Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 1
ISBN 978-955-44323-2-1
“ඔයාගෙ රිපෝට් එක බලල දෙව්ගල වැඩ කරපු මේජර් කෙනෙක්ව ඇරෙස්ට් කරල කියල දන්නවද? නිශා විමසුවේ සිය දෙනෙත පරිගණක තිරයෙන් ඉවතට ගෙන ආකාශ් වෙත යොමු කරමිනි.
“ඔව්, මට ගජසිංහ කිව්ව. කොහොමත් එතන හිටපු ගොඩක් අයගෙන් ප්‍රශ්න කරන්න වෙයි.”
“නිශා, මං අද පොඩ්ඩක් වේලාසනින් යනව. අද හවස කැම්පස් එක පැත්තෙ යන්න ඕනෙ, පොඩි වැඩකට.”
ආකාශ් පැවසුවේ විමුක්ති ස්වාමීන් වහන්සේව මුණගැසීමේ උවමනාවෙනි. දෙව්ගල විහාරයේ පැවැත්වූ කඨින පිංකමෙන් පසුව උන්වහන්සේ ඊයේ දිනයේ නැවත කොළඹ වැඩම කළ බව ආකාශ්ට දැනුම් දී තිබුණි. එම නිසා ගෝතම ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද පුස්කොළ පොත් වල ඇති කරුණු දැන ගැනීමට ඔහු සිටියේ නොඉවසිල්ලෙනි.
“එහෙමද? මං මේ පොඩි වීඩියෝ එකක් ඔයාට පෙන්නන්නයි හැදුවෙ. කමක් නෑ. ඔයා දැන් යන්න. අපි මේක හෙට බලමු.” නිශා පැවසුවේ සිය දෙනෙත නැවතත් පරිගණක තිරය වෙත යොමු කරමිනි.
“වීඩියෝ එකක්? මොකක් ගැනද?” විමසූ ආකාශ් හුන් තැනින් නැගිට නිශා වෙත ගොස් පරිගණක තිරය දෙස බැලුවේය.
“මට මේක ගජසිංහ පෙන්නුවෙ. මේක ටිකක් අමුතු කේස් එකක්. රත්තරන් සාප්පුවක් කොල්ලකාල. මේ හොරා තමයි ටිකක් අමුතු. පොලීසිය මේ කේස් එක මෙහෙට දාල තියෙන්නෙත් ඒ හින්දද කොහෙද?”
“ඒ කිව්වෙ?”
“මේක බලන්නකො.” ඇය පැවසුවේ අදාළ වීඩියෝව පෙන්වමිනි.
එය එක්තරා ස්වර්ණාභරණ අලෙවි සැලක ආරක්ෂක කැමරා වල සටහන් වූ රූප රාමු පෙළකි. දිනය මීට සතියකට පමණ පෙර දිනයක්ද, වේලාව පාන්දර හතරයි දොළහ ලෙසද රූප රාමුවේ පසෙක සටහන්ව තිබුණි.
පළමු රූප රාමු පෙළ සාප්පුවේ ඉදිරිපස කැමරා වලින් හසු වූ දර්ශනයකි. යකඩ කම්බි වලින් සෑදූ ශක්තිමත් දොරක් වසා තිබූ හෙයින් ඒ මොහොතෙහි සාප්පුව තුළ කිසිවෙකුත් නොසිටියේ යැයි සිතිය හැක. නමුත් හදිසියේම හිස් වැස්මකින් මුහුණ ආවරණය වූ මිනිසෙකු යකඩ දොර වෙත පැමිණියේය. තත්පර කිහිපයක් ඔහු වටපිටාව නිරීක්ෂණය කරමින් සිටියේ වංචා සහගත කටයුත්තකට අර අදින්නාක් මෙනි. නමුත් මීළග මොහොතේ එම මිනිසාගේ ක්‍රියාව දුටු ආකාශ්ගේ දෙනෙත විස්මයෙන් ඇලලී ගියේය. තම දෑතින් දොරෙහි වූ යකඩ කම්බි දෙකක් අල්ලාගත් ඔහු ඒවා දෙපසට ඇද්දේය. පුදුමයකි! ආරක්ෂාවට යෙදූ එම ඝනකම් යකඩ කම්බි දෙපසට නැවී ගියේ ඉරටු මෙනි. දෑතේ ශක්තියෙන් නොව උපකරණ යොදාගෙන වූවද සාමාන්‍යය මිනිස් ශ්‍රමයෙන් මෙවැනි ක්‍රියාවක් සිදුකළ නොහැක. මෙම අබිරහස් පුද්ගලයා අසාමාන්‍යය කායික ශක්තියකින් හෙබි අයෙකු විය යුතුය.
