Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 15

ISBN 978-955-44323-2-1

පසුදින උදෑසනින්ම කාර්යාලයට ඇමතුමක් ගත් ආකාශ් තමා අද දින රැකියාවට නොපැමිණෙන බව දන්වා සිටියේය. ඉන්පසුව කුටියේ වූ ඇද මත හිද ගත් ආකාශ් තම ජංගම දුරකතනයෙන් සිය සහෝදරයාගේ අංකය තෝරා ගෙන සුළු මොහොතක් තිරය දෙස බලාගෙන කල්පනා කරන්නට විය. සාමාන්‍යයෙන් ඔහු සෑම සතියකටම වරක් තම සොහොයුරාව අමතා නිවසේ තොරතුරු දැනගත්තේය. නමුත් දැන් ඔහු ඇමතීමට යන්නේ නිවසේ තොරතුරු විමසීමට නොව වෙනත් සුවිශේෂී දෙයක් සදහාය. ඔහු තීරණයකට පැමිණ ඇති බව දක්නට ලැබුණි. තවත් පමා නොවූ ආකාශ් තම සොහොයුරා වූ නිමේෂ්ට ඇමතුමක් ගත්තේය.

 

“හලෝ අයියෙ.”

 

“ආ… මල්ලි. හදිසියකටද කතා කළේ?”

 

“ඇයි අයිය වැඩකද ඉන්නෙ?”

 

“ඔව් බං මේ කෑම්ප් එකේ හදිසි වැඩක් සෙට් වුණා. මං හවස්වෙලා කෝල් එකක් ගන්නද?”

 

“බෑ බෑ අයියෙ. මේක හදිස්සියි. පට්ටම හදිස්සියි. මට අද අයියව හම්බවෙන්න ඕනෙ. මං අද තුන විතර වෙද්දි අනුරාධපුරේට එනවා.”

 

“ඒ මොකෝ බං මේ හදිස්සියෙ? ආපහු මොකක් හරි ලෙඩක්වත් දාගත්තද?”

 

“නෑ නෑ. ලෙඩක් නෙමෙයි. මට මේ පොඩි දෙයක් පෙන්නන්න තියෙනව. කෝල් එකෙන් කියල හරියන්නෙ නෑ. මේක පෙන්නන්ම ඕනෙ.”

 

“මං කොහොමද බං මේ හදිසියේ නිවාඩු දාන්නෙ. තව ටිකකින් කෑම්ප් එකට කවුද ලොක්කෙක් එනවලු.”

 

“අනේ මේ අයියෙ. කොහොම හරි අද නිවාඩුවක් දාගනින්. මං කිව්වනෙ. මේක පට්ටම හදිස්සියි.”

 

තම බාල සොහොයුරා නිකරුනේ මෙවැනි ඉල්ලීම් කරන අයෙකු නොවන බව නිමේෂ් දැන සිටියේය. ඔහු මෙතරම් හදිසි යැයි පවසන්නේ සැබවින්ම එම කාරණාව ඉතා හදිසි සහ වැදගත් එකක් නිසා විය යුතුය.

 

“හරි. මං මොකක් හරි බොරුවක් කියල පැය දෙක තුනකට එළියට පැනගන්න බලන්නම්. මල්ලි දැන් පිටත් වෙනවද?”

 

“ඔව්. තව ටිකකින් මං පිටත් වෙනව. තුන වගේ වෙද්දි අයියට පුළුවන්ද පහළ කැලේ පටන්ගන්න හරියෙ තියෙන සිරිනේලිස් මාමගෙ පැළ ගාවට එන්න.”

 

“මල්ලි දැන් නවයත් පහුවෙලානෙ. උඹට ඒ වෙලාවට නම් එතනට එන්න වෙන්නෙ නෑ. අනුරාධපුර ස්ටෑන්ඩ් එකෙන් බහිනකොටම තුන පහුවෙයි.”

 

“නෑ නෑ. මට එන්න පුළුවන්. මට මගට පොඩි ලිෆ්ට් එකකුත් සෙට් වෙනවා. ඔයා තුන වෙද්දි එතනට එන්නකො. හරිද?”

 

“හරි. මං එන්නම්. මේ… හැබැයි පරක්කු වෙන්න නම් බෑ හොදේ. මං හවස ආපහු කෑම්ප් එකට එනව කියල තමයි එන්නෙ.”

 

“හරි හරි, මං පරක්කු වෙන්නෙ නෑ. තුන වෙද්දි මං එතන.” ආකාශ් විශ්වාසයෙන් යුතුව පැවසුවේ අවශ්‍යය නම් තවත් මිනිත්තු කිහිපයක් ඇතුලත වූවද තමාට එතැනට යා හැකි බව දන්නා නිසාය.

 

“හරි මං එන්නම්. එහෙනම් මල්ලි මං තිබ්බා.”

 

ඇමතුම විසන්ධි විය. කාර්යය බහුල නිලධාරියෙකු වූ සිය සොහොයුරාගෙන් මේ අයුරින් හදිස්සියේම වෙලාවක් වෙන් කර ගැනීමට හැකි වීම ගැන ඔහු සතුටු වූයේය. ඊයේ දිනයේ මිතුරියකගේ සාදයකට සහභාගී වීම සදහා අවිස්සාවෙල්ලට පිටත් වූ ලෝචනා නැවත කොළඹ පැමිණෙන්නේ තවත් දින දෙකකට පසුව බව ආකාශ්ට කලින්ම දැනුම් දී තිබුණි. ඊට හේතුව සාදය අවසන් වී ඊට පසුදින එනම් අද දින සාදයේදී හමු වූ තම මිතුරියන් සමග දින දෙකක විනෝද චාරිකාවක් සදහා ඇය නුවරඑළියට පිටත් වීමයි. එම නිසා අද සහ හෙට දින ඔහු ලෝචනාගේ හදිසි කැදවීම් වලින් නිදහස්ය. ලෝචනාගේ පවුලේ සාමාජිකයන්ව හමුවීම නිසා හදිසියේම ඔහුගේ කර මත පැටවීමට නියමිත වගකීම් හේතුවෙන් ඔහුට තම වැඩිමහල් සොහොයුරාව ඉක්මණින් හමුවීමට අවශ්‍යය විය. මේ හමුව තුල සැබවින්ම ආකාශ් බලාපොරොත්තු වූයේ නිමේෂ්ගේ අදහස් හෝ විසදුම් වලටත් වඩා තමාට විශ්වාස කළ හැකි අයෙකුට සියල්ල පවසා හිත නිදහස් කර ගැනීමටය. සියල්ල තම අයියාට පවසා මාස ගණනාවකට පසුව සිය සොහොයුරාත් සමග තමාගේ නිවසට යාමට ආකාශ් සිතාගත්තේය. සියල්ල දැනගත් පසු තමාගේ කතාව මවට සහ පියාට විස්තර කිරීම නිමේෂ් විසින් භාර ගනු ඇතැයි ආකාශ් විශ්වාස කළේය.

