Science Fiction Sinhala
ගුප්ත පරීක්ෂණ 2 - 6
ISBN 978-955-44323-2-1
මොහු නොසිටින්නට තමා එදා සතිස් සමග සමාජ ශාලාවට යන්නේ නැත. එසේ නම් ලෝචනාව හමුවන්නේද නැත. එසේම නීති විරෝධි ගිනිඅවි අලුත්වැඩියාව සිදුකරන්නේද නැත. හිරේ විලංගුවේ වැටෙන්නේද නැත. තම පියාගේ දෝෂාරෝපණයට ලක්වීම හේතුවෙන් නිවසින් වෙන්වීමට සිදුවන්නේද නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබෙන්නේද නැත. එසේ නම් කිසිදිනක අසාවත් නැති දෙව්ගල ගම්මානයට යැවෙන්නේද නැත. එසේ වූවා නම් දැන් තමා සතු විස්මිත බලය ලැබෙන්නේද නැත.
තම ජීවිතයේ හැරුම් ලක්ෂයකට හේතු වූ මේ මිනිසාට ශාප කළ යුතුද, එසේත් නැතිනම් ස්තූති කළ යුතු දැයි ආකාශ් මොහොතක් කල්පනා කළේය. කෙසේ වූවද මේ මොහොතෙහි නසීර්ගෙන් වසන් වී සිටීම වඩාත් යහපත් බව ආකාශ් කල්පනා කළේය. කිසිවෙකුගේත් අවධානයට ලක්නොවන තරමට තම වැඩ කටයුතු කිරීම පහසුය.
ආකාශ් මිනිත්තු කිහිපයක්ම ඔවුන්ගේ කතා බහට සවන් දීගෙන සිටියේ සුදු ටෝනි පිළිබදව කුමක් හෝ පවසනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඔවුන් දිගින් දිගටම කතා කළේ ව්‍යාපාර කටයුතු සහ පකිස්ථානයේ සිට පැමිණෙන බඩු සහිත නැවක් පිළිබදවය. නමුත් සුළු මොහොතකට පසුව හදිසියේම ආකාශ් අපේක්ෂා නොකළ දෙයක් සිදුවිය.
ඇගටම හිර වුණු සුදු පැහැති කෙටි ගවුමකින් සහ අඩි උස පාවහන් යුවළකින් සැරසුණු සරාගී පෙනුමැති රූමත් කතක් ඔවුන් සිටි ස්ථානයට පැමිණ ඉද ගත්තාය. ආකාශ් ඇයව ක්ෂණිකවම හදුනා ගත්තේය. ඒ මීට අඩ හෝරාවකට පමණ පෙර ආකාශ් නාන කාමරයේදී දුටු තැනැත්තියයි.
මිනිසුන් තිදෙනා ඇයව පිළිගත්තේ මහත් වූ උනන්දුවකිනි. ඔවුන් සියලුදෙනා හොදින් එකිනෙකාව හදුනන බව පෙනෙන්නට තිබුණි. මෙම අලුත් තැනැත්තිය නිසා ආකාශ්ගේ උනන්දුව වැඩි විය. හෙතෙම වඩාත් අවධානයෙන් යුතුව තවදුරටත් ඔවුන්ගේ කතා බහට සවන් දෙන්නට විය.
“ටෝනිට කොහොමද දැන්?” එක් පුද්ගලයෙකු ඇයගෙන් ඇසුවේය.
“බඩේ පැත්තක් රිදෙනව කිය කිය ඉදල දැන් ටිකකට කලින් නිදාගත්තා.” ඇය පිළිතුරු දුන්නේ බීම වීදුරුවක් තොල ගාමිනි.
“එහෙමද? ටෝනි මේ කාට හරි පැරදුණා කියල මං ඇහුවමයි. මේ අශානි, ඒ යකා කවුද කියල කිසිම කෙනෙක් දන්නෙ නැද්ද?”
“කිසිම කෙනෙක් දන්නෙ නෑ. ටෝනිවත් ඌව මීට කලින් දැකල නෑලු.”
“එහෙනම් මේ පැත්තට අලුතෙන් කරක් ගහන්න ආපු එකෙක්. මට නම් ඒ යකා මිනිහෙක්ද කියලත් විශ්වාසයක් නෑ. ඌ සල්ලි ටික ගත්ත ගමන් එකපාරටම අතුරුදහන් වුණාලු නේද?”
