Science Fiction Sinhala
මිහිදන් වූ ශිෂ්ඨාචාරය
ISBN 978-955-44323-1-4
“අයියේ, මේක ලොකු මානසික අවුලක් නෙමෙයි කියල ඔයාට ෂුවර් නේද?“ චමල් නැවත වතාවක් ජේෂ්ඨ මනෝ වෙද සිසුවාගෙන් ඇසුවේ ඔහුට දිගින් දිගටම පෙනෙන මෙම අද්භූත සිහිනය තරමක් දුරට මානසික වදයක් වී තිබූ නිසාය.
“නෑ නෑ බං. බයවෙන්න එපා. එහෙම මුකුත් අවුලක් නෑ. උඹට මතක නැති වුණාට උඹ පොඩි කාලෙ බලපු ෆිල්ම් එකක කෑල්ලක් පේනව වෙන්න පුළුවන්. අනික ඕක බය හිතෙන හීනයක් නෙමෙයිනෙ. කෝකටත් මං මේ දෙන ටැබ්ලට් එක ෆාමසියෙන් අරගෙන රෑට නිදාගන්න කලින් බොන්න. එතකොට ඔය හිතේ තියන ට්‍රෙස් එක අඩු වෙලා යයි.“
මනෝ චිකිත්සක සිසුවාට ස්තූති කර එතැනින් පිටත් වූ චමල්ගේ සිතට නැගුනේ තරමක අස්වැසිල්ලකි. විශ්ව විද්‍යාලයේ විවේකාගාරයට පැමිණ එහි වූ බංකුවක ඉද ගත් ඔහු නැවත වතාවක් සිහිනයේ දුටු සිද්ධින් එකින් එක මෙනෙහි කරන්නට විය.
සිහිනය පටන් ගන්නා විට ඔහු සිටියේ යුධ බිමකය. නමුත් එය අතීතයේ සිදු වූ යුද්ධයක්ද එසේත් නොමැති නම් අනාගතයේ සිදු වීමට නියමිත යුද්ධයක්ද යන්න ඔහුට අවබෝධයක් නොවිය. නමුත් එය මෑතකදී සිදු වූවක් නම් නොවිය යුතුය.
දසතින්ම ඇසුනේ අහස ගුගුරුවන්නාක් මෙන් නැගුනු කන් බිහිරි කරවන ගිගුම් හඩවල්ය. තැනින් තැන අකුණු ගසන්නාක් මෙන් දෑස් නිලංකාර කරන අති ප්‍රබල අලෝකයන් ඇති වී නැති වී යයි. පියවි ඇසට දැක ගැනීමට අපහසු තරම් වේගයෙන් ගමන් කරන යානා, මිට පෙර කිසිදිනෙක දැක හෝ අසා නොමැති පියාඹන ආයුධ, තැන තැන විසිරුනු විනාශ වූ යානා වල සුන්බුන්, බිමට සමතලා වූ ගොඩනැගිලි, පිළිස්සුනු මළ සිරුරු…. මේ සියල්ල මැද ඔහු ඉදිරියට ඇවිද ගියේය. නමුත් හදිසියේම කිසිවෙකු ඔහු වෙත දිව ආවේය. අවටින් නැගෙන ශබ්ද නිසා මහා හඩින් කෑ ගසමින් පැමිණි ඔහු චමල්ගේ අතින් ඇදගෙන වෙනත් දිශාවකට දුවන්නට විය. නාදුනන අමුත්තා පැවසූ කිසිදු වදනක් චමල්ට පැහැදිලි නොවූවද අමුත්තා පැවසූවේ “මෙහෙන් එන්න“ යන බව චමල් පැහැදිලිවම දැන සිටියේය.
කඩා වැටුනු ගොඩනැගිලි හා සුන්බුන් අතරින් බොහෝ වේලාවක් දිව ගිය ඔවුන් දෙදෙනා ඉන්පසුව පැමිණියේ කිසියම් ආකාරයක කුඩා ගුවන් යානයක් යැයි සිතිය හැකි වස්තුවක් සමීපයටය. එය අසල තවත් හතර පස්දෙනෙකු රැදී සිටියෝය. ඔවුන් සිටින්නට ඇත්තේ මේ දෙදෙනා එනතුරු විය යුතුය. ඔවුන් දෙදෙනා ගොඩ වූ විගස යානය ක්ෂණිකවම අහසට නැග්ගේය. එය ගමන් කළ වේගය හෝ දුර පිළිබදව චමල්ට අවබෝධයක් නොවිය. ඔහුට දැනුනු එකම දෙය නම් විනාඩි දෙකක් වැනි සුළු කාලයක් ඇතුලත තම සිරුරේ බර සීඝ්රයෙන් අඩු වී යන බවය. යානයේ පසුපස තිබූ විනිවිද පෙනෙන කවුළුව දෙස ඔහු එබී බැලූවේය. ඔවුන් සිටියේ අභ්යාවකාශයෙහිය. මීට මොහොතකට පෙර තමා පය ගසා සිටි ලෝකය සැතපුම් ගණනාවක් ඈතින් පෙනෙන්නට විය. නමුත් ඒ පෘතුවිය නම් නොවන බව ඔහුට විශ්වාසය.
