Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 10
ISBN 978-955-44323-2-1
“නෑ. නෑ. බයවෙන්න එපා. මං ඔත්තුකාරයෙක් නෙමෙයි. මට ඔයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් කලබල නොවී මං කියන දේ අහන්න. එතකොට ඔයාට තේරෙයි ඇයි මං ආවෙ කියල.” ආකාශ් පැවසුවේ අඩියක් පසුපසට තබමිනි.
ඉන්පසුව ඔවුන් අතර වූයේ සුළු නිහඩතාවයකි. රැල්ල ගසන හඩ වඩාත් තීව්‍ර වී ඇසුණේ රාත්‍රී කාලයේ වෙරළට වඩදිය ගසන නිසා විය යුතුය. දැන් මෙම ස්ථානයේ කිසියම් සටනක් ඇති වුවහොත් එය දැකීමට කිසිවෙකුත් නොසිටියේය. ජයග්‍රාහකයා ඔල්වසර හඩකින් තොරවම අතුරුදහන්වනු ඇති අතර පරාජිතයාගේ මළසිරුරද කිසිදිනක සොයාගත නොහැකි වන අයුරින් අතුරුදහන් වනු ඇත. නමුත් එවැනි සටනක් ඇති නොවිය. ඔවුන් නිහඩවම ඔවුන්ගේ හැඩ රුව අධ්‍යයනය කරමින් ඔවුනොවුන් දෙසම බලා සිටින්නට විය. නිහඩතාවය බිද දැමුවේ මුහුදු රළ බිදෙන හඩ පමණි.
“ඔයාට තියෙන ප්‍රශ්නෙ මං කොහොමද ඔයාගෙ පස්සෙන් පැන්නුවෙ කියන එකනෙ? හරි… මං ඔයාට ඒක පෙන්නන්නම්. හැබැයි කලබල වෙන්න එපා. මං ආවෙ ඔයත් එක්ක කතා කරන්න විතරයි…”
පැවසූ ආකාශ් මීලග මොහොතේ ඔහු සතු සුවිශේෂි සාමාන්‍යය පියවි ඇසට නොපෙනෙන වේගයෙන් එම මිනිසා වටා වට කිහිපයක් ගොස් නැවතත් සිටි තැනම නතර විය.
“එහෙමයි මං ඔයාගෙ පස්සෙන් ආවෙ. මං හිතන්නෙ… අපි දෙන්නගෙ පොඩි සමානකමක් තියෙනව.”
ඔහු ඇසිපිය නොහෙලා ආකාශ් දෙස බලා සිටියේය. කලින් දෙනෙතහි වූ සැකමුසු බැල්ම අතුරුදහන්ව ගොසිනි. දැන් එහි තිබුණේ සුහද බවකි.
“මම දයාන්. ඇවිල්ල වාඩි ගන්න. මට පේන්නෙ අපිට කතා කරන්න සෑහෙන්න දේවල් තියනව වගේ.”
බලාපොරොත්තු නොවූ මේ සුහද ඇරයුමින් ආකාශ්ගේ සිතෙහි ඇති වූයේ සැනසුමකි. නමුත් ඔහු මේ නොදන්නා අමුත්තාව විශ්වාස නොකළේය. මොහු ටෝනිට පැවසූ වදන් ඔහු හොදින් අසා සිටියේය. එමෙන්ම ස්වර්ණාභරණ සාප්පුව කැඩූ පුද්ගලයා මොහු නම්? කරුණු කාරණා එසේ නම් මොහු එතරම් යහපත් අයෙකු නොවනු ඇත.
ලැබුණු ආරාධනාවට අනුව ආකාශ් ගරා වැටුනු කොන්ක්‍රීට් කණුවක් මත ඉද ගත්තේය. දයාන් නමින් හදුනාගත් මිනිසාද ඒ අසලම වූ කණුවක් මත ආකාශ්ට මුහුණලා අසුන් ගත්තේය.
“කොහොමෙයි මං ගැන දැනගත්තෙ? කවුරු හරි කිව්වද? නැත්තං අහම්බෙන් අද මාව දැක්කද?”
