Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 17

ISBN 978-955-44323-2-1

ආකාශ් කිසිවක් නොපවසා නිහඩව බලා සිටියේය. මොහුත් සමග වාද කිරීමට යාමෙන් අනවශ්‍යය ප්‍රශ්න මතු විය හැක. ඔහු සතිස් දෙස බැලුවේ යම් උපකාරයක් බලාපොරොත්තුවෙනි. නමුත් සතිස් තවමත් කිසිවක් පැවසීමට සූදානමක් නැති බව දක්නට ලැබුණි.

 

“මොකද උඹ බලන් ඉන්නෙ? උත්තර නැද්ද?”

 

“මෙහෙමයි ඉතින්, මට මෙහෙ ඉන්න යන වියදම ගෙදරින් ඉල්ලන්න බෑ. ඒ හින්ද තමයි ජොබ් එකකට යන්න වුණේ. ලෙක්චස් තියෙන නිසා ජොබ් එකට යන්න වෙන්නෙත් සතියට දවස් දෙකක් හරි තුනක් හරි. ඒ හින්ද මට වෙනම නිවාඩු දාලා කැම්පේන් වලට එන්න බැරි වුණා.”

 

“ඕක උත්තරයක්ද යකෝ? මෙහෙ තව ඕන තරම් දුප්පත් උන් ඉන්නව. එහෙමයි කියල උන් පොදු වැඩ කට් කළේ නෑ. ලබන සතියෙ තියෙන කැම්පේන් එකට උඹ අනිවාර්යෙන් එන්න ඕනෙ. අනිත් එක… අලුත් පිටු අසූවෙ තනි රූල් පොතක් අරගෙන ‘මම විශ්ව විද්‍යාලයේ පොදු වැඩ නැවත මග නොහරිමි’ කියල එක්දාස්පන්සිය වතාවක් ලියල අනිද්ද වෙනකොට අරන් වරෙන්. ඒක නොකරල තිබුණොත් බලාගමු.”

 

එයට පිළිතුරක් දීම සදහා ආකාශ් සැරසෙන විටම සතිස් සිය හඩ අවදි කළේය.

 

“සහෝදරයා, පොඩ්ඩක් ඉන්න. මං මූව දන්නවා. මූ හිත හොද කොල්ල. මට එක්සෑම් වලදිත් සෑහෙන්න උදව් කරල තියෙනව. අර ලියන දඩුවම නොදී අපි මෙයාට වෙන එකක් දෙමු. හෙට තියෙන ඩොක්ටර්ගෙ ලෙක්චර් එකේ ප්‍රශ්න අහන සෙට් එකට අපි මෙයාව දාමු. මූ පොත් එහෙම කියවන හොද අදහස් තියෙන පොරක්.”

 

“එහෙමද?” පැවසූ සභාපති ශිෂ්‍යයා ආකාශ් දෙස බලාගෙන කල්පනා කරන්නට විය.

 

“මොකද ඉමල්කා කියන්නෙ? අපි මෙයාව ටීම් එකකට දාමුද?” ඔහු ඇසුවේ සතිස් සමග සිටි වෛද්‍යය සිසුවියගෙනි.

 

“සතිස් කියනව නම් ඉතින් අවුලක් නැතුව ඇතිනෙ. දාමු.”

 

“හරි, එහෙනම් මං උඹව ලියන එකෙන් නිදහස් කළා. ඒකෙන් විතරයි. හැබැයි පුතෝ උඹ ලබන සතියෙ කැම්පේන් එකට නාවොත් බලාගමු. ඉමල්කා, තව මොනව හරි මෙයාට කියන්න තියෙනවද?”

 

“හෙට ලෙක්චර් එක මොකද්ද කියලවත් ඔයා දන්නෙ නෑ නේද?” ඉමල්කා නමින් හැදින්වූ තරුණිය ආකාශ්ගෙන් ඇසුවාය.

 

“නෑ. මං දන්නෙ නෑ.”

 

“අද හවස හතරට සී බිල්ඩින් එකේ තුන්වෙනි හෝල් එකේ මේ ගැන මීටින් එකක් තියෙනව. ඒකට එන්න. අර අතන කොළ පාට ටී ෂර්ට් එකක් ඇදන් ඉන්න එක්කෙනා ඉන්නෙ. ලෙක්චර් එක මොකක් ගැනද කියල ඔයාට එයාගෙන් දැනගන්න පුළුවන්. එයත් ටීම් එකේ එක්කෙනෙක්.”

 

ඇය පෙන්වූ දිශාවට ආකාශ් සිය නෙත් යොමු කළේය. කොළ පැහැති කමිසයකින් සැරසුනු තරුණයෙකු ඔහුට අතින් සන් කළේය.

 

“හරි. මං එයාගෙන් විස්තර අහගන්නම්.”

 

“අද හවස මීටින් එකට අනිවාර්යෙන්ම එන්න.” පැවසූ ඇය සභාපති ශිෂ්‍යයා දෙස බලා “හරි ඩිලාන්, මෙයාව දැන් යවන්න.” කීවාය.

 

ඩිලාන් නමින් හැදින්වූ සභාපති ශිෂ්‍යයා ආකාශ් එතැනින් ඉවත් වන ලෙස අගවා මීලගට කැදවිය යුතු ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව කවරෙකු දැයි පරීක්ෂා කිරීම සදහා ලැයිස්තුව කියවන්නට විය.

 

අසුනින් නැගී සිටි ආකාශ් සතිස්ට ස්තූතිපූර්වක බැල්මක් හෙලා කොළ පැහැති කමිසයක් ඇද සිටි තරුණයා වෙත ගොස් එහි වූ හිස් අසුනක හිද ගත්තේය.

 

“මම චමල්.” අසල සිටි තරුණයා ආකාශ් වෙත අතක් දිගු කරමින් තමාව හදුන්වා දුන්නේය.

 

“මං ආකාශ්. ඔයා මොන ෆැකල්ටි එකේද?” ඔහුගේ අත අල්ලා සොලවමින් ආකාශ් ඇසුවේය.

 

“මං මචං සිවිල් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. ඔයා?”

