Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 22
ISBN 978-955-44323-2-1
එම වදන් ඇසුණු විගසම ලෝචනා ආකාශ්ගේ මුහුණ දෑතින්ම අල්ලා තමා දෙසට හරවාගෙන ඔහුගේ දෙනෙත දෙස කෙලින් බැලුවාය. ඔහුගේ වදන් ඇයගේ සිත තුල පැහැදිලි කළ නොහැකි විශාල බියක් ඇති කළේය.
“මොනවද බබා මේ කියවන්නෙ? ඔයාට පිස්සුද?”
එයට පිළිතුරක් ආකාශ් සතුව නොවිය. ඔහු නිහඩවම බිම බලා ගත්තේය. එක්වරම සිතට නැගුනු තදබල වේදනාවක් හේතුවෙන් ඔහුටම නොදැනි ඔහුගේ දෙනෙත තෙත් විය.
තම පෙම්වතා බිම බලාගෙන කල්පනා කරනු ලෝචනා මොහොතක් බලා සිටියාය. ඇය නැවතත් ඔහුගේ මුහුණ තමා දෙසට හරවාගෙන ඔහුව සිපගැනීමට සූදානම් වූවා පමණි. ඔහුගේ දෙනෙතේ රැදුනු කදුළු ලෝචනා දුටුවාය.
“බබා… අනේ ඇයි මේ ඔයාගෙ ඇස් වල කදුළු? මොකද මේ?”
“ක… කදුළු. ආ… නිකන්ම ඇවිල්ල.” පැවසූ ඔහු තම ඇගිලි වලින් දෑස පිසදා ගත්තේය. නමුත් ඒ සමගම අලුත් කදුළු බිදුවක් ඔහුගේ දෙනෙතින් මතුවිය. එසේම සිතෙහි ඇති තදබල වේදනාවක් පිට නොකිරීමට ඔහු විශාල ආයාසයක් ගන්නා බව ලෝචනා නිරීක්ෂණය කළාය.
ආකාශ් යනු කවුරුන් දැයි ලෝචනා ඉතා හොදින් දැන සිටියාය. ඔහු පහසුවෙන් කඩා නොවැටෙන, ඉතාමත් ධෛර්යය සම්පන්න සහ ඉතාමත් ඉහළ දරාගැනීමේ ශක්තියකින් යුතු පුද්ගලයෙකි. සැබවින්ම ඒවා ආකාශ් සතුව තිබූ ලෝචනා බෙහෙවින් ඇලුම් කළ ගුණාංග විය. ඔවුන්ගේ ආදර කතාව පටන්ගත් දිනයේ පටන් මේ වන තුරු ඇය කිසිදු දිනක ආකාශ්ගේ කදුළු දැක තිබුණේ නැත.
මීට පෙර ඇය හඩා වැටෙන විට සැනසුම් බස් දෙඩුවේ ඔහුය. ඇය බිය වූ විට ඇගේ තනියට සිටයේ ඔහුය. ඇගේ ධෛර්යය හීන වී යන විට ඇයට ශක්තියක් වූයේද ඔහුය. නමුත් අද තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. කිසිදිනෙක දැක නොතිබූ ඔහුගේ කදුළු දුටු ඇය බියට පත් වූවා පමණක් නොව ඇයට එය දරාගැනීමටද අපහසු විය. ඒ නිසාම ඇයගේ දෙනෙතද තෙත් විය.
මෙය තම නැගණිය දැමූ ප්‍රශ්නය නිසා නොවිය යුතු බව ඇයට හැගුණි. ආකාශ් යනු කිසිසේත්ම එවැනි සුළු දෙයකට කඩා වැටෙන පුද්ගලයෙකු නොවේ. මෙය අනිවාර්යෙන්ම වෙනත් දෙයක් විය යුතුය. නමුත් එය හාරා අවුස්සා ඇසීමට ඇය උත්සහ නොකළේ එයින් ඔහු තවත් දුකට පත්වනු ඇතැයි සිතුණු නිසාය. සුදුසු අවස්ථාවකදි ඔහු අනිවාර්යෙන්ම මෙය තමාට පවසන බව ඇය දැන සිටියාය. එම නිසා මේ මොහොතේ තමා කළ යුත්තේ ඔහුගේ දුක නිවීමයි. තවත් පමා නොවූ ඇය ඔහුව තුරුළු කරගෙන ඔහුගේ මුහුණත්, දෙතොලත් ඉමහත් ආදරයෙන් සිපගන්නට විය.
