Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 16

ISBN 978-955-44323-2-1

“ඔව්. මේ ගෙදරත් එක්ක තියෙන ප්‍රශ්නෙ ඉවරකර ගන්නත් එක්කම තමයි මං අද ආවෙ.”

 

“හහ්, එහෙනම් ඉතින් අද බැණුම් අහන්න හිත හදාගෙන හිටපං.” නිමේෂ් සිනාසෙමින් පැවසුවේ සිය පියාගේ ස්වභාවය මෙනෙහි වීමෙනි.

 

“මං ඒකට රෙඩි වෙලා තමයි ආවෙ. තාත්ත දැන් ගෙදර ඇති නේද?”

 

“මොකක් හරි පන්සලේ හරි සමිතියේ හරි වැඩක් සෙට් කරගෙන නැත්නම් ඇති.”

 

ඉන්පසුව තත්පර කිහිපයක නිහැඩියාවක් ගත විය. තම කතාව ආරම්භ කළ යුතු ආකාරය ගැන ආකාශ් සිතන්නට විය. තව දුරටත් පමා නොකර කෙළින්ම කාරණයට බැසීමට අවසානයේ ඔහු තීරණය කළේය.

 

“අයියෙ. මං අද හදිසියේම හම්බවෙන්න ආවෙ මං ගැන පොඩි විශේෂ දෙයක් කියන්න. මේ ගැන අම්මටයි තාත්තටයි කියනවද, කියන්නෙ කොහොමද කියල අපි පස්සෙ කතා කරමු. මේකයි සීන් එක.” පවසමින් ආකාශ් දීර්ඝ කතාවකට මුල පිරීමට මෙන් පහසු ඉරියව්වකට මාරු වුණේය.

 

“ඔයාට මතකද දන්නෑ මං කිව්ව මාස ගාණකට කලින් මං අම්පාර පැත්තෙ වැඩකට ගියා කියල. යුද්ධ කාලේ වෙච්ච හමුදාවෙ පරණ කේස් එකක්. දැන් ටිකක් කල් හැබැයි.”

 

“ආ… ඔව්. මට ලාවට වගේ මතකයි. අර හාමුදුරු කෙනෙක්ගෙන් පරණ පුස්කොළ පොත් වගයක් හම්බවුණා කියල කිව්වෙත් එහෙදි නේද? ඒලියන්ස්ලා ගැන ලියල තිබුණ කියල කිව්වෙ?”

 

“අන්න හරි. එහෙ තමයි. එතනින් තමයි මට කතාව පටන් ගන්න තියෙන්නෙ. මං එහෙට ගියෙ වෙපන්ස් වගයක් චෙක් කරල රිපෝට් එකක් හදන්න. කොහොම හරි ආපහු කොළඹ එන්න දවස් එකහමාරක් විතර තියෙද්දි වැඩ ටික ඉවර වෙච්ච හින්දා අපි ගියා කැලේ අයිනෙ හේනක් අටවගෙන ඉන්න මනුස්සයෙක් හම්බවෙන්න. ඒ ගියෙ ඊට මාසෙකට දෙකකට විතර කලින් අතුරුදහන් වෙච්ච ගිහාන් කියල ඒ ගමේ හිටපු කොල්ලෙක් ගැන විස්තර වගයක් අහගන්න. එතනින් තමයි මේ සීන් එක පත්තු වෙන්න ගත්තෙ. අයියෙ, මං දන්නෑ ඔයා විශ්වාස කරයිද කියල. හැබැයි පොඩි කාලේ මං පහළ කැලේදි දැක්ක දේම අර මනුස්සයත් දැකල තියෙනව.”

 

“පොඩි කාලෙ දැක්ක එක කිව්වෙ? අර ඒලියන් යානාවද?”

 

“ඔව්. ඒක තමයි. ඔය ගමේ දෙව්ගල කියල ටිකක් ලොකු කන්දක් තියෙනව. ඒ කන්ද මුදුනට කිට්ටුව අහසෙදි තමයි මිනිහ ඒක දැකල තියෙන්නෙ. එයා විතරක් නෙමෙයි. ඒ කන්දෙ ටිකක් අමුතු දේවල් වෙනව කියල ඒ ගමේ දෙතුන් දෙනෙක්ගෙන්ම මට අහන්න ලැබුණා. ඉතින් පහුවෙනිදා උදේ මමයි, මහේෂ් කියල එහෙ ඉන්න පොලිස් ඔෆිසර් කෙනෙකුයි, පන්සලේ පොඩි හාමුදුරුවොයි කන්ද බලන්න ගියා.”

 

“හාමුදුරුවොත් ආවද?”

