Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 21

ISBN 978-955-44323-2-1

“අහන්න. කමක් නෑ.”

 

“ඔයා කිව්වනෙ ඒලියන්සලගේ පරීක්ෂණයට කට්ටියක් තෝරගෙන තියෙනව කියල. ඒ කට්ටියගෙන් ඔයා දන්න දේවල් වෙන කවුද දන්නෙ? දයාන්, කසුන් වගේ තව කට්ටිය ඇතිනෙ. ඒ කවුරුවත් මේ විස්තර දන්නෙ නැද්ද?”

 

“නෑ. පරීක්ෂණයට දාල ඉන්න කට්ටියගෙන් මේ විස්තර දැනට දන්නෙ මං විතරයි. හැබැයි මටත් වඩා මේ සම්පූර්ණ සිද්ධියම විස්තර ඔක්කොමත් එක්ක දන්න කට්ටියකුත් ඉන්නවා.”

 

“ඒ කවුද?”

 

“ඍෂිවරු.”

 

ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක නිහැඩියාවකි. මේ සිද්ධිය තමාට ගෝචර දැනුමට සහ දැනුම් පද්ධතීන් වලට වඩා ඉතා සංකීර්ණ සහ පුළුල් බව ආකාශ්ට හැගුණි. මීලගට ඇසිය යුත්තේ කුමක් දැයි ආකාශ්ට සිතාගැනීමට නොහැකි විය. එම නිසා ගිහාන් විසින්ම නිහඩතාවය බිද දැමුවේය.

 

“සිද්ධිය හිතුවට වඩා සෑහෙන්න සංකීර්ණ වුණා නේද? දැන් මෙතනට ආපු නිසා මං තව විශේෂ දෙයක් කියන්නම්. මේ ලෝකෙ පුරාම මිනිස්සු බිලියට අටක් විතර හිටියට මේ පරීක්ෂණයට තෝරගත්ත අය ඔක්කොම වගේ ඉන්නෙ දකුණු ආසියාව පැත්තෙ. එතනිනුත් වැඩි හරියක් ලංකාවෙයි, ඉන්දියාවෙයි, නේපාලයෙයි, තව ඒ කිට්ටුව තියෙන රටවල් වලයි. හේතුව හිතාගන්න පුළුවන්ද?

 

ආකාශ් තම හිස දෙපසට වැනුවේ තමන්ට ඒ පිළිබදව අදහසක් නොමැති බව හගවමිනි.

 

“හේතුව පෙරදිග විද්‍යා චින්තනය. බුද්ධ ධර්මය විතරක්ම නෙමෙයි, අධ්‍යාත්මික පැත්තට වැඩිපුර බරක් දාල තියෙන දැනුම් පද්ධති ඔක්කොම වගේ තියෙන්නෙ දකුණු ආසියාව පැත්තෙ. මං කියන්නෙ වේදික දැනුම, එතකොට තව මෙහෙ තියෙන හෙළ දැනුම. ඔයාම පොඩ්ඩක් කල්පනා කරල බලන්න. එඩ්ගා කේසි ඇරුනහම බටහිර රටක බිහිවෙච්ච එක ඍෂිවරයෙක්වත් ඉන්නවද කියල. මැජික්කාරයොයි, බලයක් තියෙනව කියල හිතාගෙන ඉන්න මානසික ලෙඩ්ඩුයි, බිස්නස්කාරයොයි නම් ඕන තරම් ඉන්නවා. හැබැයි ඍෂිවරු නෑ. ඒකට හේතුව තමයි ඍෂිවරයෙක් බිහිවෙන්න ඕනකරන හේතු කාරණා…, හරියටම කිව්වොත් දැනුම් පද්ධතියක් ඒ රටවල් වල නෑ. එයාල හිතන්නෙ භෞතිකව දියුණු කරන්න පුළුවන් පැත්ත ගැන විතරයි. ඔය විදියට ගියාම වෙන්නෙ අන්තිමට එක තැනකදි තව ඉස්සරහට යන්න බැරුව හිරවෙනවා. ඊට පස්සෙ හැරිල බලනකොට අධ්‍යාත්මික පැත්තෙන් යන්න පුළුවන් පාරත් සම්පූර්ණයෙන්ම වගේ වැහිල. මේ ඒලියන්ස්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.”

 

“මට තේරුණේ නෑ. ඒලියන්ස්ලට කොහොමද එහෙම වුණේ?”

 

“මෙහෙමයි. ඒකත් ඉතින් සරලව කිව්වොත් පරිණාමයක් වගේ තමයි. අවුරුදු ලක්ෂ ගාණක් මොකක් හරි දෙයක් පාවිච්චි නොකර ඉන්නකොට මුළු ජීව කොට්ඨාශයෙන්ම ඒක ක්ෂය වෙලා හරි අතුරුදහන්වෙලා හරි යනවා. එයාල කළෙත් ආධ්‍යාත්මික පැත්ත ගැන හිතන්නෙ නැතුව භෞතික පැත්තෙන්ම දියුණුවෙන්න හැදුවා. එතකොට ආධ්‍යාත්මික පැත්තට එයාලගෙ තියෙන චින්තන රටාව ටික ටික නැති වුණා. මිනිස්සුන්ට මොළේ නියුරෝන තියෙනව වගේ මෙයාලගෙ මොළෙත් නියුරෝන වලට සමාන සැකැස්මක් තියෙනවා. ආධ්‍යාත්මික පැත්තට බර වෙච්ච මොළේ තියෙන නියුරෝන රටා ටිකත් ටික ටික ක්ෂය වුණා. ඉතින් එක තැනකට ගිහින් එයාල ආපහු ආධ්‍යාත්මික පැත්ත ගැන හොයල දියුණු කරන්න බැලුවට ඒක කරගන්න බෑ. මොකද පරිණාමයෙන් ඒ හැකියාව ක්ෂය වෙලා ගිහින්. ඒකයි එයාල මිනිස්සුන්ගෙ මනස උදව් කරගෙන මේ වැඩේ කරගන්න හදන්නෙ. මොකද මිනිස්සුන්ගෙ මනසෙ අධ්‍යාත්මික පැත්තට ඕන කරන චින්තන රටාවයි නියුරෝන සැකැස්මයි තියෙනවා. එතනිනුත් වැඩිපුර ඕක තියෙන්නෙ දකුණු ආසියාව පැත්තෙ ඉන්න මිනිස්සුන්ගෙ. මෙහේ මිනිස්සුත් එක්ක ගත්තහම බටහිර ඉන්න මිනිස්සුන්ගෙ ඒ හැකියාව සෑහෙන්න අඩුයි. ඒකයි මේ ඒලියන්ස්ල ලංකාව වගේ රටවල් වල ඉන්න මිනිස්සුන්ව ඕකට පාවිච්චි කරන්නෙ. ඔන්න ඕකයි එයාලගෙ පරීක්ෂණය. එක විදියකට මේක හරිම ගුප්ත පරීක්ෂණයක්.”

 

ආකාශ් ස්වල්ප මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය. ගිහාන් පැවසූ දෙය සැබෑවකි. මෙය සැබවින්ම අතිශයින්ම ගුප්ත පරීක්ෂණයකි.

 

“ඉතින් ඇයි එයල කෙලින්ම ඍෂිවරුන්ගෙ උදව් ගන්නෙ නැත්තෙ. සාමාන්‍යය මිනිස්සුන්ට වඩා ඍෂිවරුන්ගෙ මනසෙ කොහොමත් ඔය කියන දේවල් ටික ඇතිනෙ?”

 

පිළිතුරක් දීමට පෙර ගිහාන් මද සිනහවක් පෑවේය.

 

“මිත්‍රයා, ඍෂිවරුන්ට තියෙන හැකියා, එයාලගෙ මානසිකත්වය ගැන මට පේන්නෙ ඔයාට කිසිම අදහසක් නෑ වගේ. මටත් ලොකු අදහසක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනව. සාමාන්‍යයෙන් ගොඩක් ඍෂිවරුන්ගෙ පොදු ලක්ෂණයක් තමයි එයාල ලෝකෙ කෙරෙන වැඩ වලින් අයින්වෙලා තමන් ගැන…, හරියටම කිව්වොත් තමන්ගෙ මනස ගැන පරීක්ෂණයක් කරන එක. ඒ හින්දා අපිට හිතාගන්නවත් බැරි විදියෙ අධිමානසික හැකියාවන් එයාලට ලැබෙනව විතරක් නෙමෙයි මේ ජීවිතය, ලෝකය ගැන තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයත් සෑහෙන්න වැඩි වෙනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. ලෝකය කියන දේ සත්වයා තමන්ගෙ මනසින් හදාගන්න දෙයක්. බුදුන්වහන්සෙ දේශනා කළෙත් ඒකනෙ. ඉතින් කෙනෙක් තමාගෙ මනස, එහෙමත් නැත්නම් සිත ගැන පරීක්ෂණය කරනව කියන්නෙ මනසින් හදාගත්ත ලෝකය ගැන තියෙන අවබෝධය වැඩිවෙනව කියන එක. මොකද මම කියන මනසින් හදාගත්ත සත්වයාට කේන්ද්‍ර වෙලා තියෙන මේ ලෝකයත් මනසින්ම හදාගත්ත එකක් හින්දා. එයාලට ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා.”

