Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 5

ISBN 978-955-44323-2-1

“ආකාශ්, මෙන්න තවත් අර වගේ සිද්ධියක් වෙලා.” පරිගණකය වෙත යොමු කරගෙන සිටි දෙනෙත් ඉවතට නොගනිමින් නිශා පැවසුවේ උනන්දුවෙන් යුතුව එහි තිබූ විස්තරය කියවමිනි.


“මොන වගේ සිද්ධියක්ද?” ආකාශ් විමසුවේ නිශාගේ පරිගණක තිරය වෙත නෙත් යොමු කරමිනි.


“මේක බලන්නකො.”


ආකාශ් පරිගණක තිරයේ තිබු විස්තරය කියවන්නට විය. එය විවිධාකාර සිද්ධීන් සහ ප්‍රසිද්ධ මිනිසුන්ගේ ඕපාදූප පළ කරන වෙබ් අඩවියකි. එම වෙබ් පිටුවේ ප්‍රවෘත්ති ශිර්ෂ පාඨය වූයේ ‘කළුතර පාලමේ අද්භූත මිනිසෙක්’ යනුවෙනි.


එය දුටු විගසම ඔහුගේ සිතෙහි තරමක චකිතයක් ඇති වූයේ සමීප ඡායාරූප පළ වී ඇත් දැයි සිතුණු හෙයිනි. නමුත් කළුතර විහාරයෙහි සහ පාලමෙහි ඡායරූපයක් හැරුණු කොට වෙනත් ඡායාරූපයක් එහි පළ වී නොතිබුණි.


“පෙර දින රාත්‍රියෙහි කළු ඇදුමක් ඇදගත් අද්භූත පුද්ගලයෙකු කළුතර පාලම මත සැරිසැරූ බව එහි ගමන් කළ පුද්ගලයන් කිහිපදෙනෙකු අපගේ ප්‍රාදේශීය වාර්තාකරුට පවසා සිටියා. මෙම හදුනානොගත් පුද්ගලයා කොහේ සිට පැමිණි අයෙකු දැයි කිසිවෙකු නොදන්නා අතර ඔහුව පළමුවෙන්ම දුටු මාතර කොළඹ පෞද්ගලික බස් රථ රියදුරෙකු පවසා සිටියේ මෙම අද්භූත පුද්ගලයා කළු පැහැති වෙස් මුහුණකින් මුහුණ ආවරණය කරගෙන සිටි බවයි. සුළු මොහොතක් මාර්ගය මත සිටගෙන සිටීමෙන් අනතුරුව ඔහු බලා සිටි සියල්ලන්ම විශ්මයට පත් කරමින් ඒ මොහොතෙහි අනිත් පාලමේ ගමන් කළ දුම්රියකට පැන ඇත. සිද්ධිය ඇසින් දුටුවන් පවසා සිටින්නේ…”


“ඔයාට මේ ගැන මොකද හිතෙන්නෙ?” ආකාශ් දෙස බලමින් නිශා විමසුවේ ඔහු දිගටම පරිගණක තිරය දෙස බලාගෙන කල්පනා කරමින් සිටි නිසාය.


“ම්… අනේ මන්දා. ඕවා ඇත්තද බොරුද කියල කවුද දන්නෙ?”


“ඒක නම් එහෙම තමයි. ඕන කෙනෙකුට මේ වගේ බොරුවක් ගොතල දාන්න පුළුවන්. ඒත් මං මේ බැලුවෙ මේ කතාව ඇත්ත නම් අර සාප්පුව කැඩුවෙත් මෙයාමද කියල.”


“නිශා, ඔයාට හිතෙන්නෙ නැද්ද සාප්පුව කඩපු හොරා වගේ තව අමුතු ජාතියේ මිනිස්සු ඇති කියල. මොකද ඔය වගේ අමුතු හැකියා තියෙන මිනිස්සු මේ ලෝකෙ ඉදල තියෙනව කියල මං අහල තියෙනව.”