“එයා ආපහු එනව කියලත් කිව්වලු.” ආශානි නමින් හැදින්වූ කාන්තාව කීවාය.
“ඒ කිව්වෙ?”
“ටෝනිට ගහල බිම දැම්මට පස්සෙ ලෑස්තිවෙලා හිටපන්, අපි අපහු සැරයක් හැප්පිල බලමු කියල කිව්ව කියල ටෝනි මට ඊයෙ කිව්ව.”
“යකෝ, ටෝනිගෙ මූණටම ඔහොම කතා කරන්නෙ. ඌ මොකෙක්ද? ඉතින් ටෝනි මොකද කියන්නෙ?”
“මුකුත් කිව්වෙ නෑ. මං හිතන්නෙ එයා ටිකක් බයවෙලාද කොහෙද ඉන්නෙ.”
“ඇත්තටම ඔය යකාව හොයාගන්න විදියක් නැද්ද? ටෝනිට විතරක් නෙමෙයි. දැන් නම් මටත් බය හිතෙනව.”
එම කතා බහ ආකාශ්ට ඉතාමත් ප්‍රයෝජනවත් එකක් විය. මෙම අද්භූත පුද්ගලයා ගැන සෙවීම සදහා මීළගට කළ යුතු දේ ගැන තවදුරටත් සිතමින් වෙහෙසිය යුතු නැත. ඔහු නැවතත් සුදු ටෝනිව සොයාගෙන පැමිණෙනු ඇත. කළ යුත්තේ සුදු ටෝනි ගැන ඇස ගසාගෙන ඉවසීමෙන් බලා සිටීමයි.
ඉන්පසුව සිදුවුණු ඔවුන්ගේ කතා බහ තවදුරටත් සුදු ටෝනි හෝ සිදුවූ සටන පිළිබදව නොවූ නිසා ආකාශ් සිය අවධානය ඔවුන් වෙතින් මුදවා ගත්තේය. සුදු ටෝනිව මුහුණට මුහුණ හමු වුණොත් තවත් තොරතුරු දැනගත හැකි වනු ඇත. නමුත් එවැන්නක් කිරීමට ගොස් වෙනත් කෙනෙකුගේ අවධානය තමා වෙත යොමු වීමේ අවධානමක් ඇත.
සියුම් සැලැස්මක් සිතේ රදවාගත් ආකාශ් කිසිවෙකුටත් නොදැනෙන පරිදි නැවතත් උඩු මහලට යන්නට විය. මිනිත්තු කිහිපයක් තුළ සුදු ටෝනි විවේක ගන්නා කුටිය සොයා ගැනීමට ආකාශ්ට හැකි විය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම එම කුටියේ සියලුම ජනෙල් සහ දොරවල් අගුලු දමා වසා තිබුණි. කිසිවෙකුත් පෙනෙන තෙක් මානයේ නැති බව වටපිට බලා සැකහැර දැනගත් හෙතෙම සිය මුහුණු ආවරණය පැළද ගත්තේය.
“ටෝනි මහත්තයා.” දොරට තට්ටු කරමින් ඇමතුවද පිළිතුරක් නොමැත. ඔහු තවත් වරක් ඇමතුවේය. එහෙත් නිහඩතාවය පමණි.
මේ අයුරින් ඔහු සිව්වතාවක් ඇමතීමෙන් පසුව කාමරය තුළින් “කවුද?” යනුවෙන් හඩක් නැගුණි.
“මාව එව්වෙ අශානි නෝනා. මහත්තයට මේ බීම එකයි, කෑම එකකුයි දෙන්න කියල.” ආකාශ් සේවකයෙකු සේ යටහත් පහත් හඩින් කීවේය.
“මොන රෙද්දක්ද? නිදාගන්නවත් නෑ. ෂිහ්.” දොස් නගමින් දොර විවෘත කිරීම සදහා සුදු ටෝනි ඇවිද එන ශබ්දය ආකාශ්ට ඇසුණි. ඔහු වහාම සූදානම් විය.
