Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 14

ISBN 978-955-44323-2-1

විශ්ව විද්‍යාලයේ ඇගයිම් විභාගය නිම කිරීමෙන් පසුව ආපසු පොලිස් නේවාසිකාගාරයට පැමිණි ආකාශ් තම කුටියට පැමිණ එහි වූ ඇදෙහි හාන්සි විය. විශ්ව විද්‍යාලීය අධ්‍යයන කටයුතු වලත්, රැකියාවේ වැඩ කටයුතු වලත්, ලෝචනාගේ හමුවීම් සහ කතා බහ තුලත් සතියේ දින හතේම සිරවී සිටින ඔහුට විවේකයක් නොලැබෙන තරම්ය. දෙව්ගල ගමන නිසා සිදු වූ විපර්යාසයෙන් පසුව ඔහුට කායික විවේකයක අවශ්‍යතාවයක් නම් නොදැනුණ තරම්ය. නමුත් ඔහුට මානසික විවේකය අවශ්‍යය විය. අතීතයේදී ඔහු විනෝදාංශයක් වශයෙන් සිදුකළ තාරකා විද්‍යා ගවේෂණය සහ පොත පත කියවීමද දැන් සම්පූර්ණයෙන්ම පාහේ නතර වී ඇත. එයට හේතුව නම් ඔහු තුල සිදුවූ විපර්යාසය නොව අධික කාර්යය බහුලත්වය සහ ඔහු ඉදිරියේ ඇති වැඩ රාජකාරි කන්දරාවයි. මේ සියලු වගකීම් වලින් මිදී අතීතයේදි මෙන් නිදහසේ කාලය ගත කිරීමට ඇත් නම් කොපමණ හොද දැයි ඔහුට සිතුණි.

 

අද දින උදේ වරුවේ ලෝචනාගේ නිවසේ සිදු වූ කතා බහ නිතැතින්ම ඔහුට මෙනෙහි වන්නට විය. එය මතක්වන විට පවා ඔහුගේ සිතෙහි ඇති වූයේ මහා බරකි. දැනට පැවරී ඇති වැඩ වලින් මිදී නිදහස සෙවීමට උත්සහ කරන ඔහුට ව්‍යාපාර වලට සම්බන්ධ වන ලෙස සිදුකළ ඉල්ලීම සිතට මහා වධයක් විය.

 

තමාට මෙසේ සිතීමට හේතුව ඔහු කල්පනා කර බැලුවේය. අතීතයේදී ඔහුට ලෝචනාව හමුවීම, කතා කිරීම, ඇයත් සමග කාලය ගත කිරීම, රාත්‍රිය පහන්වන තුරු ඇයත් සමග ජංගම දුරකතනයෙන් පෙම් බස් දෙඩීම අතිශයින්ම සුන්දර ජවනිකා විය. නමුත් දැන් ඔහුට එය පෙනෙන්නෙ තමා මත පැටවුනු තවත් වගකීමක් සහ යුතුකමක් ලෙසිනි. සැබවින්ම එය ඔහුට ලෝචනාව එපා වීමක් නොවිය. නමුත් තමාගේ වටිනා කාලය එවැනි සාමන්‍යය දේවල් වෙනුවෙන් වැය කිරීම අපරාධයක් යැයි ඔහුට සිතුණි. තමාට ලැබී ඇති හැකියාවන්ට අනුව තම කාලය වඩාත් ප්‍රයෝජනවත් අයුරින් ගත කළ යුතු බව ඔහුට හැගී ගියේය.

 

තරමක් දුරට කල්පනා කළ ඔහුට තමාගේ හැකියාවන් යොදාගෙන කළ හැකි බොහෝ දේ පෙනුණි. සැබවින්ම මෙය ඔහුට ලැබුණු සුවිශේෂි ත්‍යාගයකි. තමාගේ හැකියාවන් සහ එහි සීමාවන් හරි හැටි අවබෝධ කරගත හැකි වුවහොත් ඔහු මහත් සේ ඇලුම් කළ විශ්වය ගවේශණය කිරීමට පවා මෙය යොදා ගත හැකි වනු ඇතැයි ඔහුට සිතුණි. එසේම තමාට මෙම හැකියාවන් ලැබීමට හේතුව සහ එය ලැබුණු ආකාරය අනිවාර්යෙන්ම සොයාගත යුතු යැයි ඔහුගේ සිත තුල අධිෂ්ඨානයක් විය. මේ ගවේශණය ආරම්භ කිරීමට සුදුසුම ආකාරය එය යැයි ඔහුට හැගුණි.

 

එසේම තමාගේ චින්තනය මේ අයුරින් වෙනස් වීම ඇරඹුණේ මීට දින කිහිපයකට පෙර තමා උණ්ඩ අතින් ඇල්ලීමට පුරුදු වූ දින පටන් බව ඔහුට මතක් විය. තමාගේ හැකියාවන් වල සීමාව තවමත් තමන් නොදන්නා බව ඔහුට හොදින්ම වැටහුණේ එදාය. එසේම මෙම හැකියාවන් වලට මූලික පදනම වී ඇත්තේ තමාගේ කය නොව මනස බව ඔහුට මුලින්ම හැගී ගියේද එදිනය. තමාගේ චින්තනය පුළුල් වී ඇති බවක් ඔහුට හැගුණි. එසේම තමා ජීවිතය සහ ලෝකය දෙස බලන දෘෂ්ඨිය ක්‍රමයෙන් වෙනස් වන බව ඔහුට පැහැදිලිවම දැනෙන්නට විය. 