 

“මං මිකැනික් එකේ. තර්ඩ් ඉයර්.”

 

“අනේ සොරි අයියෙ මචං කියල කිව්වට. මීට කලින් අයියව මං කැම්පස් එකේදි දැකල නෑ. ඉතින් මං හිතුවෙ ඔයා ෆස්ට් ඉයර් එකේ කියල.”

 

“ආ… ඒක අවුලක් නෑ. ඕන විදියකට කතා කරන්න. පාට් ටයිම් ජොබ් එකක් කරන හින්ද මං කැම්පස් එක පැත්තෙ නම් වැඩිය එන්නෙ නෑ. ඒ හින්ද වෙන්න ඇති ඔයා මාව වැඩිය දැකල නැත්තෙ. මේ… අර කියපු සීන් එක මොකද්ද? ලෙක්චර් එකක් ගැන කිව්වෙ.”

 

“ආ… ඒක ඩොක්ටර් විදුර කුලසිංහගේ ලෙක්චර් එකක්. මේ දවස් වල ට්‍රෙන්ඩ් එකක් යනවනෙ අධිමානසික බල ඇති කරනව කියල එක එක්කෙනා භාවනා පන්ති දාන. අන්න ඒක ගැන කතා කරන්න. ලෙක්චර් එකේ නම දාල තියෙන්නෙත් සංස්කෘතික මිත්‍යාවෙන් ගැලවෙමු කියල.”

“ඉතින් අපිට මොකද්ද ඒකෙ කරන්න තියෙන්නෙ?”

 

“අපිට තියෙන්නෙ ප්‍රශ්න අහන්නෙ. මේක ලෙක්චර් එකක් වුණාට සාකච්ඡාවක් විදියට තමයි කරන්න හිතාගෙන ඉන්නෙ. අපි අහන්න ඕනෙ ප්‍රශ්න ටික නම් අද හවස මීටින් එකේදි කියයි.”

 

“අපි දෙන්නයි, තව කී දෙනෙක් ඉන්නවද ප්‍රශ්න අහන්න?”

“මං හිතන්නෙ දහයක් දොළහක් විතර ඇති. ඔයාව දැන් මෙතනට එවපු ඉමල්කා අක්කා ඉන්නෙ… එයා තමයි ටීම් එක ලීඩ් කරන්නෙ.”

 

“ඔයාවත් මං වගේ කැම්පේන් කට් කරපු නිසා මේකට දැම්මද?”

 

“නෑ නෑ. මං මේකට කලින්ම රෙජිස්ටර් වුණා.”

 

“එහෙනම් මෙතන ඉන්නෙ?”

 

“ගිය සතියෙ තිබ්බ කැම්පේන් එකයි කලින් තියපු ඉවෙන්ට් දෙක තුනකුයි මං කට් කළා. ඒකයි.” චමල් නමින් හැදින්වූ තරුණයා පැවසුවේ සිනාසෙමිනි.

 

“ඉතින් ඔයා මේකට රෙජිස්ටර් වුණේ ඇයි?”

 

“ඒ නම් ආසාවට. මං ඩොක්ටර් විදුරගේ ෆෑන් කෙනෙක්. එයාගෙ පොත් ඔක්කොම වගේ මං කියවල තියෙනව. හැබැයි සමහර දේවල් තියෙනව මට වැරදි ටිකක් පේන. ඒ ගැන මට ප්‍රශ්න දෙක තුනක් අහන්න තියෙනව.”

 

විදුර කුලසිංහ යනු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයාය. ඔහුගේ පොත් කිහිපයක්ම ආකාශ් උසස් පෙළ කරන සමයේ කියවා ඇත. අතිශයින්ම අන්තගාමී භෞතිකවාදී මතදාරියෙකු වන විදුර කුලසිංහ යනු වෘත්තියෙන් මනෝ වෛද්‍යයවරයෙකි. ශ්‍රී ලාංකීය ජන සමාජය තුල පිළිලයක් සේ පැතිර පවතින මිත්‍යාවට එරෙහිව සටන් කිරීමට ඔහු බොහෝ වෙහෙස වන පුද්ගලයෙකි. සමාජයේ සිටින අහිංසක මිනිසුන්ගේ මුදල් බොරුවෙන් වංචා කරන කට්ටඩින්, කපුවන්, දේවමෑණියන් යැයි කියාගන්නා අය, අධිමානසික බල ඇතැයි කියාගන්නා අය වැනි විවිධාකාර වර්ගයේ මිත්‍යාව වපුරා මුදල් ගසා කරන මිනිසුන්ගේ ක්‍රියාවන් වල සැබෑ ස්වභාවය ගවේෂණාත්මකව ඔප්පු කළ බුද්ධිමතෙකි. ඔහු දරණ මතයට අනුව තොවිල්, හදි හූනියම්, දේව ආරූඩ, යක්ෂ හෝ භූත ආරූඩ. මන්තර ගුරුකම් සහ අධිමානසික බල වැනි භෞතිකව ඔප්පු කළ නොහැකි දේ මිත්‍යාවන්ය. එසේම හොල්මන් අවතාර, දෙවියන් හෝ බ්‍රහ්මයන් සමග දියුණු කළ මනසින් සාකාච්ඡා කිරීම සහ පිටසක්වල ශිෂ්ඨාචාර සමග සබදතා පැවැත්වීමද මිත්‍යාවකි. ඊට අමතරව භෞතික විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සිටීමද ඔහුට අනුව මිත්‍යාවකි.

 

විදුර කුලසිංහ යනු ආකාශ්ද සිතින් අගය කළ පුද්ගලයෙකි. ඔහු ශ්‍රී ලාංකීය ජන සමාජයට සිදුකල හා සිදුකරන සේවය අතිමහත්ය. ඒ ගැන කිසිදු විවාදයක් නැත. නමුත් ඔහුගේ අන්තගාමී ස්වභාවයට ආකාශ් එකග නොවිය. සැබවින්ම එසේ එකග නොවීමට ආකාශ්ට ඕනෑ තරම් හේතු සාධක තිබුණි. අවශ්‍ය නම් තමා සතු සුවිශේෂි හැකියාවක් භාවිත කර හෙට දිනයේම විදුර කුලසිංහගේ අන්තගාමී මතය බිද දැමීමේ හැකියාව ආකාශ්ට තිබුණි. නමුත් ඔහුට එවැනි කිසිදු අවශ්‍යතාවයක් නොතිබුණි. එසේ වූවද අහම්බෙන් හෝ මෙය ඔහුට ලැබුණු හොද අවස්ථාවකි. එම නිසා හෙට දිනයේ තර්කානුකූල ප්‍රශ්න කිහිපයක් ඇසීමට ඔහු සිතාගත්තේය.