දොර මදක් විවෘත වූ වහාම සිය අසාමාන්‍යය කාය ශක්තිය යොදවා එය ඇතුලට තල්ලු කර දැමූ ආකාශ් ක්ෂණිකව කාමරය තුළට පැන පිටත සිටින කිසිවෙකුටත් කාමරය ඇතුලට පැමිණිමට නොහැකි වන පරිදි දොර අගුලු දැම්මේය.
අනපේක්ෂිත අයුරින් දොර විවෘත වීම නිසා ඇති වූ තල්ලුව හේතුවෙන් සමබරතාවය ගිලිහුණු ටෝනි බිම ඇද වැටුණි. ස්වල්ප වේලාවක් විස්මයෙන් යුතුව මුහුණ ආවරණය කරගත් පුද්ගලයා දෙස මොහොතක් බලා සිටි ටෝනි මීළග මොහොතේ මාර වේශයෙන් මෙන් ඒ අදුරු රුව වෙත පැන්නේය.
නමුත් ඊයේ දිනයේ සිටම ටෝනිගේ වෙලාව එතරම් සුබදායක නොවිය. කළු ඇදගත් ඒ අද්භූත රුව තමා අපේක්ෂා නොකළ තරම් ප්‍රභල බලවේගයක් බව ටෝනිට අවබෝධ වූයේ එක පිට වැදුණු පහරවල් කිහිපයක් හේතුවෙන් නැවතත් බිම ඇද වැටීමෙන් පසුවය. සටනේදි තමාව පරාජය කළ පුද්ගලයා නැවත පැමිණයේ යැයි සිතීම හේතුවෙන් ඔහු දැඩි ලෙස බියට පත් විය.
“බය වෙන්න එපා. මං ආවෙ කරදරයක් කරන්න නෙමෙයි.” ආකාශ් සිය හඩ වෙනස් කර සන්සුන් ස්වරයකින් පැවසුවේය.
තැතිගෙන සිටි ටෝනිට කතා කරගත හැකි වූයේ තත්පර කිහිපයකට පසුවය.
“කවුද? කවුද උඹ? මොන මගුලකටද යකෝ මගෙ පස්සෙන් එන්නෙ?”
“මට දෙයක් දැනගන්න තියෙනවා. කවුද උඹත් එක්ක ඊයෙ ගහගත්ත එක්කෙනා? එයා ගැන මොනව හරි දන්න දෙයක් තියෙනව නම් කියන්න.”
ස්වල්ප වේලාවක් තමා ඉදිරියේ සිටගෙන සිටින අද්භූත රුව දෙස මොහොතක් විමතියෙන් බලා සිටි ටෝනි “මට පාඩුවේ ඉන්න දීපන් යකෝ.” යැයි පවසමින් නැවතත් ආකාශ් වෙත කඩා පැන්නේය.
නමුත් මෙවරද ටෝනි පරාජයට පත් විය. සිය සතුරාව අල්ලාගැනීමට ඔහු සිටි තැනට යන විට ඔහු එතැන නොවිය. අඩි කිහිපයක් ඈතින් සිටි පුද්ගලයා එක්වරම අතුරුදහන් වී ඇත. විමතියෙන් භීතියට පත් වූ ටෝනි තුෂ්ණිම්භූත වී වටපිට බලන්නට විය.
“උඹට මාව කවදාවත් අල්ලගන්න බෑ. මොකද මාත් අර උඹත් එක්ක ගහගත්ත මිනිහ ජාතියේ එකෙක්.”
පිටුපසින් නැගුණු හඩ හේතුවෙන් තිගැස්සී ආපසු හැරි බැලූ ටෝනි දුටුවේ කළු ඇදගත් රුව සිටි තැනින් අතුරුදහන් වී තමන්ට පසුපසින් මතු වී ඇති බවයි. ටෝනිට මේ අද්භූත පුද්ගලයා කවරෙකු දැයි සිතාගත නොහැකි විය. තදින් බියට පත්ව සිටි ඔහුට හැගුණේ තමා අවතාරයකට හසු වී ඇති බවයි.
“මාත් එක්ක හැප්පෙන එකේ තේරුමක් නෑ. බොරුවට කලබල නොකර ගිහින් අර ඇද උඩින් වාඩිවෙනවා. මං කිව්වනෙ… මම ආවෙ උඹට කරදරයක් කරන්න නෙමෙයි. මට උඹෙන් දැනගන්න ඕනෙ මෙච්චරයි. කවුද ඊයේ උඹත් එක්ක ගහගත්ත කෙනා?”