“ටෝනිව පළවෙනි සැරේ පැරැද්දුවට පස්සෙ එතන ගොඩක් අය ඔයා ගැන කතා වුණා. එතකොටයි දැනගත්තෙ. එදා ඉදන් හෙව්ව. අද තමයි හම්බවුණේ.”
පැවසූ ආකාශ් ස්වල්ප මොහොතක් දයාන් දෙස බලා සිටියේය. ඔහු තමා සමග දයාන්ව සිතින් සැසදීමට උත්සහ කළේය. බැලු බැල්මට ඔහු තමාට වඩා අගල් දෙකක් පමණ උසින් අඩුය. එසේම මුහුකුරා ගිය පෙනුමට අනුව ඔහු තමන්ට වඩා අවුරුදු පහළොවක් පමණ වයසින් වැඩි බවද සිතිය හැක. නමුත් ආකාශ්ට දැනගැනීමට අවශ්‍යය වූයේ මේ කිසිවක් නොව දයාන් සතු විශේෂ හැකියාවන් පිළිබදවය. එම පැනය ආකාශ් ඇසීමට සිතූ විටම දයාන් නැවතත් සිය හඩ අවදි කළේය.
“ඔයාට කොහොමෙයි ඔය බලේ ලැබුණෙ? පොඩි කාලෙ ඉදන් ඔහොමද? නැත්තං…”
“නැහැ. මට දැන් මෙහෙම වෙලා මාස දෙකක් විතර ඇති. එතකොට ඔයාට?”
“අවුරුදු හතරාමාරක් පහක් විතර.”
“එහෙමද?” පැවසූ ආකාශ්ගේ දෙතොලට මද සිනහවක් නැගුණි. මේ අයුරින් මිනිසුන් විපර්යාසයට ලක් වීම බොහෝ කාලයකට පෙර සිටම සිදුවන්නේ දැයි ඔහුට ප්‍රශ්නාර්ථයක් ඇති විය.

“ඉතින් ඔයාට කොහොමද ඒක ලැබුණෙ?” ආකාශ් විමසුවේය. ඔහුට දැන ගැනීමට අවශ්‍යය වූයේ තමාට මුහුණ පෑමට සිදුවූ අත්දැකීමට සමාන අත්දැකීමක් දයාන්ටද මුහුණ පෑමට සිදු වූණේ දැයි කියාය.
“ඒක නම් විස්තර කරන්න ඩිංගක් අමාරුයි. වෙච්ච දේවල් ගැන මට දැන් හරියට මතකත් නෑ.”
“ඒ කිව්වෙ? නිකං සිහිනැති වුණා වගේ මොකක් හරි වුණාද?”
“සිහිනැති වුණාද කියල නම් මට හරිහැටි නිච්චියක් නෑ. හැබැයි මට සැර නින්දක් ගියා. මයෙ හිතේ මළා වගේ පැය ගාණක් නින්ද යන්න ඇති. එදා මගේ වයිෆ් හොදටම බය වෙලා. කොච්චර නැගිට්ටන්න හැදුවත් නැගිට්ටෙ නෑලු. කොහොම හරි මං ආපහු ඇහැරෙනකොට හිටියෙ ඉස්පිරිතාලෙ ඇදක් උඩ. මං එක දිගට දවසක් විතර නිදාගත්තලු.”
“නින්ද යන්න කලින් වෙන මුකුත් විශේෂ දෙයක් වුණේ නැද්ද? නිකං කරන්ට් එකක් වැදුණ වගේ…”
“කරන්ට් එකක්?”
“ඔව්. මටත් ඔය විදියට නින්ද ගියා. එහෙම වුණේ කරන්ට් එකක් වගේ එකක් වැදිලා.”
දයාන් මවිතයෙන් යුතුව බලා සිටියේ කිසිවක් වටහා ගැනීමට අපහසු වූ අයුරිනි.
“ඒ කිව්වෙ… ඔයාට මොකද වුණේ?”