 

“හැබැයි තව දෙයක්. දෙයක් තමන්ට ප්‍රත්‍යක්ෂ වුණ පලියට එක තමයි පරම සත්‍ය කියල කියන්නත් බෑ. මොකද දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන්නෙ තමන්ට සාපේක්ෂව. එතනදිත් ‘මම’ කියන සත්වයා මනසින් හැදිල එයාට තමයි මොකක් හරි දෙයක් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නෙ. මට හිතෙන විදියට මනසින් මොන තරම් දියුණු වුණත් සමහර ඍෂිවරුන්ට නිවන් අවබෝධ කරගන්න බැරි හේතුව ඕකයි.”

 

“ඔයාට මේ ගැන අදහසක් ගන්න මං පොඩි උදාහරණයක් කියන්නම්. ගුරුත්වාකර්ෂණය ගැන දන්නවනෙ. මේ වෙලාවෙත් ඔයාට ගුරුත්වාකර්ෂණ බලය වැඩ කරනව කියල ඔයා දන්නව. ඒකනෙ අපි අහසට ඇදිල යන්නෙ නැතුව පොළොවට වෙලා ඉන්නෙ. ඒ කියන්නෙ ගුරුත්වාකර්ෂණය කියන දේ වෙන කවුරුවත් කියපු නිසා නෙමෙයි ඔයාටම ඒක ප්‍රත්‍යක්ෂ වෙච්ච දෙයක්. ඔයාට ඒක ඇත්ත. හැබැයි අභ්‍යාවකාශයෙ ඉන්න කෙනෙක්ට ගුරුත්වාකර්ෂණය කියන දේ දැනෙනවද? වෙන කෙනෙක් නෙමෙයි. ඔයා අභ්‍යාවකාශය ගියා කියල හිතන්නකො. එතකොට කලින් කියපු ගුරුත්වාකර්ෂණ කතාව එතනදි වලංගුයිද? නෑනෙ. පොළොව මට්ටමේදි ඔයාට ඇත්තටම ප්‍රත්‍යක්ෂ වුණ දේ හේතු සාධක වෙනස් වුණ ගමන් වලංගු නැති වුණා.”

 

“ඒ වගේ තමයි. කවුරුහරි ඍෂිවරයෙක් දිව්‍ය ලෝක මට්ටමට හිත දියුණු කළොත් මනුස්ස ලෝකෙ කොහෙත්ම කරන්න බැරි සම්පූර්ණයෙන්ම බොරු කියල කියන දේවල් ඒ ඍෂිවරයාට ඇත්ත වෙනවා. තව ඍෂිවරයෙක් බ්‍රහ්ම ලෝක මට්ටමකට හිත පිහිටවා ගත්තොත් දිව්‍ය ලෝක වලත් වෙන්න බෑ කියන දේවල් ඒ ඍෂිවරයට ඇත්ත වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. අදාළ හේතු ටික තියෙනකොට ඵලය සකස් වෙනවා. මනුස්ස ලෝකයයි අපි මේ කතා කරන ඒලියන්ස්ලගෙ ලෝකයයි ගත්තත් කතාව එහෙම්ම තමයි. මනුස්ස ලෝකෙදි කොහොමටවත් වෙන්න බැරි දෙයක් ඒලියන්ස්ලට ඇත්ත දෙයක්. උදාහරණයක් විදියට කියනව නම් මං මේ කාමරයට ආපු විදිය ඔයා දැක්කනෙ. ඒ වුණාට ඒක ඔයාට තේරෙන්නෙ නෑනෙ. ඒ වගේ තමයි. මිනිස්සුන්ට ස්වභාවිකවම තියෙන ආධ්‍යාත්මික හැකියාව තවම ඒලියන්ස්ලට තේරෙන්නෙ නෑ. ඒක තේරුම් ගන්න තමයි මෙයාල මෙච්චර මේ දගලන්නෙ.”

 

“ඉතින් ඔයාල අපි වගේ සාමාන්‍යය මිනිස්සුන්ට තියෙන අධ්‍යාත්මික හැකියාවවත් තේරුම් ගන්න බැරි කොට ඍෂිවරුන්ගෙ මනස වැඩ කරන විදිය එයාලට කොහොමවත් තේරුම්ගන්න බෑ.,

 

“අනිත් එක තමයි ඍෂිවරු මේ වගේ ලෝකය ඇතුලෙ සිද්ධවෙන දේවල් වලට මැදිහත් වෙන්න එන්නෙ නෑ. එයාල තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා තමන්ගෙ මනස ගවේෂණය කරන කට්ටියක්. අනිත් දේ තමයි ඒලියන්ස්ල මේ වැඩේ පටන්ගන්නකොටම ඍෂිවරු ඒ ගැන දැනගෙන ඉවරයි. මේ ඒලියන්ස්ල කවුද, කොහේ ඉදන්ද ආවේ, මොකටද ආවෙ… මේ හැමදෙයක්ම දැනගත්තා. හැබැයි මේ වැඩෙන් කාටවත් හානියක් වෙන්නෙ නැති නිසා ඍෂිවරු මේකට විරුද්ධ වුණෙත් නෑ. මට දැනගන්න ලැබුනු විස්තරේ හැටියට ඍෂිවරු කිහිපදෙනෙක් ඒලියන්ස්ලට මේ පරීක්ෂණය සාර්ථකව කරගන්න ඕන විදිය ගැන උපදෙස් දීල තියෙනවා.”

 

“අනික ඔයා, මං වගේ සාමාන්‍යය අයගේ සිතිවිලි වලට අපේ ස්නායු පද්ධතියයි, හෝමෝනයි පාවිච්චි කරල බලපෑම් කරන්න ඒලියන්ස්ලට පුළුවන් වුණාට ඍෂිවරුන්ට ඒක කරන්න මෙයාලට බෑ. මොකද අපේ හිත කයට බැසගෙන තිබුණට ඍෂිවරුන්ගෙ හිත කය මත රදා පවතින්නෙ නෑ. වෙන විදියකට කිව්වොත් ඍෂිවරයෙක්ගෙ මනස හරිම ස්වාධීනයි. භෞතික කයට බාහිරින් බලපෑමක් කරාට එයාලගේ මනසට කිසිම දෙයක් වෙන්නෙ නෑ. සමහර ඍෂිවරු අවුරුදු දහස් ගාණක් ජීවත්වෙන්නත් ඕක එක හේතුවක් වෙන්න ඕනෙ.”

 

“මිත්‍රයා, තව දෙයක් මං ඔයාට කියන්නම්. හැබැයි මට මේක පැහැදිලි කරන්න නම් විදියක් නෑ. මේ ඒලියන්ස්ලට හිතාගන්නවත් බැරි තරම් ඉහළ මානසික මට්ටමක තමයි ඍෂිවරු ඉන්නෙ. ඉතින් ඍෂිවරු ඒලියන්ස්ලට උදව් කරන්න කැමති වුණත් වැඩක් නෑ. මොකද ඍෂිවරුන්ගෙ දියුණු මානසික මට්ටම මෙයාලට තේරෙන්නෙ නැති නිසා. ඒ කියන්නෙ මෙහෙමයි. ඍෂිවරු දැනටමත් ඉහළ මානසික මට්ටමකට පත්වෙලා ඉවරයිනෙ. හැබැයි ඒලියන්ස්ලට ඕනෙ සාමාන්‍යය මනුෂ්‍යය මනසක් ටිකෙන් ටික ආධ්‍යාත්මිකව දියුණු කරගෙන ඍෂිවරයෙක්ගෙ මට්ටමට එනකොට ඒ එන පියවරවල් ටික අදුරගන්න. ඊට පස්සෙ ඒ පියවරවල් ටික එහෙම්ම කොපි කරල එයාලගෙ සිස්ටම් එකකට දාල එයාලගෙ මනසට ආධ්‍යාත්මිකව දියුණු වෙන්න පුළුවන් විදියෙ චින්තන රටාවක් හදාගන්නයි මෙයාල මේ උත්සහ කරන්නෙ. ඒකට තමයි ඒලියන්සල ඔයාවයි, මාවයි, කසුන්වයි, දයාන්වයි තව කිහිපදෙනෙකුයි පාවිච්චි කරල ශාරීරිකව වෙනස්කම් කරල ටෙස්ට් කරන්නෙ.”