බියෙන් තැතිගෙන සිටි ටෝනි වචනයකුදු නොදොඩා අද්භූත අමුත්තාගේ අණට කීකරු වී සිය ඇදෙහි ඉද ගත්තේය.
ටෝනි කතා කරන තුරු ආකාශ් බලා සිටියේය. නමුත් ඔහු තමා දෙස විමතියෙන් බලා සිටිනවා හැර කතා කිරීමට පෙළඹෙන බවක් දක්නට නොමැත. මොහු තදින් බියට පත්ව ඇති බව ආකාශ්ට වැටහුණි. එම නිසා පළමුවෙන්ම තමා කතා කළ යුතු යැයි ආකාශ්ට සිතුණි.
“ටෝනි, මේ අහනව. මට පේන්නෙ තමුසෙ සෑහෙන්න බය වෙලා ඉන්නෙ. උඹ මට බයවෙන්න ඕනෙ නෑ. මං අහන ප්‍රශ්න වලට උත්තර දීපන්. එච්චරයි. එහෙම වුණොත් මට පුළුවන් උඹට උදව් කරන්න.”
“උ… උදව් කරන්න… මොන මගුලකද?”
ආකාශ් ටෝනි දෙස බලා උපහාසයෙන් යුතුව සිනාසෙන්නට විය.
“ඔය තරම් ඉක්මණට අමතක වුණාද? ඇයි මතක නැද්ද, අරූ ආපහු උඹත් එක්ක හැප්පෙන්න එනව කිව්ව නේද? ඉතින්… දැන් උඹට එයත් එක්ක හැප්පෙන්න පුළුවන්ද?”
ආකාශ්ගේ එම ප්‍රකාශය මේ වන විටත් අධික ලෙස බියට පත්ව සිටි ටෝනිගේ ඇවිළුණු සිත තව තවත් බියෙන් සලිත කරන්නට විය.
“උඹ කොහොමද ඒක දන්නෙ?”
“දැනගත්ත විදිය උඹට වැඩක් නෑනෙ. ඌ ආපහු එනව කියල මං දන්නවා. ඒ වගේම ඌ සාමාන්‍යය මිනිහෙක් නොවන විත්තියත් මං දන්නවා. අනික… උඹට දැන් මාත් එක්ක හැප්පෙන්න බෑ වගේ ඌත් එක්ක හැප්පෙන්න බෑ කියලත් මං දන්නවා. ඒ හින්ද උදව් ඕනෙ නම් මං මේ අහන ප්‍රශ්නෙට උත්තර දීපන්.”
ටෝනි ස්වල්ප වේලාවක් නිහඩව ආකාශ් දෙස බලා සිටියේය. නාදුනන මේ ගුප්ත අමුත්තාගේ වචනය විශ්වාස කිරීම කෙසේ වෙතත් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම හැර වෙන විකල්පයක් තමාට නොමැති බව ටෝනිට වැටහුණි. මෙතෙක් කල් සියලුදෙනාවම සිය කාය ශක්තියෙන් යටත් කරගෙන සිටි සටන් වළල්ලේ අපරාජිත ශූරයා වූ ඔහු මීට පෙර මතක ඇති කාලයකින් කිසිවෙකුත් ඉදිරියේ අසරණ වී නැත. නමුත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අඩි කිහිපයක් නුදුරින් සිටගෙන සිටින්නේ වටහාගත නොහැකි බලවේගයක් සහිත මනුෂ්‍යයෙකු යැයි සිතිය නොහැකි කිසියම් කෙනෙකි.
“මොනවද මගෙන් දැනගන්න ඕනෙ?”
“කවුද උඹට ගැහුවෙ? මට ඌ ගැන විස්තර දැනගන්න ඕනෙ.”
“මං දන්නෑ. ඒකව මං දැක්කෙත් එදාමයි. ඉතින් ඌ මොන අපායකින් කඩා පත් වෙච්ච එකෙක්ද කියල මං කොහොමද දන්නෙ?” සුදු ටෝනි කෑගසන්නට විය.
