Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 23

ISBN 978-955-44323-2-1

ලෝචනාගෙත් ආකාශ්ගෙත් අවසන් හමුවීම සිදුවී මේ වන විට දින දෙකක් ගත වී ඇත. දැන් උදා වී ඇත්තේ ආකාශ් තරුපති නමැති චරිතය මිය යන දිනයයි. සැලසුමට අනුව ඒ සදහා නියමිත වේලාව ක්‍රමයෙන් ළගා වන බව ආකාශ්ට පෙනුණි. තම සගයන් දෙදෙනා ගමනට බෝට්ටුව සූදානම් කරන අතරතුරදී ආකාශ් බෝට්ටුවේ ඉදිරි කෙළවරට ගොස් ඈතින් නැංගුරම් දමා තිබූ නෞකාව දෙස බලා සිටියේය.

 

හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාද වෙන්නට විය. ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කිරීමට අතපසුවීම පිළිබදව තමන්ටම දොස් පවරා ගනිමින් එය තම සාක්කුවෙන් පිටතට ගත් ආකාශ් එහි තීරය දෙස බැලුවේය. ඇමතුම ලෝචනාගෙනි. සිතෙහි කැකෑරෙන වේදනාත්මක සිතිවිලි ඉතා අපහසුවෙන් පාලනය කරගෙන සිටින මොහොතක් වූ හෙයින් මෙම ඇමතුමට පිළිතුරක් දෙනවාද නැද්ද යන දෙගිඩියාවෙන් ඔහු තත්පර කිහිපයක් ජංගම දුරකතන තීරය දෙස බලා සිටියේය. නමුත් අවසානයේ සිතට ධෛර්යය ගත් ආකාශ් ඇමතුමට පිළිතුරු දුන්නේය.

 

“හලෝ බබා.”

 

නමුත් ඔහුව විමතියට පත්කරමින් අනිත් පසින් ඇසුණේ රළු පිරිමි කට හඩකි.

 

“මේ ලෝචනා නෙමෙයි කතා කරන්නෙ. එයාගේ තාත්තා. මං ජයලත් දිසානායක. ආකාශ් කියන්නෙ තමුන්ද?”

 

තමාව ඇමතූ එම ස්වරයෙන්ම ලෝචනාගේ නිවසේ යමක් සිදු වී ඇති බව ආකාශ් වටහා ගත්තේය. බොහෝ දුරට එය නිම්සරා විසින් ඇති කළ ප්‍රශ්නයක් විය හැක. නමුත් එයින් ඔහුගේ සිතෙහි කිසිදු කැළඹීමක් ඇති නොවිය. ආකාශ් තරුපති යන චරිතය මිය යාමට ආසන්න හෙයින් ආකාශ් නමැත්තාට කුමක් සිදු වූවත් ඔහුට ගැටලුවක් නොවිය.

 

“ඔව් මිස්ටර් ජයලත්. මං තමයි.”

 

“මට ඔබතුමා එක්ක බොහොම වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. දැන් කතා කරන්න පුළුවන්ද?”

 

“දැන් නම් මං ඩියුටි එකක ඉන්නෙ. ගොඩක් වෙලා යන්නෙ නැත්නම් අවුලක් නෑ. කියන්න.”

 

“මනුස්සයෝ… තමුන්ගෙ ඩියුටියට වඩා මේක ලොකු ප්‍රශ්නයක්. මට මේකට කෙලින් උත්තරයක් දෙන්න. තමුන්ට මගේ ලොකු දුවත් එක්ක තියෙන සම්බන්ධෙ මොකද්ද? ඒක යාළුකමක් විතරද? නැත්නම් ඊට එහා ගිය එකක්ද?”

 

“අනේ තාත්ති, ඔය කතාව නවත්තල මට ෆෝන් එක දෙන්න. මං ඔයාට කතා කරන්නයි හිටියෙ. විස්තර ඔක්කොම මං කියන්නම්.” 

 

දුරකතනය තුලින් ආකාශ්ට ලෝචනාගේ හඩ ඇසුණි. එසේ නම් මොහු තමාව අමතන්නෙ ලෝචනාව ළග තබාගෙන විය යුතුය. එමෙන්ම තමා පවසන දෙයද ලෝචනාට ඇසෙනු ඇත.

