Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 19
ISBN 978-955-44323-2-1
ආකාශ්ගේ සිත කෝපයෙන් පසු වූවද මේ අවස්ථාවට මුහුණ දීම සදහා ක්ෂණිකවම ඔහුගේ අවධානය තියුණු වී ගියේය. ඩිලාන්ගේ අතක් තමා වෙතට ඇදී එනු ඔහු දුටුවේ ඉතාමත් මන්දගාමී රූපරාමු පෙළක් මෙනි. තමාගේ අවධානය තීව්‍ර වීම නිසා අවට සිදුවීම් ඉතා සෙමින් සිදුවන බවත් ලෝකයට සාපේක්ෂව තමන් ඉතාමත් වේගවත් බවත් ඔහුට දැනුණි.
අවශ්‍ය නම් එක්වරම මෙතැනින් අතුරුදහන් වීමේ හැකියාව ආකාශ්ට තිබුණි. නමුත් එය අනුවණ ක්‍රියාවකි. එසේම මොහුට පාඩමක් ඉගැන්වීමේ අවශ්‍යතාවයද ආකාශ්ගේ සිත තුල තිබුණි. නමුත් තමා මොහුට පහරක් එල්ල කළොත් එයින් ඩිලාන්ගේ ජීවිතයට හානියක් සිදුවිය හැක. එම නිසා ඊට වඩා හානිය අඩු දෙයක් කිරීමට ආකාශ් සිතාගත්තේය.
ඩිලාන්ගේ අත තමා වෙත ඇදී එනු බලා සිටි ආකාශ් එය මගහැරීමට එක් පැත්තකට බර වී පයක් පෙරට තබා තම ප්‍රතිවාදියාගේ කමිසයෙන් අල්ලා ඔහුව තල්ලු කර දැමුවේය.
නමුත් ආකාශ් බලාපොරොත්තු වූවාට වඩා දෙයක් සිදුවිය. මෙම අවස්ථාවට මුහුණදීම සදහා ඔහුගේ අවධානය වඩාත් තියුණු වී තිබීම හේතුවෙන් ඔහුගේ ශාරීරික ශක්තියද වඩාත් කාර්යක්ෂමව මෙහෙයවීමේ හැකියාවක් ඇති වී තිබුණි. එම නිසා ඩිලාන්ව තල්ලු කළ වේගය ඔහු සිතුවාට වඩා තරමක් වැඩි විය. ඒ අවබෝධය ක්ෂණිකව ආකාශ්ට ඇති වූ නමුත් එය ඇති වූයේ ඩිලාන්ව තල්ලු කිරීම නිසා සිදු වූ දෙය දැකීමෙන් පසුවය.
එය දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපට ජවනිකාවක් සැබෑ වීමක් වැනිය. අඩි හතරක් පමණ ඉහළින් ගුවනේ පාවී ගිය ඩිලාන්ව අඩි හතක් පමණ දුරින් වූ ගසක කදේ වැදී බිම වැටුණි. ඇද වැටුණු ඩිලාන් නැවත නැගී සිටීමට උත්සහ නොකළේය. ගැටීම සිදු වූයේ ඩිලාන්ගේ වම් උරහිසෙහිය. දකුණු අතින් උරහිස අල්ලාගත් ඩිලාන් වේදනාවෙන් ඇඹරෙමින් කෑගසන්නට විය.
රණ්ඩුව බේරීමට දුවගෙන පැමිණි පිරිස සිටි තැනම ගල් ගැසී නතර විය. දෑසින් දුටු දෙය විශ්වාස කිරීමට අපහසුවෙන් ඔවුන් තුෂ්ණිම්භූත වී ආකාෂ් දෙසත් ඩිලාන් දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය. එක් අයෙකුවත් කතා කරන්නට හෝ ඩිලාන්ට උදව් කිරීමට නොපෙළඹුනි. ඔවුන් සියලුදෙනාම පසුවූයේ විස්මයෙනි.
තමා ඉක්මණ් වූවා වැඩි බව ආකාශ්ට වැටහුණි. තමන්ට මීට වඩා ඉවසීමෙන් කටයුතු කළ හැකිව තිබූ බව ඔහුට කල්පනා වීම නිසා ආකාශ්ගේ සිතෙහි ඇති වූයේ පසුතැවිල්ලකි. නමුත් දැන් සිදු වූ දෙය ආපසු හැරවිය නොහැක. කෙසේ වූවද පරහක් එල්ල නොකර තල්ලු කිරීම පමණක් සිදුකිරීම තමාගේත් ඩිලාන්ගේත් වාසනාව බව ආකාශ්ට සිතුණි.
ඝට්ටනය නිසා ඇති වූ වේදනාව හැර ඩිලාන්ට වෙනත් හානියක් සිදුනොවී ඇති බව වටහාගත් ආකාශ් ඇගයිම භාරදීම සදහා ආපසු යාමට හැරුනේ තව සුළු මොහොතකින් තමා වෙත යොමු වීමට හැකි ප්‍රශ්න වලින් මිදීමටය. ආපසු හැරීවත් නොබැලූ ආකාශ් ඉදිරියෙන් වූ ගොඩනැගිල්ලට ඇතුල් වී තමාගේ ඇගයිම් සටහන භාර දුන්නේය.
ඉන්පසුව ගොඩනැගිල්ලෙන් පිටතට පිවිසි ඔහුට දක්නට ලැබුණේ මීටර කිහිපයක් ඈතින් වූ ගසක් යට තිබූ බංකුවක අසුන්ගෙන සිටින ඩිලාන් සහ කමිටුවේ අනිත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසයි. ගොඩනැගිල්ලේන් තමා ඉවතට පැමිණි බව දුටු ඔවුන් සියලුදෙනාම තමා දෙස බලා සිටින බව ආකාශ් දුටුවේය. නමුත් පෙර සිදුවූවාක් මෙන් තමාට කතා කිරීමට හෝ කැදවීමට කිසිවෙකු ඉදිරිපත් නොවිය. ඩිලාන් ඔහු දෙස බලා සිටියේ අමුතු ජීවියෙකු දෙස බලන අයුරිනි.
තවදුරටත් මෙතැන රැදී සිටීම තමාට අනවශ්‍යය ප්‍රශ්න ඇති කිරීමට හේතු වනු ඇතැයි ආකාශ්ට සිතුණි. වහාම එතැනින් ඉවතට ඇවිද ගිය ආකාශ් විශ්ව විද්‍යාලයේ වාහන අංගනය වෙත පැමිණියේ තම යතුරුපැදියට නැගී හැකි ඉක්මණින් මෙතැනින් පිටවීමටය. නමුත් ඔහුගේ ජංගම දුරකතනය නාදවෙන්නට විය. සාක්කුවෙන් පිටතට ගෙන එය දෙස බැලූ ඔහු දුටුවේ ඇමතුම ලෝචනාගෙන් බවය. නමුත් මේ මොහොතෙහි ඇයත් සමග පෙම් බස් දෙඩීමට තරම් සුදුසු මානසිකත්වයක් ඔහුට නොවිය. එම නිසා එයට පිළිතුරු නොදී ඇමතුම නවතිනතුරු බලා සිටි ඔහු ජංගම දුරකතනය සාක්කුවේ දමා ගත්තේය.
