Science Fiction Sinhala
පිටසක්වල ඩමි මමි යුවල
ISBN 978-955-44323-5-2
දිනය – 2023 මැයි 7
ස්ථානය – කැලිෆෝනියා ප්‍රාන්තය, ඇමරිකාව
“සර්, ජෙරම් ස්පේශිප් එක ගැන දැනගෙන. අටෝනි කියල රතු ඉන්දියන්කාරයෙක් තමයි මේ ගැන මිනිහට කියල තියෙන්නෙ.” මයිකල් පැවසුවේ තම ජංගම දුරකතනයෙන් කිසියම් ඡායාරූපයක් සිය ප්‍රධානියාට පෙන්වමිනි.
“එහෙමද? එතකොට රතු ඉන්දියන්කාරයා මේ ගැන දැනගෙන තියෙන්නෙ කොහොමද?”
“ඒක නම් අපි තවම දන්නෙ නෑ සර්. අපි ඉක්මණින්ම ඒකත් හොයාගන්නම්.”
ප්‍රධානියා සුළු මොහොතක් ඉවත බලාගෙන කල්පනා කරන්නට විය. මෙවැන්නක් සිදුවන බව ඔහු කලින්ම අනුමාන කර ඇති බවක් පෙනෙන්නට තිබුණි.
“ජෙරම් තාම ඕක දැකල නෑ නේද?”
“නෑ සර්. ආරංචි විදියට කවුරුවත් තවම ඕක දැකල නෑ. හැබැයි අටෝනි හෙට ඕක හොයාගෙන යන්නයි හදන්නෙ.”
“හ්ම්, එහෙමද? හරි. කමක් නෑ. එයාට යන්න දෙන්න. හැබැයි මිනිහා ආපහු ජෙරම්ව හම්බවෙන්න කලින් ඌව පණපිටින් අල්ලගන්න. මං හිතන්නෙ අපිට මිනිහත් එක්ක පොඩි ගණුදෙනුවක් කරගන්න පුළුවන් වෙයි.”
“ඉතින් සර් අටෝනි ඕක හොයාගන්න කලින් ඌව ඉවරයක් කරල දැම්ම නම් ලේසියිනෙ.”
“එපා එපා. ඒක කරන්න එපා. අපි එහෙම කළොත් ජෙරම් දැනගන්නවා ඔය ගුහාවෙ මොකක් හරි තියෙනව කියල. එහෙම වුණොත් මේ ප්‍රශ්නෙ ඕනෙවට වැඩිය දිග්ගැස්සෙන්න පුළුවන්. මං මේ හදන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙතුන් දෙනෙක්ට ගහන්න.”
“මට තාම තේරුණේ නෑ. මොකද්ද සර්ගේ ප්ලෑන් එක?”
පිළිතුරක් දීමට පෙර මද සිනහවක් පෑ ප්‍රධානියා හරිබරි ගැසී පුටුවේ ඉද ගත්තේය.
“මෙහෙමයි මයිකල්. අපි අටෝනි කියන කෙනා ලවාම තමයි ජෙරම්ට ගුලියක් කවන්න ඕනෙ. ඒ කිව්වෙ අපිට ඕන දේ අටෝනි ලවා ජෙරම්ට කිව්ව නම් හරි. මොකද මේ වෙලාවෙ ජෙරම් අටෝනිව විශ්වාස කරනව වෙන්න ඕනෙ.”
“හරි සර්. අපි මොකද්ද කරන්න ඕනෙ?”
“අපි ටෙස්ටින් වලට හදපු ඩමි බොඩීස් වලින් දෙකක් අරගෙන ඔය කිට්ටුවෙන්ම තියෙන ඛනිජ පතලකට දාන්න. ජෙරම් අටෝනිගෙන් දැනගන්න ඕනෙ ඒක ගැන. කොහොමත් ස්පේශිප් එකකට වැඩිය ඒලියන් බොඩීස් වලට මිනිහ කැමති වෙයි.”