 

“ඔව්, ඒ හාමුදුරුවො මේ ගැන සෑහෙන්න උනන්දුයි. අනිත් එක පුස්කොළ පොතේ ඒලියන්ස්ල ගැන ලියන තියෙන හාමුදුරුවොත් වැඩ ඉදල තියෙන්නෙ ඒ කන්ද උඩ තියෙන ආරණ්‍යයක. දැන් නම් ඒක අතහැරල දාල. ඉතින් පොඩි හාමුදුරුවන්ට ඒක බලන්නත් ඕනෙකම තිබුණා. කොහොම හරි උඩට ගියාට පස්සෙ අපි තුන්දෙනා තුන් පැත්තකට බෙදිල ගියා. ඊට පස්සෙ තමයි හිතාගන්න බැරි දේ වුණේ. මං මේ කල්පනා කලේ කොහොමද ඒක ඔයාට කියන්නෙ කියල.”

 

“ඒ කිව්වෙ?”

 

“මෙහෙමයි අයියෙ. මට නිදිමතක් වගේ එකක් ආවා. විනාඩියක් වගේ ඇතුලත හිතාගන්න බැරි ගාණට වැඩි වුණා. ඊට පස්සෙ පිච්චෙන ගදක් ආපු නිසා බැලුවහම තමයි මං දැක්කෙ මගේ අත් වල මයිල් පිච්චෙනවා. එතනින් යන්න හැදුවට මට යන්න බැරි වුණා. එහෙම්ම බිම ඇදන් වැටුණා. මහේෂුයි හාමුදුරුවොයි නම් කිව්වෙ මට නින්ද ගිහින් තිබුණෙ කියල.”

 

“උඹට කලන්තයක් හැදෙන්න ඇති.”

 

“මාත් හිතුවෙ එහෙම තමයි. ඒත් මට ඇත්තටම නින්ද ගිහින් තිබුණෙ. ඊට පහුවෙනිද කොළඹ ආවට පස්සෙත් මට එක දිගට දවසක් විතර නින්ද ගියා. ඊට පස්සෙ තමයි මේ හැමදෙයක්ම පටන් ගත්තෙ.”

 

නිමේෂ් සාවධානව කතාවට සවන් දී සිටියේ තම සොහොයුරා කියන්නට සැරසෙන්නේ කුමක් දැයි සිතා ගැනීමට නොහැකිවය.

 

“අයියට මං මේ කියන දේවල් විශ්වාස කරන්න බැරි වෙයි. හැබැයි මං කරල පෙන්නනම්.” පැවසූ ආකාශ් මද නිහැඩියාවකට පසුව නැවත සිය හඩ අවදි කළේය.

 

“මට අමුතුම බලයක් ලැබුණා අයියෙ. මට දැන් ගොඩක් ඈත තියෙන දේවල් අහන්න දකින්න පුළුවන්. බුලට් එකකට වඩා හයියෙන් දුවන්න පුළුවන්. කිලෝමීටර් ගාණක් දුරට පනින්න පුළුවන්. ඇත්තම කියනව නම් මං අද කොළඹ ඉදන් අනුරාධපුරේට ආවෙත් එහෙම තමයි.”

සිය බාල සොහොයුරා තමාව මෝඩයාට ඇන්දීමට උත්සහ කරනවා දැයි නිමේෂ්ට මොහොතකට සිතුණි. නමුත් ඔහුගේ මුහුණෙහි එවැනි ස්වභාවයක් නොවිය. එහි තිබුණේ බැරෑරුම් පෙනුමකි.

 

“මං දන්නව අයියෙ ඔයාට මං කියන්නෙ මේ මොකද්ද හිතාගන්න බැරුව ඇති. ඒ හින්ද මං වැඩ ටිකක් කරලම පෙන්නන්නම්.” පැවසූ ආකාශ් හුන් තැනින් නැගී සිටියේය.

 

කිසිවක් නොපැවසූ නිමේෂ්ද ආකාශ්ව අනුගමනය කරමින් හුන් තැනින් නැගී සිටියේය. සැබවින්ම ආකාශ් පැවසූ දේවල් පිළිබදව කිසිදු අදහසක් ඔහු තුල නොවිය.

 

“අයියෙ. වෙල එහා පැත්තෙ තියෙන ඔයාගෙ බයික් එක ළගට දුවල එන්න සාමාන්‍යයෙන් මනුස්සයෙකුට විනාඩි හතරක් පහක් විතර යනවනෙ. හැබැයි මට පුළුවන් තත්පර දෙකකින් වගේ ඔතෙන්ට ගිහින් එන්න.”

 

“හරි. කරල පෙන්නන්නකො බලන්න.”

 

ආකාශ් තම සන්දර්ශනය ආරම්භ කළේය. නිමේෂ්ට සිතීමටවත් කාලයක් ඉතිරි නොකළ ඔහු තම වේගය යොදාගෙන ක්ෂණිකවම වෙල් යාය එහා කෙළවරෙහි තිබූ යතුරුපැදිය වෙත ගොස් නැවත පැමිණියේය.