 

“බලන්නකො අයියෙ අරූගෙ සද්දෙ. හෙන ලොකු සීන් එකේ ඉන්නෙ. ඔයාටත් සෑහෙන්න බැන්න නේද?”

 

“ආ… ඔව්. සභාපතිකම ඔලුවට ගහලද කොහෙද? මෙතන කෙල්ලො ගොඩක් ඉන්න නිසා ඇඩ් දානව.” ආකාශ් පැවසුවේ සිනාසෙමිනි.

 

“ඇත්තමයි අයියෙ මට පුළුවන් නම් මං දැන් ගිහින් ඕකගේ හොම්බට දෙකක් අනිනවා.”

 

“චමල් පැවසූ දෙය සත්‍යයක් බව ආකාශ්ට සිතුණි. ඩිලාන් නමැති සභාපති තරුණයා සැබවින්ම ඔලුව උදුම්මවාගත් පුද්ගලයෙකි. එය ආකාශ්ට ප්‍රශ්නයක් නොවුණද සභාපති තනතුර භාවිතා කර ඔහු තමාට සහ අනිත් ශිෂ්‍යයන්ට ගැරහීම ඔහුට රිස්සුවේ නැත. එම නිසා පිරිසක් ඉදිරියේදීම මොහුගේ ලොකුකම බැස්සවීමට කුමක් හෝ කළ යුතු යැයි ආකාශ්ට සිතිවිල්ලක් පහළ විය.

 

 

* * *

 

 

“පැමිණි සිටින ඔබ සියලුදෙනාම මේ හරවත් රසවත් වැඩසටහනට ඉතාමත් සාදරයෙන් පිළින්නවා. ඉතින් වෙහෙසකර වූ අපේ ජීවිත මොහොතකට හෝ එම වෙහෙසින් මුදාගැනීමට වඩාත් හරවත් වූත් රසවත් වූත් මාතෘකාවක් සාකච්ඡා කිරීමටයි අද අප ඔබට මේ අයුරින් ආරාධනා කළේ…”

 

නිවේදකයා පැමිණ සිටින පිරිස අමතමින් රැස්වීම ආරම්භ කළේය. මිනිත්තු දහයක පමණ දීර්ඝ පිළිගැනීමේ කතාවකට පසුව මනෝ වෛද්‍ය විදුර කුලසිංහගේ දේශනය ආරම්භ විය. ඉමල්කා නායකත්වය දරණ ආකාශ් ඇතුලු තවත් දොළොස් දෙනෙකුගෙන් සමන්විත ප්‍රශ්න ඇසීමේ කමිටුව වේදිකාව පසෙකින් අසුන් ගෙන සිටියෝය.

 

“අයියෙ… බලන්නකො අපේ බොස්ගේ ලුක් එක. දොස්තරයට කියන්න ආපුව අමතක වෙයිද දන්නෑ.” චමල් ආකාශ්ගේ කණට කොදුරා පැවසුවේ ඉදිරියේ ඇති අසුනක හිද සිටි ඉමල්කාව පෙන්වමිනි.

 

ආකාශ්ද සිනාසෙමින් චමල්ගේ කතාව අනුමත කළේය. සිරුරේ හැඩය මනාව දිස්වන පරිදි ඇගට හිරවුණු ගවුමකින් සැරසී සිටි ඉමල්කා සැබවින්ම සරාගී පෙනුමකින් යුක්ත විය. දේශනය ඇසීමට පැමිණ සිටි තරුණයන් බොහෝ දෙනෙකු ඇය වෙත බැලුම් හෙලන බව ආකාශ් නිරීක්ෂණය කළේය. එම නිසා ඇයව අතේ දුරින් ආශ්‍රය කිරීම වඩාත් පරිස්සම් සහගත බව ආකාශ් සිතුවේය.

 

තවත් සුළු මොහොතකට පසුව වෛද්‍ය විදුර වේදිකාවට පැමිණියේය. ඉමල්කා ඇතුළු කමිටුවට සිනහවකින් සංග්‍රහ කළ වෛදවරයා මයික්‍රොෆෝනය අතට ගත්තේය.

 

“ඉතින් කොහොමද කට්ටියට? මාව අමාරුවේ දාන්න ප්‍රශ්න අහන්න බලන් ඉන්න අය මේ පැත්තෙ ඉන්නවා. කට්ටියටම ගුඩ් මෝනිං.” වෛද්‍යවරයා පැවසුවේ ඉමල්කා ඇතුලු පිරිස වෙත අතක් දිගු කරමිනි.

 

“හරි, අපි වෙලාව යවන්නෙ නැතුව වැඩේ පටන් ගනිමු. මං විදුර කුලසිංහ. දැනට මනෝ වෛද්‍යවරයෙක් විදියට කොළඹ ජාතික රෝහලේ වැඩ කරනව. අපි අද මෙතනට ආවේ මොකටද කියල මං හිතන්නෙ මෙතන ඉන්න හැමෝම මේ වෙනකොටත් දන්නව ඇති. මේකෙ නම දැක්කහමත් අදහසක් ගන්න පුළුවන්නෙ. සංස්කෘතික මිත්‍යාවෙන් ගැලවෙමු. මං මේ කියන්න හදන්නෙ මොකක් ගැනද කියල ඔයාලට අදහසක් තියෙනවද?”

 

වෛද්‍යවරයා ස්වල්ප මොහොතක් නිහඩව පැමිණ සිටි පිරිස දෙස බලා සිටියේ පිළිතුරක් බලාපොරොත්තුවෙනි. නමුත් ශාලාවේ කිසිවෙකුත් පිළිතුරු දෙන බවක් දක්නට නොවිය.

