ තාත්තයි යාළුවො. මේක එයාලගේ ප්‍රපෝසල් එකක්. හැබැයි දැන් නම් මං තාත්තට කෙළින්ම කියල තියෙන්නෙ මං මේකට කැමති නෑ කියල.”

 

“ඉතින් තාත්ත මොකද කියන්නෙ?”

 

“දැනට නම් වැඩිය මුකුත් කියන්නෙ නෑ. තව කල් තියෙනවනෙ කිය කිය ඉන්නවා.”

 

“ඔයා මේ ගැන ගයාන් එක්ක කතා කළේ නැද්ද?”

 

“මොකද අනේ කතා කළේ නැත්තෙ. මම කී වතාවක් නම් කිව්වද? ඒ මනුස්සයට කියන දේ තේරෙන්නෙ නෑ. අපේ ගෙවල් වලත් තාම හිතාගෙන ඉන්නෙ මේක කෙරෙයි කියල. මට නම් තේරෙන්නෙ නෑ දැන් මොනව කරන්නද කියල.”

 

ඇයට දිය යුතු පිළිතුරක් තත්පර කිහිපයක් යනතුරු ඔහුට සිතාගත නොහැකි විය.

 

“ඔයා ඔව්ව ගණන් ගන්න එපා. දැන් අපි හැමෝම ගයාන් ගැන දන්නවනෙ. මිනිහට ඕන දෙයක් කියාගන්න කියල ඔයා පැත්තකට වෙලා ඉන්න. කල් යනකොට ඕක නිකම්ම විසදෙයි.”

 

“ඔයාට නම් පිස්සු අනේ. මේක එහෙම විසදගන්න බෑ. මං කිව්වනෙ, මේක ගෙදරින් ගෙනාපු ප්‍රපෝසල් එකක්. ඒක හිතට අරගෙන තමයි ගයාන් ඔච්චර දගලන්නෙ.”

 

ඇය ගයාන්ට අකමැති වීමට හේතුව ආකාශ්ට ඇයගේ මුවින්ම දැන ගැනීමට අවශ්‍ය වූවද එය ඍජුව විමසීම මෙම අවස්ථාවේ සුදුසු නොවන බව ඔහුට හැගුණි.

 

“ඉතින් ඔයා ගයාන්ට අකැමති වෙන්න හේතු ටික ගෙදර අයට පැහැදිලි කරල කියන්න.” ආකාශ් එම පැනය ඍජුව නොවිමසා වක්‍රව විමසුවේ තමාට යම් තොරතුරක් ලැබේ යැයි අපේක්ෂාවෙනි.

 

“අනේ ආකාශ්, ඒ මිනිහ කරන පිස්සු විකාර වැඩ ගැන මං කොහොමද කටක් ඇරල ගෙදර අයට කියන්නෙ?”

 

“ඇයි එයා මොනවද කරල තියෙන්නෙ?”

 

එම පැනයට පිළිතුරක් ලෙස ඇයගෙන් ලැබුණේ දීර්ඝ විස්තරයකි. යෝජනාව ගෙන ආ දින පටන් මේ දක්වා සිදු වූ බොහෝ සිදුවීම් ඇය ඔහුට විස්තර කළාය. ඒවායින් බොහෝමයක් ගයාන්ගේ නින්දා සහගත ක්‍රියාවන් පිළිබද විස්තරය. මෙම කතා බහ අවසානයේදි ඇය ඔහුගෙන් එක් ඉල්ලීමක් කළාය.

“මේවා මෙහෙම කතා කරල හරියන්නෑ අනේ. ඔයා ආයේ කවද්ද ක්ලබ් එකට එන්නෙ?”

 

“ම්… මං ලබන ඛ්‍රහස්පතින්දා එනවා. ඔයාට එදාට එන්න පුළුවන්ද?” ආකාශ් පැවසුවේ එදින ඔහුට නසීර්ගෙන් තවත් වැඩක් ලැබීමට නියමිත හෙයිනි.

