Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 24
ISBN 978-955-44323-2-1
කිසිවක් නොපැවසූ ආකාශ් නිහඩව අසා සිටියේය. ඒ අවසරයෙන් ගිහාන් නැවතත් කතා කිරීම ඇරඹුවේය.
“ශෙන්බාවොලගේ මව් ග්‍රහලෝකෙ තියෙන්නෙ මේ මන්දාකිනියෙම තමයි. එගොල්ලන්ගෙ ටෙක්නොලොජි එක මේ වෙනකොට මන්දාකිණිය ඇතුලෙ ගමන් කරන්න පුළුවන් තරමට දියුණුයි. එයාලගේ ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක තුනයි තියෙන්නෙ. දැනට ඒවයින් දෙකක මෙයාල ජනාවස පිහිටවගෙන ඉන්නවා. ඉතිරි ග්‍රහලෝකෙ පාවිච්චි කරන්න බැරි තරමට පොඩියි. මෙයාලත් දැන් අවුරුදු මිලියන ගාණක් තිස්සෙ පරිණාමය වෙවී එන කට්ටියක්. හැබැයි මෙයලා ස්වභාවයෙන්ම ටිකක් රෞද්‍ර ජීවීන් කොට්ඨාශයක්. අපිට පවර්ස් දුන්න ඒලියන්සල වගේ නෙමෙයි. මෙයාලට අධ්‍යාත්මික පැත්ත ගැන කිසිම උවමනාවක් නෑ. අනිත් ජීවින්ගේ පැවැත්ම ගැනත් මෙයාලට ඒ හැටි තැකීමක් නෑ. මේගොල්ලන්ට දැන් ඕන වෙලා තියෙන්නෙ ජනාවාස හදාගන්න හොද ග්‍රහලෝකයක්. මොකද ශෙන්බාවොලගෙ ග්‍රහලෝක දෙකම මෙයාලගෙ වැඩ හින්දා දැන් සෑහෙන්න දුරට ජීවත්වෙන්න සුදුසු නැති තත්වයකට ගිහින්. ඒකට තමයි දැන් මෙහෙ ඇවිල්ල ඉන්නෙ.”
“එයාලගෙ පළවෙනි කට්ටිය මෙහෙට ආවේ අවුරුදු දාහත්දාහකට විතර කලින්. එතකොටත් මෙහේ මිනිස්සුන්ගෙ ශිෂ්ඨාචාරෙ සෑහෙන්න දියුණු එකක්. දැන් ඇට්ලාන්ටක් ශිෂ්ඨාචාරය කියල කියන්නෙත් ඒ කාලෙ මිනිස්සුන්ගෙ තිබුණ දියුණු ශිෂ්ඨාචාරයෙම පොඩි කොටසකට. ඒ කාලෙත් දැන් වගේ මිනිස්සුන්ගෙ ටෙක්නොලොජි එක මුළු ලෝකෙ පුරාම පැතිරිල තිබුණා. ඒ මිනිස්සුන්ට බලශක්තිය ගබඩා කරන්නයි පාවිච්චි කරන්නයි වෙනම ක්‍රම තිබුණා. පිරමීඩ හදල තියෙන්නෙ ඒකට තමයි. ඔයා අහල ඇතිනේ පිරමීඩ තියෙන්නෙ ඊජිප්තුවේ විතරක් නෙමෙයි කියල. ඊජිප්තුවේ පිරමීඩ හොදට සංරක්ෂණය වෙලා තියෙනවා. නැත්නම් ඇත්තටම ලෝකෙ ගොඩක් තැන් වල පිරමීඩ තියෙනවා. ඒවා මං අර කලින් කියපු මිනිස්සුන්ගෙ ශිෂ්ඨාචාරෙ නටබුන් තමයි.”
“ශෙන්බාවොලගේ පළවෙනි කණ්ඩායම මෙහෙට ආවට පස්සෙ පෘතුවියේ මිනිස්සුත් එක්ක එයාලගෙ අවශ්‍යතාවය ගැන සාකච්ඡා කළා. සාකච්ඡාවේ විදියට එයාල තාවකාලිකව තමයි පෘතුවියේ ඉන්න ඉල්ලලා තියෙන්නෙ. අවුරුදු කිහිපයක් ඇතුලත අගහරු ලෝකෙ ජීවත්වෙන්න පුළුවන් විදියට හදාගත්තට පස්සෙ පෘතුවියේ ඉන්න ශෙන්බාවොල ඔක්කොම අගහරු වලට යනව කියල තමයි සාකච්ඡාවෙලා තියෙන්නෙ. පෘතුවියේ ඉන්න කාලේ ඇතුලත මිනිස්සුන්ට කරන ගෙවීමක් විදියට ශෙන්බාවොලගේ තාක්ෂණයයි, සමහර තාක්ෂණික උපකරණයි දෙන්නම් කියල පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මිනිස්සු ඒකට එකග වෙච්ච හින්දා ශෙන්බාවොල පෘතුවියට ඇවිල්ල එයලගෙ වැඩේ පටන් ගත්තා.”