ආකාශ් පිළිතුරු දීම ඇරඹුවේ තත්පර කිහිපයක් නිහඩව කල්පනා කිරීමෙන් පසුවය. මොහුට සියල්ල පවසනවාද නැද්ද යනුවෙන් ඔහු තුළ පැවතියේ අවිනිශ්චිත බවකි. දයාන් යනු කුමන අන්දමේ පුද්ගලයෙකු දැයි ආකාශ්ට පැහැදිලි අදහසක් නොවිය. එහෙත් ඔහුට පිළිතුරු අවශ්‍යය විය. එම නිසා හෙතෙම දීර්ඝ කතාවකට මුල පිරුවේය. තමාට දෙව්ගල පර්වතය මතදී මුහුණ දීමට සිදු වූ පැහැදිලි කළ නොහැකි සිදුවීම ගැන ආකාශ් විසින් දයාන්ට විස්තර කරන්නට විය.
දයාන් සියල්ල නිහඩව අසා සිටියේය. තමන් කිසියම් අයෙකුගේ හෝ කිසියම් දෙයක බලපෑමට ලක් වූ බව ඔහුද අනුමාන කළ දෙයකි. නමුත් ඒ කෙනා හෝ දෙය කුමක්ද යන්න ඔහුට අදහසක් නොවිය.
“එතකොට ඔයා හිතන්නෙ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ වෙන ලෝකෙක අය හින්ද කියලද?”
“මට වෙන මුකුත් හිතාගන්න බෑ. ඒකයි මං එහෙම කිව්වෙ.”
ඒ මොහොතෙහිම දයාන්ගේ ජංගම දුරකතනය නාද වූ හෙයින් ඔහු ඇමතුම ලබා ගත්තේය.
“උඹ කොහෙද ඉන්නෙ?”
ඇමතුම ලබා දුන් පුද්ගලයා කුමක් හෝ පවසන්නට ඇත.
“ආ… නෑ. නෑ. මෙයා අවුලක් නෑ. උඹ වරෙන්. මෙයාව අදුන්වල දෙන්නත් තියෙනව. මේ අපේ ජාතියේ කෙනෙක්.” දයාන් පැවසුවේ ආකාශ් දෙස බලමිනි.
ඉන්පසුව ඇමතුමේ අනිත් කෙළවරේ සිටි පුද්ගලයා පැවසූ යම් දෙයකට දයාන් සිනාසෙන්නට විය.
“හරි, හරි. උඹ එළියට වරෙන්කො.”
ඇමතුම විසන්ධි කළ දයාන් ආකාශ් දෙස බැලුවේය.
දැන් තව කෙනෙක් එයි. එයත් අපි වගේම…” දයාන්ට එම වැකිය කියා අවසන් කිරීමට ඉඩක් නොලැබුණි. ඔවුන් සිටි ස්ථානයට තවත් අයෙකු පැමිණියේය. අලුත් පුද්ගලයා හුරුබුහුටි පෙනුමක් ඇති තරුණයෙකි. බැලු බැල්මට මොහු තමන්ට වඩා වයසින් ලාබාල විය යුතු යැයි ආකාශ්ට හැගුණි.
“මේ කසුන්. මට ඔයාගෙ නම මතක නෑ. මොකද්ද නම කිව්වෙ?” දයාන් ඇසුවේය.
“මං ආකාශ්.”
තරුණයා සුහද සිනහවක් පාමින් ඉදිරියට පැමිණ ආකාශ්ගේ අතට අත දුන්නේය.
“අපි වගේ තව අය ඇති කියල මං මුල ඉදන්ම හිතුවා. මං දයාන් අයියටත් ඒ ගැන කලින් කියල තියෙනව.”
“තවත් අය ඉන්නවද?” ආකාශ් විමතියෙන් යුතුව දයාන් දෙස බලමින් ඇසුවේය.
“දැනට නම් දන්නෙ අපි තුන්දෙනා විතරයි. හැබැයි ඔයාව හම්බවුණාට පස්සෙ තව කට්ටිය ඇති කියල දැන් නම් මටත් හිතෙනවා.”
කසුන් නමින් හදුනාගත් තරුණයා ආකාශ් සිතූ පරිදිම ඔහුට වඩා අවුරුද්දකින් ලාබාල අයෙකු විය. ඔහුට මෙම හැකියාව ලැබී ඇත්තේ මීට වසර දෙකකට පමණ ඉහතදීය. පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවෙකු වූ ඔහුව දයාන්ට හමු වී ඇත්තේ අහම්බෙන් සිදු වූ එක්තරා සිදුවීමක් හේතුවෙනි.