ඒ අයුරින් මිනිත්තු කිහිපයක් එකදිගට සිපගැනීම හේතුවෙන් ඇයගේ රාගික හැගීම් ඉතා තදින් ඇවිස්සුනි.
“බබා, අපි දැන් අරහෙට යමුකො.” ඇය පැවසුවේ ඔහුට තවත් තුරුළු වෙමිනි.
“කොහෙටද?”
“කොහෙටද කියල අහන්නෙ ඉතින්. වෙන කොහෙටද? කුඩේ නැතුව වැස්සෙ තෙමෙන්න.”
“මෙච්චර ඉක්මණට? දැන්ම එහෙ යන එක අපරාදෙනෙ. අපි එහෙට හවස් වෙලා යමු. දැන් මට යන්න හිතෙන වෙන තැනක් තියෙනව.”
“කොහෙද?”
“ක්ලබ් එක මේ වෙලාවෙ ඇරලද?”
“බාර් එකයි, ඩාන්සින් ෆ්ලෝර් එකයි නම් දැන් වහල ඇත්තෙ. ඒක අරින්න තව හවස් වෙයි. හැබැයි ඔපන් ඒරියා එකයි රෙස්ටුරන්ට් එකයි ඇරල ඇති. ඇයි?”
“අපි ක්ලබ් එකට පොඩ්ඩක් යමුකො. කාලෙකින් ගියෙ නෑ. අර අපි දෙන්න මුලින්ම හම්බවෙලා කතා කරපු ඔපන් ඒරියා එකේ තියෙන ටේබල් එක. අන්න එතනට යමු.”
ඇය පුදුමයට පත්ව ඔහු දෙස බැලුවාය. අද හමුවූ මොහොතේ පටන් ඔහු කිසියම් ආකාරයක සිත් තැවුලකින් පසුවන බව ඇයට දැනුණි.
“ඇයි බබා කවදාවත් නැතුව අද එතන්ට යන්න හිතුනෙ? මට ඇත්ත කියන්න රත්තරං. ඔයා මොකක් හරි ප්‍රශ්නෙක නේද ඉන්නෙ?”
“නෑ නෑ. එහෙම අවුලක් නෑ. ඔයා හිත කරදර කරගන්න එපා. එක්සෑම් වැඩයි, ජොබ් එකේ වැඩයි අස්සෙ ඔයාගෙ නංගිත් ප්‍රශ්නයක් දාපු හින්ද මං ටිකක් ට්‍රෙස් වුණා. දැන් ඒවා හරි.”
“එහෙනම් කවදාවත් නැතුව ක්ලබ් එකට යමු කිව්වෙ? අපි මුලින්ම හම්බවෙච්ච තැනට.”
“ආ… ඒ නිකමට. අද දවසම මං ඔයා එක්ක ඉන්න නිසා අපි ඉස්සර ඉදන් ආපු ගියපු තැන් වලට මට යන්න හිතුනා.”
මිනිත්තු පහළොවකට පමණ පසුව ඔවුන් දෙදෙනා සමාජ ශාලාව වෙත ළගා විය. වේලාව තවමත් සවස තුන වූ නිසා මේස බොහෝමයක් හිස්ව පැවති අතර එහි ගැවසුනේ ක්‍රීඩා කිරීමට පැමිණි සීමිත පිරිසක් පමණි. ආකාශ්ව සහ ලෝචනාව හදුනන කිසිවෙකුත් මෙවැනි වෙලාවක සමාජ ශාලාවට නොපැමිණෙන බව දන්නා හෙයින් ඔවුන් දෙදෙනා එහි ඇවිද ගියේ ඔවුනොවුන්ගේ දෑත් පටලවාගෙනය.
“අන්න තියෙනව අපි දෙන්නගෙ ටේබල් එක.” ආකාශ් දුර තියාම පැවසුවේය. සැබවින්ම එම ස්ථානය ඔවුන් දෙදෙනාගේ ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක් විය.
“එදා ඔයා හිටියේ මෙන්න මෙතන. කෝ ඉතින්, ඉදගන්න.” පවසමින් ආකාශ් ලෝචනාව පුටුවේ ඉන්දෙව්වේ ඔවුන් දෙදෙනා හමුවූ පළමු දිනය මෙනෙහි කරමිනි.
