Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 18
ISBN 978-955-44323-2-1
කිසියම් දෙයක් ඔහුට අඩි කිහිපයක් ඉදිරියෙන් පෙනී නොපෙනී ගියේය. එය ජීවී දෙයක්ද අජීවී දෙයක්ද යන්න පවා ඔහුට සිතාගත නොහැකි විය. එම චලනය නිසා ඇති වූ සුළං දහරාවද ඔහුගේ සිරුරේ වැදී හමා ගියේය. සිටි තැනම නතර වූ විදුර වටපිට බලන්නට විය. නමුත් පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් නොවිය.
ඔහු අන්තගාමී භෞතිකවාදියෙකි. හොල්මන් අවතාර සහ භූතාත්ම ඔහුට අනුව සම්පූර්ණයෙන්ම මිත්‍යාවකි. නමුත් කුමක් හෝ හේතුවක් නිසා මේ මොහොතෙහි ඔහුගේ සිතට බියක් දැනෙන්නට විය.
තවත් තත්පර කිහිපයක් නිශ්චලව සිටි ඔහු සිදුවන්නේ කුමක් දැයි බලා සිටියේය. අවට පරිසරයේ කිසිදු අසාමාන්‍යය දෙයක් නැත. එය කුමක් හෝ තම සිතෙහි මැවුනු දෙයක් යැයි සිතාගත් වෛද්‍ය විදුර සිතට ධෛර්යය ගෙන නැවතත් ඉදිරියට ඇවිද යාම ඇරඹුවේය.
නමුත් ඔහුට අඩි දෙකක්වත් ඇවිද යාමට නොහැකි විය. අදුරු සෙවණැල්ලක් වැනි ඡායාවක් ඔහු වටා දෙවතාවක් කැරකී කොහේට හෝ අතුරුදහන් විය.
මෙවර සිදු වූ දෙය නම් සිතේ මායාවක් නොවන බව විදුරට ප්‍රත්‍යයක්ෂ විය. සිදුවන්නේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය. අධික ලෙස බියට පත් ඔහුගේ දෙපා වාරු නැති විය.
“මො… මො… මොකද්ද මේ? කවුද ඔය?” වටපිට බලමින් විදුර කෑගැසුවේය. නමුත් එයට පිළිතුරු හඩක් නම් නොනැගුණි. ඒ වෙනුවට අදුරු ඡායාවක් එක්වරම ඔහුට අඩි කිහිපයක් ඉදිරියෙන් පෙනී සිටියේය. තත්පර දෙකකට පමණ පසුව ක්ෂණිකව අතුරුදහන් වූ ඒ අද්භූත රුව නැවතත් පෙර සිටි තැනම ඔහු ඉදිරියේ පෙනී සිටියේය. නැවතත් නොපෙනී ගියේය. එය නැවත නැවතත් සිදුවිය.
ඔහුගේ අතෙහි වූ ගමන් මල්ල ගිලිහී බිම වැටුණි. බියෙන් සලිත වී සිටි හෙයින් දෙපා වාරු නැති වූ විදුර අඩි දහයක් පමණ දුරින් වූ ගසක් වෙත අපහසුවෙන් දිව ගොස් එහි කදට හේත්තු වී අද්භූත රුව දෙස බලා සිටින්නට විය. තමා මේ දකින දෙය මනෝවිකාරයක් නොවන බව නම් දැන් ඔහුට හොදටම විශ්වාසය. එසේම ඔහු නොදැනුවත්වම වූවද ඔහුගේ භෞතිකවාදී මත සියල්ලම පාහේ ඔහු විසින්ම සුණු විසුණු කර දමා ඇත. තමා මේ දකින්නෙ අවතාරයක් හෝ භූතාත්මයක් බව ඔහුට සිතුණි.
තවත් තත්පර කිහිපයකට පසුව අද්භූත රුව විසින් සිදුකරමින් සිටි සංදර්ශනය නැවැත්තුවේය. ඉන්පසුව සෙමින් පිය නගමින් ඒ අද්භූත රුව විදුර දෙසට ඇවිද එන්නට විය. වෛද්‍යවරයාට ඒ මොහොතේ මරණ බිය දැනෙන්නට විය. ඔහුට එතැනින් දිව යාමට අවශ්‍යය වූවද මුළු සිරුරම දරදඩු වී ඇති බවක් දැනුණි.
වෛද්‍ය විදුර වෙත අඩි දහයක් පමණ ආසන්න වූ පසු ඇවිදීම නතර කළ අද්භූත රුව කතා කිරීම ඇරඹුවේය.
“ඩොක්ටර් විදුර කුලතුංග. මට පේන විදියට ඔයා හොදටම බය වෙලා ඉන්නෙ. බයවෙන්න එපා. මං ආවෙ මුකුත් කරදරයක් කරන්න නෙමෙයි. ඔයාට දෙයක් පෙන්නන්න.”
අද්භූත රුව කතා කළේ සුහදශීලී හඩකිනි. විදුර පසෙකින් තිබූ විදුලි ලාම්පු එළියෙන් නිකුත් වූ දුර්වල ආලෝකයෙන් තමා ඉදිරියේ සිටිගෙන සිටින අද්භූත පුද්ගලයාව නිරීක්ෂණය කරන්නට විය. ඔහුගේ මුළු සිරුරම කාර්මිකයන් අදින වර්ගයේ ඇදුමකින් වැසී තිබුණි. මුහුණත්, හිසත් කලු පැහැති මුහුණු ආවරණයකින් වැසී තිබූ අතර දෙනෙතද කළු පැහැති ඇස් ආවරණයකින් වැසී තිබුණි.