“ඒ කාලෙ මිනිස්සු ලෝකෙ පුරාම බලශක්තිය හොදට පාවිච්චි කරල තියෙනවා. ශෙන්බාවොල එයාලගෙ තාක්ෂණේ පාවිච්චි කරල මිනිස්සුන්ට තිබුණ බලශක්තිය හදන වැඩපිළිවෙල තව සෑහෙන්න දියුණු කරල තියෙනවා. ඒ හින්දා මිනිස්සුන්ගෙ පිරමීඩ වල තියෙන බලශක්තිය එකතු කරන්නයි, ගබඩා කරන්නයි තිබුණ ක්‍රම තව සෑහෙන්න දියුණු වුණා. හැබැයි පිරමීඩ කියන්නෙ ඒ විදියට දියුණු කරපු එක ටූල් එකක් විතරයි. තව ටූල්ස් ගාණක් තිබිල තියෙනවා.”
“ඒ කියන්නෙ ඊජිප්තුවෙ පිරමීඩ හදල තියෙන්නෙ මිසර ශිෂ්ඨාචාරෙ හිටපු මිනිස්සු නෙමෙයි නේද?”
“අපෝ නෑ. මිසර කියන්නෙ දියුණු ශිෂ්ඨාචාරයක් නෙමෙයි. ඔයාම ටිකක් කල්පනා කරල බලන්න. විද්‍යාත්මක දැනුමක් තියෙන මිනිස්සු ඉරට වන්දනාමාන කරයිද? අනිත් එක, මිසරයේ හිටපු මිනිස්සු පැපිරස් පොත් වල ලියල තියෙන්නෙ පිරමීඩ කියන්නෙ එයාලගෙ රජවරුන් මැරුණට පස්සෙ දෙවියො ළගට යන්න පාවිච්චි කරපු දෙයක් කියල. බලන්න, මොන තරම් මෝඩ කතාවක්ද ඒක. පිරමීඩ තාක්ෂණය නෙමෙයි අඩුම ගාණේ පිරමීඩයක් කියන්නෙ මොකද්ද කියලවත් එයාල දැනගෙන ඉදල නෑ. ඇත්තටම වුණේ මේකයි. අවුරුදු හයදාහකට විතර කලින් වසංගතයක් නිසා තමන් හිටපු රට දාල ඊජිප්තුව පැත්තට ආපු මිනිස්සු කට්ටියකට පිරමීඩ නටබුන් විදියට හම්බවුණා. ඉතින් ඒවා දෙවියන් දීපු දේවල් කියල හිතපු එයාල එතන ජනාවාස කරගත්තා. ඒ විදියට තමයි මිසර කියන ශිෂ්ඨාචාරය හැදුනෙ.”
“කතාව පොඩ්ඩක් වෙන පැත්තකට ගියා නේද? මං ආපහු ශෙන්බාවොල කරපු වැඩේ ගැන කියන්නම්. අගහරු හදන වැඩේ පටන්ගත්තට පස්සෙ එයාලට තේරිල තියෙනව ඒක ටිකක් බරපතල වැඩක් කියල. හිතන තරම් ඉක්මණට කරන්නත් බෑ කියල එයාලට තේරිල තියෙනවා. ඕකට විසදුමක් ඕන හින්ද තමයි එයාල ආපහු පෘතුවිය පැත්තට හැරිල තියෙන්නෙ.”
“ශෙන්බාවොලට පෘතුවිය ගැන උවමනාව වැඩිවෙන්න තව හේතුවක් තිබුණා. මිනිස්සුන්ගෙ අවාසනාවට ශෙන්බාවොලගේ ශරීර සැකැස්මත් මනුස්ස ශරීරෙට ටිකක් සමානයි. ඒ නිසා ශෙන්බාවොල දැනගත්තා මනුස්ස ශරීරෙ විදියට ශෙන්බාවොලගේ ශරීර වලත් වෙනස්කම් ටිකක් කරගත්ත නම් එයාලට මිනිස්සු ඉන්නව වගේම කිසිම ප්‍රශ්නයක් නැතුව පෘතුවියේ ජීවත්වෙන්න පුළුවන් කියල.”
“ඊට පස්සෙ තමයි ප්‍රශ්නෙ පටන්ගත්තෙ. මිනිස්සු ඒකට විරුද්ධ වුණා. ඉතින් යුද්ධයක් පටන් ගත්තා. මොකද ශෙන්බාවොල කියන්නෙත් ඒ හැටි හොද කට්ටියක් නෙමෙයිනෙ. මිනිස්සුන්ටත් දියුණු තාක්ෂණයක් තිබුණට ශෙන්බාවොල තරම් එයාල දියුණු නෑ. ඒ හින්ද යුද්ධෙ ගොඩක් කල් ඇදුනෙ නෑ. ශෙන්බාවොල පෘතුවිය යටත් කරගත්තා. හැබැයි ශෙන්බාවොලට මිනිස්සු ඔක්කොම මරන්න ඕනකමක් තිබුණෙ නෑ. මොකද එයාලගෙ පරීක්ෂණ වලට මිනිස්සුන්ව ඕනෙ නිසා. එයාල කළේ මනුස්ස ශිෂ්ඨාචාරයයි, මිනිස්සුන්ගෙ තාක්ෂණයයි සම්පූර්ණයෙන්ම විනාශ කරපු එක. එතකොට එයාලට ඕන විදියට එයාලගෙ වැඩ මේ ලෝකෙ කරගෙන යන්න පුළුවන්.”