තවත් මිනිත්තු පහකටත් අඩු කාලයකදී යානාවේ ඉදිරි තීරය මත නිල් පැහැයෙන් බබළන ග්රහලොවක් දක්නට ලැබුණි. ඒ පෘතුවිය බව චමල් දැන සිටියේය. ඉන්පසුව නැවතත් සිහිනය අපැහැදිලිය. ඔවුන් යානයෙන් ගොඩ බැස්සේ කෙසේද කොතනටද යන්න ඔහුට මතකයක් නොවිය.
සිහිනයේ මීළග කොටස ආරම්භ වන විට ඔහු සිටියේ විශාල ගොඩනැගිල්ලක ශාලාවක් තුළය. යුධ බිමෙන් චමල්ව කැටුව ආ පුද්ගලයා ඔහු පසෙකින් සිටියේය. නමුත් යානයෙහි පැමිණි අනිත් පස්දෙනා නම් දක්නට නොවිය. ගොඩනැගිල්ල තුලත් එහි පිටතත් බොහෝ දෙනෙකු කලබලයෙන් විවිධ ආකාරයේ වැඩ කරමින් සිටියෝය. නමුත් ඔවුන් කරන දේ පිළිබදව චමල්ට අවබෝධයක් නොවිය. ඒ සියල්ල ඔහු දැන සිටි දැනුම් හා අත්දැකීම් වලින් ඔබ්බට ගිය ඒවා විය. සමහරුන්ගේ අතෙහි රැදි අවි ඔහු කිසිදිනෙක දැක හෝ අසා නැති ඒවා සේම සමහරුන්ගේ ආයුධ ඔවුන්ගේ සිරුරු වලටම සවි කර තිබුණි. ඔවුන් සැබවින්ම මිනිසුන්ද එසේත් නොමැති නම් රොබෝ වැනි වෙනත් ජීව කොට්ඨාශයක්ද යන්න ඔහුට අවබෝධයක් නොවිය. මේ සියල්ල මැද ඇවිද ගොස් ඔවුන් දෙදෙනා නැවතුනේ තරුණ ගැහැණියක් ඉදිරියේය. එම තරුණිය කාගේ කවුරුන්දැයි චමල් දැන නොසිටියේය. නමුත් ඇය ඉතා රූමත් බවත් අනිත් අය ඇද සිටි ඇදුම් වලට වඩා තරමක් විශේෂ ඇදුමක් ඇද සිටි බවත් චමල්ට මතකය.
ඔහුව දුටු විගසම ඉදිරියට දිව පැමිණි ඈ ඔහු ළගට දිව ආවාය. ඉන්පසුව එක් අතකින් මල්ලක්ද අනිත් අතින් ඔහුගේ අතද අල්ලාගෙන වෙනත් දිශාවකට දිව යන්නට විය. ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි ඔවුන් ඉන්පසුව තවත් ගොඩනැගිලි කිහිපයක් පසුකොට ගොස් එළිමහන් භූමියකට පැමිණියේය. ඔවුන් තිදෙනා හැර වෙනත් කිසිවෙකු ඒ අවට නොවිය. හුදෙකලාව ඈතින් පිහිටි කුඩා ගොඩනැගිල්ලක් වෙත දිව ගිය ඔවුන් තිදෙනා එයට ඇතුල් විය. ඉන්පසුව තමා ගෙනා මල්ලෙන් කුඩා පෙට්ටියක් වැනි යන්ත්‍රයක් ඉවතට ගත් ඇය කලබලයෙන් යමක් ඔහුට පවසන්නට විය. මේ වන විට එකම සිහිනය දොළොස් වතාවක් පමණ දැක තිබුණද ඇය පැවසූ එකදු වදනක්වත් මතක් කර ගැනීමට ඔහුට නොහැකි විය. නමුත් ඇය පෙන්වූ එක් දෙයක් නම් ඔහුට හොදින් මතකයෙහි රැදුණි. එනම් එම පෙට්ටියේ යට කෙළවරවල් හතර වරකට එක බැගින් දෙවරක් මහපට ඇගිල්ලෙන් ස්පර්ශ කළ විට එම පෙට්ටියෙහි පියනක් වැනි යමක් විවෘත වන බවය. නමුත් එය ඇතුලත කුමක් තිබුණේ දැයි ඔහුට අවබෝධයක් නොවිය.