 

ඔහුගේ ජංගම දුරකතනය නාදවෙන්නට විය. එම ඇමතුම ලෝචනාගෙන් බව ඔහුට මුලින් සිතුනද ජංගම දුරකතන තිරයේ දිස් වූයේ ඔහු නොදන්නා අංකයකි.

“හලෝ”.

 

“කොහොමද අයියෙ ඉතින්. එක්සෑම් එක ලේසියිද?” අනිත් පසින් ඇසුනේ තරුණියකගේ හඩකි.

 

“මේ… අනේ සොරි. මට ඇත්තටම ඔයාව අදුරගන්න බෑ. කවුද ඔයා?”

 

“අනේ… අනේ. මේ පැය දෙක තුනට අපිව අමතක වෙලා නේද? මම නිම්සරා අනේ. ලෝචනාගේ නංගි.”

 

“ආ… නංගි. ඔයාගෙ නොම්බරේ මං ළග නෑනෙ. ඉතින් මට එකපාරටම අදුරගන්න බැරි වුණා. ඉතින්, ඇයි මේ හදිසියේම කෝල් එකක් ගත්තෙ?”

 

“ඇයි කියල අහන්නෙ? මං කෝල් කරනවට කැමති නැද්ද?”

 

“අපෝ නෑ නෑ. එහෙම නෙමෙයි. මට එකපාරටම හිතුනෙ මං ඔයාලගෙ ගෙදර මොනව හරි දාලා ආව වත්ද කියල.”

 

“නෑ අනේ. එහෙම නෙමෙයි. මං නිකමට කතා කළේ.”

 

“නිකමට?” ආකාශ් එයම ප්‍රතිරාවය කළේය. මැය පවසන්නෙ සත්‍යයක් නොවන බව ආකාශ්ට වැටහුණි.

 

“ඔව් නිකමට. කම්මැලි හිතුනහම මං කැමති අයට කෝල් ගන්නව.”

 

“ආ… එහෙමද?” තමාද ඇය කැමති අය අතරින් කෙනෙකු දැයි විමසීමට සිතුනද ආකාශ් එය නොවිමසුවේය.

 

“අක්කත් පාටියට ගිය හින්ද ඔයාට කම්මැලි ඇති නේද?”

 

“අපෝ එයා ගිය එක නම් හොදයි. එයාගෙන් හරි වදේ අනේ. මට හැමතිස්සෙම බනින එකමයි එයාගෙ වැඩේ.”

 

කිසිවක් නොපැවසූ ආකාශ් සිනාසුණේය.

 

“ඇයි ඔයා හිනාවෙන්නෙ? ආ… මට තේරුණා. අක්කි ඔයාටත් බනිනවා නේද අයියෙ?”

 

“නැත්තෙමත් නෑ. බනින වෙලාවල් තියෙනවා.”

 

“ආ… ඒකනේ. දැන්ම ඔහොම නම් මැරි කළාට පස්සෙ කොහොම වෙයිද කියල ඔයාම හිතාගන්නකො.”

 

“ඔව් ඉතින්. ඒව එතකොට තමයි බලාගන්න වෙන්නෙ.”

 

“ඔයාට ජීවිත කාලෙම අක්කිගෙන් බැනුම් අහහා ගුටි කකා තමයි ඉන්න වෙන්නෙ.”

 

“ඉතින් ඔයාත් අක්කට බනිනවනෙ?” ආකාශ් ඇසුවේය.

 

“මං එහෙම නිකන් බොරුවට මිනිස්සුන්ට බනින්නෙ නෑ අනේ. එයා මට බැනගෙන ආවොත් තමයි මාත් බනින්නෙ. මේ අයියෙ… ඒක නෙමෙයි. මේ… මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෙ.”

 

“ඒ මොකද්ද?”

 

“අනේ මං හරි ආසයි ඔයා වැඩ කරන තැන බලන්න යන්න. අර වේපන්ස් හදනව කිව්වෙ. අනේ මාව දවසක එතනට එක්ක යන්නකෝ.”

 

“ම්… මට ඒක නම් හරියටම ෂුවර් කරන්න බෑ නංගි. එතන නීති හරි තදයි. මං ට්‍රයි එකක් දීල බලන්නම්. අනික ඉතින් පාස් ගන්නව නම් තුන්දෙනෙක්ට ගන්න එපැයි.”

 

“තුන්දෙනෙක්? ඒ කවුද?”

 

“ඇයි? ඔයයි, අක්කයි. අම්මයි.”

 

“ඒ දෙන්න ඕනෙ නෑ අනේ. මං විතරක් ගියාම ඇති. එයාලට ඕක බලන්න ඕනකමක් නෑ. ඔයා එක පාස් එකක් විතරක් ඉල්ලගන්නකො.”