ආකාශ් කල්පනාකාරීව විමසුවේ ඇයගේ අදහස දැනගැනීමටය. ඇය නිතීඥවරියක් වූ නිසා වඩාත් නැණවත් පිළිතුරක් ලැබේ යැයි ඔහු අපේක්ෂා කළේය.


“ඔව්, ඔය හිතේ බලයෙන් හැදි නවනව කියන මිනිස්සු ගැන මාත් අහල තියෙනව. ඒත් ඉතින් ඔය වගේ දේවල් පැහැදිලි කරන විදියක් ගැන නම් මං දන්නෙ නෑ. කොහොම වුණත් ඔය වගේ කට්ටිය ඇත්තටම ඉන්නව නම් ඒක අනිත් අයට අනතුරක් වෙන්නත් පුළුවන්.”


“අනතුරක්…? ඇයි එහෙම කියන්නෙ?”


“රත්තරන් බඩු සාප්පුවේ වෙච්ච දේ ඔයා දැක්කනෙ?”


“ඔව්. එතනදි නම් අවුලක් තමයි. ඒත් මේකෙ තියෙන කළුතර වෙච්ච සිද්ධියෙදි මුකුත් ප්‍රශ්නයක් වෙලා නෑ නේද?”


“තියෙන විස්තරේ හැටියට නම් මුකුත් අවුලක් වෙලා නෑ තමයි. ඒත් ඉතින් හරි විස්තරයක් ගැන අපි දන්නෙ නෑනෙ. අනික මේ කතාව ලියපු මනුස්සයගෙ බොරුවක්ද දන්නෑ.”


“ඔය වගේ කෙනෙක් ඔයාගෙ ඉස්සරහට ආවොත් ඔයා මොකද කරන්නෙ?” ආකාශ් සිනාසෙමින් හාස්‍යය මුසු ස්වරයෙන් ඇසුවද ඇයගේ පිළිතුර දැන ගැනීමේ දැඩි අවශ්‍යයතාවයක් ඔහු තුළ තිබුණි.


“අනේ මන්දා… ඒ වෙලාවට මං මොනව කරයිද කියල මටත් හිතාගන්න අමාරුයි. කොහොම වුණත් ඔය වගේ කෙනෙක් හම්බනොවෙන තරමට හොදයි.”


නිශාද පෙරළා සිනාසෙමින් පැවසුවද ඇය පැවසූ අවසාන වැකිය තුළ ආකාශ්ට සිතීමට කරුණු බොහෝමයක් අන්තර්ගත විය.


* * *


එදින තරමක් තදින් සුළං හැමූ දිනයක් විය. වේලාව රාත්‍රි අට පසු වී තිබුණි. කළු පැහැති අදුරු ඇදුමකින් සහ කළු පැහැති මුහුණු ආවරණයකින් සැරසී සිටි ආකාශ් ගල්කිස්ස මුහුදු තීරය ආසන්නයේ පිහිටා තිබූ ‘රෙඩ් ඊගල්’ යනුවෙන් නම් කර තිබූ විශාල ගොඩනැගිල්ලක් පෙනෙන තෙක් මානයේ සිට එය දෙස බලා සිටියේය.

