Science Fiction Sinhala

ගුප්ත පරීක්ෂණ 2 - 9

ISBN 978-955-44323-2-1

“පො… පොඩ්ඩක් ඉන්න… පොඩ්ඩක් ඉන්න. මට කෝල් එකක් ගන්න තියෙනව.” පැවසූ ටෝනි වේගයෙන් පසෙක වූ මේසයක් මත වූ ජංගම දුරකතනයක් අතට ගත්තේය.

 

අධික ලෙස බියට පත්ව සිටින ටෝනි සිය අවසන් තුරුම්පුව ලෙස තමාව ඇමතීමට උත්සහ කරන බව ආකාශ් වටහා ගත්තේය. වහාම තම ජංගම දුරකතනය අතට ගත් ආකාශ් එහි නාද වන ශබ්දය අක්‍රිය කර බලා සිටියේය.

 

ඔහුගේ සිතිවිල්ල නිවැරදි විය. ඇමතුම ටෝනිගෙනි. වරක් අමතා පිළිතුරු නොලැබුණු හෙයින් නැවත වරක් ඇමතුමක් ලැබුණි. එයටද තමා පිළිතුරු නොදුන් නිසා කෙටි පණිවිඩයක්ද ලැබුණි. අවසානයේ බියෙන් භ්‍රාන්ත වූ ටෝනි සිය ප්‍රතිවාදියා දෙසත් පැමිණ සිටි පිරිස දෙසත් මාරුවෙන් මාරුවට බලන්නට විය.

 

“ටෝනි, දැන් පටන් ගමුද?” නිවේදකයා ඇසුවද ටෝනි බලා සිටියා මිස පිළිතුරක් නොදුන්නේය.

 

“ටෝනි…”

 

කිරීමට දෙයක් නැති හෙයින් ටෝනි ඉතා සෙමින් ඉදිරියට ඇවිද ආවේය.

 

“හරි… එහෙනම් පටන් ගමු. කෝ… කට්ටිය මාත් එක්ක ගණන් කරමු. ෆෝ, ත්‍රී, ටූ, වන්… ස්ටාර්ට්.”

 

නිවේදකයාගේ සංඥාව අවසන් වනවාත් සමගම විශාල ඔල්වරසන් හඩ මැද්දේ තරගය ආරම්භ විය.

 

කිසිවක් කරගැනීමට නොහැකි වූ ටෝනි බලා සිටියේය. ආගන්තුක මිනිසා නම් සැහැල්ලු ගමනකින් ටෝනි වෙත ඇවිද ආවේය.

 

ඔහු යමක් ටෝනිට පවසනු දුටු ආකාශ් නැවතත් සිය ශ්‍රවණ අවධානය ඔවුන් වෙත යොමු කළේය.

 

“…ඒ ගැන බයවෙන්න කාරි නෑ. මං අද උඹව මරන්නෙ නෑ. ඉතින් බලං ඉන්නෙ… ඇවිත් මට ගහපන්.” සිනාසෙමින් පැවසූ මිනිසා ටෝනි ඉදිරියේ සිය දෑත පිටුපසට ගෙන පහසුවෙන් සිටගත්තේ පහරක් ගැසීමට ටෝනිට අවස්ථාවක් ලබාදෙන්නාක් මෙනි.

 

මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ආකාශ් සිය දෘශ්‍ය හැකියාවෙන් ඔහුගේ මුහුණ පිරික්සන්නට විය.

 

බැලු බැල්මට ඔහු අවුරුදු තිස්පහත් හතළිහත් අතර පසුවේ යැයි සිතිය හැකි පුද්ගලයෙකි. දැඩි හිරු රශ්මියට නිරාවරණය වූ විට ඇති වන පැහැයට සමාන පැහැයක් ගත් ඔහුගේ සම තරමක් දුඹුරු පැහැතිය. ටෝනි පැවසූ පරිදිම ඔහුගේ දකුණු කණට පහළින් කැපුමකින් ඇති වූයේ යැයි සිතිය හැකි හොදින් පෙනෙන තුවාල කැළලක් විය. මේ සියල්ලටම වඩා ආකාශ්ගේ අවධානය යොමු වූයේ හමුදා නිලධාරියෙකු වැනි ඔහු සතු ප්‍රතාපවත් පෙනුමටයි.

 

ටෝනිගෙන් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් ඉදිරියට අඩියක් තැබූ ඒ මිනිසා ටෝනිව තල්ලු කර දැම්මේ ටෝනිගේ කෝපය ඇවිස්සීමට මෙනි.

