Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 3

ISBN 978-955-44323-2-1

ඔහු ගුවන තුළ අධික වේගයෙන් ඉදිරියට පාවී ගියේ ධීවරයන්ගේ හිස් වලට අඩි පනහක් පමණ ඉහළිනි. තවත් මීටර දෙසීයයක් පමණ ඉහළින් ඉදිරියට ඇදී ගිය ඔහු පොළොවෙහි අඩිය තැබුවද තිරස් වේගය එක්වරම පාලනය කිරීමට අපහසු වූ හෙයින් නතර වූයේ තවත් මීටර තිහක් පමණ ඉදිරියෙනි.

 

පිටුපස හැරී බැලූ විට තමා පසු කළ ධීවරයන් සුපුරුදු පරිදි සිය කාර්යයන් වල යෙදෙනු ඔහුට දක්නට ලැබුණි. කිසිවෙකු තමාව දැක නැත. සිතට නැගුනු තදබල උද්යෝගීමත් හැගීම හේතුවෙන් නැවත වරක් එය කිරීමට ඔහුට ආශාවක් ඇති විය.

 

වඩා හොද පිම්මක් ගැනීමට නම් සිනිදු වැලි සහිත එරෙන සුළු පොළොවක් නොව තද පොළොවක් අවශ්‍යය වේ. සිය දෘශ්‍ය හැකියාව මගින් වෙරළ මත එවැන්නක් සොයමින් සිටි ඔහුට කිලෝමීටර දෙකක් පමණ ඈතින් වැල්ල මත පිහිටා තිබූ කළු ගල් තීරුවක් දක්නට ලැබුණි. එය නම් පිම්ම ගැනීමට ඉතා හොදින් ගැලපෙන ස්ථානයකි. නමුත් ඒ සමගම ඔහුගේ සිතෙහි තවත් අවිනිශ්චිත කරුණු කිහිපයක් පැන නැගුණි. එනම් තමා ඉතා ඉහළ උසකට නැගුණහොත් නැවත පොළොවෙහි පතිත වන විට ඇති වන තදබල ගැටීම දරා ගැනීමට සිය පාද වලට හැකි වේද? වැලි පොළොවක් මතටම පතිත වුවහොත් එය එතරම් ගැටලුවක් නොවනු ඇත. නමුත් ඉදිරියෙහි ඇති වෙරළ තීරය ඒකකාරීව ඇති එකක් නොවේ. එය බොහෝ වංගු සහිත එකකි. එම නිසා තමාව මහ මුහුදට හෝ නිවසක වහළයක් මත ඇද වැටීමටද ඉඩ ඇත.

 

මෙවැනි දේ සිතමින් සිටියහොත් කිසිදිනක මෙම අත්හදා බැලීම කිරීමට නොහැකි වනු ඇත. එම නිසා අනුමාන කිරීම පසෙකින් තැබූ හෙතෙම ඈතින් වූ කළුගල් තීරුව වෙත දිව යන්නට විය. එයට ළගා වන විට අධික වේගයක් ලබාගෙන සිටි ඔහු පර්වතය මත තදින් අඩිය තැබූ සැනින් ගැම්මක් ගෙන ඉහළට පැන්නේය.

 

මෙවර පිම්ම වඩාත් සාර්ථක විය. අධික වේගයකින් ඔහු ගුවන් ගත විය. සැබවින්ම ඔහු ගුවනට විසි වූවා යැයි කිවහොත් වඩා නිවැරදිය. තුවක්කුවකින් මුදා හල උණ්ඩයක් මෙන් ආකාශ්ව ඉතා ඉහළ උසකට ඇදුණි. තමා සිටින්නේ පොළොව මට්ටමේ සිට කොපමණ උසකින් දැයි ඔහුට නිශ්චිත වශයෙන්ම කිව නොහැකි වූවද, එය අඩි සියයකට වඩා වැඩි උසක් බව ඔහුට අනුමාන කළ හැකි වූයේ පහළින් පෙනෙන දර්ශනයට අනුවය.

