Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 4
ISBN 978-955-44323-2-1
දුම්රියේ වහළ මත විටෙක ඇවිදිමින්ද, විටෙක වාඩිවෙමින්ද ඔහු ගල්කිස්ස තෙක් පැමිණියේය. ‘මවුන්ට් ලැව්නියා’ ලැගුම් හලද පසු කර ටික දුරක් ඉදිරියට ගිය පසු හෙතෙම නැවතත් වෙරළ මතට පැන්නේය. ඉක්බිති ස්වල්ප දුරක් සෙමින් ඇවිද ගිය ඔහු වෙරළෙහි තිබූ කිසියම් ඉදිකිරීමක් සදහා ගෙනවිත් ගොඩ ගසා තිබූ විශාල කොන්ක්‍රීට් වළල්ලක් තුළට ගොස් උඩුබැලි අතට වැතිරුණේය.
එය වළාකුළු වලින් තොර වූ පැහැදිලි අහසක් සහිත දවසක් විය. ඈත අහසේ ධවල පැහැයෙන් බබළන අර්ධ චන්ඳ්‍රයා දෙසත්, ඊටත් එහා අනන්ත වූ අවකාශයේ අනේක වර්ණයන්ගෙන් දිදුලන අපරිමිත තරු කැට දෙසත් බලාගෙන ඔහු කල්පනා කරන්නට විය. තමාට ලැබී ඇති මෙම විස්මයජනක හැකියාවන් සහ දෙව්ගල වරින් වර දිස්වන අද්භූත ආලෝක ප්‍රභවයන් අතර ඍජු සම්බන්ධතාවයක් ඇතැයි ඔහුට තදින් දැනුණි. ඒ පිළිබදව දිගින් දිගටම කල්පනා කළද පිළිගත හැකි තරමේ අදහසක් ඔහුට කල්පනා නොවිය.
“ඇත්තටම ඇයි මට මේ බලය දුන්නෙ? ඔයාල කවුද? කොහේ ඉදන්ද ආවෙ? කවුරු වුණත් කමක් නෑ. මේක නම් නියමයි. ඒත් මට තැන්ක් යූ කියලවත් කියන්න විදියක් නෑ.” මෙවැනි කෙළවරක් නොමැති දහසකුත් සිතිවිලි ඔහුගේ සිත තුළ ගලා යන්නට විය.
“සතුටයි මේ ජීවිතේ, කිසි..දු…. ඇහ්…” තරමක් ඈතින් ඇසුණු හඩක් හේතුවෙන් ආකාශ්ගේ කල්පනා ලොව බිදී ගියේය. ශබ්දය ඇසුණු දිශාවට සිය අවධානය යොමු කළ ආකාශ් දුටුවේ ඔහු සිටි ස්ථානයට මීටර සියයක් පමණ දුරින් සිටි බීමත් මිනිසුන් දෙදෙනෙකි. එක් අයෙකු වෙරි මතින් වැල්ලෙහි නිදා සිටි අතර අනෙකා මත්පැන් බෝතලයක් අතෙහි තබා ගෙන හුදෙකලාව ගීතයක් ගායනා කරමින් සිටියේය.
සාමාන්‍යයෙන් වෙරිමතින් සිටින පුද්ගලයන් සමග කතා බහ කිරීමට ආකාශ් එතරම් කැමැත්තක් නොදැක්වූවද සිතෙහි ඇති තෘප්තිමත් බව නිසාම ඔවුන් සමග කතා කළ යුතු යැයි ඔහුට සිතුණි.
තම හිස්වැස්මත්, මුහුණු වැස්මත් සාක්කුවක දමා ගත් ආකාශ් ඔවුන් සිටි ස්ථානයට පියනගන්නට විය.
“ආ.. කොහොමද අයියා?” ආකාශ් හිතවත් ස්වරයකින් කතා කළේ වෙරිමතින් සිටින විට බොහෝ මිනිසුන් ඕනෑම අයෙකු සමග ඉතා සුහදව කතා කිරීමට පෙළඹෙන නිසාය.
“අපිට හොදයි මල්ලි. ජීවිතේ… මරු.”
