Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 2
ISBN 978-955-44323-2-1
සිය කුටියෙහි තිබූ අල්මාරියේ තිබූ කළු පැහැති අත් දිග කබායක් වැනි ඝනැති රෙද්දකින් මැසූ කමිසයක් සහ අදුරු පැහැති කලිසමක් පිටතට ගත් ආකාශ් ඒවා ඉක්මණින් ඇද ගත්තේය. මීළගට ඔහු පැළද ගත්තේ කළු පැහැති හිස් ආවරණයකි. කදුකරයේ වෙසෙන මිනිසුන් සීතලෙන් සහ පින්නෙන් ආරක්ෂා වීමට පළදින ආකාරයේ හිස් ආවරණයක් වූ එයින් ඔහුගේ සම්පූර්ණ හිසත් සවන් යුගලයත් වැසී ගියේය. අවසානයේදී ඔහු අතට ගත්තේ යතුරු පැදිකරුවන් දූවිල්ලෙන් හා විෂ දුමෙන් ආරක්ෂා වීමට පළදින මුහුණු ආවරණයකි. එයද පැළදගත් හෙතෙම කැඩපත ඉදිරියට ගොස් තමාගේ රූපය දෙස බලන්නට විය. පිටතට නිරාවරණය වූයේ ඔහුගේ දීප්තිමත් නෙත් යුගල පමණි.
අහම්බෙන් හෝ කිසිවෙකු තමාව දුටුවහොත් හදුනාගත නොහැකි බව සැක හැර දැනගත් හෙතෙම හිස් වැස්මත්, මුහුණු ආවරණයත් සාක්කුවක දමාගෙන පිටතට යන බව නේවාසිකාගාරය භාර නිලධාරියාට පවසා වීදියට බැස්සේය.
තවමත් රාත්‍රී අට පසු වී මිනිත්තු කිහිපයක් පමණක් ගත වී ඇති හෙයින් ඔහු ගමන් කළ ප්‍රධාන මාර්ගයේ සෙනග බොහෝ විය. අතිශයින්ම තියුණු වූ ශ්‍රවණ ශක්තිය හේතුවෙන් නිතරම ඔහුගේ දෙසවනට වද දෙන ඝෝෂාකාරී ශබ්දයෙන් මිදීමට කන් දෙකෙහි කුඩා ආවරණ දෙකක් ගසාගෙන සිටීම සැනසිල්ලට හේතුවක් විය.
හෝරාවක් පමණ ක්‍රමයෙන් ඉදිරියට ඇවිද ගිය ඔහු මාර්ගය අයිනෙහි වූ එළිමහන් උයනක් සේ පිහිටා තිබූ ආපන ශාලාවක කෙළවරෙහිම වූ බංකුවක ඉද ගත්තේය. සිතෙහි සැලැස්මක් තිබුණද එය ක්‍රියාත්මක කිරීමට තවමත් සුදුසු වේලාව එළඹී නැත. වටපිට බලමින් කාලය ගත කළ ඔහුට දක්නට ලැබුණේ තමා අවට වූ පුටු කිහිපයකම සිටි මිනිසුන් කතා බහේ යෙදෙමින් ආහාර ගන්නා අයුරුය. තරමක් සුඛෝපභෝගී ආපන ශාලාවක් වූ මෙහි පෙනෙන අන්දමට සිටින්නේ ධනවත් පුද්ගලයන් විය යුතුය. කිරීමට දෙයක් නොමැති හෙයින් හෙතෙම යාබද අසුන් වල සිටි තරුණියන් දෙදෙනෙකුගේ කතා බහට සවන් දීමට අදහස් කළේ නවීන විලාසිතා වලින් සැරසුණු ඔවුන්ගේ ආකර්ශණීය පෙනුමත්, විටින් විට ඔවුන් දෙදෙනා තමා දෙස බලමින් කුමක් හෝ මුමුණමින් සිනාසෙන ආකාරයත් දුටු නිසාය. කන් දෙකෙහි වූ ආවරණ දෙක ගලවා දැමූ ආකාශ් සිය ශ්‍රවණ ඉන්ද්‍රියන් තරුණියන් දෙදෙනාගේ හඩවල් වෙත යොමු කළේය.