 

මුල් තත්පර කිහිපයේදී සිතට සුළු බියක් දැනුණද ගුවන තුළ පාවී යන කුල්මත් හැගීම විසින් ඉතා ඉක්මණින් ඒ බිය යටපත් කළේය. ජීවිතයේ මින් පෙර කිසිදු දිනක ගුවන් යානාවක ගමන් නොකළ ආකාශ්ට උකුසු ඇසකින් ලෝකය දැකීමේ අත්දැකීම පළමු වතාවට වඩාත් සජීවීව අත්විදීමට ලැබුණි.

එක් පසෙකින් පෙනෙන කණාමැදිරි එළි මෙන් දිදුලන විදුලි බුබුළු වලින් පිරි ගොඩබිමත්, අනිත් පසින් කෙළවරක් නොමැතිව ක්ෂිතිජය දක්වා ඇදෙන මහා සාගරය නම් වූ ජල කදත්, ඉහළින් පෙනෙන තරු කැට වලින් පිරි අහසත් අතර මැදි වූ ඔහුට ඇති වූයේ වචන වලින් විස්තර කර ගත නොහැකි තරම් වූ අපූරු හැගීමකි. සිරුරේ බර තවදුරටත් ඔහුට නොදැනුණි. ගතටත්, සිතටත් කොතරම් සැහැල්ලු බවක් දැනුණේද යත් තමා අභ්‍යාවකාශයේම කොටසක් යැයි ඔහුට හැගුණි.

 

පානදුර ගංගාවේ මහා ජල කද තමාගේ දෙපතුල් වලට අඩි සිය ගණනක් පහළින් ඇදී ගොස් මෝයකට හරහා මහ සයුරට මුසු වනු හෙතෙම දුටුවේය. වවුලන් වැනි නිශාචර පක්ෂීණ් පවා පියඹා ගියේ ඔහුට වඩා අඩි ගණනාවක් පහළිනි. තමාට වඩා ඉහළින් ඇත්තේ අනන්ත වූ අභ්‍යාවකාශය පමණක්ම දැයි ඔහුට මොහොතකට සිතුණි.

 

මේ අයුරින් තවත් තත්පර විස්සක් පමණ ප්‍රක්ෂිප්තාකාර ගමන් පථයක ඔහුව ඉහළටත් ඉදිරියටත් ඇදුණි. ජලයෙහි පිහිනන අයුරින් දෑත, දෙපය සහ සිරුර ඒ මේ අත චලනය කිරීම මගින් ගමන් කරන දිශාව වෙනස් කළ හැකි බව ඔහුට මොහොතකින් අවබෝධ විය. මීළග තත්පර කිහිපයේදී ඉහළට ඇදීම නැවතී ඔහුව ක්‍රමයෙන් පහළට ඇදී යන්නට විය.

 

තවත් තත්පර කිහිපයකට පසුව ඔහු සිටියේ පොළොව මට්ටමේ සිට අඩි අසූවක් පමණ ඉහළින් කළුතර ගංගාව පෙනෙන මානයෙහිය. මේ අයුරින් ඇදී ගියහොත් තමාව ගංගාවට ඇද වැටීමට ඉඩ ඇත. එම නිසා ඔහු සිය සිරුර එක් පසෙකට ඇල කර වාතලය තුළ පහළට කිමිදෙමින් කළුතර පාලම වෙත ඇදී යන්නට විය.

 

වායුගෝලීය ප්‍රතිරෝධය උපයෝගී කරගෙන තමාගේ වේගය තරමක් දුරට අඩු කර ගත හැකි වූවද තවමත් මෙම ක්‍රියාවලියට ආධුනිකයෙකු වූ ආකාශ්ට එය වඩාත් සාර්ථකව කළ නොහැකි විය. එම නිසා ඔහුව පාලමෙහි තාර පොළොව මත පතිත වූයේ තරමක වේගයකිනි.