“ඒ විදියට තමයි ඒ කාලෙ තිබුණ දියුණු මනුස්ස ශිෂ්ඨාචාරය සම්පූර්ණයෙන්ම නැත්තටම නැතිවෙලා ගියෙ. එදා ඉදන් ශෙන්බාවොල උත්සහ කළේ තමන්ගෙ ශරීර පෘතුවියට ගැලපෙන විදියට හදාගන්න. හැබැයි ඒකත් හිතපු තරම්ම ලේසි වුණේ නෑ. එයාල මිනිස්සුන්ගෙ ඇගවල් වලට ශෙන්බාවොලගෙ අවයව දාල බැලුවෙ. ශෙන්බාවොලගේ ඇගවල් වලට මිනිස්සුන්ගෙ අවයව දාල බැලුවා. එයාලගෙ ජාන මිනිස්සුන්ගෙ ජාන වලට දාල අලුත් ළමයි හදල බැලුවා. ඔය විදියට එක එක ජාතියේ පරීක්ෂණ කළා. එයාලගෙ පරීක්ෂණ නිසා මිනිස්සු දහස් ගාණක් මැරුණා. තව දහස් ගාණක් විකෘති මිනිස්සු වුණා. ඒත් එයාලගෙ පරීක්ෂණය සීයට සීයක්ම සාර්ථක වුණේ නෑ. කිසිම උපරකණයක් නැතුව මේ ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් මට්ටමට එයාලගෙ පරීක්ෂණ සාර්ථක වුණාට පෘතුවියේ වායුගෝලය, වායු පීඩනය, ඉර අව්වෙ තියෙන විකිරණ වගේ දේවල් එයාලගෙ ලෝකෙට වඩා වෙනස් නිසා ශෙන්බාවොලට එක එක විදියෙ ලෙඩ හැදෙන්න පටන්ගත්තා. සමහරුන්ට පිළිකා වගේ ලෙඩ හැදුනා. තව සමහරුන්ට විශාදය වගේ මානසික ලෙඩත් හැදෙන්න ගත්තා.”
“ඔය විදියට පරීක්ෂණ කරගෙන යනකොට මන්දාකිණියේ ග්‍රහලෝක හොයාගෙන ගිය ශෙන්බාවොලගෙ වෙන කණ්ඩායමකට පුළුවන් වුණා පෘතුවියටත් වඩා එයාලට හොදට ගැලපෙන ග්‍රහලෝකයක් හොයාගන්න. ඒක එයාලගෙ මව් ග්‍රහලෝකෙට ගොඩක් සමානයි. අනික ඒ ලෝකෙ දියුණු ශිෂ්ඨාචාරයක් තිබිලත් නෑ. ඉතින් පෘතුවියේ හිටපු ශෙන්බාවොල හැමෝම පෘතුවිය අතහැරල දාල ඒ ග්‍රහලෝකෙට ගියා. ඒක වුණේ මීට අවුරුදු අටදාහකට විතර කලින්.”
“ඉතින් ඒ විදියට තමයි ඒ ප්‍රශ්නෙ විසදුනේ. හැබැයි ශෙන්බාවොලගේ පරීක්ෂණ නිසා මිනිස්සුන්ට වෙච්ච බලපෑම තාමත් තියෙනවා. මොකද ඒ කාලෙ කරපු සමහර ජාන වෙනස්කම් පරම්පරාවෙන් පරම්පරාවට අදටත් ඇවිල්ල තියෙනවා. අදටත් සමහර විකෘති මිනිස්සු ඉපදෙන්න ඒ කාලෙ කරපු පරීක්ෂණ එක හේතුවක්.”
“එතකොට එයාල මේ ලෝකෙ හදපු කිසිම දෙයක් ඉතිරි කරල ගියෙ නැද්ද? මොකද ඔය කතාව මේ ලෝකෙ ඉන්න මිනිස්සු කවුරුවත් දන්නව ඇති කියල මං නම් හිතන්නෙ නෑ.” ආකාශ් විමසුවේය.
“මොකද නැත්තෙ? තියෙනවා. ඒ කාලෙ හිටපු මිනිස්සුයි, ශෙන්බාවොලයි හදපු දේවල් වල නටබුන් තමයි ලෝකෙ තැනින් තැන අදටත් හම්බවෙන්නෙ. ඊජිප්තුවෙ, පේරු වල, මෙක්සිකෝවෙ, ජපානෙ, චීනේ, ඉන්දියාවෙ, තව ලංකාවෙත් ඒ වගේ නටබුන් හම්බවෙල තියෙනවා. හැබැයි ඉතින් ඊජිප්තුවේ පිරමීඩ වලට වෙලා තියෙනව වගේ ඒ දේවල් හැදුවා කියල ලේබල් කරල තියෙන්නෙ වෙන අයගෙ නම් වලට. අර ඔයා අනුරාධපුරේ යනකොට වාරියපොළ පැත්තෙ කන්දක් ඇතුලෙ තියෙන කන්ස්ට්‍රක්ෂන් එකක් හම්බවුණේ. ඒකත් ඒ කාලෙ හදපු එකක් තමයි.”