 

“ඒ වුණාට නංගි අක්කව දාල යන්න බෑනෙ.”

 

“හරි හරි. මං ඒක එයාට කියන්නම්. ඔයා එක පාස් එකක් විතරක් ගන්නකො. එහෙනම් අයියෙ ඔයා ඔෆිස් එකෙන් ඒ ගැන අහනව නේද?”

 

මැයට කරුණු පැහැදිලි කිරීම නිශ්ඵල දෙයක් බව ආකාශ්ට වැටහුණි. පිටස්තර අය සදහා එවැනි අවසරපත් කිසිසේත්ම පොලීසිය විසින් නිකුත් නොකරන බව ආකාශ් දැන සිටියේය. නමුත් තමා මේ මොහොතේ මැයගේ කරදරයෙන් ගැලවිය හැකි පිළිතුරක් දිය යුතු බව ඔහුට හැගුණි.

 

“හරි නංගි. මං බලන්නම්. මේ නංගි. ඔෆිස් එකෙන් රිපෝට් එකක් හදිස්සියි කියල මට මැසේජ් එකක් දාල තියෙනව. මං දැන් මේ එක හදන්නයි හැදුවෙ. මං ඔයාට පස්සෙ කෝල් එකක් දෙන්නද?” ඇයගෙන් ගැලවීම සදහා ආකාශ් අකමැත්තෙන් යුතුව වූවද බොරුවක් කීවේය.

 

“අයියෝ අයියෙ. ඔයා මේ වෙලාවෙත් ඔෆිස් වැඩ කරනවද?”

 

“නෑ නෑ. හැමදාම නෙමෙයි. මේක මේ හදිස්සියි කිව්ව. ඒකයි.”

 

“අක්කිත් කිව්ව ඔයාව අල්ලගන්න හරි අමාරුයි, කොයිවෙලෙ බැලුවත් වැඩ කියල. ඔහොම නම් බෑ ලව් කරන කාලෙ. තමන්ගෙ ගර්ල් ෆ්රෙන්ඩ්ට වැඩි වෙලාවක් වෙන් කරන්න ඕනෙ. මට කොල්ලෙක් හිටිය නම් මං එයාව ඒ විදියට හදාගන්නව.”

 

“ආ… ඔයාට කොල්ලෙක් නැද්ද?”

 

“නෑනෙ.”

 

“බොරු.”

 

“ඇයි බොරු කියල කියන්නෙ?”

 

“නෑ ඉතින්. තරුණ වයසෙ ඉන්න ඇමති කෙනෙක්ගෙ ලස්සන දුවෙක්ට කොල්ලෙක් නෑ කියල කිව්වහම මට ටිකක් විශ්වාස කරන්න අමාරුයි. ඒකයි.”

 

“ඉස්සර නම් එෆෙයාර් එකක් තිබුණා. ඒත් ඒ බෝයිගෙ කැරැක්ටර් එකට මං කැමති නෑ. ඒ හින්ද දැන් ඒව නවත්තල ගොඩක් කල්.”

 

“එහෙමද? හරි නංගි. මං එහෙනම්…”

 

“මේ… මං ඇත්තටම ලස්සනයිද?”

 

“ඔව්. ඔයත් ඔයාගෙ අක්ක වගේම ලස්සනයි.”

 

“තැනක් යූ අනේ. හැබැයි මගේ ඇග එයාට වැඩිය ගොඩක් ලස්සනයි හරිද? මං දිහා හරියට බැලුවොත් අයියටම ඒක තේරෙයි.”

 

නිම්සරා අනවශ්‍යය අයුරින් තමා සමග කුළුපග වීමට උත්සහ කරන බව ආකාශ්ට හොදින්ම වැටහුණි. එම නිසා තමා මේ මොහොතේම මේ සංවාදය නවතා දැමිය යුතු බව ඔහුට හැගුණි.

 

“හරි හරි නංගි. මෙන්න මට ඔෆිස් එකෙන් තව මැසේජ් එකක් ආවා. මං එහෙනම් තියන්නම් නංගි. මං ඔයාට පස්සෙ කෝල් එකක් දෙන්නම්.”

 

“අම්මෝ… මෙයාට පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. ඔෆිස් එකේ වැඩක් ටිකක් පරක්කු වුණා කියල මොකද වෙන්නෙ?”

 

“නෑ නංගි. මේක ටිකක් හදිස්සියිලු. ඒකයි.”

 

“හරි අයියෙ. ඔයා එහෙනම් වැඩේ කරන්නකො. මේ… හැබැයි තියන්න කලින් තව එක දෙයක් තියෙනව කියන්න.”

 

“ඒ මොකද්ද?”

 

“මං ඔයාගෙ මොබයිල් නම්බර් එක දන්නව කියලවත් ඔයාට කෝල් කළා කියලවත් අක්කිට කියන්න එපා. හරිද?”

 

“ඇයි ඒ?”

 

“මං එයාගෙ ෆෝන් එකෙන් එයාට කියන්නෙ නැතුව තමයි ඔයාගෙ නම්බර් එක ගත්තෙ. ඒකයි.”