 

ආකාශ් බිත්ති ඔරලෝසුව දෙස බැලුවේය. වේලාව නවයයි තිහ පසු වී තිබුණි. තමාගේ උපන්ගම පිහිටා ඇත්තේ අනුරාධපුර බස් නැවතුමේ සිට කිලෝමීටර කිහිපයක් ඈතින් වීම හේතුවෙන් පොදු ප්‍රවාහනය පරිහරණ කරන අයෙකුට සැබවින්ම සවස තුනට වෙද්දි එහි ළගා විමට නොහැක. නමුත් ආකාශ්ගේ සිතෙහි වෙනත් ගමන් සැලසුමක් තිබුණි. ඒ සාමාන්‍යය මගියෙකු සේ පිටකොටුවට ගොස් එතැනින් කොළඹ අනුරාධපුර බස් රථයකට ගොඩ වී අනුරාධපුරයටම නොගොස් වාරියපොළ හෝ ඉන් එහා ඇති ජනයා එතරම් නොගැවසෙන ස්ථානයකින් බැසීමයි.

 

තමාට ඉතා ඉහළ අහසට පිමි පැනීමට හැකි බව දැනගත් දා සිටම කොළඹ සිට අනුරාධපුරයට අහසින් යාමට ඔහුගේ සිත තුල පැවතියේ බලවත් ආශාවකි. නමුත් දිශාව හදුනාගැනීමට ඇති අපහසුවත්, වේගය පාලනය කිරීමට නිසි පරිදි හුරුනොවීමත්, මිනිසුන් තමාව දැක අනවශ්‍යය කලබලයක් ඇති වේ යැයි යන සිතිවිල්ලත් හේතුවෙන් ඔහු එම අදහස ක්‍රියාත්මක නොකළේය.

 

නමුත් දැන් තත්වය තරමක් වෙනස් වී ඇත. වේගය සහ දිශාව පාලනය කිරීමට ඔහු තරමක් හුරු වී ඇත. එසේම තමා සතු මෙම හැකියාව මේ මොහොතේ ප්‍රයෝජනයට නොගතහොත් තමාට නිසි වේලාවට නිමේෂ්ව හමුවීමට නොහැකි වනු ඇත. තවත් මොහොතක් හෝ පමා නොවුණු ආකාශ් ගමන් මල්ල කරේ එල්ලාගෙන කුටියේ දොර අගුළු දමා අනුරාධපුරයට යාම සදහා පිටත් විය.

උදෑසන මාර්ග තදබදය හේතුවෙන් පිටකොටුවට ගොස් අනුරාධපුර බස් රථයකට නැගීමට ඔහුට පැයකට ආසන්න කාලයක් ගත විය. එම දුර ගමන් සේවා බස් රථයට කොළඹ නගරයේ තදාසන්න ප්‍රදේශය පසු කිරීමට තවත් මිනිත්තු හතළිහක් පමණ වැය විය. බස් රථය වත්තල ප්‍රදේශයට පැමිණෙන විට පෙරවරු එකොළහටද ආසන්න වී තිබුණි. තමාට සාපේක්ෂව ලෝකය වැඩකරන්නෙ කොතරම් සෙමින් දැයි සිතෙන විට ඔහු තුල තමා පිළිබදව යම් ආකාරයක අභිමානයක් ඇති විය.


තවත් හෝරා දෙකකට පමණ පසුව බස් රථය වාරියපොළ නගරය පසුකර ගියේය. දැන් හමුවන ප්‍රදේශ බොහෝමයක ජන ඝනත්වය අඩු හෙයින් බස් රථයෙන් බැසීමට සුදුසු ස්ථානයක් සොයමින් හෙතෙම වීදුරුවෙන් පිටත නිරීක්ෂණය කරන්නට විය. තවත් මිනිත්තු කිහිපයකට පසුව විශාල කුඹුරු යායක් මැදින් වැටුණු පාරක් දුටු ඔහු එතැනින් බැසීමට තීරණය කළේය. ඉක්මණින් අසුනෙන් නැගිට ගත් ආකාශ් සීනුව නාද කරන ලණුව ඇද බස් රථයේ ඉදිරි දොර වෙත ගියේය.


“අයියෙ. ඉස්සරහ බහිනවා.”


මීටර කිහිපයක් ඉදිරියෙන් රියදුරා විසින් බස් රථය නතර කෙරුවේය. බසයෙන් බිමට බට ආකාශ් තමා සිටින වටපිටාව නිරීක්ෂණය කරන්නට විය. පෙනෙන තෙක් මානය පුරාම විහිදුනු එය ඉතා විශාල කුඹුරු යායකි. එය මැදින් වැටුණු පාර දිවෙන්නෙ තරමක් ඈතින් පිහිටි ගමකට විය යුතුය. කළු ගල් මුදුනක් සහිත ජනශුන්‍යය යැයි සිතිය හැකි විශාල ශේෂ කන්දක්ද තරමක් ඈතින් දැකිය හැකි විය. එය සැබවින්ම නෙත පිනවන ඉතා සුන්දර පරිසරයක් විය.