“අනිත් දේ තමයි, ශෙන්බාවොල මෙහෙන් ගියාට එයාල සම්පූර්ණයෙන්ම මේ ග්‍රහලෝකෙ අතහැරල දාල නෑ. බැකප් ප්ලෑන් එකක් විදියට එයාල තාම මේ ලෝකෙ මිනිස්සුන්ගේ ඇගවල් ටෙස්ට් කරනවා. පිටසක්වල යානා දැක්කා, පිටසක්වල ජීවින් ඇවිල්ල මිනිස්සුන්ව පැහැරගත්ත කියල ඉන්ටර්නෙට් එකේ තියෙන්නෙ. ඒවයින් වැඩි හරියක් නම් බොරු. හැබැයි ඒ අතරෙ ඇත්ත සිද්ධි ටිකකුත් තියෙනවා. ඒ ඇත්ත සිද්ධි ඔක්කොටම වගේ හේතුව ශෙන්බාවොල. වැඩිය ඕනෙ නෑ. පොඩි කලේ ඔයා අඹ කඩන්න ගිය වෙලාවෙ දැක්කෙත් ශෙන්බාවොලගෙ යානයක්.”
“එතකොට පුවක්බණ්ඩා මැරුණෙ ශෙන්බාවොලගෙ ටෙස්ටින් එකක් හින්දද?”
“ඔව්. ඒ විතරක් නෙමෙයි. පුවක්බණ්ඩත් ඒ විදියටම ජාන වෙනස් කරපු පරම්පරාවකින් එන එක්කෙනෙක්. එයාගෙ කල්පනාව ටිකක් අඩුවෙන්නත් ඔය ජාන විකෘතිය එක හේතුවක්. ශෙන්බාවොල පුවක්බණ්ඩව පරීක්ෂණයට පාවිච්චි කළෙත් ඒකයි.”
ආකාශ් නුදුරින් පෙනෙන සාගරය දෙස නෙත් යොමාගෙන කල්පනා කරන්නට විය. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය වර්තමාන මිනිසා නොදන්නා මෙවැනි රහස් තව කොපමණ මේ ලෝක ඉතිහාසයේ ඇත්දැයි ඔහුට සිතුණි.
“හරි, එතකොට දැන් අපිට තියෙන අමතර වැඩේ මොකද්ද?” ආකාශ් ඇසුවේ මද නිහැඩියාවකට පසුවය.
“ශෙන්බාවොල අනවශ්‍යය විදියට මේ ලෝකෙට ඇගිලි ගහන්න ආවොත් එයාලගෙන් මේ ලෝකයයි මිනිස්සුන්වයි බේරගන්න එක.”
“ඉතින් ඇයි අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ලට ඕක කරන්න බැරි. එයාල ශෙන්බාවොලට වැඩිය ගොඩක් දියුණයි නේද?”
ගිහාන් සයුර දෙස බලාගෙන සිනාසුණේය.
“මිත්‍රයා, මං හිතුවා ඔයා ඔය ප්‍රශ්නෙ අහයි කියල. මෙහෙමයි. අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ල කියන්නෙ සෑහෙන්න බුද්ධිමත් කට්ටියක්. එයාල වෙන ජීවින් කොට්ඨාස දෙකක් යුද්ධ කරනකොට ඒකට මැදිහත් වෙන්න එන්නෙ නෑ. ඒක හරියට මේ වගේ. කැලේක අලියෙකුයි ඇතෙකුයි හැප්පෙනකොට අපි ඒකට මැදිහත් වෙන්න යන්නෙ නෑනෙ. බලන් ඉන්නව හැරෙන්න. ඒ වගේ තමයි. අපේ ප්‍රශ්න අපිටම විසදගන්න දෙනවා. අනික එයාල මේ ලෝකෙට ආවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න නෙමෙයි. එයාලගෙ ආධ්‍යාත්මික හැකියාව දියුණු කරගන්න. අනිත් එක එයාලට කිසිම යුධ මානසිකත්වයක් නෑ. ඒක අපිට තේරෙන්නෙ නෑ. අපේ අධ්‍යාත්මික හැකියාව එයාලට තේරෙන්නෙ නෑ වගේ එයාලගෙ මානසිකත්වය අපිට තේරෙන්නෙත් නෑ.”
“දැන් මගෙන් අහන්න එපා ඍෂිවරුවත් ලොකේ බේරගන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ ඇයි කියල. එහෙම ඇහුවොත් ඒ ප්‍රශ්නෙම වැරදියි. අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ල තරම්වත් එයාල ලෝකෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ නෑ. එයාල මේ ලෝකෙ තියෙන දුකින් ගැලවෙන්න උත්සහ කරන අය. ඒ නිසා මොන විදියෙ ලෝක යුද්ධ ආවත් ඍෂිවරු මැදිහත්වෙයි කියල හිතන්න අමාරුයි.”