එම ගොඩනැගිල්ල දේව මන්දිරයක් වැනිය. ඉදිරියෙහි විශාල ප්‍රතිමාවක් වැනි යමක් තිබුණි. නමුත් එය කුමක් දැයි පැහැදිලි නැත. ඔවුන් තිදෙනාම එයට දණ නමා ආචාර කළෝය. ඉන්පසුව ඇයගේ උපදෙස් පරිදි චමල් හා ඔහුගේ සගයා ගොඩනැගිල්ලේ එක් පැත්තක වූ කැටයම් කෙටූ මුරගලක් වැනි දෙයක් වෙත ගියෝය. එතැන අඩි අටක් පමණ ගැඹුරු විවරයක් තිබුණි. එය තුලට පැනගත් ඔවුන් දෙදෙනා පොළොවෙහි තිබූ ගලක් ඉවත් කර කුඩා විවරයක් පදා ගත්තෝය. ඉන්පසුව ඇය ගෙනා පෙට්ටිය එම විවරය තුළ තබා ඉවත් කළ ගල නැවතත් තිබූ ස්ථානයෙහිම තබා විවරයෙන් පිටතට පැමිණියෝය. ඒ සමගම පිටතින් කන් බිහිරි කරවන තරම් විශාල ශබ්දයක් සමගම තියුණු ආලෝකයක් ඇති වී නැතිව ගියේය. චමල් ඇය දෙස බැලුවේය. ඇයද ඉතා තදබල දුකකින් යුතුව ඔහු දෙස බලා සිටියාය. ඇගේ දෑසින් පැවසූ දෙය ඔහුට ඉතා හොදින් වැටහුණි. එනම් තවත් සුළු මොහොතකින් අප සියළු දෙනා මරණයට පත්වන බවයි.
සිහිනයෙහි අවසානයට චමල් දකින්නේ ඒ නාදුනන තරුණියගේ දුක්බර දෑස්ය. ඉන්පසුව සියල්ල කෙමින් බොද වී යයි. ඔහු අවදි වෙයි. එක දිගටම දින දොළහක් පමණ මේ එකම සිහිනය දශමයක් හෝ වෙනස් නොවී ඔහු දකින්නේය. නමුත් තමා දකින පුද්ගලයන් හෝ ස්ථාන පිළිබදව කිසිදු අදහසක් ඔහුට නොවිය.
සය මසකට පසුව……
“ෂිහ්.. අපරාදෙ බං අපි මේ පූජාව දවසෙම ආවෙ. බලපං තියෙන ට්‍රැෆික් එක. තව පැයකටවත් මෙතනින් යන්න වෙන එකක් නෑ.“ වෑන් රථයේ කවුළුවෙන් හිස පිටතට දමා වටපිට බලමින් චමල් පැවසුවේ පසෙකින් සිටි කසුන් නම් වූ තම ඥාති සොහොයුරාටය.
කසුන් යනු ඔහුගේ නැන්දාගේ පුතණුවන්ය. සමවයසෙහි පසු වූ ඔවුන් දෙදෙනාම කොළඹ සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටියද ඔවුන් සිටියේ පීඨයන් දෙකකය. චමල් විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ අතර කසුන් සිටියේ කලා පීඨයේය. දැන් ඔවුන් සිටින්නේ අනුරාධපුර අටමස්ථාන වන්දනා කිරීමට පැමිණි ගමනේ ස්වර්ණමාලි ස්ථූපයට යන මාර්ගය අතරමගය. විශ්ව විද්‍යාලයේ නිවාඩු කාලය එළඹුණු හෙයින් නිවැසියන් විසින් සංවිධානය කළ වන්දනාගමනට ඔවුන් දෙදෙනාටද සහභාගී වීමට හැකි විය. මෙවැනි වන්දනා ගමන් වලට චමල් එතරම් උනන්දුවක් නොදැක්වූවද කසුන්ද පැමිණි හෙයින් එයට සහභාගී වීමට හෙතෙම කැමති විය.
“මං අපේ අම්මට ඕක වේලාසනින්ම කිව්ව බං. කොහෙද ඉතිං“ කසුන්ද පැවසුවේ පිටත බලමිනි.
අඩ හෝරාවක් පමණ ගත වූවද ඔවුන්ගේ රථයට ගමන් කළ හැකි වූයේ මීටර කිහිපයක් පමණි. උදෑසනින්ම දහස් ගණනක් වූ මහා ජන ගංගාවක් මහා සෑය වන්දනාවට පැමිණෙමින් සිටියෝය. චමල්ගේ හා කසුන්ගේ නම් ඉවසීමේ සීමාව මේ වන විට ඉක්මවා ගොස් තිබුණි. නමුත් රථයේ සිටි වැඩිහිටි කාන්තාවන් නම් ආපසු හැරී යාමට අකමැති විය. තවත් මිනිත්තු කිහිපයක සංවාදයකින් අනතුරුව ආපසු හැරී ගොස් නැවත සවස් යාමයේ පැමිණිමට පිරිස එකග විය.