කුඹුරු යාය මැදින් වැටුණු පාර දිගේ ආකාශ් කිලෝමීටරයකට ආසන්න දුරක් ඇවිද ගියේය. කුඹුරු යාය අවසන් වීමත් සමගම තමා ගමකට සේන්දු වූ බව ආකාශ් දුටුවේය. එම ගම්මානය එතරම් ජනගහනයක් නොමැති ඈතින් නිවෙස් පිහිටි එකකි. කඩමණ්ඩියක් ළග රැදුනු මිනිසුන් සහ ගැහැණුන් කිහිපදෙනෙකු හැර එම මාර්ගය පාළු එහෙත් නිස්කලංක එකක් විය. නමුත් ආකාශ්ගේ අවධානය වැඩිපුර යොමු වූයේ මේ කිසිවකට නොව තරමක් ඈතින් පිහිටා ඇති බැලු බැල්මට ජනශුන්‍යය බව පෙනෙන ශේෂ කදුවැටියටය. ඔහුගේ සිතෙහි කිසියම් අදහසක් පහළ වී තිබුණි. එම අදහස ක්‍රියාත්මක කිරීමට ඈතින් පෙනෙන ශේෂ කන්දේ මුදුන ඉතා හොදින් ගැලපෙන ස්ථානයක් යැයි ඔහුට සිතුනි.


තවත් මිනිත්තු පහළොවක් පමණ ඉදිරියට ඇවිද ගිය ඔහු මාර්ගය දෙකට බෙදෙන ස්ථානයකට පැමිණියේය. ප්‍රධාන මාර්ගය තවදුරටත් ගම්මානය දෙසට හැරී තිබූ අතර අනිත් පටු අතුරු මාර්ගය ජනශුන්‍යය යැයි පෙනෙන වනාන්තරය දෙසට හැරී තිබුණි. ශේෂ කදුවැටියද අතුරු මාර්ගය දිවෙන දිශාවෙහි පිහිටි නිසා ආකාශ් අතුරු මාර්ගය තෝරා ගත්තේය.


තවත් මිනිත්තු විස්සක පමණ කාලයක් ඔහු අතුරු මාර්ගය දිගේ වනාන්තරය තුලට ඇවිද ගියේය. මග දෙපස වනාන්තරය ක්‍රමයෙන් ඝන වෙන බවත් තමා ක්‍රමයෙන් ශේෂ කන්දට ළගා වන බවත් ඔහුට පෙනුණි. කුඩා දොළ පහරවල් කිහිපයක් හමු වූ ඒ වනාන්තරය මැදින් වැටුණු කුඩා මාර්ගය අතිශයින්ම නිස්කලංක මෙන්ම සුන්දර එකක් විය.


තවත් මිනිත්තු දහයක් පමණ ගමන් කළ පසු අතුරු මාර්ගය අවසන් විය. දැන් ඔහු ඉදිරියේ ඇත්තේ නිශ්චිත මාර්ගයක් දැකිය නොහැකි තරමක් ඝන වියළි කලාපීය වනාන්තරයකි. ශේෂ කන්දටද තවත් කිලෝමීටර හතරක් හෝ පහක් පමණ දුරක් ඇති බව ඔහු අනුමාන කළේය. වටාපිටාවට තම අවධානය යොමු කළ ආකාශ් ළග පාතක කිසිවෙකු නොමැති බව සහතික කර ගත්තේය. දැන් තමාගේ සිතෙහි ඇති අදහසේ මුල් කොටස ක්‍රියාත්මක කිරීමට සුදුසුම වේලාවයි.


තම ගමන් මල්ල මාර්ගය පසෙකින් තිබූ කළු ගලක් මත තැබූ ඔහු එය විවෘත කර කාර්මිකයන් මුළු සිරුරම වැසෙන පරිදි අදින අන්දමේ කළු පැහැයට හුරු තද කොළ පැහැති ඇදුමක් පිටතට ගත්තේය. එය ඔහු මීට දින කිහිපයකට පෙර සැලකිය යුතු මුදලක් ගෙවා මිලදී ගත් එකකි. එහි විශේෂත්වය නම් එම ඇදුම තද උෂ්ණත්වයකට ඔරොත්තු දීම, ගිනි නොගැනීම සහ ලෙහසියෙන් ඉරීමකට ලක් නොවීමයි. ඉන්පසුව ඔහු පිළිවෙලින් අලුත් සපත්තු කුට්ටමක්, මුහුණු ආවරණයක් සහ පිහිනුම්කරුවන් විසින් දෑස් වලට ජලය යාම වළක්වා ගැනීමට යොදාගන්නා ඇස් ආවරණයක් පිටතට ගත්තේය. තමාගේ අධික වේගයට ඔරොත්තු දීම සදහා උසස්ම තත්වයේ භාණ්ඩ මිලදී ගැනීමට සිදු වූ හෙයින් මෙම ඇදුම් පැළදුම් කිහිපය සදහා පමණක් ඔහුට තමාගේ සම්පූර්ණ මාසික වේතනයම වියදම් කිරීමට සිදු විය. දැන් පැමිණ ඇත්තේ දැරූ වියදමේ ප්‍රතිඵල පරික්ෂා කර බැලීමේ වේලාවයි. 


ඉන්පසුව තමා ඇද සිටි කමිසය, කලිසම සහ පාවහන් යුවල ගලවා බෑගය තුලට දැමූ ආකාශ් ඔහුගේ විශේෂිත ඇදුම, සපත්තු කුට්ටම සහ ඇස් ආවරණය පැළද ගත්තේය. මුහුණු ආවරණය මේ මොහොතේදි අවශ්‍යය නැති බව ඔහුට සිතුණි. අවසානයේදී බෑගයද කරේ එල්ලාගත් ඔහු එය සිරුරට හොදින් සවි වන සේ පටි වලින් තද කර ගත්තේය.


ඔහුගේ ඉලක්කය වූයේ කිලෝමීටර හතරක් පමණ ඉදිරියෙන් ඇති ශේෂ කන්දේ මුදුන විය. එම කන්ද ආසන්න වශයෙන් අඩි දහසක්වත් උස විය යුතු යැයි ඒ දෙස බලා සිටි ඔහුට අවබෝධ විය. තමා එය තරණය කරන ආකාරය ගැන සුළු මොහොතක් කල්පනා කළ ඔහු මීලග මොහොතේ තවදුරටත් පමා නොවි තමාගේ වේගය උපයෝගී කරගෙන එක්වරම වනාන්තරය තුළට ධාවනය කළේය. කවුරුන් හෝ ආකාශ් දෙස බලා සිටියා නම් එම පුද්ගලයාට පෙනෙනු ඇත්තේ මිනිසෙකු හදිසියේම ඡායාවක් බවට පත් වී ක්ෂණිකව අතුරුදහන් වීමකි.