 

“ඉතින් නංගි ඔයා මට සැරින් සැරේ කෝල් ගන්නකොට අක්ක ඕක දැන ගනියි. එතකොට?”

 

“හරි හරි. මං එයාට කියන්නම්කො මං ඔයාට කෝල් කළා කියල.”

 

“ඕකේ. ඕකේ. හරි නංගි. එහෙනම් මං තියන්නම්.”

 

“අයිය අර ඔෆිස් එකේ පාස් එක ගැන අහල මට කෝල් එකක් දෙනව නේද? ඔන්න මං බලං ඉන්නවා.”

 

“හරි නංගි. මං ගන්නම්. එහෙනම් බායි.”

 

“හරි අයියෙ. එහෙනම් ඔයා පරිස්සමෙන් ඉන්න. බායි.”

 

ඇය තවත් යමක් කීමට පෙර ආකාශ් ඉක්මණින් ඇමතුම විසන්ධි කළේය. සිදු වූ කතා බහ ගැන පුදුමයට පත්ව හෙතෙම දුරකතනයේ තිරය දෙස බැලුවේය. තමාව අලුත් කරදරයක පැටලීමට යන බවක් ඔහුට දැනෙන්නට විය.

 

“මේ මොන මගුලක්ද?” තමාටම කියාගත් ඔහු තම ජංගම දුරකතනය ඇද මතට විසි කර නැවතත් සයනයේ හාන්සි විය.

 

හදිසියේම තමාගේ සිකුරා බලවත් වී ඇත් දැයි ඔහුට සිතුණි. නමුත් එය මෙවැනි මොහොතක සිදුවීම ඔහුට දැනුනේ මහා කරදරයක් ලෙසිනි. ජීවිතය දෙස වෙනත් කෝණයකින් බලමින් නිදහස සෙවූ ඔහුගේ සිතට අනපේක්ෂිත අයුරින් තවත් බරක් එක් විය.

 

ලෝචනා සිය නැගණිය ලවා තමාව පරික්ෂා කරන්නේද යන්න ඔහුට මොහොතකට සිතුණි. නමුත් ලෝචනා එවැනි තරුණියක් නොවේ. ඇය කිසිදු විටෙක තමාව සැක කරන්නේ නැත. එසේම තමාව පරික්ෂා කිරීමට අවශ්‍ය නම් මෙතරම් කාලයකට පසුව ඇය එසේ කරන්නේ යැයි සිතීම උගහටය. එසේ නම් ලෝචනාගේ සොයුරිය වන නිම්සරා සැබවින්ම තමා සමග කුළුපග වීමට උත්සහ දරනවා විය යුතුය. නමුත් ඇය එසේ කරන්නේ තමා පිළිබදව ඇය තුල ඇති වූ ආකර්ෂණයකටද, එසේත් නැති නම් වෙනත් කුමක් හෝ අරමුණක් සදහාද යන්න ඔහුට සිතාගත නොහැකි විය. ලෝචනාව තමාට සම්පුර්ණයෙන්ම විශ්වාස කළ වූවද ඇයගේ පවුලේ අනිත් සාමාජිකයන්ගේ ස්වභාවය ගැන තමා කිසිවක් දන්නේ නැත. දේශපාලනික පසුබිමක් ඇති ඔවුන්ගේ සිත් කෙසේ වැඩ කරන්නේ දැයි ඔහුට කිසිදු අදහසක් නොවිය.

 

මේ පිළිබදව ලෝචනාට කිව යුතු යැයි ඔහුට සිතුනද නිම්සරා පැවසූ සියල්ල ඇයට පැවසුවහොත් ලෝචනා අනිවාර්යෙන්ම කලබල වනු ඇති අතර තම නැගණිය සමග ගැටුමක් ඇති කර ගැනීමටද ඉඩ ඇත. එම නිසා නිම්සරා නැවත වාරයක් මේ අයුරින් කතා කළොත් පමණක්, ලෝචනාට මේ පිළිබදව දැනුම් දීමට හෙතෙම සිතා ගත්තේය. මේ මොහොතේ සිට තමා ඉතාමත් සැලකිල්ලෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ඔහු පසක් විය.

 

 

* * *

 

 

“මීනා. මට දැන් හරි මහන්සි. මං වොෂ් එකක් දාගෙන එනකන් ඔයාට පුළුවන්ද ටෝනිට මේ සුප් එක පොවන්න?” අශානි ඇසුවේ මේසය මත තබා තිබූ ආහාර භාජනයක් පෙන්වමිනි.

 

“හරි මැඩම්. මං පොවන්නම්.” මීනා පැවසුවද ටෝනි යනු ඇය දැකීමටවත් අකමැති පුද්ගලයෙකි. නමුත් අශානි උපකාරයක් පැතූ විට එය මගහැරීමට මීනාට නොහැකි වූයේ අශානි මීට පෙර ඇයට බොහෝ සෙයින් උපකාර කර ඇති නිසාය.