“මං අතන දොරෙන් එළියට එනකොට තමයි ඔයාව මුලින්ම දැක්කෙ. හැබැයි එදා මගේ කලිසම් සාක්කුවෙ නසීර් කියල කෙනෙක් හදන්න දුන්න පොඩි පිස්ටල් එකකුත් තිබුණා. මං ඔයාට කිව්වෙ. ඉතින් ඒ වෙලාවෙ ඔයාට කතා කරනවද නැද්ද කියල හිතේ දෙගිඩියාවෙන් තමයි මං මෙතනට ආවෙ.”
“හානේ, ඉතින් බබා ඔයා නිකමට හරි එදා මාත් එක්ක කතා කරන්නෙ නැතුව ගියා නම් අද අපි දෙන්න අදුරන්නෙවත් නෑ නේද?”
“ඒක තමයි මාත් මේ කල්පනා කළේ. අනේ ඉතින් එහෙම වුණා නම් මේ කරදර මුකුත් නෑනෙ.” ආකාශ් පැවසුවේ තම මුවින් පිටවීමට එන සිනහව තද කර ගනිමිනි.
“මැට්ටා… මං තරහයි.” බොරු තරහ මුහුණක් මවා ගනිමින් ලෝචනා පැවසුවේ ආකාශ්ගේ උරහිසට පහරක් ගසමිනි.
“හරි හරි. අම්මො මෙන්න ලොකු මැඩම්ට ආපහු තරහ ගියා. මේ… අපි එදා වුණ විදියටම අදත් කරමු. දැන් ඔයා ඔතන ඉදගෙන අර පැත්ත බලාගෙන ඉන්න. මං එදා ආව වගේ එන්නම්.”
ආකාශ් පැවසූ පරිදි ලෝචනා නුදුරින් පෙනෙන මුහුදු වෙරළ දෙස බලාගෙන සිටියාය.
“මම මෙතන ඉදගන්නද?”
ඇයට අතීතය සිහිපත් විය. එදා ආකාශ්ව හමු වූ මොහොතේ පටන් සිදුවූ සියල්ල මෙන්ම ඔවුන් දෙදෙනා අතර හුවමාරු වූ දෙබස් පවා ඇයට ඉතා හොදින් මතකයේ රැදී තිබුණි.
“ආ… කමක් නෑ. ඉදගන්න. ඔයා මාව දන්නවද? මට නම් මතකයක් නෑ.”
“නෑ නෑ. අපි මීට කලින් හම්බවෙලා නෑ. මං මෙතනට ආවේ මගේ පොඩි හොබී එකක් තියෙනව. ඒක කරන්න.”
දෙබස වෙනස් කරමින් ඔහු මේ සැරසෙන්නේ තමාව ඇවිස්සීමට බව ලෝචනා වටහා ගත්තාය. එම නිසා එයට නිසි පිළිතුරු දීමට පෙර ඇය මේසය මත වූ ඔහුගේ අතක් අල්ලා ගත්තාය.
“මොකද්ද හොබී එක?”
“මේ වගේ ක්ලබ් වල තනියෙන් ඉන්න කෙල්ලන්ව ටෝක් කර කර යන එක තමා මගේ හොබී එක. එක හරි ජොලි වැඩක් අප්පා.”
“ආ… ඇත්තද? එන්නකො එහෙනම්. ටෝක් කරන හැටි මං පෙන්නන්න.” සිනාසෙමින් ඇය පැවසුවේ අල්ලාගෙන සිටි ඔහුගේ අතක් කොනිත්තමිනි.
තවත් තත්පර කිහිපයක් ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ දෙනෙත දෙස බලා සිටියේ අතීත සිද්ධීන් මෙනෙහි කරමිනි. අවසානයේ නිහඩතාවය බිද දැමුවේ ආකාශ් විසිනි.
“බලන්නකො බබා… කාලෙ ගිය ඉක්මණ. අපි දෙන්නගෙ ස්ටෝරි එකට දැන් අවුරුදු දෙකකටත් කිට්ටුයි. මේ කාලෙදි අපේ ජීවිත වලට කොච්චර නම් දේවල් වුණාද. නේද?”