 

එවර නම් ඔහුගේ උත්සහය සාර්ථක විය. සමබරතාවය ගිලිහුණු ටෝනි බිම ඇද වැටුණි. ඉක්මණ් කේන්තිකාරයෙකු වූ ටෝනිගේ කෝපය ඇවිස්සීමට එයම ප්‍රමාණවත් විය. නැවතත් නැගී සිටි ටෝනි කෑගසමින් ඉදිරියට පැන්නේ පහරක් එල්ල කිරීමටය.

 

එක්වරම පහත් වූ මිනිසා අත මිට මොළවා ටෝනිගේ බඩට එල්ල කළ වේගවත් පහරින් ටෝනි අඩි හයක් පමණ ඈතට උඩින් විසිවී ගොස් බිම ඇද වැටුණි.

 

ඔල්වරසන් නගමින් කෑගැසූ සියලු දෙනාම එක්වරම නිශ්ශබ්ද විය. ඔවුන් දැන සිටි වීරයා බෝනික්කෙකු මෙන් විසිවී ගොස් ඇද වැටෙනු දුටු ඔවුන් සියලු දෙනාම එක්වරම නිශ්ශබ්ද විය. මෙතෙක් වෙලා විශාල ඝෝෂාවකින් දෙදරුම් කෑ ශාලාව මීයට පිම්බාක් මෙන් නිහඩ විය. මීළගට සිදුවන්නේ කුමක් දැයි ඔවුන් සියලුදෙනා දෑස් දල්වාගෙන බලා සිටින්නට විය.

 

නැවතත් නැගී සිටීමට ටෝනිට නොහැකි වූයේ පහර වැදුණු තැනින් නැගුනු අධික වේදනාව හේතුවෙනි. බඩ අල්ලාගත් ඔහු වැටුණු තැනම වැතිර සිටියේය. මරුවා තමා දෙසට ඇවිද එන්නාක් මෙන් සිය ප්‍රතිවාදියා සන්සුන්ව අඩි තබමින් තමා වෙතට ඇවිද එනු ටෝනි භ්‍රාන්තයට පත්ව බලා සිටියේය. ඔහුට මරණ බය දැනෙන්නට විය. තවත් ප්‍රමාද වුණොත් තමාට එය අත්විදීමටද සිදුවේ යැයි ඔහුට හැගුණි. සිහිවිකල් වූවෙකු මෙන් කැගසමින් මීළග මොහොතේ ඔහු තම අවසාන තුරුම්පුව ක්‍රියාත්මක කළේය. එය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ක්‍රියාවකි. කලිසම් සාක්කුවක සගවාගෙන සිටි කුඩා ප්‍රමාණයේ පිස්තෝලයක් එක්වරම පිටතට ගත් ඔහු ක්ෂණිකව එයින් වෙඩි දෙකක් ඉදිරියට ඇවිද එන තම ප්‍රතිවාදියාට එල්ල කළේය.

නිහඩ ශාලාව වෙඩි හඩින් දෙදරුම්කද්දී ආකාශ් ඇතුළුව බලා සිටි සියලුමදෙනා ඉහළට ගත් හුස්ම පහළට යවාගත නොහැකිව මේ දැන් සිදු වූ දෙය අදහාගත නොහැකිව බලා සිටියෝය. ටෝනි අසලින් පිස්තෝලයෙන් නැගුණු දුම් වළාවක් පාවී යමින් තිබුණි. වෙඩි පහර කෑ මිනිසා තම පපුව අසලට ගත් දෑත මිට මොළවාගෙන එලෙසම සිටගෙන සිටියේය.

 

ටෝනිගේ පිස්තෝලය එල්ල වී තිබුණේ එම මිනිසාගේ පපුව වෙතය. එම නිසා වෙඩි පහර වදින්නට ඇත්තේද ඔහුගේ හදවතට විය යුතුය. මරණිය තුවාල ලබා ඇති ඔහු මේ දැන් ඇද වැටේ යැයි සියලුදෙනාටම පාහේ සිතුණද කිසිවෙකුටත් ඉදිරියට ගොස් ඔහුව ඇද වැටීමට පෙර අල්ලා ගැනීමට තරම් ධෙර්යයක් නොවිය.