“මොකෝ දන්නෑ ඔතනට වෙලා තනියම කරන්නෙ?”
“අනේ මන්ද. හැබැයි දැන් ටිකකට කලින් එයා මාත් එක්ක හිනා වුණා.”
“හිනා වුණා. මං දැක්කෙ නෑනේ.”
“ඔයා ඒ වෙලාවෙ පාර දිහා බලාගෙන හිටියෙ. එයා මං දිහා බලපු වෙලාවෙ මං ලාවට පොඩි හිනාවක් දැම්ම. එතකොට එයත් මාත් එක්ක හිනා වුණා.”
ඔවුන් කතා කරන්නෙ තමා පිළිබදව බව දැනගත් ආකාශ් මුවින් නැගෙන සිනහව තද කරගෙන වඩාත් හොදින් ඇහුම්කන් දෙන්නට විය.
“ඉතින් ඇයි මට ඒ වෙලාවේ කිව්වෙ නැත්තෙ? මොකෝ කියන්නෙ? ගිහින් කතා කරල බලමුද?”
“පිස්සුද අනේ, කවුද කියලවත් දන්නැතුව. අනික මොනව කතා කරන්නද?”
“දැනගන්න ඕනෙද කතා කරන්න. ඌ ටිකක් හැන්ඩියා නේද? ෂිහ්… අපි වැඩ කරන තැන මේ වගේ කොල්ලො නෑනෙ. තනි කළු අත්දිගට ඇදගෙන ඉන්නෙ, පාටියකට යන ගමන්ද කොහෙද? මේ… යං යං, ටිකක් කතා කරල බලමු.”
“මේ…, පිස්සු නැතුව ඉන්න අනේ. මට බෑ.”
“ඔයාට බැරි නම් ඉන්න. මං ගිහිල්ල බොරුවට පාරක් ගැන හරි අහල බලනවා.”
තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙකු හුන් තැනින් නැගිට තමා දෙසට ඇවිද එන බව දැනගත් ආකාශ් මැයට විහිළුවක් කිරීමට සිතාගත්තේය. ඇය තමා සමීපයටම පැමිණෙන තෙක් හෙතෙම ඉවසීමෙන් යුතුව ඉවත බලාගෙන සිටියේය.
“මේ එක්ස්කියුස් මී, මට පොඩ්ඩක්…”
“මං මේ පැත්තෙ පාරවල් ගැන නම් වැඩිය දන්නෙ නෑ.” ක්ෂණිකව ඇය දෙසට මුහුණ හැරවූ ආකාශ් එක්වරම පැවසුවේ බැරෑරුම් පෙනුමක් ආරූඪ කර ගනිමිනි.
සිටි තැනම ගල් ගැසුණු ඇය මොහොතකට ගොළු වූවාය.
“මොකද්ද කිව්වෙ? මට හරියටම ඇහුණෙ නෑ.” ඇය සිය මුවගට සිනහවක් නගා ගැනීමට උත්සහ කරමින් ඇසුවාය.
“ඔයා මගෙන් පාරක් ගැන අහන්නනෙ මෙතනට ආවෙ. මේ පැත්තෙ පාරවල් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ. අනික මං මේ කළු පාටට අත්දිගට ඇදන් ඉන්නෙ පාටියකට යන්නෙ නෙමෙයි. වෙන වැඩකට යන්න.”
තරුණිය විස්මයෙන් අයාගත් දෙනෙතින් යුතුව තත්පර කිහිපයක් ගල් ගැසී ඔහු දෙස බලා සිටියාය. මිළග මොහොතේ ඉක්මණින් ආපසු හැරුණු ඇය වේගයෙන් සිය මිතුරිය වෙත ඇවිද යන්නට විය.
ඇයගේ ගමන් විලාශය දුටු ආකාශ්ට සිනහව නවත්වා ගත නොහැකි විය. තරමක් දුරින් සිට තමා දෙසට වේගයෙන් ඇවිද එන තම යෙහෙළිය දෙස බලමින් සිටි අනිත් තරුණියට අත වනමින් ආකාශ් එතැනින් ඉවත් වූයේ තමාගේ පරීක්ෂණයට සුදුසු වෙලාව ක්‍රමයෙන් ළගා වෙමින් පැවතීම හේතුවෙනි.