අද්භූත පුද්ගලයා කිසිවක් නොකර විදුර දෙස බලා සිටියේය. තමා යමක් පවසන තුරු මොහු බලා සිටින බව විදුරට වැටහුණි. අමුත්තාගේ සුහදශීලී ආමන්ත්‍රණය හේතුවෙන් විදුරගේ බියද මේ වන විට තරමක් දුරට පහ වී තිබුණි. එම නිසා තවත් තත්පර කිහිපයකට පසුව විදුර කතා කිරීම ඇරඹුවේය.
“ඔ… ඔයා කවුද? මොක්දද මට පෙන්නන්න තියෙනව කිව්වෙ?”
“මං කවුද කියන එක නම් මට කියන්න විදියක් නෑ ඩොක්ටර්. හැබැයි මං ආවේ ඇයි කියන එකයි, එන්න හේතුවයි මං ඔයාට කියන්නම්.” පැවසූ අමුත්තා තත්පර කිහිපයකට පසුව නැවතත් සිය හඩ අවදි කළේය.

“මං ඉස්කෝලෙ යන කාලෙ ඩොක්ටර් ලියපු පොත් දෙක තුනක්ම කියවල තියෙනව. ඩොක්ටර්ගෙ ටීවී ප්‍රෝග්‍රෑමුත් මං යූටියුබ් එකෙන් බලල තියෙනව. ඒ ඔක්කොම නියමයි. මං ඒව්වයින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපේ ගම් වල ඉන්න කට්ටඩින්ගෙ හොර වැඩ තේරුම්ගන්න මට ඩොක්ටර්ගෙ ප්‍රෝග්‍රෑම් වලින් ඉගෙන ගත්ත දේවල් සෑහෙන්න උදව් වුණා. මුලින්ම ඒකට තෑන්ක්ස් කරන්න ඕනෙ. ඒත් ඩොක්ටර් ඔයා කියපු හැමදෙයක්ම සීයට සීයක්ම හරි නෑ. ඇත්තම කියනව නම් ඔය එක එක විදියෙ බල තියෙනව කියල කියන ලංකාවෙ ඉන්න ගොඩක් අය බොරුකාරයො තමයි. ගොඩක්ම දේවාල වල ආරූඩෙන් සාස්තර කියනව කියන අය. හැබැයි ඩොක්ටර් මේ ලෝකෙ සමහර දේවල් තියෙනව අපි දන්න විද්‍යාවෙන් පැහැදිලි කරගන්න බැරි. ඇත්තම කියනව නම් මං අද ආවෙත් ඩොක්ටර්ට ඒක කියල යන්න. මං දැන් ටිකකට කලින් කරල පෙන්නුවෙත් ඒ වගේ දෙයක් තමයි.”
වෛද්‍ය විදුර සියල්ල නිහඩව අසා සිටියේය. ඔහුගේ සිතෙහි වූ බිය නම් මේ වන විට මුළුමනින්ම වාගේ පහව ගොස් තිබුණි. තමා ඉදිරියේ සිටගෙන සිටින මේ පුද්ගලයා සාමාන්‍යය මිනිසෙකු නොවන බව නම් විදුරට මේ වන විටත් ඒත්තු ගොස් තිබුණි. එසේම ගෙවී ගිය මිනිත්තු කිහිපය ඇතුලත මොහු තමාගේ මතයන් සියල්ල කඩා බිද දමා සුණු විසුණු කර ඇත.
“ඇත්තටම ඔයා කවුද? නෑ… මං මේ නම අහනව නෙමෙයි. මට මුලින් කියන්න ඔයා මනුස්සයෙක්ද කියල?”
“මං ඉපදුනේ සාමාන්‍යය මනුස්සයෙක් විදියට තමයි ඩොක්ටර්. හැබැයි දැන් ටික කාලෙකට කලින් වෙච්ච අමුතු සිද්ධියක් හින්දා මට දැන් සාමාන්‍යය මිනිස්සුන්ට කරන්න තියා හිතන්නවත් බැරි වැඩ කරන්න පුළුවන්.”
“ඒ කිව්වෙ? මොකද්ද වුණේ ඔයාට?”
“ඒක නම් ටිකක් දිග කතාවක්. ඒ සම්පූර්ණ සිද්ධිය නම් මට ඔයාට කියන්න විදියක් නෑ.”
“ඔයාට තියෙන්නෙ අධිමානසික බලයක්ද? කාලයක් තිස්සෙ භාවනා කරල…”
“නෑ ඩොක්ටර්. එහෙම දෙයක් නෙමෙයි. මේක එහෙම හිත දියුණු කරල හදාගත්ත එකක් නෙමෙයි. මට මේක ලැබුණෙ අහම්බෙන්. සම්පූර්ණ සිද්ධියම කියන්නෙ නැතුව මං පොඩි දෙයක් කියන්නම්. මං හිතන්නෙ මට මේ හම්බවෙච්ච දේත් එක්ක පිටසක්වල ජීවීන්ගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනව.”
“පිටසක්වල ජීවීන්ගෙ? ඒ කිව්වෙ?”