 

එලෙස තත්පර දහයක් පමණ ගත විය. ටෝනි මුව අයාගෙන සිය ප්‍රතිවාදියා දෙස බලා සිටියේය. ආගන්තුක මිනිසා දැන් ඇද වැටේ යැයි සියලුදෙනා බලාපොරොත්තු වූවද එවැන්නක් සිදු නොවිය.

 

මීළග මොහොතේ බලා සිටි පිරිස පමණක් නොව ආකාශ්වද විස්මයෙන් විස්මයට පත් කරමින් ඒ අද්භූත මිනිසා නැවතත් සුපුරුදු පරිදි සන්සුන් පියවර තබමින් ටෝනි වෙත ඇවිද යන්නට විය. ටෝනි අසලටම පැමිණි ඔහු නැවතුනේය. ආකාශ් වහාම සිය ශ්‍රවණ සහ දෘශ්‍ය හැකියා යන දෙකම ඔවුන් වෙත යොමු කළේය.

 

“ටෝනි, උඹ ලොකු වැරැද්දක් කරේ. මේක සමාව දෙන්න බැරි විදියේ වැරැද්දක්. තොට තව වැඩි කාලයක් යහතින් ඉන්න මං ඉඩ තියන්නෙ නෑ. දැන් ඉතින් උඹට කරපුවටත් එක්ක සෑහෙන්න විදවන්න වෙයි. උඹ ඉවරටම ඉවරයි කියල හිතාගනින්. ආ… ඉදා, මාව මත්ක වෙන්නත් එක්ක මේ දෙකත් තියාගනින්.” පැවසූ ඔහු මෙතෙක් වේලා මිට මොළවාගෙන සිටි තම දෑත ඉදිරියට ගෙන දිග හැරියේය.

 

ඔහුගේ අත්ලෙන් කුඩා ලෝහමය කැබලි දෙකක් බිමට වැටුණි. ඒ කුමක් දැයි හදුනාගැනීමට ගිනිඅවි අලුත්වැඩියා කරන කාර්මික ශිල්පියෙකු වූ ආකාශ්ගේ එකම බැල්මක් වූවද ප්‍රමාණවත් විය.

 

“දෙයියනේ…” යැයි ආකාශ්ගේ මුවින් පිට විය. ඔහුට සිය දෙනෙත් අදහාගත නොහැකි විය. ඒ අති ප්‍රභල අද්භූත පුද්ගලයා පිළිබදව ආකාශ්ගේ සිතෙහිද ප්‍රථම වතාවට බියජනක හැගීමක් ඇති විය. එම කුඩා ලෝහ කැබලි දෙක වෙනත් කිසිවක් නොව ටෝනි විසින් එල්ල කළ වෙඩි උණ්ඩ දෙක විය.

 

“අම්මෝ…, බුලට් අතින් නවත්තන එකෙක්.” ඒ ආකාශ්ගේ සිතට නැගුණු සිතිවිල්ලයි. මේ පුද්ගලයා සමග කතා කළ නොහැකි නම් යටත් කර ගැනීමට හෝ මීට සුළු මොහොතකට පෙර ආකාශ් සිතාගෙන සිටියද දැන් නම් ඔහුගේ එම සිතිවිල්ල වෙනස් වී ඇත. මීළගට තමා කළ යුත්තේ කුමක් දැයි ඔහුට සිතාගත නොහැකි විය.

 

තවත් තත්පර කිහිපයක් එම අද්භූත මිනිසා එලෙසම සිටගෙන සිටියේය. ටෝනි සහ ආකාශ් හැරුණු විට බලාසිටි කිසිවෙකුත් ඔහුගේ අත්ලෙන් උණ්ඩ වැටෙනු නොදුටු නිසා සිදු වූයේ කුමක් දැයි හරිහැටි වටහාගෙන සිටියේ නැත. නමුත් මෙවර ඔවුන් සියලුදෙනාම විස්මයෙන් ඇලලී ගියේ අද්භූත මිනිසාගේ මීළග ක්‍රියාව හේතුවෙනි.

 

ඔහු ඇසට නොපෙනෙන තරම් වේගයෙන් එතැනින් අතුරුදහන් විය. ආකාශ් මෙය බලාපොරොත්තු වූවා සේම ඔහු එයට සූදානමින් සිටියේය. අනිත් මිනිසුන්ට නම් එය ක්ෂණික අතුරුදහන් වීමක් වැනිය. නමුත් විශේෂ දෘශ්‍ය හැකියාවක් සහ වේගයක් ඇති ආකාශ්ට නම් ඔහුගේ ගමන් මග පෙනුණි. නිමේශයක් හෝ පමානොවුණු ආකාශ් ක්ෂණිකව ඔහු පසුපස ගියේය.