 

ගැටීම සිදු වූ විගසම තම සපත්තු වල අඩිය ගැලවී යනු ඔහුට දැනුණි. මාර්ගය දිගේ අපේක්ෂා කළ දුරට වඩා වැඩි දුරක් ඔහුව ඉදිරියට විසි වී ගියේය. එම නිසා වේගයෙන් ඉදිරියට පැමිණි මාතර කොළඹ බස් රථයක නොගැටී යන්තමින් ඔහුව බේරුණේ ක්ෂණිකව මාර්ගයේ අනිත් පැත්තට පැනීමෙනි.

 

තමා ධාවනය කළ මාර්ගය ඉදිරියට කොහෙදෝ සිට විශ්වාස කළ නොහැකි තරම් අධික වේගයකින් පැමිණි අදුරු මිනිස් රුව දැක කලබලයට පත් බස් රථයේ රියදුරා හැකි ඉක්මණින් තිරිංග යොදා බස් රථය නතර කර ගත්තේය. ඉන්පසුව වටපිට බැලූ රියදුරා දුටුවේ මාර්ගයේ අනිත් මංතීරුවේ එම අද්භූත රූපය කිසිදු උපද්‍රවයක් සිදු නොවුණාක් මෙන් සිටගෙන සිටින අයුරුය. එක්වරම තිරිංග යෙදීම හේතුවෙන් කලබලය පත් මගීන්ද බස් රථයේ වීදුරු තුළින් පිටත පිරික්සන්නට විය. ආකාශ් සිටගෙන සිටි මංතීරුවේ ගමන් කළ වාහන කිහිපයක්ද මාර්ගය අවහිර වීම නිසා පාර මැද නතර විය.

 

බස් රථයේත්, අනිත් වාහන වලත් සිටි බොහෝ දෙනෙකු තමන් දෙස බලා සිටින බව ආකාශ් දුටුවේය. හදුනාගත නොහැකි අයුරින් මුහුණු ආවරණයක් පැළද සිටීම වාසනාවක් යැයි ඔහුට සිතුණි. ඒ සමගම තරමක් ඈතින් නමුත් පෙනෙන තෙක් මානයේ ගමන් කරන දුම්රියක හඩක් ආකාශ්ට ශ්‍රවණය විය. තමා දෙස බලා සිටින පිරිසට අමතක නොවන සංදර්ශණයක් පෙන්විය යුතු යැයි ඔහු තුල තරමක පෙරළිකාර සිතිවිල්ලක් පහළ විය.

 

දුම්රිය ගමන් කරන පාලම පිහිටා තිබුණේ වාහන ගමන් කරන පාලමට වඩා මීටර කිහිපයක් දුරිනි. තමා දැන් සිටින ස්ථානයේ සිට අනිත් පාලමෙහි ගමන් කරන දුම්රියකට පැනීම සාමාන්‍යය මිනිසෙකුට කිසිසේත්ම කළ නොහැකි දෙයකි.

 

තවත් තත්පර කිහිපයක් ගත විය. දුම්රිය ක්‍රමයෙන් ආකාශ් සිටි ස්ථානයට ළගා විය. ක්ෂණිකව තමා සිටගෙන සිටි වාහන ගමන් කරන පාලමේ කෙළවරට දිව ගොස් එහි වූ ආරක්ෂිත වැටෙහි කණ්ඩියට අඩිය තබනවාත් සමගම ඔහු අනිත් පාලමෙහි කොළඹ දෙසට ගමන් කරන දුම්රිය වෙත පැන්නේය.

 

විස්මයෙන් විස්මයට පත්ව ඉහළට ගත් හුස්ම පහළට යවා ගත නොහැකිව පිරිස බලා සිටින අතරේ ආකාශ් දුම්රියේ වහලය මත පතිත විය. ඉන්පසුව ආපසු හැරී බැලූ ආකාශ් තමා දෙස අනිත් පාලමේ සිට බලා සිටි පිරිසට අත වනා සමුදුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!