 

“එහෙන් මුකුත් සද්දයක් නෑ වගේ. අපි මේ පැත්තෙන් බලමු.” පැවසූ වෛද්‍යවරයා හැරුණේ ඉමල්කා ඇතුළු කණ්ඩායම දෙසටය.

 

“මං හිතන්නෙ ඩොක්ටර් අපේ රටේ පාරම්පරික සංස්කෘතික අංග විකුණලා මිත්‍යාව පතුරන අය ගැන.” ඉමල්කා තම කණ්ඩායම වෙනුවෙන් කතා කළාය.

 

“අනිවාර්යෙන්ම. ඒක තමයි උත්තරේ. හැබැයි එතනට එන්න කලින් අපි සංස්කෘතිය කියන්නෙ මොකද්ද මිත්‍යාව කියන්නෙ මොකද්ද කියල හරියටම වෙන් කරල තේරුම් ගන්න බලමු. නැත්තන් මං ආගමටයි ජාතියටයි ගරහනව කියල විසංවාදයක් ඇතිවෙන්න පුළුවන්. විස්තර මොකවත් කියන්න කලින් මේ වීඩියෝ ටික බලල ඉන්නකො.”

 

ඉන්පසුව වෛද්‍යවරයා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් ආධාරයෙන් රූපරාමු කිහිපයක් පෙන්වන්නට විය. ඒවා වෛද්‍ය විදුර ඇතුළු හේතුවාදීන්ගේ සංගමය විසින් සිදුකළ ගවේෂණයන් කිහිපයකි. ව්‍යාජ සාස්තරකරුවන්, දේවාල කපුවන් සහ දේව මෑණියන් යැයි කියාගන්නා අයගේ ප්‍රෝඩාවන් හසුකර ගත් අයුරු විස්තරාත්මකව වීඩියෝ ගත කර තිබුණි. රූපරාමු පෙළ දර්ශනය වෙන අතරතුරදී ඒවා විස්තර කිරීමටද වෛද්‍යවරයා කටයුතු කළේය.

 

“මං හිතනව දැන් ඔයාලට සංස්කෘතියෙයි මිත්‍යාවෙයි වෙනස හරියටම තේරුණා කියල. මේ රටේ සංස්කෘතියට මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. ඒව තමයි අපේ ජාතියේ මුල්. හැබැයි ඒව විකෘති කරල විකුනං කන හොරුන්ට නම් මගෙන් කිසිම සමාවක් නෑ. මං දැන් පෙන්නපු වීඩියෝ වල ඔයාලම දකින්න ඇතිනෙ… මේ විදියෙ වංචාකාරයො මොන තරම් මිනිස්සුන්ව රවට්ටනවද කියල. ඇත්තටම මේ රටේ නිතියත් සංශෝධනය වෙන්න ඕනෙ. මොකද ඔය වගේ වංචාකාරයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුළුවන් විදියෙ නීති මාලාවක් මේ රටේ තවම නෑ.”

 

“හරි, ඊළග කොටසට යන්න කලින් ප්‍රශ්න මොනව හරි තියෙනව නම් අහන්න.” වෛද්‍යවරයා විමසුවේ නැරඹීමට පැමිණ සිටි පිරිසෙනි. මෙවරද කිසිවෙකුගෙන් පැනයක් නොනැගුණි.

 

“හරි, කාටවත් ප්‍රශ්න නෑනෙ. අපි එහෙනම් ඊළග කොටසට යමු. දැන් තියෙන්නෙ මාව අමාරුවෙ දාන කට්ටියගේ වටය.” පැවසූ වෛද්‍යවරයා ඉමල්කා දෙස බලා සිනාසුණේය. ඇයද ඔහුට මදහසකින් සංග්‍රහ කළාය.

 

ඉමල්කා හිද සිටි අසුනෙන් නැගිට තම කණ්ඩායම දෙස බැලුවාය.

 

“ඔයාල කට්ටියම රෙඩි නේද? අපි කතා කරගත්ත පිළිවෙලටම ප්‍රශ්න ටික අහගෙන යන්න. පටලව ගන්න නම් එපා හොදේ.” පැවසූ ඇය වේදිකාව පසෙකින් වූ මේසයක් වෙත ඇවිද ගොස් එය මත තිබූ මයික්‍රොෆෝනයක් අතට ගත්තාය. ඉමල්කාගේ ඇගට සිරවුණු ඇදුමට කැපී පෙනුණු පුළුල් නිතඹ සහ උකුල දෙස සිසුන් පමණක් නොව ඉදිරිපෙළ පුටු වල අසුන්ගෙන සිටි මැදිවියේ පසු වූ ආචාර්යවරුන් පවා බලා සිටිනු දුටු ආකාශ්ගේ මුවගට නැගුණේ සිනහවකි.

 

“අයුබෝවන්, ඩොක්ටර් මං ඉමල්කා. දැනට වෛද්‍ය පීඨයේ තුන්වෙනි වසරේ ඉගෙනගන්න ශිෂ්‍යාවක්. අපේ කණ්ඩායමේ පළවෙනි ප්‍රශ්නය මේකයි. ඩොක්ටර් කිව්වනෙ ඔබතුමාට හම්බවුණු සාස්තර කියන අය, දේව ආරූඩ තියෙන අය, වෙනත් විවිධ බල තියෙනව කියල කියන අය ඔක්කොම වගේ බොරුකාරයො කියල. මං අහන්නෙ ඒ වගේ විශේෂ හැකියාවක් තියෙන කෙනෙක් ඇත්තටම ඉන්න කිසිම සම්භාවිතාවයක් නැද්ද? අනිත් එක තමයි ඔබතුමා ඒ වගේ නිගමනයකට එන්න සහ ඒ ක්ෂේත්‍රයේ ඉන්න අයට චෝදනා කරන්න ඉක්මණ් වැඩි නැද්ද?”