 

සුප් දැමූ භාජනය ගත් මීනා නිශ්ශබ්දව ටෝනි සිටි කුටියට ඇතුල් විය. ටෝනි සිටියේ අඩ නින්දෙහිය. මීට සතියකට පමණ පෙර සිටි ටෝනි සහ දැන් සිටින ටෝනි අතර විශාල වෙනසක් ඇයට දක්නට ලැබුණි. සතියකට පමණ පෙර සිටි ටෝනි ඉතා ජව සම්පන්න, හැඩි දැඩි එසේම කිසිවෙකුට නොනැමෙන අහංකාර පුද්ගලයෙකි. නමුත් දැන් තමා ඉදිරියේ ඇති සයනයේ නිදා සිටින්නෙ තනිවම නැගිට ගැනීමටවත් පණ නැති රෝගී පුද්ගලයෙකි. ඔහු දිනෙන් දින දුර්වල වන බව ඇයට දක්නට ලැබුණි. ඔහුගේ ශරීරය පවා බොහෝ සෙයින් කෙසග වී ඇති බව ඇය නිරීක්ෂණය කළාය. මේ සියල්ල ඇරඹුණේ සටන් වළල්ලේදී ටෝනි ආගන්තුක සටන්කරුවාගේ පහර කෑමට ලක්වීමෙන් පසුවය. ඔහු ටෝනිට එල්ල කළේ එක් පහරක් පමණක් වූවද එය ඉතා ප්‍රභල පහරක් විය යුතුය. එම ප්‍රහාරයට ලක් වූ ටෝනිගේ ඉළ ඇට කිහිපයක් බිදී ගිය අතර දින තුනක් රෝහලක නැවතී නේවාසිකව ප්‍රතිකාර ගැනීමටද සිදුවිය.

 

නමුත් ඇයට ටෝනි ගැන අනුකම්පාවක් නම් ඇති නොවිය. මොහු තමාට කළ අපරාධය කිසිදු අයුරකින් සමාව දිය හැකි එකක් නොවේ. නමුත් ටෝනි අසරණ වී ඇති අවස්ථාවේ මොහුගෙන් පළිගැනීමේ චේතනාවක් ඇයට නොවිය. මොහු කළ ක්‍රියාවන්ට සුදුසු පරිදි කර්මය විපාක දී ඇති බව ඇයට සිතුනි. ඇය සෙමින් ටෝනි නිදා සිටි සයනය වෙත පියනැගුවාය.

 

“ටෝනි සර්.”

 

නමුත් ටෝනි තවමත් නින්දේ පසුවිය.

 

“ටෝනිි සර්. අශානි මැඩම් සර්ට මේක පොවන්න කිව්ව.” එවර ඇය තම හඩේ ශබ්දය තරමක් වැඩිකර කීවාය.

 

එවර ටෝනි සෙමින් ඇස් ඇර බැලුවේය.

 

“සර්, සුප් එකක් තියෙනවා. මං දැන් මේක සර්ට පොවන්නම්.” මීනා සුප් භාජනය සහ හැන්දක් පෙන්වමින් ටෝනිට කීවාය.

 

“අශානි. බෑ… කන්න.” ටෝනි පැවසුවේ අතිශයින්ම දුර්වල වූ කෙදිරිලි හඩකිනි.

 

අධික ලෙස උණ වැඩි වීම නිසා ටෝනිගේ කල්පනාව අඩු වී ඇති බව පෙනෙන්නට විය. මොහු තමාව අශානි ලෙස වරදවා හදුනාගෙන ඇති බව මීනා වටහා ගත්තාය.

 

“සර්. මම අශානි මැඩම් නෙමෙයි. මං මීනා.”

 

“යන්න එපා අශානි. යන්න එපා. උ… ඌ ආපහු එයි. මාව මරල දායි. මාව බේරගන්න.” ටෝනි අවසාන වදන් කිහිපය පැවසුවේ කෑ ගසමිනි.

 

මොහු එදා පැමිණි සටන්කරුවාට දැඩි ලෙස බිය වී ඇති බව ඇයට වැටහුණි. එම නිසා ඇය ඔහුට කියවන්නට ඉඩ දී බලා සිටියාය.

 

“ඌ ආපහු එයි. එ… එදත් කාමරේටම ආවා. ඌ යකෙක්. ඔව්, මනුස්සයෙක් නෙමෙයි. ඌ යකෙක්.” ටෝනි සිහිවිකල්ව කියවන්නට විය.

 

“නෑ නෑ. සර්. වෙන කවුරුවත් කාමරේ නෑ. මම මීනා. ආ… මේ සුප් එක බොන්නකො.” පවසමින් මීනා ටෝනිගේ මුවට සුප් හැන්දක් වත් කළාය. නමුත් එය ගිලීමටවත් ටෝනිට කල්පනාවක් නොවිය. මුව දෙපසින් සුප් දියර වැගිරෙන්නට විය. එම නිසා රෙදි කැබැල්ලකින් ටෝනිගේ මුව පිස දැමූ මීනා නැවත වාරයක් සුප් හැන්දක් පෙවීමට උත්සහ කළාය. නමුත් ප්‍රතිථලය පෙර පරිදිම විය. ඒ සමගම අශානි කුටියට පැමිණි නිසා මීනා හුන් තැනින් නැගී සිටියාය.

 

“මං පොවන්න හැදුව මැඩම්. ඒත් සර් සුප් එළියට දානවනෙ.”