“හැබැයි ඒලියන්ස්ල මෙහෙම දෙයක් කිව්වා. ශෙන්බාවොල සම්පූර්ණයෙන්ම මනුස්ස වර්ගයා විනාශ කරන්න හැදුවොත් මිනිස්සුන්ට තිබුණ පරණ ටෙක්නොලොජි එක ආපහු මතුකරගන්න උදව් කරන්නම් කිව්වා.”
“පරණ ටෙක්නොලොජි එක කිව්වෙ?”
“ශෙන්බාවොල මේ ලෝකෙට එනකොට මිනිස්සුන්ට තිබ්බ ටෙක්නොලොජි එක. පිරමීඩ වල බලශක්තිය ගබඩා කරන ටෙක්නොලොජි එක වගේ දේවල්.”
“ඒක ශෙන්බාවොලගෙ ටෙක්නොලොජි එකක් නේද? ඔයා කිව්වෙ පිරමීඩ වල ටෙක්නොලොජි එක දියුණු කළේ ශෙන්බාවොල කියල.”
“ඔව් ඒක හරි. හැබැයි පිරමීඩ හැදුවේ ශෙන්බාවොල නෙමෙයි. ඒකේ ප්‍රධාන ටෙක්නොලොජි එක හැදුවෙ මිනිස්සුම තමයි. ශෙන්බාවොල කළේ එයාලගෙ තාක්ෂණේ පාවිච්චි කරල ඒව තව දියුණු කරල ගත්ත එක විතරයි. ඉතින් හරියටම ගත්තොත් පිරමීඩ තාක්ෂණයෙ මුල් අයිතිය තියෙන්නෙ මිනිස්සුන්ට.”
“ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට පොඩි මැදිහත් වීමක් කරන්න වෙනවා. ඒ පරණ ටෙක්නොලොජි එක මතුවෙන්න චාන්ස් එකක් ආවොත් ඒක මතුකරල ගන්නෙ ඔයා දන්න එක්කෙනෙක් හරහා.”
“මං දන්න එක්කෙනෙක්? ඒ කවුද?”
“චමල්ව මතකයිනෙ. ඔයත් එක්ක අර ඩොක්ටර්ගෙ සෙමිනා එකේදි ප්‍රශ්න ඇහුවෙ. අන්න එයා. චමල් එදා අහපු ප්‍රශ්නෙත් එයාටම අදාළ එකක්.”
“ඒ කිව්වෙ?”
“මෙහෙමයි. මුලින්ම මං මේක කියන්න ඕනෙ. දැන් මං මේ කියන දේ අනුමානයක් විතරයි. මොකද මනුස්සයෙක්ගෙ සවිඤ්ඤාණික සිතේ ඇති වෙන සිතිවිලි එයාගෙ නියුරෝන දිහා බලල උපකල්පනය කරන්න ඒලියන්ස්ලගෙ ටූල්ස් වලට පුළුවන් වුණාට අවිඤ්ඤාණික සිතේ ඒ කිව්වෙ යටි හිතේ තියෙන කිසිම දෙයක් මේ ටූල්ස් පාවිච්චි කරල දැනගන්න බෑ. උදාහරණයක් කියනව නම් මනුස්සයෙක්ට පේන හීනයක් අපිට ඒ වෙලාවෙම දැනගන්න බෑ. හැබැයි එයා ඇහැරිල ඉන්න වෙලාවට ඒ හීනෙ මතක් වුණොත්… අන්න එතකොට අපිට ඒ හීනෙ මොකද්ද කියල දැනගන්න පුළුවන්.”
“චමල් ගැන කියනව නම් එයාට අතීත සිද්ධියක් හීනෙන් පේනවා. එකම හීනෙ ආපහු ආපහු පේනවා. අපි කරපු පරීක්ෂණ වලින් ලැබිච්ච තොරතුරු වල හැටියට ඒක එයාගෙ පෙර භවයක මතකයක්. අපිට වැදගත් දේ තමයි එයාට ඒ පේන හීනෙ මිනිස්සුයි ශෙන්බාවොලයි අතර ඇති වෙච්ච යුද්ධෙට සම්බන්ධ එකක්.”
“කොහොමද එහෙම කියන්නෙ?”
“හීනෙ ගොඩක් සැරයක් පෙනිච්ච හින්දා චමල්ට හීනෙන් පේන තැනුයි සිද්ධියි හොදට මතකයි. අපි එයාගෙ මතකයේ තියෙන ඒ තැන් ඩිජිටල් වගේ පින්තූරෙකට ගත්තා. ඒලියන්සලගෙ ටූල්ස් වලට තව පුළුවන් මොකක් හරි තැනක නටබුන් ස්කෑන් කරල ඒක ඇත්තටම ඒ කාලෙ තිබුණෙ කොයි විදියටද කියල බලන්න පුළුවන් විදියට ඒ තැන ත්‍රීඩී ඩිජිටල් ස්පේස් එකකට ගන්න. අපි ඒ දෙකම කරල ඒ දෙක සන්සන්දනය කරල බැලුවා. කිසිම වෙනසක් නෑ. හරියටම සමානයි. ඒකෙන් අපිට පුළුවන් වුණා චමල්ට පේන්නෙ ඒ යුද්ධෙට සම්බන්ධ දෙයක් කියල ඔප්පු කරගන්න.”