“ඒක ගැන හරියටම කියන්න නම් මාත් දන්නෙ නෑ. මට දැනට තේරෙන විදිය තමයි ඒක. මට ඒ ගැන අත්දැකීමකුත් තියෙනව. හැබැයි මං ඩොක්ටර්ව හම්බවෙන්න ආවෙ ඒ ගැන කියන්න නෙමෙයි. මට මේ තියෙන හැකියාව ඔයාට පෙන්නන්න.”
වෛද්‍ය විදුර සුළු මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය. සිතෙහි හටගෙන තිබූ බිය මුළුමනින්ම පාහේ පහව ගොස් තිබූ හෙයින් ඔහු සතු තියුණු තර්ක බුද්ධිය නැවත ඔහු වෙත පැමිණියේය. වසර ගණනාවක් පුරා තමා දැරූ මතය දෙදරා ගිය හෙයින් ඔහුගේ සිතෙහි යම් පසුතැවීමක් තිබුණද තමාව හමුවීමට පැමිණි මේ සුවිශේෂි අමුත්තා පිළිබදව ඔහුගේ සිතෙහි ඇති වූයේ තදබල විස්මයක් සහ කුතුහලයකි. මොහුගෙන් ඇසීමට කරුණු සිය ගණනක් එකවර සිතට පැමිණි හෙයින් පළමුවෙන්ම විමසිය යුත්තේ කුමක් දැයි ඔහුට ගලපාගත නොහැකි විය.
“ඇත්තටම ඔයාට මොනවද කරන්න පුළුවන්?”
“මට කරන්න පුළුවන් දේවල් වල සීමාව හරියටම මං දන්නෙත් නෑ. සමහර දේවල් මං තාම පුරුදු වෙනවා. මං දන්න දැනට කරන්න පුළුවන් දේවල් හතරක් තියෙනව. මට බුලට් එකකට වඩා හයියෙන් දුවන්න පුළුවන්. කිලෝමීටර් ගාණක් ඈතට පනින්න පුළුවන්. ඒක පියාඹනවා වගේ වැඩක්. තව ගොඩක් ඈත තියෙන දේවල් දකින්න පුළුවන්. අහන්නත් පුළුවන්. ඩොක්ටර්ට ගෙදර යන්න පරක්කු වෙන්නෙ නැත්නම් මට ඒව දෙක තුනක් කරල පෙන්නන්න පුළුවන්. හැබැයි කරන්න කලින් ඉල්ලීම් ටිකකුත් තියෙනව.”
“ඒ මොනවද?”
“මේ දේවල් දැකල ඩොක්ටර් ඉන්න මතය වෙනස් වුණාට කරන වැඩ නම් නවත්තන්න එපා. වැඩ කියල මං කිව්වෙ හොර කට්ටඩියන්වයි දේවාල කපුවන්වයි අල්ලන වැඩ ගැන. ඒ ටික දිගටම කරන්න ඩොක්ටර්. සෝෂල් මීඩියා වලත් වැඩිපුර කරන්නෙ ඔය වගේ බොරු ප්‍රමෝට් කරන එක. ඩොක්ටයි තව දෙතුන් දෙනෙකුයි විතරයි උන්ගෙ හොර වැඩ ගැන ඇත්ත කතාව ලෝකෙට කියන්නෙ. ඒක සෑහෙන්න වටිනවා. ඇත්තටම ඒක ලොකු සමාජ සේවයක්.”
“මමත් ඩොක්ටර්ගෙ ප්‍රෝග්‍රෑම් වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව. මං මෙහෙම කියන්න හේතුව ඩොක්ටර් ප්‍රසිද්ධියේම මීඩියා වල කියනවනෙ කරන වැඩ ඔක්කොම නවත්තල එයාගෙන් ප්‍රසිද්ධියේම සමාව ගන්නව කියල. එහෙම මුකුත්ම ඕනෙ නෑ. මට ඕනෙ ඔයාට මේ දේවල් පෙන්නල මේ ලෝකෙ මිනිස්සුන්ට හිතාගන්න බැරි දේවලුත් තියෙනව කියල කියන්න විතරයි.”
වෛද්‍ය විදුර අමුත්තාගේ කතාව නිහඩව අසා සිටියේය. මොහු තමාගේ වැඩසටහන් නරඹා තිබීමත්, තමාව අගය කිරීමත් හේතුවෙන් විදුරට තමා පිළිබදව තෘප්තිමත් ආඩම්බරයක් ඇති විය.
“තැන්ක් යූ. මං කරන වැඩ වලට වැඩිපුර එන්නෙ ගල් මුල්. ඔයා වගේ ටික දෙනෙක් තමයි මේ දේවල් අගේ කරන්නෙ.”
“අනිත් දේ තමයි මං වගේ කෙනෙක් හම්බ වුණා කියල කාටවත් කියන්න එපා.”
“ඇයි ඒ?” මට ඔයාගෙ මූණ පේන්නෙ නැති නිසා මං මේ ගැන කාටවත් කිව්වට ඔයා කවුද කියල දැනගන්න බෑනෙ.”
“ඒක හරි. ඒත් ඩොක්ටර් වගේ කෙනෙක් එකපාරටම ප්‍රසිද්ධියේ මෙහෙම දෙයක් කිව්වොත් අර කට්ටඩි හොරු ටික උඩ යනවා. ඊට පස්සෙ උන් කියයි ඩොක්ටර්ම පරාජය භාර ගත්ත කියල. එහෙම වුණොත් ඩොක්ටර් මෙච්චර කල් ගොඩනගපු දේවල් වල වටිනාකමක් නැතුව යනව. මං කිව්වනෙ. මට ඕනෙ ඩොක්ටර් ඉන්න අන්තගාමී මතය වෙනස් කරන්න විතරයි. නැතුව කරන වැඩ ටික නතර කරන්නවත් ඩොක්ටර්ට චැලේන්ජ් කරන්නවත් නෙමෙයි.”