 

සිදුවූයේ කුමක් දැයි සිතාගැනීමට නොහැකිව නිමේෂ් මුව අයාගෙන ආකාශ් දෙස බලා සිටියේය. දෙපා වාරු නොමැතිව ගිය හෙයින් අඩි දෙක තුනක් පිටුපසට තැබුවේ බියට නොව සිතෙහි ඇති වූ කම්පනය හේතුවෙනි. තම මලණුවන්ට සිදුවී ඇත්තේ කුමක් දැයි ඔහුට සිතාගැනීමට නොහැකි විය. එසේම සැබවින්ම මේ තම සොහොයුරාම දැයි නිමේෂ්ට මොහොතකට සිතුණි.

 

තමාගේ අසීමිත වේගය දුටු නිමේෂ් තරමක් කලබල වූ බව ආකාශ් නිරීක්ෂණය කළේය. එම නිසා තම සොහොයුරා සන්සුන් වී කතා කිරීම ආරම්භ කරන තුරු ආකාශ් නිහඩව බලා සිටින්නට විය. නිමේෂ්ට තම හඩ අවදිකර ගැනීමට තවත් තත්පර කිහිපයක් ගත විය.

 

“මො… මොකද්ද මල්ලි ඒ වුණේ? කොහොමද එහෙම කළේ?”

 

“ඒක තමයි මං කිව්වෙ. මට අමුතු බලයක් ලැබුණ කියල. තවත් කරන්න පුළුවන් දේවල් තියෙනව. මං කිව්වෙ ඈත තියෙන දේවල් බලන්න පුළුවන්, උඩින් යන්න පුළුවන්. මට නිකමට හිතෙනව අයියෙ මේකට ඒලියන්ස්ලගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනව කියල.”

 

“ඒ කිව්වෙ?”

 

“මටත් හරියටම ඒක කියන්න නම් තේරෙන්නෙ නෑ. ඒත් මේක වුණේ එහෙම වෙන්න ඇති කියල මට හිතෙනව. නැත්තම් ඉතින් සාමාන්‍යය මනුස්සයෙකුට එකපාරට මෙහෙම වෙන්න විදියක් නෑනෙ.”

 

කිව යුත්තේ කුමක් දැයි සිතාගත නොහැකිව නිමේෂ් සුළු මොහොතක් නිහඩව සිටියේය. මෙය ඉතාමත් බරපතල කරුණක් බව හමුදා නිලධාරියෙකු වු නිමේෂ්ට ක්‍රමයෙන් කල්පනා වෙන්නට විය.

 

මෙවැනි විශේෂ හැකියාවන් ඇති මිනිසුන් රටක ආරක්ෂක අංශයට තර්ජනයක් ලෙස සලකන බව නිමේෂ් දැන සිටියේය. එසේම හමුදාවේ හෝ දේශපාලනයේ ඉහළ පුටු වල සිටින නිලධාරින් මේ පිළිබදව දැනුවත් වුවහොත් ආකාශ්ව පරීක්ෂණ සදහාද යොමු කරනු ඇත.

 

“මල්ලි, මේ ගැන ඔයා මට ඇරෙන්න තව කාටද කියල තියෙන්නෙ?”

 

“කාටවත් නෑ. ඔයාට තමයි මුලින්ම කිව්වෙ.”

 

“ඒක ලොකු දෙයක්. මේක මල්ලි ටිකක් බරපතල කේස් එකක්. මිලිටරි එකෙන් දැන ගත්තොත් උඹව අල්ලල හිරේ දාන්නත් පුළුවන්.”

 

“ඔව්. මටත් ඒක හිතුනා. ඒක තමයි මං කාටවත්ම කිව්වෙ නැත්තෙ.”

 

ඉන්පසුව සුළු නිහැඩියාවක් ඇති විය. මීලගට කළ යුත්තේ කුමක් දැයි නිමේෂ් කල්පනා කරන්නට විය.

 

“මල්ලි, උඹට තව මොනවද කරන්න පුළුවන්? බයික් එක ළගට දුවල ආව වගේ. මට ඔක්කොම ටික හරියටම කියන්න.”

 

නිමේෂ්ගේ ඉල්ලීමට අනුව ආකාශ් විස්තර කිරීම ආරම්භ කළේය. කළුතර පාලම මත සිට දුම්රියක වහලක් මතට පිම්මක් පිනූ දා සිට මේ වන තුරු එනම් කොළඹ සිට අනුරාධපුරයට පැමිණි ආකාරය දක්වා තමා විසින් සිදුකළ සියලු අත්හදා බැලීම් ඔහු නිමේෂ්ට විස්තර කළේය. එසේම තමා මෙන්ම හැකියාවන් ඇති දයාන් සහ කසුන් පිළිබදව පැවසීමටද ඔහු අමතක නොකළේය. නමුත් රෙඩ් ඊගල් සමාජ ශාලාව සහ සුදු ටෝනි සම්බන්ධ සිදුවීම් පෙළ ඔහු තම සොහොයුරාට නොපවසා සිටියේය.