“කොහොම හරි අපිට කරන්න තියෙන අමතර වැඩේ මේකයි. නිකමට හරි ශෙන්බාවොලගෙන් ප්‍රශ්නයක් ආවොත්, අපිට තියෙන්නෙ චමල්ට නොදැනෙන්න එයාගේ වැඩ වලට පොඩි සපෝට් එකක් දෙන එක. ඉතිරි ටික තියෙන්නෙ ඉතින් එයාගෙ අතේ තමයි. මොකද මනුස්සයෙක්ගෙ අවිඤ්ඤාණික හිතේ තියෙන දෙයක් ඒලියන්ස්ලගෙ ටූල්ස් වලින් ඇදල ගන්න බෑනෙ.”
“අනිත් එක, අපි ස්කෑන් කරපු නටබුන් තියෙන්නෙ අනුරාධපුරේ තියෙන පරණ පන්සලක. ඔයා ටූල්ස් පාවිච්චි කරන්න ඉගෙන ගත්තට පස්සෙ අපි දවසක එතනට ගිහිල්ල බලමු.”
සිය දීර්ඝ කතාව අවසන් කළ ගිහාන් හුන් තැනින් නැගී සිට අහස දෙස බැලුවේය.
“හ්ම්… දැන් පිටත් වෙන්න වෙලාව හරි. අපි දැන් යමු නේද?”
“යමු කිව්වෙ? කොහෙද?”
“දෙව්ගලට. ඔයාගෙ මේ හැමදෙයක්ම පටන් ගත්තෙ දෙව්ගලින්නෙ. ඉතින් දැන් යන්න තියෙන්නෙත් එතනටම තමයි.”
“එහේ ගිහින් මං ඉන්නෙ කොහෙද? ආකාශ් දැන් මැරිල හින්ද මහේෂ් හරි විමුක්ති හාමුදුරුවො හරි මාව දැක්කොත් එහෙම…”
“ඒ ගැන කලබලවෙන්න එපා මිත්‍රයා. අපි කෙලින්ම යන්නෙ දෙව්ගල කන්දට. හරියටම කිව්වොත් දෙව්ගල කන්ද ඇතුලට. මේකත් ඔයා අර වාරියපොළ පැත්තෙ දැක්ක කන්දේ ගුහාව වගේ කන්ද ඇතුලෙ තියෙන්නෙ. හැබැයි මේක හැදුවෙ ශෙන්බාවොලවත්, ඉස්සර හිටපු මිනිස්සුවත් නෙමෙයි. මේක හැදුවෙ අපිට පවර්ස් දුන්න ඒලියන්ස්ලා. පිටින් බැලුවට කිසිම කෙනෙක්ට පේන්නෙත් නෑ. වෙන කාටවත් ඇතුලට එන්නත් බෑ. එහෙනම් මිත්‍රයා, අපි දැන් යමු නේද? එහෙ ගියාට පස්සෙ ඔයාට පුළුවන් ගෙදරට කතා කරන්න.”
එදින රාත්‍රී අහස තරු කැට වලින් පිරී තිබුණි. ආකාශ් නමැති තරුණයාව දියේ ගිල්වා අතුරුදහන් කළා යැයි චෝදනා ලද සයුරද ඉතා නිස්කලංක විය. ඒ නිස්කලංක තෙරක් නොපෙනන සාගරයත්, අපරිමිත ගණනක් වූ තරු වලින් පිරුණු අහසත් එකට යාවෙන ක්ෂිතිජය දෙස තමාගේ විශේෂ දෘෂ්‍යය හැකියාව මගින් ආකාශ් බලා සිටියේ හිස් බැල්මකිනි. ඔහු තවදුරටත් ආකාශ් නොවිය. ආකාශ් තරුපති දැන් මිය ගොස් අවසන්ය. ඒ මියගිය ආකාශ්ගේ හිස් බැල්ම අතරින් නොදන්නා ලෝකයකට, නොදන්නා ශිෂ්ඨාචාරයකට, නොදන්නා තාක්ෂණයකට සහ නොදන්නා මානසිකත්වයකට මුසු වීමේ අපූරු හැගීමක් කැටි වූ නැවුම් බලාපොරොත්තුවේ ගිනි පුලිගු දැල්වෙමින් තිබුණි.
* * *
“අම්මෙ, කොහොමද දැන් තාත්තිගෙ කේන්තිය? ශේප්ද?” විසිත්ත කාමරයට වී රූපවාහිනිය නරඹමින් සිටි ලෝචනා තමා සමීපයට පැමිණි මවගෙන් ඇසුවාය.