“මේ යන පාර අතර මගත් හුගක් පරණ පන්සල් තියෙනව. නෝනල හිත නරක් කරගන්න ඕන නෑ. අපි දැන් යන ගමන් පන්සලක් වන්දනා කරමු.“ වෑන් රථයේ රියැදුරා පැවසූවේ පිරිස අස්වැසීමට මෙනි.
ඝෘෂි ආරාමය නැමැති ඉතා පැරණි පෙනුමැති විහාරයක වෑන් රථය නැවත්විය. සියලු දෙනාම සැදැහැ සිතින් යුතුව විහාරය ඇතුලට ඇවිද ගියෝය.
“මහත්තයල දන්නවද මේක අනුරාධපුර හැදෙන්න කලින් ඉදන් තිබ්බ තැනක්. ඒ කිව්වෙ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්නත් කලින් ඉදන් තිබුණලු. ඒ කලෙ මේක ඉසිවරු භාවනා කරපු තැනක්ලු. පස්සෙ ලංකාවට බුද්ධාගම ආවට පස්සෙ ඒ භාවනා කරපු ඉසිවරු හැමෝම පැවිදි වෙලා මෙතන පන්සලක් වුණ කියල කියනව.“ අනුරාධපුරය ගැන තරමක දැනුමක් තිබූ රියදුරා කසුන් දෙස බලමින් කීවේය.
“එහෙනම් මෙතන කොච්චරක් විතර පරණද අංකල්?“
“අපෝ… අවුරුදු දහදාකටත් වඩා පරණයිලු. රාවණ රජතුමාත් මෙතනට ඇවිල්ල තියෙනවලු.“
වැඩිහිටි පිරිස වන්දනා කිරීමට මල් වට්ටි පිළියෙල කිරීම ඇරඹු අතර චමල් හා කසුන් පන්සලේ ඇවිදින්නට විය.
“ඩ්‍රයිවරයගෙ රවණා කතා කෙසේ වෙතත් මේක ඇත්තටම පට්ට පරණ පොට් එක්කද කොහෙද බං.“ චමල් පැවසුවේ වටපිට බලමිනි.
සැබවින්ම එය අක්කර ගණනාවක් පුරා පැතිරුණු විශාල භූමියක් වූ අතර බොහෝ තැත් වල කළු ගල් වලින් තනා තිබුණේ යැයි සිතිය හැකි ගොඩනැගිලි වල නෂ්ඨාවශේෂ දක්නට ලැබුණි. බොහෝ කලකට ඉහතදී මෙම ස්ථානය අති විශිෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පයන්ගේ තෝතැන්ක්ව පවතින්නට ඇත.
“පට්ට හුජ්ජ බරයි බං. පොඩ්ඩක් හිටහං. මං අතන ගහට අල්ලලා එන්නං“ කසුන් පැවසුවේ අසල වූ අඹ ගසක් පෙන්වමිනි.
“එපා යකෝ. මේක පන්සලක්නෙ. මටත් බරයි බං. ඔහොම ඉදපන්. මං අර මනුස්සයගෙන් අහල එන්න“ පැවසූ චමල් තරමක් ඈතින් පන්සල් වත්තේ තණකොළ කපමින් සිටි පුද්ගලයෙකු වෙත ගියේ වැසිකිළිය ඇති ස්ථානය අසා දැන ගැනීමටය.
තණකොළ කපන්නා පැවසූ පරිදි ඉන්පසුව ඔවුන් දෙදෙනා විහාර වත්තේ පසුපස ප්‍රදේශයට ඇවිද යන්නට විය.
“යකෝ, චූ පාරක් දාන්න යන්න තියෙන දුර. හදිසියක් වුණා නම් එහෙම කලිසමේම යනව“ කසුන් පැවසුවේ සිනාසෙමිනි.
අවසානයේදි විහාර භුමියෙහි කෙළවරට නුදුරින් පිහිට වැසිකිලියට ඔවුන් ළගා විය. ඒ අසලම පන්සලේ සේවකයන් නැවතී සිටින ස්ථානය යැයි සිතිය හැකි කුඩා කාමර කෑල්ලක්ද ඒ අසලම විය. නමුත් මේ මොහොතෙහි නම් කිසිවෙකු එහි රැදී නොසිටියේය. ඊට මීටර කිහිපයක් ඈතින් ගල් වලින් තැනූ කුඩා පොකුණක්ද විය. විහාර භූමියේ අනිකුත් ස්ථාන මෙන්ම මෙහිද ඉපැරණි නටබුන් වල නම් අඩුවක් නොවිය. නමුත් කිසිවෙකුත් මෙය සංරක්ෂණය කිරීමට උත්සහ ගත් බවක් නම් දක්නට නොවිය.