 

“මට තේරුණෙ නෑ. අපිව ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු කරන්න ඕනෙ නම් මොකටද මේ වගේ පවර්ස් දුන්නෙ? දැන් මට ස්පීඩ් දුවන්න පුළුවන් වුණාට, ඈතට පනින්න පුළුවන් වුණාට ඒකෙන් මට හිත දියුණු කරන්න බෑනෙ.”

 

එයට පිළිතුරු දීමට පෙර ගිහාන් අසුන්ගෙන සිටි තැනින් නැගී සිටියේය.

“බොහොම හොද ප්‍රශ්නයක් මිත්‍රයා. ඕක සියුම් උපායක්. ඍෂිවරයෙක්ගෙන් තමයි මේ විදියට කරන්න කියල උපදෙස් ලැබිල තියෙන්නෙ… මෙහෙම හිතන්නකො. ඒලියන්ස්ල ඔයාට කිසිම පවර් එකක් දෙන්නෙ නැතුව කෙලින්ම ඔයා ඉස්සරහට ඇවිල්ල කියනව මනස දියුණු කරගෙන ඍෂි කෙනෙක් වෙන්න උත්සහ කරන්න කියල. එහෙම කළොත් වැඩේ වෙයිද? කොහොමටවත් නෑ. එහෙම වුණා නම් ඔයා කරන්නෙ අනිත් වැඩ ඔක්කොම පැත්තකින් දාල ඒලියන්ස්ල ගැන හොයන එක. ඔයා කොහොමත් පොඩි කාලෙ ඉදන් ඒලියන් සබ්ජෙක්ට් එකට ආසයිනෙ.”

 

“හැබැයි ඍෂි කෙනෙක් වෙන්න තියෙන මූලිකම අවශ්‍යතාවයක් තමයි තමා ගැන හොයන්න තියෙන උවමනාව. ඉතින් ඒක තමයි පවර්ස් දීල කරවන්න හැදුවෙ. පවර්ස් ලැබුණට පස්සෙ ඔයාට ටික ටික හිතෙන්න ගත්තා අපිට සාමාන්‍යයෙන් අහන්න දකින්න ලැබෙන දේවල් වලට වඩා දෙයක් මේ ලෝකෙ තියෙනව කියල. හැබැයි ඔයා පවර්ස් ආපු විදිය දන්නෙත් නෑ. දුන්නෙ කවුද කියල දන්නෙත් නෑ. පවර්ස් වල සීමාව දන්නෙත් නෑ. ඔයාට මේ ගැන යාළුවෙක්ගෙන් අහල දැනගන්නත් බෑනෙ. එතකොට ඔයාට තියෙන එකම විකල්පය තමයි තමන් ගැනම හොයන එක. අන්න ඒ හැගීම ඔයා තුලින්ම ඇති කරවන්න තමයි පවර්ස් දුන්නෙ. ඉතින් ඒ විදියට තමයි එයාල ඔයාව තමන් ගැන හොයන්න යොමු කළේ.”

 

“දැන් ඔයා නියම තැනකට ඇවිල්ල ඉන්නෙ. ඇත්තටම ඒලියන්ස්ල බලාපොරොත්තු වුණාටත් වඩා හොදට ඔයා තමන් ගැන හොයන එක කළා. දයානුයි, කසුනුයි ගත්තොත් එහෙම එයාලට පවර්ස් ලැබිල අවුරුදු දෙක තුනක් ගිහිල්ලත් කිසිම දියුණුවක් නෑ. ඒ කිව්වෙ ආධ්‍යාත්මික පැත්තෙන් දියුණුවෙන්න ඕන කරන නියුරෝන සැකැස්ම එයාලගෙ මොළේ තිබුණට තමන් ගැන හොයන්න එයාලට කිසිම ඕනකමක් නෑ. ඔයාට වගේ උඩින් යන්නවත් ඈත තියෙන දේවල්, අහන්න දකින්නවත් එයාල දන්නෑ. හේතුව තමන් ගැන හොයපු නැති එක. එයාල කළේ ලැබිච්ච පවර්ස් තමන්ගෙ පුද්ගලික අවශ්‍යතා වලට පාවිච්චි කරපු එක. හැබැයි ඔයා එහෙම නෙමෙයි. ඔයා තමන් ගැන හොද ගවේශණයක් කළා. ඇත්තම කියනව නම් ඔයා මටත් වැඩිය එක හොදට කළා.”

 

“ආ… මං ඕක අහන්නයි හිටියෙ. ඔයා ඉස්සල්ල කිව්වනෙ එලියන්ස්ලගෙ පරීක්ෂණයෙ හොදම රිසාල්ට් එක ඔයා කියල. මම දෙවනියනෙ. ඉතින් ඇයි ඔයා ඍෂි කෙනෙක් වෙන්න ට්‍රයි කරන්නෙ නැතුව මට මේ දේවල් කියන්නෙ?” ආකාශ් ඇසුවේය.

 

“මිත්‍රයා. මං හොදම රිසාල්ට් එක වුණේ මෙහෙමයි. මොකක් හරි අහම්බයක් නිසා මගේ මොළේ නියුරෝන තියෙන විදියයි, ස්නායු පද්ධතියයි මේ ඒලියන්ස්ලගෙ සිස්ටම් එකට හරියටම ගැලපුනා.  වෙන විදියකට කියනව නම් මගේ මොළේ නියුරෝන තියෙන විදියයි ඒලියන් කෙනෙක්ගෙ තියෙන විදියයි ටිකක් විතර සමාන ඇති. ඒ හින්ද එයාල දුන්න පවර්ස් ඔක්කොම වගේ එකපාර තේරුම් අරගෙන පාවිච්චි කරන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි. එයාලගෙ සිස්ටම් වලට මට කෙලින්ම කනෙක්ට් වෙන්නත් පුළුවන් වුණා. එයාලගෙ තාක්ෂණය ගැන මං ලොකුවට දන්නෙ නැති වුණාට එයාලගෙ ටූල්ස් ගොඩක් ඒව මට දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කිව්වෙ මෙහෙමයි. අර ඔයාගෙ මේසෙ උඩ තියෙන ලැප්ටොප් එක තියෙන්නෙ. ඒක ඕන් කරගෙන කාට හරි ඊමේල් එකක් යවන්න ඔයා දන්නවනෙ. ඒ වුණාට ඔයා ලැප්ටෝප් කියන ටූල් එක හදන්නවත්, ඊමේල් එක යවන්න ඕන කරන සොෆ්ට්වෙයාර් එක ඩිවලොප් කරන්නවත් දන්නෙ නෑනෙ. ඒ වගේ තමයි. මං මෙයාලගේ ටූල්ස් පාවිච්චි කරන්න දන්නවා. ඒ හින්ද මං තමයි දැන් මේ ඒලියන්ස්ලගෙ පණිවිඩකාරයා.”

 

“කොහොමද ඔයා එයාලගෙ සිස්ටම් වලට කනෙක්ට් වෙන්නෙ? මට දැනගන්න ආසයි.”

 

“ඒක නම් ටිකක් සංකීර්ණ කතාවක් මිත්‍රයා. මෙයාල මේ වැඩේට එක එක විදියෙ ශක්ති ප්‍රභව පාවිච්චි කරනවා. ඒක වෙන්නෙ මෙහෙමයි. මෙයාලගෙ තාක්ෂණේට පුළුවන් ඕනම ශක්ති ප්‍රභවයක් ක්ෂණිකවම එයාලට ඕන කරන රසායනික හරි, භෞතික හරි, වෙන මොකක් හරි ශක්තියකට හරවන්න. දැන් මිනිස්සුන්ගෙ ගත්තොත් මොකක් හරි එක උපකරණයකින් එක ශක්තියක් විතරයිනෙ හදාගන්න පුළුවන්. උදාහරණයක් කියනව නම් ටර්බයින් එකක් කරකවල චාලක ශක්තිය විදුලිය කරන්න පුළුවන්. හැබැයි ඒ ටර්බයින් එකෙන් බෑනෙ චාලක ශක්තිය සීයට සීයක්ම රසායනික ශක්තියක් හරි තාප ශක්තියක් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ශක්තියක් කරන්න. හරවන්න පුළුවන් විදුලියට විතරයි. හැබැයි මෙයාලට එක කරන්න පුළුවන්. තියෙන්නෙ එක උපකරණයයි. එකෙන් මේ වෙලාවෙ මෙතන වැඩිපුර තියෙන්නෙ මොන ශක්තියද කියල අදුරගෙන ඒ ශක්තිය ඕන විදියට හරවගෙන පාවිච්චි කරනවා. මේ ක්‍රමේ හින්දා එයාලට එදිනෙදා සාමාන්‍යය වැඩ කරගන්න බලශක්තිය කියන දේ කවදාවත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අපි දන්න වචන වලින් කිව්වොත් ශක්ති සංස්ථිති නියමයෙන් කියන දේ සීයට සීයක් කාර්යක්ෂමව මෙයාල පාවිච්චි කරනවා.”