වනාන්තරය තුල මාර්ගය ඒකාකාරි නොවිය. ගස්, පදුරු, කුඩා දොළ පහරවල්, ගල් පර්වත වැනි දේ හේතුවෙන් ඔහු දැනට ගමන් කර ඇති උපරිම වේගයට සාපේක්ෂව මේ මොහොතෙහි ගමන් වේගය ඉතා අඩු විය. නමුත් එම මාර්ග බාධක නිසාම වේගයෙන් ගමන් කරන අතරතුර දිශාව වෙනස් කිරීමට ඔහු ඉගෙන ගත්තේය. ඒ අයුරින් මිනිත්තු කිහිපයක් පමණ ගමන් කිරීමෙන් පසුව කිලෝමීටර හතරකට වඩා දුරක් ගෙවා දැමූ ඔහු ශේෂ කන්ද පාමුලට පැමිණියේය.


නතර වී වටපිට බැලූ ඔහු දුටුවේ ශේෂ කන්ද ඇතුළු මෙම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජන ශූන්‍යය බවයි. ශේෂ කන්දේ සමහර ස්ථාන වල තද බෑවුම් ඇති හෙයින් බිමින් ගමන් කරනවාට වඩා පිම්මක් ගැනීම වඩාත් පහසු වනු ඇතැයි ආකාශ් සිතුවේය. නමුත් මෙම කන්ද අඩි දහසක් පමණ උස වූ හෙයින් එහි මුදුනට ළගා වීමට තමාට එකවර පිම්මක් ගැනීමට හැකි දැයි සැක සහිතය. කන්ද පාමුල සිට අඩි පන්සියයක් පමණ උසින් තැනිතලා බිමක් යැයි සිතිය හැකි ස්ථානයක් පෙනුන හෙයින් තමාගේ පළමු පිම්මෙන් එම ස්ථානයට යාමට ආකාශ් තීරණය කළේය.


නැවතත් වටපිට බැලූ ඔහු දුටුවේ තමා සිටින ස්ථානය මීටර හාරසියයක පමණ දිගින් යුතු තැනිතලා බිමක් බවයි. තමාට අවශ්‍යය වේගයට පැමිණ ඉහළට පිම්මක් පැනීම සදහා මෙම ස්ථානය ඉතා සුදුසු බව ආකාශ්ට වැටහුණි. එසේ නම් දැන් තමාගේ දිගු පිම්ම ආරම්භ කිරීමට කාලයයි.


ගැඹුරු හුස්මක් ගත් ආකාශ් තරමක් ඈතින් පිහිටි කළු ගලක් ඉලක්ක කර ධාවනය ඇරඹුවේ එම කළු ගලට පය තබා ඉහළට පැනීමටය. තත්පර පහක වැනි සුළු කාලයක් තුල ඒ කළු ගල වෙත පය තැබූ ඔහු ශේෂ කන්ද ඉලක්ක කර ඉහළට පිම්මක් පැන්නේය.


ඔහු ක්ෂණිකව ගුවන් ගත විය. එසේම ඔහු සිතුවාට වඩා ඉහළකට ඔහුව විසිවී ගියේය. ශේෂ කන්දේ උසින් අඩක පිහිටි ඔහු ඉලක්ක කර ස්ථානයට වඩා ඉහළකට ගිය නිසා ගොඩ බැසීමට වෙනත් ස්ථානයක් ඔහු තෝරා ගත්තේය. මීළග මොහොතේ දෑත සහ දෙපය විවිධ අයුරින් චලනය කරමින් තමා ගමන් කරන දිශාව අවශ්‍යය පරිදි වෙනස් කරගත් ආකාශ් තත්පර කිහිපයක් ඇතුලට ඔහු දෙවනුව ඉලක්ක කරගත් ස්ථානයට ළගා විය.


වේගය අඩාල කර ගැනීම සදහා ඔහු කළේ උස් ගසක අත්තක් අල්ලා ගැනීමයි. ඔහුගේ වේගය නිසා එම අත්ත කැඩී ගියද එයින් ඔහුට අවශ්‍ය තරමට වේගය අඩාල විය. නිරුපද්‍රිතව පොළොවට පය තැබීමට සමත් වූ ආකාශ් දුටුවේ ශේෂ කන්දේ මුදුනට ළගා වීම සදහා තමාට තව යාමට ඇත්තේ කෙටි දුරක් පමණක් බවය. එසේම මෙම ස්ථානයේ සිට කදු මුදුනට තද බෑවුමක් නොමැති හෙයින් පයින් ගමන් කළ හැකි විය.


වේගයෙන් ගමන් කිරීම පසෙක තැබූ ආකාශ් කදු මුදුන වෙතට සෙමින් ඇවිද යාමට තීරණය කළේ වටපිටාවේ දක්නට ලැබෙන මනස්කාන්ත දර්ශනය හේතුවෙනි. තවත් මිනිත්තු කිහිපයකට පසුව ඔහු නැවතත් කුඩා තැනිතලා බිමකට ළගා විය. කදු මුදුනට ඇත්තේ තවත් අඩි පනහක පමණ උසක් පමණි. තවත් මීටර කිහිපයක් ඉදිරියට ඇවිද ගිය ඔහු එක්වරම දුටු දෙයින් විස්මයට පත් විය.


ඔහු ඉදිරියෙහි වූයේ කන්ද ඇතුලට හෑරී තිබූ විශාල ගුහා විවරයකි. සැබවින්ම ඔහු විස්මයට පත් වූයේ ගුහා විවරය දැකීමෙන් නොව එම ගුහා විවරයේ ස්වභාවය දැකීමෙනි. එය කිසිසේත්ම ස්වභාවිකව නිර්මාණය එකක් නොවූ බව දුටු වහාම ඔහු අවබෝධ කර ගත්තේය. අඩි දහයක් පමණ උස සහ අඩි දහයක් පමණ පළල ජ්‍යාමිතික හැඩයක් ගත් එම ගුහා විවරයේ දාර ඉතා සුමටව කපා ඇති බව ඔහු නිරීක්ෂණය කළේය.