දෙවන රූප රාමු පෙළ හසු වී තිබුණේ සාප්පුවේ ඇතුලත සවිකර තිබූ කැමරාවකිනි. හිස් වැස්ම ලා ගත් පුද්ගලයා හැර වෙනත් කිසිවෙකු එහි නොසිටියේය. ඔහු ස්වර්ණාභරණ දමා තිබූ විදුරු සේප්පු වලට සිය දෑතින් පහර දෙමින් කඩා බිද දමන්නට විය. සියල්ල කඩා බිද දමා එහි වූ රන් ආභරණ එකතු කර ගැනීමට ඔහුට ගත වූයේ සුළු කාලයකි.
රූප රාමුවේ අවසන් තත්පර කිහිපයේදී තවත් අසාමාන්‍යය දෙයක් සිදුවිය. පුදුමයකි! හොරා සුළගේ ගසා ගියාක් මෙන් එක්වරම අතුරුදහන් විය. මෙම සිද්ධිය තේරුම් ගැනීමට අපහසු හෙයින් රූප රාමු පෙළෙහි කිසියම් දෝෂයක් ඇත් දැයි සෙවීමට නැවත එය ආපසු පෙන්වන මෙන් ආකාශ් ඉල්ලා සිටියේය.
නැත. කිහිපවාරයක්ම නැවත නැවතත් නැරඹුවද රූප රාමුවේ කිසිදු දෝෂයක් සොයා ගැනීමට ඔවුන් දෙදෙනාට නොහැකි විය. තිරයේ කෙළවරක සටහන් වූ කාල මාපකය සාමාන්‍යය රිද්මයෙන් යුතුව ගලා යන්නට විය. රූප රාමු පෙළ සංස්කරණය කර ඇති බවක්ද පෙනෙන්නට නැත.
ඉන්පසුව ඔවුන් රූප රාමුවේ දර්ශන වේගය පරිගණකය ආධාරයෙන් හැකි තාක් අඩු කර නැවත නැරඹුවෝය. එවිට අද්භුත මිනිසාගේ ක්‍රියාව පැහැදිලි වුවද එය විශ්වාස කිරීමට අපහසු දෙයකි.
සාප්පුවෙන් පිටතට යන අවස්ථාවේදී එම මිනිසා ආරක්ෂක කැමරාවට පැහැදිලිව හසු නොවෙන තරම් අධික වේගයකින් චලනය වී ඇත. දර්ශන වේගය අවමයට ගත් මොහොතේ පවා ඔහුගේ රූපය දිස් වූයේ අවතාරයක් මෙනි. පෙනෙන දෙය සත්‍යයක් නම් මෙම අද්භුත පුද්ගලයා සාමාන්‍යය මනුෂ්‍යය හැකියාවන් සහ සීමාවන් ඉක්මවා යන්නෙකු විය යුතුය.