“අම්මෝ ඉන්න බෑ යකෝ. පැලෙන්න වගේ. මං ඉක්මණට ගිහින් එන්නං“. පැවසූ කසුන් වැසිකිළිය තුළට ගියේය.
කසුන් එනතුරු වටපිට බලමින් සිටි චමල්ට මෙම ස්ථානයේ අමුතුම ආකාරයේ හුරුපුරුදු බවක් දැනුණි. නමුත් ඔහු එය එතරම් ගණන් නොගත්තේය. තමන්ගේ වාරය පැමිණි පසු චමල්ද වැසිකිලියට ගොස් නැවත පිටතට පැමිණියේය. වැසිකිළියේ දොර ළගට මුලින් කී කුඩා පොකුණ ඉතා හොදින් පෙනුණි. නමුත් ඔහුගේ දෙනෙත නතර වූයේ පොකුණ ළග නොව ඒ අසල වූ මුරගල් දෙකක් වැනි ගල් කුළු දෙක වෙතය. අකුණක් ගැසුවාක් මෙන් එක්වරම ඇති වූ මතකය හේතුවෙන් ඔහුගේ ගත හිරි වැටී ගියේය.
“දෙයියනේ, ඒ හීනේ….“ කාලයක් එක දිගට පෙනුණු එම සිහිනය ඔහුට අමතකව ගොස් තිබුණි. ඉන්පසුවද කිහිපවරක් පෙනුනද ඔහු එය එතරම් ගණන් ගත්තේ නැත. නමුත් තමා මේ සිටින්නේ එම ස්ථානයේ නොවේද?
“මේක නම් වෙන්න බෑ“ කොදුරමින් හෙතෙම පොකුණ දෙසට ඇවිද ගොස් එහි වූ මුරගලක් වෙත නැඹුරු වී බැලුවේය. දැන් නම් සැකයක් නැත. එම සිහිනය සිතුවම් පටයක් මෙන් ඔහුගේ මනසෙහි ඇදෙන්නට විය. කාලයත් සමග මුරගලෙහි කැටයම බොහෝ සෙයින් ක්ෂය වී තිබුණද ඔහුට එය හදුනාගත හැකි විය. ඇති වූ කම්පනයෙන් ඔහුව බිම ඉන්දුනේය.
“කසුන්, පොඩ්ඩක් මෙහෙට වරෙන්.“ අඹයක් කැඩීමට උත්සහ දරමින් සිටි කසුන්ට ඔහු කතා කළේය.
“උඹට මතකද මං ටික කාලෙකට කලින් කිව්ව අර එක දිගට පේන හීනයක් ගැන.“
“උඹ අර මොකද්ද යුද්දෙක හිටිය කියපු එක නේද? අර පට්ට කෑල්ලකුත් හිටියයි කිව්වෙ.“
“මචං, මේ තමයි එතන“. චමල් පිළිතුරු දුන්නෙ මද නිහැඩියාවකට පසුවය.
“මොකක්?“
ඉන්පසුව ඇති වූයේ වාදයකි. චමල්ට පොකුණ තුළට බැසීමට අවශ්‍යම විය. තරුණිය දුන් පෙට්ටිය එය තුළ ඇති බව ඔහුට ඉර හද මෙන් විශ්වාසය. නමුත් කසුන් ඔහුට බැණ වැදුණෙ පිස්සෙකු කියාය. මිනිත්තු කිහිපයක් වාද කිරීමෙන් අනතුරුව අසල වූ සේවකයන්ගේ කුටිය තුළට දිවගිය චමල් ඇද සිටි කලිසම හා කමිසය ගලවා දමා එහි වූ සරමක් ඇගෙහි පටලවාගෙන නැවත පොකුණ වෙත පැමිණියේය.
“උඹ හිතන්නෙ මට පිස්සු කියලනෙ. බලං හිටපන්.“ පැවසූ චමල් කසුන් යමක් කීමට පෙරම සරම කැසපට ගසාගෙන පොකුණට බැස්සේය.