ආකාශ් සෙමින් විවරය වෙත ළං වූයේය. එහි ඇතුලත ඝන අන්ධකාරයෙන් වැසී තිබුණි. තම ජංගම දුරකතනයේ තිබූ විදුලි පන්දම් අලෝකය ගුහා විවරය තුළට යොමු කළද එයින් ඔහුට දැකිය හැකි වූයේ ඉතා සීමිත දුරක් පමණි. තම ශ්‍රවණ ඉන්දියන් ගුහාව තුලට යොමු කළ ඔහුට එය තුල වවුලන් හැර වෙනත් සතුන් හෝ මිනිසුන් සිටින බවට හැගවෙන ශබ්දයක් නොඇසුණි.


කුතුහලය නිසාම ගුහාව තුල අඩි කිහිපයක් ඔහු ඉදිරියට ඇවිද ගියේය. ගුහාවේ බිත්ති වෙත විදුලි ආලෝකය යොමු කළ ඔහු දුටුවේ එම කළුගල් බිත්ති ඉතාමත්ම සුමටව කපා ඇති බවයි. මෙම ගුහාව මෑත කාලයේදී සෑදු එකක් නොවිය යුතු බව ඔහු තීරණය කළේ එහි ස්වභාවය සහ ඇතුලතින් නැගුනු පුස් ගද හේතුවෙනි. එසේම මෙම ගුහාව වවුලන්ගේ රජ දහනක් වී ඇති බව අඩි කිහිපයක් යාමට මත්තෙන්ම ඔහුට අවබෝධ විය.


තවත් ඉදිරියට යන විට දොරටුව ඇති දිශාවෙන් නැගෙන ආලෝකය තවත් අඩු විය. කෑලි කැපිය හැකි දැඩි අදුර විනිවිද දැකීමට ජංගම දුරකතනයේ විදුලි පන්දම් එළිය හෝ ඔහුගේ දෘශ්‍යය හැකියාව ප්‍රමාණවත් නොවිය. එම නිසා තවත් අඩි කිහිපයක් ඉදිරියට යාමෙන් පසුව ආපසු හැරී යාමට ඔහු තිරණය කළේය. නමුත් විදුලි ආලෝකය ඉදිරියට සහ දෙපසට යොමු කළ ඔහු නැවතත් විමතියට පත් වූයේ ඉදිරියෙන් ඇති දෙය දැකීමෙනි.


ඔහු දෙපස තිබූ ගල් බිත්ති වල පරතරය වැඩි වී තිබුණි. ආරම්භ වූ ස්ථානයේ අඩි දහයක පමණ පළලක් තිබුණද දැන් එය අවම වශයෙන් අඩි හතළිහක්වත් විය යුතු යැයි ඔහු අනුමාන කළේය. සැබවින්ම ඔහු දැන් සිටින්නේ ශාලාවක් වැනි ස්ථානයක් තුලය. ඔහු විමතියට පත් වුයේ එම ශාලාවට නොව එය අවසානයේ තිබූ දේ දැකිමෙනි.


ශාලාව අවසානයේ තවත් දොරටු දෙකක් විය. එය වෙත ඇවිද ගොස් ළං වී බැලූ ඔහු දුටුවේ එම දොරටු දෙක පියගැට පෙළවල් දෙකක් වෙත ඇතුල්වන දොරටු බවයි. කළු ගලින් තැනූ එම පියගැට පෙළද ඉතාමත් සුමටව කපා ඇති බව ඔහු දුටුවේය. එක් පියගැට පෙළක් පහළට යාමටත් අනිත් පියගැට පෙළ ඉහළට නැගීමටත් යොමු වී තිබුණි. ඉහළට යොමු වූ පියගැට පෙළ කන්ද මුදුනට යාමටත් පහළට යොමු වූ පියගැට පෙළ කන්ද තුලට හෝ පාමුලට යාමටත් විය යුතු බව ඔහුට හැගි ගියේය. එසේ නම් මෙම අද්භූත උමං ගුහාව කදු ගර්භය තුලට බොහෝ දුරක් ඇදී යනු ඇතැයි ඔහුට සිතුණි.


මෙම ගුහා විවරය ඇති ස්ථානයට වාහනයකින් තබා පයින්වත් පැමිණිමට මාර්ගයක්වත් නොමැති හෙයින් මෙය නියත වශයෙන්ම මෑත කාලයේදී සෑදු එකක් නොවිය යුතුය. එසේ නම් මෙය තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හමු නොවූ අතීතයේ ඉදි කළ විශ්මිත ඉදිකිරීමක් වත්ද? මෙය අතීතයේ වැඩ වාසය කළ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදි කළ ආරාමයක් නම් නොවන බව ආකාශ්ට සහතික කර කිව හැකි විය. අනුරාධපුරයේ උපන් ඔහු ඉපැරණි ආරාම ඕනෑතරම් දැක ඇත. ආරාමයක දැකිය හැකි කිසිදු ලක්ෂණයක් ඔහුට මෙහි දක්නට නොවිය. සැබවින්ම ඔහුට හැගුණේ මෙම ස්ථානය යන්ත්‍ර සූත්‍ර භාවිත කර කිසියම් තාක්ෂණික කටයුත්තක් සදහා ඉදිකළ එකක් බවයි. එසේ නම් මෙය තමන් පාසලේදි ඉගෙනගත් ඉතිහාසයටත් වඩා ඉපැරණි එකක් විය යුතුය. වසර පන්දහසකටත් වඩා ඈත අතීතයේ ජීවත් වූ රාවණ රජු සහ එම චරිතය වටා ගොඩ නැගී ඇති දියුණු ශිෂ්ඨාචාරයක කතාව ඔහු කුඩා කාලයේදි ගමේ වැඩිහිටියන්ගෙන් අසා තිබුණද ඒ පිළිබද කරුණු විශේෂයෙන් සොයා බැලීමේ උවමනාවක් ඔහුට මීට පෙර ඇති වී නොතිබුණි. සමහර විට එම කතා වලින් යම් කොටසක් හෝ සත්‍යය විමටද ඉඩක් ඇති බව මෙම අද්භූත ස්ථානය දුටු විට ඔහුට නිතැතින්ම හැගි ගියේය.