සුමනේ නමැති බීමත් පුද්ගලයා සුදු ටෝනි නමැත්තා පිළිබදව පැවසූ මොහොතේ පටන්ම ඔහුව සොයා ගැනීමට ආකාශ් තුළ උනන්දුවක් ඇති විය. ඊට එක් හේතුවක් වූයේ සුමනෙගෙන් ලැබූ සුළු විස්තරයට අනුව වූවද සුදු ටෝනි නමැත්තා බොහෝ දුරට නීති විරෝධි කටයුතු වල නියැලෙන අයෙකු බව අනුමාන කළ හැකි වීමයි. අනිත් හේතුව නම් “අන්න අතන පාරෙන් ගියාට පස්සෙ බොට සුදු ටෝනියා ගහගන්න තැන හම්බුවෙයි.” යනුවෙන් සුමනේ විසින් පැවසීමයි. ආකාශ්ගේ වඩාත්ම සිත්ගත් කරුණ වූයේ මෙම දෙවන හේතුවයි. එම නිසා පසුගිය දින කිහිපය පුරාම ආකාශ් සුදු ටෝනි පිළිබදව සොයා බැලුවේය. වැඩි තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූවද සුදු ටෝනි යනු බර්ගර් සම්භවයක් ඇති සංදර්ශන සදහා කුලියට සටන්කරන දක්ෂ සටන්කරුවෙකු බව ඔහුට සොයා ගැනීමට හැකි විය. එසේම ලැබුණු තොරතුරු වලට අනුව රෙඩ් ඊගල් සමාජ ශාලාව සුදු ටෝනි නිතර ගැවසෙන ස්ථානයකි.

 

මෙම සමාජ ශාලාවේ සටන් සන්දර්ශන පවත්වන කොටසට සාමාජික කාඩ්පතක් නොමැතිව ඇතුල්විය නොහැකි බව ආකාශ් කලින්ම දැන සිටියේය. නමුත් හොරෙන් ඇතුල් වීමට පෙර එක්වරක් හෝ සාමාන්‍යය ආකාරයට උත්සහ කළ යුතු යැයි ආකාශ්ට සිතුණි.

 

ඇතුල්වීමේ දොරටුව අසල හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙකු මුරට සිටියද ආකාශ් ඔවුන්ව නොතකා ඇතුල් වීමට ගියේය. නමුත් එක් මිනිසෙකු ඔහුගේ ගමන් මග අවහිර වන අයුරින් සිට ගත්තේය.

 

“සර්, කාඩ් එක පෙන්නන්න පුළුවන්ද?”

 

ආකාශ් සිය කලිසම් සාක්කු තුළ සාමාජික කාඩ්පත සොයන අයුරින් සුළු මොහොතක් ව්‍යාජ රගපෑමක යෙදුනි.

 

“ආහ්…, මට කාඩ් එක ගේන්න අමතක වෙලානෙ. මං මේ පොඩි වැඩකට ආවෙ. වැඩි වෙලා ඇතුලෙ ඉන්නෙ නෑ. ඉක්මණට එනවා.” ආකාශ් එතරම් වෙනසක් නොපෙන්වා පළපුරුදු අයෙකු මෙන් පැවසුවේය.

 

“එහෙම නම් බෑ සර්. කාඩ් එක නැතුව කාටවත් ඇතුලට යන්න දෙන්න එපා කියලයි අපිට දැනුම් දීල තියෙන්නෙ.”

 

“අයියෝ, මට දැන් කාඩ් එක අරන් ආපහු එන්නද කියන්නෙ. අනික මේක හදිසි වැඩක්. මං ආවෙ සුදු ටෝනිව හම්බවෙන්න.”

 

“සොරි සර්, යන්න දෙන්න නම් විදියක් නෑ. මේක අපේ රස්සාවනෙ. මැනේජ්මන්ට් එක කියන විදියට තමයි අපි වැඩ. අනිත් එක සර්ට මේ වෙලාවෙ නම් ටෝනි මහත්තයව හම්බවෙන්න බැරි වෙයි. ඊයෙ මිනිහ පළවෙනි වතාවට පැරදුණානෙ.”

 

“මොකක්? සුදු ටෝනි පැරදුණා… කාටද?” ආකාශ් තතු දත්තෙකු සේ පැවසුවේ මෙම මිනිසුන් දෙදෙනාව මිත්‍ර කරගත හැකි වුවහොත් කරදරයකින් තොරව තමාට ඇතුලට යාමට හැකි වේ යැයි සිතමිනි.