 

මෙතෙක් වේලා සිදු වූ සියල්ල මීනාද විස්මයෙන් විස්මයට පත්ව දෙනෙත් අයාගෙන බලා සිටියාය. ටෝනිගේ ප්‍රතිවාදියා ක්ෂණිකවම අතුරුදහන් වීම ඇයට අදහාගත නොහැකි දෙයක් විය. නමුත් ඒ මොහොතෙහිම හීයක් කන ළගින් ඇදී ගියාක් මෙන් සුළං කැපෙන ශබ්දයක් ඇසීම හේතුවෙන් ඇය ආකාශ් සිටගෙන සිට තැන බැලුවේය. එයින් සිදුවූයේ ඇය තවත් විස්මයෙන් ඇලලී යාමයි.

 

දැන් තත්පරයකට පෙර මෙතැන සිටි තරුණයා එහි නොවිය. ඇය ආපසු හැරී වටපිට සෑම තැනම බැලුවාය. නමුත් ඔහු අතුරුදහන් වී ඇත. ඔවුන් සිටි ස්ථානයේ එතරම් සෙනගක්ද නොවිය. එසේම ළගපාතක මුවා වීමට බිත්තියක් හෝ පිටවීමට දොරටුවක් හෝ නොමැත. ඔහුට කුමක් වූවාද? ඇය සෑම තැනකම බැලුවාය. නමුත් ඔහු සුළගක් සේම අතුරුදහන්ව ගොසිනි.

 

 

* * *

 

 

තමාගේ දර්ශන පථයට ඔහුව පෙනෙන තෙක් මානයේ තබා ගැනීමට ආකාශ්ට විශාල උත්සහයක් දැරීමට සිදුවිය. ඔහු ඒ තරමටම වේගවත්ය. තමන් ඔහු තරම් වේගවත් නැති බව ක්‍රමයෙන් ඈත්වන මීදුමක් සේ දිස්වන ඔහුගේ රුව දුටු ආකාශ් වටහා ගත්තේය. තවත් මිනිත්තුවක් පමණ මේ අයුරින් ධාවනයේ යෙදුනේ නම් නියත වශයෙන්ම ආකාශ්ට ඔහුව සම්පූර්ණයෙන්ම මගහැරී යනු ඇත. නමුත් වාසනාවකට මෙන් ඔහු එක්වරම නැවතුනි. එම නිසා ඔහුව හඹා පැමිණි ආකාශ්ටද එක්වරම නැවතීමට සිදු විය. මෙම අධික වේගවත් චලනයන්ට තවම එතරම් පුරුදුකාරයෙකු නොවූ ආකාශ් කලබලයත්, නුහුරු බවත් හේතුවෙන් ඇද වැටීමට ගියේය. වාසනාවකට මෙන් ළග පාත පොල් ගසක් තිබීම හේතුවෙන් එහි කද බදාගත් ඔහුට සමබරතාවය රැක ගැනීමට හැකි විය. නමුත් තරමක් තදින් ගැටීම හේතුවෙන් ඔහුගේ වම් අතත් උරහිසත් සීරී ගියේය.

 

ආකාශ්ගේ අධික චලන වේගය දරා ගැනීමට සිදු වූ නිසා පොල් ගස සර සර ශබ්දයක් නගමින් ගැස්සුණි. එම ශබ්දය ඉදිරියෙන් සිටි මිනිසාට ඇසුණේ දැයි සැකයෙන් යුතුව ආකාශ් එම පොල් ගසටම මුවා විය. මොහුටද තමාට මෙන්ම සුවිශේෂි ශ්‍රවණ සහ දෘශ්‍ය හැකියාවන් ඇතැයි ආකාශ් සැක කළේය. වාසනාවකට මෙන් ඒ මොහොතෙහි ඔවුන් ගමන් කළ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තරමක් වේගවත් මුහුදු සුළගක් හමමින් තිබුණි. එසේම ආගන්තුක මිනිසා කිසිවිටෙකත් පිටුපසට අවධානය යොමු නොකිරීමත්, ආකාශ්ට වඩා මීටර එකසියපනහක් පමණ ඉදිරියෙන් සිටීමත් හේතුවෙන් ඔහුට එම ශබ්දය නෑසුනි.