 

“ඊට එහා ගිය එකක්. අපි දෙන්න ආදරේ කරනවා.” කිසිදු පැකිලීමකින් තොරව ආකාශ් පැවසුවේ ලෝචනාගේ සිතට සතුටක් ගෙන දීමටය.

 

“කෙලින් උත්තරයක් දීපු එකට තැනක් යූ පුතා. හැබැයි මේක පටන්ගන්න කලින් ඔය දෙන්න ගැලපෙනවද කියල කල්පනා කරල බැලුවද? මං ඒක අහන්න හේතුව මේකයි. මං දන්නව ඔයා කාලයක් නීතිවිරෝධි වැඩ කරල හිරේ හිටපු එක්කෙනක් කියල.”

 

“ලෝචනා එක්ක මං එෆෙයාර් එකක් පටන් ගත්තෙ එයා මිනිස්ටර් කෙනෙක්ගෙ දුවෙක් නිසා නෙමෙයි. මං ඇත්තටම එයාට කැමති නිසා. ඒ හින්ද මං නම් හිතන්නෙ අපි දෙන්න හොදට ගැලපෙනව කියල. අනිත් එක මං හිරේ හිටියෙ නෑ. පොඩි ප්‍රශ්නයක් වෙලා සතියක් විතර රිමාන්ඩ් එකේ හිටියෙ. දැන් නම් මට විරුද්ධව නීතිය පැත්තෙන් කිසිම චෝදනාවක් නෑ.”

 

“ඒ වුණාට මනුස්සයෝ තමුන් වගේ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් අපේ පවුලට සම්බන්ධ වුණාට පස්සෙ මගේ පොලිටිකල් කැරැක්ටර් එකට මොකද වෙන්නෙ කියල තමුන් කල්පනා කරල බැලුවද? අනික තමුන් හිතන් ඉන්නෙ ඔය දෙන්නගෙ සම්බන්දෙට මං කැමති වෙයි කියලද?” ජයලත් පැවසුවේ කෝපය මුසු වූ හඩකිනි.

 

“මොනවද තාත්ති මේ කියවන්නෙ. නංගි කියපු දේවල් අහලද ඔයා මේ තීරණ ගන්න හදන්නෙ. ඔයා මුලින් මාත් එක්කයි මේ ගැන කතා කරන්න ඕනෙ. ආකාශ්… බබා, මං කියන දේ ඇහෙනව නේද? ඔයා දැන් කෝල් එක කට් කරන්න. මං අපේ තාත්තිත් එක්ක මේ ගැන කතා කරන්නම්.” ලෝචනා ආකාශ්ට ඇසෙන පරිදි උස් හඩින් කතා කළාය.

 

“මිස්ටර් ජයලත්. ඇත්තටම මට දැන් මේ කෝල් එක කට් කරන්න වෙනවා මොකද මං දැන් ඩියුටි එකක ඉන්නෙ. හැබැයි මං මේක කියල ඉන්න ඕනෙ. කිසිම හේතුවක් නිසාවත් මිස්ටර් ජයලත්ගෙවත්, ලෝචනාගේ අම්මගෙවත් අකමැත්ත පිට මැරි කරන්න අපි හිතුවෙ නෑ. ඒ ගැන මං ලෝචනා එක්කත් කතා කරල තියෙනවා. අනිත් එක, මං ලෝචනාට ආදරේ කරන්නෙ එයා ඇමති කෙනෙක්ගේ දුවෙක් හින්ද නෙමෙයි. මං ඇත්තටම එයාට ආදරේ නිසා. ඒක තමයි මට කියන්න තියෙන්නෙ. ලෝචනා දැන් මේ ගැන ඔයත් එක්ක කතා කරනව කිව්වනෙ. ඉතින් ඔයාල කතා කරල හොද තීරණයක් ගන්න. මටත් ඕනෙ ලෝචනාට හොදම දේ දෙන්න. ඔයාලගේ තීරණේ මොකක් වුණත්, මොන දේ සිද්ධ වුණත් ලෝචනා සතුටින් ඉන්න ඕනෙ. මට ඕනෙ එච්චරයි.”

 

එසේ පැවසූ ආකාශ් ඇමතුම විසන්ධි කර තම ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර දැම්මේය. අවසාන වතාවට ලෝචනාට ඇසෙන පරිදි එවැනි දෙයක් පැවසීමට හැකි වීම ගැන ඔහුගේ සිත තුල යම් සැනසීමක් ඇති විය.