මෙම ගුහාව හොදින් පරික්ෂා කර බැලීමට ඔහුට තදබල ආශාවක් ඇති වූවද එයින් තම ගමන ප්‍රමාද වී නිසි වේලාවට සිය සහෝදරයාව මුණගැසීමට නොහැකි වනු ඇත. එම නිසා ගුහාව පරික්ෂා කිරීම වෙනත් දිනකට කල් දැමූ ඔහු අනුරාධපුරය තෙක් තමාගේ ඉදිරි ගමන ගමන ගැන සිතන්නට විය.


ඔහුට ගමන් කළ යුතු වූයේ කදු මුදුනටය. තමා දැන් සිටින ස්ථානයේ සිට කදු මුදුනට ඇත්තේ අඩි පනහක පමණ උසක් විය යුතුය. එසේ නම් ඉහළට ඇදෙන පඩිපෙළ නියත වශයෙන්ම කදු මුදුනට ගමන් කිරීම සදහා සෑදු එකක් විය යුතුය.


ආකාශ් ඉහළට ඇදෙන පිය ගැට පෙළ නගින්නට විය. එහි තැනින් තැන වර්ෂාවට සේදී පැමිණි පස් රැදී තිබෙනු ඔහු දුටුවේය. අඩි තිහක් පමණ ඉහළට නැගුණු පසු පියගැට පෙළ දකුණු දිශාවට හැරුණු අතර එම වංගුව ඇති ස්ථානයේම වර්ෂාවට ගසාගෙන ආ විශාල පස් ගොඩක් තිබෙනු ඔහු දුටුවේය. එම වංගුව වෙත ජංගම දුරකතනයේ විදුලි පහන් ආලෝකය යොමු කළ ඔහු තවත් සුවිශේෂි දෙයක් දුටුවේය. එය හුදු ගල් බිත්තියක් නොව වසා දැමූ අඩි අටක් පමණ උස විශාල දොරටුවකි. නමුත් එම දොරේ උසින් හරි අඩකටත් වඩා පස් වැසී තිබුණි.


පස් කණ්ඩිය මතට නැගුනු ආකාශ් ගල් දොරටුවට අතින් තල්ලුවක් දමා බැලුවේ එය විවෘත වන්නේ දැයි බැලීමටය. නමුත් එහි කිසිදු සෙලවීමක් නොවිය. බොහෝ දුරට එය මුද්‍රා තබා වසා දැමූ එකක් විය යුතුය. මෙම ස්ථානය අනිවාර්යෙන්ම අනාගතයේ දිනක පරික්ෂා කර බැලිය යුතු බව ඔහු සිතා ගත්තේය.


අපතේ යැවීමට කාලයක් නොමැති හෙයින් ඔහු දකුණු දිශාවට හැරුණු පඩි පෙළ දිගේ ඉහළට යන්නට විය. තවත් අඩි දහයක් යාමටත් මත්තෙන් ඉහළින් නැගෙන කුඩා ආලෝකයක් ඔහුට දර්ශනය විය. එය පිටතට යන විවරයෙන් එන ආලෝකයක් විය යුතු යැයි ඔහු අනුමාන කළේය. තවත් සුළු මොහොතකට පසු තමාගේ අනුමානය නිවැරදි බව ඔහු දැන ගත්තේ ඉදිරියෙන් පිටතට යන විවරය දර්ශනය වීමෙනි. නමුත් එහි අඩකටත් වඩා පස් කණ්ඩියකින් වැසී තිබුණි. විවරය ආසන්නට පැමිණි ඔහු පළමුවෙන්ම තම ගමන් මල්ල එයින් පිටතට දැම්මේය. ඉන්පසුව ඔහු එම කුඩා විවරයෙන් තරමක් අපහසුවෙන් යුතුව බඩගාගෙන පිටතට රිංගා ගත්තේය.


විවරයෙන් පිටතට පැමිණ වටපිට බැලූ ඔහුට තමාගේ අනුමානය නිවැරදි බව අවබෝධ විය. එය ශේෂ කන්දේ මුදුනයි. අසල වූ කළු ගලක් මත හිද ගත් ඔහු අවට පෙනෙන මනස්කාන්ත දර්ශනය නරඹන්නට විය. සැතපුම් ගණනාවක් ඈතින් පිහිටා ඇති නිල්වන් පැහැති ජලාශ සහ හරිත පැහැයෙන් දිදුලන කුඹුරු යායවල් දෙස ඔහු වශී වූවාක් මෙන් මොහොතක් බලා සිටියේය.


තවත් මිනිත්තු කිහිපයකට පසුව හුන් තැනින් නැගී සිටි ඔහු තමා සිටින කදු මුදුන පරික්ෂා කරන්නට විය. මෙම කදු මුදුන මෑත කාලයකදී නම් මිනිස් පයක ස්පර්ශය නොලැබ ඇති බව ඔහුට පෙනෙන්නට විය. තමාට ආවේණික ක්‍රමයකට කදු මුදුනට ළගා වූවද සාමාන්‍යය මිනිසෙකුට හෙලිකොප්ටර් යානයක් මගින් ගුවනින් පැමිණිම හැර මෙය තරණය කිරීම පහසු නොවිය. නමුත් එය එසේ නොවිය හැකි බව ඔහුට කල්පනා වූයේ කදු ගර්භයේ තිබූ පහළට ඇදෙන පියගැට පෙළ මෙනෙහි වීමෙනි. ඉහළට ඇදෙන පියගැට පෙළ ඔස්සේ කන්ද මුදුනට පැමිණිය හැකි නම් පහළට ඇදෙන පඩිපෙළ බොහෝ දුරට කන්ද පාමුල දක්වාම දිවෙනු ඇත. එසේ වුවහොත් කදු ගර්භය තුල කන්ද පාමුලේ සිට කන්ද මුදුන දක්වාම පහසුවෙන් ළගා විය හැකි මාර්ගයක් තිබිය හැක. නමුත් මෙම අද්භූත මෙන්ම රහසිගතව සගවා ඉදිකර ඇති අභ්‍යන්තර ඉදිකිරීම කවුරුන් විසින් කුමක් සදහා ඉදිකරන ලද්දක් දැයි ඔහුට සිතාගත නොහැකි විය. එයට පිළිතුර මේ මොහොතේ තමාට සොයා ගැනීමට නොහැකි නිසා නැවතත් ඔහු තම ගමන ගැන සිතන්නට විය.