ඔහු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ කරන විටම නැවතත් ඔහුගේ ජංගම දුරකතනය නාදවෙන්නට විය. ලෝචනා නැවතත් තමාව ඇමතීමට උත්සහ ගන්නවා විය යුතුය.
“අයියෝ… මොන කරදරයක්ද?” තමාටම මුමුණාගත් ඔහු නැවතත් ජංගම දුරකතනය සාක්කුවෙන් පිටතට ගත්තේය. නමුත් ඒ ලෝචනා නොවිය. ඇමතුම ඉමල්කාගෙනි.
පසුගිය දිනක පැවැත්වූ වෛද්‍ය විදුර කුලසිංහ සහභාගී වූ දේශනය සංවිධානය කිරීම සදහා එකට වැඩ කළ හෙයින් ආකාශ් සහ ඉමල්කා අතර යම් හැදුනුම්කමක් ගොඩ නැගී තිබුණි. නමුත් මැයගේ චරිතය පිළිබදව ප්‍රචලිත වී ඇති කරුණු හේතුවෙන් එම හැදුනුම්කම අතේ දුරින් තබා ගැනීමට ආකාශ් සෑමවිටම වග බලා ගත්තේය. නමුත් මේ මොහොතේ ඇය කතා කරන්නෙ කිසියම් හදිසි කාරණයකට විය යුතුය.
“හලෝ ඉමල්කා.”
“ආකාශ්, ඔයා කොහෙද ඉන්නෙ?”
“මං දැන් ඉන්නෙ කාර් පාක් එකේ. ඇයි?”
“මට ඔයාට දෙයක් කියන්න තියෙනව. ඔහොම ඉන්නකො. මං ඔතනට විනාඩි පහෙන් එන්නම්. ම්… නැත්තම් අර කපල් සෙට් වෙන තැනට ඔයාට එන්න පුළුවන්ද? මං එතනට එන්නම්. මොකද මේක ප්‍රයිවට් දෙයක්.”
“ඉමල්කා, ඕක හදිසි එකක්ද? මං දැන් මේ පොඩි ගමනක් යන්නයි හැදුවෙ.”
“අනේ ඔව් ආකාශ්. දැන් දවස් දෙක තුනක ඉදන්ම මං ඔයාට මේක කියන්නයි හිටියෙ. හැබැයි වෙලාවක් හම්බවුණේ නෑ.”
“මොකද්ද කේස් එක. මෙහෙම ෆෝන් එකෙන් කියන්න බැරිද?”
“ෆෝන් එකෙන් නම් බෑ මෙයා. මේක හම්බවෙලාම කියන්න ඕනෙ. මං මේ කියන්න හදන දේ දැනගන්න එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මෙහෙම කියන්නම්කො. ඔයා නිම්සරාව දන්නවනෙ. මේක එයා ගැන.”
ආකාශ්ගේ සිත විස්මයෙන් පිරී ගියේය. නිම්සරාව තමා හදුනන බව ඉමල්කා දන්නේ කෙසේද? මැය මේ විස්තර දැනගෙන ඇත්තේ සතිස්ගේ මාර්ගයෙන් විය යුතු යැයි ආකාශ් අනුමාන කළේය. එසේ නම් මැය තමා ගැන තව මොනවා දන්නවා දැයි ආකාශ් කල්පනා කරන්නට විය.
“හරි ඉමල්කා. මං දැන් කපල් පොට් එකට එන්නම්.”
“එහෙනම් දැන්ම එන්න. මාත් දැන් එතනට යනවා.”
ඇමතුම විසන්ධි විය. යතුරු පැදියෙන් බැස හිස් ආවරණය ගලවා දැමූ ආකාශ් ඉමල්කා පැවසූ ස්ථානයට පිය නගන්නට විය. ආකාශ් එහි යන විට ඉමල්කා එම ස්ථානයට පැමිණි සිටියාය.
“අපි හිතන් හිටියට වඩා ඔයා හරි චණ්ඩියෙක්නෙ?” තමා ළගට පැමිණි ආකාශ්ට ඇය පැවසුවේ සිනාසෙමිනි.
“මං ඌව තල්ලු කළා විතරයි. අනික මං නෙමෙයිනෙ ඒක පටන් ගත්තෙ?”
“ඔව්. අපි කොහොමත් ඩිලාන්ගෙ හැටි දන්නවා. එක අතකට ඔයා එහෙම කරපු එකත් හොදයි. බලමුකො එයා දැන්වත් හැදෙයිද කියල.” පැවසූ ඉමල්කා සුළු මොහොතක් ආකාශ්ගේ දෙනෙත දෙස එක එල්ලේ බලා සිටියාය. ඇය නැවතත් සිය හඩ අවදි කළේ සුළු මොහොතකට පසුවය.
“ඔයා දැන් කල්පනා කරනව ඇති මං කොහොමද නිම්සරාව දන්නෙ කියල නේද?”
“ඔව්. ඔයාගෙ ඉස්කෝලෙ යාළුවෙක්ද?”
“නෑ. හැබැයි එයා මගේ හොද යාළුවෙක්ගෙ ඉස්කෝලෙ යාළුවෙක්. නිම්සරා මගේ යාළුවගෙන් අහල තියෙනව කොළඹ කැම්පස් එකේ දන්න කවුරු හරි ඉන්නවද කියල ඔයා ගැන විස්තර අහල දැනගන්න පුළුවන්.”
“මං ගැන විස්තර? ඒ මොකටද?”
“හේතුව නම් මං හරියටම කියන්න දන්නෙ නෑ. හැබැයි මට ගෙස්ට් කරල මෙහෙම කියන්න පුළුවන්. මං හිතන්නෙ නිම්සරාට ඕන වෙලා තියෙන්නෙ ඔයාගෙයි ලෝචනාගෙයි එෆෙයාර් එක කඩන්න. ඊට පස්සෙ ඔයාව එයා ළගට ගන්න.”
එය ඇසූ ආකාශ්ගේ සිත තරමක් කලබලයට පත් විය. තමා සහ ලෝචනා අතර සම්බන්ධයක් ඇති බව මැය දන්නේ කෙසේද? තමන් ආශ්‍රය කරන පුද්ගලයන් ගැන තමන්ට වඩා මැය දන්නා බවක් පෙනෙන්නට විය.