 

“හරි මං එන්නම්. හවස හයට විතර නේද ඔයා එන්නෙ?”

 

“ඔව්, ඒ වගේ වෙලාවට තමයි.”

 

“එහෙනම් අනිවාර්යෙන්ම එන්න ඕනෙ. ඔන්න මං බලන් ඉන්නවා.”

 

ඉන්පසුව තත්පර කිහිපයක මද නිහැඩියාවක් ඇති විය.

 

“එහෙනම් ආකාශ්, මං තියන්නම්. දැන් ගොඩක් රෑ වුණා.”

 

“හරි ලෝචනා. එහෙනම් අපි ඛ්‍රහස්පතින්දා හම්බවෙමු.”

 

දුරකතනය විසන්ධි කිරීමෙන් අනතුරුව නැවත යහනෙහි ඇල වූ ආකාශ්ගේ සිතෙහි ඇති වූයේ නැවුම් හැගීමකි. ඇය මෙවැනි පුද්ගලික කරුණු තමා සමග සාකච්ඡා කිරීම ඔහු අපේක්ෂා නොකළ දෙයකි. තවමත් ඔවුන් මුහුණට මුහුණ හමු වී ඇත්තේ දින දෙකක් පමණි. නමුත් ගතවූ මොහොතෙහි ඔවුන් දෙදෙනා අතර කතා බහ සිදුවූයේ කාලාන්තරයක් පුරා දැන හැදින සිටි අයුරිනි. කෙමින් කෙමින් මෙම සුන්දර තරුණිය තමාගේ හදවතට රිංගන්නේදෝ කියා ඔහුට සිතුණි.  

 

* * *

 

ඊළග දිනයේදි එනම් ලෝචනා හමුවීමට නියමිත ඛ්‍රහස්පතින්දා දවසේ නසීර් මුණගැසුනු ආකාශ් ඇතුළු පිරිසට අලුත්වැඩියා කිරීමට ලැබුණේ හමුදාවෙන් පැන ගොස් පාතාලයට එක් වූ පිරිස අතර බහුලව භාවිතා වන ටී පනස්හය වර්ගයේ තුවක්කුවකි. පිටතට නොපෙනෙන අයුරින් දිග ගමන් මල්ලක බහාලු එය සතිස්ගේ මෝටර් රථය තුළට දැමීමෙන් පසුව ඔහු ලෝචනා හමුවීමට ගියේය. හමුවූ මුල් දිනයේ පරිදිම එදිනද ඇය සිටියේ හුදෙකලාවය. ඔහුව දුටු විගසම ඇය පවසා සිටියේ අද ගයාන් පැමිණිය හැකි බැවින් වහාම වෙනත් රාත්‍රී අවන්හලකට යා යුතු බවයි. එයට එකග වූ ආකාශ් තමා ලෝචනා සමග පිටත්වන බව පැවසීමට සතිස් සහ සුරේෂ වෙත ගියේය.

 

“අම්මට සිරි, වැඩේ නැගල යනව වගේ. එහෙනම් ඉතින් ගිහිල්ල සාර්ථකව ප්‍රේම ජවනිකාව රගපාල වරෙන්කො. හැබැයි පුතෝ, දුෂ්ඨයගෙන් පරිස්සම් වෙයන්. ගයාන් ඕනම වෙලාවක ලෙඩක් දාන්න පුළුවන්.” සතිස් පැවසුවේ සිනාසෙමිනි.

 

ඔවුන් දෙදෙනා පැමිණියේ සමාජශාලාවට කිලෝමීටර දෙකක් පමණ දුරින් වූ අවන්හලකටය. ඇය මෙම ප්‍රශ්නයෙන් කෙතරම් මානසික පීඩනයකට ලක් වී ඇත්දැයි ආකාශ්ට හරියටම වැටහුණේ එදිනය. පුරා අඩ හෝරාවක් පමණ ඈ එකදිගට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළාය. විටෙක ඇය කතා කළේ තරමක් ආවේගශිලීවය. තවත් විටෙක හැඩුම්බරවය. සැබවින්ම සිත තුළ අනුකම්පාවක් ඇති වූවද දිය යුතු පිළිතුරක් ආකාශ් දැන සිටියේ නැත.