ටෝනි පවසන්නෙ සත්‍යයක් බව ආකාශ්ට සිතුණි. තමා මෙන්ම එම පුද්ගලයාද කිසියම් හැකියාවක් ඇති අයෙකු විය යුතුය. එසේම තමා සිය අනන්‍යතාව සගවාගෙන සිටින්නාක් මෙන් ඔහුද සිය අනන්‍යතාවය සගවාගෙන සිටිනවා විය හැක.
“මේ අහනව ටෝනි. මෙතන නිකන් බොරුවට කෑගහන්න එපා. තමුසෙ ඌගෙ නම ගම දන්නෙ නැතිවෙන්න පුළුවන්. ඒත් හැඩ රුව එහෙම මතක ඇතිනෙ? පොඩ්ඩක් මතක් කරල ගන්නව බලන්න.”
ටෝනි සුළු මොහොතක් කල්පනා කරන්නට විය. සටනේදී සිදු වූ දේ ක්‍රමයෙන් ඔහුගේ මතකයට නැගෙන්නට විය.
තමා ඔහුට පහරක් ගැසීමට කොතරම් උත්සහ කළද එකදු පහරක් හෝ ඔහුට නොවැදුණු බව ටෝනිට මතක් විය. ඔහුගේ චලනයන් පියවි ඇසට නොපෙනෙන තරම් වේගවත් විය. එසේම යගදාවකින් එල්ල කළාක් මෙන් තමාගේ බඩට වැදුණු ඔහුගේ එකම අයෝමය පහරින් මිනිත්තු කිහිපයක් යනතුරු නැවත නැගිට ගැනීමටවත් නොහැකි වූ බවද ඔහුට මතක් විය.
තමාට මේ පුද්ගලයාගෙන් අනතුරක් නැති බව වටහා ගැනීම හේතුවෙන් ක්‍රමයෙන් සිතෙහි වූ බිය පහකර ගත් ටෝනි කතා කරන්නට විය. සටනේදි සිදුවූ සියල්ලම පාහේ ඔහු ආකාශ්ට කීවේය.
“එයත් මං වගේ මූණ වහගෙනද හිටියෙ?” මෙතෙක් වෙලා නිහඩව සවන් දීගෙන සිටි ආකාශ් ඇසුවේය.
“නෑ. හැබැයි ඔළුව වටේ ජටාවක් වගේ රෙද්දක් බැදගෙන හිටියෙ.”
“මූණ කොයි වගේද? හැඩරුව එහෙම…”
ටෝනි පිළිතුරු දුන්නේ මොහොතක් කල්පනා කිරීමෙන් අනතුරුවය.
“ටිකක් රැවුල වවාගත්ත තලෙලු කෙනෙක්. ඇගපත තමුසෙගෙ විතර ඇති. පෙනුමෙ හැටියට නම් අවුරුදු තිස්පහක් හතළිහක් විතර ඇති මයෙ හිතෙ. ආ… තව දකුණු පැත්තෙද… ම්… ඔව්. කැළලක් තිබුණා. දකුණු කන පල්ලෙහා. ටිකක් විතර ලොකු කැළලක්.”
“එහෙමද? ඌව අදුරගන්න පුළුවන් වෙන මොකක් හරි දෙයක් නැද්ද?”
මොහොතක් කල්පනා කළ ටෝනි හිස දෙපසට වැනුවේ තවත් කිසිවක් තමා නොදන්නා බව හැගවීමටය.
“ඌ ආපහු එන දවසක් ගැන කිව්වද?”
“නෑ. ආපහු එනව කියල විතරයි කිව්වෙ.”
“ඌ ආපහු ආවට පස්සෙ මොනව කරන්නද හිතාගෙන ඉන්නෙ? ආයෙ සැරයක් ඌ එක්ක හැප්පෙන්න පුළුවන් කමක් තියෙනවද?” ආකාශ් විමසුවේ මද නිහැඩියාවකින් අනතුරුවය.
නැවතත් මද නිහැඩියාවක් ඇති වූයේ එම පැනයට පිළිතුරක් ටෝනි සතුව නොමැති වීම හේතුවෙනි. ඔහු බලාගත් අතම බලාගෙන සිටියේය. එම මුහුණ මතක්වන විට පවා ඔහුගේ සිත බියෙන් සලිත වී යයි. එම අද්භූත පුද්ගලයා සමග හැප්පී තමාට කිසිදු අයුරකින් ජයගත නොහැකි බව ටෝනි සක්සුදක් සේ දැන සිටියේය. නමුත් සටන් කිරීම නතර කර දැමීමද කළ නොහැක. එසේ වුවහොත් ඔහුගේ සියලුම ආදායම් මාර්ග නවතිනු ඇත. එසේම නව යොවුන් අවදියේ සිටම සටන්කරුවෙකු වූ ඔහු දැන සිටි එකම දෙයද සටන් කිරීම පමණකි.