නැරඹීම අවසානයේදී ඔවුන් දෙදෙනාම සුළු මොහොතක් නිහඩව සිටියේ කිව යුත්තක් සිතා ගත නොහැකි හෙයිනි. බටහිර ටෙලි නාට්‍යය හෝ චිත්‍රපට වල හැර මෙවැනි සිදුවීම් සැබෑ ලෝකයේදී සිදුවිය හැකිද? නිශා තවමත් රූප රාමු පෙළෙහි වූ දර්ශන විශ්වාස කිරීමට මැලි විය. නමුත් ආකාශ්ගේ සිතට පැමිණි අදහස ඊට හාත්පසින්ම වෙනස් එකකි. සිද්ධිය දුටු අවස්ථාවේදීම ඔහුගේ සිතට පැමිණි පළමු අදහස වූයේ ‘තමන් පමණක් නොවේ’ යන හැගිමයි. තමා වැනිම අසාමාන්‍යය හැකියා ඇති තවත් පුද්ගලයෙකු මෙලොව සිටින බව රූප රාමු පෙළට අනුව පැහැදිලිය. නමුත් ඔහු කවුද? ඔහුට මෙම හැකියාව ලැබී ඇත්තේ කෙසේද? මොහුත් තමා මෙන් විකිරණ ක්ෂේත්රයකට නිරාවරණය වූ අයෙක්ද? මේ සියල්ල දැන ගැනීමට නම් ඔහුව සොයා ගත යුතුය. නමුත් සෙවීම එතරම් පහසු නොවනු ඇත. එසේම පෙනෙන ආකාරයට ඔහු එතරම් යහපත් පුද්ගලයෙකුද නොවේ.
* * *
විමුක්ති ස්වාමීන් වහන්සේව මුණගැසීම සදහා ආකාශ් කොළඹ විශ්ව විද්‍යාලයට ළගා වන විට සවස හතරයි තිහ පසු වී තිබුණි. තමාගේ විපර්යාසයන් පිළිබදව උන්වහන්සේට කියම්දෝ නොකියම්දෝ යන දෙබිඩි සිතිවිල්ලෙන් ඔහු පසු විය. උන්වහන්සේ ඍජු, අවංක හා සත්‍යවාදී අයෙකු බව ඔහුට හැගුණද තවමත් තමන් උන්වහන්සේව හදුනාගෙන සති දෙකක්වත් ගත වී නැත. එසේම තමන්ගේ විපර්යාසයටද සති දෙකක් ගත වී නොමැත. තවමත් කළ හැකි දේ සහ නොකළ යුතු දේ පිළිබදව තමන්ට අවබෝධයක් නොමැත. එහෙයින් මේ පිළිබදව උන්වහන්සේට පැවසීම කල් දැමිය යුතු යැයි ඔහු සිතුවේය.
“ආ… මහත්තය ආවද? පරක්කු වෙච්ච හින්ද මං වැඩේ පටන් ගත්ත.” උන්වහන්සේ පැවසුවේ කියවමින් සිටි පුස්කොළ පොත පෙන්වමිනි.
“එහෙමයි, හදිසි වැඩක් තිබුණ. ඉතින්, ඔබ වහන්සේට මොනව හරි අලුත් දෙයක් හොයාගන්න පුළුවන් වුණාද?”
“තාම නම් නෑ. මාත් දැන් මේ ටිකකට කලින් තමයි වැඩේ පටන් ගත්තෙ. මෙන්න මේ පොත කියවල බලන්නකො.” උන්වහන්සේ ආකාශ්ට සටහන් පොතක් දුන් සේක.
“ඕකෙ තියෙන්නෙ මම අපේ සර් එක්ක එකතු වෙලා දැනට කියවල ඉවර කරපු පුස්කොළ පොත් වල තිබිච්ච දේවල් අපිට තේරෙන සිංහලෙන් ලියල. හැබැයි සමහර තැන් වල හිස් පිටු තියෙයි. ඒ අපිට තේරුම් ගන්න බැරුව පස්සෙ ලියන්න කියල ඉඩ තියපු තැන්.”
ආකාශ් සටහන් පොත කියවීම ඇරඹුවේය. එහි වැඩිපුරම වූයේ ගෝතම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණුය. නමුත් ඔහු සොයන ආකාරයේ සිත්ගන්නා සුළු සටහනක් පිටු කිහිපයක් කියවීමෙන් අනතුරුව ඔහුට හමුවිය. එය විශ්වයේ විවිධත්වය පිළිබදව නාදුනන ජීවින් ගෝතම ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡාවකි.