“අනේ මන්දා. තාම මාත් එක්කවත් හරියට කතාවක් නෑ.”
“අනේ අම්මි. කොහොම හරි තාත්තිව ශේප් කරල දෙන්න හොදේ. මං හෙටම ආකාශ්ව මෙහෙට එක්කන් ඇවිල්ල තාත්තිට මීට් කරන්නම්.”
“අනේ මන්දා… එච්චර ඉක්මණට ගෙන්නල ඒ ළමයටත් බැණුම් අහන්න වෙයිද දන්නෑ. කෝ ලොකු දුවේ නංගි?”
“මං දන්නෑ. මට දැන් එයත් එක්ක කතාවක් නෑනෙ.”
“හ්ම්… දුව ආකාශ් පුතාට කතා කළාද? එයා දැන් මොකද කියන්නෙ?”
“කතා කරන්න වුණේ නෑ අම්මෙ. මං කෝල් කළා. එයාගෙ ෆෝන් එක ඕෆ්. ඊයෙ රෑ හදිසි ඩියුටි එකක් වැටුණලුනෙ. පාන්දර වෙනකන් වැඩ කරල තාම නිදි වෙන්න ඇති.”
ඒ මොහොතේ ක්‍රියාත්මක කර තිබූ රූපවාහිනියේ විශේෂ ප්‍රවෘත්තියක් විකාශය වීමට නියමිත බව දැක්වූ හෙයින් ඔවුන් දෙදෙනාගේම අවධානය ඒ වෙත යොමු විය.
“මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක්. නීතිවිරෝධි ගිනිඅවි රැගත් නෞකාවක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් බෝට්ටුවක් අනතුරට…”
“ඊයේ රාත්‍රී අටයි තිහට පමණ නීති විරෝධි ගිනි අවි පටවාගත් නෞකාවක් පරික්ෂා කිරීමට ගිය පොලිස් බෝට්ටුවක් කොළඹ වරාය ආසන්න මුහුදේදි අනතුරකට ලක් වී ඇත. සිද්ධිය වන අවස්ථාවේදි බෝට්ටුවේ තිදෙනකු ගමන් කර ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදහන් වී ඇත. මෙසේ අතුරුදහන් වී ඇත්තේ ආධුනික පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ ආකාශ් තරුපති නමැති විසිතුන් හැවිරිදි පුද්ගලයෙකි. අතුරුදහන් වූ පුද්ගලයා සොයා මේ වන විටද විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින අතර…”
ඉන්පසුව ප්‍රවෘත්තියේ පැවසූ කිසිවක් ලෝචනාට නොඇසුණි. හිද සිටි අසුනින් ඇය නැගී සිටියේ අසිහියෙනි.
“අ.. අ… ආකාශ්” ඇයගේ මුවින් පිට වූයේ කෙදිරිලි හඩකි.
“ලොකු දුව. කලබල වෙන්න එපා. ඔහොමම ඉදගන්න පුතේ.” මවගේ හඩ ඇයට ඇසුණේ ගව් ගණනක් ඈතින් මෙනි.
“අනේ ආකාශ්. අනේ.. ඇයි මගෙ රත්තරන් මේ…” ලෝචනා විලාප තියමින් හඩා වැටෙන්නට වූවාය. තමාගේ හදවත පුපුරා යන්නාක් මෙන් ඇයට දැනුණී. මේ තත්වය ඇයට කිසිසේත්ම දරාගත හැකි එකක් නොවිය. අසිහියෙන් මෙන් විලාප තබමින් සිටි ලෝචනා මීලග මොහොතේ එක්වරම ක්ලාන්ත වී බිම ඇද වැටුණාය.
* * *
දයාන් රේල් පාර අයිනෙන් වැටී තිබූ පටු තාර පාර ඔස්සේ අරමුණකින් තොරව ඇවිදිමින් සිටියේය. මුහුණේ තරමක් දිගට වැවුනු රැවුල් ගස් ඔහු දින කිහිපයකින් කපා තිබුණේ නැත. වෙනත් දින වලදී ඉතාමත් පිළිවෙලට අදින පළදින පුද්ගලයෙකු වූ නමුත් අද දිනයේ ඔහුගේ කමිස කොළරය පවා හරි හැටි නවා නොතිබුණි. ඔහුගේ මුහුණින් දිස් වූයේ අතිශයින්ම කළකිරුණු ස්වභාවයකි. සැබවින්ම ඔහුගේ කළකිරීමට හේතුව ඉතා සාධාරණ විය. දින කිහිපයකට පෙර සුවිශේෂි හැකියා වලින් යුත් සුපිරි මිනිසෙකුව සිටි දයාන් දැන් කිසිවක් කළ නොහැකි නිකන්ම නිකම් දයාන් කෙනෙකු බවට පත්ව සිටියේය.