“හ්ම්, ඔක්කොමත් හරි. පණ්ඩිතයා මං කියන දේ අහන්නැතුව පොලිස් ජොබ් එකට ගිය එක තමයි වැඩේ. මට නම් තාමත් කේන්තියි ඒකට.”
“හරි හරි. මං ඒකෙන් අයින් වෙන්නනෙ ඉන්නෙ.”
ඉන්පසුව ඇති වූයේ තත්පර කිහිපයක නිහඩතාවයකි.
“ඉතින් කියන්නකො රත්තරං. ඇයි අද මෙතනට එන්න හිතුනෙ?”
“නිකමට. අපි දෙන්න පටන් ගත්තෙ මෙතනින්නෙ. ඉතින් ආපහු මෙතනට ඇවිල්ල ඒ ෆීලින් එක ගන්න මට ආස හිතුනා. ඒකයි.”
“මාත් මෙතනට ගොඩක් ආසයි. අපි දෙන්න තරහවෙලා හිටපු දවස් වල මං මෙතනට තනියම ඇවිල්ල අඩලත් තියෙනවා.”
“අනේ සොරි බබා. හැබැයි ඔයා මාත් එක්ක තරහවෙලා හිටියට මං ඔයත් එක්ක තරහ වුණේ නෑ හරිද.” පැවසූ ආකාශ් තත්පර කිහිපයකට පසුව නැවතත් තම හඩ අවදි කළේය.
“ආපහු හැරිල බැලුවහම පේනවා මේ අවුරුදු දෙක තමයි මගේ ජීවිතේ ලස්සනම වගේම වැදගත්ම අවුරුදු දෙක. කැම්පස් ගියා, ඔයාව හම්බවුණා, තුවක්කු හැදුවා, හිරේ ගියා, ගෙදර මිනිස්සු තරහ වුණා, පොලිස් ජොබ් එකකට ගියා, ඊට පස්සෙ ඔයා තරහ වුණා, ආපහු යාළු වුණා, තව එක එක ජාතියේ කට්ටිය හම්බවුණා… කොච්චර නම් දේවල් වුණාද. හැබැයි ඒ හැම එකක් ගැනම හිතල බැලුවට පස්සෙ ඒ වෙච්ච දේවල් වලින් මං ඔයත් එක්ක හිටපු කාලේ තමයි ලස්සනම කාලෙ කියල මට හිතෙනවා.”
“බබා. මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කෙනෙක්ට ආදරේ කරන්නෙ කොහොමද… හරියටම කියනව නම් කෙනෙක්ට ඇත්තටම හරියටම ආදරේ කරන්නෙ කොහොමද කියල මං ඔයාගෙන් තමයි ඉගෙන ගත්තෙ. ඔයා මාත් එක්ක රණ්ඩු කරනකොට ඒ වෙලාවෙ දුක හිතුනට දැන් ඒවා ආපහු මතක් කරනකොට හරි ලස්සනයි. ඔයාව හම්බවෙන්න කලින් මගේ ජීවිතේ නිකම්ම එකක්. ඔහේ ගෙවිල ගියා. හැබැයි ඔයාට ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ තමයි මට මාවත් හරියටම තේරුම් ගන්න පුළුවන් වුණේ. අනිත් කෙනාගෙ සතුටටයි යහපතටයි වැඩ කරන්න ඕනෙ කොහොමද කියල මං ඔයාගෙන් තමයි හරියටම ඉගෙන ගත්තෙ.”
ඇය අල්ලාගෙන සිටි ඔහුගේ ඇගිලි අතගාමින් ඉමහත් ආදරයෙන් යුතුව ආකාශ්ගේ දෙනෙත දෙස බලා සිටියාය. ඇයගේ අතක් ගෙන සිපගත් ආකාශ් තත්පර කිහිපයකට පසුව නැවතත් කතා කරන්නට විය.
“ඉතින් බබා, මගේ ජීවිතේ වැදගත්ම අවුරුදු දෙක ගොඩාක් ලස්සන කරාට ඔයාට ගොඩක් පින්. මට කවදාවත් මේ ලස්සන අවුරුදු දෙක නම් අමතක වෙන්නෙ නෑ.”
ඔහුගේ අවසන් වදන් කිහිපය නැවතත් ඇයගේ සිත තුල පැහැදිලි කළ නොහැකි බියක් ඇති කළේය. ඒ නිසාම ඇය ඔහුගේ දෑත තදින් අල්ලා ගත්තාය.