වෛද්‍ය විදුර නැවත සිය හඩ අවදි කළේ සුළු මොහොතක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“හරි, ඔයාගෙ ඉල්ලීම් ඔක්කොටම මං එකගයි.”
“එහෙනම් ඩොක්ටර් අපි වැඩේ පටන්ගමු. මගේ ස්පීඩ් එක නම් ඔයා දැන් දැක්කනෙ. මං යන වෙලාවටත් ආපහු ස්පීඩ් එක පෙන්නන්නම්. මුලින්ම මං ඩොක්ටර් මීඩියා වල දීපු චැලේන්ජ් එක ටිකක් වෙනස් විදියට කරල පෙන්නන්නම්. අර සල්ලි කොලේක අංක ටික කියන්න කිව්වෙ. අන්න ඒක.”
“ඔයාට අනුන්ගෙ හිත් කියවන්නත් පුළුවන්ද?”
“නෑ ඩොක්ටර්. ඒක නම් මට බෑ. මං කියන්නෙ මෙහෙමයි. අර අතන වංගුවක් එක්ක කාර් එකක් නවත්තල තියෙන්නෙ. මං දැන් එතනට යනවා.” අමුත්තා පැවසුවේ තරමක් ඈතින් නවත්වා තිබූ වාහනයක් පෙන්වමිනි.
“මං එතනට ගියාට පස්සෙ ඩොක්ටර් පර්ස් එකේ තියෙන මොකක් හරි නෝට්ටුවක් ගන්න. ඊට පස්සෙ ඩොක්ටර්ට විතරක් ඇහෙන විදියට ඒකෙ තියෙන අංක ටික පිළිවෙලට කියාගෙන යන්න. මං අතන ඉදන් ඩොක්ටර් කියන එක අහගෙන අංක ටික මගේ ෆොන් එකේ සේව් කරගන්නම්. මෙතන ඉදන් එතන්ට මීටර් සීයක් විතර තියෙනව. කොහොමත් සාමාන්‍යය මනුස්සයෙකුට හිමින් කියන දෙයක් ඔච්චර දුර ඇහෙන්නෙ නෑනෙ.”
“ඒක ඉවර වුණාට පස්සෙ ඩොක්ටර් පර්ස් එකේ තියෙන තව සල්ලි කොළයක් අතට ගන්න. ඊට පස්සෙ ඒක දිග ඇරල ඉලක්කම් තියෙන පැත්ත මට පේන්න අල්ලගන්න. ඒකෙ තියෙන ඉලක්කම් ටිකත් මං අතන ඉදන්ම කියවල ෆෝන් එකට සේව් කර ගන්නම්. ඒ විදිය හොදයි නේද?”
විදුරගේ සිත විස්මයෙන් ඇලලී ගියේය. මෙලොව කිසිදු මිනිසෙකුට ලැබිය නොහැකි අන්දමේ අත්දැකීමක් ලැබීමට ඔහුට අවස්ථාව හිමි වී ඇත. සැබවින්ම එම අත්දැකීම විදගැනීමට ඔහු තුල ඇති වූයේ උනන්දුවකි.
“ඔව්. ඒ විදිය හොදයි.”
“හරි. එහෙනම් මං දැන් අතනට ගිහින් අතක් උස්සන්නම්. ඊට පස්සෙ ඩොක්ටර් වැඩේ පටන් ගන්න.”
එසේ පැවසූ අමුත්තා මීලග නිමේෂයේදී සිටි තැනින් අතුරුදහන් වී ඈතින් පෙනෙන වාහනය ළග පෙනී සිටියේය. සැබවින්ම සිදුවූයේ එක් තැනකින් අතුරුදහන් වී තවත් තැනකින් මතු වුණා නොව අමුත්තා අධික වේගයකින් එතැනට ගමන් කිරීමයි. මොහුගේ වේගය තමාගේ පියවී ඇසට හසු කර ගැනීම අපහසු බව වෛද්‍ය විදුර වටහා ගත්තේය.
අද්භූත අමුත්තා අතක් ඔසවා තමන් සූදානම් බව පැවසීය. එම සංඥාවට අනුව විදුර තමාගේ මුදල් පසුම්බියෙන් නෝට්ටුවක් ගෙන එහි වූ අංක තමාට පමණක් ඇසෙන පරිදි සෙමින් කියවාගෙන ගියේය. ඉන්පසුව තවත් නෝට්ටුවක් අතට ගත් විදුර එය අංක මුද්‍රණය කර ඇති පැත්ත අමුත්තා සිටි දිශාවට හැරවුයේය. ඔහු ජංගම දුරකතනයක එම අංකය සටහන් කරගන්නා බව පෙනුණි. මීලග මොහොතේ අතක් එසවූ අමුත්තා තමා එය අවසන් කළ බව සංඥා කළේය. ඒ අනුව විදුර නෝට්ටු දෙකම කලිසම් සාක්කුවක දමා ගත්තේය.
ඉන්පසුව නැවතත් අධික වේගයෙන් චලනය වූ අද්භූත අමුත්තා නැවතත් විදුරට අඩි කිහිපයක් ඉදිරියෙන් මතු විය.