මීට වසරකට පමණ පෙර එම සිදුවීම සිදු වූ දිනය ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණු දවසක් විය. කිසියම් කටයුත්තක් සදහා මාර්ගයේ ඇවිදිමින් සිටි දයාන් පාර මාරු වීම සදහා කහ ඉරක් ළග නතර විය. මාර්ගය දෙපස බැලූ ඔහුට වම් පසින් අධික වේගයෙන් පැමිණෙන බස් රථයක් දක්නට ලැබීම හේතුවෙන් එය පසුවන තුරු ඉවසා බලා සිටියේය. නමුත් ඒ මොහොතෙහිම කහ පැහැති වැහි කබායක් ඇද සිටි කුඩා දරුවෙක් තම මවගේ හඩට අවනත නොවෙමින් කහ ඉර මතින් මාර්ගයේ අනිත් පැත්තට දුවන්නට විය. දරුවා දිගටම දිවීමෙහි යෙදුණේ නම් බස් රථය පැමිණිමට පෙර පාරේ අනිත් පසට යනු ඇත. නමුත් අවාසනාවක මහත…! කහ ඉර මත රැදි වර්ෂා ජලය හේතුවෙන් ළමයාව කහ ඉර මත ලිස්සා වැටුණි. අධික වේගයෙන් පැමිණෙන බස් රථයට නතර කර ගැනීමට අවස්ථාවක් නැත. තිරිංග තද කළද මාර්ගයේ වූ ලිස්සන සුළු ස්වභාවය හේතුවෙන් එය නතර වීම උගහටය. මීළග නිමේෂයේදි සිදුවීමට නියමිතව තිබුණේ වටිනා ජීවිතයක් අකාලයේ නැති වී යාමටයි. නමුත් තමා මෙහි සිටියදී එවැන්නක් සිදුවිය යුතු නැත. දයාන් තම වේගවත් චලන හැකියාව යොදා ගනිමින් ළමයා වෙත ළං වූවා පමණි. හාස්කමක් සිදුවිය…! කොහේදෝ සිටි කෙනෙක් දයාන්ට පෙර එතැනට පැමිණ ක්ෂණිකව වැටුණු ළමයාව වඩා ගත්තේය. දයාන් ඔහුගේ සිරුරෙහි ගැටීම වළක්වා ගත්තේ කෙස් ගහක තරම් වූ සුළු පරතරයකිනි. මීළග මොහොතේ ඇසිපිය සලන කාලයටත් වඩා අඩු කාලයක් තුල ළමයාව මව ළගින් තැබූ ඒ නාදුනන අමුත්තා ක්ෂණිකවම ඔවුන්ගේ දර්ශන පථයෙන් අතුරුදහන් විය.
වෙනත් අය නොදුටුවද ඔහු ගිය දිශාව දයාන් දුටුවේය. තවත් ප්‍රමාද නොවූ දයාන් ඔහු පසුපස ගොස් කෙසේ හෝ ඒ නාදුනන අමුත්තාව නතර කර ගැනීමට සමත් විය. ඒ කසුන් නමැති වයස විසි ගණන් වල පසු වූ ලාබාල තරුණයෙකි. සාමාන්‍යය මිනිසුන්ට නොමැති අසාමාන්‍යය හැකියාවක් සහිත මෙලොව වෙසෙන එකම පුද්ගලයා තමන් පමණක් නොවන බව එදින දයාන්ට එත්තු ගියේය.
“අපි මෙහෙම හරි හම්බවෙච්ච හින්ද දන්නවා. ඒත් අපි වගේ අය තව කොච්චර හැංගිල ඉන්නවද දන්නෑ.” ඔවුන්ගේ කතාව අසා සිටි ආකාශ් පැවසුවේ සුළු මොහොතක් නිහඩව කල්පනා කිරීමෙන් අනතුරුවය.
“ආ… තව මට ලැබිච්ච පොඩි වීඩියෝ එකකුත් තියෙනව. මේකත් බලන්නකො.” පැවසූ ආකාශ් තම ජංගම දුරකතනය අතට ගත්තේය. එහි වූ ස්වර්ණාභරණ සාප්පුව කොල්ලකන වීඩියෝව තෝරාගත් හෙතෙම එය දයාන්ට සහ කසුන්ට නැරඹීමට දුන්නේය.