“බබා, ඔයා අද හරි වෙනස්. මීට කලින් ඔයා කවදාවත් මේ වගේ දේවල් කියල නෑ. ඒත් ඇයි මේ අද? මට මොකද්දෝ මහ බයකුත් දැනෙනවා.”
“බයක්? ඒ මොකද?”
“ඔයා මහ අමුතු දේවල්නෙ අද කියන්නෙ.”
“අයියෝ බබා. ඕක එච්චර හිතන්න එපා. අද අපි මෙතනට ආපු නිසා මට පරණ දේවල් මතක් වුණා. ඒකයි එහෙම කිව්වෙ. මේ… ඒක නෙමෙයි. අද ඩිනර් එක මං ගානෙ. මොනවද කන්නෙ?”
“ම්… අද නම් මට පිට්සා එකක් ඕනෙමයි. ඩෙවල් චිකන් එකක්.”
“ඕකේ මැඩම්. වෙන?”
“අනිත් ඒව ඒක කාල ඉවරවෙලා කියන්නම්කො. මේ බබා… දැන් මෙතන හිටිය ඇති නේද? දැන්වත් අපි යමුකො.”
“කොහෙටද?”
“මැට්ටා… ආපහු කොහෙටද කියල අහන්නෙ. මං කියන්නෑ.” ඇය පැවසුවේ ඔහුගේ ඇගිල්ලක් සපමිනි.
“ආ… ආව්. ඕකේ ඕකේ මැඩම්.” පැවසූ ආකාශ් පුටුවෙන් නැගී සිටි ඇය වෙත තම සුරත දිගු කළේය.
“එහෙනම් සොදුරිය. එන්න මා සමග කුඩයක් නැතිව වැස්සෙ තෙමෙන්න.”
ඔහුගේ අතින් අල්ලාගත් ලෝචනාද පුටුවෙන් නැගී සිට වටපිට බැලුවාය. අසල තිබූ මේස වල කිසිවෙකුත් නොසිටියහ. එක්වරම ඔහු වෙත ළං වූ ඇය ඔහුගේ දෙතොල සිපගෙන දෙනෙත් දෙස එක එල්ලේ බලා සිටියාය.
“මං අද ඔයාව කනවා.” ලෝචනා පැවසුවේ දගකාර සිනහවක් පාමිනි.
ඉන්පසුව ඔවුන් දෙදෙනා දෙඅත් පටලවාගෙන සමාජ ශාලාවේ පිටවීමේ දොරටුව වෙත ළගා විය. ආකාශ් අවසන් වරට ඔවුන් දෙදෙනා ප්‍රථම වතාවට හමුවී කතා බහ කළ ඒ ආදරණිය ස්ථානය දෙස හැරී බැලුවේය. ඔහුගේ සිත එක්වරම විශාල හිස් කමකින් සහ කණගාටුවකින් පිරී ගියේය. ක්‍රමයෙන් මේ ගෙවී යන්නේ තමන් ලෝචනා සමග ගත කරන අවසාන පැය කිහිපයයි.
* * *
නිම්සරා ශෝකයෙන් සහ කෝපයෙන් දැවෙමින් සිටියාය. දැන් දින දෙකක සිට ඇය ආකාශ්ව දුරකතනයෙන් ඇමතීමට උත්සහ කළද සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. ආකාශ් තමාගේ ජංගම දුරකතන අංක සියල්ල අවහිර කර ඇති බව ඇය දැනගත්තේ තම මිතුරියක ලවා ආකාශ්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබා දීමෙනි. එසේම තම සොහොයුරියද දැන් දින දෙකක සිට තමා සමග හරි හැටි කතා නොකරන බව ඇයට නිරීක්ෂණය විය. දෙදෙනාම එකතු වී තමන්ව මෙයින් ඉවත් කිරීමට උත්සහ කරන බව ඇයට වැටහුණි. නමුත් නිම්සරා යනු ලෙහෙසියෙන් පරාජය බාරගන්නා අයෙකු නොවිය. හොදින් හෝ නරකින් තමන් ආකාශ්ව ලබාගන්නා බව ඇය සිතාගෙන සිටියාය.
තවත් ප්‍රමාද නොවූ නිම්සරා ලෝචනාගේ කුටියට ගියාය. ලෝචනා සිටියේ තම සයනයේ හාන්සි වී මීට දින දෙකකට පෙර සිදු වූ හමුවේදී ආකාශ් සමග එකට ගත් ඡායාරූප තම ජංගම දුරකතනයෙන් නරඹමිනි.