* * *
ආකාශ්ගේ සිතෙහි යම් ආකාරයක සැලැස්මක් විය. එහි පළමුවැනි පියවර වූයේ තමාව හොදින් පරික්ෂා කිරීමයි. එනම් තමා සතු හැකියාවන් සහ එහි සීමාවන් හොදින් දැන හදුනාගැනීමයි. දෙවැන්න නම් ස්වර්ණාභරණ සාප්පුව කැඩූ සොරාව සොයා ගැනීම විය. නමුත් එය කළ හැකි දෙයක්ද යන අවිනිශ්චිත බව ඔහු තුළ විය. රූප රාමු වලට අනුව නම් ඔහු තමාටත් වඩා විස්මිත හැකියාවන්ගෙන් යුතු පුද්ගලයෙකු විය යුතුය. පියවි ඇසට අසු නොවන එම සොරාගේ වේගය ආකාශ් තුළ ඇති කළේ තරමක බියකි. විශේෂ උපක්‍රමයක් නොමැතිව නම් කිසිදිනක ඔහුව අල්ලා ගැනීමට නොහැකි වනු ඇත.
එසේම රූප රාමු පෙළ දුටු මොහොතේ පටන් ආකාශ්ගේ සිත තුළද යම් අදහසක් විය. එනම් තමාටද එවැනි වේගයකින් චලනය විය හැකි බවයි. මෙය පරීක්ෂා කිරීමට සුදුසු වේලාවක් සහ ස්ථානයක් පිළිබදව සිතමින් සිටි ඔහුට සෙනග නොමැති රාත්‍රී මුහුදු වෙරළ ඒ සදහා වඩාත් සුදුසු බව හැගී ගියේය.
වේලාව රාත්‍රී දහයට ආසන්න වී තිබූ හෙයින් ගාලු මුවදොරෙහි හැර වෙරළෙහි වෙනත් ස්ථානයක සෙනග ගැවසුනේ නම් ඒ ඉතා අල්ප වශයෙන් විය යුතුය.
සාක්කුවෙහි රුවා තිබූ රෙදි හිස් වැස්ම පැළදගත් ඔහු රේල්පාර පසුකර කඩොලාන ගස් අතරින් වැල්ලවත්ත මුහුදු වෙරළට පැමිණියේය.
වටපිට බැලූ ඔහුට මාර්ගයේ ඉදහිට ගමන් කළ වාහන හැර වෙරළෙහි නම් පෙනෙන තෙක් මානයක මිනිසෙකු දක්නට නොලැබුණි. මුහුණු ආවරණයද පැළද ගත් ඔහු දීර්ඝ හුස්මක් ගෙන තම මනස සන්සුන් කර ගත්තේය. ඉන්පසුව ඔහු තමා සතු සුවිශේෂ දෘශ්‍ය හැකියාව වෙරළ ඔස්සේ ඈතින් ඈතට මෙහෙයවන්නට විය. කිලෝමීටර කිහිපයක් ඈතින් වූ බම්බලපිටිය සහ කොල්ලුපිටිය ආසන්න වෙරළ තීරයන්හි තවමත් ස්වල්ප වශයෙන් සෙනග ගැවසෙනු ඔහුට දැක ගත හැකි විය. තවද ඊටත් එහායින් වූ ගාලු මුවදොර වෙරළෙහි සැලකිය යුතු සෙනගක් ගැවසෙමින් සිටියහ. එම නිසා ඒ ප්‍රදේශයට යාම අත්හැර දැමූ ඔහු ඊට විරුද්ධ පැත්තෙහි වූ රත්මලාන වෙරළ තීරය පරික්ෂා කරන්නට විය. නමුත් කිලෝමිටර කිහිපයක් ඈතින් වෙරළ හරස්කර ඉදිකර තිබූ මවුන්ට් ලැව්නියා ලැගුම් හල තමන්ට බාධාවක් වන බව ඔහුට පෙනුණි. අද දින කෙසේ හෝ මෙම අත්හදා බැලීම කිරීමට සිතාගෙන සිටි හෙයින් ලැගුම් හල අසලින් නතර වීමට ඔහු සිතා ගත්තේය.