“මල්ලි, අපි දැන් පිටත් වෙමු නේද?” බෝට්ටුවට ගොඩ වූ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකු ආකාශ්ට පැවසූවේය.

 

“ආ… හරි, අපි යමු.”

 

ගමන ආරම්භ විය. ගොඩබිම දෙසට මද සුළගක් හැමුවද සයුර නිස්කලංක විය. මිනිත්තු පහළොවක් පමණ ගමන් කිරීමෙන් පසුව ඔවුන් නෞකාවට මීටර පන්සියයක් පමණ ආසන්න වූවෝය. ඒ සමගම ගිහාන් ඔහුව අධිතාක්ෂණික ක්‍රමය ඔස්සේ අමතන්නට විය.

 

“ඉතින් මිත්‍රයා. අපි දැන් වැඩේ පටන් ගමු. මං දැන් බෝට්ටුව තියෙන හරියෙ මුහුදු රැළි පොඩ්ඩක් වැඩි කරනවා. බෝට්ටුව ගැස්සෙන්න පටන් ගත්තට පස්සෙ අනිත් දෙන්නා කෙළවරවල් දෙකට යයි. ඔයා ඉස්සරහට වෙලා ඉන්න.”

 

ගිහාන් පැවසූ පරිදිම මීලග තත්පර කිහිපය තුල බෝට්ටුව තරමක් ගැස්සෙන්නට වූ හෙයින් නිලධාරීන් දෙදෙනා දෙපස වූ කෙළවරවල් වෙත ගොස් සමබරතාවය රැක ගැනීම පිණිස බෝට්ටුවේ බද අල්ලා ගත්තෝය.

 

“මිත්‍රයා, බෝට්ටුව පෙරලුවට පස්සෙ ඔයා අඩි හතරක් විතර වතුර යටට කිමිදෙන්න. යටට ගිය ගමන් ඔයා පීනන්න ඕන පැත්ත සුදු පාට ඊතලයකින් පෙන්නයි. ඒක ඔයාට විතරයි පේන්නෙ. වෙන කාටවත් පේන්නෙ නෑ. මොරටුවේ මං කියපු තැනට එනකන්ම ඔයා එන්න ඕන පැත්ත සුදු පාට ඊතලෙන් පෙන්නයි.”

 

“මං දැන් ටික ටික මුහුදේ රැළි වැඩි කරනවා. මං පහට ගණන් කරල ඉවර වුණ ගමන් ලොකු රැල්ලක් ඇවිල්ල බෝට්ටුව පෙරලෙයි. ඔන්න එහෙනම්… එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි.”

 

ගිහාන්ගේ ගණනය කිරීම අවසන්වීමත් සමගම එක්වරම පැමිණි වේගවත් මුහුදු රැල්ලකින් බෝට්ටුවේ ඉදිරිපස අංශක අනූවක් ඉහළට එසවී සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට පෙරළි මුහුදු ජලය මතට පතිත විය. මුහුදු රැල්ලෙහි වූ වේගය හේතුවෙන් ආකාශ් බෝට්ටුවේ සිට අඩි දොළහක් පමණ ඈතට විසිවී ගොස් මුහුදු ජලය මත පතිත විය.

 

ගිහාන්ගේ උපදෙස් අනුව අඩි පහක් පමණ දිය යටට කිමිදුනු පසුව පළමුවෙන්ම සිතට තරමක බියක් දැනුනද ඔහුට මුහුදු ජලය ඉතා පැහැදිලිව විනිවිද දැකිය හැකි විය. රාත්‍රී අන්ධකාරය ඔහුගේ පෙනීමට කිසිසේත්ම බාධාවක් නොවිය. මෙය තමා සතු තවත් විශේෂ හැකියාවක්ද, එසේත් නැතිනම් ගිහාන් විසින් ඇති කරන ලද තත්වයක්ද යන්න ආකාශ්ට සිතාගත නොහැකි විය. ඒ ගැන සෙවීම පසුවට කල් දැමූ ආකාශ් තමා යා යුතු දිශාව කුමක් දැයි සිතන විටම ඔහු ඉදිරියෙන් එක් දිශාවකට යොමු වූ සුදු පැහැති ඊතල සමූහයක් මැවුනි.