 

ආකාශ් නිහඩව කල්පනා කරන්නට විය. අද දවසේ ඇසීමට සහ දැකීමට ලැබුණු විස්මිත දේවල් වලින් ඔහුගේ සිත පිරී තිබුණි. වර්තමාන මිනිසා සතු තාක්ෂණික දැනුමට අනුව බැලූ විට අධිතාක්ෂණයෙන් පිරිපුන් මෙම පිටසක්වල ජීවින්ගේ තාක්ෂණය මිනිසාට හැගෙනු ඇත්තේ මායාවක් විලසිනි. 

 

“කතාව පොඩ්ඩක් පිට ගියා නේද? මං ආපහු නවත්තපු තැනට එන්නම්. මං කිය කිය හිටියෙ මම පළවෙනියා වුණේ කොහොමද කියන එකනෙ. හැබැයි ඒලියන්ස්ලට ඕනෙ ඒක නෙමෙයි. එයාලට ඕනෙ ආධ්‍යාත්මිකව දියුණු වෙන්න පුළුවන් හැබැයි තවම දියුණුවෙන්න පටන් ගත්තෙ නැති කෙනෙක්. ඔන්න ඕක හින්ද තමයි ඔයා මේ කතාවට එන්නෙ. ඔයාගෙ ජාන විතරක් නෙමෙයි. ඔයා හිතන විදියත් එයාලගෙ පරීක්ෂණයට හරියටම ගැලපෙනව. දැන් ඔයාගෙ හිතට තමන් ගැන හොයන්න ඕනෙ කියන හැගීම කාවැදිල ඉවරයි. හරියටම කිව්වොත් ඔයාට දැන් ඕනෙ සාමාන්‍යය මනුස්සයෙක්ට ඕන දේවල් නෙමෙයි. කොටින්ම ඔයාට දැන් සාමාන්‍යය මනුස්සයෙක් විදියට ජීවත් වෙන්නවත් ඒ විදියට හිතන්නවත් බෑ. මං හරි නේද?” විමසූ ගිහාන් ආකාශ් දෙස බලා සිටියේ පිළිතුරක් අපේක්ෂාවෙනි. නමුත් ආකාශ් නිහඩව කල්පනා කරමින් සිටියේය.

 

“මිත්‍රයා, මං දැන් මේක කෙලින්ම අහන්නම්. එතකොට ඔයාට තීරණයක් ගන්න ලේසි වෙයි. ලෝචනා එක්ක තියෙන බැදීමත් දැන් ටික ටික ඔයාට බරක් වේගෙන එනව නේද? ඇත්තටම දැන් ඔයාට ඕනෙ තව බැදීම් ඇති කරගන්න නෙමෙයි. මේ හැමදේකින්ම නිදහස් වෙලා තමන් ගැන හොයන්න. ඔයා දැනටමත් තේරුම් අරගෙන ඉන්නෙ ඔයාට ලැබිල තියෙන පවර්ස් සීමාවක් නැතුව මනසින් දියුණු කරන්න පුළුවන් කියල. ඉතින් ඔයාගෙ හිතේ ආසාවක් තියෙනව ඔයා දැන් හිරවෙලා ඉන්න හැමදේකින්ම නිදහස් වෙලා මේක ගැන හොයන්න. මං හරි නේද?”

 

ආකාශ් පිළිතුරක් දීමට පෙර තත්පර කිහිපයක් වැය කළේ තමා ගැනම විනිශ්චයක යෙදිමටය.

 

“ඔව්. ඔයා හරි. හැබැයි මං ලෝචනාට ආදරේ කළේ බොරුවට නම් නෙමෙයි. ඒ වුණාට ඔයා කිව්ව වගේ මේ සම්බන්දෙ මගේ හිතට බරක් තමයි. මේකෙන් නිදහස් වෙනව නම් හොදයි කියල මට මීට කලිනුත් හිතිල තියෙනව.”

 

“මිත්‍රයා, ඔයා ලෝචනාට ආදරේ කළේ බොරුවට කියල මං කොහොමටවත් කියන්නෙ නෑ. මං හොදටම දන්නවා ඔයා දැනුත් ලෝචනාට ආදරෙයි. හැබැයි ඔයා එදා ආදරේ කරපු විදියයි දැන් ආදරේ කරන විදියයි වෙනස්. ඉස්සර ඔයා සාමාන්‍යය මනුස්සයෙක් ආදරේ කරන විදියටමයි ලෝචනාට ආදරේ කළේ. ඒ ආදරේ ඇතුලෙ ලෝචනා ගැන ලොකුලොකු ලෝභකමක් තිබුණා. ඒකයි එදා ලෝචනා ශානක එක්ක ක්ලබ් එකේදි ඉන්නව දැක්කහම ඔයාට දුකක් ඇති වුණේ. හැබැයි දැන් ඔයාගෙ හිත ටිකක් විතර ආධ්‍යාත්මික පැත්තට බරවෙලා හින්ද අර කලින් තිබ්බ ලෝභකම සෑහෙන්න අඩුවෙලා ගිහින්. දැන් ඔයාට ලෝචනා ගැන තියෙන හැගීමට කියන්න තියෙන හරිම වචනෙ ආදරේ නෙමෙයි. ඕකට කියන්නෙ මෛත්‍රිය කියල.”

 

ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක නිහැඩියාවකි. ගිහාන් පැවසූ සියල්ල අකුරක් නෑර සත්‍ය බව ආකාශ්ට හැගුණි.

 

“ඔයාට හිතෙන විදියට මං දැන් මොකද්ද මේකට කරන ඕනෙ?” ආකාශ් විමසුවේ තීරණයක් ගැනීම අපහසු වූ හෙයිනි.

 

“ඔයාට ලෝචනාව අතහරින්නමම වෙනව මිත්‍රයා. මං දන්නව මේක ටිකක් දරන්න අමාරුයි කියල. ඒ වුණාට ඒක හැර වෙන විකල්පයක් නෑ. තව ඔයා දැනගන්නම ඕන දේවල් ටිකක් තියෙනව. මං ඒවත් දැන් කියන්නම්. එතකොට ඔයාට මේ තීරණේ ගන්න ලේසි වෙයි.”

 

“ඒලියන්ස්ල ඔයාගෙ ඇග ටිකක් වෙනස් කරල තියෙන්නෙ. පිටින් නම් එහෙම දෙයක් පේන්නෙ නෑ. හැබැයි ඔයාගෙ ඇග ඇතුලෙ අවයව වුණත් ඉස්සරට වැඩිය ටිකක් වෙනස්. මගෙත් එහෙමයි. ඉතින් ඒ වෙනස ඔයාගෙ ශුක්‍රණු වලටත් ගිහින් තියෙනවා. ඒ හින්ද කවදහරි දවසක ඔයා හින්දා ලෝචනා ප්‍රෙග්නන්ට් වුණොත් එයාගෙ ගර්භාෂෙ හැදෙන්නෙ ටිකක් වෙනස් ළමයෙක්. ඒලියන් කෙනෙක් නෙමෙයි. හැබැයි ටිකක් විශේෂ දරුවෙක්. ඉතින් එහෙම ළමයෙක් හදන්න ලෝචනාගේ ගර්භාෂය සුදුසු නෑ. ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් වෙලා මාස දෙක තුනකින් ලෝචනාගෙ ජීවිතේ නැතිවෙන්න පුළුවන්.”