“ස්වාමීණි, අපේ මව් ලෝකය මේ ග්‍රහලෝකෙ ඉදන් බොහෝම දුරින් පිහිටල තියෙන්නෙ. ආසන්න වශයෙන් මහා සූර්යය මිනුම් ඒකක විසි දෙකක් විතර ඈතින්.”
“මහා සූර්යය මිනුම් ඒකක කියල ඔබ අදහස් කළේ කොපමණ දුරක්ද?”
“ස්වාමිණි, මහා සූර්යය කියල අපි අදහස් කළේ විශාල තාරකා වලට. ඒ තාරකාවක් මේ ග්‍රහලෝකය ආලෝකවත් කරන තාරකාව වගේ ප්‍රකෝටි කෝටි වාරයකට වඩා විශාලයි. අප දන්නා හැටියට කළු කුහර වලට අමතරව මන්දාකිණියේ සමතුලිතතාවය පවත්වා ගන්න තමයි මහා සූර්යයො ඇති වෙලා තියෙන්නෙ. මේ කියපු මහා සූර්යයො මන්දාකිණියෙ හැමතැනම නෑ. ඒව පිහිටල තියෙන්නෙ නියමිත තැන් වල. ඒවා දෙකක් අතර තියෙන දුර පරතරය බොහෝ දුරට සමානයි. ඒ දුර පරතරය තමයි අපි මහා සූර්යය මිනුමක් විදයට ගන්නෙ. මන්දාකිණිය තුළ විශාල දුරවල් පිළිබදව අවබෝධයක් ඇති කර ගන්න අපි මහා සූර්යය මිනුම් ඒකක යොදා ගන්නවා. මේ සූර්යයන් දෙදෙනෙකු අතර ගමන් කරන්න ආලෝකයට මනුෂ්‍යය වර්ෂ ලක්ෂ සියයක් විතර ගත වෙනව.”
“ඔබ ගෙවා ඇති විශාල දුර මට වැටහෙනව. නමුත් මා දන්න තරමින් ඔබේ උපරිම ආයුෂ ආසන්න වශයෙන් මනුෂ්‍යය වර්ෂ වලින් දසදහසක් පමණයි. ඉතින් මේ දුර කාල ගැටලුව විසදා ගැනීමට ඔබ යොදාගත් උපක්‍රමය කුමක්ද?”
“ස්වාමීණී, ඔබ වහන්සේ පෙර දිනයක දේශනා කළ පරිද්දෙන්ම මේ මුළු මහත් විශ්වයම සෑදී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල ධාතු සතරෙන්. එය විශ්ව ධර්මතාවයක්. ඒ වගේම මේ විශ්වයේ කිසිම තැනක හිස් තැනක්, ආරම්භයක් හෝ අවසානයක් නෑ. හැම තැනම මේ මූලධාතු සතර එකකින් තවදෙයකට පරිවර්තනය වෙමින් ක්‍රියා කරනවා. අප දන්නා හැටියට විශ්වයේ සිදුවන සෑම භෞතික ක්‍රියාවකටම හේතුව ඒකයි. ඒ නිසා මේ විශ්වයේ ඕනෑම තැනක ගැබ් වෙලා තියෙන ශක්තිය අපරිමිතයි, අනන්තයි. අප එය හදුන්වන්නෙ විශ්ව ශක්තිය නමින්. මේ විශ්ව ශක්තිය ප්‍රයෝජනයට ගත් විට අපගේ ගමන් වේගයට සීමාවක් නෑ. අනිකුත් භෞතික සාධකත් සැලකිල්ලට ගත් විට අපට අලෝකයේ වේගය මෙන් කෝටි වාරයකටත් වඩා වේගයකින් ගමන් කරන්න පුළුවන්. එවිට අපගේ මව් ග්රහලොවත් ඔබ වහන්සේ වාසය කරන මේ ග්‍රහලෝකයත් අතර දුර පියවීමට ගතවෙන්නෙ සුළු කාලයක්.”