 

“එක නම් දන්නෑ සර්. අපි දන්න කෙනෙක් නම් නෙමෙයි. මෙතන හිටපු හින්ද අපි නම් දැක්කෙ නෑ. ඒත් ඇතුලෙ හිටපු අය කිව්ව ඒ මිනිහා ඇහැට පේනනෙ නැති තරම් ඉක්මන් කියල. තරගෙ ඉවරවෙලා සල්ලි ගත්තට පස්සෙ මිනිහ එකපාරටම වාෂ්පවෙලා ගියා වගේ අතුරුදහන් වුණාලු.”

 

එම වදන් ඇසූ ක්ෂණයෙහිම ආකාශ්ගේ කුතුහලය ඇවිස්සී ගියේය. ඒ විශේෂ හැකියාවක් සහිත තවත් පුද්ගලයෙක්ද?

 

“ඔයාල ඒ මිනිහව දැක්කෙ නැද්ද?”

 

“නෑනෙ. අපි හිටියෙ එළියෙ. අනික අද උදේ තමයි මේ විස්තරෙත් දැනගත්තෙ.”

 

“මට පොඩි වෙලාවකට ඇතුලට යන්න බැරිද?”

 

“ඒක නම් කරන්න බෑ සර්. දන්නවනෙ මෙහේ නීති වල හැටි.”

 

තවත් ස්වල්ප මොහොතක් ඔවුන් සමග කතා බහ කිරීමෙන් අනතුරුව තමාට ඇතුල්වීමේ දොරටුව තුළින් ඇතුලට යා නොහැකි බව ආකාශ් වටහා ගත්තේය. එම නිසා තවදුරටත් එතැන නොරැදුණු හෙතෙම එම ස්ථානයෙන් ඉවත් වූයේ ඇතුල් විය හැකි වෙනත් ක්‍රමයක් ගැන සිතමිනි.

 

ගොඩනැගිල්ලෙන් තරමක් ඈතට ගිය ආකාශ් එය දෙස බලාගෙන කල්පනා කරන්නට විය. ඔහු සතු අපූරු දෘෂ්‍යය හැකියාව හේතුවෙන් රාත්‍රි ඝනදුර පෙනීමට කිසිදු අයුරකින් බාධාවක් නොවිය.

 

එය මහල් හතකින් යුතු විශාල ගොඩනැගිල්ලකි. ඉහළම මහල් තුන සාදා නිමකර නොතිබුණි. බිම් මහල රථ වාහන ගාල් කිරීම සදහා වෙන් කර තිබූ අතර නිතර ඇසෙන ඝෝෂාකාරී සංගීතය පිරි සමාජ ශාලාව සහ සටන් සන්දර්ශන පවත්වන ස්ථාන පිහිටියේ පළමු සහ දෙවන මහල් වලය. තෙවන මහලෙහිද ස්ථාන කිහිපයක විදුලි බුබුළු දල්වා තිබෙනු එහි වූ කවුළු තුළින් ආකාශ් දුටුවේය. ඒවා නිසැක වශයෙන්ම සමාජ ශාලාවට පැමිණෙන සාමාජිකයන් ගණිකාවන් ඇසුරු කිරීමට යොදාගන්නා කුටි විය යුතු යැයි ආකාශ් උපකල්පනය කළේය.

 

ඇතුල් විය හැකි පහසුම මග සාදා නිම නොකළ ඉහළම මහල් තුනෙන් එකකින් ඇතුල් වීම බව ආකාශ්ට සිතුණි. ඊට හේතුව වූයේ ඉහළම මහල් තුනෙන් එකකවත් ජනෙල් පියන් දමා නොතිබීම නිසා කඩා බිද දැමීමකින් තොරව පහසුවෙන් ඇතුල්විය හැකි වීමයි. සාමාන්‍යය මිනිසෙකුට නම් ඉහළම මහලකින් ඇතුල්වීම තබා ඒ ගැන සිතීමටවත් නොහැක්කේ ඉනිමගක් හෝ තරප්පු පෙළක් නොමැතිව එම මහල් වලට ළගා විය හැකි ක්‍රමයක් නොමැති හෙයිනි. නමුත් ආකාශ් තවදුරටත් සාමාන්‍යය මිනිසෙකු නම් නොවිය.