තම ප්‍රධානියාගේ සැලැස්ම දැන් මයිකල්ට වැටහෙන්නට විය. මෙය අතිශයින්ම කූට සැලැස්මකි. මෙමගින් ඔවුන්ට සැගවීමට අවශ්‍යය යානයේ තොරතුරු ආවරණය වෙනවා පමණක් නොව ඔවුන්ගේ රහසිගත වැඩ වලට ඉතා කරදරයක් වූ ජෙරම් මැව්ඩොක් නමැති මාධ්‍යවේදියා පිළිබදව ජනතාව තුල ඇති විශ්වාසයද සම්පූර්ණයෙන්ම බිද වැටෙනු ඇත. එසේම අසත්‍යය තොරතුරු සමාජගත කිරීම හේතුවෙන් ජෙරම්ව නීතිය ඉදිරියේ වැරදිකරුවෙකු වීමටද ඉඩක් ඇත.
“ඒත් සර් අටෝනි අපි කියන විදියට කරයිද කියල කොහොමද විශ්වාස කරන්නෙ?” මයිකල් විමසුවේ අවිනිශ්චිත හඩකිනි.
“එතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනව තමයි. හැබැයි මිනිහට ඒක කරන්නම වෙනවා. ජෙරම් දෙන ගාණ වගේ දහගුණයක් විතර දෙනව කියල කියන්න. එතකොට මිනිහ අනිවාර්යෙන්ම ඕකට කැමති වෙයි. බැරිවෙලාවත් අපිට ඕන විදියට වැඩේ නොවුණොත්… මයිකල් කලින් කියපු විදියට කරන්න. මේ ගැන පොඩි දෙයක් හරි දන්න හැමෝවම ඉවරයක් කරල දාන්න.”
* * *
අටෝනි යනු පේරු දේශයේ උපන් පාරම්පරික රතු ඉන්දියානු ජාතිකයෙකි. කුඩා කල නිසි අධ්‍යාපනයක් ලැබීමට නොහැකි වූ හෙයින් නිශ්චිත රැකියාවක් සොයා ගැනීමට අපොහොසත් වූ ඔහු වසර කිහිපයක සිට සංචාරක මගපෙන්වන්නෙකු ලෙස සේවය කරන්නට විය. පේරු දේශයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබදව තම පියාගෙන් සහ සීයාගෙන් ලැබුණු දැනුම හේතුවෙන් සංචාරක මගපෙන්වන්නෙකු වශයෙන් ඔහුට හොද ඉල්ලුමක් තිබුණි. නමුත් කොරෝනා වසංගතය නිසා ලෝකයේ බොහෝ රටවල් වල ඇති වූ ආර්ථික අවපාතය හේතුවෙන් පේරු දේශයේ සංචාරක කර්මාන්තය දරුණු අයුරින් කඩා වැටුණි. එමගින් අටෝනි ඇතුලු සංචාරක කර්මාන්තයෙන් යැපුනු බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ග වලට වැදුණේ මරු පහරකි. නිවසක් සෑදීම සදහා ඔහු ලබාගත් බැංකු ණය වාරිකය පවා ගෙවා ගත නොහැකි තත්වයකට පත් වූ හෙයින් ඇපයට තැබූ ඔහුට පියාගෙන් ලැබුණු ඉඩම පවා බැංකුවට උකස් වීමට ආසන්න විය. කර ගැනීමට දෙයක් නොමැතිව කුලී වැඩ සොයමින් සිටි අටෝනිට ජෙරම්ව හමුවුණේ ඔහුගේ මිතුරෙකු මාර්ගයෙනි.
මෙක්සිකානු ජාතිකයෙකු වූ ජෙරම් තමාව හදුන්වා දුන්නේ පුරාවිද්‍යා ගවේෂකයෙකු වශයෙනි. තමන් පේරු දේශයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා නටබුන් පිළිබදව පරීක්ෂණයක් සිදුකරන බව ජෙරම් පවසා සිටියද සති කිහිපයක් ජෙරම් යටතේ වැඩ කළ අටෝනිට ජෙරම්ගේ සැබෑ පරමාර්ථය පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකිරීම නොවන බව වටහා ගැනීමට අපහසු නොවිය. ජෙරම්ට අවශ්‍යය වී ඇත්තේ පේරු දේශයේ සැගවී ඇති නිධානයක් හෝ වෙනත් වටිනා දෙයක් ඇති ස්ථානයක් පිළිබදව තොරතුරු දැන ගැනීමටය. ජෙරම් තමාට පමණක් නොව ගමේ සමහර මිනිසුන්ටද මුදල් ලබා දී විවිධ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන සහ එවැනි ස්ථාන වටා ගෙතුනු ජන කතා පිළිබදව බොහෝ තොරතුරු එක්රැස් කර ගත්තේය.