“ස්වාමීණී, විශ්ව ගමන් වලදි අපිට දුර සහ කාලය එතරම් ගැටලුවක් නොවුණට අප ගමන් කරන යාත්‍රා වලට ගැටලු මතුවෙනවා. කිසිම ඝන මූලද්‍රව්‍යයක් අපට ගමන් කිරීමට අවශ්‍යය වේගයට ඔරොත්තු දෙන්නෙ නෑ. එම නිසා අපගේ යාත්‍රා ඝන මූලද්‍රව්‍යය වලින් නිපදවන්නෙ නෑ. ඒ සෑම එකක්ම නිපදවන්නෙ ශක්ති ක්ෂේත්රයක් හැටියට. එවැනි ශක්ති ක්ෂේත්‍ර වලින් නිපදවූ යාත්‍රාවකට බොහෝ අවස්ථාවන් වලට මුහුණ දිය හැකියි. නමුත් ආලෝකයේ වේගය මෙන් තුන් කෝටි වාර වේගයකට එයටත් මුහුණදිය නොහැකියි. ඒ වේගයේදි ශක්ති ක්ෂේත්‍ර බිත්ති බිද වැටෙනවා. එයට හේතුව අප දන්නා විද්‍යාවෙන් තවම අවබෝධ කර ගත නොහැකියි.
“ඝන ද්‍රව්‍යය වලින් සෑදුණු ඔබේ ශරීර ඔබ ගමන් කරන විශාල වේගයට ඔරොත්තු දෙනවද?”
“ස්වාමීණි, ඇත්ත වශයෙන්ම නෑ. ගමන් කාලය තුළදී අප විසින් උපකරණ භාවිතයෙන් ශරීරය විශේෂ අවස්ථාවකට පත් කරනව. එහිදී අප සිදුකරන්නෙ ඝන ශරීරය සම්පූර්ණයෙන්ම ශක්තියක් බවට පරිවර්තනය කර ශක්ති ක්ෂේත්‍ර වලින් සෑදූ උපකරණ වල ගබඩා කිරීමයි. මේ අවස්ථාවේදී අපගේ සිරුරු වලට ඝන පැවැත්මක් නෑ. එවිට එය කෘතිම තත්ව යටතේ පාලනය වන ශක්තියක් පමණයි. එලෙස ශක්තිය ලෙස පවතින කාලය තුළ අපගේ සිරුරු තුළ භෞතික ක්‍රියාවලියක් සිදුනොවන නිසා දිරායෑමක් හෝ වයසට යාමක් සිදුවෙන්නෙ නෑ. නමුත් ගමන අවසාන වූ පසු අපට ඒ ගබඩා කළ ශක්තිය නැවත ඝන සිරුරක් බවට පරිවර්තනය කළ හැකියි. මේ ශක්ති අවස්ථාවේදි අපගේ මනසත් ඒ ගබඩා කළ ශක්තිය ඇසුරු කරගෙනම තමයි පවතින්නෙ. නමුත් අපට කිසිදු භෞතික ක්‍රියාවක් සිදුකළ නොහැකියි. මනසේ පැවැත්මට ඒ ගබඩා කරපු ශක්තිය යොදාගන්නවා. එම නිසා ගමන් කරන කාලය තුළදී අපගේ සන්නිවේදනය සහ යානාවේ ගමනට අවශ්‍යය වෙන අමතර පාලනය මානසික විධානයන් අනුව තමයි සිදුවෙන්නෙ. අපගේ මානසික විධානයන් ග්‍රහණය කර ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට වෙනම උපකරණ කිහිපයක් තිබෙනවා. අප ඔබවහන්සේ සමග පළමු වතාවේ මනසින් සන්නිවේදනය කළේ මෙවැනි අවස්ථාවක සිටින විටදීයි.”
“විශ්වය තුළ සතර මහා ධාතූන්ගේ වෙනස් වීම ශක්තියක් ලෙස පරිහරණය කිරීමට ඔබ යොදා ගන්නා විද්‍යාව කුමක්ද?”