 

“ඔයාගෙ නම කිව්වෙ ඉමල්කා නේද? හරි ඉමල්කා. මං මුලින්ම දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. ඔයා ඇහුවෙ ඉක්මන් වැඩි නැද්ද කියලනෙ. කොහෙත්ම නෑ. මං එහෙම කියන්න හේතුව මේකයි. මං පරීක්ෂකයෙක්. හේතුවාදීන්ගේ සංගමය එක්ක මං දැන් අවුරුදු දහයක විතර ඉදන් මේ විදියෙ පරීක්ෂණ කරනවා. මේ සංගමේට බැදෙන්න කලිනුත් මං තනිවම අවුරුදු පහක් විතර මේ පරීක්ෂණ කළා. එතකොට ඔක්කොම අවුරුදු පහළොවක් විතර. ඉතින් මේ කාලේ ඇතුලත මං ඔය වගේ මිනිස්සු සිය ගාණක් හම්බවෙලා ඇති.”

 

“මං මේ දේ ලොකු කමකට කියනව නෙමෙයි. හැබැයි මේ දේ කිව යුතු නිසයි කියන්නෙ. මං තරම් මේ රටේ දේවාල වලට, සාස්තර කියන තැන් වලට, මන්තර ගුරුකම් කරන තැන් වලට ගිය කෙනෙක් තවත් නැතුව ඇති. ලංකාවෙ හැම තැනටම වගේ මං ගිහිල්ල තියෙනව. මට කියන්නෙ ඕනෙ මං මේ නිගමනයට එන්නෙ විශාල දත්ත ගොඩක් එක්ක කියන එක. ඉතින් මං ඒ ගිය කිසිම තැනක අපි දන්න විද්‍යාවෙන් එහෙමත් නැත්නම් තර්ක බුද්ධියෙන් පැහැදිලි කරන්න බැරි අද්භූත දෙයක් මේ වෙනකන් මටවත් අපේ සංගමයෙ කිසිම කෙනෙක්ටවත් හම්බවෙලා නෑ. ඉතින් මං මේ නිගමනයට ආපු එක සාධාරණයි නේද?”

 

“අනිත් එක, හේතුවාදීන්ගේ සංගමයේ අවුරුදු ගාණක ඉදන් තියෙන අභියෝගය තාමත් තියෙනව. කාට හරි පුළුවන් නම් ඒ අභියෝගෙ දිනන්න, අපි මුදලින් රුපියල් කෝටියක් දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සම්බන්ධව මං කියපු සියලුම දේ වෙනුවෙන් මුළු රටෙන්ම ප්‍රසිද්ධියේ සමාව ගන්නවා. මේකට සංගමය අදාළ නෑ. මං පුද්ගලිකව කරන දෙයක්. මේ රටේ ප්‍රසිද්ධ ටීවී චැනල් එකක් ඉදිරියේ මං ඒ විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයගෙන් දණගහල සමාව ගන්නවා.”

 

“ඔබතුමා කියපු ඒ අභියෝග මේ වේදිකාවෙදි කියන්න පුළුවන් නම් අපි හැමෝටම ගොඩක් වටිනවා.” ඉමල්කා කීවාය.

 

“ඔව්, ඒක ආපහු මතක් කරන එක හොදයි. අභියෝගෙ තමයි, ඒ අදාළ පුද්ගලයාට තියෙන විශේෂ හැකියාවෙන් අපි දන්න විද්‍යාවට එහෙමත් නැත්නම් තර්ක බුද්ධියට පැහැදිලි කරන්න බැරි මොකක් හරි අද්භූත දෙයක් කරල පෙන්නන්න. ආ… අනිත් දේ තමයි, ඒ දේ කරනකොට අපේ සංගමයේ මම ඇතුළු සාමාජිකයන් අවම වශයෙන් පස්දෙනෙක්වත් ඉන්න ඕනේ සහ ලංකාවේ ප්‍රසිද්ධ ටීවී චැනල් දෙකක් හෝ වැඩි ගණනක් තියෙන්නත් ඕනෙ. කාට හරි ඒ අභියෝගෙ භාරගෙන දිනයක් වෙලාවක් සහ ස්ථානයක් කියන්න පුළුවන් නම් අපි ටීවී චැනලුත් අරගෙන එතනට එනවා. ලංකාවෙ ඕනම තැනකට.”

 

“ඔබතුමා අද්භූත දෙයක් කියල අදහස් කළේ මොකද්ද? අපිට උදාහරණක් දෙන්න පුළුවන්ද?”

 

“ම්… මෙහෙමයි. දැන් ඔය අධිමානසික බල තියෙනව කියල කියන ගොඩක් අය කියනවනෙ අනුන්ගෙ හිත් කියවන්න පුළුවන් කියල. එහෙම කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෙ මං ගාව තියෙන සල්ලි කොලේක තියන අංක ටික කියන්න. ඒ කියන්නෙ මං එයාට පේන්නෙ නැති වෙන්න සල්ලි කොලේ තියෙන අංක ටික හිතින් කියවනවා. එතකොට එයාට පුළුවන් මගේ හිත කියවල ඒ අංක ටික ඒ විදියටම කියන්න. මං කිව්වෙ ඒ වගේ දෙයක්.”

 

“තැනක් යූ ඩොක්ටර්. ඔබතුමා කියපු දේ අපිට පැහැදිලියි. ඉතින් මං මීලග ප්‍රශ්නය අහන්න වේදිකාවට එන්න කියල ආරාධනා කරනව නෙත්මි නංගිට.” පැවසූ ඉමල්කා තමා වෙතට පැමිණි නෙත්මි නමැති තරුණියට මයික්‍රොෆෝනය බාර දී නැවතත් ඇය හිද සිටි අසුනෙහි හිද ගත්තාය.

 

“ආයුබෝවන් ඩොක්ටර්, මම නෙත්මි. දැනට වානිජ අංශයෙ දෙවෙනි වසරේ ඉගෙන ගන්නෙ. මගේ උපන් ගම මාතර. මේ ප්‍රශ්නය අහන්න හේතුව මං දැක්ක දෙයක්. ඩොක්ටර්… දුරින් මගේ ඥාති කෙනෙක් වෙන නැන්ද කෙනෙක්ට බඩවැලේ පිළිකාවක් හැදුනා. ඒක අදුරගන්න පුළුවන් වුණෙත් ටිකක් පරක්කු වෙලා. ඩොක්ටර්ල චෙක් කරල කිව්ව මේක අනිත් අවයව වලටත් පැතිරිල ඉවරයි. ඒ නිසා හොද කරන්න බෑ කියල. එයාට කීමෝ තෙරපි කළෙත් එක වතාවයි.”