“හරි ඩොක්ටර්, මං එහෙනම් කොළ දෙකේ අංක ටික කියන්නද?”
“හරි, කියන්න බලන්න.” පැවසූ වෛද්‍ය විදුර නෝට්ටු දෙක නැවතත් කලිසම් සාක්කුවෙන් පිටතට ගෙන එහි ඉලක්කම් තමාට පමණක් පෙනෙන පරිදි හරවා ගත්තේය. අද්භූත අමුත්තා නිසැකවම එම අංක නිවැරදිව පවසන බව විදුර අනුමාන කළේය. නමුත් එය අත්දැකීමෙන්ම විද ගැනීමට ඔහු තුල දැඩි උවමනාවක් ඇති විය.
“ඩොක්ටර් කටින් කියපු නොම්බරේ තමයි හැට හතරයි හතලිස් හතයි පනස් තුන. මට පෙන්නපු එක තිස්පහයි විසි හයයි අසූ දෙක. හරි නේද?”
වෛද්‍ය විදුරගේ මුවි භාගෙට විවර විය. අමුත්තා පැවසූ එකදු අංකයක් හෝ වැරදි නොවිය. ඔහු ඒ අංක සියල්ලම නිවැරදිවම කීවේය. තමා විවෘතව කළ අභියෝගය තරමක් වෙනස් ආකාරයකට වූවද මේ අද්භූත අමුත්තා සම්පූර්ණයෙන්ම ජයගෙන තිබුණි. මෙතෙක් කාලයක් සාමාජය තුල ප්‍රචලිත කිරීමට වෙහෙසුනු වෛද්‍ය විදුර දැරූ මතයන් සියල්ල ඔහුගේ දෑස් ඉදිරිපිටම සුණු විසුනු විය.
වෛද්‍යවරයා තුෂ්ණිම්භූත වී කිසිවක් කතා කර ගැනීමට නොහැකිව සිටිනු දුටු අමුත්තා සිය හඩ අවදි කළේය.
“ඩොක්ටර්ට මොකද හිතෙන්නෙ මේ ගැන?”
“මට හිතාගන්නවත් බෑ. මට නම් හිතෙන්නෙම ඔයා මනුස්සයෙක් නෙමෙයි කියල.”
“මං හිතනව ඩොක්ටර් හිටපු අන්තගාමී මතය මට වෙනස් කරන්න පුළුවන් වුණා කියල?”
“මෙහෙම දෙයක් ඇස් දෙකට දකින්න තරම් මං වාසනාවන්ත වුණා. හැබැයි මට දැන් මං ගැන පොඩි ලැජ්ජාවකුත් තියෙනව. මීඩියා වල මං කියපු දේවල් ගැන.”
“අයියෝ… ඒ ගැන දුක්වෙන්න එපා ඩොක්ටර්. මං ආයෙත් කියන්නෙ ඩොක්ටර් කරන්නෙ ලොකු සමාජ සේවයක්. ඒ දේවල් දිගටම ඒ විදියටම කරන්න. මොකද අමු බොරු කරල මිනිස්සුන්ගෙ සල්ලි වංචා කරන හොරු ටික සුද්ද වෙන්න ඕනෙ. මමත් වෙලාව තියෙන විදියට ඩොක්ටර්ගෙ ප්‍රෝග්‍රෑම්ස් බලනවා.”
“ඇත්තටම ඔයා මට මේ දේවල් පෙන්නුවේ මගේ මතය වෙනස් කරන්නද?”
“ඔව් ඩොක්ටර්. ඔයාගෙ ප්‍රෝග්‍රෑම්ස් වලින් මං සමහර දේවල් ඉගෙන ගෙන තියෙනව. ඉතින් මේ කරපු වැඩේ ඒකට කරපු කළගුණ සැලකීමක් කියල හිතන්නකො.”
“හරි. අනිත් එක මට හරි ආසයි ඔයත් එක්ක මේ දේවල් ගැන වැඩිපුර ටිකක් කතා කරන්න. ඒ හින්ද ආපහු දවසක මේ ගැන කතා කරන්න මාව හම්බවෙන්න එන්න පුළුවන්ද?”
“මෙහෙමයි ඩොක්ටර්. මේක මට හම්බවෙච්ච විදිය ගැන නම් මටත් හරියටම අදහසක් නෑ. මං හිතන විදියට මේකට ඒලියන්ස්ලගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනව. ඒත් ඉතින් ඒක විස්තර කරල කියන්න නම් මං දන්නෙ නෑ. මං ඒක ගැන හරියට දැනගත්තොත්… ඒක කියන්න පුළුවන් එකක් නම් මං ආපහු ඩොක්ටර්ව හම්බවෙන්න එන්නම්. එහෙම නැතුව නම් මට වෙන කියන්න දෙයක් නෑ.”
“ඒ කියන්නෙ බොහෝ දුරට අපි ආපහු මේ විදියට හම්බවෙන එකක් නෑ නේද?”
“ඔව්, මොකද එකම කෙනෙක්ව දිගටම හම්බවෙන්න එන එක මගේ ප්‍රයිවසි එකටත් හොද නෑ.”
විදුර දීර්ඝ සුසුමක් හෙලුවේය. තමාට ලැබුණු වටිනා අවස්ථාවක් මග හැරී යන බවක් ඔහුට දැනුණි.