සටහන අවසන් විය. පිටු කිහිපයක් ඉදිරියට පෙරළා බැලුවද නැවත එම සටහන ඇරඹෙන ස්ථානයක් සොයා ගත නොහැකි විය. ආකාශ් ඒ පිළිබදව විමුක්ති ස්වාමීන් වහන්සේගෙන් විමසුවේය.
“එතනින් එහාට ලියල තියෙන ඒව අපිට තේරුම් ගන්න බැරි වුණා. ඒකයි නවත්තල තියෙන්නෙ. ඔය වගේම තවත් එකක් තිබුණා. ආ…, මේ තියෙන්නෙ. මේකත් කියවල බලන්න.” උන්වහන්සේ පොතෙහි අග හරියේ වූ පිටුවක් පෙරළා දුන් සේක.
“ස්වාමීණී, අපට අත්දැකීමට ලැබුණ දේවල් සහ අප දන්නා විද්‍යාවට අනුව විශ්වය පුරාම විහිදී ඇති ජීවින්ගේ විවිධත්වය අප්‍රමාණයි. ක්ෂුද්‍ර මට්ටමේ ජීවින්ගේ සිට සුවිසල් කදු වැනි ජීවීන් අප දැක තිබෙනවා. ඒ වගේම ඉතාමත් නොදියුණු ශිෂ්ඨාචාර මෙන්ම අපට වටහා ගත නොහැකි තරම් දියුණු ශිෂ්ඨාචාර අප දැක තිබෙනවා. වරක් අපේ ගවේෂණ කණ්ඩායමකට එවැනි අති දියුණු ජීවීන් පිරිසක් සමග සන්නිවේදනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ පෘථවි වර්ෂ දහසකට පමණ පෙර අතීතයේදි. අපට බුද්ධ ධර්මය පිළිබදව මුලින්ම දැන ගැනීමට හැකි වූණේ ඒ අවස්ථාවෙදි.”
“ඔබ පැවසූ ඒ අති දියුණු ජීවීන් තෙරුවණ් සරණ ගිය පිරිසක්ද?”
“එහෙමයි ස්වාමීණි, නමුත් ඔවුන් මුලින්ම බුද්ධ ධර්මය අවබෝධ කරගෙන තිබුණෙ ගෞතම බුද්ධ ශාසනයට වඩා කල්ප කිහිපයකට පෙර අතීතයේ වැඩ විසූ වෙනත් බුදුරජාණන් වහන්සේ නමකගෙ ශාසනයකින්. ඒ අතීතයේදි ඔවුන්ද අප වැනි භෞතික ශරීර හිමි ජීවින් කොට්ඨාශයක්. නමුත් දැන් ඔවුන් භෞතික පරිණාමය ඉක්මවා ගිහින් ශක්ති පරිණාම තත්වයකට පැමිණ සිටිනවා. ඔවුන් අවකාශයේම පෑහි සිටින විශ්ව ශක්තියේම කොටසක්. එම නිසා මන්දාකිණියේ චලනයන් පවා යම් තාක් දුරකට පාලනය කරන්න ඔවුන්ට පුළුවන්.”
“ලෝකය ඉක්මවා ගිය සම්බුද්ධ දේශනාවන් ගැන පළමු ඉගිය අපට දැන ගැනීමට ලැබුණේ ඔවුන්ගෙන්. විශ්වයේත්, ජීවින්ගේත් කෙළවරක් නොමැති නිසා එය සෙවීම අතහැර දමා චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උත්සහ කරන ලෙස ඔවුන් අපට පවසා සිටියා. මේ ග්‍රහලොවෙහි නිර්මල බුද්ධ ධර්මය අවබෝධ කරගත් පිරිසක් සිටින බව ඔවුන් අපට පැවසුවා. ඒ අනුව තමයි අප මෙහි පැමිණියෙ.”