 

“එහෙමද?” පැවසූ අශානි ටෝනි අසලට පැමිණ ඔහුගේ නළලට අත තැබුවාය.

 

“මෙයාට තවම උණ බැහැල නෑ. ඒකයි. බෙහෙත් නම් දීල තියෙන්නෙ. තව ටිකක් බලමු.”

 

“ඒක තමයි. මං හිතන්නෙ ටෝනි සර් මාව අදුරගත්තෙත් නැද්ද කොහෙද. තව මොනවද මන්ද කියෙව්වා. කවුද කාමරේට ආවලු. ඒ යකෙක්ලු. එයාව මරයිලු. ඔන්න ඔහොම මොනවද මන්ද කියවගෙන ගියා.”

 

“දැනුත් එහෙම කිව්වද?”

 

“ඔව් මැඩම්. ඇයි මැඩම් එක්කත් කිව්වද?”

 

“මටත් ඒක තුන් හතර වතාවක්ම කිව්ව. ඉස්පිරිතාලෙ ඉන්නකොට තමයි මුලින්ම කිව්වෙ. එතකොට නම් මෙයාට හොදට කල්පනාවත් තිබුණා. ඒත් ඉතින් බය වෙච්ච පාර විකාර කියවනව ඇති කියල හිතුන හින්ද මං වෙන කාටවත් කිව්වෙ නෑ.”

 

“මොකද්ද මැඩම් ටෝනි සර් කිව්වෙ?”

 

“ටෝනි මුලින්ම පැරදුනාට පස්සෙ දවසෙ ටෝනිට ගහපු කෙනා වගේම වෙන කෙනෙක් එයාගෙ මේ කාමරේට ආවලු. ඒ ආපු කෙනාටත් එකපාරටම අතුරුදහන් වෙන්න පුළුවන්ලු. ගහපු කෙනාගෙන් බේරෙන්න ඕනෙ නම් එයා කියන විදියට වැඩ කරන්න කිව්වලු. ටෝනිගෙ ෆයිට් තියෙන දවස් වේලාසනින් එයාට දැනුම් දෙන්න කියලත් තියෙනව. මේ ගැන කාටවත් කියන්න එපා කියල අතන ජනේලෙන් පැනල අතුරුදහන් වුණාලු.”

 

‘ජනේලෙන් පැන්නා?” මීනා විස්මයෙන් යුතුව පවසමින් ජනේලය දෙස බැලුවාය. ඔවුන් සිටියේ තෙවන මහලේ කුටියකය. මෙහි ඇති කවුළුවකින් මිනිසෙකු පිටතට පැන්නේ නම් ඒ සියදිවි නසාගැනීමට විය යුතුය. නමුත් එදා සිදු වූ අද්භූතජනක සටනේදී ටෝනිට පහර දුන්නේ මිනිසෙකුද යන සැකය මීනා තුල විය.

 

“ඉතින් මැඩම් හිතන්නෙ ටෝනි සර් කිව්වෙ ඇත්ත කියලද?”

 

“අනේ මන්ද මීනා. මට නම් තේරෙන්නෙ නෑ දැන් මොනව විශ්වාස කරන්නද කියල. කොහෙන් ආපු කරදරයක්ද මන්ද.”

 

තවත් මිනිත්තු කිහිපයකට පසුව මීනා කුටියෙන් පිට වූයේ එදා සිදුවූ සටන මෙනෙහි කරමිනි. සටන්කරුවා පමණක් නොව තමාගේ පසෙකින් සිටගෙන සිටි තරුණයාද එක්වරම අතුරුදහන් විය. විවිධ දේ සිතමින් පහළ මාලයට බැසීම සදහා පියගැට පෙළ වෙත පැමිණි ඇයගේ දෙනෙත හදිසියේම බිත්තියේ එක් ඉහළ කෙළවරක් වෙත ගොස් නතර විය. එය සීසීටීවී ආරක්ෂක කැමරාවකි. එය දුටු වහාම සිතට පැමිණි නව සිතිවිල්ලකින් ඇය උද්දාමයට පත් විය. මීළග මොහොතේ වේගයෙන් පඩිපෙළ බසින්නට වූ ඇය ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා භාරවී සිටි සහන් නමැති තරුණයා වෙත ගියාය. සහන් යනු ඇය රැකියාව කළ සමාජශාලාවේ ඇයට විශ්වාසය තැබිය හැකි සීමිත පිරිසෙන් එක් අයෙකු විය.

 

“සහන් මල්ලි. මට පොඩි උදව්වක් ඕනෙ. අශානි මැඩම්ගේ වැඩක්.”

 

“ඇයි අක්කෙ? මොකද්ද කේස් එක?”

 

“නෑ නෑ. බයවෙන්න එපා. මුකුත් අවුලක් නෙමෙයි. මට සීසීටීවී රෙකෝඩින් වගයක් බලාගන්න ඕනෙ. වැඩිය පරණ ඒවා නෙමෙයි. දැනට සති තුනකට විතර කලින් ඒවා. තියෙනව නේද?”

 

“සති තුනකට කලින් ඒව නම් ඇති. දිනේ මතක නැද්ද?”