ඔවුන් දෙදෙනා එය නරඹන අතරේ ආකාශ් ඔවුන්ගේ මුහුණු වලින් පිළිඹීබු වන හැගීම් නිරීක්ෂණය කරන්නට විය. රූප රාමුවේ සිටි මංකොල්ලකරුගේ යන්තමින් පෙනෙන හැඩ රුවට අනුව මෙම මංකොල්ලය සිදුකරන්නට ඇත්තේ දයාන් දෝ යැයි ආකාශ්ගේ සිතට සියුම් සැකයක් ඇති විය. නමුත් එය නරඹන විට ඔහුගේ මුහුණෙහි ඇති වූ හැගීම් වලට අනුව එසේ සිතීම සාධාරණ නොවන බව ආකාශ්ට හැගුණි.
“මේ කඩේ කොහෙ තියෙන එකක්ද?”
“වැල්ලවත්තෙ.”
“කොහෙන්ද මේක හම්බවුණේ.”
“මං පොලීසියේ පාට් ටයිම් ජොබ් එකක් කරනවා. එහෙට ඔය වගේ සීසීටීවී වීඩියෝ හැමතිස්සෙම ලැබෙනව.”
එවර ඔවුන් දෙදෙනාම ජංගම දුරකතන තිරයෙන් සිය දෙනෙත ඉවතට ගෙන ආකාශ් දෙස විමතියෙන් යුතුව බැලුවෝය. තමා ඉදිරියේ සිටින මේ තරුණයා පොලීසියේ සේවය කරන්නෙකු වීම ඔවුන් අපේක්ෂා නොකළ දෙයකි.
* * *
ඇය නැවත වරක් සිය ජංගම දුරකතනය දෙස නොඉවසිලිමත් බැල්මක් හෙලුවාය. වෙලාව රාත්‍රී එකොළහමාරටද ආසන්න වී තිබුණි. සයුරේ රළ බිදෙන හඩ ඈතින් ඇසෙයි. කිහිපදෙනෙකු එහේ මෙහේ ඇවිදිති. නමුත් ඇය සොයන රුව තවමත් දකින්නට නොමැත. සිතට දැනුණේ මින් පෙර කිසිදිනක නොදැනුණ තරම් පාළුවක් සහ පරාජිත බවකි.
තම මිතුරිය සිය ගැණුම්කරු එනතුරු මග බලා සිටින අයුරු නෙලූ දුටුවාය. ඇය මේ අයුරින් පැයකට ආසන්න කාලයක් ඇතුල්වන දොරටුවෙන් යන එන මිනිසුන් දෙස බලමින් කල් මරමින් උන්නාය. මීනා මීට හෝරා කිහිපයකට පෙර කතා කරමින් සිටි තරුණයාව නෙලූ ද දුටුවාය. ඔහු නම් හැබෑම කඩවසම් තරුණයෙකි.
“මොකෝ බං? උඹේ කුමාරය පොල්ල තියල වගේ නේද?” මීනා වෙතට පැමිණි නෙලූ ඇගට පතට නොදැනෙන සේ පැවසුවාය.
නෙලූගේ වදන් හේතුවෙන් සිතට සියුම් කෝපයක් දැනුණද ඒ බවක් පිටතට නොපෙන්වූ මීනා කිසිවක් නෑසුනාක් මෙන් සිටියාය.
“ඌ නම් පට්ට හැන්ඩියා බං. ඇත්තටම කවුද බං ඌ?”
“මං කොහොමද බං දන්නෙ? මං ඌගෙ අයි ඩී එක ගත්තෙ නෑනේ වාසගම බලාගන්න.” මීනා පැවසුවේ තරමක් නොරිස්සුම් සහගත හඩකිනි. තද බල පාළු හැගීමකින් වෙළුනු ඇයට ඕපාදූප මල්ලක් වූ නෙලූගේ පැමිණිම වධයක්ම විය.
“ඇයි යකෝ… උඹ උගෙ නමවත් ඇහුවෙ නැද්ද? අනේ නිකං බොරු නොකර හිටපන් බං.”