 

“ඔයාගේ යාළුවො හසිනිල එහෙම මේ ගැන මොකද කියන්නෙ?” ආකාශ් විමසුවේ කිව යුත්තක් සිතාගත නොහැකි වූ හෙයිනි.

 

“එයාල කියන්නෙත් ඔයා කියන දේමයි. තව ටික කාලයක් ඉවසන්නලු. ඒත් අනේ මං තව කොච්චරක් කියල ඉවසන්නද?”

 

පිළිතුරක් සදහා සිය හඩ අවදි කිරීමට පෙර ආකාශ් සුළු මොහොතක් නිහඩව කල්පනා කළේය.

 

“ඒකත් ඇත්ත තමයි. මේකෙ කෙළවරක් තියෙන්නත් එපැයි. හරි…, මට මේක කියන්නකො. තව ටික කාලෙකින් ගයාන්ව බදින්න කියල ගෙදරින් ඔයාට බල කරයිද?”

 

“දැනට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. එත් එහෙම වෙයිද කියල මට බයයි.”

 

“අනේ මන්ද ලෝචනා. මට නම් තේරෙන්නෙ නෑ ඔයාට දෙන්න ඕනෙ උත්තරේ මොකද්ද කියල. ඔයා කැමති කොල්ලෙක්වත් ඉන්නව නම් ගෙදරට කියන්නවත් තිබ්බා ඔයා කැමති ගයාන්ට නෙමෙයි වෙන කෙනෙක්ට කියල. ඉතින්…, ඔයා කැමති වෙන කෙනෙක් නැද්ද?” ආකාශ් විමසුවේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් නොව ඇයගේ මුහුණෙන් පළවන හැගීම් කියවා ගැනීමටය. ඇයට වෙනත් පෙම්වතෙක් නොමැති බව ඔහු නිශ්චිත වශයෙන්ම දැන සිටියේය.

 

ලැජ්ජාවෙන් මදක් රතු වූ ඇය එක්වරම බිම බලා ගත්තාය. පිළිතුරක් දීමටද ඈ තරමක් ප්‍රමාද වූවාය.

 

“වෙන කවුරු හරි ඉන්නව නම් මේ ගැන කතා කරන්න මම ඔයාට එන්න කියන්නෙ නෑනෙ. එයාටනෙ එන්න කියන්නෙ.” ඇය පැවසුවේ තරමක කෝමල හඩකිනි.

 

ඇයගේ එම ප්‍රකාශයෙන් ආකාශ්ට සෑහෙන තරම් ධෙර්යයක් ලැබුණි. ඉතාම කෙටි කාලයක් තුළ මෙවැනි රූමතියකගේ විශ්වාසය දිනාගැනීම සැබවින්ම වාසනාවකි.

 

“හරි” ඔහු පැවසුවේ සිනාසෙමිනි. මීළග තත්පර කිහිපය ඔවුනොවුන් එකිනෙකාගේ දෑස් දෙස නිහඩව බලා සිටියෝය. ආකාශ් සෙමින් ඇයගේ අතක් අල්ලා ගත්තේය.

 

“ඔයා බය වෙන්න එපා ලෝචනා. අපි මේකට මොනව හරි කරමු.”

 

ඔහු තම අත අල්ලා ගැනීම පිළිබදව ඇය කිසිදු විරුද්ධත්වයක් පළ නොකළාය. ඒ වෙනුවට ඇයද සිය ඇගිලි වලින් ඔහුගේ අත ග්‍රහණය කර ගත්තාය. සිතෙහි ඇති වූයේ පෙර නොවින්දා වූ හැගීමකි. “අනේ ආකාශ්, මොනව වුණත් මාව අතහරින්න නම් එපා.” යැයි පැවසීමට අවශ්‍යය වුවද එය වදන් බවට පෙරළීමට අවශ්‍යය ධෙර්යය නොතිබුණේ කොතරම් සමාජශීලී වූවද ඇයත් කාන්තාවක් වූ නිසාය.