“මොකෝ අයියෙ, මේ අනිත් එක්කෙනා නිදි?”
“මොකක්? නිදි? කෝ බලන්න, ඈ යකෝ මූ…. ඇහ් ඇහ්, මූ මටත් නොකිය නිදිනෙ. අඩෝ…, නැගිටපිය. අයිසේ, නැගිටිනවා, නැගිටිනවා.”
“ආ.. කමක් නෑ. අමාරුත් ඇතිනේ. ඔහොම නිදාගන්න දෙන්න.”
“ඔව් මල්ලි, මූ මහ කාලකණ්නියා. කමක් නෑ. ඌගෙ පංගුව මල්ලි ගහපන්. ආ… ගන්න, ගන්න.”
“එපා අයියේ, දැන් නම් බෑ.”
“ගන්න බෑ? ඒ කියන්නෙ… ඒ කියන්නෙ උඹට මං ගානේ දෙන අඩිය ගන්න බෑ?”
“ඔව් අයියෙ, දැන් නම් ටිකක් මහන්සියි. මං මේ වටයක් දුවල ආවෙ.”
“උඹට ගන්න බෑ. හරි හරි, ප්‍රශ්නයක් නෑ, මල්ලි. එතකොට… උඹට මේක ගන්නම බැරිද?”
ආකාශ්ට සිනහ පහළ විය. අසිහියෙන් සිටින මේ මිනිසාව වෙනත් මාතෘකාවකට ඇද දැමිය යුතු යැයි ඔහුට සිතුණි.
“අයියෙ, මට පොඩි දෙයක් දැනගන්න ඕනෙ.”
“මොකද්ද? ඕන පුරස්නෙකට විසදුම්… මේ සුමනේ ගාව තියෙනව. කටින් නම් එහෙමයි. අතින් පයින් නම්… ඇහ් ඇහ්. එහෙමයි. මල්ලිට කොහොමද ඕනෙ?”
“අයියට ලොකු බලයක් ලැබුණොත් මොකද කරන්නෙ?”
“මට… ලොකු බලයක්. එහෙනම් මං ඔය පොලෝසියේ ඉන්න හැතිකරේ ඔක්කොම පන්නනවා. පන්නල… මං පොලොසියේ ලොක්කා වෙනව. කසිය ටිකක් පෙරන්න දෙන්නැති බලු හැත්ත…, උන්ට ලොකු ලොක්කන්ගෙ කුඩු පන්නන්න හොදයි. අපි පොඩ්ඩක් මොනව හරි කළාම තමා… උන්ගෙ අර්ශස් තද වෙන්නෙ… ම්.”
“නෑ නෑ. මං කිව්වෙ එහෙම බලයක් නෙමෙයි. මායා බලයක් ලැබුණොත් මොකද කරන්නෙ? එතකොට ඔයාට පියාඹන්න පුළුවන්. එකපාර සීයක් එක්ක වුණත් ගහගන්න පුළුවන්.”
“සීයක් එක්ක, එකපාර? යකෝ… එහෙමත් බල තියෙනවද? මරුනෙ.”
“ඔව්. සමහර විට එහෙම ඒව හම්බවෙනවා. ඉතින් ඔයා මොකද කරන්නෙ?”
“ම්… මම… මං කොරන්නෙ නේද? මම… ම්… ආ… මං අර සුදු ටෝනියව ඉවරයක් කරනවා. ඉවර කරල උගෙ සල්ලියි, ගෑනුයි මං ගන්නවා. ඔව්…, මං ඒ පරයව ඉවරක්… ඇහ්… කරනවා.”
“සුදු ටෝනි? ඒ කවුද?”
“මොකක්… තෝ සුදු ටෝනියව දන්නෑ?”
“නෑ. මං දන්නෙ නෑ.”
“ඈ යකෝ…, එතකොට තෝ මේ වැයික්කියේ…”
“මං මේ වැයික්කියේ නෙමෙයි. ටිකක් දුර.”
“මං හිතුවා, මං හිතුවා තෝ මේ වැයික්කියේ නෙමෙයි කියල. මෙහෙ වරෙන් උඹට පෙන්නන්න…, ආන්න අතන පාරෙන් ගියාට පස්සෙ…, බොට සුදු ටෝනිය ගහගන්න තැන හම්බවෙයි.”