 

ආකාශ් ඒ දිශාවට පිහිනීම ඇරඹුවේය. ඔහු අපේක්ෂා කළ පරිදිම ඔහු සතු වේගය ධාවනයට සහ පැනීමට පමණක් සීමා වූ එකක් නොවිය. එය ඔහුගේ සියලුම චලනයන්ට යෙදිය හැකි එකක් බව ඔහුටම ඔප්පු වූයේ ඔහුගේ පිහිනීමේ වේගය අතිශයින්ම වේගවත් එකක් වූ නිසාය.

 

සුදු පැහැති ඊතල පෙන්වූ දිශාව ඔස්සේ අධික වේගයෙන් පිහිනා ගිය ඔහුට මොරටුව වෙරළ තීරයේ ගිහාන් පැවසූ ස්ථානයට පැමිණිමට ගත වූයේ මිනිත්තු හතරකටත් වඩා අඩු කාලයකි. වෙරළ දිගේ මීටර සියයක් පමණ ඉදිරියට ඇවිද ගිය ඔහුට ගිහාන් පැවසූ අතහැර දමා තිබූ ගරා වැටුණු ගොඩනැගිල්ල හමුවිය. එහි තිබූ ඇද වැටුණු කොන්ක්‍රීට් කණුවක් මත ගිහාන් වාඩි වී සිටියේය.

 

“ඉතින් මිත්‍රයා, ඔයාගේ අලුත් ජීවිතයට වගේම අධිතාක්ෂණික ලෝකයට සාදරයෙන් පිළිගන්නවා. එන්න, මොනව කරන්නත් කලින් මං ඔයාගේ ඇදුම් ටික වේලලා දෙන්නම්.”

 

එසේ පැවසූ ගිහාන් තමා අසලට පැමිණි ආකාශ් වෙතට තත්පර කිහිපයක් තම සුරත දිගු කරගෙන සිටියේය. අරුමයකි! ආකාශ්ගේ සිරුරේ සහ ඇදුම් වල තිබූ මුහුදු ජලය තත්පර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය.

 

“එදා මං ආපු ගමන් ඔයාගෙ කාමරේ කූල් කළේ. අන්න ඒ වගේ වැඩක් තමයි දැනුත් කළේ. අපිට තේරෙන බාසාවෙන් කිව්වොත් මුහුදු වතුරෙන් ඔයාගේ ඇගටයි ඇදුම් වලටයි ආපු අණු ඔක්කොම ටික ඔයාගෙ ඇගෙනුයි ඇදුම් වලිනුයි විකර්ෂණය කරල දැම්මා.” පැවසූ ගිහාන් තත්පර කිහිපයක් නිහඩව ආකාශ් දෙස බලා සිටියේය.

 

“ඉතින් මිත්‍රයා, මොකද හිතෙන්නෙ?”

 

“හ්ම්… අනේ මන්දා. හිතට හරි අමුතුයි. දුකකුත් තියෙනව, අලුත් බලාපොරොත්තුවකුත් තියෙනව, අමුත්තකුත් දැනෙනවා. හැබැයි ඔයා කිව්ව වගේම මේ වැඩේට හිත හදාගන්න මං හිතපු තරම් අමාරු වුණෙ නෑ.”

 

“අනිවාර්යෙන්ම… එහෙම වෙන්න ඕනෙ. මොකද මාස තුන හතරකට කලින් හිටපු මානසික මට්ටමේ නෙමෙයි දැන් ඔයා ඉන්නෙ.”

 

ආකාශ් ස්වල්ප මොහොතක් සාගරය දෙස බලාගෙන කල්පනා කරන්නට විය.

 

“ලෝචනා කොහොමද මේ ගැන දැනගන්නෙ? මං වැඩ කරපු තැන නිශා ඇරනහම වෙන කවුරුවත් මට ලෝචනා එකක් එෆෙයාර් එකක් තියෙනව කියල දන්නෙ නෑ.”

 

“ආ… එයා ඒක හෙට දවල් නිව්ස් වලින් දැනගනියි.”

 

“ලෝචනා එයගේ ජීවිතේට මුකුත් කරගන්න එකක් නෑ කියල ඔයාට ෂුවර් නේද?”