 

වටපිට බලමින් ක්‍රමයෙන් ගොඩනැගිල්ල වෙත ළගා වූ ඔහු සිව්වන මහල ඉලක්ක කරගෙන ඉහළට පිම්මක් පැන්නේය. පළමු පිම්ම අසාර්ථක වූවද වඩා වැඩි ගැම්මක් සහිතව පිනූ දෙවන පිම්මෙන් සාර්ථකව සිව්වැනි මහලට ගොඩ වීමට ඔහුට හැකි විය. දැන් පඩි පෙළින් බැස ගොස් සාමාන්‍යය ආකාරයට සමාජ ශාලාවට ඇතුල් විය හැකි වූවද තරුණයෙකු වූ ඔහුගේ සිතෙහි හදිසියෙම හටගත් නොමනා සිතිවිල්ලක් හේතුවෙන් අවධානය වෙනතකට යොමු විය.

 

තෙවන මහලෙහි තැනින් තැන විදුලි බුබුළු දල්වා ඇත. මීට මොහොතකට පෙර ඔහු කළ අනුමානය නිවැරදි නම් මේ මොහොතේදි පවා එම කුටි වල අපූරු දෑ සිදුවනු ඇත. ළගම පිහිටි කුටියෙහි කවුළුවක් පවා විවෘතව ඇත. තවමත් නිම නොකළ ගොඩනැගිල්ලේ බිත්ති තුලින් පිටතට විහිදුනු වානේ කම්බි සහ බිත්තිය ඔස්සේ පහළට ඇදුනු බටයක් හේතුවෙන් එම කවුළුව වෙත ළගා වීමද ඔහුට ඉතා පහසු කාර්යයකි. එම නිසා එම කුටි තුල සිදුවන දේ බැලීමට ඔහු තුළ ඇති වූයේ මැඩගත නොහැකි ආශාවකි.

 

පිටතට නෙරූ වානේ කම්බ සහ බටය ආධාරයෙන් කවුළුව වෙත ළගා වූ ඔහු සීරුවෙන් එබී බැලුවේය.

 

ඔහු අනුමාන කළ පරිදි එය කුටියක් නොවිය. එය නාන කාමරයකි. මනා පෙනුමක් සහිත අවුරුදු තිස්පහක් පමණ වේ යැයි සිතිය හැකි කාන්තාවක් එහි සිටියාය. එසේම ඇය සිටියේ කැඩපතක් ඉදිරියේ සිට සිය මුහුණෙහි ආලේපයක් තවරමිනි.

 

තමා මේ කරන ක්‍රියාව සදාචාරාත්මක නොවන බව දැන සිටියද ඇයගේ මනා පෙනුම නිසා බලා සිටීමට සිතෙහි ඇති වූයේ ආශාවකි. නාදුනන තරුණයෙකු තමා දෙස බලා සිටින බව මැය අහම්බෙන්වත් දැනගතහොත් ඇය අපහසුතාවයට ලක්වනු ඇත. නමුත් මේ සියල්ල මැඩලා පෙනෙන දර්ශනය දෙස බලා සිටීමේ දගකාර සිතිවිල්ල සිතට නැග එන්නට වූ හෙයින් ඔහු සිය දෙනෙත කවුළුව තුළින් ඇතුලට යොමු කළේය.