 

ආකාශ් සිය කතාව අවසන් කරන තුරු නිමේෂ් නිහඩව එහෙත් ඉතා සාවධානව එයට ඇහුම්කන් දුන්නේය. තම සොහොයුරා මේ පිළිබදව කිසිවෙකුට නොපැවසීමට තරම් බුද්ධිමත් වීම ගැන හෙතෙම සතුටු විය. එසේම මෙහි ඇති බරපතල බව නිසාම තම සොහොයුරා සතු මෙම විශේෂ හැකියාව සම්පූර්ණයෙන්ම රහසක් ලෙස තබා ගත යුතු බව නිමේෂ්ට වැටහුණි. එසේ නොවුනහොත් ආකාශ්ට පමණක් නොව තමාට සහ තම පවුලේ අයට පවා නොසිතන ආකාරයේ කරදර වලට මුහුණ පෑමට සිදුවනු ඇත.

 

“අයියේ, ඔයාට පුළුවන්ද මේ ගැන අම්මටයි තාත්තටයි කියන්න?” තම කතාව අවසානයේදි ආකාශ් ඇසුවේය.

 

“මං මේ කල්පනා කළේ එයාලට මේ ගැන කියනවද කියල. මේක රහසක් විදියට තියෙන්න ඕනෙ එකක්. අම්මයි තාත්තයි නම් මේ ගැන කාටවත් කියන එකක් නෑ. ඒත් ඉතින් මේ ගැන දැනගන්න එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා.”

 

“ඒක නම් එහෙම තමයි. ඒත් මට මේක එයාලට කියන්න ඕනෙ.”

 

“හරි මල්ලි. අවුලක් නෑ. කියමු. මං ඒක කරන්නම්. අපි දැන් කල්පනා කරන්න ඕනෙ ඔයා මොකද්ද ඉස්සරහට කරන්නෙ කියල. ඔයා දිගටම පොලීසියේ වැඩ කළොත් කොයි වෙලාවෙ හරි ඕක මාට්ටු වෙන්න පුළුවන්.”

 

“ඔව්. මං කොහොමත් හිතාගෙන ඉන්නෙ ඩිග්රි එක ඉවර වෙච්ච ගමන් ඔතනින් අයින්වෙන්න. ආ… මට කියන්න අමතක වුණානෙ. මට තව ලෙඩක් වැටුණා. ඊයේ ලෝචනා මාව එයාලගෙ ගෙදර එක්කගෙන ගියා එයාගෙ අම්මයි නංගියි එක්ක කතා කරන්න. එයාගෙ අම්ම කියනව ඩිග්රි එකෙන් පස්සෙ මට එයාලගෙ බිස්නස් වලට ජොයින් වෙන්නලු. මං ඔය බිස්නස් වලට නම් එච්චර කැමති නෑ. ගොඩක්ම ඕව ඇමතිලගෙ බිස්නස් හින්ද.”

 

නිමේෂ් සුළු මොහොතක් ඉවත බලාගෙන සිනාසෙන්නට විය.

 

“ඒ… මොකො හිනාවෙන්නෙ?”

 

“මං මේ කල්පනා කළේ උඹට ලෙඩ වැටෙනකොට එකදිගට වැටිල තියෙන්නෙ. ඇමති කෙනෙක්ගෙ දුවෙක් සෙට් කරගන්න කලින් ඕව හිතන්න තිබුණා. දැන් අම්මටයි තාත්තටයි වෙන්න ලේලි ඇමතියෙක්ගෙ දුවෙක් කියල කියපු ගමන් ඒ මිනිස්සු බය වෙනවා. හරි, මට මේක කියන්නකො. උඹට ලෝචනාව අනිවාර්යෙන් මැරි කරන්න පුළුවන්ද?”

 

“අනේ මන්ද. මට නම් දැන් ඒකත් ෂුවර් නැ. එයාගෙ පැත්තෙන් නම් අවුලක් නැති වෙයි. මගේ පැත්තෙන් තමයි අවුල.” ආකාශ් පැවසුවේ තමා සාමාන්‍යය මිනිසෙකු නොවූ හෙයිනි.

 

“කොහොම හරි කමක් නෑ. මට කියන්න ඕනෙ මේකයි. මැරි කරනකන් ලෝචනාට උඹේ ඔය වෙනස ගැන කියන්න එපා. මොකද නිකමට හරි උඹල දෙන්න වෙන් වුණොත් එයා උඹට ඕකෙන්ම රිටන් එක දෙන්න පුළුවන්.”

 

“මං නම් හිතන්නෙ නෑ ලෝචනා මට එහෙම කරයි කියල.”

 

“ඔව්, ලෝචනා දැන් එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ලව් කරල තරහ වුණාට පස්සෙ මිනිස්සු හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා. ඒකයි මං කිව්වෙ.”

 

“හරි, ලෝචනාගේ ප්‍රශ්නෙට මං මොකක් හරි කරගන්නම්. මට මේ ගෙදර ප්‍රශ්නෙ ගොඩ දාල දීපන්කො අයියෙ. ඊට පස්සෙ කල්පනා කරල බලමු ඉස්සරහට මොකද්ද කරන්නෙ කියල.”