ජංගම දුරකතන තිරයේ වේලාව පස්වරු දොළහයි තිස්පහ ලෙස සටහන් වී තිබුණි. තම සොහොයුරාව හමුවන ස්ථානයට යාම සදහා ඔහුට තව පැය දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබුණි. ජංගම දුරකනයේ මාලිමාවට අදාල මෘදුකාංගය ක්‍රියාත්මක කළ ආකාශ් එහි පෙන්වන දිශාවන්ට අනුව අනුරාධපුරය පිහිටි දිශාව සොයාගත්තේය. ඉන්පසුව ඔහු කදුමුදුන මත එම දිශාවට යාම සදහා පිම්මක් ගත හැකි ස්ථානයක් සොයන්නට විය.


තරමක් විශාල ශේෂ කන්දක් වූ එම තැනිතලා කදු මුදුන් භූමියේ දිග ආසන්න වශයෙන් මීටර පන්සියයක් පමණ වනු ඇතැයි ආකාශ් අනුමාන කළේය. නමුත් අනුරාධපුරය ඇති දිශාවට පිම්මක් ගැනම සදහා ධාවනය කිරීමට කදු මුදුන් භූමිය මත පරිහරණය කළ හැකි දුර ආසන්න වශයෙන් මීටර තුන්සියයක් පමණක් වන බව ඔහු නිරීක්ෂණය කළේය. ඊට හේතුව එම කදු මුදුන විශාල කළු ගල් පර්වතයක් වූවද ස්ථාන කිහිපයක පස් රැදීම හේතුවෙන් සරුවට වෘක්ෂලතා කිහිපයක් වැවී තිබීම සහ පර්වතය මතත් තරමක් විශාල කළු ගල් පර්වත කිහිපයක් පිහිටා තිබීමයි.


තමාට ධාවනයේ යෙදිය හැකි භූමියේ එක් කෙළවරක සිට අනිත් කෙළවරකට ආකාශ් ඇවිද ගියේ අදාළ භූමිය පරික්ෂා කිරීමටය. කළු ගලක් වූ එහි තද පොළොවක් තිබීම නිසා පිම්ම ගැනීමට එම පොළොව ඉතා සුදුසු විය. නමුත් දුර තව ටිකක් වැඩි වුණා නම් වඩා හොද යැයි ආකාශ් සිතුණි. නමුත් ඒ පිළිබදව මේ මොහොතේ කල්පනා කිරීම නිශ්ඵල හෙයින් ඔහු ඇස් ආවරණය පැළදගෙන බෑගය සිරුරට සවි වන සේ පටි තද කර ගත්තේ දීර්ඝ පිම්මට සූදානම් වීම සදහාය.


කදු මුදුන් භූමියේ එක් කෙළවරකට ගිය ඔහු තමාට හැකි උපරිම වේගයෙන් ධාවනය ඇරඹුවේය. මීටර තුන්සීයයක් වූ එම දුර පියවීමට ඔහුට ගත වූයේ තත්පර පහකටත් වඩා අඩු කාලයකි. භූමිය අවසන් වෙනවාත් සමගම ඇති කෙළවරෙහි තදින් පය තැබූ ඔහු හැකි උපරිම වෙර යොදා පිම්ම ගත්තේය.


සාමාන්‍යය මිනිසෙකුගේ පියවි ඇසට ග්‍රහණය කරගත නොහැකි තරම් වේගයකින් ඔහු ගුවන්ගත විය. තත්පර කිහිපයක් ඇතුලත පහළින් පෙනෙන දර්ශනය නොපෙනී ගියේ ඔහුට පහළින් වැසි වළාකුළු යැයි සිතිය හැකි අළු පැහැති වළාකුළු කිහිපයක් පාවී යාම හේතුවෙනි. තමා ආසන්න වශයෙන් පොළොව මට්ටමේ සිට අඩි පන්දහසක්වත් ඉහළට ගොස් ඇතැයි ඔහු අනුමාන කළේය. තමාගේ වේගයද වෙනදාටත් වඩා ඉතා අධික බව ඔහුට දැනුණි. එසේම තමාගේ අලුත් ඇදුම මෙම වේගයට වඩාත් හොදින් ඔරොත්තු දෙන බව ඔහු දැනගත්තේ එහි මතුපිට රත්වීම ඉතා අල්ප වූ බැවිනි.


තවත් තත්පර කිහිපයකට පසුව වළාකුළු වලින් තොර වූ කලාපයකට ඔහු පැමිණියේය. පහළ දර්ශනය ඉතා පැහැදිලිව පෙනෙන්නට විය. මාර්ගයන් පෙනුනේ කුඩා රේඛා මෙනි. කිලෝමීටර ගණනක් දිග වෙල් යායවල්, ජලාශ, කෙත්වතු, ගංගා සහ වනාන්තර ඔහු පසුකර ගියේ ඇසිල්ලකිනි. සිතට දැනුණේ පුදුමාකාර නිදහසක් සහ ආත්ම තෘප්තියකි.


තවත් මිනිත්තුවකට පමණ පසුව තමාව ක්‍රමයෙන් පහළට ඇදී යන බව ඔහුට වැටහුණි. තමා දැන් සිටින ප්‍රදේශය කුමක් දැයි හදුනාගැනීමට උත්සහ කළද ඔහුට ඒ පිළිබදව කිසිදු අදහසක් නොවිය. එය කුමක් වූවත් ජනගහනය ඉතා අඩු ප්‍රදේශයක් බව ඔහු නිගමනය කළේ නිවාස ඉතා ස්වල්පයක් පමණක් දක්නට ලැබීමත් සැතපුම් ගණනාවක් පුරා දිගට විහිදුනු වනාන්තර සහ කුඹුරු යායවල් දක්නට තිබීමත් හේතුවෙනි.