“ම්…. ඒකත් එහෙමද? එහෙනම් මට අඩුම තරමින් ඔයාට තෑන්ක්ස් කරන විදියක්වත් කියන්න. මේ දේවල් පෙන්නුවට.”
“එහෙම විශේෂෙන් තෑන්ක්ස් කරන්න ඕනෙ නෑ. අපියි රටක් විදියට ඩොක්ටර්ට තෑන්ක්ස් කරන්න ඕනෙ මේ කරන දේවල් වලට. ඉතින් මට පුළුවන් විදියට තමයි මං මේ ඒක කළේ. එහෙනම් ඩොක්ටර්, මම දැන් යන්නද?”
“හරි. හැබැයි යන්න කලින් මං පොඩි ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් මේ ගැන වැඩිපුර කතා කරන්න ආපහු මාව හම්බවෙන්න එන්න. මට ඔයා කවුද කියල දැනගන්න කිසිම ඕනකමක් නෑ. ඔයා කියපු ඒලියන්ස්ල ගැනයි මට දැනගන්න ආස. ඒ හින්ද ඒ ගැන තව පාරක් හිතල බලන්න.”
“ඕකේ ඩොක්ටර්. මං ඒ ගැන හිතල බලන්නම්. එහෙනම් මං යන්නම් ඩොක්ටර්. මං දැන් යනකොටත් මගේ ස්පීඩ් එක පාවිච්චි කරල තමයි යන්නෙ. අතන වංගුවට ගිය ගමන් මං උඩට පයිනවා. සමහර විට මං උඩින් යනව ඔයාට පෙනෙයි.”
“හොදයි. ඔයා මට පෙන්නපු හැමදේටම තැනක් යූ. ඒ වගේම පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න. පුළුවන් නම් ඔයාට තියෙන ඔය හැකියා වලින් මිනිස්සුන්ට උදව් කරන්න බලන්න. ගුඩ් ලක්.”
“තැනක් යූ ඩොක්ටර්. ඔයාටත් ගුඩ් ලක්. අර හොරු අල්ලන වැඩ දිගටම කරන්න. එහෙනම් මං ගියා.”
එසේ පැවසූ අද්භූත අමුත්තා මීලග මොහොතේදී අධික වේගයකින් එතැනින් අතුරුදහන් විය. වෛද්‍ය විදුර ඉදිරියෙන් ඇති වංගුව දෙස සැලකිල්ලෙන් බලා සිටි නිසා නිමේෂයක් වැනි සුළු කාලයක් තුල සෙවණැල්ලක් වැනි ඡායාවක් ඉහළට විසි වෙනු දුටුවේය. ඒ දෙස සැලකිල්ලෙන් බලා නොසිටියා නම් ඔහුට කිසිසේත්ම එය හසු නොවනු ඇත.
ඉක්මණින් අඩි දෙක තුනක් ඉදිරියට දිව ගිය වෛද්‍ය විදුර අහස දෙස බැලුවේ අද්භූත අමුත්තාව දැකීමටය. නමුත් ඒ වන විටත් ඔහු අනන්ත වූ අවකාශය තුල අතුරුදහන්ව ගොස් සිටියේය.
එය ඉතා හොදින් තරු පෑයූ පැහැදිලි අහසක් සහිත දවසක් විය. ගණන් කළ නොහැකි තරම් පෙනෙන තරු දෙස බලා සිටි ඔහුට ඔහුගේ අතීතය මෙනෙහි විය. අන්ත භෞතිකවාදියෙකු ලෙස හැසිරුනු තමන් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිදුකල සමහරක් උද්දච්ච ප්‍රකාශ ගැන ඔහුටම ලැජ්ජා සිතුණි. මේ ලෝකයේත්, මේ විශ්වයේත් තමන් නොදන්නා දේවල් තව කොපමණ ඇති දැයි අනන්ත වූ තරු වලින් පිරුණු රාත්‍රී අහස දෙස බලාගෙන ඔහු කල්පනා කරන්නට විය.
ගෙවුනු විනාඩි කිහිපය තුල ඔහු දැරූ මතයන් සම්පූර්ණයෙන්ම සුණු විසුනු වී ගොස් තිබුණි. එමෙන්ම ගෙවුනු විනාඩි කිහිපය තුල ආකල්පමය වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසෙකු බවට පරිවර්තනය වී සිටියේය.
මීට වසර කිහිපයකට පෙර හේතුවාදීන්ගේ සංගමය විසින් පවත්වන ලද දේශනයක් අවසානයේදී එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තමා වෙතට පැමිණ තමා සමග කළ කතා බහක් ඔහුට සිහි විය.
“මහත්තයල ඔය කරන වැඩේ ගොඩක් හොදයි. හැබැයි ඔය අභියෝගෙ දීපු විදිය නම් වැරදියි.”
“ඒ කිව්වෙ හාමුදුරුවනේ? මට තේරුණෙ නෑනෙ.”
“මහත්තයො, කාලයක් තිස්සෙ භාවනා කරල ධ්‍යාන ඵල ලබපු උත්තමයෙක් රුපියල් කෝටියක් දෙනව කියල කියපු පලියට මහත්තයලව හම්බවෙන්න එයි කියල හිතනව නම් ඒක වැරදියි. එයාල මේ ලෝකෙ බැදීම් වලින් නිදහස් වෙන්න හදන අය. ඒ වගේ අයට සල්ලි වලින් වැඩක් නෑ මහත්තයො. ඒ විදියට ධ්‍යාන තියෙන කවුරු හරි උත්තමයෙක් මහත්තයල ගැන අනුකම්පා කරල ආවොත් මිස ඔය විදියට නම් කවදාවත් එහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙයි.”