ඔහු සිතුවාට වඩා එය ගැඔුරු විය. ඔහුව සම්පූර්ණයෙන්ම ජලයෙහි ගිලුණි. නමුත් පොකුණේ ගැට්ට අල්ලගෙන නැවත උඩට පැමිණ චමල් හොද හුස්මක් ගෙන නැවත යටට ගොස් පොකුණෙ පතුල අතගා බලන්නට විය. මෙසේ හත් අට වාරයක් උත්සහ කිරීමෙන් අනතුරුව ඇගිල්ලක් දැමිය හැකි තරමේ කුඩා හිඩැසක් පතුලෙහි සොයාගැනීමට චමල්ට හැකි විය. ඔහු එය වැර යොදා ඉස්සීමට තැත් කළේය. නමුත් කාලයගේ ඇවෑමෙන් රොන් මඩ හා පස් වලින් එය සවි වී තිබුණි. මෙය ඉතා දුෂ්කර කාර්යයක් බව ඔහුව වැටහුණි. නමුත් අසල වූ කුටියෙහි වූ මේසය මත ඉස්කුරුප්පු නියනක ඇති බව ඔහුට හදිසියේම මතක් විය. නැවතත් පොකුණෙන් ගොඩ වූ ඔහු කුටියට දිව ගොස් ඉස්කුරුප්පු නියන හා තවත් සරමක් රැගෙන පැමිණියේය.
“මට ඒක හම්බවුණා යකෝ. මේක ඇදගෙන ඉක්මණට බැහැපං පොකුණට“. කසුන් වෙත අලුත් සරම විසි කරමින් චමල් කීවේය.
චමල්ගේ බල කිරීම හමුවේ සරම ඇදගත් කසුන්ද පොකුණට බැස්සේය. තවත් මිනිත්තු පහළොවක පමණ ප්‍රබල උත්සහයකින් පසුව එම කුඩා ගල් පියන ඉවතට ගැනීමට ඔවුන් දෙදෙනා සමත් විය. ඒ සමගම පියනට යටින් වූ කුහරයට චමල් සිය අත දැම්මේය. මහත් වූ පුදුමයකි. ඔහුට එය හසු විය. එසේ නම් සිහිනයෙහි ඔහු දුටු දෙය මනෝ විකාරයක් නොවේ.
හති දමමින් ඔවුන් දෙදෙනාම ගොඩට පැමිණියෝය. නමුත් ඔවුන් දෙදෙනාටම මහන්සිය අමතකය. අයාගත් මුවින් යුතුව ඔවුන් දෙදෙනාම බලා සිටියේ චමල් අත රැදි පෙට්ටිය දෙසය.
සිහිනයට අනුව පෙට්ටියේ සිව් කෙළවර දෙවරක් මහපට ඇගිල්ලෙන් ස්පර්ශ කළ පසු එය විවෘත විය යුතුය. චමල් ඒ අයුරින්ම කළේය. එය අවසන් වනවාත් සමගම ඔවුන් දෙදෙනා විස්මයෙන් මුව අයා බලා සිටින අතරේ පෙට්ටියේ උඩ පියන විවෘත විය. එය ඇතුලත වූයේ ලියවිලි කිහිපයකි. එවා අතට ගෙන දිග හැරීමට උත්සහ කරන විටම කිසිවෙකු ඈතින් ඇවිද එනු කසුන් දුටුවේය.
“අඩෝ, කාමරේ අයිතිකාරයො එනවද කොහෙද? යමං යමං, ඉක්මණට මාරු වෙමු.“ ගලවා දමා තිබූ කලිසම් හා කමිස හැකි ඉක්මණින් ඇද ගත් ඔවුන් දෙදෙනා ඉදිරියට පැමිණෙන මිනිසාට නොපෙනෙන පරිදි කුටියෙහි පිටුපස පැත්තෙන් සැගවී පැන ගත්තෝය.
මසකට පසුව…….
අනුරාධපුර චාරිකාවේදි අහඹු ලෙස ඔවුන් දෙදෙනාට ලැබුණු පෙට්ටිය තුළ වූයේ ලියවිලි කිහිපයකි. නමුත් එහි අඩංගු අක්ෂර හා සංඥා හදුනාගැනීමට නොහැකි වූ හෙයින් කසුන්ගේ පී්ඨයෙහි සේවය කළ සහය කතිකාචාර්යවරයෙකු වූ සරත් නන්දසේන මහතාගේ සහය ලබා ගැනීමට ඔවුන්ට සිදුවිය. නමුත් සිහිනය හෝ පෙට්ටිය ලැබුණු ආකාරය පිළිබදව කිසිවක් නොපැවසීමට ඔවුන් දෙදෙනා වග බලා ගත්තෝය.
“ඇත්තටම මට මේක හරියටම කියවගන්න බැරි වුණා“ මාතෘකාවට බසිමින් සරත් කතාව ආරම්භ කළේය.