 

* * *

 

මාස කිහිපයක් ගෙවා දමමින් ක්‍රමයෙන් කාලය ගෙවී ගොස් විශ්ව විද්‍යාලය තුළ දෙවන වසරේ දෙවන වාරය අවසන් කරන විට ආකාශ්ගේ ජීවිතය තුළ ආර්ථික සහ සමාජීය වශයෙන් විපර්යාස කිහිපයක් සිදු වී තිබුණි. ආර්ථික වශයෙන් ගත් කළ නීතිමය පසුබිම කෙසේ වූවද ඔහු තමා විසින්ම නිර්මාණය කරගත් රැකියාවක් තුළින් හොද ප්‍රතිලාභ ලබමින් සිටියේය. නසීර්ගෙන් ආරම්භ කළ ගිනිඅවි අලුත්වැඩියාව දැන් බොහෝ දුරක් ගොස් තිබුණි. ඉතාම කෙටි කාලයක් තුල පාතාල ලෝකය කටින් කට පැතිරුණු මෙම ආරංචිය හේතුවෙන් ආකාශ්ට අලුත්වැඩියාව සදහා ගිනිඅවි ගලා එන්නට වූයේ නිතැතිනි. මෙම කාලය තුළ ඔහුගේ ගිනි අවි පිළිබද වූ දැනුම කෙතරම් දියුණුවට පත් වූයේද යත් වරක් මිනීමරුවන් අතර පවා කලාතුරකින් භාවිත වන ස්නයිපර් තුවක්කුවක් පවා හෙතෙම අලුත්වැඩියා කළේය. අවසානයේදී නිම කිරීමට නොහැකි තරම් වැඩ අධික වූ නිසා සමහරක් ප්‍රතික්ෂේප කිරීමට හෝ කල් දැමීමට පවා ඔහුට සිදුවිය. කෙසේ වූවද මෙවැනි වැඩ රහසිගතව හා විශ්වාසවන්තව සිදුකිරීම වෙනුවෙන් ආකාශ් සදහා සැලකිය යුතු මුදලක් ගෙවීමට අදාළ ගැනුම්කරුවන් සෑම විටම සැදී පැහැදි සිටියහ.

 

සමාජීය වශයෙන් ගත් කළ පාතාල ලෝකය සමග ඇති වූ සබදතා හා වෙනත් හැදුනුම්කම් වලට වඩා ආකාශ්ට වැදගත් වූයේ ලෝචනාගේ ඇසුරය. මේ වන විට එය සාමන්‍යය හැදුනුම්කමටක හෝ ඇසුරකට වඩා ඔබ්බට ගිය සම්බන්ධයක් විය. වෙනත් අයුරකින් කිවහොත් හදවත් බැදීමකි. ඔහු ඇයට ආලය කළේය. එමෙන්ම ඇයද තමාට ආලය කරන බව ඔහු හොදාකාරවම දැන සිටියේය. ඒ බව හමුවන සෑම දිනකම පාහේ ඇය ඔහුට පවසන්නීය. එනමුත් ගත යුතු ඊළග පියවර පිළිබදව දෙදෙනාටම පැහැදිලි අදහසක් නොවිය. මෙම රහසිගත සම්බන්ධය කවදා හෝ එළි වූ දිනයකදී ගයාන්ගෙන් හා ලෝචනාගේ නිවසින් එල්ලවිය හැකි බලපෑම පිළිබදව ඔවුන් දෙදෙනාම දැන සිටියෝය.

 

“බලන්න අනේ, අපි හැමදාම හැංගිල ඉන්නෙ. මට එළිපිට ඔයාගෙ අතකින්වත් අල්ලන්න විදියක් නෑ.” දිනක් ඔවුන් හමු වූ විට ඇය පැවසුවේ නොක්කාඩු ස්වරයකිනි.