 

“අපේ ගමේ ඉන්නව විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරනවා කියන කෙනෙක්. මීට කලිනුත් ඔහු මේ වගේ රෝගීන් කිහිපදෙනෙකුම හොද කරල තියෙනව. ඉස්පිරිතාලෙන් හොද කරන්න බෑ කියපු නිසා ඒ නැන්දගෙ පවුලෙ අය එයාව මේ කෙනා ළගට අරගෙන ගියා. ඒ කෙනා බෙහෙතක් විදියට නැන්දට දීලා තියෙන්නෙ මාස දෙකක් උදේට බොන්න කියල කැද කෝප්පයක් විතරයි. ඉතිරි ටික එතුමා විශ්ව ශක්තිය පාවිච්චි කරල හොද කරන්නම් කියල කිව්වලු. ඉතින් ඒ නැන්දත් කියපු උපදෙස් ඒ විදියටම පිළිපැදල මාස දෙකක් හැමදාම උදේට ඒ කියපු කැද කෝප්පය බිව්වලු. මාස දෙකකට පස්සෙ ආපහු ඉස්පිරිතාලෙන් චෙක් කරනකොට පිළිකාව සම්පූර්ණයෙන්ම සුවවෙලා කියල කිව්වලු. අදටත් අපේ ගමේ ඒ නැන්දා හොද සෞඛ්‍යයකින් ජීවත් වෙනවා. මේ සිද්ධිය මං කාගෙන්වත් අහපු සිද්ධියක් නෙමෙයි. මේක ඇත්තටම මං දැක්ක දෙයක්. ඉතින් මේ වගේ විශේෂ හැකියාවන් තියෙනව කියල කියන අය බොරුකාරයො කියල කියනව නම්, ඔබතුමා මේ සිද්ධියට දෙන පැහැදිලි කිරීම මොකද්ද?”

 

වෛද්‍යවරයා සිය හඩ අවදි කළේ තත්පර කිහිපයක නිහැඩියාවකින් පසුවය.

 

“මුලින්ම මං කාරණා දෙකක් කියන්නෙ ඕනෙ. විශේෂ හැකියා තියෙනව කියල කියන හැමෝම බොරුකාරයො කියල මං කියන්නෙ නෑ. බහුතරයක් බොරුකාරයො තමයි. හැබැයි ඒ අතරෙ එක එක විදියෙ මානසික ලෙඩ තියෙන අයත් ඉන්නවා. එයාල හිතන් ඉන්නව එයාලට බලයක් තියෙනව කියල. ඒත් ඒක එහෙම නෙමෙයි. අනිත් දේ තමයි මට ඔය කියන පිළිකාව හැදුනු කෙනාව චෙක් කරන්නෙ නැතුව හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.”

 

“හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. ඔයා කිව්ව නේද ඒ නැන්දා එක වතාවක් කිමෝ තෙරපි කළා කියල?”

 

එයට පිළිතුරු වශයෙන් තරුණිය හිස සැලුවේ එය නිවැරදි බව පවසමිනි.

 

“හරි, එහෙනම් ඔයා කොහොමද හරියටම කියන්නෙ පිළිකාව හොද වුණේ කිමෝ තෙරපි එකෙන් නෙමෙයි බීපු කැද කොප්පෙනුයි විශ්ව ශක්තියෙනුයි කියල. දැන් ටිකකට කලින් ඔයාල මගෙන් අහපු ප්‍රශ්නෙ මං දැන් ආපහු ඔයාලගෙන්ම අහන්නම්. හරියට දත්ත පරික්ෂා කරන්නෙ නැතුව එකපාරටම ඔය වගේ නිගමනයකට එන්න ඉක්මන් වැඩි නැද්ද?”

 

වෛද්‍යවරයාගේ තර්කය හමුවේ තරුණිය නිරුත්තර වූවාය. කිසිවක් නොපැවසූ ඇය සිනාසෙමින් බලා සිටින්නට විය. මීලගට ප්‍රශ්නය ඇසීම සදහා වේදිකාවට පිවිසයේ ආකාශ් අසල අසුන්ගෙන සිටි චමල්ය.

 

“ආයුබෝවන් ඩොක්ටර්. මම චමල්, දැනට සිවිල් ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ දෙවෙනි අවුරුද්දෙ ඉගෙන ගන්නවා. මගේ ප්‍රශ්නෙ මේකයි. කෙනෙකුට අනාගතයේ හෝ ගොඩක් අතීතයේ ඒ කිව්වෙ පෙර භවයන් වල සිද්ධි හීනෙන් පේන්න පුළුවන්ද? මං ඒක තව ටිකක් පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්නකො. අවුරුදු සියගාණකට හරි දහස්ගාණකට කලින් හරි බිම වළලලා හංගපු නිධානයක් තියෙනව. කෙනෙක්ට ඒක හංගල තියෙන තැන හීනෙන් පේනව. ඒ කෙනා ඒක හීනයක්නෙ කියල ගණන් ගන්නෙ නැතුව ඉන්නකොට එක දිගට එකම හීනෙ ආපහු ආපහු පේනව. ඒ හින්ද ඒ කෙනා ඇත්තටම හීනෙන් පේන තැනට ගිහිල්ල බිම හාරල බලනකොට එතන ඇත්තටම නිධානයක් තියෙනව. ඒ වගේ දෙයක් ඩොක්ටර් පැහැදිලි කරන්නෙ කොහොමද?”

 

“ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මං කැමතියි දැනගන්න ඇයි ඔයා මේ විදියෙ ප්‍රශ්නයක් ඇහුවෙ කියල. ඔයාට නිධන් තියෙන තැන් හීනෙන් පේනවද?” වෛද්‍යවරයා ඇසුවේ හාස්‍යමුසු ස්වරයකිනි. රැස්වීම් ශාලාව පුරාම සිනා හඩ පැතිරෙන්නට විය.