එසේම ඉමල්කා පැවසූ කතාව සත්‍යය විය යුතු බව ආකාශ්ටද හැගුණි. ඊට හේතුව මීට පෙර නිම්සරා තමන් සමග යෙදුනු දුරකතන සංවාද කිහිපයේදීම ආකාශ්ට ඒ බව දැනී තිබූ නිසාය. ඇය තමාට කතා කරන සෑම අවස්ථාවකදීම ලෝචනාගේ නුගුණ කීමට පුරුදු වී සිටියාය. එසේම ගිනිඅවි අලුත්වැඩියා කරන වැඩපොළ නැරඹීම සදහා පැමිණිමට ඇය උත්සහ කළේ තමාව තනිව හමුවීමට මගක් පාදා ගැනීමට බව ආකාශ්ට පසුව වැටහුණි. වෙනත් අවස්ථාවකදී නම් නිම්සරා වැනි රූමත් තරුණියක් තමා ගැන උනන්දු වීම ගැන ආකාශ් උද්දාමයට පත්වනු ඇත. නමුත් නිම්සරා යනු ලෝචනාගේ එක කුස උපන් සහෝදරියයි. එසේම නිම්සරා තමාව විවිධ ආකාරයෙන් පෙළඹවීම් සදහා උත්සහ කරන බව ඔහු ලෝචනාට නොකීවේ ඇය තම නැගණිය සමග ගැටුමක් ඇති කරගනු ඇතැයි සිතූ නිසාය. දැන් ඔහුට ලෝචනා ඇතුළු මුළු දිසානායක පවුලම සිතට මහා බරක් මෙන්ම වධයක් වී ඇත.
ආකාශ් නිහඩව කල්පනා කරනු දුටු ඉමල්කා නැවතත් සිය හඩ අවදි කළාය.
“මගේ යාළුව මට කිව්ව නිම්සරාට ඕන වෙලා තියෙන්නෙ කැම්පස් එකේ ඔයා ළගින් ආශ්‍රය කරන කවුරු හරි ගෑණු ළමයෙක් ඉන්නවද එහෙමත් නැත්නම් ඔයාට මෙහෙ වෙන එෆෙයාර් එකක් තියෙනවද කියල දැනගන්න. මං හිතන්නෙ එහෙම එකක් තියෙනව නම් ලෝචනාට ඒ ගැන කියන්න වෙන්න ඇති. මගේ යාළුව මගෙන් ඇහුවෙ ඕක තමයි. ඉතින් මං කිව්ව මං හරියටම දන්නෙ නෑ. හොයල කියන්නම් කියල.”
“ඉමල්කා, ඔයාට පට්ටම තැනක් යූ හොදේ මේ දේ මට කිව්වට. නිම්සරා එක විදියක කෙනෙක් කියල මට පළවෙනි දවසෙම තේරුණා. හැබැයි මෙච්චර ලොකු ගේමක් ගහයි කියල නම් මං නිකමටවත් හිතුවෙ නෑ. සිරාවටම තැනක් යූ හොදේ.”
“හරි හරි අනේ. තැනක් යූ කරන්න පස්සෙ බැරියැ. හැබැයි ඔයා මටත් පොඩි උදව්වක් කරන්න ඕනෙ?”
“ඒ මොකද්ද?”
“අර මගේ යාළුව දැන් දවස් ගාණක ඉදන් මට වධ දෙනවා ඔයා කැම්පස් එකේ ඉන්න ටයිම් එකක් අල්ලල දෙන්න කියල. නිම්සරාට ඔයාව මීට් වෙන්න ඕනෙලු. ඒ හින්ද ඔයා සබ්මිෂන් එක දෙන්න ගිය වෙලාවෙ මං යාළුවට කතා කරල කිව්ව ඔයා දැන් කැම්පස් එකේ ඉන්නව කියල. එයා ඒක ඒ වෙලාවෙම නිම්සරාට කියල. දැන් ටිකකට කලින් යාළුව මට මැසේජ් එකක් දැම්මා නිම්සරා ඔයාව මීට් වෙන්න කැම්පස් එකට එන ගමන් කියල.”
“මොකක්? නිම්සරා මාව හම්බවෙන්න දැන් මෙහෙට එනවා?”
“ඔව් ආකාශ්. අනේ ප්ලීස්. එයාව මීට් වෙලා යන්න. දැන් ඔයා ගියොත් මං බොරුවක් කිව්ව වෙනව. අනිත් එක නිම්සරාට ඔයාව මීට් කරනකන්ම යාළුවගෙ කරදරෙන් මට බේරෙන්න වෙන්නෙ නෑ. අනිත් එක ඔයා කොහොමත් නිම්සරාව මීට් වෙන එක හොදයි. කියන්න තියෙන දේ කෙළින්ම එයාගෙ මූණටම කියන්න. එතකොට මේක ඉවරයිනෙ.”
ආකාශ්ට මුහුණ පෑමට සිදුවූයේ නොසිතූ ගැටලුවකටය. ඔහු කිසිසේත්ම මෙවැන්නක් බලාපොරොත්තු වූයේ නැත. ඉමල්කා යනු කපටි ගැහැණියක් බව හෙතෙම වටහා ගත්තේය. ඇය තමාට උපකාරයක් කළ බව පෙන්වා අනිත් පැත්තට ප්‍රතික්ෂේප කළ නොහැකි අයුරින් තමා ලවා ඇයගේ අවශ්‍යතාවය ඉටු කරවා ගත්තාය. එනම් නිම්සරා විසින් ඇයගේ යහළුවෙකු හරහා මැයට භාර දුන් කොන්ත්‍රාත්තුව ඉමල්කා මැනවින් ඉටු කළාය.
තමාව පුද්ගලිකව හමුවීමට අවශ්‍යය බව නිම්සරා මීට පෙර කිහිපවරක්ම ඔහුට දුරකතනයෙන් පවසා සිටි නමුත් ඔහු ඒ සියල්ල කුමක් හෝ පවසා මග හැරියේය. දැන් ඇයම සූක්ෂම අයුරින් ඒ සදහා අවස්ථාවක් පාදා ගෙන ඇත. මෙතෙක් කල් නිම්සරාගේ හැසිරීම පිළිබදව ලෝචනාට නොපැවසීමෙන් තමන් විශාල වරදක් කරගත් බව ආකාශ්ට සිතුණි. එම නිසා තවත් ප්‍රමාද නොකර හෙට දිනයේදිම ලෝචනාව හමු වී මේ පිළිබදව පැවසීමට ඔහු සිතාගත්තේය.
තවත් මිනිත්තු දෙකකට පමණ පසුව ඉමල්කාගේ ජංගම දුරකතනය නාද වෙන්නට විය.
“හලෝ… ආ… නිම්සරා. ආ… ඔව් ඔව්. එයා මෙතන දැන් මාත් එක්ක ඉන්නවා. අපි මේ ඔයා එනකන් තමයි බලං හිටියෙ. ඔයා දැන් කොතනද ඉන්නෙ? ආ… හරි. ඔතන ලී බංකුවක් එක්ක ටිකක් නැවිච්ච ගහක් තියෙන්නෙ. අන්න එතනින් දකුණු පැත්තට තියෙන පාරෙන් දිගටම එන්න. ටික දුරක් එනකොට ඔයාට අපිව පෙනෙයි. මොකද්ද? ආ… නෑ නෑ. බයවෙන්න එපා. අපි ඉන්න හරියෙ සෙනග කවුරුවත් නෑ. මේ පැත්තට එන්නෙ කපල්ස් විතරයි. ආ… හරි හරි. ඕකේ. බායි.”
“නිම්සරා ඇවිල්ල. දැන් එයා කාර් පාක් එකේ ඉන්නෙ. තව ටිකකින් මෙතනට එයි.” ඉමල්කා පැවසුවේ ඇමතුම විසන්ධි කරමිනි.