 

“අනිත් එක තමයි ඔයාගෙ ආයුෂ. ඒලියන්සල ඔයා ලව්වා මේ වැඩේ කරගන්න හදන නිසා එයාල ඔයාගෙ ආයුෂ සාමාන්‍යය මනුස්සයෙකුට වඩා වැඩි කරල තියෙන්නෙ. ඒක එයාලගෙ තාක්ෂණයෙන් කරන දෙයක්. ඒකත් ටිකක් සංකීර්ණ කතාවක්. එයාල කරන්නෙ ඔයාව ලෙඩ රෝග වලින් බේරන එකයි, ඔයාගෙ අවයව වයසට යන එක පරක්කු කරන එකයි. දෙව්ගල කන්ද උඩ වෙච්ච සිද්ධියෙන් පස්සෙ ඔයාට හෙම්බිරිස්සාවක්වත් හැදුනෙ නෑනෙ. ඒකයි ඒ. මටත් ඒ විදියටම තමයි.”

 

“දැනට තියෙන තත්වෙ හැටියට අපි දෙන්නට අවුරුදු දාහක් විතර අයුෂ තියෙනවා. එයාල දිගටම මනුස්ස සිරුර ගැන පරීක්ෂණ කරනවා. ඒ හින්ද ඉස්සරහට අපේ ආයුෂ තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාටම තේරෙනව ඇතිනෙ වෙන්න තියෙන ප්‍රශ්නෙ. ඔයාල ළමයි හදන්නෙ නැතුව හිටියත් තව අවුරුදු විස්සකින් විසිපහකින් විතර ලෝචනාගෙ ඇගෙන් වයසට යන ලකුණු පෙන්නන්න පටන් ගනි. හැබැයි ඔයා මේ ඉන්න විදියටම ඉදියි. එතකොට ලෝචනාගෙ හිතේ එයා ගැනම හීනමානයක් ඇතිවෙනවා. ඔයා ගැන සැක කරන්නත් පටන් ගනී.”

 

“දැන් එයා කොච්චර හොද කෙනෙක් වුණත් ඒක වෙන එක නවත්තන්න බෑ. මොකද මේක අසාමාන්‍යය දෙයක්නෙ. ඉතින් ඒ වගේ දෙයක් ලෝචනා වගේ කෙනෙක්ගෙ මනසට දරාගන්න බෑ. ආදරේට වයස බාධාවක් නෑ කියල නිකං කතාවට කිව්වට ඒක ඇත්ත නෙමෙයි. වයස් භේදය ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් පොළොවෙ පය ගහල ජීවත් වෙන්න ගියාම තමයි තේරෙන්නෙ. මිත්‍රයා, ඔයාම කල්පනා කරල බලන්න, ඔය දෙන්න එකට ජීවත් වෙන්න හැදුවොත් මොන තරම් ප්‍රශ්න ගොඩක් එයිද කියල. ලෝචනාට අවුරුදු හැටක් විතර වෙනකොට ඔය දෙන්නගෙ පෙනුමෙ වෙනස නිසා පිට මිනිස්සුන්ගෙන් කොච්චර ප්‍රශ්න එයිද? ලොකුම ප්‍රශ්නෙ තමයි ලෝචනාගෙ මානසික තත්වය. එයා මැරෙනකොටත් තමන්ගෙ ජීවිතෙ ගැන කළකිරීමෙනුයි ලොකු හීනමානයකිනුයි තමයි මැරෙන්න වෙන්නෙ. ඔයා අහල ඇතිනෙ එහෙම වෙන එක කෙනෙක්ගෙ ඊළග භවයටත් හොද නෑ කියල.”

 

ගිහාන්ගේ වදන් නිහඩව අසා සිටි ආකාශ්ගේ සිතෙහි ඇති වූයේ වෙනස්ම සිතිවිලි සමුදායකි. එය මිශ්‍ර හැගීමකි. ලෝචනාගෙන් වෙන්වීමේ දුකත් තමාට ලෝකය පිළිබදව ලැබී ඇති අලුත් අවබෝධය ගැන නැවුම් හැගීමකිනුත් එම සිතිවිලි සමුදාය මිශ්‍ර වී තිබුණි.

 

“ඔයා කියපු හැමදෙයක්ම ඇත්ත. හැබැයි මං ලෝචනාව අතහරින්න හැදුවත් එයා මාව අතහරින එකක් නෑ. මං දන්නවනෙ එයාගෙ හැටි. එක්කො මං ළග බලෙන්ම වගේ ඉදියි. එහෙම බැරි වුණොත් ලෝචනා එයාගෙ ජීවිතේට මොකක් හරි කරගනියි. ඒක නම් වෙන්න දෙන්න බෑ.” ආකාශ් පැවසුවේ වේදනාවත්, අවබෝධයත් මුසු වූ හඩකිනි.

 

“මං ඒක දන්නව. ඒකට කරන්න තියෙන්නෙ එකම එක දෙයයි.”

 

“මොකද්ද?”

 

“ආකාශ් තරුපති කියන චරිතයට මැරෙන්න වෙනවා. ඔයා ඉදල එයාව අතහැරියොත්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ. හැබැයි ඔයා එයාගෙ ජීවිතෙන් විතරක් නෙමෙයි මුළු සමාජයෙන්ම සම්පූර්ණයෙන්ම අයින්වෙලා ගියොත් ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ.”

 

ආකාශ් කල්පනා කරන්නට විය. ගිහාන් පවසන්නේ සායනික මරණයක් පිළිබදව නොවන බව ආකාශ්ට වැටහී තිබුණි. මෙය ආකාශ් තරුපති නමැති චරිතය සම්පූර්ණයෙන්ම අතුරුදහන් කිරීමකි.

 

“මට ඔයා කියන එක තේරෙනවා. ඒත් කොහොමද ඕක කරන්නෙ? එතකොට මේක ලෝචනා ගැන ප්‍රශ්නයක් විතරක් නෙමෙයිනෙ. මං එකපාරටම මැරුණා කියල ආරංචි වුණොත් මගේ අම්මටයි තාත්තටයි මොනව හිතෙයිද?”

 

“මේකට එයාලව ගාවගන්න එපා. ගෙදර අයට විතරක් ඇත්ත කියන්න. ටික දවසකට කලින් ඔයා අම්මටයි තාත්තටයි අයියටයි ඔයාගෙ ඇත්ත තත්වෙ කිව්ව වගේ අදම ගිහින් එයාලව හම්බවෙලා එයාලට හැමදෙයක්ම කියන්න. හැමදෙයක්ම කිව්වෙ මෙහෙමයි. ඒලියන්ස්ලගෙ ටෙක්නොලොජි එක ගැන අපි කතා කරපුව එයාලට වැඩක් නෑනෙ. එයාල දැනගන්න ඕන ටික කියන්න. දෙවම්පියන්ට දුකක් දෙන පව ඔයා කරන්න ඕනෙ නෑ. මොකද එහෙම දෙයක් වුණොත් ඔයාට ආධ්‍යාත්මික පැත්තෙන් ඉස්සරහට යන්නත් ඒක බාධාවක් වෙන්න පුළුවන්.”

 

“හරි. ගෙදර අයටත් විස්තරේ කිව්ව කියල හිතමුකො. ඊට පස්සෙ මං කොහොමද ඕක කරන්නෙ? එකපාරටම අතුරුදහන් වුණොත් ලෝචනාත් මාව හොයන්න ගනියි නේද? අනික ආකාශ් කියන කෙනා මැරුණට පස්සෙ මං කොහෙද ඉන්නෙ?”

 

“මිත්‍රයා, කලබල වෙන්න එපා. ඒ හැමදෙයක්ම මං බලාගන්නම්. ඔයා මැරෙන විදියයි, ඔයාගෙ අලුත් නමයි, කොහෙද ඉන්නෙ, මොනවද කරන්න ඕනෙ… මේ හැමදෙයක්ම මං බලාගන්නම්.”

 

“ඔයාගෙ අලුත් නම මොකද්ද කියල අපි පස්සෙ කල්පනා කරල බලමු. ඔයා මැරෙන්නෙ මෙහෙමයි. අනිද්දා රෑට මං ඔයාට පොලිස් වැඩක් සෙට් කරනවා. ඔයාට කරන්න තියෙන වැඩේ තමයි මුහුදෙ නවත්තල තියෙන නැවක තුවක්කු වගයක් චෙක් කරන එක. මේක හදිසි වැඩක් කියල අනිද්දා රෑ අටහමාරට විතර ඔයාට කෝල් කරල කියයි. නැව වරායෙ ඉදන් ටිකක් දුරින් නවත්තල තියෙන්නෙ. ඒ හින්ද බෝට්ටුවෙන් නැවට යන්නත් විනාඩි විස්සක් විතර යනවා. යන්න තියෙන්නෙ පොලිස් බෝට්ටුවකින්. ඔයා එක්ක බෝට්ටුවෙන් තව දෙන්නෙක් එයි. බෝට්ටුව නැවට ටිකක් කිට්ටු කළාට පස්සෙ ලොකු රැල්ලක් එවල අපි බෝට්ටුව පෙරළලා දානවා. ඔයාට තියෙන්නෙ ඉක්මණට එතනින් අතුරුදහන් වෙලා මොරටුව පැත්තට පීනගෙන එන්න. මොරටුව මුහුද අයිනෙම තැනක සුනාමිය වෙච්ච කාලෙ අතහැරල දාපු බාගෙට කැඩිච්ච පරණ ගෙයක් තියෙනව. මං හරියටම ඔයාට තැන කියන්නම්. ඔයා එතනට ආව නම් හරි. මං එතන ඉන්නවා.”