 

“මෙහෙමයි. ඕක දැනගත්ත ගමන් එයාට ලොකු ෂොක් එකක් එයි. ගොඩක් වෙලාවට මාසයක් විතර යනකන් එයා කා එක්කවත් කතා කරන්නෙවත් නැති වෙයි. ඊට පස්සෙ කතා කරන එක නම් හරි යයි. හැබැයි මුල් මාස හතර පහ ඇතුලත හිතේ දුක හුගක් වැඩි වෙච්ච වෙලාවට එයාට එයාගෙ ජීවිතේ නැති කරගන්න හිතෙන අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපිට මැදිහත් වෙලා එයාගෙ ඒ සිතිවිල්ල අපේ ටූල්ස් පාවිච්චි කරල තාවකාලිකව නැති කරල දාන්න පුළුවන්. නිකමට හරි ටූල්ස් වලින් කරගන්න බැරි වුණත් වෙන ක්‍රම තියෙනව. ඒ වෙලාවෙ ලෝචනා අවට ඉන්න කවුරු හරි එක්කෙනෙක්ව ක්‍රියාත්මක කරවල ලෝචනා ජීවිතේ නැති කරගන්න හදන එක නවත්තන්න පුළුවන්. ඒ නිසා මිත්‍රයා, ඔයා ඒ ගැන බයවෙන්න එපා.”

 

“අනිත් එක මේ ඒලියන්ස්ලගෙ ටූල්ස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තට පස්සෙ ඔයාටම පුළුවන් ලෝචනා කරන කියන දේවල් ගැන ඒ වෙලාවෙම දැනගන්න. හැබැයි මිත්‍රයා මං ඉල්ලීමක් කරනවා. අධ්‍යාත්මික පැත්තෙන් ඔයා එක මට්ටමකට එනකන් ලෝචනා ගැන හොයන්න යන්න එපා. මොකද ඒක ඔයා අධ්‍යාත්මික පැත්තෙන් දියුණුවෙන වේගෙ අඩු කරන්න හේතුවක් වෙන්න පුළුවන්. මගේ වචනෙ මං දීලයි තියෙන්නෙ. ලෝචනාගෙ ආරක්ෂාව ගැන මං බලාගන්නම්.”

 

සිතට දැනුණ වැරදිකාර හැගීමක් හේතුවෙන් ආකාශ් දිගු සුසුමක් ලෑවේය. කෙසේ වූවද ඔහු තීරණයකට පැමිණ තිබුණි.

 

“ප්ලෑන් කරපු විදියට හැමදෙයක්ම හරියටම වුණා කියල අයියට කෝල් එකක් දීල කියන්න ඕනෙ. ඔයා ඉන්න තැනට ආවට පස්සෙ එයාට කෝල් එකක් දෙන්න කියල අයිය මට කිව්වා. ඊට පස්සෙ අම්මටත් කෝල් එකක් දෙන්න ඕනෙ. මේ වැඩේ ගැන අම්මයි තාත්තයි හොදටම බය වෙලා ඉන්නෙ. මේක ඒලියන්ස්ලගෙ කේස් එකක් කියල ඔයා කියපු සම්පූර්ණ කතාවම දන්නෙ අයිය විතරයි. අම්මටයි තාත්තටයි කිව්වෙ ලොකු පොලිස් මිෂන් එකක් හින්ද මං මැරුණ වගේ රගපානව කියල. ඒ දෙන්නට මේ ඒලියන් කතා මොනවත් අපි කියන්න ගියෙ නෑ. කොහොම තේරුම් ගනීද දන්නෑනෙ.”

 

“මිත්‍රයා, මට ඔයාගෙ ෆෝන් එකත් ඕනෙ.” පැවසූ ගිහාන් ආකාශ් වෙත තම අතක් දිගු කළේය.

 

ගිහාන්ගේ ඉල්ලීමට එකග වූ ආකාශ් කිසිවක් නොවිමසාම ගිහාන්ගෙ අතෙහි තම ජංගම දුරකතනය තැබූවේය. ඒ වන විටද එය ක්‍රියාවිරහිත කර තිබුණි.

 

මිලගට සිදු වූ දෙයින් ආකාශ්ගේ සිත විශ්මයෙන් ඇලලී ගියේය. ගිහාන්ගේ අතෙහි තිබූ ජංගම දුරකතනය එක්වරම දූවිලි ගොඩක් බවට පත්විය. ආකාශ් පුදුමයෙන් බලා සිටිනු දුටු ගිහාන් සිනාසෙමින් තම අත්ල පිසදා ගත්තේය.