තවත් තත්පර කිහිපයකට පසුව ඔහු සිටියේ පොළොව මට්ටමේ සිට අඩි සියයක් පමණ උසිනි. තව සුළු මොහොතකින් තමා පොළොව මත පතිත වන නිසා ගොඩබැසීමට සුදුසු ස්ථානයක් ඔහු සොයන්නට විය. තරමක් ඈතින් බොරළු පාරක් යැයි සිතිය හැකි මාර්ගයක් දක්නට ලැබීම හේතුවෙන් ඔහු වාතය තුල කිමිදෙමින් ඒ දිශාවට යන්නට විය.


මීළග තත්පර කිහිපයේදී ඔහුගේ දෙපය බොරළු පොළොව ස්පර්ශ කළේය. සිදුවන තද ඝට්ටනයෙන් තම පාවහන් යුවළ බේරා ගැනීම සදහා දෙපා පොළොව මත තබනවාත් සමගම ඔහු නැවතත් සුළු පිම්මක් ගත්තේය.


මේ අයුරින් අවසානයේදි වටපිටාවේ කිසිවෙකුත් පෙනෙන්නට නැති ජනශුන්‍ය බොරළු පාරක් මත ඔහු තම දීර්ඝ පිම්ම අවසන් කළේය. වටපිට බැලූ ඔහුට දෙපසින්ම දක්නට ලැබුණේ ලදු කැලෑවයි. මිනිස් පුළුටක් පෙනෙන තෙක් මානයකවත් නොවිය. තමා සිටින ස්ථානය ගැන කිසිදු අදහසක් නොමැති හෙයින් ඔහු ජංගම දුරකතනය ගෙන එහි සිතියමේ තමා සිටින ස්ථානය කුමක්දැයි පරීක්ෂා කරන්නට විය. සිතියමට අනුව ඔහු සිටින්නේ තලාව ප්‍රදේශයට ආසන්නවය. එසේ නම් ඔහුගේ පිම්ම සාර්ථක වී ඇත. ගමනේ බොහෝ දුරක් ඔහු මේ වන විටත් සම්පූර්ණ කර ඇත. වේලාව දැක්වූයේ දොළහයි හතලිස්හතර ලෙසය. තමා මිනිත්තු හතරක් හෝ පහක් පමණ ගුවනේ රැදී සිට ඇතැයි ආකාශ් කල්පනා කරන්නට විය.


සිය සොහොයුරාව මුණගැසීම සදහා ඔහුට තව පැය දෙකකටත් වඩා ඉතිරිව තිබුණි. තමාගේ වේගයට අනුව ගමන් කළහොත් තම උපන් ගම වෙත යාම සදහා ඔහුට ගත වනු ඇත්තේ තවත් මිනිත්තු දෙකක් හෝ තුනක් පමණි. එම නිසා කලක පටන් ඔහුගේ සිතෙහි තිබූ අදහසක් ක්‍රියාත්මක කර ගැනීම උදෙසා එම කාලය යොදා ගැනීමට ඔහු සිතුවේය. එනම් අනුරාධපුරයේ ඔහු ප්‍රිය කළ ස්ථාන කිහිපයක ගුවනින් සංචාරය කිරීමයි.



* * *



සිය සොහොයුරාව හමුවන ස්ථානයට පොරොන්දු වූ වේලාවට වඩා කලින් පැමිණි හෙයින් ආකාශ් සිරිනේලිස්ගේ පැල අසලින් ගලා බසින කුඩා දොළ පහර අසල තිබූ කළු ගලක් මත හිද සිටියේය. මිනිත්තු කිහිපයකට පසුව වෙල් යායේ එහා කෙළවරෙහි ඇති පාර දිගේ යතුරු පැදියක් ඇදී එනු පෙනෙන්නට විය. ඒ තම සොහොයුරා නිමේෂ් බව ආකාශ් ඈත තියාම හදුනාගත්තේය.


යතුරු පැදිය මාර්ගය අයිනේ තිබූ ගසක් යට නතර කළ නිමේෂ් කුඹුරු යාය මැදින් වැටුනු පටු බොරළු අඩි පාර ඔස්සේ සිරිනේලිස්ගේ පැල වෙත ඇවිද එන්නට විය. තමා සිටින ස්ථානය දැන්වීම සදහා ආකාශ් ඈතින් ඇවිද එන තම සොහොයුරාට අත වැනුවේය. නිමේෂ්ද පෙරළා අත වැනුවේ තමා ඔහුව දුටු බව දැන්වීමටය. තවත් මිනිත්තු දෙකකට පමණ පසුව නිමේෂ් ආකාශ් සිටි තැනට පැමිණියේය.


“මොකෝ මල්ලි මේ ඔවරෝල් කිට් එකක් ඇදගෙන? උඹ වැඩ කරන ගමන් ඉන්දෙද්දි එහෙම්ම බස් එකේ නැග්ගද?” ආකාශ් ඉදගෙන සිටි කළු ගල් පර්වතයට නගිමින් නිමේෂ් ඇසුවේය.


“නෑ… නෑ… මං මේක ටිකකට කලින් ඇදගත්තෙ. ඒ විස්තර ඔක්කොම කියන්නම්. මේ… කෑම්ප් එකේ තත්වෙ මොකො? දැන් ආපහු හවස යන්න ඕනෙ නෑනෙ. හෙට ගියාම ඇති නේද?”


“බෑ බෑ. පැය තුනකින් එනව කියල මං ආවෙ. ලොක්කට රටේ නැති බොරු ගොඩක් කියන්න වුණා.”


“එහෙමද?” ආකාශ් කීවේය. එසේ වූවද තව සුළු මොහොතකින් ඇරඹීමට නියමිත ඔවුන් දෙදෙනාගේ සුවිශේෂි සාකාච්ඡාව අවසන් වූ පසු අද දින නිමේෂ් නැවත කදවුරට නොයන බව ආකාශ් ස්ථිර වශයෙන්ම දැන සිටියේය.


“ඉතින් මොකො මල්ලි මේ හදිසියේම? උඹ අවුරුද්දකට විතර පස්සෙ නේද ගම පැත්තෙ ආවෙ?” ආකාශ් අසලට පැමිණි නිමේෂ් ආකාශ්ගේ පිටට තට්ටුවක් දමා ගල් පර්වතය මත වාඩි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!