 

“බෝට්ටුව පෙරලුවට පස්සෙ මාත් එක්ක එන අනිත් දෙන්නට මොකද වෙන්නෙ?”

 

“එයාලට මුකුත් වෙන්නෙ නෑ. ඒ දෙන්නටම පීනන්න පුළුවන්. අනික ඔයා එතනින් අයින් වෙච්ච ගමන් තව රැල්ලක් එවල අපි බෝට්ටුව කෙලින් කරනවා. ඒ දෙන්නා ආපහු බෝට්ටුවට නගියි.”

 

“අනිත් එක, මේ වැඩේ අවුල් යයි කියල ඔයා බය වෙන්න එපා. ඒලියන්ස්ලගේ ටූල්ස් වලින් හැමදෙයක්ම හරියටම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔයා ඕනකමින් වැඩේ වෙනස් කළොත් මිස මේ වැඩේ අවුල් වෙන්නෙ නෑ. කරන්න ඕනෙ හැමදෙයක් ගැනම මං ඔයාට ඒ වෙලාවෙම කතා කරල කියන්නම්. දැන් මේ කතා කරනව වගේ. දැන් මම කියපු අන්තිම වචන ටික මං කිව්වෙ කටින් නෙමෙයි.”

 

විමතියට පත් ආකාශ් එක්වරම හිස හරවා ගිහාන් දෙස බැලුවේය. ගිහාන් සන්සුන් අයුරින් සිනාසුණේය.

 

“මේ විදියට තමයි ඉස්සරහට මං ඔයාට කතා කරන්නෙ. ටූල් එක පාවිච්චි කරන්න දැනගත්තට පස්සෙ ඔයාටත් පුළුවන් මේ විදියට අනිත් අයට පණිවිඩ දෙන්න. හරියටම කිව්වොත් මං මේ ඔයාගෙ හිතට නෙමෙයි කතා කරන්නෙ. මගේ කට හෙලවෙනව පේන්නෙ නැති වුණාට ඔයාට දැනුත් මේ ඇහෙන්නෙ සද්දයක්ම තමයි. හැබැයි ඒක ඔයාගෙ කන ළගට එන විදිය වෙනස්. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට ධ්වනි තරංගනෙ හැදෙන්නෙ. මෙතනදි වෙන්නෙ මට කියන්න ඕන දේ හිතින් හිතාගෙන ගියාම ටූල්ස් වලින් ඒ පණිවිඩේ ඒ විදියටම තේරුම් අරගෙන ඒක මේ වෙලාවෙ ගන්න පුළුවන් හොදම ශක්ති ප්‍රභේදයකට ගැට ගහල මෙයාලගෙ සිස්ටම් එකකට යවනවා. ඒ සිස්ටම් එකෙන් පණිවිඩය මගේ ඇත්ත කටහඩේ සංඛ්‍යාත වලට හදාගෙන ඒ වෙලාවෙ එතනදි ගන්න පුළුවන් හොදම ශක්ති ප්‍රභේදයට ගැට ගහල යවන්න ඕන කෙනාගෙ කන ළගට එවනවා. ඊට පස්සෙ ඒ ශක්ති තරංගය ඔයාගෙ කන ඇතුලට ගියාට පස්සෙ තමයි ධ්වනියක් විදියට හැරෙන්නෙ. මෙයාලගෙ තාක්ෂණේ නිසා මේ ඔක්කොම මිනිස්සුන්ට මනින්න බැරි තරම් වේගෙන් වෙනවා. ඒ විදියට තමයි දැන් මගේ කටහඩ ඒ විදියටම ඔයාට ඇහෙන්නෙ. අනිත් එක ඔයා දන්නවනෙ… ධ්වනි තරංග වලට යන්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමයෙදි වේගයක් කියල සීමාවක් නැති තරම්. ලෝකෙ ඕනම තැනක ඉන්න කෙනෙක්ට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. අතට අහුවෙන කිසිම උපකරණයක් නැතුව…, අඩුගානෙ කටවත් හොල්ලන්නෙ නැතුව. අනිත් දේ තමයි මේ විදියට කතා කරනකොට මේක ඇහෙන්නෙ අදාල කෙනාට විතරයි. මේ වෙලාවෙ මෙතන වෙන කවුරු හරි හිටියත් එයාට මං කියන දේ ඇහෙන්නෙ නෑ.”

 

ගිහාන් පැවසූ සියල්ල ආකාශ් ඉතා සාවධානව අසා සිටියේය. සැබවින්ම ගිහාන්ගෙ මුවෙහි කිසිදු සෙලවීමක් නොවිය. නමුත් තමා අසලම සිට කතා කරන්නාක් මෙන් ආකාශ්ට ගිහාන්ගේ හඩ ඇසුණි.

 

“හිතාගන්නවත් බෑ. මට සෑහෙන්න දේවල් ඉගෙනගන්න තියෙනව වගේ.”

 

“ඔව්, ඔයාට මේ හැමදෙයක්ම ටික ටික පුරුදුවෙන්න පුළුවන් වෙයි. ඔයා දැනට දැනගන්න ඕනෙ ඔක්කොම දේවල් ටික මං කිව්වා. මට දැන් යන්න වෙලාව හරි. යන්න කලින් තව එක දෙයක් තියෙනව කියන්න.”

 

“මොකද්ද?”

 

“දැන් මං ගියාට පස්සෙ ඔයා අයියට කෝල් එකක් අරගෙන මේ විස්තර ටික කියන්න. ඊට පස්සෙ හෙට දවස ඔයා ලෝචනා වෙනුවෙන් වෙන් කරන්න. මොකද දන්නවද? හෙට තමයි ඔයාට ලෝචනා එක්ක ඉන්න පුළුවන් අන්තිම දවස. මේ පරීක්ෂණෙ එක මට්ටමකට ආවට පස්සෙ ඔයා කැමති නම් ආපහු ගිහින් ලෝචනාව හම්බවෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නෙ නෑ ඔයාට මේ ලෝකෙ ගැන අවබෝධයක් ආවට පස්සෙ ආපහු සාමාන්‍යය විදියෙ බැදීමක් හදාගන්න උවමනාවක් එයි කියල. මොකද එතකොට බැදීම් වලටයි ලෝභකම් වලටයි පැවත්මක් නැති වෙනවා. ගිනි ගොඩකට වතුර වැටෙනකොට ඒ ගින්නට පැවැත්මක් නැති වෙනවනෙ. මොකද ගින්න පවතින්න තියෙන හේතු ටික නැතිවෙනකොට ගින්දර කියන ඵලය ඉබේම නැති වෙලා යනවා.”

 

ගිහාන් පැවසූ දාර්ශනික අදහසේ ගැඹුරු සත්‍යතාව වටහා ගැනීමට ආකාශ් තත්පර කිහිපයක් නිහඩව කල්පනා කරන්නට විය.

 

“හරි හරි, දැන් ඕක ගැන වැඩිපුර හිතන්න ඕනෙ නෑ. ඒක අපි ඒ කාලෙදි බලමු. හෙට ඔයා ලෝචනා එක්ක සතුටින් ඉන්න. පුළුවන් උපරිමයෙන් එයාවත් සතුටු කරන්න. මං කියන දේ ඔයාට තේරෙනවනෙ. එයා ප්‍රෙග්නන්ට් වෙයි කියල බයවෙන්න එපා. ඒ්ක අපි බලාගන්නම්.”

 

“එහෙනම් මිත්‍රයා. මං දැන් යන්නම්. අනිද්දට කලින් කතා කරන්න උවමනා වුණොත් මං අර කලින් කතා කළා වගේ කතා කරන්නම්. ඔයාට කතා කරන්න ඕනෙ නම් මං ඔයාට කෝල් කරපු නොම්බරේට කෝල් එකක් ගන්න. එහෙනම් මිත්‍රයා. මං ගියා.”