“අක්කි. මට ඔයාගේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකො.”
“මොකටද?”
“මගේ සිම් එක වැඩ කරන්නෙ නෑ වගේ. ඔයාගෙ එකට පොඩ්ඩක් දාල බලන්න.”
“අම්මගෙ ෆෝන් එක ඉල්ලගෙන බලන්න. මං දැන් ෆෝන් එකේ වැඩක්.”
“එයාගෙ ෆෝන් එක හරියන්නෙ නෑ අනේ. මට ඕක ටිකක් දෙන්නකො. ඉක්මණට දෙන්නම්.”
“ඔයාගෙ සිම් එක ගලවල දෙන්න. මං බලල කියන්නම්.”
“අයියො පරක්කු වෙන්න බෑ. මට හදිසි කෝල් එකක් ගන්න තියෙනවා. ෆෝන් එක පොඩ්ඩක් දෙන්නකො අනේ.”
තම නැගණිය මේ සැරසෙන්නේ කුමකට දැයි ලෝචනාට මේ වන විට වැටහී තිබුණි. තමා මේ සම්බන්ධයෙන් නිම්සරා සමග ආරවුලක් ඇති කර නොගන්නා බවට ලෝචනා ආකාශ්ට පොරොන්දු වී තිබුණද දැන් ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබුණි.
“නංගි, මං දන්නවා තමුසෙ මගේ ෆෝන් එක අරගෙන මොකද්ද කරන්න යන්නෙ කියල. ආකාශ් මට හැමදෙයක්ම කිව්ව. දැන් හරිනෙ. එයා තමුසෙව බ්ලොක් කරල දාලනෙ. අනික ඔයා දන්නව නේද අපි දෙන්න තව ටික කාලෙකින් මැරි කරන්න ඉන්නෙ කියල. ඉතින් තමුසෙට ලැජ්ජ නැද්ද මේ වගේ වැඩ කරන්න… ආ?”
එම වදන් ඇසූ සැනින් නිම්සරාගේ මුහුණ අධික කෝපයෙන් රත් පැහැ විය. ඇගේ සිත තුල ඔවුන් දෙදෙනා කෙරෙහි සියුම් වෛරයක් උපන්නාය.
“හහ්… මැරි කරන්න. හම්බෙයි මැරි කරන්න.”
“මොකද්ද කිව්වෙ?”
“මං කියපු දේ ඇහුනනෙ. ඔයා හිතන් ඉන්නව නම් ආකාශ් අයියව ලේසියෙන් මැරි කරන්න පුළුවන් වෙයි කියල… බලන් ඉන්නවකො.”
“ඇයි? තමුසේ මොනව කරන්නද?”
“කරන දේ මං ඒ වෙලාවට කරල පෙන්නන්නම්. මෙච්චරයි කියන්න තියෙන්නෙ. මං ඉන්නකන් ඔයාට ආකාශ් අයියව මැරි කරන්න දෙන්නෙ නෑ. මට එයාව ඕනෙ.”
“ලෝචනා ස්වල්ප මොහොතක් නිම්සරා දෙස බලා සිටියාය. ඇගේ සිත නිම්සරාගේ මෙන් තද එකක් නොවිය. ඒ නිසාම මෙතෙක් වේලා සිතේ පැවති තදබල කෝපයට දුකක් සහ බියක් එක් විය. එම නිසා ඇගේ දෙනෙතින් කදුළු බිදු රූටා ගලන්නට විය.
“ඇයි නංගි ඔයා අපිට මෙහෙම කරන්නෙ? මං මොකද්ද ඔයාට කරපු වැරැද්ද?” ලෝචනා පැවසුවේ හඩමිනි. තමාගේම සොහොයුරිය තමන්ට මේ අයුරින් පිටුපෑම පිළිබදව ලෝචනාගේ සිතෙහි ඇති කළේ තදබල වේදනාවකි.
“වැරැද්ද? වැරැද්ද තමයි ඔයා එයාව මැරි කරන්න හදන එක. ඔයාව එයාට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ. එයාට මැච් වෙන්නෙ මාව.”