 

“මතකයි මල්ලි. ගිය මාසේ දහනම වෙනිද. මට ඕනෙ තුන්වෙනි තට්ටුවේ පඩිපෙළ ළග හයිකරල තියෙන එකේ රෙකෝඩින් එක.” ඊට පෙරදින ඇය නිවාඩුවක් දමා තිබූ නිසා ඇයට එම දිනට හොදින් මතක තිබුණි.

 

“මොකද්ද අක්කෙ කේස් එක. හොරෙක්වත් පැනලද?”

 

“නෑ මල්ලි. ඔයාට මතකද ටෝනි මුලින්ම ෆයිට් කරල කාපු දවස. ඊට පහුවෙනිද ටෝනිගෙ කාමරේට කවුරුහරි ඇවිල්ල තර්ජනය කරල ගිහින් කියල අශානි මැඩම් කිව්ව. ඒ ආවෙ කවුද කියල බලාගන්නයි මේ හදන්නෙ.”

 

“අප්පට සිරි. එහෙමද? එහෙනම් මේක ටික දවසක ඉදන් පත්තුවෙන එකක් වගේ. අක්කෙ මේ… පෙරේදත් මාර සීන් එකක් වුණානෙ.”

 

“ඒ මොකද්ද මල්ලි?”

 

“මං කියන්නම්. හැබැයි කාටවත්ම කියන්න බෑ හොදේ.”

 

“හරි හරි බං. මං කාටවත් කියන්නෙ නෑ. මොකද්ද වුණේ කියපන්කො.”

 

“ටෝනි කාරය අන්තිමට කාපු දවස තියෙන්නෙ. අර ගහපු එකා එකපාරටම භූතයෙක් වගේ අතුරුදහන් වුණේ. අන්න ඒ ෆයිට් එක ගැන පොලීසියට කොහෙන් හරි ඔත්තුවක් ගිහින් තියෙනව. පෙරේදා පොලිසියේ දෙන්නෙක් ඇවිල්ල ඒ ටයිම් එකේ සීසීටීවී ඔක්කොම මාත් එක්ක පැය තුනක් විතර අරගෙන චෙක් කරල කොපීස් අරගෙන ගියා.”

 

“නෑ… ඉතින්?”

 

“අක්කෙ ඔයා විශ්වාස කරනව නම් විශ්වාස කරන්න. එදා ෆයිට් කළේ එක්කෙනෙක් වුණාට එදා මේ බිල්ඩිම අස්සෙ භූතයො දෙන්නෙක් ඉදල තියෙනව.”

 

මීනාට තම දෙපා වාරු නැති වී යන බවක් දැනුණි. එසේ නම් තමා පසෙකින් සිටගෙන සිටි තරුණයා…?

 

“ෆයිට් එක ඉවර වුණාට පස්සෙ උන් දෙන්නම එළියට පැනල තියෙන්නෙ පැත්තෙ තියෙන ඉමජන්සි එක්සිට් දොරකින්. උන්ගේ වේගෙත් එක්ක අපිට වීඩියෝ එක හොයාගන්න සෑහෙන අමාරු වුණා.”

 

“වීඩියෝ එකේ මූණු අදුරගන්න බැරිද මල්ලි.”

 

“මොන පිස්සුද අක්කෙ. මූණු තියා උන්ගෙ ඇදුමේ පාටවත් හරියට පේන්නෙ නෑ. බුලට් දෙකක් වගේ. එච්චරට ස්පීඩ්. මං නම් කියන්නෙ උන් නම් කොහොමටවත් මිනිස්සු නම් වෙන්න බෑ.” පැවසූ සහන් මද නිහැඩියාවකට පසුව නැවතත් සිය හඩ අවදි කළේය.

 

“අනේ අක්කෙ මේ. ඔයාව ෂුවර් හින්දයි මං මේ කිව්වෙ. පොලිසියේ දෙන්න මට කිව්ව මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට මේ ගැන කියන්න එපා කියල.”

 

“හරි බං. මං කිව්වනෙ. මං කාටවත් කියන්නෙ නෑ. මේ… මට ඒ දෙන්නම ඉන්න වීඩියෝ එක පෙන්නන්නකො.”

 

තම ජංගම දුරකතනය අතට ගත් සහන් එහි තිබූ වීඩියෝව මීනාට පෙන්නුවේය. එය ධාවන වේගය බොහෝ සෙයින් මන්දගාමී කළ රූපරමු පෙළකි. එසේ වූවද සහන් පැවසූ පරිදිම ඔවුන්ගේ හැඩ රුව හදුනාගත හැකි කිසිදු සළකුණක් එයින් විද්‍යාමාන නොවිය. අවතාරයන් වැනි සෙවණැලි දෙකක චලනයන් පමණක් එහි දක්නට ලැබුණි.

 

“මල්ලි. බාර් එක ළග කැමරා මුකුත් හයි කරල නැද්ද?” මීනා විමසුවේ තමා පසෙකින් සිටි තරුණයා අතුරුදහන් වීමට පෙර ඇයට ඔහුත් සිටියේ මත්පැන් මිලදී ගන්නා ස්ථානයට නුදුරින් වීමයි.