 

ගිහාන් එක්වරම සිටි තැනින් අතුරුදහන් විය. එය පියවි ඇසට නොපෙනෙන වේගයෙන් ගමන් කිරීමක් නොව සැබෑම අතුරුදහන් වීමකි. එදා දෙව්ගල පර්වතය මුදුනේදී වූ සිද්ධිය සිදු වූ දින පටන් අනුන්ව පුදුමයට පත් කළේ ආකාශ් විසිනි. නමුත් අද දිනය පුරාම මුහුණ පෑමට සිදු වූ සිදුවීම් වලින් ඔහු ඕනෑවටත් වඩා පුදුමයට පත්ව සිටියේය.

 

 

* * *

 

 

“ඉතින් කියන්නකො අනේ?”

 

“මොකද්ද?”

 

“මොකද අද ළමයට හිතුනෙ දවසම මාත් එක්ක ඉන්න ඕනෙ කියල?” ලෝචනා ඇසුවේ ආකාශ්ගේ උරහිසක් බදාගෙන ඔහුට තුරුළු වෙමිනි.

 

“ඇයි හොද නැද්ද?”

 

“මං කොච්චර කල් බලන් හිටියද බබා මෙහෙම දවසක් එනකන්. ඔයා ඉතින් හැමදාම බිසීනෙ.”

 

“බබා. මට වැදගත් දෙයක් කියන්න තියෙනව. මං ඔයාට ඊයේ කෝල් එකේදි කිව්වෙ…”

 

“ආ.. ඔව්නෙ. මට ඒකත් අමතක වුණා. කෝ කියන්න බලන්න. මොකද්ද ඒ?”

 

ලෝචනා තම හිස ඔසවා ආකාශ්ගේ මුහුණ දෙස බලාගෙන ඇසුවාය. එදින ඇයට ඉතාමත්ම සතුටුදායක දිනයක් විය. එම නිසා ඇය කිසියම් සුබ දෙයක් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටින බව ආකාශ් වටහා ගත්තේය.

 

“හැබැයි ඔයා මට පොරොන්දු වෙන්න ඕනෙ මේක අහල ඔයා කලබල වෙන්නෙ නෑ කියල.”

 

“බබා… ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?”

 

“මට නම් මේක ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි. හැබැයි මට බයයි වෙන කෙනෙක් අපි දෙන්නගෙ එෆෙයාර් එක ප්‍රශ්නයක් කර ගනී කියල.”

 

“කවුද බබා? කවුද? අපි දෙන්නට ප්‍රශ්න දාන්න එන්නෙ.” ලෝචනා තරමක් කලබල වූ ස්වරයකින් විමසුවේ ආකාශ්ගේ මුහුණ තමා දෙසට හරවා ගනිමිනි.

 

“ඔය ඉතින්… මේක කියන්නත් කලින් ඔයා කලබල වෙනවනෙ.”

 

“ඔයානෙ ඉතින් මාව කලබල කරන්නෙ. එකපාර හරියට කියන්නෙ නැතුව.”

“හරි හරි. මං මේක කියන්නෙත් ඔයා දැනගෙන ඉන්න එක හොද නිසා. නැත්නම් මේක අපිට ගණන් ගන්න තරම් දෙයක් නෙමෙයි.” පැවසූ ආකාශ් ඈතින් පෙනෙන සාගරයත් අහසත් යාවෙන ක්ෂිතිජය දෙස තත්පර කිහිපයක් නිහඩව බලා සිටියේ මිලග වචන කිහිපය පැවසීම සදහා ධෛර්යය වඩවා ගැනීමටය.

 

“ඔයාගෙ නංගිට ටිකක් විසේනෙ. එයා දාන්න හදන ප්‍රශ්නයක්.”

 

තමා එම වදන් පවසනවාත් සමගම ලෝචනාගේ මුහුණ කෝපයෙන් රත් පැහැ ගැන්වෙනු ආකාශ් නිරීක්ෂණය කළේය.

 

“ඔයා ගැන දිගටම මගෙන් විස්තර අහනකොට මට හිතුන ඕකි මොකකට හරි එන්න තමයි හදන්නෙ කියල. මොනවද එයා ඔයාට කිව්වෙ?” ලෝචනා විමසුවේ කෝපය මුසු වූ හඩකිනි.

 

ඉන්පසුව ආකාශ් විස්තර කිරීම ඇරඹුවේය. නිම්සරා විටින් විට තමාව දුරකතනයෙන් ඇමතූ ආකාරයත්, අවසානයේදි තමාව හමුවීමට විශ්ව විද්‍යාලයට පැමිණි ආකාරයත් ඔහු පැවසුවේය. නමුත් නිම්සරා විශ්ව විද්‍යාලයේදී තමාව සිපගත් අයුරු ලෝචනාට නොපවසා සිටීමට හෙතෙම වග බලා ගත්තේ එය පැවසුවහොත් ලෝචනාගේ රතු කට්ට පනින බව ඔහු දන්නා නිසාය.

 

“ඉතින් ඔයා මොකටද එයාට අයි ලව් යූ කියන්න ගියෙ? ඔයාට තිබ්බනෙ එයාට බැනල එලවගන්න.” ලෝචනා ඇසුවේ ආකාශ්ගේ අතක් තදින් කොනිත්තමිනි.

 

“බබා. මං ඔයාට කිව්වෙ. මං කොච්චර කිව්වත් එයා තේරුම් ගත්තෙ නෑ. එයා හිතින් හදාගෙන ඉවරයි මට මැච් වෙන්නෙ ඔයා නෙමෙයි එයාව කියල. කියල කියල බැරිම තැන තමයි අයි ලව් යු කියල එයාව යවා ගත්තෙ. එතකන්ම එයා ගියෙ නෑ. අනික එතන බනින්න ගියා නම් තව කේස් එකක් වෙනව. අහල පහල ඉන්න උන්ට ඇහිල කපල් පොට් එකට පිට කෙනෙක් එක්කන් ආවා කියල මට තමයි කේස් එක අදින්නෙ. ඊට පස්සෙ දවස් ගානකට මට කැම්පස් එකටවත් යන්න වෙන්නෙ නෑ.”

 

ආකාශ් පවසන්නේ සත්‍යයක් බව ලෝචනා වැටහුණි. තම නැගණියගේ මුරණ්ඩුකම ගැන ඇය හොදින් දැන සිටියාය. නිම්සරාට යමක් අවශ්‍ය වූ විට කෙසේ හෝ එය ලබා ගැනීමට ඇය උත්සහ කරයි. එම උත්සහයන් වලදී ඇය අනුන් ගැන සිතන්නෙ ඉතා අඩුවෙනි. එසේම ආකාශ්ට ඇය පිළිබදව කිසිදු අදහසක් නොමැති බවද ලෝචනාට හොදින්ම වැටහුණි. නමුත් ඇයගේ සිතෙහි ඇති වූ තදබල කෝපයත්, ඉරිසියාවත් ඉක්මණින් අඩු වන බවක් පෙනෙන්නට නොවිය.

 

“ඒ වුණාට අයි ලව් යූ කියන්න ඕනෙ නෑනෙ. වෙන මොකක් හරි කියන්න තිබුණනෙ. මොකටද ඕකිව නලවන්න ගියෙ?”

 

එම වදන් ඇසූ ආකාශ්ට සිනහව නවත්වා ගැනීමට නොහැකි විය. නිම්සරා තමාව සිපගත් බව නොපවසා සිටීම ගැන ඔහු තමාටම ස්තූතිවන්න විය. යම් හෙයකින් එය මැයට පැවසුවේ නම් තමාට විසුමක් නොමැති වනු ඇත.

 

“අයියෝ බබා, ඔයාට තේරෙන්නෙ නෑනෙ. මං දැන් කිව්වෙ. මට එයාව යවාගන්න වෙන ක්‍රමයක් තිබුණෙ නෑ. අනික නිම්සරා එතනින් ගිය වෙලේම මං එයාගෙ නම්බර්ස් ඔක්කොම බ්ලොක් කරල දැම්මා. ආපහු මට එයා එක්ක කතාවක් නෑ.”

 

ආකාශ් එසේ පැවසුවද ලෝචනාගේ සිතෙහි තම නැගණිය කෙරෙහි ඇති වූ කෝපය අඩු නොවිය.

 

“ඔහොම ඉන්නකො. මං ඕකිට හොදවයින් දෙකක් කියන්න.” පැවසූ ලෝචනා තම ජංගම දුරකතනය ගෙන නිම්සරාව ඇමතීමට සැරසුනාය.