 

“එහෙම දෙයක් නෙමෙයි ඩොක්ටර්. නිධනයක් නම් නෙමෙයි. හැබැයි මං දන්න කෙනෙකුට මේ විදියට එකම හීනෙ ආපහු ආපහු පෙනිල ඇත්තටම ගිහින් බලද්දි පරණ ලියවිලි වගයක් හම්බවෙල තියෙනව. ඒ සිද්ධිය ඇත්ත කියල දන්න නිසයි මං මේ ප්‍රශ්නෙ ඇහුවෙ.”

 

“හරි. ඔය ප්‍රශ්නෙදි මං පෙර භවයන් කියන කොටස මගහරිනව. මොකද ඒක ගොඩක් විසංවාද තියෙන වෙනම කතා කරන්න ඕනෙ එකක් නිසා. ඔය හීනෙන් පෙනුන කියපු දේ ගැන පැහැදිලි කරන්න මං මගේ ළගට ආපු පේෂන්ට් කෙනෙක්ගෙ කතාවක් කියන්නම්.”

 

“එයා අවුරුදු දාහතක දහඅටක විතර ළමයෙක්. එයත් මට ඇවිල්ල කිව්වෙ එයාට හීනෙන් එක එක දේවල් තියෙන තැන් පේනවා. ඇත්තටම ගිහින් බලද්දි හීනෙන් පෙනිච්ච දේවල් ඒ විදියටම එතන තියෙනව කියල. මං ඉතින් ඒ ළමයයි, එයගේ දෙමව්පියොයි, තව ළගින්ම ඉන්න අයයි එක්ක කතා කරල බැලුවට පස්සෙ තමයි ඇත්තම කාරණාව එළියට ආවෙ. මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ. මේ ළමයට අවුරුදු තුන හතර කාලෙ පුරුද්දක් තිබිල තියෙනව ගෙදර තියෙන සමහර බඩු වත්තෙ එක එක තැන් වල වළලලා හංගන්න. ඉතින් ඔය කාලෙ ඒ ළමය ගෙදර තිබ්බ සමහර වටින රත්තරන් බඩුත් ඔය විදියට වළලල තියෙනවා. ලොකු වෙනකොට එයාට ඕක මතක නැති වුණාට එයාගෙ යටි සිතේ ඔය සිද්ධි ඔක්කොම තැන්පත් වෙල තියෙනව. ඉතින් අවුරුදු ගාණකට පස්සෙ යටි හිතේ තියෙන දේවල් උඩට මතුවෙලා හීනෙන් පේනකොට කට්ටිය හිතන්නෙ මෙයාට අමුතු බලයක් තියෙනව කියල. ඒත් ඇත්තටම වෙලා තියෙන්නෙ වෙන කතාවක්. මං හිතනව ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්න ඇති කියල.”

 

කිසිවක් නොපැවසූ චමල් හිස වනමින් එය අනුමත කළේය. නමුත් ඔහුගේ මුහුණෙහි පළ වූ හැගීම් නිරීක්ෂණය කළ ආකාශ් වටහා ගත්තේ චමල් වෛද්‍යවරයාගේ කතාවට කිසිසේත්ම එකග නොවන බවයි.

 

ප්‍රශ්න ඇසීම සදහා මීලගට වේදිකාව ඉදිරියට පැමිණියේ ආකාශ්ය. චමල්ගෙන් මයික්‍රොෆෝනය ඉල්ලාගත් ආකාශ් කතා කිරීම ඇරඹුවේය.

 

“අයුබෝවන් ඩොක්ටර්. මම ආකාශ්. දැනට මිකැනිකල් ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තුන්වෙනි අවුරුද්දෙ ඉගෙන ගන්නෙ. මගේ ප්‍රශ්නෙත් විශේෂ හැකියාවන් තියෙනව කියල කියන මිනිස්සු ගැන තමයි. හැබැයි අධිමානසික බල නෙමෙයි. භෞතික හැකියාවන්. ඒ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මං අදහස් කළේ අසාමාන්‍යය වේගයක් එහෙමත් නැත්නම් ශක්තියක් තියෙන අය?”

 

“ඔයා සුපර්මෑන්, ස්පයිඩර් මෑන් වගේ කතා ඕනවට වැඩිය බලනවද?” ආකාශ් තම ප්‍රශ්නය අසා අවසන් වීමටත් පෙර එයට බාධා කරමින් වෛද්‍යවරයා විමසුවේය. මෙය ආකාශ් බලාපොරොත්තු නොවූ දෙයකි. ශාලාව පුරාම නැවතත් සිනා හඩ පැතිරෙන්නට විය.

 

“නෑ ඩොක්ටර්.”

 

“හරි, එහෙනම් මට ඔයාගෙ ප්‍රශ්නෙ තව ටිකක් විස්තර කරන්න. මොන වගේ හැකියා ගැනද ඔයා කියන්නෙ. සුපර්මෑන්ට, ස්පයිඩර්මෑන්ට තියෙනව වගේ පවර්ස් ගැනද?”

 

“ඇත්තටම ඔව් ඩොක්ටර්. ඒ වගේම නැතත් ඒ කිට්ටුවෙන් යන ඒව වගේ.”

 

“ඉතින් එහෙම අය ඉන්නව නම් අපිට මේ වෙනකොටත් ආරංචි වෙලා තියෙන්න එපැයි. මොකද එහෙම කෙනෙක් කැලේකට වෙලා භාවනා කරන්නෙ නෑනේ. මේ සමාජෙ ඇතුලෙමනෙ ඉන්න ඕනෙ. එහෙම නේද? මට පොඩ්ඩක් කියන්න ඔයා ඔය ප්‍රශ්නෙ අහන්න හේතුව මොකද්ද කියල?”