“එහෙනම් හාමුදුරුවනේ අපි මොන විදියටද එයාලව හොයාගන්නෙ?”
“ඔය වනගත ආරණ්‍යය වල අවුරුදු ගණන් භාවනා කරන ස්වාමීන් වහන්සේල ඉන්නව. මහත්තයල ගිහිල්ල උන්වහන්සේලව හම්බවෙලා කතා කරන්න. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට උන්වහන්සේල තමන්ගෙ අධිමානසික හැකියා ප්‍රදර්ශනය කරන්නෙ නෑ. හැබැයි වාසනාවක් තිබුණොත් මහත්තයලට ඒ වගේ දෙයක් දකින්න බැරි වෙන එකකුත් නෑ.”
තමන් එදා උන්වහන්සේ සමග තර්ක කළේ මෝඩයෙකු මෙන් යැයි ඔහුට දැන් සිතුණි. වෛද්‍ය විදුරට එම ස්වාමීන් වහන්සේගේ දෙපතුල් අල්ලා සමාව ගැනීමට තරම් නිහතමානී හැගීමක් ඇති විය. නමුත් දැන් එම සිද්ධිය සිදු වී වසර කිහිපයක්ම ගත වී තිබුණි. එසේම උන්වහන්සේගේ නමක් හෝ ගමක් ඔහු දැන නොසිටියේය.
තවදුරටත් මෙතැන සිටගෙන කල්පනා කිරීමෙන් තමා නිවසට යාම ප්‍රමාද වන බව ඔහුට මෙනෙහි විය. බිම වැටී තිබුණු තමාගේ ගමන් මල්ල අහුලාගත් ඔහු සෙමින් වාහනය වෙත පියනගන්නට විය. අතීතයේ සිටි අන්තගාමී වෛද්‍ය විදුර දැන් මියගොස් අවසන්ය. ඒ වෙනුවට වඩාත් විවෘත මනසකින් යුත් අලුත් වෛද්‍ය විදුර කෙනෙක් බිහි වී සිටියේය.
* * *
ආකාශ් විශ්ව විද්‍යාල ගේට්ටුවෙන් ඇතුල් වූයේ භාරගන්නා කාලය තවත් මිනිත්තු කිහිපයකින් අවසන් වන ඇගයිමක් භාර දීම සදහාය. මෙම ඇගයිම් වාර්තාව සම්පූර්ණ කිරීම සදහා ඔහුට මුළු රැයම අවදි වී සිටීමට සිදු විය. මෙය අවසන් මොහොත තෙක් ප්‍රමාද වීමට හේතු වූයේ පසුගිය දින දෙකේ රාත්‍රී කාලයන් තුල ඔහු වෛද්‍ය විදුර සමග කතා කිරීමට සුදුසු අවස්ථාවක් සොයමින් සිටි නිසාය. පෙරදින රාත්‍රියේදී සිදු වූ එම කතා බහ තමන් බලාපොරොත්තු වූ පරිදිම ඉටුකර ගැනීමට හැකි වීම ගැන ඔහු සිටියේ තෘප්තියෙනි.
“ආ… ඔය එන්නෙ තව අයිස් පප්පෙක්. මෙහෙ වරෙන්. මෙහෙ වරෙන්. උඹත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.”
ආකාශ් ඇගයිම භාර දීමට ඇති ගොඩනැගිල්ල වෙත යන අඩි පාරට හැරුණා පමණි. පසෙකින් ඇසුනු හුරුපුරුදු රළු කටහඩක් නිසා හෙතෙම නැවතී හැරී බැලුවේය. එවිට ඔහු දුටුවේ තමන් දැකීමට අකමැතිම පුද්ගලයෙකි.
“මොනවද බං බලන් ඉන්නෙ? මෙහෙ වරෙන් පොඩ්ඩක් ආශ්‍රය කරන්න.” ඩිලාන් නමැති ශිෂ්‍ය සංගමයේ සභාපති තරුණයා එවර පැවසුවේ තරමක් උස් හඩිනි. ඔහුත් සමග ඉමල්කා ඇතුළු තවත් ශිෂ්‍ය කමිටුවේ සිසු සිසුවියන් දහ දෙනෙකු පමණ එතැන සිටියෝය. ඔවුන් කිසියම් සාකච්ඡාවක නිරත වන හැඩකි. එසේම කමිටුවේ නොවන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දසදෙනෙකු පමණ පසෙකින් සිටගෙන සිටිනු ඔහුට දක්නට ලැබුණි.
පිරිස අතර සතිස් සිටී දැයි ආකාශ් විපරම් කළේය. නමුත් ඔහුගේ අවාසනාවට ඒ මොහොතෙහි සතිස් එහි නොසිටියේය. තමා මෙහි පැමිණියේ වැරදි වෙලාවක බව ආකාශ්ට සිතුණි. වෙනත් කිරීමට දෙයක් නැති නිසා ආකාශ් පිරිස සිටි ස්ථානයට ඇවිද යන්නට විය.
“ආ… කොල්ලා. තමන්ගෙ වැඩ ටික කරගෙන හොදට ඉන්නව වගේ නේද? ඉතින් කොහොමද සැප දුක?”
“අවුලක් නෑ. හොදින් ඉන්නවා.”