මෙවෙලෙහි ආකාශ්ගේ ජංගම දුරකතනය නාදවෙන්නට විය. ඇමතුම ලෝචනාගෙනි. බීමත් මිනිසා සමග කළ සංවාදය එතෙකින් අවසන් කළ ආකාශ්, ඇය සමග නිදහසේ කතා කිරීමේ අරමුණින් නැවතත් වෙරළ දෙසට පියමැන්නේය.
“මොකද අනේ ආන්ස කරන්නෙ නැත්තෙ? මං ඔයාට කී පාරක් ගත්තද? ලෝචනා නොක්කාඩු ස්වරයකින් ඇසුවේ ගෙවුණු හෝරාව ඇතුලත ඇය ඔහුට පස් වතාවකට වඩා ඇමතුම් ලබා ගත්තද ප්‍රතිචාරයක් නොලැබුණු හෙයිනි.
“සමාව දෙනු මැන කුමරිය, මා කළ වරදට” ආකාශ් හාස්‍ය මුසු ස්වරයෙන් පැවසුවේ ඇයව අස්වැසීම සදහාය.
“ඔව්, දැන් ඉතින් මොකක් හරි කියනවා. මට ඔයත් එක්ක හරි තරහයි අනේ. ඇයි අද හවස එන්න බෑ කිව්වෙ? අනික මොකද්ද ඔය සද්දෙ? ඔයා ඔය කොහෙද ඉන්නෙ?”
ඇයට මුහුදු රළ වදින හඩ දුරකතනය ඔස්සේ ඇසී ඇති හැඩකි.
“බබා, මං දැන් ඉන්නෙ… ම්… ඇත්තම කියනව නම් බීච් එක කිට්ටුව.”
“බීච් එකේ, මේ මහ රෑ තනියම? ඔයාට පිස්සුද?”
“හරි හරි බබා. බයවෙන්න එපා. දැන් මං ඉන්නෙ හොස්ටල් එක කිට්ටුව. හැමදාම අරූගේ කෑම කාලා එපා වෙලා හින්ද මං කෑම එකක් ගන්න එළියට ආවා. තව පොඩ්ඩ දුරයි තියෙන්නෙ. ඉතින් ඒ ටික බීච් එක දිගේ ඇවිදගෙන එන්න හිතුණා.” ආකාශ් අකමැත්තෙන් වූවද බොරුවක් පැවසුවේ ඇයගේ වෙනත් අතුරු ප්‍රශ්න විමසීම් වලින් ගැලවීමටය.
“ඒ වුණාට මේ මහ රෑ තනියම බීච් එකේ ඇවිදින්න ඔයාගෙ ඔළුව හොද නැද්ද අනේ? කවුරු ඉන්නවද කියල කොහොමද දන්නෙ? අනේ බබා, ඔය ළග තියෙන ත්‍රීවීල් එකක නැගල හරි ඉක්මණට යන්න. මට බයයි.”
“හරි හරි බබා, බයවෙන්න එපා ඉතින්. මං කිව්වනෙ, මං දැන් හොස්ටල් එකට තත්පර ගාණක දුරින් ඉන්නෙ. තව ටිකකින් මං කාමරේ ඇද උඩ.”
ආකාශ් එසේ පැවසුවද ඔහු සිටියේ තම නවාතැනට කිලෝමීටර කිහිපයක් දුරිනි. නමුත් සැබවින්ම ඔහුට අවශ්‍යය නම් තත්පර කිහිපයක් ඇතුලත එහි ළගා වීමේ හැකියාව තිබුණි.
“ඒ වුණාට ඔය පැත්තෙ හොරු මංකොල්ලකාරයො නෑ කියල කොහොමද කියන්නෙ? මීට පස්සෙ එහෙම මට කියන්නෙ නැතුව රෑ කොහෙවත් යන්න එපා. මුලින් මට කතා කරල ඉන්න ඕනෙ… හරිද?”
ඇයගේ ඉල්ලීම ඇසූ ආකාශ්ට සිනහ පහළ විය.