 

මිනිත්තු දෙක තුනකට ආසන්න කාලයක් ඔහු ඇය දෙස නිහඩව බලා සිටියේය. නමුත් එක්වරම සිදුවූයේ ඔහු අපේක්ෂා නොකළ දෙයකි. කුමක් හෝ හේතුවක් නිසා ඇය හදිසියේම කවුළුව දෙස බැලුවාය. ඇය තමාගේ මුහුණ හදුනා ගැනීමට පෙර ආකාශ් සිය මුහුණ ඉවතට ගත්තද කිසිවෙකු තමා දෙස බලා සිටින බව ඇය දකින්නට ඇත. ඔහුට එය ප්‍රත්‍යක්ෂ වූයේ මීළග මොහොතේ ඇය වේගයෙන් දිව යන අඩි ශබ්දය සහ නාන කාමරයෙහි දොර විවෘත කර වසන ශබ්දය ඇසීම හේතුවෙනි.

 

තවදුරටත් එතැන නොරැදුණු හෙතෙම තමා කළ නොමනා ක්‍රියාවට තනිවම සිනාසෙමින් නැවතත් ඉහළ මාලයට පැමිණ තවමත් සාදා නිමා නොකළ සදලුතලයට ගොස් එතැනින් තරප්පු පෙළ දිගේ පහළ මාලයට බසින්නට විය.

 

එම රාත්‍රි සමාජ ශාලාව බෙහෙවින් සෙනග ගැවසෙන එකකි. එය මීට පෙර සතිස් සහ සුරේෂ් සමග ඔහු ගිය, එමෙන්ම ලෝචනාව පළමුවෙන්ම හමු වූ කොල්ලුපිටියේ සමාජ ශාලාවට වඩා බෙහෙවින් විශාල එකක් බව බැලු බැල්මට පෙනුණි. කොල්ලුපිටියේ සමාජ ශාලාව ඉහළ පන්තියේ ධනවත් පවුල් වල සාමාජිකයන්ට පමණක් සීමා වූ එකක් වූවද මෙහි නම් ධනවත් පන්තියේ සිට දුගී පන්තිය දක්වා සියලුම වර්ගයේ පුද්ගලයන් ගැවසෙනු ආකාශ්ට දක්නට ලැබුණි. එසේම මෙම ස්ථානය ගණිකාවන්ගේ සහ මත්ද්‍රව්‍යය පරිහරණය කරන්නන්ගේ තෝතැන්නක් බව එහි ගොස් මිනිත්තු කිහිපයක් යන්නට මත්තේන් ඔහුට අවබෝධ විය.

 

ඝෝෂාකාරී සංගීතයේ රිද්මයට අනුව නිවි නිවී දැල්වෙන අනෙක විධි වර්ණයන්ගෙන් යුත් විදුලි බුබුළු යට බොහෝ දෙනෙකු බීමත්කම නිසා ඇති වූ සිහිවිකල් ගතියෙන් යුතුව නටමින් සිටියෝය. ඔවුන්ව මගහරිමින් බිත්තියේ අයිනෙන් ගමන් කළ ආකාශ් බීම දෙන ස්ථානයට ගොස් බීර වීදුරුවක් ඉල්ලා ගත්තේ බීමට නොව අන්‍යයන්ගේ සැකයට සුළුවෙන් හෝ භාජනය වීම වළක්වා ගැනීමටය. මෙහි පැමිණීමට පෙර ඔහුගේ අරමුණ වූයේ සුදු ටෝනි පිළිබදව තොරතුරු සොයා ගැනීම වූවද මුරකරුවන් දෙදෙනා සමග කළ කතාවෙන් අනතුරුව ඔහුගේ අදහස මුළුමනින්ම වෙනස් විය. සුදු ටෝනි සහ ඔහුගේ නීති විරෝධි ක්‍රියා ගැන පසුව සෙවිය හැක. වඩා වැදගත් වන්නේ සුදු ටෝනිව පරාජය කළ අද්භූත ජගතාව සොයා ගැනීමයි.