වටපිටාවේ කිසිවෙකුත් නැත. යාමට ඇති මාර්ගයද ඉතා පැහැදිලිය. නැවත වාරයක් දීර්ඝ හුස්මක් ගත් ඔහු ධාවනය ආරම්භ කළේය. මීටර සියයකට ආසන්න දුරක් හෙතෙම දිව ගියේය. දෙපතුල් සිනිදු වැල්ලෙහි එරීම හේතුවෙන් වේගය අඩාල වන නිසා ඔහු දිවීම නතර කළේය.
පසු පස හැරී බැලූ ඔහු තමා ධාවනය ඇරඹූ ස්ථානයත්, දැන් සිටින ස්ථානයත් අතර දුර සිතින් විමසා බැලුවේය. එය ඉතා අඩු දුරකි. එසේ නම් මෙය සාමාන්‍යය ආකාරයේ දිවීමකි. එහි කිසිදු විශේෂ වේගයක් නොමැත. තමා සතුව වේගයෙන් චලනය වීමේ හැකියාව නැතැයි ඔහු තුළ සිතිවිල්ලක් ඇති විය. නමුත් ඒ මොහොතකට පමණි. මීළග ක්ෂණයේදී ආකාශ්ට එය කල්පනා විය.
වෙනදා මෙම දුර ප්‍රමාණය මෙවැනි වේගයකින් දිවීමේ යෙදුණේ නම් දැනෙන අධික විඩාව, හතිලෑමට හෝ දහඩිය දැමීමට සිදු වූයේ කුමක්ද? මීට තත්පර කිහිපයකට පෙර තමා දිවීමෙහි නිරත වූ බවක් වත් ඔහුට දැනුණේ නැත. එසේ නම් ධාවන වේගය තවත් වැඩි කළ හැකි විය යුතුය. සැබවින්ම ඔහු දිව ගියේ සාමාන්‍යය මනුෂ්‍යයෙකු ලෙස ඔහුගේ සිරුරට ධාවනයේ යෙදිය හැකි උපරිම වේගයෙනි. තමා එය සිතේ පුරුද්දට අනුව කළ දෙයක් බව ඔහුට හැගුණි. ඊට වඩා වැඩි වේගයක් ගැනීමට මනසට මෙන්ම සිරුරටද හැකි වූවත් සිතේ පුරුද්ද එයට බාධාවක් බව ඔහුට අවබෝධ විය.
කරුණු කාරණා එසේ නම් තමා නැවත වාරයක් උත්සහ කළ යුතුය. එසේම මෙවර එය වඩාත් සැලකිල්ලෙන් හා සිහියෙන් කළ යුතුය. සිය අත් ඔරලෝසුවේ කාල ගණනය කිරීමකට සූදානම් කළ ඔහු දීර්ඝ හුස්මක් ගෙන නැවත වාරයක් දිවීම ඇරඹුවේය.
මීටර හතළිහක් පමණ දිව ගිය විට ඔහු සාමාන්‍යය මිනිසෙකු ලෙස දිවිය හැකි උපරිම වේගයට පැමිණියේය. සිරුරට කිසිදු අපහසුවක් නොදැනුණු හෙයින් හෙතෙම ඕනෑකමින් සිය ධාවන වේගය වැඩි කළේය. ආකාශ්ගේ සිතීම නිවැරදි විය. සැබවින්ම ඔහුට තිබුණේ සිතේ පුරුද්ද නමැති බාධකය පමණි. තමා දැන් එම බාධකයද කඩා බිද දැමූ බව ඔහුට අවබෝධ වූයේ වෙරළට සමාන්තරව තිබූ පැයට කිලෝමීටර අසූවක පමණ වේගයකින් තමා ගමන් කරන දිශාවටම ධාවනයෙහි යෙදෙන වාහනයක්ද ඔහු ඉක්මවා ගිය හෙයිනි.