 

ඉන්පසුව ඔහු වෙරළට සමාන්තරව වැටුණු මාර්ගය දිගේ ඇවිද යන්නට විය. දෙපස වූයේ පැල්පත් සහ එතරම් සෞභාග්‍යයමත් නොවූ දුගී නිවාස කිහිපයකි. තැනින් තැන වෙරිමත් වූ ධීවරයන්, යාචකයන් සහ රස්තියාදුකාරයන් කිහිපදෙනෙකුම රැස්කමින් සිටියහ.

 

වටපිටාව බැලූ ආකාශ් උත්සහ කළේ මේ ප්‍රදේශය හදුනා ගැනීමටය. එය ඔහු මීට පෙර පැමිණ නැති ප්‍රදේශයක් වූවා සේම මාර්ගයක නමක් හදුනා ගැනීමට දැන්වීම් පුවරුවක් හෝ පෙනෙන තෙක් මානයක නොවිය. ඔවුන් ධාවනයේ යෙදුනේ මිනිත්තුවකට ආසන්න කාලයක් පමණි. නමුත් දැන් ඔවුන් සිටින්නේ රෙඩ් ඊගල් සමාජ ශාලාවට කිලෝමීටර ගණනාවක් ඈතිනි.

 

අද්භූත පුද්ගලයා වටපිට නොබලාම ඉදිරියට ඇවිද යන්නට විය. තමා පිටුපසින් කිසිවෙකුත් ලුහුබදින බව ඔහු නිකමටවත් නොසිතනවා විය යුතුය. සැබවින්ම එසේ සිතන්නට ඇති උවමනාව කුමක්ද? වෙඩි උණ්ඩයක වේගය පවා ඉක්මවන වේගයක් ඇති ඔහු පසුපස කවරෙකු නම් ලුහුබදින්නද?

 

තවත් මිනිත්තු දහයක් පමණ ඔවුන් සාමාන්‍යය මිනිසුන් සේ ඇවිද ගියෝය. ඉදිරියෙන් ඇවිද යන පුද්ගලයාගේ අවධානයට ලක් නොවනු පිණිස හැකිතාක් දුර පරතරයක් තබා ගනිමින් ආකාශ් ඔහු පසුපසින් ලුහුබැද යන්නට විය. මෙම අමුත්තාගේ සුවිශේෂි චලන වේගය හේතුවෙන් ඔහු ඕනෑම මොහොතක තම දර්ශන පථයෙන් අතුරුදහන් වීමේ හැකියාවක් පවතින බව ආකාශ් දැන සිටියද දුර පරතරය තවදුරටත් අඩු කරගත නොහැක. එය අවදානම් සහගත ක්‍රියාවකි. ඔවුන් ගමන් කළ මාර්ගය එතරම් විදුලි පහන් එළි නොමැති අදුරු සෙවණැලි වලින් පිරුණු මාවතක් වූවද හොදින් පෑයූ අඩ සදුගේ ධවල පැහැති කිරණ අවට පරිසරය තරමක් දුරට ආලෝකමත් කළේය. එම නිසා මේ මොහොතෙහි වූවද ඉදිරියෙන් ඇවිද යන්නා නිකමට මෙන් පිටුපස හැරී බැලුවොත් ඔහු නිසැක වශයෙන්ම තමාව දකිනු ඇත. මොහු කුමන අන්දමේ පුද්ගලයෙකු දැයි ආකාශ් දැන නොසිටියේය. දැනට දැක ඇත්තේ මොහුගේ වේගය පමණි. එයද බැලු බැල්මට ආකාශ්ගේ වේගය ඉක්මවා යන්නකි. ඒ අන්දමින් මොහුට තව කුමන ආකාරයේ හැකියාවන් ඇත්දැයි ආකාශ්ට කිසිදු අදහසක් නොවිය. ලුහුබදින්නෙකු පසුපසින් පැමිණෙන බව මොහු දැනටමත් දන්නවා නම්? හදිසි තත්වයක් ඇති වුණොත් තමාට දිවීමෙන් හෝ පැන ගැනීම අතිශයින්ම අපහසු වනු ඇත.

 

ඉදිරියෙන් ඇවිදයන්නා හදිසියේම මාර්ගයෙන් ඉවතට ගොස් මුහුදු වෙරළ දෙසට යන්නට විය. පසෙක වූ ගොඩනැගිල්ලක් හේතුවෙන් ඔහුව මොහොතකට නොපෙනී යාම නිසා තමාට ඔහුව මගහැරුණේ යැයි ආකාශ් කලබලයට පත්විය. එම නිසා ගමන් වේගය වැඩි කළ ආකාශ් ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයා නොපෙනී ගිය ගොඩනැගිල්ල වෙත ගොස් එබී බැලුවේය.