“එසේය කුමරිය, එසේය. මින් පසුව මා බැහැරක් යාමට මත්තෙන් ඔබතුමියගෙන් අවසර පතා සිටින්නම්…”
“විහිළු නෙමෙයි අනේ…”
“හරි බබා, සමහර විට කෝල් කරන්න නම් බැරි වෙයි. හැබැයි කොහේ හරි යන්න කලින් කෝල් එකක් ගන්න බැරි වුණොත් මං අනිවාර්යෙන් මැසේජ් එකක් හරි ඔයාට එවන්නම්.”
“ඇත්තටමද ඔය කියන්නෙ?”
“ඔව්, ඇත්තටම.”
“අයි ලව් යූ.”
“අයි ලව් යූ ටූ.” ආකාශ් පෙරළා පැවසුවද ඔහුගේ සිත තුළ ඇති වූයේ අවිනිශ්චිත බවකි. ඇයගේ ආදරය අතිශයින්ම නිකැලැල් එකක් වූ හෙයින් තමා පිළිබද කරුණු තවදුරටත් ඇයගෙන් සැගවිය යුතු දැයි ඔහුට සිතුණි. මේ සියල්ල ඇයට පැවසීමට ඔහුට අවශ්‍යය විය. නමුත් ඒ කරුණු ඇයව තමාගෙන් දුරස් කරනු ඇතැයි අනියත බියක් ඔහු තුළ ඇති විය.
තත්පර කිහිපයක නිහැඩියාවක් පැවති අතර එය බිද දැමුවේ ආකාශ් විසිනි.
“මං තනියම ගමන් යනවට ඇයි ඔයා බය?”
“තනියම යනවට නෙමෙයි අනේ. මහ රෑ එහෙ මෙහෙ යනවටයි මං බය. මොකක් හරි කරදරයක් වුණොත් එහෙම?”
“අයියෝ… එහෙම මුකුත් වෙන්නෙ නෑ. මාව විශ්වාස කරන්න. කාටවත් බෑ දැන් මට එහෙම කරන්න. පොඩි කතාවකුත් තියෙනවා. මං කියන්නද?”
“ඉතින් කියන්නකො අනේ.”
“හරි, කතාව පටන් ගන්නෙ… ම්…, හරි. ඔයාට මතකද බබා දවසක් මං ඔයාට කිව්ව මං රෑට අහස දිහා බලන් ඉන්න ගොඩක් ආසයි කියල?”
“ඔව්. එදා අපි ගොඩක් වෙලා ඉර බැහැගෙන යන විදිය බලාගෙන හිටියෙ. ඇයි එදා අපි…” පැවසූ ඇය වාක්‍ය අතරමැද නතර කර සිනාසෙන්නට විය.
ඒ දිනය මෙනෙහි වීමෙන් ඔහුටද සිනහ පහළ විය. එදා ඔවුන් දෙදෙනා බොහෝ වාරයක් ඔවුනොවුන් සිපගත් දිනයක් විය.
“වස්තුවේ…”
“ඔව්.”
“මට ආපහු දවසක ඒ වගේ ඔයත් එක්ක ඉර බැහැගෙන යන විදිය බලාගෙන ඉන්න ඕනෙ.” ඇය පැවසුවේ එදා දැණුන මිහිර නැවත නැවතත් සිතින් ආවර්ජනා කරමිනි.
“මං ඉක්මණටම එන්නම්.”
නැවතත් ඔවුන් අතර පැවතියේ සුළු නිහඩතාවයකි.
“කෝ ඉතින්, කතාව අතරමග නැවතුනානෙ. කියන්නකො…”
“හරි, බබා… කාමරේ ජනේලෙ ඇරලද තියෙන්නෙ?”
“ඔව්.”
“එහෙනම් ජනේලෙ ළගට යන්නකො.”
“හරි, ආවා.”
“දැන් එහෙනම් අහස දිහා බලන්න. මොනවද පේන්නෙ?”
“අද අහස ලස්සනයි. හද තියෙනව. තරුත් ගොඩක් තියෙනව. ඔයා තමයි මං ළග නැත්තෙ.” වාක්‍යයේ අවසාන කොටස ඇය පැවසුවේ මැසිවිලි හඩකිනි.