ආකාශ් දීර්ඝ සුසුමක් හෙළුවේය. බලා සිටීම හැර මේ මොහොතේ ඔහුට වෙනත් විකල්පයක් නොමැති විය. තවත් මිනිත්තු කිහිපයකට පසුව සිරුරේ සුන්දරත්වය මනාව පෙනෙන අයුරින් හැඩගැන්වූ තද කොළ පැහැති ගවුමකින් සැරසුණු නිම්සරා ඈතින් ඇවිද එනු ඔහුට පෙනුනි. රූමත් බව අතින් ඇය ලෝචනාට සමාන වූවද සරාගී බවින් ඇය ලෝචනාට වඩා ඉදිරියෙන් සිටියාය. සැබවින්ම ඇයට තිබුණේ ඉමල්කාට වැනි ඉතාමත් සරාගී සිරුරකි.
ආකාශ් ඉමල්කාවත් නිම්සරාවත් සිතින් සැසදීමට උත්සහ කළේය. ඔවුන් දෙදෙනාම ඉතාමත් සරාගී පෙනුමකින් යුත් යුවතියන් වූවාක් මෙන්ම මොවුන් දෙදෙනාම ඉතා කපටි ගැහැණුන් දෙදෙනෙකු බව ආකාශ්ට මේ වන විට හොදින්ම වැටහී තිබුණි. “මුන් දෙන්නම එකම වල්ලෙ පොල්ද කොහෙද?” ඒ ආකාශ්ට නැගුණු සිතිවිල්ලයි.
ඔවුන් වෙතට පැමිණි නිම්සරා ආකාශ් වෙත මදහසක් පා ඉමල්කා වෙත හැරණාය.
“මේ ඉමල්කා නේද? හසිනිගෙ යාළුවා. අනේ තෑන්ක්ස් ඩියර්. ඔයා මට ලොකු උදව්වක් කළේ.”
“එනි ටයිම් ඩියර්. එහෙනම් හරි නේද? ඔයාල කතා කරන්නකො. මං ටිකක් අර පැත්තට ගිහින් එන්නම්.” පැවසූ ඉමල්කා එතැනින් ඉවතට ඇවිද යන්නට වූවාය.
නිම්සරා කතා කිරීම ඇරඹුවේ ඔවුන්ගේ කතා බහ නොඇසෙන තරම් දුරකට ඉමල්කා ඇවිද ගිය පසුවය.
“අනේ සොරි ආකාශ් අයියෙ මේ විදියට ඔයාව මීට් වෙන්න එන්න වුණාට. මං කොච්චර ට්‍රයි කළාද ඔයාව මීට් වෙලා නිදහසේ ටිකක් කතා කරන්න. ඒත් ඔයා හැමදාම මට බොරු කිය කිය මාව මගහැරියනෙ. ඒත් ඉතින් මං දන්නව ඔයා එහෙම කළේ අපේ අක්කිට බයේ කියල.”
ආකාශ් ස්වල්ප මොහොතක් නිහඩව ඇය දෙස බලා සිටියේ ඇයගේ හැගීම් නිරීක්ෂණය කිරීමටය. ඇය තරමක් කලබල වී ඇති බව ඔහුට පෙනුණි.
“ඇයි නංගි ඔයා මේ හදිසියේම මාව හම්බවෙන්න ආවෙ?”
“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ.”
“කතා කරන්න… මොනවද?”
“අයියො… කෙල්ලෙක් ඔයාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වහම ඔහොම නපුරු වෙන්න එපා අනේ.”
“ඕකේ ඕකේ. සොරි නංගි. ඔයාගෙ හිත රිදුන නම් සොරි. මේ ප්‍රශ්නෙ දුර දිග යන්න කලින් අපි මේක කෙලින්ම කතා කරල විසදගමු. දැන් බලන්න. ඔයා දවස් ගාණක ඉදන් කියනව මාව මීට් වෙන්න ඕනෙ කියල. ඒ එක්කම කියනව අක්කට කියන්නැතුව එන්න කියල. මං කොහොමද නංගි එහෙම කරන්නෙ. ඔයා හොදටම දන්නව මායි ඔයාගෙ අක්කයි අතරේ එෆෙයාර් එකක් තියෙනව කියල. එයා මේ ගැන දැනගත්තොත් මොක්දද වෙන්නෙ.”
“අනිත් එක, මට පේන්නෙ ඔයා මේක වරද්දල තේරුම් අරගෙන තියෙනවා. මං මේ කිසිම දෙයක් ලෝචනාට තාම කිව්වෙ නැත්තෙ ඔයාගෙ ඔය වැඩ වලට සපෝට් එකක් දෙන්නවත්, ඔයා කියන දේ අහන හින්දවත් නෙමෙයි. මං හින්ද ඔයාලගෙ ගෙදර ප්‍රශ්න ඇති වෙනවට මං කැමති නැති නිසා. හැබැයි ඔයා එන්නෙ ඔය විදියට නම් මට මේ ගැන ලෝචනාට කියන්න සිද්ධ වෙනවා.”
ඔහු පැවසූ සියල්ල ඇය අසාගෙන සිටියාය. හැගීම්බර වීම නිසා ඇගේ දෙනෙත තෙත් විය.
“ඔව්. අපි මේ හැමදෙයක්ම අක්කිට කියමු. එතකොට ඔයත් නිදහස්නෙ. එතකොට අපිට හැමදෙයක්ම අලුතෙන් පටන්ගන්න පුළුවන්.”
“නිදහස්… මොකෙන්ද? අනික මොකද්ද අලුතෙන් පටන්ගන්න තියෙන්නෙ?”
“නිදහස් වෙන්නෙ අපේ අක්කිගෙන්. අලුතින් පටන්ගන්න තියෙන්නෙ අපි දෙන්නගෙ කතාව.”
ආකාශ් කිසිවක් නොපවසා නිහඩව ඇය දෙස බලා සිටියේය. මැයට කුමක් සිදු වී ඇත් දැයි ඔහු කල්පනා කරන්නට විය.
“ආකාශ් අයියෙ. මං කලිනුත් ඔයාට කිව්වෙනෙ. අපේ අක්කි ඔයාට මැච් වෙන්නෙ නෑ. ඊට වඩා ගොඩක් හොදට ඔයාට මැච් වෙන කෙනෙක් ඉන්නවා.”
“මොකද්ද නංගි දැන් ඔයා කියන්න හදන්නෙ. මට මැච් වෙන්නෙ ඔයාව කියලද?”
එම වදන් වලට ඇයගේ මුහුණෙහි හැගීම් වෙනස්වන අයුරු ඔහු නිරීක්ෂණය කළේය. තමන්ට තුරුළු වී පෙම්බස් දොඩමින් සිටින විටදී ලෝචනාගේ මුහුණෙහිද ඔහු මෙවැනිම හැගීම් මීට පෙර දැක ඇත. එම නිසා නිම්සරාට අවශ්‍ය දේ කුමක්දැයි ආකාශ් මේ වන විටත් අවබෝධ කරගෙන සිටියේය.
“ඔව් අයියෙ. මං තමයි ඔයාට මැච් වෙන්නෙ. අනිත් එක… අයි ලව් යූ. අයි ලව් යූ සෝ මච්. මට දැන් ඔයා නැතුව ඉන්න බෑ. මට ඔයාව ඕනෙමයි.”