ආකාශ් තවදුරටත් සිය වේගය වැඩි කළේය. දෙපසෙහි වූ දර්ශන ඉතා වේගයෙන් පෙනී නොපෙනී ගියේය. දර්ශනීය මවුන්ට් ලැව්නියා ලැගුම් හල ආසන්නයෙහි වූ වෙරළේ තිබූ කළු ගල් පර්වත ආසන්නයේදී ඔහු සිය වේගය අඩාල කළේය. නමුත් සිතූ තරම් ඉක්මණින් වේගය අඩාල නොවූ හෙයින් ඔහු කළු ගල් තලාවක් මත අත් තබා ඒ ක්ෂණයෙහිම වෙරළ පැත්තට පැන්නේය. සමබරතාවය ගිලිහී ගිය හෙයින් ඔහුව සිනිදු මුහුදු වැල්ලෙහි කිහිපවරක් පෙරලී ගියේය.
ඇදුමෙහි වූ වැලි ගසමින් නැගිට ගත් ඔහු අත් ඔරලෝසුවෙහි වූ කාල ගණනය දෙස බැලුවේය. වැල්ලවත්තෙහි සිට ගල්කිස්සට පැමිණිමට ඔහුට ගත වී ඇත්තේ තත්පර අනූවක් වැනි කාලයක් පමණි.
“වෝව්…, නියමයිනේ.” මදහසක් සමගම උද්යෝගී හඩකින් ඔහුට කියැවුණි.
මෙය තවත් වතාවක් කළ යුතු යැයි ඔහුට හැගුණු හෙයින් නැවත වාරයක් වෙරළ තීරය ඔස්සේ දෙහිවල ප්‍රදේශයට දිවීමට පටන් ගත්තේය. මෙලෙස ඔහු දෙහිවල සිට ගල්කිස්සටත්, ගල්කිස්සේ සිට දෙහිවලටත් කිහිපවාරයක්ම දිවීමේ යෙදෙමින් වේගය සහ නතර වීම පුහුණු වන්නට විය. මේ අයුරින් දෙහිවල සහ ගල්කිස්ස අතර දුර පියවීමේ කාලය තත්පර දහයකට පමණ අඩු කර ගැනීමට හෙතෙම සමත් විය. වේගය තව දුරටත් වැඩි කළ හැකි බව දැනුණද ගමන් පථය සහ නවතින ස්ථානය නිසි අයුරින් පාලනය කිරීමට ඔහු තවමත් අපොහොසත්ය. එසේම වේගය ක්‍රමයෙන් වැඩි වීම නිසා වායුගෝලය මත ඔහු ඇද සිටි ඇදුම් තදින් ගැටීම හේතුවෙන් ඒවා රත් වී ගිනි ඇවිලිමේ අවධානමක්ද ඇත. ඇදුම දැනටමත් රත් වී ඇති බව ඔහුට දැනුණි. නමුත් ඒ බව නොතැකූ හෙතෙම වඩාත් විවෘත සහ පාළු රත්මලාන සහ මොරටුව වෙරළට යා යුතු යැයි සිතුවේය.
මවුන්ට් ලැව්නියා ලැගුම් හල අසලටම ගොස් එහි වූ අඩි පනහකටත් වඩා උස ගල් වලින් තැනූ බැම්ම දෙස බලාගෙන ඔහු කල්පනා කරන්නට වූයේ එහා පැත්තෙහි වූ රත්මලාන වෙරළට යන ක්‍රමයක් පිළිබදවය. මහාමාර්ගය හෝ දුම්රිය මාර්ගය ඔස්සේ ගොස් ඉතා පහසුවෙන් එහි යා හැකි වූවද ඒ මොහොතෙහි ආකාශ්ගේ සිතෙහි අලුත් අදහසක් පහළ වෙමින් තිබුණි.