“මේ අහන්නකො, ඔයාට පේනවද හද කිට්ටුවෙන්ම තියෙන රතු පාට තරුවක් එක්ක තියෙන තරු හතර?”
“හ්ම්, පේනවා.”
“ඊට පොඩ්ඩක් එහා පැත්තෙන් තියෙන සුදු පාට ලොකු තරුව?”
“මට ඒකත් පේනව රත්තරන්.”
“ඔයා දන්නවද බබා, ඔය තරු වලටත් වඩා එහා ගොඩාක් ඈතින් තියෙන තරුවක ඉදන් කට්ටියක් ආව මේ ලෝකෙට.”
“ම්…”
“ඇවිල්ල එයාල මට ලොකු බලයක් දුන්න.”
“ඉතින් ඊට පස්සෙ.” ඇය කුඩා දැරියක මෙන් සිනාසෙමින් ඇසුවාය.
“ඊට පස්සෙ… එයාල මට දෙයක් කිව්ව. මොකද්ද දන්නවද?”
“මොකද්ද?”
“ලෝචනා කියල පිස්සු කෙල්ලෙක් ඉන්නවා. එයාට සමහර දවස් වලට ටිකක් පිස්සුව තද වෙනවා. එතකොට පොඩ්ඩක් ඒක සනීප කරල දෙන්න කියල.”
“ළග හිටිය නම් දන්නව මං කරන දේ… මෝඩයා…”
ඔවුන් දෙදෙනාම තත්පර කිහිපයක් හඩ නගා සිනාසුනෝය. ඉන්පසුව නැවතත් සුළු නිහැඩියාවක් ඇති විය. මෙවර එය බිද දැමුවේ ලෝචනා විසිනි.
“වස්තුවේ… ඔයා දන්නැති වුණාට ඒ තරුවෙ ඉදන් ආපු කට්ටිය මාවත් හම්බවෙන්න ආවා.”
“නෑ… ඉතින් එයාල මොකද්ද ඔයාට දුන්නෙ?”
“මට නම් මුකුත් දුන්නෙ නෑ. ඒ වුණාට මටත් දෙයක් කිව්වා.”
“මොකද්ද? මං දෙන බෙහෙත් ටික හරියට බොන්න කියල කිව්වද?”
“මගෙන් ගුටි කනව දැන් නම්.. කියන්නෑ කතාව. මං කියන්නෙ නෑ.”
“අනේ… හරි හරි ඉතින්. මොකද්ද කිව්වෙ කියල කියන්නකො.”
“ආකාශ් කියල කොල්ලෙක් ඉන්නවා. එයා ඔයාට හොරෙන් දැන් බීච් එකට ගියා. ආපහු එහෙම යන්න දෙන්න එපා කියල.”
ලෝචනාට නොපවසා මුහුදු වෙරළට පැමිණිම ගැන ඇය තවමත් සුළු සිත්තැවීමකින් පසුවන බව ආකාශ්ට වැටහුණද ඔහු ඒ ගැන ඇයගෙන් විමසීමට නොගියේය. එසේම තමා පිළිබදව යථාර්තය සිහිවීමෙන් ඔහු තුළ ඇති වූයේ තරමක පසුගාමී බවකි. තමන් සාමාන්‍යය මනුෂ්‍යය මට්ටම ඉක්මවා ගිය අයෙකු හෙයින් අනාගතයේ කවදා හෝ දිනක තමාට ඇයව අතහැර දැමීමට සිදුවනු ඇතැයි යන සිතිවිල්ල සිත තුළ නැවත නැවතත් ඉස්මතු වෙන්නට විය. ඇය ඔහුට ඉතාමත් ආදරණීය පෙම්වතියක් විය. කෙසේ නම් ඇයව අත්හැර දමන්නද?
* * *
Danui ek okkoma kotas kywl iwr kre. Kathawak as issrh mawila pena sundara thrilling amazing kthwk. Amuthu wenas lassna kathwak . Kywnn wachana na . Dgtm lynn ❤️ goog luck
බොහොම ස්තූතියි.