“මේකෙ තියෙන සමහර දේවල් ගැන මට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒත් හරියටම ෂුවර් නෑ. මොකද මේකෙ තියෙන්නෙ අපේ පුස්කොළ පොත්වලවත් සෙල් ලිපි වලවත් තියෙන අකුරු නෙමෙයි. එක්කො මේක වෙන මොකක් හරි රටක වෙනම මිනිස්සු ජාතියක පරණ ලියවිල්ලක්. එහෙමත් නැත්නං මහාවංසෙ කියවෙන ඉතිහාසෙට කලින් ඉතිහාසෙට අයිති එකක්.“
“ඒ කිව්වෙ සර්? රාවණාගෙ කාලෙ ගැනද?“
“ඒක නම් මං දන්නෑ පුතා. සමහර විට වෙන්නත් පුළුවන්. මොකද මට තේරුන විදියට මේකෙ මොකක් හරි ලොකු යුද්ධයක් ගැන කියනව. කලෙ ගැන නම් මට කියන්න බෑ. මොකද මට මේකෙ අකුරු කියව ගන්න බෑ.“
“කියවන්න බැරි නම් යුද්ධයක් ගැන කියවෙනව කියල සර් කොහොමද කිව්වෙ?“ චමල් ඇසුවේ තරමක කලබලයෙනි.
“මෙහෙමයි පුතා, අකුරු තේරුනේ නැති වුණාට මට මේකෙ තියෙන සමහර රූප තේරෙනව. මේකෙ තියෙන දේ නම් විශ්වාස කරන්න අමාරුයි. ඒත් මට තේරිච්ච විදියට මං කියන්නම්. මේ කියන යුද්ධෙ වෙලා තියෙන්නෙ මේ ලෝකෙ නම් නෙමෙයි. අගහරු වල. මොකද මෙන්න මේ රූපෙ අපි ඉගෙනගෙන තියෙනව සුමේරියන් ශිෂ්ඨාචාරෙ ලියවලි කියවනකොට.“ සරත් පැවසුවේ ලියවිල්ලක වූ රූප සටහනක් පෙන්වමිනි.
“තව දෙයක් තියෙනව මට ෂුවර් කරලම කියන්න පුළුවන්. මෙන්න මේ සළකුණෙන් කියන්නෙ මොකක් හරි තරු පන්තියක් ගැන. ඊළගට…., මෙන්න මේ ලියවිල්ල.“ පවසමින් සරත් තුන්වන ලියවිල්ල අතට ගත්තේය.
“මේක සිතියමක්. අපේ ලෝකෙ ගැන සිතියමක්. මෙන්න මේ ලකුණු කරල තියෙන තැන් තුන බලන්න. දැන් තියෙන සිතියම් එක්ක චෙක් කරල බැලුවට පස්සෙ මට මේ තැන් මොනවද කියල හිතාගන්න පුළුවන් වුණා. මේ පෙන්නන්නෙ ඇන්ටාක්ටික් වල කොහෙ හරි තැනක්. එතකොට මේක මුහුද යට තැනක්. පැසිෆික් මුහුද යට තියෙන ගිනි කන්දක්. මට දැන් එකෙ නම මතක නෑ. මං ඒකෙ නම ලියාගත්ත. පොඩ්ඩක් ඉන්න බලන්න. ම්… ටැමු මසීෆ් කියල ගිනි කන්දක්. මෙන්න මේ අනිත් තැනත් ටැම්බෝරා කියල ගිනි කන්දක්. ඉන්දුනීසියාව කිට්ටුව තියෙන දූපතක තියෙන්නෙ.“
“ඉතින් සර් ඒ තැන් ගැන මොනවද ලියල තියෙන්නෙ?“
“මං දන්නෑ පුතා. මට මේ අකුරු කියවගන්න බැරි නිසා මොනව කියල තියෙනවද කියල හිතාගන්න බෑ. ඔයාල දුන්න ලියවිල වල තව කොළ තුනක් තියෙනව සුමේරියන් භාෂාවෙ රූප සංඥා වලට පිං සිද්ධ වෙන්න පොඩි අදහසක් ගන්න පුළුවන්.“
“මෙන්න මේකෙන් කියන්නෙ අගහරු ලෝකෙ තියන මොකක් හරි තැනක් හරි දෙයක් හරි ගැන. එතකොට මේකෙන් කියන්නෙ හද ගැන මොකක් හරි. ඊට පස්සෙ මෙන්න මේක හොයාගන්න නම් මට සෑහෙන අමාරු වුණා. මේකෙන් කියන්නෙ බ්‍රහස්පති ලෝකෙට අයිති හදක් ගැන. අර ටයිටන් කියල කියන්නෙ. මං හිතන්නෙ ඒක ගැන වෙන්න ඕනෙ.“
ඉන් පසුව ඇති වූයේ මද නිහැඩියාවකි. දූවිල්ලෙන් යට වී ගිය ලෝකයා නොදන්නා බරපතල ඉතිහාසයක් පිළිබදව ඉගියක් ඔවුන් තිදෙනාටම පහළවී තිබුණි.