“ඔයා හිතනව ඇති මං මහ ජරා කෙල්ලෙක් කියල. මගේම අක්කගේ එෆෙයාර් එක කඩන්න හදන. ඒත් ඔයා දන්නෙ නෑනෙ ඔයා ගැන අදහසක් මගේ හිතට ආවට පස්සෙ ඒක නැති කරල දාන්න මං කොච්චර ට්‍රයි කළාද කියල. මං සති ගාණක් ට්‍රයි කළා. හිත හදාගන්න කියල පන්සල් ගියා. බණ ඇහුවා. ඒත් මට බැරි වුණා. මොනව කරන්න ගියත් මට දැන් ඔයාව මතක් වෙනවා. මාව තේරුම් ගන්න ආකාශ්. මට දැන් ඔයාව අමතක කරන්න බෑ. මං හරි අසරණයි.”
“අනිත් එක. අක්කිගේ ෆෝන් එක චෙක් කරනකොට මං දැක්කා එයා ඔයාට දාල තියෙනව රූම් එකකට යමු කියල. ඔයාල දෙන්න මීට කලිනුත් රූම් වලට ගිහින් තියෙනව කියල මං මැසේජ් වල දැක්කා. අනේ අයියෙ ප්ලීස්, ආපහු නම් එහෙම කරන්න එපා. ඔයා වෙන කෙනෙක් එක්ක රූම් යනව කියන එක මං කොහොමද ඉවසන්නෙ. අදින් පස්සේ ඔයා රූම් යන්නෙ මාත් එක්ක විතරයි.”
නිම්සරා පැවසූ වදන් සියල්ල ආකාශ් නිහඩව නමුත් ඉතා අවධානයෙන් යුතුව අසා සිටියේය. කිසියම් ආකාරයක අස්වාභාවික යමක් සිදුවෙමින් පවතින බව ඔහුට හැගුණි. ආකාශ්ට ඒ පිළිබදව යම් අනුමානයක් තිබුණද එය සිදුවන්නේ කෙසේ දැයි ඔහුට අදහසක් නොවිය. නිම්සරා පිළිබදව පෙර තිබූ කෝපය පහව ගිය ඔහුගේ සිත ගුප්ත හැගීමකින් වෙලී ගියේය.
නිම්සරා සහ තමන් මීට පෙර මුහුණට මුහුණ හමු වී ඇත්තේ එක් වතාවක් පමණි. ඒ ලෝචනාගේ නිවසෙහිය. ඉන්පසුව ඔවුන්ගේ කතා බහ සිදුවූයේ ජංගම දුරකතනයෙන් පමණි. ඒ දස වතාවක් පමණය. නිම්සරා ඊට වඩා බොහෝ වරායක් තමාව ඇමතීමට උත්සහ කර තිබුණද ඒ බොහෝ අවස්ථාවන් ආකාශ් විසින්ම හිතාමතා මගහැර තිබුණි. ඔහුගේ සිතට පැමිණි ගැටලුව වූයේ එවැනි ඉතාමත් සීමිත හමුවීම් ගණනක් වූවද මැය තමාට ප්‍රේම කිරීමට පටන්ගෙන තිබීමයි. එසේම මෙමගින් නිම්සරා ඇයගේ පවුලද ප්‍රශ්න රැසකට ඇද දමනු ඇත. එපමණක් නොව දැන් මොහොතකට පෙර ඇය තමාට ලිංගික ක්‍රියාවන්ට පවා ආරාධනා කළාය. සිදුවූ මේ සියල්ල අතිශයින්ම අස්වාභාවික සිදුවීම් පෙළක් බව ආකාශ්ට පෙනී ගියේය.
ආකාශ් ඉවත බලාගෙන මේ සිදුවන්නේ කුමක් දැයි කල්පනා කරන්නට විය. නමුත් ඔහුට ඒ අයුරින් කල්පනා කිරීමට ලැබුණේ තත්පර කිහිපයක් පමණි. ඉදිරියට පැමිණි නිම්සරා ආකාශ්ගේ උරහිස් වටා තම දෙඅත යවා ඔහුගේ මුහුණත් දෙතොලත් තදින් සිප ගැනීමට පටන් ගත්තාය.
කල්පනා ලෝකයක අතරම වී සිටි ආකාශ් මෙවැන්නක් සිදුවේ යැයි බලාපොරොත්තු නොවිය. ඉතාමත් රූමත් තරුණියක් වූ නිම්සරාගේ සිපගැනීම් ඔහුට ගෙන දුන්නේ අතිශයින්ම මිහිරි බවකි. එයට වශි වූ ඔහු ඇයගේ උණුසුම් දෙතොලෙත්, මෘදු සිරුරෙත් මිහිරි ස්පර්ශය තත්පර කිහිපයක් විදින්නට විය. නමුත් එක්වරම නැවතත් පියවි සිහියට පැමිණි ඔහුට තමා සිටින ස්ථානය සහ කල්පනා කරමින් සිටි ගැටලුව මෙනෙහි විය. වහාම අඩි දෙකක් පසුපසට තැබූ ඔහු නිම්සරාගේ ග්‍රහණයෙන් මිදුනි.
“ඇයි අයියෙ. මං ඔයාව කිස් කරනවට ඔයා කැමති නැද්ද?” පවසමින් ඇය නැවතත් සූදානම් වූයේ ඔහුව බදා ගැනීමටය.
“නංගි, පොඩ්ඩක් ඉන්න. කලබල වෙන්නෙ නැතුව මං කියන දේ අහන්නකො.” සිය අතක් ඉදිරියට දිගු කරමින් ආකාශ් පැවසුවේ මවාගත් සන්සුන් හඩකිනි. නොදන්නා කිසියම් ආකාරයක බලවේගයක් ක්‍රියාත්මකවන බව ඔහුට දැනෙන්නට විය. එම නිසා තමා දැන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ඔහුට හැගුණි.
“නංගි, අපි දැන් මේ ඉන්නෙ කැම්පස් එකේ. වැරදිලාවත් අපි මේ විදියට ඉන්නව ලේකචර් කෙනෙක් දැක්කොත් එහෙම අපි දෙන්නටම නෝන්ඩි වෙලා තමයි පාරට බහින්න වෙන්නෙ. ඒ හින්දා අපි ටිකක් කල්පනාවෙන් කරන දෙයක් කරමු.”
එම වදන් ඇසූ නිම්සරා බියෙන් මෙන් වටපිට බැලුවේ පෙනෙන තෙක් මානයේ කිසිවෙකුත් ඇත්දැයි කියා සෙවීමටය. මීට මොහොතකට පෙර වශියකට හසු වූවාක් මෙන් හැසිරුනු ඇය දැන් තරමක් දුරට පියවි සිහියට පැමිණ ඇති බව දක්නට ලැබුණි.