නෙලූට බැණ වැද මෙතැනින් එළවා දැමීමට සිතුණද මීනා නිහඩව සිටියාය.
“ඌ එක්ක එක පැයක් ඉන්න තියේ නම් මට සල්ලි ඕනෙත් නෑ බං. ඉතින් අපිටත් කියපංකො. මොකද්ද එයාගෙ නම?” නෙලූ විමසුවේ මීනාව උරහිසින් තල්ලු කරමිනි. එවර නම් මීනාගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියාය.
“ආපු වෙලාවක එයාගෙන්ම අහගනින්කො. මොන වධයක්ද? වැඩ නැතුව වේලි වේලි ඉන්නව නම් පැත්තකට වෙලා හිටපන්කො අපිට වධ දෙන්නෙ නැතිව.” උරණ වූ හඩකින් පැවසූ මීනා හුන් තැනින් නැගිට දොරටුව වෙත වේගයෙන් ඇවිද ගියාය.
දොරටුවෙන් පිට වූ ඇය වැල්ලේ තබා තිබූ කොන්ක්‍රීට් බංකුවක් මත හිද ගත්තාය. අඩි කිහිපයක් නුදුරින් පෙනුනේ තෙරක් නොපෙනෙන මහා සාගරයයි. එදෙසින් හමා ආ තරමක් තද සුළං රැළි ඇයගේ කේෂ කලාපය අවුල් කරමින් හමා යන්නට විය. නිහඩව සයුර දෙස බලා සිටි මීනාගේ සිත නැවතත් මීට හෝරා කිහිපයකට පෙර සිදු වූ සිද්ධිය වෙත දිව ගියාය.
ටෝනි පරාජය වූ මීට දෙසතියකට පමණ පෙර පැවති සටන් තරගය ඇය නොදුටුවාය. නමුත් එය සියැසින් දුටු අය පැවසූ වදන් ඇයට සිහි විය. ටෝනිව පැරදවූ ඒ පුද්ගලයා අමනුෂ්‍යයෙකු බව බොහෝ දෙනා පැවසුවද ඇය එම කතා එතරම් විශ්වාස නොකළාය.
නමුත් අද සිදු වූයේ කුමක්ද? මනුෂ්‍යයෙකුට ඒ අයුරින් එක්වරම අතුරුදහන් විය හැකිද? මීනාගේ සිරුර කිළිපොලා ගියේ ඉබේටමය. ගරා යකා, කළු කුමාරයා, මහසෝනා වැනි නම් වලින් පටබැදුනු අමනුෂ්‍යයන් පිළිබදව විවිධාකාර කතා ඇය සිය ගමේ වැඩිහිටියන්ගෙන් මීට පෙර ඕනෑ තරම් අසා තිබුණද, ඒ කිසිවක් ඇය එතරම් තැකීමකට නොගත්තාය. නමුත් මීට හෝරා කිහිපයකට පෙර සිදු වූ සියැසින්ම දුටු ඒ සිද්ධිය ඇයට සිතීමට යමක් ඉතිරි කර තිබුණි.
එසේම තමා පසෙකින් සිටගෙන සිටි තරුණයාට සිදු වූයේ කුමක්ද? අද්භූත සටන නිසා ඔහු කෙරෙහි වූ තම අවධානය මොහොතකට ගිලිහුනු බව සැබෑය. නමුත් අතුරුදහන් වීමට තත්පර කිහිපයකට පෙරද ඔහු තමා සමීපයෙහි සිටගෙන සිටිනු නෙත් කොනින් දුටු බව ඇයට විශ්වාසය. සැබවින්ම ඔහුට සිදු වූයේ කුමක්ද? වෙරළ මත වූ බංකුවකට වී නුදුරින් පෙනෙන මහ සයුර දෙස බලාගෙන ඇය කල්පනා කරන්නට වූවාය. සුළගක් සේම ඔහු අතුරුදහන්ව ගොසිනි.
* * *
කෝ ඉතිරි කොටස් ❤️❤️❤️
comment එකට ගොඩක් ස්තූතියි. මට තව පොඩි කාලයක් දෙන්න. හැකි ඉක්මණින් ඉදිරි කොටස් දාන්නම්.