 

“හේතුව මේකයි ඩොක්ටර්. ඔය වගේ අසාමන්‍යය වේගයකුයි හයියකුයි තියෙන කෙනෙක් රත්තරන් බඩු සාප්පුවක් මංකොල්ල කෑව කියල මට ආරංචියක් ආවා. ඒ හොරකමේ සීසීටීවී වීඩියෝත් තියෙනවලු. තව මං ගොසිප් සයිට් එකක දැක්ක ඔය වගේ වේගයක් තියෙන කෙනෙක්ව කළුතර පාලම ළගදි මිනිස්සු කට්ටියක් දැක්ක කියල. ඒකයි ඩොක්ටර් මං මේ ප්‍රශ්නෙ ඇහුවෙ. නැතුව ෆිල්ම්ස් හින්ද නෙමෙයි.”

 

“හරි, මුලින්ම කියන්නෙ ඕනෙ දේ තමයි සීසීටීවී වීඩියෝ වලයි ගොසිප් සයිට් වලයි තියෙන දේවල් අපිට කොහොමටවත් විශ්වාස කරන්න බෑ. වැඩිහිටියෙක් විදියට මං ඔයාට අවවාදයක් දෙන්නම්. පුළුවන් නම් ගොසිප් සයිට් බලන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙනව නම්, සුපර්මෑන්ල ස්පයිඩර්මෑන්ල වගේ අය කොහෙත්ම ඇත්ත ලෝකෙ ඉන්න විදයක් නෑ. ඒක භෞතික විද්‍යාවෙ නීති වලටත් පටහැනියි. ඔයා මිකැනිකල් එකේ නේද ඉගෙන ගන්නෙ? එහෙනම් මං කියන දේ ගැන තේරෙනව ඇතිනෙ.”

 

“අනිත් එක තමයි මෙතනදිත් මානසික ලෙඩ කියන දේ ගැන මට කතා කරන්න වෙනව. කවුරු හරි ඔහොම බලයක් තමන්ට තියෙනව කියල හිතන් ඉන්නව නම් එක බොහොම බරපතල මානසික රෝගී තත්වයක්. ලංකාවෙ නම් ඔය ලෙඩේ තියෙන අය අඩුයි. හැබැයි පිටරට වල ගොඩක් ඉන්නව. සමහර අය තමන්ට පියාඹන්න පුළුවන් කියල හිතාගෙන උස බිල්ඩින් වලින් පැනල මැරිච්ච සිද්ධි පවා තියෙනව. ඒ හින්ද මං ඔයාල හැමෝගෙන්ම ඉල්ලන්නෙ, කවුරු හරි ඒ වගේ මානසික තත්වයක් තියෙන කෙනෙක් ගැන ඔයාල දන්නව නම් පුළුවන් ඉක්මණින් සුදුසුකම් තියෙන මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න. මොකද ඔය ලෙඩේ නිසා කෙනෙක් තමන්ගෙ ජීවිතේට අනතුරක් කරගන්න වුණත් පුළුවන්. ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ හරි නේද?”

 

තමා එයට එකග බව හිස වනමින් අනුමත කළ ආකාශ් නැවතත් සිය අසුන වෙත ගොස් හිද ගත්තේය.

 

“අයියගෙ ප්‍රශ්නෙටත් හරි හමන් උත්තරයක් ලැබුණෙ නෑ නේද?” පසෙකින් සිටි චමල් ඔහුගෙන් ඇසුවේය.

 

“ඔව් මල්ලි. මෙයා අපි අහන ප්‍රශ්නෙ දිහා බලන්නෙ එයාගෙ මතයෙ ඉදන්. ඒකයි අවුල.”

 

“ඒක තමයි. මගේ ප්‍රශ්නෙට නම් ළගින් යන උත්තරයක්වත් ලැබුණෙ නෑ. මේක ස්ටේජ් එකක් නිසා මං එතනින් එහාට මුකුත් කතා කරන්න ගියෙ නෑ.” පැවසූ චමල් නැවතත් වේදිකාව දෙස බැලුවේය.

 

සැබවින්ම ආකාශ් වෛද්‍යවරයාගෙන් බලාපොරොත්තු වුයේද මෙවැනි පිළිතුරකි. තමන්ට හැකියාව ලැබුණු ආකාරය පිළිබදව තමාවත් හරි හැටි නොදන්නා හෙයින් වෙනත් අයෙකුට මෙවැනි දෙයක් ගැන කිසිදු අදහසක් තිබිය නොහැක. නමුත් මෙම වෛද්‍යවරයා අන්ධ භක්තිකයෙකු මෙන් නවීන විද්‍යාවට අන්තගාමී වී ඇති බව ආකාශ්ට අවබෝධ විය.

 

මිත්‍යා මත විනාශ කිරීම සදහා විදුර කුලසිංහ මෙරටට කරන සේවය සැබවින්ම ආකාශ් අගය කළේය. මොහු නිසා බොහෝමයක් අහිංසක මිනිසුන් වංචාකාරයන්ගෙන් බේරි ඇත. පාසල් යන සමයේ මොහු විසින් රචිත පොත් කියවූ ආකාශ් පවා තම උපන් ගමේ සිටින කට්ටඩියන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස තර්කානුකූල මනසකින් බලන්නට පුරුදු විය. ඒ නිසාම එම කට්ටඩියන්ගේ සමහරක් කූට වැඩ පිළිබදවද ඔහුට අවබෝධ කරගත හැකි විය.

 

මෙවැනි සිතිවිලි වල ගිලී සිටි ආකාශ්ගේ සිතට අලුත් අදහසක් පහළ විය. එනම් තමාගේ අනන්‍යතාවය හෙළි නොකර මෙම වෛද්‍යවරයාව අන්තගාමී ස්වභාවයෙන් මුදවා ගැනීම සදහා තමාට යමක් කළ හැකිද යන සිතුවිල්ලයි.

 

 

* * *

 

 

එය තරමක් උණුසුම් දිනයක් විය. වේලාව රාත්‍රී දහය පසුවී තිබුණි. විදුර කුලසිංහ විසින් විශ්ව විද්‍යාලය තුල පැවැත්වූ දේශනය නිමා වී මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී ඇත. ඔහු තම පෞද්ගලික චිකිත්සාවේ වැඩ කටයුතු අවසන් කර තම වාහනය නවතා ඇති ස්ථානයට එමින් සිටියේය. නමුත් එක්වරම සිදු වූ දෙයින් ඔහු සිටි තැනම ගල් ගැසී ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!