“නංගි, අපි මෙහෙම කරමු. ඔයා දැන් පරිස්සමෙන් ගෙදර යන්න. මේ වගේ දෙයක් කොහොමටවත් මෙතන කතා කරන්න හොද නෑ. දැනටමත් කාට හරි අපිව නෝට් වුණාද දන්නෙ නෑ. මේක කපල් පොට් එක වුණාට පිට අයට එන්න බෑ. කැම්පස් කට්ටියට විතරයි. අනිත් එක ඔයාගෙ තාත්ත මිනිස්ටර් කෙනෙක් නිසා මොනව හරි ලීක් වුණොත් එහෙම මාරම ප්‍රශ්නයක් වෙන්නෙ. ඒ හින්දා නංගි ඔයා දැන් පරිස්සමින් ගෙදර යන්න. මං මේ සතිය ඇතුලත නිවාඩුවක් දාල ඔයාව හම්බවෙන්න එන්නම්. අපි මේ ගැන නිදහසේ කතා කරමු.”
ආකාශ් ඇයව ඇමතුවේ ඉතාමත් කාරුණික ස්වරයකිනි. ඔහු ඉතාමත් කල්පනාකාරීව එසේ සිදුකළේ මේ මොහොතේ පවතින ඇයගේ මානසික තත්වය තේරුම් ගනිමිනි. ඇයට ඇයගේ හැගීම් පාලනය කරගත නොහැකි බව ඔහුට වැටහුණි. තමා ඇයට මේ මොහොතේ එරෙහි වුවහොත් හෝ බැණ වැදුණොත් ප්‍රශ්නය තවදුරටත් දුරදිග යනු ඇත. එසේම නිම්සරාගේ හැගීම් පාලනය කරන නොපෙනෙන බලවේගය ක්‍රියාත්මකවන ආකාරය පිළිබදව ඔහුට අවබෝධයක් නොවිය.
“ඔය ඇත්තමද අයියෙ කියන්නෙ? මට කියන්න ආකාශ්. අපේ අක්කිට වැඩිය ඔයා මට කැමතියි නේද?” ඇය ඇසුවේ ඔහුගේ අතක් තම දෑතින්ම අල්ලා ගනිමිනි.
“ඔව්. මං ඔයාට කැමතියි නිම්සරා. හැබැයි අපි දැන් ගොඩක් පරිස්සමින් වැඩ කරන්න ඕනෙ. කලබල වුණොත් හැමදේම අවුල් යන්න පුළුවන්. මට තව ටික කාලයක් දෙන්න. මං හැමදේම ගාණට කරන්නම්.” ආකාශ් පැවසුවේ මේ මොහොතේ ගැලවීමටය.
“කොච්චර කාලයක්ද?”
“මං කිව්වනෙ. තව සතියක් විතර. උපරිම සති දෙකයි.”
ඇයගේ සිත ඔහුව ලැබීමේ සතුටෙන් සහ ඔහු කෙරෙහි ඇති ආදරයෙන් පිරී යන්නට විය.
“අයි ලව් යූ අයියෙ. අයි ලව් යූ සෝ මච්.” පැවසූ ඇය නැවතත් ඔහුගේ ගෙල බදා ගත්තාය.
“කෝ ඉතින්. බලන් ඉන්නෙ… ඔයත් මට එහෙම කියන්නකො.”
“මොකද්ද?”
“අයි ලව් යූ කියල.”
“අයි ලව් යූ නිම්සරා.” ආකාශ් පැවසුවේ වෙන කිරිමට දෙයක් නොමැති නිසාය.
ඇය ආලයෙන් මත් වූ දෙනෙතකින් ඔහු දෙස බලා සිටියාය. තමාට මුළු ලොවම හිමි වූවාක් වැනි හැගීමක් ඇයට දැනුණි. සෙමින් ඔහු වෙතට ළංවූ ඇය නැවතත් ඔහුගේ මුහුණත් දෙතොලත් සිප ගැනීමට පටන් ගත්තාය.
හැගීම් අවුස්සන සුළු ඇගේ සිපගැනීම් ආකාශ්ට ගෙන ආවේ අතිශයින්ම මිහිරි බවකි. නිම්සරා යනු දුටුවන් මන බදින් ඉතාමත් රූමත් තරුණියකි. විශේෂ හැකියාවන් තිබුණද ආකාශ්ද පුරුෂ ආශාවන් ඇති තරුණයෙකි. එම නිසා ඔහුටද නොදැනුවත්ව ඔහුගේ දෙඅත් ඇයගේ ඉණ වටා වෙලි ගියේය.
ඇය මත් වූවෙකු මෙන් මිනිත්තුවක් පමණ එක දිගට ඔහුව සිපගන්නට වූයේ දින ගණනාවක් පුරා ඇගේ සිත තුල සිර වී තිබූ ආශාවන් සන්සිදුවා ගැනීමට මෙනි. අවසානයේදී ආකාශ් අඩියක් පිටුපසට වී ඇගේ ග්‍රහණයෙන් මිදුණේ නිම්සරා තමාව සිපගැනීම නවත්වන පාටක් නොවූ නිසාය.
“නංගි. දැන් අපි මෙතනින් කැපෙමු නේද? අර පැත්තෙන් කවුද කට්ටයකුත් එනවා. ඔයා පිට කෙනෙක් කියල දැනගත්තොත් කේස්.”
ඇය සෙමින් ඔහුව තමාගේ ග්‍රහණයෙන් මිදෙව්වාය. ඇගේ මුහුණෙහි වූයේ අතිශයින්ම තෘප්තියට පත් හැගීමකි.
“අද තමයි මගේ ජීවිතේ සතුටුම දවස.”
“මට හිතුනා. නංගි මේ… අපි දැන්ම මෙතනින් කැපුනෙ නැත්නම් සතුටුම දවස නන්නත්තාරම වෙලා යයි.” ආකාශ් පැවසුවේ වටපිට බලමිනි.
“අපෝ… මෙයා හරි බයගුල්ලෙක්නෙ. හරි හරි. මං දැන් යන්නම්. එහෙනම් මගෙ පණ. ඔයා මාව හම්බවෙන්න ඉක්මණටම එනව නේද?”
“අනිවාර්යෙන්ම.”
“යන්න කලින් ඔයා මට තව පොරොන්දුවක් වෙන්න ඕනෙ.”
“ඒ මොකද්ද?”
“ඔයා අක්කිව ඉක්මණටම අතහරිනව කියන එකයි. එයත් එක්ක ආපහු රූම් වලට යන්නෙ නෑ කියන එකයි.”
“හරි. ඒක ඒ විදියටම වෙයි. හැබැයි ඔයත් මට පොරොන්දුවක් වෙන්න ඕනෙ.”
“කියන්න.”
“මං ලෝචනා එක්ක මේ ගැන කතා කරනකන් ඔයා අක්කට මුකුත්ම කියන්න යන්න එපා. මං ඔයාගේ අම්ම එක්කත් කතා කරපු නිසා අපි දැන් ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න ඕනෙ.”
“හරි, මං පොරොන්දු වෙන්නම්.”