ජෙරම්ට අවශ්‍යය ආකාරයේ තොරතුරක් අටෝනි දැන සිටියේය. ඔහුට එම විස්තරය දැන ගැනීමට ලැබුණේ පතල් කම්කරුවෙකු වූ ඔහුගේ සීයාගෙනි. නමුත් එය ජෙරම්ට පවසනවාද නැද්ද යන්න හෙතෙම කිහිපවරක් සිතන්නට විය. ඊට හේතුව වූයේ අටෝනිගේ සීයා ඔහුට මෙම විස්තරය පැවසුවේ කිසිවෙකුට නොපවසන බව පොරොන්දු කරවා ගැනීමෙන් අනතුරුවය. මීට වසර ගණනාවක පෙර අටෝනිගේ ළමා අවධියේදි ඔහු සහ සීයා අතර ඇති වූ සංවාදය මෙවැන්නකි.
“ඉතින් කියන්නකො. මොකද්ද සීයේ වුණේ?”
“මං දැන් මේක කිව්වට පස්සෙ ඔයා මේ ගැන ඔයාගෙ යාළුවන්ට කියයිද කියල මං කොහොමද දන්නෙ?”
“නෑ නෑ. මං කාටවත් කියන්නෙ නෑ. මං පොරොන්දු වෙනවා.”
“හ්ම්, ඔය ඇත්තම නේද කියන්නෙ?”
“ඔව්.”
“හරි, එහෙනම් මං කියන්නම්. අපි වැඩ කරපු පතලෙ රත්තරන් අඩු නිසා ඒ දවස් වල අපි අලුත් පතලක් හදන්න තැනක් හොය හොය හිටියෙ. ඒ හින්ද මායි මගේ යාළුවයි කැලේ ඇතුලට වෙන්න තිබ්බ කන්දකට නැග්ගා. මොකද ඒ කැලේ කිට්ටුව ඉන්න මනුස්සයෙක්ගෙන් අපිට ආරංචියක් ආවා ඔය කන්දෙ ඇතුලට යන්න පුළුවන් ගුහාවක් තියෙනව කියල. කන්ද මුදුන කිට්ටුවෙන් අපිට ඒ ගුහා කට හම්බවුණා. ඉතින් අපි දෙන්නා ගුහා කටෙන් කන්ද ඇතුලට යන්න පටන් ගත්තා. ඒක සෑහෙන ලොකු ගුහාවක්. වංකගිරියක් වගේ එක එක පැති වලට පාරවල් ගොඩක් තිබුණා. පුතා ලොකු වුණාට පස්සෙ එහෙ ගියොත් යන පාර මතක තියාගෙන හරි ලකුණු කරගෙන හරි යන්න. නැත්තම් අතරමං වෙයි. අනිත් එක… හයිය කඹ ටිකක් අරගෙන යන්න. මොකද සමහර තැන් වලින් අපිට කඹ දාල තමයි පහළට බහින්න වුණේ.”
“කොහොම හරි අපි පැය භාගයක් විතර ගුහාව ඇතුලෙ ඇවිදින්න ඇති. ගුහාවෙ අපි ගිය පාර හරහට මොකක් හරි ලොකු දෙයක් වැටිල තිබුණා. ඒ මොකද්ද කියල හිතාගන්න බෑ. ඒක නැවක් වගේ. ඒකෙ භාගෙකට වැඩිය පොළොවෙ වැලළිල තිබුණෙ. අපි ඒක ඇතුලට යන්න තැනක් හෙව්වා. ඒත් හොයාගන්න බැරි වුණා. පොරොවෙන් කොටලත් බැලුවා. ඒත් ඒක හීරුනේවත් නෑ. ගෙනිච්ච පන්දම් ටිකත් නිවෙන්න කිට්ටු නිසා අපි ආපහු හැරිලා ආවා.”
“ඉතින් සීයා ආපහු ඒක බලන්න ගියෙ නැද්ද?”