 

“ඉතින් දැන් අල්ලන්න.” ඔහු පැවසුවේ සිනාසෙමිනි.

 

ඇය ඔහුව කෙනිත්තුවාය.

 

“අ… ආව්, හරි හරි. මං ඉතින් විහිළුවක්නෙ කළේ. අපි මේකට තව ටිකක් බලල මොකක් හරි කරමු.”

 

“හැමදාම කියන්නෙ ඕකනෙ. කියන්නකො බලන්න මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ කියල.” පැවසූ ඇය නැවතත් සිය හඩ අවදි කළේ මද නිහැඩියාවකට පසුවය.

 

“අනේ ආකාශ්, අර මිනිහා මාව බදිනකන්ද ඔයා බලන් ඉන්නෙ.”

 

මෙවැනි ප්‍රශ්න සදහා පිළිතුරු ඔහු සතුව නොතිබුණි. එම නිසා ලෝචනාගේ කර වටා අතක් යැවූ ඔහු ඇයව සිට උරහිසට හේත්තු කර ගත්තේය. ඇයද ඔහුට තුරුළු වූවාය.

 

“මොනව හරි කියන්නකො. දැන් නම් මට අපි ගැන බයත් හිතෙනවා.”

 

“ඔයා දන්නවනෙ ලෝචනා. මට මේ වෙලාව කිසිදෙයක් කරගන්න බෑ කියල.”

 

ඇය ඔහුගේ මුහුණ තමා දෙසට හරවා ගත්තාය.

 

“එහෙනම් අපි මේ රට අතහැරල යමු. මම කිව්වනෙ, මං ඔක්කොම ලෑස්ති කරන්නම්. එහේ මගේ යාළුවෙකුත් ඉන්නවා.” ඇය මෙම යෝජනාව ඔහුට ඉදිරිපත් කළේ සිව්වන වතාවටය.

 

“අයියෝ, ඔයා ආයෙත් එකම කතාවනෙ කියන්නෙ. නොදන්න රටකට ගිහින අපි මොනව කරන්නද? තාම අපි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් ඩිග්‍රි ඉවර නෑ. ඉතින් හරි හමන් ජොබ් එකක් නැතුව ඔයා හිතන්නෙ අපිට මෙහෙදි වගේ එහේ ගිහිල්ල ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලද?”

 

“එහෙනම් ඉතින් ගයාන් මාව බැදල අරගෙන යනකන් ඔයා ඔහොම උඩ බලාගෙන ඉන්න.” මෙවර ඇය පැවසුවේ තරමක හැඩුම්බර ස්වරයකිනි.

 

මෙවැනි සංවාද ඔවුන් දෙදෙනා අතර නිතර සිදුවිය. ඒවායින් සමහරක් ආකාශ්ගේ උත්සහය හේතුවෙන් හාස්‍ය සහිතව ඇයව හිනස්සවමින් අවසන් වූවද තවත් සමහරක් අවසන් වූයේ ඉහත සංවාදය මෙන් සිත රිදීමෙනි. කෙසේ වූවද ඔවුන් දෙදෙනාම පැහැදිලිව එක කරුණක් නම් දැන සිටියෝය. එනම් අමතක කළ නොහැකි තරමටම ඔවුන් දෙදෙනා ළං වී ඇති බවයි.

 

* * *

 

කාලය විසින් තවත් සති දෙකක් පමණ ගෙවා දැමීමෙන් අනතුරුව ඇයත් ඔහුත් උදාවේ යැයි බියෙන් පසු වූ දිනය උදා විය. එදින ගාලු මුවදොර පිටියෙහි ගයාන් මුහුණට මුහුණ හමුවන විට ඇය සිටියේ ආකාශ්ගේ අතෙහි එල්ලී ඔහුට පෙම් බස් මුමුණමිනි. ගයාන්ව දුටු විගසම බියට පත් වූ ලෝචනා තවත් ආකාශ්ට ළං වූවාය. නමුත් ආකාශ් බියට පත් නොවිය. දුටු පළමු දිනයේම ගයාන් පිළිබදව ඔහු වටහාගත් කරුණ නම් පියාගේ මුදල් වලින් මත් වූ ආත්ම ශක්තියක් නොමැති පුද්ගලයෙකු බවයි. නමුත් මීළගට ගත යුතු පියවර පිළිබදව හෙතෙම දැන නොසිටියේය.