ඒ දීර්ඝ පිම්මක් පිළිබදවයි. ඉතා වේගයෙන් ධාවනයෙහි යෙදිය හැකි තමාට එම වේගය ආධාරයෙන් දීර්ඝ පිනුම් පැනිය හැකි බව ඔහුට සහතිකය. නමුත් කොතරම් උසක් පැනිය හැකි දැයි ඔහුට අනුමාන කළ නොහැකි විය. තමාට බිත්තිය දිගේ සිරස් අතට ඉහළට දිවිය හැකි නම් පිම්මට වඩාත් හොද උසක් ලබා ගත හැකි වනු ඇත. නමුත් එහිදී ගැටලු දෙකක් පැන නැගෙනු ඇත. පළමුවැන්න නම් තමාගේ පිම්ම සිදුවන්නේ සිරස් අතට හරි කෙළින් ඉහළට මිස ප්රක්ෂිප්තයක් ආකාරයට නොවේ. දෙවැන්න ඒ අයුරින් බිත්ති දිගේ සිරස් අතට තමාට දිවිය හැකි දැයි ඔහු දැන නොසිටීමයි.
පළමු දිනයේම සියලු දේ අත්හදා බැලීම නොකළ යුතු බව තර්කානුකූලව කල්පනා කළ ඔහු ලැගුම් හල මගහැර රේල්පාර දිගේ ඇවිද ගොස් අනිත් පැත්තෙහි වූ වෙරළට පැමිණියේය.
ධාවනය ඇරඹීමට පෙර ඔහු නැවතත් සුපුරුදු පරිදි සිය ශ්‍රවණ සහ දෘශ්‍ය ඉන්ඳ්‍රියන් ගමන් පථය වෙත යොමු කළේය. පානදුර පාලම තෙක් පරික්ෂා කළ ඔහුට තැන තැන ගැවසෙන බීමත් පුද්ගලයන් කිහිපදෙනෙකු සහ මුහුදට යාම පිණිස සිය ඔරු දියත් කිරීමට උත්සහ කරන ධීවරයන් පිරිසක් දක්නට ලැබුණි.
ඔවුන් ඉවත්වන තුරු බලා සිටියහොත් තමාට මෙම අත්හදා බැලීම කළ නොහැකි වනු ඇත. එසේම දෙනෙත පමණක් පිටතට පෙනෙන පරිදි මුහුණ ආවරණය කරගෙන සිටීමත් තමාගේ අධික වේගයත් හේතුවෙන් කිසිවෙකු තමන්ව දුටුවද හදුනාගත හැකිවේ යැයි සිතීම උගහටය. එම නිසා තවදුරටත් ඒ පිළිබදව සිතීමට නොවෙහෙසුණු හෙතෙම දිවීම ඇරඹුවේය.
තත්පර කිහිපයක් ඇතුලත අධික වේගයකට ඔහු පැමිණියේය. විටෙක පයෙහි තදින් ගැටෙන වැල්ල සහ කරදිය දෙපසට විහිදී ගියේ දූවිලි වළාවක් මෙනි. සුවිශේෂි දෘශ්‍ය හැකියාව හේතුවෙන් රාත්‍රී අන්ධකාරය ඉදිරි ගමන් පථය දැකීමට බාධාවක් නොවිය.
කිලෝමීටර කිහිපයක් ඈත තියාම මසුන් ඇල්ලීමට මුහුදට මා දැල් දමන ධීවරයන් කිහිපදෙනෙකු ඔහුට දක්නට ලැබුණි. මේ අයුරින් දිව ගියහොත් අධික වේගයෙන් දෙපසට විහිදෙන මුහුදු වැලි සහ කරදිය ඔවුන්ගේ සිරුරු වල ගැටෙනු ඇත. එපමණක් නොව ක්ෂණයක් තුළ වේගයෙන් චලනය වන භූතාත්මයක් දැක ඔවුන් බියට පත්වීමටද ඉඩ ඇත. එසේ වූවද ක්‍රමයෙන් තම වේගය වැඩි කිරීමට පුහුණු වන මෙම ධාවනය මෙතැනින් නතර කිරීමටද ඔහුට අවශ්‍යය නොවිය. විකල්පයක් ලෙස ඉතිරිව ඇත්තේ මීට මොහොතකට පෙර සිතට නැගුණු අදහස පමණි. තමාට කළ හැකි සහ කළ නොහැකි සීමාවන් පිළිබදව තවදුරටත් සිතීමට නොවෙහෙසුණු හෙතෙම ධීවරයන් සහ තමා අතර දුර පරතරය මීටර දෙසියයක් පමණ වූ විටම තරමක් තදින් අඩිය තබා ඉහළට පැන්නේය.