 

තවත් මිනිත්තු දහයක් පමණ ආගිය තොරතුරු සහ අනාගත සැලසුම් පිළිබදව කතා කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා නිවසට ගොස් දෙමව්පියන්ට ආකාශ්ගේ නව වෙනස පිළිබදව හෙළිදරව් කිරීමට තීරණය කළෝය. එය කලබල කිරීමකින් තොරව විස්තර කිරීම නිමේෂ් භාර ගත්තේය.

 

බොහෝ කාලයකට පසුව ආකාශ් නැවත නිවසට පැමිණිම පිළිබදව ඔවුන්ගේ මව බොහෝ සතුටට පත් වූවාය. නිමේෂ්ගේ මැදිහත්වීම මත පියාගෙන් ලැබීමට තිබූ දෝෂාරෝපණයද බොහෝ දුරට අඩු විය. නමුත් බැරෑරුම් අවස්ථාව උදා වූයේ ඉන්පසුවය. ඒ ආකාශ්ගේ නව විපර්යාසය විස්තර කරන අවස්ථාවයි. තම දෙමව්පියන්ට වැටහෙන අයුරින් එය තේරුම් කර දීමට නිමේෂ්ට බොහෝ වෙහෙසක් දැරීමට සිදුවිය. එසේම මෙය රහසක් ලෙස තබා ගැනීමේ වැදගත්කම පැහැදිලි කිරීමටද නිමේෂ් සැලකිය යුතු කාලයක් වැය කළේය.

 

ආකාශ්ගේ මෙම විපර්යාසය කුමක්දැයි දෙමහල්ලන්ට එය විස්තර කිරීම ආරම්භයේදී නොතේරුණද නිමේෂ්ගේ සහ ආකාශ්ගේ පැහැදිලි කිරීම හේතුවෙන් ක්‍රමයෙන් ඔවුන් දෙදෙනාට ඒ පිළිබදව වැටහුණි. පළමුවෙන්ම ඔවුන් තරමක් කලබලයටත් බියටත් පත් විය. නමුත් මෙම විපර්යාසය හේතුවෙන් තම බාල පුතණුවන්ගේ පෙනුම හෝ චරිත ස්වභාවය වෙනස් වී නොමැති හෙයින් ඔවුන් දෙදෙනාගේ බිය ක්‍රමයෙන් පහව යන්නට විය.

 

“ඉතින් පොඩි පුතා දැන් මොකද්ද ඉස්සරහට කරන්න ඉන්නෙ?” පියා ඇසුවේය.

 

“ඩිග්රි එක ඉවර වුණාට පස්සෙ මං මේ පොලිස් රස්සාවෙන් අයින් වෙන්න තමයි හිතන් ඉන්නෙ තාත්තෙ. ඊට පස්සෙ ඉතින් වෙන ජොබ් එකක් හොයාගන්න ඕනෙ.”

 

“පුතාට ඇගේ මුකුත් අමාරුවක් ලෙඩක් එහෙම තියෙනවද?” ඒ ආකාශ්ගේ අම්මාය.

 

“නෑ නෑ අම්මෙ. මට කිසිම අවුලක් නෑ. හිටියට වැඩිය මං දැන් ගොඩක් හොදට ඉන්නව. මට කිසිම ලෙඩක් නෑ.”

 

“ලොකු පුතා කිව්ව වගේ මේ ගැන හමුදාවෙන් හරි පොලීසියෙන් හරි දැන ගත්තොත් අපි මොකද කරන්නෙ?” පියා ඇසුවේය.

 

“කොහොමටවත් දැනගන්න දෙන්න බෑ. ඒක ඉතින් අපේ අතේ තමයි තියෙන්නෙ. වෙන කිසිම කෙනෙක්ට මේ ගැන කියන්න බෑ. අපි කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න ඕනෙ. ඔයාල දෙන්න නම් අහල පහල මිනිස්සු එක්ක මල්ලි ගැන කතා නොකරන තරමට හොදයි.” නිමේෂ් කීවේය.

 

“මම නම් ඕවා කියවන්න යන්නෙ නෑ. මෙයා තමයි ඉතින්.” පියා පැවසුවේ මව දෙස බලමිනි.”

 

“අනේ ඔව් අම්මෙ මේ… කතා කරනකොට පරිස්සමෙන්.” නිමේෂ් පැවසුවේ බැරෑරුම් ස්වරයකිනි.

 

“හරි හරි බං. මං කාත් එක්කවත් මොකවත් කියන්න යන්නෙ නෑ.” පැවසූ මව සුළු නිහැඩියාවක පසුව නැවතත් කතා කරන්නට විය.

 

“පුතා අද හෙටම ආපහු කොළඹ යන්නෙ නෑ නේද?”

 

“බෑ අම්මෙ. හෙට මං ආපහු යන්න ඕනෙ. අනිද්ද උදේ වැඩ. ලබන සතියේ පෝයත් එක්ක නිවාඩුවක් සෙට් වෙනව. එතකොට මං ගෙදර එන්නම්.”