 

“අයියෝ ලෝචනා, ඕකනෙ ඉතින්… ඔයා කලබල වෙනවනෙ. අද අපි දෙන්නට ෆන් එකේ ඉන්න තියෙන දවසෙ ඕක අදින්න එපා. අනික නිම්සරා කියන්නෙ කියන දෙයක් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයිනෙ. නිකන් බොරුවට එයත් එක්ක රණ්ඩු කරල වැඩක් නෑ. අපි අපේ පාඩුවේ ඉමු.”

 

“පාඩුවේ ඉමු කියන්නෙ… වෙන ගෑනියෙක් ඇවිල්ල ඔයාට අයි ලව් යූ කියල යනකන් මට උඩ බලාගෙන ඉන්න කියලද කියන්නෙ?”

 

“හරි හරි බබා. දැන් මට ඔයාගෙ ෆෝන් එක දෙන්නකො.”

 

“බෑ බෑ. ඕකිට මං…”

 

ලෝචනා තදබල කෝපයකින් පසුවන බව ආකාශ් වටහා ගත්තේය. දැන් ඇය නිම්සරාව ඇමතුවහොත් එම කෝපය තවත් වැඩි වනු ඇත. වෙනත් කිරීමට දෙයක් නොමැති නිසා ආකාශ් එක්වරම ලෝචනාගේ ජංගම දුරකතනය උදුරා ගත්තේය.

 

“ෆෝන් එක දෙන්න අනේ.”

 

“දැන්ම දෙන්න බෑ බබා. ඔයාගෙ ඔය තරහ අඩු වුණාට පස්සෙ දෙන්නම්.”

 

“ඕකිට දෙකක් කියනකම් මේක අඩුවෙන්නෙ නෑ. ඕක දෙන්නකො අනේ.” ලෝචනා පැවසුවේ ආකාශ්ගේ උරහිස බදාගනිමිනි.

 

මෙවැනි අවස්ථාවන් වලදී ලෝචනාගේ කෝපය අඩු කරගන්නා ආකාරය පිළිබදව ඇයව බොහෝ කාලයක් ආශ්‍රය කිරීම තුලින් ඔහු අත්දැකීමෙන්ම දැන සිටියේය. මොහොතක් හෝ පමා නොවූ ඔහු ඇයව තමා දෙසට හරවාගෙන ඇයගේ නලළත් දොතොලත් සිපගත්තේය.

 

කෝපයෙන් පසු වූවද ඔහුගේ ඉමිහිරි සිපගැනීම ඇයට ප්‍රතික්ෂේප කළ නොහැකි විය. තම ජංගම දුරකතනය ලබාගැනීමට දැරූ උත්සහය අතහැර දැමූ ඇයද ආකාශ්ව අනුගමනය කරමින් තම දෑතින් ඔහුගේ ගෙල බදාගත්තාය. කෙසේ වූවද විහිළු තහළු කිරීමෙන් සහ සිපගැනීම් මගින් ඇයගේ කෝපය මුළුමනින්ම නිවා දැමීමට ඔහුට තවත් මිනිත්තු කිහිපයක්ම වැය කිරීමට සිදුවිය.

 

“හොරා, මාව කිස් කරල ශේප් කරගන්නව නේද? ඔයා හරි කට්ටයි අනේ.” ලෝචනා පැවසුවේ බොරු තරහ මූණක් පෙන්වමිනි.

 

“කට්ටකමින් හරි වැඩේ වෙනව නම් එච්චරයිනෙ. කෝ බලන්න මූණ. අම්මෝ ඇති යාන්තම්. ලොකු මැඩම්ගෙ තරහ නැති වෙලා. මෙන්න එහෙනම් ෆෝන් එක.” පැවසූ ඔහු ලෝචනාගේ අතෙහි ඇයගේ ජංගම දුරකතනය තැබුවේය.

 

එය තම අත් බෑගයෙහි දමාගත් ලෝචනා නැවතත් තම පෙම්වතාගේ ගෙල බදාගෙන ඔහුගේ මුහුණ දෙස බලාසිටින්නට වූවාය.

 

“මොකද මැඩම්… මදි වගේද?”

 

“ඔව්. මදි තමයි. හොදටම මදි.”

 

“ඉතිරි ටික හවසට දෙන්නම්. ආපහු මදි නොකියන්නම. අද මං කුඩයක් ගෙනාවෙත් නෑ. ඔයාට කෙලින්ම වැස්සෙ තෙමන්න තමයි වෙන්නෙ.”

 

“ම්… මැට්ටා.” පැවසූ ඇය ඔහුව තමා වෙතට ඇදගෙන ඔහුගේ මුහුණත් දොතොලත් සිපගත්තාය.

 

“ඉතින් මැඩම් කොහොමද ආස? කුඩයක් යටින් ගිහින් වැස්සෙ තෙමෙන්නද? නැත්නම් කුඩේ නැතුව කෙලින්ම වැස්සෙ තෙමෙන්නද?”

 

“කුඩ එපා. මං ආස කෙලින්ම වැස්සෙ තෙමෙන්න.”

 

“බය නැද්ද?”

 

“මොකටද?”

 

“ප්‍රෙග්නන්ට් වෙයි කියල.”

 

“එහෙම වුණොත් ඉතින් හොදයිනෙ. එතකොට අපි දෙන්නට කොහොමත් ඉක්මණටම මැරි කරන්න වෙනවනෙ. අපේ තාත්තා ඔයාව උස්සගෙන ඇවිල්ල මට බලෙන්ම බන්දල දෙයි.”

 

ආකාශ් මුහුදු රළ දෙස බලාගෙන සිනාසුනේය. නමුත් එම සිනහවේ සතුට ගැබ් වී නොතිබුණි. තමාට මෙතරම් ආදරය කරන මේ සුන්දර යුවතියව අතහැර දැමීමට සිදුවීම ගැන ඔහුගේ සිත තුල වූයේ වරදකාරී හැගීමකි.  ලෝචනාට තමාගේ සත්‍යය තත්වය පවසා ඇයගෙන් සමුගැනීමට ඔහුට අවශ්‍ය වූවද එය ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නොවිය.

 

“මොකද අනේ කතා නැත්තෙ? ඔයා දැන් ආපු වෙලේ ඉදන් සැරින් සැරේ මුහුද දිහා බලාගෙන කල්පනා කරනවා. බබා… ඔයා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ?”

 

“ආ… ඔව්. වෙන්න ඇති. ඔයාගෙ නංගි දාන ලෙඩ නිසා මගෙත් ඔළුව ටිකක් අවුල්වෙලා තිබුණේ. මට බය හිතුන මං හින්ද ඔයාලගෙ ගෙදර නැති ප්‍රශ්න ඇති වෙයි කියල.” ආකාශ් පැවසුවේ ගැලවීමටය.

 

“ඕකිත් එක්ක මං ආපහු කතා කරන්නෙ නෑ. තමන්ගෙම අක්කගෙ එෆෙයාර් එක මැදටනෙ ලැජ්ජ නැතුව පනින්න ගියෙ. මට මුලින්ම සැකයකුත් ආව ඔයා ගැන විස්තර අහගෙන එනකොට. ඒත් මං හිතුවෙ නෑ මෙහෙම කරයි කියල. කොහොමත් බබා මැරි කළාට පස්සෙ අපි ගෙදරින් ටිකක් ඈතකට යමු. නැත්නම් ඕකි අපිට පාඩුවේ ඉන්න දෙන්නෙ නෑ. මං දන්නවනෙ එයාගෙ හැටි.”

 

ඉන්පසුව මද නිහැඩියාවක් ඇති විය. ඔහු නිහඩ නිසා ඇයම නැවතත් කතා කිරීමට පටන් ගත්තාය.

 

“මට හරි බයයි රත්තරන්. අපි කොච්චර අපේ පාඩුවේ ඉන්න හැදුවත් කවුරු හරි අපිට කරදර කරන්න එනවනෙ. මුලින්ම ගයාන්. ඊට පස්සෙ ශානක. දැන් මගේම නංගි. තව කවුරු අපිට කරදර කරන්න ඉන්නවද දන්නෑ. බබා… මොනව වුණත් ඔයා මාව දාල යන්නෙ නෑ නේද?” පැවසූ ඇය නැවතත් තම පෙම්වතාව සිපගැනීමට පටන් ගත්තාය.

 

“ඔයා ඇරෙන්න වෙන කෙනෙක් ගැන මට දැන් හිතන්නවත් බෑ. ඒත්… ඒත් බබා… ආකාශ් තරුපති කියන කෙනා මැරුණොත් මොකද වෙන්නෙ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!