 

“ඔයාට ගෙදරට කතා කරන්න වෙන ෆෝන් එකක් මං තව ටිකකින් දෙන්නම්. මේ ෆෝන් එකෙන් ගත්තොත් අනවශ්‍යය ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. ඔයාට නෙමෙයි. ඔයාගෙ ගෙදර කට්ටියට. දැන් ආකාශ් අතුරුදහන් වෙලා මැරිලත් ඉවරයිනෙ. ඒ හින්දා ආකාශ්ගේ ෆෝන් එක ආපහු වැඩකරන්න විදියක් නෑ. ඔයාගෙ මරණෙ සැක සහිත අතුරුදහන්වීමක් හින්ද පොලීසිය ඔයාගෙයි, ඔයාගෙ ගෙදර කට්ටියගෙයි කෝල් ලොග්ස් චෙක් කරයි. ඉතින් මුහුදෙ ගිලිලා අතුරුදහන් වෙච්ච ඔයාගෙ ෆෝන් එකෙන් අයියට කෝල් එකක් ඇවිල්ල කියල චෙක් කරනකොට අහුවුණොත් එහෙම ඔයාගෙ අයියට ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙයි.”

 

“අනිත් දේ තමයි ගූගල් එක ෆෝන් වලින් මිනිස්සු ඉන්න ලොකේෂන් ට්‍රැක් කරනවා. ඔයාගේ ෆෝන් එක කොහෙ හරි එක තැනකින් අතුරුදහන්වෙලා තව තැනකින් මතුවුණාට පස්සෙ ගූගල් සිස්ටම් එකටයි ඒකෙ වැඩ කරන කට්ටියටයි මොනව හිතෙයිද?” ගිහාන් පැවසුවේ සිනාසෙමිනි.

 

“අප්පට සිරි, ඔයා කියනකන් ඇත්තටම මට ඒ ගැන කල්පනා වුණේ නෑ. මං ගිය පාර අනුරාධපුරේ යනකොටත් ෆෝන් එක ඕන් එකේ තිබුණේ. දැනටමත් මාව ට්‍රැක් වෙලාද දන්නෑ.”

 

“නෑ නෑ. තාම ඔයාව ට්‍රැක් වෙලා නෑ. හැබැයි තව මාස තුන හතරක් විතර ඔහොම ගියා නම් ට්‍රැක් වෙන්න තිබුණා. ගිය අවුරුද්දෙ ඒලියන්ස්ල පවර්ස් දීපු නේපාලෙ එක්කෙනෙක් ගූගල් එකට ට්‍රැක් වුණා. ට්‍රැක් වෙනකොට අපි එයාගෙ පවර්ස් අයින් කරල තිබුණෙ. පස්සෙ ඇමරිකාවේ එෆ්බීඅයි එකෙන් එයාව කිඩ්නැප් කරල, දරුණුවට ප්‍රශ්න කරල, මිනිහගෙ බොඩි එකත් සම්පූර්ණයෙන්ම චෙක් කළා. හැබැයි මිනිහ කියපු දේවල් හැර වෙන කිසිම දෙයක් එෆ්බීඅයි එකට හොයාගන්න බැරි වුණා. දැන් එයාලට නේපාල්කාරයා කිව්වෙ ඇත්තද බොරුද කියල හිතාගන්න බැරුවයි ඉන්නෙ. ඒ හින්ද එෆ්බීඅයි එක මේ කේස් එක ඊශ්‍රාලයෙ මොසාඩ් එකට භාර දීල තියෙන්නෙ. නේපාල්කාරයව දැන් නිදහස් කරල තිබුණට මොසාඩ් එක තවම එයා ගැන ඇහැගහගෙනයි ඉන්නෙ.”

 

“ඔය ට්‍රැක්වෙන ප්‍රශ්නෙ හින්දම අපි ඊයේ කසුන්ගෙනුත් පවර්ස් අයින් කරල දැම්මා.”

 

“කසුන්වත් ට්‍රැක් වෙලාද?”