 

බොහෝ කාලයකට පසුව ආකාශ් නිවසට පැමිණි හෙයින් ඔවුන්ට කතා කිරීමට බොහෝ කරුණු තිබුණි. ආකාශ්ගේ සිතට දැනුණේ පුදුමාකාර සැහැල්ලුවකි. ඔහුට පියාගේ විරසක වීම සම්පූර්ණයෙන්ම විසදාගත හැකි විය. එසේම තමාගේ සිතේ සිර වී තිබූ තමා පිළිබද රහස ඔහුට යම් කිසිවෙකුට පැවසීමේ දැඩි අවශ්‍යතාවයක් තිබුණි. දැන් එයද ඉටු වී ඇත. මීලගට විසදීමට ඇත්තේ ලෝචනාගේ ප්‍රශ්නයයි. නමුත් ලෝචනා පිළිබදව මේ අවස්ථාවේදී දෙමව්පියන්ට නොපවසා සිටීමට ආකාශ් සහ නිමේෂ් තීරණය කළෝය. එකම දවසේ සියල්ල පැවසුවහොත් ඔවුන්ට එය දරාගැනීමට තරමක් අපහසු වනු ඇත.

 

 

* * *

 

 

එදින හොදින් හිරු පෑයූ සදුදා දිනයක් විය. එදින උදෑසනින්ම ආකාශ් විශ්ව විද්‍යාලයට පැමිණියේ ශිෂ්‍ය සංගමය විසින් ඔහුට කරන ලද දැනුම් දීමක් හේතුවෙනි. එයට හේතුව වූයේ පසුගිය වසර පුරාම විශ්ව විද්‍යාලය තුල සහ එයින් පිටත ශිෂ්‍යයන් විසින් පවත්වන ලද අනිවාර්යෙන් සහභාගී විය යුතු කිසිදු ක්‍රියාකාරකමකට හෝ වැඩසටහනකට ආකාශ් සහභාගී නොවීමයි.

 

ඔහු එම රැස්වීමට පවත්වන ස්ථානයට පැමිණෙන විටත් ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු සිසුන් දෙසීයකට අධික සංඛ්‍යාවක් එහි රැස් වී සිටියහ. එසේම එම පිරිස අතරින් වැඩි දෙනෙක් සිසුවියන් වූ අතර ඊට හේතුවද ආකාශ්ට ඒ මොහොතෙහිම කල්පනා විය. එනම් උද්ඝෝෂණ සහ පෙළපාලි වැනි වැඩසටහන් වැඩිපුර මගහරින්නේ සිසුවියන් වීමයි.

 

“අඩෝ… උඹවත් ලිස්ට් එකට අහු වුණාද? දැන් ඉතින් පාරවල් ගානෙ යන්න ලෑස්ති වෙලා හිටපන්.”

 

පිටුපසින් ඇසුණු හුරුපුරුදු කටහඩ හේතුවෙන් ආකාශ් හැරී බැලුවේය. ඔහු දුටුවේ සිනාසෙමින් තමා වෙතට ඇවිද එන සතිස්ය.

 

“ඔව් බං. මුන්ට පිස්සු. අපි මේ එදා වේලා හොයාගන්න අමාරුවෙන් පාට් ටයිම් කරනව. ඒ අස්සෙ මුං උද්ඝෝෂණ වලට එන්නලු. ඒක නෙමෙයි. උඹ මොකො මෙතන කරන්නෙ? උඹවත් අහුවුණාද?”

 

“පිස්සුද බං. අපි විද්වත් කමිටුවෙනෙ. අපි තමයි උඹලගෙ නඩු අහන්නෙ.”

 

සැබවින්ම සතිස් ශිෂ්‍යය සංගමයේ නිලධාරියෙකු බව ආකාශ්ට අමතක වී තිබුණි. ඔහුට එය මතක් වීමත් සමගම සිතට දැනුණේ සැනසීමකි. සතිස් මෙහි සිටින නිසා තමාට මෙයින් ගැලවීම අපහසු නොවනු ඇතැයි ආකාශ් සිතුවේය.

 

“අඩෝ… මට ඒක අමතක වුණානේ බං. අනේ මේ… මාව කොහොම හරි මේකෙන් බේරල දීපං හරිද?”