තවත් මිනිත්තු කිහිපයකට පසුව නිම්සරා එතැනින් ඉවත්ව ගියේ ආකාශ්ගේ බලවත් පෙරැත්ත නිසාය. ඇය ඇවිද යන අයුරු ඔහු අරමුණකින් තොරව බලා සිටියේය. ඔහුගේ සිතෙහි යම් ආකාරයක බියක් හටගෙන තිබුණි. දෙව්ගල ගමනින් පසුව මෙතුවක් කල් සිදුවූ පැහැදිලි කළ නොහැකි අද්භූතජනක දේවල් සිදුවූයේ ඔහු තුලය. ඒ සියල්ල ඔහුට පාලනය කළ හැකි විය. නමුත් දැන් තමාට බාහිරින් අස්වාභාවික දේවල් සිදුවෙමින් පවතින බව ඔහුට දැනුණි.
නිම්සරාගේ හැසිරීම කිසිසේත්ම ස්වභාවික නොවිය. දැන් මොහොතකට පෙර තමාව හමුවීමට පැමිණියේ සැබෑම නිම්සරා දැයි ඔහුගේ සිත තුල සැකයක් ඇති විය.
“ඉතින්… දැන් කාවද ඔයා තෝර ගන්නෙ? අක්කද නංගිද? මං දැක්ක විදියට නම් ඔයා නංගිට කැමතියි වගේ.”
පිටුපසින් නැගුනු හඩ හේතුවෙන් කල්පනා ලොවක අතරමංව සිටි ආකාශ් පියවි ලෝකයට පැමිණියේය. පිටුපස හැරී බැලු ඔහු දුටුවේ ඉමල්කා සිනාසෙමින් තමා දෙස බලා සිටින ආකාරයයි.
“ආ… ඔයා කොහෙද හැංගිල හිටියෙ?” ආකාශ් ඇසුවේ මැය තමා සහ නිම්සරා අතර සිදුවූ සියල්ල බලා සිටියේ යැයි සැකයෙනි.
“මං අතන බංකුවෙ වාඩි වෙලා හිටියෙ. බයවෙන්න එපා. මං දැක්ක දේවල් කාටවත් කියන්නෙ නෑ. නිම්සරා ඔයාව කිස් කරපු විදියට නම් මට හිතෙන්නෙ එයා ඔයාට පිස්සු වැටිලද කොහෙද ඉන්නෙ.”
ඉමල්කාගේ වදන් ඇසූ ආකාශ්ගේ සිත තුල ඇති වූයේ අපහසුවකි. එසේ නම් මැය සිදුවූ සියල්ල බලා සිට ඇත. නමුත් සිදු වූ දෙය සිදු වී හමාරය. දැන් ඒ වෙනුවෙන් කිරීමට දෙයක් නැත. හැකි ඉක්මණින් මෙතැනින් ඉවත්ව ගොස් ඉදිරියට කළ යුතු දේ පිළිබදව කල්පනා කළ යුතු යැයි ඔහුට සිතුණි.
“මං එහෙනම් යන්නම් ඉමල්කා.”
“චුට්ටක් ඉන්න. මට ඔයාට කියල කරගන්න දෙයක් තියෙනව.”
“මොකද්ද?”
සිය හඩ අවදි කිරීමට පෙර ඉමල්කා තත්පර කිහිපයක් නිහඩව ආකාශ්ගේ දෑස දෙස බලාගෙන සිටියාය.
“මං ඕපන් කතා කරන්න කැමති කෙනෙක්. ඒ හින්ද මං කෙලින්ම කියන්නම්. මට ඔයා ගැන ලොකු සෙක්ස් ෆීලින් එකක් තියෙනව. මුලින්ම ඔයාව මීටින් එකේදි දැක්ක වෙලාවෙ තමයි ඒක පටන් ගත්තෙ. ඊට පස්සෙ අපි අර ඩොක්ටර්ගෙ ලෙක්චර් එකටත් වැඩ කළානෙ. ඒ හින්දත් මේක ටිකක් වැඩි වෙන්න ඇති. දැන් නිම්සරා ඔයාව කිස් කරනව බලන් හිටපු හින්දද කොහොද මාව හොදටම ඇවිස්සුනා. ඉතින්… මොකද කියන්නෙ? ඔයාට දැන් හදිසි වැඩක් නැත්නම් මං දන්න හොද තැනක් තියෙනව. මගේ යාළුවෙක් රෙන්ට් එකට ගත්ත ගෙයක්. අපිට එතනට යන්න පුළුවන්. ඔයාට දැන් බැරි නම් ඒත් කමක් නෑ. ඔයාට පුළුවන් වෙලාවක් කියන්න. අපිට කැමති වෙලාවක එතනට යන්න පුළුවන්.”
එවර නම් ආකාශ්ගේ සිතේ ඇති වී තිබූ බිය දෙගුණ තෙගුණ විය. තේරුම්ගත නොහැකි අස්වාභාවික යමක් සිදුවන බව ඔහුට දැන් හොදටම පැහැදිලිය. ඒ නොපෙනෙන බලවේගය විසින් තමාව කාන්තා ඇසුරකට පොළඹවන බව ඔහු වටහා ගත්තේය. නමුත් එයට හේතුවක් ඔහුට සිතා ගැනීමට නොහැකි විය.
“මට තේරෙන්නෙ නෑ ඉමල්කා ඇයි ඔයා ඔහොම දෙයක් මගෙන් අහන්නෙ කියල. ඔයා හොදටම දන්නව මට ලෝචනා එක්ක එෆෙයාර් එකක් තියෙනව කියල. දැන් කොහෙවත් යන නිම්සරාගෙ ප්‍රශ්නෙකුත් කඩන් පාත් වුණා. ඒ අස්සෙ ඔයා…”
“අයියෝ ළමයො. මං මේ ඔයත් එක්ක එෆෙයාර් එකක් පටන් ගන්න ඇහුව නෙමෙයිනෙ. මං කතා කළේ සෙක්ස් ගැන. ඒක සාමාන්‍යය මිනිස් අවශ්‍යතාවයක්. නිම්සරා හරි ලෝචනා හරි නැත්නම් වෙන කෙනෙක් එක්ක හරි ඔයා කැමති විදියට එෆෙයාර් තියාගන්න. මං ඒවට ඇගිලි ගහන්න එන්නෙ නෑ. මට ඔයාගෙන් ඕනෙ සෙක්ස් විතරයි. අනික මං මෙඩිකල් එකේ නිසා මට මේ ගැන නොලේජ් එකක් තියෙනව. අපි දෙන්නගෙන් කාටවත් මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.”
ආකාශ් නිමල්කා දෙස ස්වල්ප මොහොතක් බලා සිටියේය. විශ්ව විද්‍යාලය තුල ඇය ප්‍රචලිත වී ඇත්තේ සරාගීම සිරුරක් ඇති තරුණියක් ලෙසය. වෙනත් තරුණයන් ඇයට පොරකද්දි ඇය විසින්ම තමා වෙතට පැමිණ ඇත. මෙය තරුණයෙකු ලෙස තමා සතුටු විය යුතු තත්වයකි. එසේම ඇයගේ සරාගී සිරුරට ආකාශ්ගේ පුරුෂ හැගීම්ද උද්දීපනය වෙන්නට විය. නමුත් ඒ සියල්ලට ඉහළින් මනා සිහියකින් පෝෂණය වූ ඔහුගේ අවධානය රැදී තිබුණි. දෙව්ගල ගමනින් පසුව ඔහු තවදුරටත් සාමන්‍ය මිනිසෙකු නොවිය. තමාට කළ හැකි දේ අසාමන්‍යය නම් මුහුණ දීමට සිදුවිය හැකි සිදුවීම්ද සාමාන්‍යය විය නොහැක. එම නිසා සිතෙහි ඇති වූ කාමුක හැගීම් යටපත් කරමින් ඔහුගේ තීක්ෂණ අවධානය නිරායාසයෙන්ම ක්‍රියාත්මක වූයේ අනතුරක් සේ පෙනෙන මේ සිද්ධියෙන් මිදීමටය.