 

“කසුන්ව නෙමෙයි. දයාන්ව ට්‍රැක් වෙලා තියෙන්නෙ. ගූගල් සිස්ටම් එකෙන් මිනිස්සුන්ගෙ හිස්ට්‍රි ඩේටා චෙක් කරනකොට තමයි දායන්ව අහුවෙලා තියෙන්නෙ. දයාන්ට දැන් පවර්ස් ලැබිල අවුරුදු තුනක් විතර වෙනවනෙ. ඉතින් පහුගිය අවුරුදු තුනේම මිනිහගෙ ලොකේෂන් ඩේටා වල තියෙන වෙනස සිස්ටම් එකට අහුවෙලා. මොකද ප්ලේන් එකකින්වත් එක තැනක ඉදන් තව තැනකට ඔච්චර වේගෙන් යන්න බෑනෙ.”

 

“මොසාඩ් එකට වැඩ කරන කණ්ඩායමක් ලංකාවෙත් ඉන්නවා. දැනටමත් දයාන් ගැන විස්තර එෆ්බීඅයි එකෙන් මොසාඩ් එකට දීල තියෙන්නෙ. තව දවස් තුන හතරක් ඇතුලත එයාල දයාන්ව කිඩ්නැප් කරල දරුණුවට ප්‍රශ්න කරයි. එතකොට එයා අනිවාර්යෙන් කසුන් ගැනයි ඔයා ගැනයි කියයි. ඒකයි කසුන්ගෙ පවර්ස් අයින් කළේ. ඔයා නම් දැන් මැරිල ඉවරයිනෙ. හැබැයි ඔයාගෙ මරණෙ අතුරුදහන්වීමක් හින්ද මොසාඩ් එකෙන් ආකාශ් තරුපති කියන කෙනා ගැන ටිකක් හොයයි.”

 

“ඉතින් ඔයාට පුළුවන්නෙ දයාන්ව කිඩ්නැප් කරන්න කලින් බේරගන්න. එහෙම කළා නම් මටත් මුකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑනේ.”

 

ආකාශ්ගේ කතාව ඇසූ ගිහාන් සයුර දෙස බලාගෙන සිනාසෙන්නට විය.

 

“මිත්‍රයා, ඔයා ඔය කලබලවෙලා තියෙන්නෙ ඒලියන්ස්ලගෙ ටූල්ස් වලින් කරන්න පුළුවන් දේවල් ගැන අදහසක් නැති නිසා. ඔයා කිසිම දේකට බයවෙන්න එපා. ඍෂිවරුයි, හිත දියුණු කරල අධිමානසික හැකියාවන් තියෙන අයයි ඇරුනහම මේ මනුස්ස ලෝකෙ ඉන්න අය කිසිම කෙනෙක්ට ඒලියන්ස්ලගෙ ටූල්ස් වල තියෙන ටෙක්නොලොජි එකත් එක්ක හැරෙන්නවත් බෑ. මොසාඩ් එකට තියා එෆ්බීඅයි එකටවත් අපිට මේ ටූල්ස් වලින් කරන්න පුළුවන් දේවල් ගැන හිතන්නවත් බෑ.” 

 

“ඕනෙ නම් ඇත්තටම මට දයාන්ව බේරගන්න පුළුවන්. හැබැයි දයාන් පහුගිය අවුරුදු තුනේ කරපු වැඩත් එක්ක එයාට දඩුවමක් ලැබෙන එකත් හොදයි. අශානිට කරපු දේ එයා කරපු එක වැඩක් විතරයි. ඒ වගේ වැරදි පහුගිය කාලෙදි එයා සෑහෙන්න කළා. ඉතින් සමහරවිට මේ එන්නෙ එයාගෙ කර්මය වෙන්න ඇති. හැබැයි එයාගෙ ජීවිතේට හානියක් වෙන්න ගියොත් මං අනිවාර්යෙන් මැදිහත්වෙලා එයාව බේරගන්නම්.”

 

“එතකොට කසුන්?”

 

“එයත් එච්චර තමයි. එයාගෙ කල්ක්‍රියාවත් එච්චර හොද නෑ. හැබැයි දයාන්ගෙන් මුලින් ප්‍රශ්න කරන හින්ද කසුන්ව දරුණුවට ප්‍රශ්න කරන එකක් නෑ. දැනට නම් මං මේකට මැදිහත්වෙන්නෙ නෑ කියල තමයි හිතාගෙන ඉන්නෙ. ලොකු ප්‍රශ්නයක් වෙන්න ආවොත් ඒක ඒ වෙලාවට බලමු.”