 

“හරි හරි. මං ශේප් කරල දෙන්න බලන්නම්. කොමිටි එකේ ඉන්න උන් හෙන ලොකු සීන් එකෙන් ඉන්නෙ. මෙතන වැඩිපුර කෙල්ලොත් ඉන්න නිසා උන්ට පේන්නත් එක්ක මෙතන ඉන්න උන් හෙන ලොරි ටෝක්ස් දෙයි. උන් උඹෙන් ප්‍රශ්න අහනකොට කියන දේ පිළිගන්නවා වගේ හිටපං. පණ්ඩිත කතා නම් මුකුත් කියන්න යන්න එපා. එහෙම වුණොත් වැඩේ අවුල්වෙන්න පුළුවන්. ආ… අනිත් එක මේ. අරුං සමහරවිට උඹේ පාට් ටයිම් ජොබ් එක මොකද්ද කියල අහයි. මොනම හේතුවක් නිසාවත් පොලීසියේ වේපන්ස් හදනව කියල නම් කියන්න එපා. කොටින්ම පොලීසිය කියන නම ගාවන්නවත් එපා. මුන්ට පොලීසිය කියන වචනෙත් ඇති. දැනගත්තොත් උඹට උඩ දාගෙන අරියි.”

 

“හරි මචං, ෂුවර්. මං ශේප් එකේ උත්තර දෙන්නම්.”

 

“හරි මචං. එහෙනම් මං අර පැත්තට යනවා. වැඩ යන අතරෙ මං බඩුවකුත් සෙට් කරගන්නයි හදන්නෙ.” සතිස් පැවසුවේ සිනාසෙමිනි.

 

“ඒ මොකද්ද ඒ සින් එක?”

 

“වරෙන් පෙන්නන්න. උඹට පේනවද අර කොමිටි බෝඩ් එකේ ඉන්න තුන්වෙන කැල්ල. අර දුඹුරු පාට බ්ලව්ස් එකක් ඇදන් ඉන්නෙ.”

 

සතිස් පෙන්වූ දිශාව බැලූ ආකාශ් දුටුවේ උපැස් යුවළක් පැළදගත් මනා හැඩැති සිරුරක් ඇති තරුණියකි. ආකාශ් ඇය පිළිබදව දැන සිටියේය. වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවියක් වූ ඇය විශ්ව විද්‍යාලය තුල ඉතා ප්‍රසිද්ධ චරිතයකි. සමිති වල ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ශිෂ්‍ය සංගමය තුලද ප්‍රධාන නිලයක් දැරුවාය. නමුත් මේ සියල්ලටම වඩා ඇය ප්‍රසිද්ධ වී ඇත්තේ වෙනත් හේතු කිහිපයකටය. එනම් ඇය සතු රූමත් පෙනුම සහ විශ්ව විද්‍යාලයේ තරුණයන් කිහිපදෙනෙකු සමග ලිංගික සබදතා පැවැත්වූ බවට පැතිරුනු කට කතාය.

 

“ආ… අර බඩ්ඩද?” ආකාශ් සිනාසෙමින් ඇසුවේය.

 

“ඔව් බං. උඹ දන්නවනෙ ඉතින් එයාගෙ සීන් එක. මන් දැනුත් මේ ටෝක් කරන ගමන් හිටියෙ. අද හෙටම රූම් එකක් පැත්තෙ එක්කන් යන්න පුළුවන් වෙයි වගේ.”

 

“මේ… යන තැනක කුඩයක් දාගෙන පලයං. දැනටමත් ඕකිට මොන ලෙඩ තියෙනවද දන්නෑ.”

 

“එව්ව අනිවා… ආ… අනික මචං මේ, ඕකිත් සමහරවිට උඹෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. පරිස්සමින් උත්තර දීපන්… හරිද? එහෙනම් මං අර පැත්තට ගියා.”

 

සතිස් පෙර කී තරුණිය වෙත ඇවිද ගිය අතර ඒ දෙස මොහොතක් බලා සිටි ආකාශ් ශාලාවේ කොනකට ගොස් එහි තිබූ පුටුවක අසුන් ගත්තේය. තවත් සුළු මොහොතකට පසුව රැස්වීම ඇරඹුණි.

 

ශිෂ්‍ය සංගමයේ සභාපති ශිෂ්‍යයාගේ පම්පෝරි කතාවකින් පසුව නම් ලැයිස්තුවේ සදහන් සිසු සිසුවියන්ගේ නඩු ඇසීම ආරම්භ විය. පළමුවෙන්ම කැදවූයේ දෙවන වසරේ ඉගෙන ගත් ශිෂ්‍යාවකි. ප්‍රශ්න ඇසීම සදහා සතිස්, සභාපති ශිෂ්‍යයා සහ පෙර කී තරුණිය ඇතුළු දස දෙනෙකුගෙන් යුත් ශිෂ්‍ය කමිටුවක් විය.

 

“නංගි ඔතනින් ඉදගන්න. මොකද්ද ඔයාගෙ නම?”

 

“ඉනෝකා.”

 

“හරි. ගම කොහෙද?”

 

“කුරුණෑගල.”

 

“හ්ම්, මේකෙ තියෙන විදියට ගිය සතියෙ අනිවාර්යෙන් එන්න ඕනෙ කියල තිබ්බ උද්ඝෝෂණේට ඇවිල්ල නෑ. අඩුම ගානෙ ඔයාලගෙම ෆැකල්ටි එකෙන් කරපු කිසිම ඉවෙන්ට් එකකට ඇවිල්ලත් නෑ. ඇයි ඒ?”