පිටුපසින් නැගුනු අමුතු ශබ්දයක් නිසා නැවතී හැරී බැලීමට සිතූ මොහොතේම ගෙල පිටුපසට ඉදිකටුවකින් අනින්නාක් මෙන් දැනුණු තියුණු වේදනාව හේතුවෙන් දයාන් තම සුරතින් ගෙල පිටුපස අතගෑවේය. ඉතා කුඩා යමක් තමාගේ ගෙල පිටුපස ඇනී ඇති බව ඔහුට යන්තමින් දැනුණි. නමුත් ඔහුට ඒ පිළිබදව වැඩිදුර සිතීමට නොහැකි වූයේ එක්වරම ඇති වූ තදබල කැරකිල්ල හේතුවෙනි. තත්පර කිහිපයකට පසුව අවට වටපිටාව තමා වටා කැරකෙන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය. තවදුරටත් දෙපයින් සිටගෙන සිටීමට වාරු නැති වූ ඔහු තාර පාර අයිනේ බිම ඇද වැටුණි.
ඒ සමගම එතැනට ළගා වූයේ අළු පැහැති කුඩා වෑන් රථයකි. එම වෑන් රථය දයාන් ඇද වැටුණු ස්ථානය අසලම නැවැත්වූ අතර හැඩි දැඩි පුද්ගලයන් දෙදෙනෙකු එයින් බිමට බැස්සේය. තත්පර කිහිපයක් ඇතුලත දයාන්ව ඔසවා වෑන් රථය තුලට දමා ගත් ඔවුන් ඉතාමත් ඉක්මණින් එම ස්ථානයෙන් පිටත් වූයේ කිසිවෙකුගේ බැල්මට හෝ අවධානයට ලක් නොවන පරිදිය. ක්‍රියාත්මක වූ ආකාරය අනුව ඔවුන් මිනිසුන් පැහැර ගැනීමේ ප්‍රවීණයන් විය යුතුය.
වෑන් රථය තුල දයාන් සිටියේ සිහියත් අසිහියත් අතරය. තමන්ව කිසිවෙකු හෝ පැහැරගෙන යන බව ඔහුට යන්තමින් අවබෝධ විය. නමුත් ඒ වෙනුවෙන් ඔහුට කළ හැකි දෙයක් නොවිය. සිරුර කෙතරම් අප්‍රාණික වී ඇත්දැයි කිවහොත් ඔහුට කතා කිරීමට පවා නොහැකි විය.
තමාව පැහැරගෙන යන්නෙ කවුරුන් දැයි දයාන්ට කිසිදු අදහසක් නොවිය. සැබවින්ම ඔහු එය දැන නොසිටීමද වාසනාවකි. තමාව පැහරගෙන යන්නෙ ලොව ප්‍රමුඛතම රහස් ඔත්තු සංවිධානයක නිලධාරීන් පිරිසක් බව ඔහු දැන සිටියා නම් ඔහුගේ භීතිය දෙගුණ තෙගුණ වනු ඇත.
*****************************
ගුප්ත පරීක්ෂණ දෙවන වෙළුම සමාප්තයි!
*****************************
විශිශ්ටයි . බටහිර ටෙලිනාට්‍ය කතාමාලාවක් මගේ හිතේ මැවුනා . මේක නට්‍ය මාලාවකට හැදුනනම් මරු . මම යෝජනා කරනවා මෙය කතාමාලවක් ලෙස රූපරචනා කරන්න කියල . ඉස්තූතී .
බොහොමත්ම ස්තූතියි. මේ ගැන යම් අදහසක් සහ සැලැස්මක් තියෙනවා. ඒ ගැන වැඩි විස්තර Science Fictions විද්‍යා ප්‍රබන්ධ සිංහල FaceBook page එකේ සහ Science Fictions විද්‍යා ප්‍රබන්ධ FaceBook group එකේ ඉදිරියේදි දාන්නම්.
තුන්වෙනි කොටස ඔනෙමයි.මාර ලස්සනයි.ෆිල්ම් එකක් හදන්න වටිනවා
බොහොමත්ම ස්තූතියි. ගුප්ත පරීක්ෂණ series 3 තවම ලියනවා. ඒක ඉවර කරගන්න තව මාස කිහිපයක් ගත වෙයි. තව මාස කිහිපයකින් ගුප්ත පරීක්ෂණ series 3 න් නැවත හමුවෙමු.
මම කියවන කතා වලින් හොදම කතාව ඉක්මනින් අනිත් කොටස් බලන්න පුලුවන් වෙයි නේද
නියමයි Excellent හරිම ආසාවෙන් කියෙව්වා 3වැනි කොටස එනකල් බලාගෙන ඉන්නේ හරිම රරසවත් කතා මාලාවක්
කථාව මාරම ලස්සනයි.සුපිරි ගලා යෑමක් තියෙනවා.අනිත් දේ තමයි superpowers පාවිච්චි කරද්දී (විශේෂයෙන්ම ගිහාන් පාවිච්චි කකරපු powers) ඒවා වැඩ කරන විදිහත් පැහැදිලි කරපු එක හොදයි.එතකොට නිකන්ම කතාවක් කියවනවට වඩා විද්‍යා ප්රබන්ධයක හැගීම දැනෙනවා.Great and excellent bossa…!
බොහොම ස්තූතියි.