 

එය දිය සෙවල වලින් වැසී ගිය, බ්ලොක් ගල් වලින් සෑදූ බිත්ති කිහිපයපක් පමණක් ඉතිරිව තිබූ ගරා වැටුණු ගොඩනැගිල්ලකි. බැලු බැල්මට මෙය දශක දෙකකට පමණ පෙර ඇති වූ සුනාමි ආපදාවෙන් විනාශයට පත් වූ නිවසක් යැයි සිතිය හැක. එහි වූ ඇද වැටුණු කොන්ක්‍රීට් කණුවක් මත හිද සිටි අද්භූත මිනිසා නිහඩව නුදුරින් පෙනෙන සාගරය දෙස බලා සිටියේය.

 

ළග පාත පෙනෙන තෙක් මානයේ කිසිවෙකුත් නැති බව ප්‍රත්‍යක්ෂ කරගත් ආකාශ් දැන් මොහුට කතා කළ යුතු යැයි සිතා ගත්තේය. සිතෙහි වූ චකිතයක්ද සමග වාඩි වී සිටි මිනිසා වෙත හෙතෙම ඇවිද යන්නට විය. නමුත් ඔහුගේම කල්පනා ලොවක තනි වී සිටි ඒ අද්භූත මිනිසා පිටුපස හැරී බැලුවේ නැත. දැහැන් ගත වූවාක් මෙන් ඔහු සාගරය දෙස බලා සිටියේය. දසත හැමූ මුහුදු සුළං විසින් කැන්දාගෙන ආ මුහුදු රළ බිදෙන හඩ ආකාශ්ගේ අඩි ශබ්දය යටපත් කර ඇති හැඩකි.

 

“මට ටිකක් කතා කරන්න පුළුවන්ද?”

 

ඔහු හැරී බැලුවේය. දෙනෙතෙහි වූයේ සුපරීක්ෂාකාරී බැල්මකි. තමා ඉදිරියේ සිටගෙන සිටින මේ තරුණයාව මීට පෙර දුටු බවක් ඔහුගේ මතකයෙහි නොවිය.

 

“මටද කතා කළේ?”

 

“ආ… ඔව්. මම ආකාශ්. ඔයා මේ කිට්ටුවද පදිංචි වෙලා ඉන්නෙ?”

 

“ඇයි මාව හම්බවෙන්න ආවෙ?” ඔහු ඇසුවේ ඍජු එහෙත් සන්සුන් හඩකිනි. නමුත් දෙනෙතෙහි වූයේ සැක සහිත බැල්මකි.

 

මොහු තමා මෙන්ම විශේෂ පුද්ගලයෙකි. එම නිසා වැඩි ආරක්ෂාව උදෙසා තමන් සමාජයේ අනිත් මිනිසුන්ගෙන් වසන් වීමට තැත් කරනවා සේම මොහුත් තම ස්වයං ආරක්ෂාව ගැන වඩාත් සැළකිලිමත්වනවා විය යුතුය. එහෙයින් ඔහුගේ සැකය ඍජුවම තමා වෙතට එල්ල වී ඇති බවට සැකයක් නැත. අනවශ්‍යය දෙබස් යෙදීමෙන් සිදුවන්නේ මොහුව තවත් නොසන්සුන් වීම පමණකි. දැන් ආපසු හැරීමක් ගැනද සිතිය නොහැකි හෙයින් වහෙන් ඔරෝ නැතිව කෙළින්ම කාරණාවට බැසීම වඩා යහපත් බව ආකාශ්ට සිතුණි.

 

“හරි… හරි. මං කෙලින්ම කියන්නම්කො. ඇත්තම කියනව නම් මං ඔයාගෙ පස්සෙන් ආවෙ රෙඩ් ඊගල් එකේ ඉදන්. සුදු ටෝනි තියපු බුලට් දෙක ඔයා අතින් නවත්තනවත් මං බලාගෙනයි හිටියෙ.”

 

ආකාශ් පැවසුවේ එම මිනිසා කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ වදන් පෙළකි. හෙතෙම ආකාශ් වෙත යොමු වූ දෙනෙත ඉවතට නොගෙනම හුන් තැනින් නැගී සිටි ඔහු ආකාශ් දෙසට හැරුණේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!