“නෑ. ඊට පස්සෙ නම් යන්න ලැබුණෙ නෑ. අපේ අය ටිකක් දුරින් වෙන පතලක් හොයාගත්ත නිසා මට ඒකෙ වැඩට යන්න වුණා. දැන් මේ පුතා එක්ක කතා කරනකොට හදිසියෙ මතක් වුණාට මට ඕක ගැන අමතක වෙලා තිබුණෙ.”
එම කන්ද තිබූ ස්ථානය ගැන සීයා පැවසූ විස්තරය අටෝනිට යන්තම් මතක තිබුණි. මේ පිළිබදව ජෙරම්ට පැවසුවහොත් තමන්ට සැලකිය යුතු මුදලක් උපයාගත හැකි බව අටෝනිට කල්පනා විය. නමුත් හෘද සාක්ෂියට එකගව ඔහුට එය පිටස්තරයෙකුට පැවසිය හැකි නොවිය. කෙසේ වූවද මතු වී ඇති ආර්ථික අපහසුතාවය අනුව හෘද සාක්ෂිය හෝ පියාගෙන් ලැබුණු ඉඩම යන දෙකින් එකක් තෝරා ගැනීමට ඔහුට සිදු විය. තීරණය එතරම් අපහසු නොවිය. ඒ අනුව ඔහු ජෙරම්ට මේ පිළිබදව පැවසුවේය. සැබවින්ම අටෝනි සිතුවාට වඩා වැඩි මුදලක් ජෙරම්ගෙන් ඔහුට ලැබුණි. එසේම අටෝනිගේ සීයා පැවසූ එම වස්තුව ඇති ස්ථානය සොයා ගැනීමට හැකි වුවහොත් ලබා දෙන්නේ යැයි ජෙරම් පොරොන්දු වූ මුදල අටෝනි සිහිනෙන්වත් නොසිතූ අගයකි. සැබවින්ම එය ඔහු නිවස සෑදීම සදහා ලබා ගත් බැංකු ණය මුදල මෙන් කිහිප ගුණයක් විය.
* * *
දිනය – 2023 මැයි 8
ස්ථානය – පේරු දේශය
ජෙරම්ගේ ඉල්ලීම මත පසුදින උදෑසනින්ම අටෝනි තම සීයා පැවසූ ඒ අද්භූත වස්තුව සෙවීමට පිටත් විය. සීයා පැවසූ පරිදි එය තරමක් අවදානම් ගමනක් වූ හෙයින් ඔහු එම ගමනට තමන්ට වඩාත් විශ්වාසවන්ත වූ තම සොහොයුරා අහොතේව සම්බන්ධ කර ගත්තේය.
හෝරා කිහිපයකට පසුව කදු මුදුන ආසන්නයේ තිබූ ගුහා විවරය සොයා ගැනීමට ඔවුන්ට හැකි විය. ගුහාව තුල අඩි කිහිපයක් ඇවිද ගිය ඔවුන්ට එය වංකගිරියක් බව අවබෝධ විය. කෙසේ වූවද අවශ්‍ය උපකරණ රැගෙන පැමිණි නිසා එය තුල ආරක්ෂිතව ගමන් කිරීමට ඔවුන්ට හැකි විය.
තවත් හෝරාවකට පමණ පසුව සීයා පැවසු අද්භූත වස්තුව සොයා ගැනීමට ඔවුන් දෙදෙනාට හැකි විය. එදා සීයාට ඒ පිළිබදව පැහැදිලි අදහසක් නැති වූවද අටෝනිට නම් ඒ කුමක් දැයි අනුමාන හැකි විය. මෙය යානාවක් විය යුතුය. නමුත් එය කිසිසේත්ම මිනිසා විසින් නිපදවූ එකක් විය නොහැක. මෙම යානාව මෙම ගුහාව තුලට කෙසේ පැමිණියේ දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි විය. යානාවෙ ප්‍රමාණය අනුව එයට ගුහා විවරය තුලින් කිසිසේත්ම ගමන් කළ නොහැකි විය. අටෝනිගේ සීයා මෙය දැක ඇත්තේ මීට වසර හැටකට පමණ ඉහතදීය. නමුත් අදටත් එහි පිටත බද මලකඩ කෑමකින් හෝ විඛාදනයකින් තොරව මනාව ආරක්ෂා වී ඇති බව එය පරීක්ෂා කර බැලූ අටෝනිට සහ අහොතේට දක්නට ලැබුණි.