“ඇත්තද? මටත් ඒක හිතුනා. ඊයේ තිබ්බ කැම්පෙන් එකේදි මං උඹව දැක්කෙ නෑනෙ. අපේ නම් ලිස්ට් එකෙත් උඹේ නම නෑ. මොකද වුණේ?”
“ජොබ් එකෙන් නිවාඩු ගන්න බැරි වෙච්ච නිසා මට ඒකට එන්න බැරි වුණා.”
“අනේ මේ. බොරු නොකිය හිටපන් බං. අපි මේ කැම්පේන් එක ගැන කියල දැන් සතියකටත් වැඩියිනෙ. යකෝ… ඒත් උඹට නිවාඩු දාගන්න බැරි වුණාද?”
“සොරි වෙන්න ඕනෙ මට එන්න බැරි වුණ එකට.” ආකාශ් සුහදශීලීව පැවසුවේ මෙය ගොඩින් බේරා ගැනීමේ අදහසිනි.
“සොරි…? අතන හිටගෙන ඉන්නෙත් උඹ වගේම සොරි ගාගෙන ආපු සෙට් එක. වහාම පලයන් එතනට. උඹල සෙට් එකට වෙනම මීටින් එකක් තියන්න වෙනවා.” ඩිලාන් පැවසුවේ අඩි කිහිපයක් දුරින් සිටගෙන සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිස පෙන්වමිනි.
එවර නම් ආකාශ්ගේ කෝපය තරමක් ඇවිස්සුනි. ශිෂ්‍ය සංගමයේ සභාපති වූ පලියට මෙවැනි රදවා ගැනීමක් කිරීමට මොහුට කිසිදු අයිතියක් නැත. එසේම තවත් මිනිත්තු කිහිපයකින් ඇගයිම භාරදීමට ඇති කාලයද අවසන් වන බව ඔහුට මෙනෙහි විය.
“සබ්මිශන් එකක් තියෙනව. ඒක සබ්මිට් කරන්න තියෙන වෙලාව තව ටිකකින් ඉවර වෙනවා. මං ඒක දිලා එන්නම්. ඊට පස්සෙ මේ ගැන කතා කරමු.”
“උඹ වගේම එක එක මගුල් භාර දෙන්න ආපු උන් තමයි අතනත් ඉන්නෙ. උඹට කියල විශේෂයක් නෑ. වහාම එතනට යන්න.”
එම ප්‍රකාශය ආකාශ්ගේ කෝපය තවත් වැඩි කිරීමට හේතු විය. එදා රැස්වීමේදිද තමන් මොහු කියන සියල්ල නිහඩව ඉවසීමෙන් අසා සිටියේය. නමුත් දිගින් දිගටම එය කළ නොහැක. එසේම තමා දැන් සුවිශේෂි පුද්ගලයෙකි. නෝන්ජලයෙකු මෙන් තමා මොහු කියන සියල්ලට අවනත විය යුතු නැත. ඔළුව උදුම්මවාගත් මොහුට තමා විරුද්ධ විය යුතු බව නැගී ආ කෝපයත් සමග ආකාශ්ට සිතුණි.
“මං කිව්වනෙ. මේක පරක්කු කරන්න බෑ. මං මේක දීල එන්නම්. ඊට පස්සෙ කතා කරමු.” පැවසූ ආකාශ් ආපසු යන්නට හැරුණේය.
“ඒ… උඹ කොහෙද යන්න හදන්නෙ? ඔහොම හිටු.” පැවසූ ඩිලාන් ආකාශ්ගේ උරහිසින් අල්ලා නැවත තමා දෙසට හරවා ගත්තේය.
“බලහන්කො මූ. වැරැද්ද කරල තව කියවගෙනත් එනව. මං මේ උඹට අන්තිම වතාවට කියන්නෙ. දැන් අතනට යනවද, නැද්ද?”
ඩිලාන්ගේ දෙනත දෙස බලාගෙනම ආකාශ් අඩියක් පෙරට තැබුවේය.
“නෑ. මං යන්නෙ නෑ. ඇයි උඹ මොනව කරන්නද?”
ඩිලාන්ගේ මුහුණ දැඩි කෝපයෙන් රතු වී යනු ආකාශ් දුටුවේය.
“තොට මං…” කියමින් ඩිලාන් දත්මිටි කන්නට විය.
ඩිලාන් යනු ඉක්මන් කේන්තිකාරයෙකු බව කමිටුවේ සිටි සියලුදෙනාම දැන සිටියෝය. එම නිසා තව සුළු මොහොතකින් මෙම ස්ථානයේ රණ්ඩුවක් ඇති වන බව ඔවුන්ට වැටහුණි.
“ඩිලාන්… ඕක නවත්තන්න.” උස් හඩින් පවසමින් ඉමල්කා ඔවුන් සිටි තැනට ඉක්මන් ගමනින් ඇවිද එන්නට වූවාය.
“එපා මචං, ඕන නවත්තපන්.” කමිටුවේ සිසුන් කිහිපදෙනෙකුද කෑගසමින් ඔවුන් සිටි ස්ථානයට දිව එන්නට විය.
නමුත් ඩිලාන් ඒ කිසිවක් කණකට ගත් බවක් පෙනෙන්නට නොවිය. අතක් දිගු කළ ඔහු උත්සහ කළේ ආකාශ්ගේ කමිස කොළරයෙන් අල්ලා ගැනීමටය.