 

“අනිත් එක මිත්‍රයා, මේකට මං මැදිහත්වෙන්නෙ නැතුව ඉන්න තව හේතුවක් තියෙනව. මිනිස්සු දෙයක් හොයගෙන යනකොට ඒකට බාධා කරන එක වැරදියි. මොකද මේ වගේ එයාලගේ රාමුවෙන් පිට අලුත් දේවල් හොයනකොට තමයි ශිෂ්ඨාචාරයක් විදියට මනුස්සයා කියන සතා දියුණු වෙන්නෙ. හරියටම කිව්වොත් පරිණාමය වෙන්නෙ. අපි කට වචනෙට කියන්නෙ අවුට් ඔෆ්ද බොක්ස් හිතනවා කියල. මේ කේස් එකේදිත් මේ ගැන හොයන කට්ටියට ළගින් යන අදහසක් හරි ගන්න ඕනෙ නම් අවුට් ඔෆ් ද බොක්ස් හිතන්නම වෙනවා. අපි බලාගෙන ඉමු එයාලට කොච්චරක් දුරට මේ ගැන හරි විස්තරයක් හොයාගන්න පුළුවන් වෙයිද කියල.”

 

“අනිත් එක, මොසාඩ් එකෙන් මේ ගැන හොයන විදිය බලන් ඉන්නකොට ඔයාටත් බටහිර මිනිස්සුන්ට තියෙන තාර්කික චින්තන රටාව ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. කාගේ වුණත් චින්තන රටාවක් තේරුම් ගන්නව කියන්නෙ හරිම වැදගත් දෙයක්.”

 

“ඔයා කියනව නම් අපි ඒ විදියට කරමු. ඊළගට මං මොකද්ද කරන්න ඕනෙ. ආකාශ් දැන් මැරිල හින්ද මට ගෙදර යන්නත් බෑ. පොලිස් ක්වාටස් වලට යන්නත් බෑ. අනික් මගේ අලුත් නම මොකද්ද?” ආකාශ් විමසුවේ ඇද වැටුණු කොන්ක්‍රීට් කණුවේ එක් කෙළවරක හිද ගනිමිනි.

 

“මිත්‍රයා, ඔයාට දාන්න අලුත් නමක් ගැන නම් මං තාම හිතුවෙ නෑ. හදිස්සියක් නෑනෙ. ඒ ගැන අපි පස්සෙ හිතල බලමු. ඔයා දැනගන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනව. මේක එක විදියක අමතර වැඩක්.”

 

“ඒ මොකද්ද?”

 

ගිහාන් නුදුරින් පෙනෙන සාගරය දෙස නෙත් යොමාගෙන කල්පනා කරන්නට වූයේ කතාව ආරම්භ කළ යුතු ආකාරය ගැන සිතමිනි.

 

“මිත්‍රයා මේක අවුරුදු දහස් ගාණක් පරණ කතාවක්. මං පුළුවන් තරම් කෙටි කරල කියන්නම්. මේ ලෝකෙ, මං කියන්නෙ මේ පෘතුවියේ අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ල කට්ටියට අමතරව තව ඒලියන්ස්ල කට්ටියක් ඉන්නවා. අපිට මිනිස්සු කියල කියනව වගේ එයාලට අපි කියන්නෙ ශෙන්බාවො කියලා. මේ ශෙන්බාවොලා අපි දන්න ඒලියන්ස්ලටත් වඩා හුගක් ඉස්සර තමයි පෘතුවියට ඇවිල්ල තියෙන්නෙ. හරියටම කිව්වොත් එයාලගෙ පළවෙනි කණ්ඩායම මෙහෙට ඇවිල්ල තියෙන්නෙ මීට අවුරුදු දාහත්දාහකට විතර කලින්.”

 

“දාහත්දාහකට කලින්?”

 

“ඔව් එච්චර කාලෙකට කලින්. මෙයාල අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ල තරම් දියුණු නෑ. ඒ වගේම මෙයාල මේ ලෝකෙට ඇවිල්ල තියෙන හේතුවත් මිනිස්සුන්ට එච්චර සුභදායක නෑ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!