“ඌ මනුස්සයෙක් නම් වෙන්න බෑ. ඔව්… ඌ මනුස්සයෙක් නෙමෙයි.” ටෝනි පහත් හඩින් තමාටම මුමුණා ගත්තේය.
“ඔව්, උඹ හරි. ඌ මනුස්සයෙක් නෙමෙයි තමයි. ඉතින් මොකද්ද උඹ ඒකට කරන්න හිතාගෙන ඉන්නෙ?”
ටෝනි එක්වරම තියුණු බැල්මක් ආකාශ් වෙත යොමු කළේය.
“උඹ කොහොමද ඒක දන්නෙ? දකින්නෙවත් නැතුව. මට කියනවා… තමුනුත් ඌගෙ ජාතියේ එකෙක් නේද? හහ්, ඔහෙත් මිනිහෙක් නෙමෙයි. ත… ත… තමුන් සාතාන්ගෙ නියෝජිතයෙක්ද? දෙවියනි… අනේ දෙවියනි, මට කමා කරන්න.”
ටෝනි නැවතත් අධික ලෙස බියට පත් වූ බව ආකාශ් වටහා ගත්තේය. එම නිසා තත්පර කිහිපයක නිහඩතාවයකට පසුව ආකාශ් සිය හඩ අවදි කළේ වඩාත් සන්සුන් ස්වරයකිනි.
“අපිත් මිනිස්සු තමයි. හැබැයි ඔහෙලට වැඩිය ටිකක් වෙනස්. අපිට එක එක ජාතියේ හැකියා තියෙනව. එව්ව අපිට කොහෙන් ලැබුණද කියල කියන්න නම් මං දන්නෙ නෑ. උඹත් එක්ක ගහගත්ත එකත් ඒ විදියෙ කෙනෙක් වෙන්න ඇති. ඒකයි මං ඌව හොයන්නෙ. ඉතින් ඒකට මට උදව් කරනවා. එතකොට තමුසෙටත් උගෙන් ගැලවීමක් තියෙවි.”
ඉන්පසුව ඇති වූයේ දිගු නිහැඩියාවකි. ටෝනි නැවතත් සිය හඩ අවදි කළේ තරමක් වෙලා කල්පනා කිරීමෙන් පසුවය.
“මං මොකද්ද කරන්නෙ ඕනෙ?”
“හොද වෙච්ච ගමන් ආපහු තරග වලට යන්න. එතකොට අරයා ආපහු එයි. ඉතුරු හරිය මං බලාගන්නම්.” පැවසූ ආකාශ් කොළයක යමක් ලියා එය ටෝනි අතට දුන්නේය.
“හැම තරගයක්ම තියෙන දිනෙයි වෙලාවයි මේ නොම්බරේට මට මැසේජ් එකක් එවන්න. හොදට මතක තියාගනින්. කිසිම හේතුවක් නිසාවත් මට කෝල් කරන්න එපා. එස්එම්එස් විතරයි. අනිත් එක… මං ගැන කාට හරි කියල තිබුණොත් මට සිද්ධවෙනව තමුසෙව හොයගෙන එන්න.”
“මං කොහොමද තමුන්ව විශ්වාස කරන්නෙ?”
“මාව විශ්වාස කරනව ඇරෙන්න තමුසෙට දැන් වෙන විකල්පයක් නෑ.”
පැවසූ ආකාශ් කුටියෙහි වූ ජනේලයක් වෙත ගොස් එය විවෘත කර ඔහු දෙස බලා සිටි ටෝනිව විමතියෙන් විමතියට පත් කරමින් එක්වරම ජනේලයෙන් පිටතට පැන අතුරුදහන් විය.
* * *
අඩේ….පට්ට ආසාවෙන් කියවන්නේ බන්….ඉතුරු එකත් ඉකමනට දාපන්????❤️
බොහොම ස්තූතියි