“සර්ට හිතෙන විදියට මේ කියන්නෙ මොකක් ගැන වෙන්න ඇතිද?“
“අනේ මන්ද පුතා. මේක කියවන්න ගත්තහම මාවත් අන්දුන්කුන්දුන් වෙලා ගියා. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මේක කාගෙ හරි බොරු ලියවිල්ලක් නෙමෙයි නම් මේකෙන් කියන්නෙ අපි විතරක් නෙමෙයි ලොකෙ කිසිම කෙනෙක් දන්නැති සිද්ධියක් ගැන. රාවණාගෙ කාලෙ ගැනද කියල නම් මං හරියටම දන්නෑ. හැබැයි මොකක් හරි අපි දන්නෙම නැති දෙයක් වෙන්න ඕනෙ.“
“මට හිතෙන විදියට නම් මේකෙන් කියන්නෙ ලෝක දෙකක් අතරෙ වෙච්ච යුද්ධයක් ගැන. මං එහෙම කිව්වෙ අර එක ලියවිල්ලක තරු රටාවක් ගැන කියල තිබ්බ හින්ද. ඔය සුමේරියන්ලගෙ ලියවිලි වලත් තියෙනවනෙ අහසින් එන අය ගැන. මං දන්නෑ ඒ කියල තියෙන්නෙ පිට ලෝක වල අය ගැනද කියල. හැබැයි එයාලගෙ ලියවිල වලත් මේ වගේම තරු රටා දාල තියෙනව. සමහර විට ඒ යුද්ධෙන් මේ ශිෂ්ටාචාරෙ නැත්තටම නැති වෙලා යන්න ඇති.“
“එතකොට මේ සිතියම් වලින් කියන්නෙ යුද්ධ තිබ්බ තැන් ගැන වෙන්න ඇති. එහෙමත් නැත්තං එයාලගෙ මොනව හරි වැදගත් දේවල් තිබ්බ තැන් වෙන්නත් පුළුවන්.“
“එතකොට සර් කියන්නෙ අගහරු වලත් මේ කට්ටිය යුද්ධ කළා කියලද?“
“මං දන්නෑ පුතා. මට හිතිච්ච දේ තමයි මං කිව්වෙ. මේ ලියවිලි වල තියෙන හින්ද සමහර විට ඒ තැන් වල මොනව හරි ඇති.“
“නාසා එකට වගේ මේ ගැන කිව්වොත් හොයල බලන එකක් නැද්ද?“ චමල් ඇසුවද එය මෝඩ ප්‍රශ්නයක් බව ඒ මොහොතෙහිම ඔහුට සිතුණි.
සරත් එයට පිළිතුරු දීම ඇරඹුවේ මද සිනහවක් පාමිනි.
“පුතා හිතනවද මේ කොහෙවත් තියෙන ලියවිල්ලක් හින්ද නාසා එකෙන් කෝටි ගාණක් වියදං කරන්න වෙන වැඩකට අත ගහයි කියල. හෙව්වත් මං හිතන්නෙ නෑ ඒක සාර්ථක වෙයි කියල. එකක් මේ ලෝකෙ ඉන්න කාටවත් මේ ලියවිල්ල හරියටම කියවන්න පුළුවන් වෙයිද කියල අපි දන්නෙ නෑ. එහෙම නැතුව අපිට හරියටම මේ කියන තැන් ගැන හිතාගන්න අමාරුයි. අනික බලන්න මේකෙ කියන තැන්? හදයි, අගහරුයි, මුහුද යටයි… අපිට ඔය තැන් වලට ගිහින් බලන්න පුළුවන්ද?“
“අනික මෙයලා වෙන ලෝක වලටත් යන්න පුළුවන් අය නම් අපිට වැඩිය ගොඩක් දියුණු අය වෙන්න ඕනෙ. ඉතින් මං විශ්වාස කරන දෙයක් තමයි අපි මොනව හරි හොයනව නම් ඒ හොයන දේ තේරුම් ගන්න පුළුවන් තරමට අපි දියුණු වෙන්න ඕනෙ. එක්කො අපේ තාක්ෂණෙ එයාලට වැඩිය දියුණු වෙන්න ඕනෙ. අඩුම ගානෙ ඒ මට්ටමට හරි තියෙන්න ඕනෙ. අන්න ඒ හින්ද පුතා, මං හිතන්නෑ උත්සහ කළත් මිනිස්සුන්ට මේ කියන දේවල් ගැන දැනගන්න ලැබෙයි කියල.“
—————-කෙටි කතාව නිමි. දීර්ඝ කතාව බලාපොරොත්තු වන්න.———–
ලස්සනයි. සුපිරි…
නියමයි Excellent