සටහන අවසන් විය. ආකාශ්ගේ සිතිවිලි බොහෝ ඈතට විහිදී ගියේය. සියවස් ගණනාවකට පෙර අතීතයේ වැඩ විසූ අභිඥා ලාභී ස්වාමීන් වහන්සේ නමක් විසින් පුස්කොළ පොතක ලියන ලද මෙම විස්තරයෙන් හෙතෙම මහත් සේ පුදුමයට පත් විය. වර්තමාන විද්‍යාවට පවා මෙහි සදහන් කරුණු බොහෝමයක් තවම හසු වී නොමැත. විද්‍යාඥයින් වූවද සිදුකරන්නේ මෙවැනි කරුණු ගැන මත පළ කිරීම පමණකි. මේ පිළිබදව දිගින් දිගටම සොයා බැලීමට අදිටන් කරගෙන සිටියද ආරම්භ කළ යුත්තේ කොතැනින් දැයි නිශ්චිත අදහසක් ඔහු සතුව නොතිබුණි.
“මහත්තයට පුදුමයි නේද?” ආකාශ් සටහන දෙස බලාගෙන කල්පනා කරනු දුටු විමුක්ති ස්වාමීන් වහන්සේ විමසූ සේක.
“හිතා ගන්නවත් බෑ. මේකෙ තියෙන සමහර දේවල් අපි දන්න විද්‍යාවේ තාම හිතලවත් නැතුව ඇති. ඔබවහන්සේට මේ පුස්කොළ පොත් වල තියෙන ඉතිරි ටික තේරුම් ගෙන ලියාගන්න බැරි වෙයිද?”
“ඒක නම් හරියටම කියන්න බෑ. ලියල තියෙන සමහර වචන ගැන අපිට කිසිම අදහසක් ගන්න බෑ. මොකද මට තේරුණ විදියට නම් දැනට අපිට තේරුම් ගන්න බැරි තැන් වල ලියල තියෙන්නෙ මිනිස්සු තවම හිතලවත් නැති දේවල්. ඉතින් ඒවට හරියන වචනවත් අපේ භාෂා වල නෑ.”
“මට තේරෙනවා.” ආකාශ් කල්පනාකාරී හඩකින් පැවසුවේ තත්පර කිහිපයක නිහැඩියාවකින් පසුවය.
“අපි මේ ගැන හොයන්න පටන් ගන්නව නම් ඔබවහන්සේට හිතෙන විදියට අපි කොහෙන්ද පටන් ගන්න ඕනෙ?”
“මහත්තය මගෙන් ඇහුවෙ උත්තරයක් හිතාගන්න බැරි ප්‍රශ්නයක් නෙව.” විමුක්ති තෙරුණ් සිනාසෙමින් පැවසූ සේක.
“මේක අපිට දැකල, අතගාල හොයන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ මහත්තයො. ඒ හින්දා ඉතින් දැනට අපිට කරන්න තියෙන්නෙ මේ පුස්කොළ පොත් ටික පුළුවන් තරමක් කියවල තේරුම් ගන්න එක විතරයි.”
නමුත් ආරම්භය සදහා තවත් ක්‍රමයක් ආකාශ්ට ඇත. ඒ තමා ගැන සෙවීමයි. එදා දෙව්ගල පර්වතය මුදුනේදී තමාට සිදු වූයේ කුමක්ද? එය ඉබේ සිදු වූවක්ද? එසේත් නැතිනම් කිසියම් නොදන්නා බලවේගයක් විසින් උවමනාවෙන් කරන ලද්දක්ද? එලෙස නොදන්නා බලවේගයක් විසින් තමාට මෙම විස්මිත හැකියාවන් ලබා දුන්නේ නම් ඔවුන්ගේ අරමුණ කුමක්ද? එසේම තමන් තවදුරටත් මනුෂ්‍යයෙක්ද යන සැකයත් ආකාශ් තුළ ඇති වී තිබුණි.
තවත් මිනිත්තු කිහිපයක් විමුක්ති ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරමින් සිටි ආකාශ් එතැනින් පිට වූයේ සිතෙහි ඇති වූ අලුත් අදහසක්ද සමගිනි.