 

“නෑ අක්කෙ. කස්ටමර්ලගේ ප්‍රයිවසි එකට ප්‍රශ්න වෙන හින්ද අපි ක්ලබ් එක ඇතුලෙ කැමරා සෙට් කරල නෑ. දොරවල් ළග විතරයි සෙට් කරල තියෙන්නෙ.”

 

“එහෙමද? හරි. එහෙනම් මල්ලි මට ගිය දහනම වෙනිදා පඩිපෙළ ළග තියෙන කැමරා එකේ වීඩියෝ ටික දෙන්නකො.”

 

“චෙක් කරන්න ඕනෙ වෙලාව දන්නවද අක්කෙ?”

 

“වෙලාව නම් දන්නෙ නෑ මල්ලි. මං හිතන්නෙ දවසම බලන්න වෙයි.”

 

“හරි අක්කෙ. ඔයාගෙ ෆෝන් එක දෙන්නකො. එදා මුළු දවසේම වීඩියෝ ඇක්සස් මං ඔයාගෙ ෆෝන් එකට දෙන්නම්. මෙහේ රවුටරේට කනෙක්ට් වුණා නම් වයිෆයි වලින් ඔයාට බලන්න පුළුවන්.”

 

ඇයගේ ජංගම දුරකතනය ඉල්ලාගත් සහන් එහි කිසියම් මුරපදයක් ඇතුල්කර ආරක්ෂක කැමරා රූපරාමු වලට පිවිසිමේ පහසුකම මීනාට ලබා දුන්නේය. සහන්ට ස්තූති කළ මීනා ඉක්මණින් ඇය නැවති සිටි කුටියට ගොස් දොර වසා ගත්තේ නිදහසේ එම රූපරාමු පරික්ෂා කිරීමටය.

 

තමා ඇදෙහි හාන්සි වූ ඇය රූපරාමු නැරඹීම ඇරඹුවාය. තුන්වන මහලට පැමිණෙන්නේ ඉතාමත් ස්වල්ප දෙනෙකු පමණක් බැවින් රූපරාමුවේ සමහර ස්ථාන ඇයට ඉක්මණින් පරික්ෂා කළ හැකි විය. මෙලෙස පැය දෙකක් පමණ ඇය රූපරාමු පරික්ෂා කළාය. අවසානයේ ඇයට තමා සොයන රූපරාමුව හසු විය. එම රූපරාමු ඉතාමත් පැහැදිලි තත්වයෙන් නොතිබුණද මතකයේ රැදුනු මුහුණු හදුනාගැනීමට හැකි තරමට එය පැහැදිලි විය. ඇයගේ අනුමානය නිවැරදි විය. එදින තමාගේ සිත් ගත් තරුණයා එම ආරක්ෂක කැමරාවෙහි සටහන් වී තිබුණි. ඔහුගේ හැඩ රුව ඇයගේ මතකයේ හොදින් රැදී තිබූ නිසා රූපරාමුව තුල ඔහුව හදුනාගැනීමට ඇයට එතරම් අපහසු නොවිය.

 

මෙම සමාජශාලවේ සේවය කරන්නෙකු නොවන නිසා එම තරුණයාට තුන්වන මහලට පැමිණීමට අවශ්‍යතාවයක් නැත. එසේ නම් ටෝනිට තර්ජනය කර ඇත්තේ මොහුය. ටෝනි පවසා ඇති අන්දමට තුන්වන මහලේ ජනේලයකින් පැන අතුරුදහන් වී ඇත්තේද මොහුය. ටෝනි පරාජය වූ දෙවෙනි සටන පැවැත්වූ දින අද්භූත සටන්කරුවා සමග ක්ෂණිකව අතුරුදහන් වූ දෙවැන්නා මොහුය. එසේ නම් තමා එදින යහන්ගත වීමට උත්සහ කළේ අමනුස්සයෙකු හෝ අවතාරයක් සමගද? එම සිතිවිල්ලත් සමගම ඇයගේ සිරුර වෙව්ලා ගියාය.

 

නමුත් ඒ සමගම එයට පරස්පර කරුණු දෙකක් ඇයට මෙනෙහි විය. එදින තමා ඔහුගේ අතින් ඇල්ලූවාය. එය සාමාන්‍යය මනුස්ස අතක් මිස වෙනත් දෙයක් ලෙස ඒ මොහොතෙහි ඇයට නොදැනුණි. එසේම එදින තමාව මිලට ගැනීමට උත්සහ කළ අවස්ථාවේ තමා විසින් බැන වැදුණු මැදිවියේ මිනිසාද මේ තරුණයාව දැක ඇයගෙන් කරුණු විමසූ බව ඇයට මෙනෙහි විය. අවතාරයක් ඒ අයුරින් කිහිපදෙනෙකුට එකවර දර්ශනය විය නොහැකි බව ඇයට සිතුණි. එසේ නම් එදා ඇයගේ පසෙකින් සිටගෙන සිටියේ කවරෙක්ද? ඔහු අමනුස්සයෙක් හෝ අවතාරයක් නොව් නම් ඒ දෙවිකෙනෙක්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!