 

“ම… මට එන්න බැරි වුණා අයියෙ.”

 

“ඒක මම දන්නව. මං අහන්නෙ ඇයි එන්න බැරි වුණේ කියල.”

 

තරුණිය පිළිතුරක් පැවසීමට නොහැකිව බිම බලාගෙන සිටියාය.

 

“නංගි මොකද්ද අවුල? මෙතන ඉන්න හැමෝම සහෝදර සහෝදරියො. ඔයා බය නැතුව ඕන දෙයක් කියන්න.”

 

“එන්න රෑ වෙනකොට ගෙදරින් බනිනව අයියෙ.”

 

ශාලාව පුරාම සිනා හඩ පැතිරෙන්නට විය. නමුත් සභාපති ශිෂ්‍යයා අතක් ඔසවා නිහඩ වන ලෙස පැවසීම හේතුවෙන් සිනා හඩ නැවතුනි. තරුණියන් ඉදිරියේ රග දක්වන ඔහුගේ සෝබන ඉරියව් සහ කතා විලාසය දුටු ආකාශ්ගේ මුවගට නැගුනේ උපහාසාත්මක සිනහවකි.

 

ඉන්පසුව විනාඩි පහක පමණ උපදෙස් මාලාවක් දීමෙන් අනතුරුව ඔහු තරුණියව නිදහස් කළේ මීලගට පවත්වන පොදු වැඩසටහන් වලට සහභාගී වන බව පොරොන්දු කරවා ගැනීමෙන් පසුවය.

 

ඉන්පසුව සිසු සිසුවියන් වරකට එක් අයෙකු බැගින් නඩු ඇසීම සදහා කැදවන ලදී. එසේම කමිටුවේ දස දෙනාම මාරුවෙන් මාරුවට පැමිණෙන සිසුන්ව ප්‍රශ්න කරන්නට විය. මෙය සාධාරණ නඩු ඇසීමකට වඩා තම නිලතල වල බලය පෙන්වීම සහ පැමිණෙන අයව පිරිසක් ඉදිරියේ අපහසුතාවයට ලක් කිරීමක් ලෙස ආකාශ්ට පෙනුනි. එසේම සභාපති නිලය දරන ශිෂ්‍යාගේ තවත් විශේෂ හැසිරීමක් ආකාශ් නිරීක්ෂණය කළේය. එනම් සිසුවියන්ට ඉතාමත් හිතවත් අයුරින් කතා කිරීමත් සිසුන්ට අපහාසාත්මක වන අයුරින් කතා කිරීමත්ය. ඒ අනුව මේ පුද්ගලයා බොහෝ දුරට තමාටද අපහාස කරනු ඇත. කුමක් පැවසුවද ඒ සියල්ල නිහඩව අසා සිටීමට ආකාශ් සිතා ගත්තේය.

 

ආකාශ්ගේ වාරය පැමිණයේ තවත් හෝරාවකටත් වඩා අධික කාලයක් ගත වීමෙන් පසුවය. ඔහුව ප්‍රශ්න කිරීම ඇරඹුවේ සතිස් පෙර කී තරුණිය විසිනි.

 

“මොකද්ද නම?”

 

“ආකාශ්.”

 

“ගම කොහෙද?”

 

“මං අනුරාධපුරේ.”

 

ඉන්පසුව තරුණිය ලිපිගොනුව තුල වූ ලිපියක් බලාගෙන කතා කරන්නට විය.

 

“පළවෙනි අවුරුද්දෙන් පස්සෙ කැම්පස් එකේ කිසිම ඉවෙන්ට් එකකට ඇවිල්ල නෑ. ඇයි ඒ?”

 

“මං මෙහෙ බෝඩ් වෙලා ඉන්න නිසා වියදම ටිකක් වැඩියි. ගෙදරින් සල්ලි ඉල්ලන්න විදියකුත් නෑ. ඒ හින්ද මං පාට් ටයිම් ජොබ් එකක් කරනව.”

 

“ෂා… ගෙදරට බරක් නොවී ඉන්න ආදර්ශමත් කොල්ලෙක්නෙ. මොකද්ද ජොබ් එක?” එක්වරම මැදට පැන එසේ ඇසුවේ සභාපති ශිෂ්‍යයා විසිනි.

 

“මං රෙපෙයාර් ශොප් එකක වැඩ කරන්නෙ. එකේ කැඩිච්ච ෆෑන්, රයිස් කුකර් වගේ බඩු හදනව.”

 

“උඹල හොදට හම්බකර ගනිල්ලා. මෙහෙ උන් ඔක්කොමල වෙනුවෙන් මැරීගෙන උද්ඝෝෂණය කරල වරප්‍රසාද දිනාගත්තට පස්සෙ ඒවත් ගනිල්ල. එතකොට හරි. අනේ බං, උඹට ලැජ්ජ නැද්ද? උඹ කලිසමක් ඇදගෙනද කතා කරන්නෙ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!