 

ස්වල්ප වේලාවක් ඔවුන් දෙදෙනා දෙස බලා සිටි ගයාන් ආකාශ් අපේක්ෂා කළ පරිදිම කිසිවක් පැවසීමෙන් හෝ කිරීමෙන් තොරවම එතැනින් ඉවත් විය. නමුත් තමාට එල්ලවිය හැකි කරදර හා බලපෑම් මේ මොහොතෙහි සිට ආරම්භ වූ බව හෙතෙම පැහැදිලිවම වටහා ගත්තේය.

 

කෙසේ නමුත් තවත් සතියක පමණ කාලයක් කිසිදු විශේෂ සිදුවීමක් නොමැතිව නිහඩව ගලා ගියේය. මෙම කාලය ඇතුලත ගයාන්ව ඇහැටවත් දැකීමට ආකාශ් අසමත් විය. වෙනදාට නිතරම සමාජශාලාව තුළ බේබද්දෙකුගේ සහ සල්ලාලයෙකුගේ චරිත නිරූපණය කරන මෙම පුද්ගලයාගේ හදිසි අතුරුදහන් වීම තමා වෙත පැමිණෙන කිසියම් අනතුරක පෙර නිමිති බව ආකාශ් ඉවෙන් මෙන් වටහා ගත්තේය.

 

එම ඉව ඉතාම නිවැරදි බවත්, ඒ වෙනුවෙන් තමා කිසිදු ආරක්ෂිත පියවරක් නොගැනීම විශාල මෝඩකමක් බවත් ඔහුට වැටහුනේ දිනක් ඔහුගේ යතුරුපැදිය පසු පස පොලිස් ජීප් රථයක් හඹා එන විටය. භයානකම කරුණ වූයේ යතුරු පැදියේ පසුපස ආසනයේ සිටි සුරේෂ්ගේ අතෙහි වූ මල්ලක අලුත්වැඩියාව සදහා ලැබුණු ගිනි අවියක් තිබීමයි.

 

“අඩෝ නවත්තන්න එපා. දිගටම පලයන්. අපිව බඩු පිටින් මාට්ටු වෙන්නයි යන්නෙ.” පසුපස ආසනයේ සිටි සුරේෂ් කැළඹුණු හඩකින් කෑ ගැසුවේය.

 

නමුත් පලා යාමට උත්සහ කිරීම ඵල රහිත මෙන්ම ඉතා භයානක ක්‍රියාවක් බව ආකාශ් වටහා ගත්තේය. ඕනෑම මොහොතක පොලිස් ජීප් රථයෙන් වෙඩි පහරක් එල්ල විය හැක. එමෙන්ම ජීප් රියෙහි වේගය සමග සැසදු කළ පලා යාම සදහා යතුරු පැදියේ වේගයද ප්‍රමාණවත් නොවිය.

 

“වැඩක් නෑ බං. අපි දැනටමත් අහුවෙලා ඉවරයි.” ආකාශ් පැවසුවේ වේගය අඩු කර නැවැත්වීම සදහා යතුරුපැදිය මාර්ගයේ පසෙකට ගනිමිනි.

 

“මොනවද කරන්නෙ? තොට පිස්සුද යකෝ?” සුරේෂ් එම වදන් පවසා අවසන් වීමටත් පෙර ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පැමිණ ඔවුන් දෙදෙනාව වටකර ගත්හ. මාර්ගයේ යන එන කිහිපදෙනෙකුද නතර වී සිදුවීම නරඹන්නට විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!