“හරි, මට තේරෙනවා. එහෙනම් අපි අනිද්දට සෙට් වෙමුද? අද මං හාෆ් ඩේ නිසා දැන් වැඩට යන්න ඕනෙ. අනික මං දැන් ඕවඩෝස් වෙලා ඉන්නෙ. ඔයා ඉතින් දැක්කනෙ වෙච්ච දේ. හෙට නම් කොහොමටවත් නිවාඩු දාන්න විදියක් නෑ. අනිද්ද නම් පුළුවන්.” ආකාශ් පැවසුවේ මේ මොහොතේ මෙතැනින් ගැලවී පලා යාමේ අරමුණෙනි.
ඉමල්කා ස්වල්ප මොහොතක් ආකාශ්ගේ දෑස දෙස බලා සිටියේ ඔහු පැවසූ දෙය සත්‍යයක් දැයි විනිශ්චය කරන්නට මෙනි.
“ඔයා කියපු විදිය ගැන නම් මට ෂුවර් එකක් නෑ. ඒත් ඉතින් දැන් ඔයා වැඩට යන්න ඕනෙ කියන නිසා යන්න දෙන්නම්. එහෙනම් මං අනිද්ද බලන් ඉන්නවා. නෑවිත් නම් ඉන්න එපා. එහෙම කළොත් මං මෙන්න මේ වීඩියෝ එක පබ්ලික් කරනවා. මං දැනටමත් මේක මගේ ගූගල් එකවුන්ට් එකට අප්ලෝඩ් කරා. බයවෙන්න එපා. ඒක ප්‍රයිවට් තියෙන්නෙ. දැනට මට විතරයි බලන්න පුළුවන්.”
එසේ පැවසූ ඇය තම ජංගම දුරකතනය ගෙන එහි තිරය ආකාශ් දෙසට හැරෙව්වාය. එහි දිස් වූ රූපරාමු පෙළ දුටු ආකාශ්ගේ දෙලොව රත් විය. නිම්සරා තමාගේ අතින් අල්ලාගෙන කතා කරන අයුරු සහ තමාව සිපගන්නා අයුරු යන සියල්ල මැය තම ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇත.
* * *
පොලිස් නේවාසිකාගාරයේ තම කුටියට ගිය ආකාශ් එහි දොර වසා ගත්තේ ගිනිගත් හිසකින් යුතුවය. ඉමල්කාගේ ජීවිතය අවසන් කර දැමීමට තරම් කේන්තියක් ආකාශ්ගේ සිත තුල ඇති විය. නමුත් ඔහු මිනීමරුවෙකු නොවිය.
ජංගම දුරකතනය දෙස බැලූ ඔහු දුටුවේ ලෝචනාගෙන් ඇමතුම් පහක් සහ කෙටි පණිවිඩ හතරක් ලැබී ඇති බවයි. නමුත් ඇයට පෙරළා ඇමතුමක් ගැනීමට තරම් මානසිකත්වයක් ඔහු තුල නොවිය. එම නිසා ඇය එවූ කෙටි පණිවිඩ බැලීම සදහා සූදානම් වන විටම ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් පැමිණියේය. එය ඔහු නොදන්නා අංකයකි.
“හලෝ.”
“හලෝ ආකාශ්. ඉතින් කොහොමද ඔයාට?” අනිත් පසින් ඇසුනේ තරුණ පිරිමි කටහඩකි.
“අවුලක් නෑ. හොදින් ඉන්නවා. මට ඔයාව අදුරගන්න බෑනෙ. කවුද ඔයා?”
“ආ… ඒක මං කියන්නම්. ඊට කලින් මට මෙන්න මේක ඔයාට කියන්න ඕනෙ. අද වෙච්ච දේවල් වලට හිත කලබල කරගන්න එපා. ඉමල්කා ළග තියෙන වීඩියෝ එක ගැන අපි බලාගන්නම්. මං කියන විදියට වැඩ කළොත් ඔයාට ගෑණුන්ගෙන් තියෙන ප්‍රශ්න ඔක්කොම දවස් තුනක් ඇතුලත විසදගන්න පුළුවන් වෙයි.”
සයනයෙහි හාන්සි වී සිටි ආකාශ් ඉද්ද ගැසුවාක් මෙන් එක්වරම කෙලින් විය. අද දවස ඔහුට මානසික වශයෙන් ඉතාමත්ම පීඩාකාරී සහ වෙහෙසකර දවසක් විය. එම නිසා තවදුරටත් අස්වාභාවික සිදුවීම් දරා ගැනීම ඔහුට අපහසු විය.
“මොකද්ද? මොකද්ද ඔයා කිව්වෙ? මට කරුණාකරල කියනවද කවුද ඔය කතා කරන්නෙ කියල.”
“හ්ම්… මං ඔයාව කලබල කරනව නේද? හරි මිත්‍රයා. මුලින්ම පොඩ්ඩක් සන්සුන් වෙන්නකො. මං කවුද කියල ඔයාට මං කියන්න තමයි හැදුවෙ. ඒත් ඔයා ඉමල්කා ළග තියෙන වීඩියෝ එක ගැන හිතේ අවුලෙන්නෙ ඉන්නෙ. ඒකයි මං මුලින් ඒ ගැන කිව්වෙ හිත කලබල කරගන්න එපා මං බලාගන්නම් කියල.”
ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක නිහැඩියාවකි. කිවයුත්තක් සිතාගත නොහැකිව ආකාශ් නිහඩව සිටි අතර නාදුනන අමුත්තාම නැවතත් සිය හඩ අවදි කළේය.
“හරි, ඒවයින් දැන් වැඩක් නෑ. මං කවුද කියල දැන් කියන්නම්. මගේ නම ගිහාන්.”
“ගිහාන්? එහෙම කෙනෙක් මං දන්නෙ නෑනෙ.”
“ඔව්. අපි මීට කලින් මුණගැහිල නෑ. ඒකයි ඔයාට මතක නැත්තෙ. හැබැයි මගේ වාසගමයි විස්තරෙයි කිව්වොත් නම් ඔයාට මතක් වෙයි.”
නැවතත් තත්පර කිහිපයක සුළු නිහැඩියාවක් ඇති විය.
“මිත්‍රයා. මගේ වාසගම එක්ක නම ගිහාන් සෝමරත්න. මීට මාස ගාණකට කලින් ඔයා මං ගැන මුලින්ම දැනගත්තෙ දෙව්ගල පොලීසියෙ තියෙන පැමිණිලි පොතෙන්.”