 

ආකාශ් බීර වීදුරුව අතේ තබාගෙන වටපිට බලන්නට විය. තොල් ආලේපන තවරාගෙන කෙටි ඇදුම් ඇද ගත් අභිසරුලියන් බැලු බැල්මට ධනපතියන් යැයි සිතිය හැකි පුද්ගලයන් අතර දැවටෙමින් සිටියෝය. තවත් බොහෝදෙනෙකු සිහිවිකල් වනතුරු මත්පැන් බෝතල් හිස් කරමින් සිටි අතර තවත් සමහරෙකු ගංජා සුරුට්ටු උරමින් සිටියෝය. සෑම තැනකම වූයේ දුරාචාරයයි. තමා සහ මෙහි සේවය කරන කිහිපදෙනා හැරෙන්නට වෙන කිසිවෙකුත් හොද සිහියෙන් සිටින බව දක්නට නොමැත.

 

ආකාශ් සිය මනස සන්සුන් කරගැනීමට උත්සහ කළේ අවට සිටින පුද්ගලයන්ගේ කතා බහට සවන් දීමෙන් තොරතුරක් සොයා ගැනීමටය.

 

ඔහු වෙන වෙනම මිනිසුන්ගේ කතා බහට සවන් දෙන්නට විය. නමුත් බීමත්ව සිටි ඔවුන් සියලුදෙනාම පාහේ කතා බහ කරමින් සිටියේ ඔහුට ප්‍රයොජනයක් නොමැති වල්පල්ය. කෙළවරෙහි වූ මේසයක හොදින් ඇද පැළදගත් මිනිසුන් තිදෙනෙකු කිසියම් ව්‍යාපාර කටයුත්තක් පිළිබදව කතා කරමින් සිටියෝය. නිසැක වශයෙන්ම එම කතා බහ නීති විරෝධි ව්‍යාපාරයක් බව ආකාශ්ට අවබෝධ වූවද මේ මොහොතෙහි ඔහුට එය එතරම් වැදගත් නොවූ හෙයින් සිය ශ්‍රවණ අවධානය වෙනතකට යොමු කිරීමට සැරසුණේය. නමුත් ඔහුට පිටුපා සිටි පුද්ගලයා ඒ මොහොතෙහිම කතා කිරීමට පටන්ගත් හෙයින් ආකාශ් නැවතත් වහාම සිය අවධානය එදෙසට යොමු කළේය.

 

සිංහල භාෂා උච්චාරණය තරමක් වෙනස් වූ එම කටහඩ ඔහුට ඉතාමත් හුරුපුරුදු එකක් විය. මොහු කවරෙකු දැයි ක්ෂණිකවම ඔහුගේ මතකයට පැමිණියද වඩාත් සැක හැර දැනගැනීම පිණිස හෙතෙම සිය දෙනෙතද ඔවුන් සිටි දෙසට යොමු කළේය.

 

දෙනෙත විසින් ඔහුගේ මතකය තහවුරු කළේය. කොල්ලුපිටිය සමාජශාලාවේ ලෝචනා හමු වූ පළමු දිනයේම ඊට මොහොතකට පෙර හමු වූ පුද්ගලයා මොහුය. තවද තමන්ට මුලින්ම ගිනි අවියක් අලුත්වැඩියා කිරීමට භාර දුන්නේද මොහුය. ආකාශ් දන්නා පරිදි මොහුගේ නම නසීර්ය.

8 thoughts on “Science Fiction Sinhala – ගුප්ත පරීක්ෂණ 2 – 5”

    1. මේක පට්ට කතාවක්…..ඉක්මනට අනිත් ඒවත් දාන්න????❤️

  1. අලුත් එක ලියනකම් බලන් ඉන්නේ නියම වැඩක් ,උඹ ඇත්තටම සුපිරිම කතාවක් මේ ලියන්නෙ ,ඔයාව contact කරගන්න පුලුවන්ඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!