එම වදන් ඇසූ ලෝචනාගේ කෝපයද නැවතත් තදබල අයුරින් ඇවිස්සුනි. නිම්සරාගේ මුහුණ හරහා අතුල් පහරක් එල්ල කිරීමට සිතුනද තමන් ආකාශ්ට දුන් පොරොන්දුව නිසා ඇය ඉතා ආයාසයෙන් එම සිතිවිල්ල මැඩ ගත්තාය.
“තමුසේ කොහොමද එහෙම කියන්නෙ? අනික තමුසෙ මොනවද ආකාශ් ගැන දන්නෙ?”
“ඇයි අක්කි ඔයා හිතන්නෙ මට වඩා දෙයක් ඔයා ආකාශ් ගැන දන්නව කියලද?”
“ඔව්. මං එයා ගැන හැමදෙයක්ම දන්නවා. තමුසෙට කවදාවත් දැනගන්න බැරි දේවලුත් මං දන්නවා. අනික අපි තාම මැරි නොකළට මැරි කළා වගේ තමයි.”
“ඔව්. මං එක දන්නවා. ඒ ඉස්සරනේ. ඒත් එයා ආපහු ඔයත් එක්ක සෙක්ස් කරන්න එන්නෙ නෑ. ආකාශ් අයිය මට පොරොන්දු වුණා.”
“ආ… ඇත්තද? එහෙමද තමුසේ හිතන් ඉන්නෙ. හැබැයි මං නම් පෙරේදත් එයත් එක්ක හොදට එන්ජෝයි කළා.”
“මොකද්ද?”
“ඇයි? විශ්වාස නැද්ද? එහෙනම් මේක බලනවා.”
එසේ පැවසූ ලෝචනා තම ජංගම දුරකතනයෙහි වූ ඡායරූපයක් නිම්සරාට පෙන්වූවාය. එය ඔවුන් දෙදෙනා සයනයක් මත සුදු පැහැති එකම ඇද රෙද්දකින් ඔවුනොවුන්ගේ සිරුරු ඔතාගෙන සිටින විට ගත් සෙල්ෆි ඡායාරූපයකි.
නිම්සරා විශාල කරගත් දෙනෙතකින් යුතුව අතින් තම මුව වසාගෙන ඒ ඡායාරූපය දෙස තත්පර කිහිපයක් බලා සිටියාය. තමාගේ මුළු සිරුරම ශෝකයෙන්, කෝපයෙන් සහ ඉරිසියාවෙන් දැවී යන බවක් ඇයට දැනුණි. දරාගත නොහැකි වේදනාව හේතුවෙන් මීලග මොහොතේ නිම්සරා ඉකිගසා හඩා වැටෙන්නට විය. නමුත් සුළු මොහොතකට පසුව ඇය නැවතත් කතා කිරීමට පටන් ගත්තාය.
“තමුසෙ හිතාගෙන ඉන්නව නම් ආකාශ්ව මැරි කරන්න… බලන් ඉන්නවකො මං ඒක කරන්න දෙයිද කියල. මට එයාව ලැබෙන්නෙ නැත්නම් තමුසෙටත් නෑ.” නිම්සරා පැවසුවේ හඩා වැටෙමිනි.
“ඇයි මොනව කරන්නද?”
“මං තාත්තිට හැමදෙයක්ම කියනවා.”
“ඉතින් කියනවා. මං කොහොමත් අද හෙටම තාත්තිට කතා කරන්න තමයි හිටියෙ.”
“තමුසෙ හිතන් ඉන්නෙ මැරයන්ගෙ වේපන්ස් හදල පොලිසියට මාට්ටු වෙලා හිරේ හිටපු එකෙක්ව අපේ පවුලට එකතු කරගන්න තාත්ති කැමති වෙයි කියලද? බලන් ඉන්නවකො…”
එසේ පැවසූ නිම්සරා ලෝචනාට රවමින් කාමරයෙන් පිටතට ගියාය. මීලගට නිම්සරා සිදුකරන්නේ කුමක් දැයි ලෝචනා හොදින්ම දැන සිටියාය. තමා ආකාශ් පිළිබදව සියලු දේ තම නැගණියට පැවසිමෙන් කරගත්තේ මහා මෝඩකමක් බව ඇයට සිතුණි. නිම්සරා ‘තාත්තී’ යැයි කියමින් තම පියාව අමතන හඩ ඇය අසිහියෙන් මෙන් අසා සිටියාය.