අහසින් ගමන් කරන දෙවියන් ගැන කියවෙන විවිධ ජනකතා ඔහුගේ උපන් ගමේ වැඩිහිටියන්ගෙන් අටෝනි මීට පෙර අසා තිබුණද ඔහු ඒ පිළිබදව එතරම් තැකීමක් නොකළේය. නමුත් එම ජනකතා වල යම් සත්‍යතාවයක් ඇති බව මේ අද්භූත වස්තුව දුටු වහාම ඔහුට කල්පනා විය.
තමා සතු ජංගම දුරකතනයෙන් ඡායාරූප සහ රූපරාමු කිහිපයක් ලබාගත් අටෝනි සහ අහොතේ ආපසු ඒමට පිටත් වූයේ ජෙරම්ට පැවසීම සදහා විස්තර ගොන්නක් සහිතවය. නමුත් ඔවුන් දෙදෙනාට වනාන්තරයෙන් පිට වීමට ඉඩක් නොලැබුණි. වනාන්තරය අවසන් වන සීමාව ආසන්නයේදි එක්වරම කඩා පිනූ ගිනිඅවි අමෝරාගත් පිරිසක් ඔවුන් දෙදෙනාගේ දෑස්, දෙපය සහ දෙඅත් බැද වාහනයක් තුලට දමා ගත්තෝය.
ඔවුන් දෙදෙනා රැගත් වාහනය මිනිත්තු විස්සක් පමණ ගමන් කළේය. දෑස් බැද තිබූ හෙයින් ගමන් කළ ස්ථානය හෝ දිශාව පිළිබදව කිසිදු අදහසක් ඔවුන්ට නොවිය. නමුත් හදිසියේම වාහනය නතර කළේය. ඔවුන් දෙදෙනාව වාහනයෙන් පිටතට ගෙන, නිවසක් තුලට ගෙන ගොස්, පුටුවකට හින්දවීමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ දෑස සහ දෑත බැද තිබූ බැමි කිසිවෙකු විසින් ලිහා දැම්මේය.
ඔවුන් ඉදිරියේ සිටගෙන සිටියේ කළු පැහැති අංගසම්පූර්ණ යුරෝපිය ඇදුම් කට්ටලයකින් සැරසුණු මැදිවියේ මිනිසෙකි. ඔහු සිනාසෙමින් දෙසොහොයුරන් දෙස බලා සිටියේය.
“අටෝනි සහ අහොතේ. අපිට සමාවෙන්න ඕනෙ මේ විදියට ඔයාලව එක්කන් එන්න වෙච්ච එක ගැන. මේ දේවල් පැහැදිලි කරල කියන්න තරම් වෙලාවක් තිබුණෙ නෑ. ඒකයි මෙහෙම කළේ.” පැවසූ මැදිවියේ මිනිසා දුම් දමමින් තිබූ උණුසුම් කෝපි කෝප්ප දෙකක් දෙසොහොයුරන් වෙතට ළං කළේය.
“අපි ජාත්‍යන්තර පුරාවිද්‍යා සංරක්ෂක සංවිධානයෙන්. අපිට කතා කරන්න වැදගත් දෙයක් තියෙනව. මං වෙලාව යවන්නෙ නැතුව කෙලින්ම කාරණාවට බහින්නම්. ඔයාල දෙන්නා අද ලොකු පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දෙයක් හොයාගත්ත කියල අපි දන්නවා. ඒක ගොඩක් හොදයි. හැබැයි ප්‍රශ්නෙ තමයි, ඔයාල ඒ විස්තරේ කියන්නෙ යන්නෙ මෙක්සිකොවෙන් මෙහෙට ආපු පල් හොරෙක්ට.”
අසන්නට ලැබුණු අනපේක්ෂිත දෙයින් තුෂ්ණිම්භූත වූ අටෝනි සහ අහොතේ මුහුණට මුහුණ බලාගත්තෝය. ඔවුන් දෙදෙනාගේ නිහඩතාවය හේතුවෙන් නාදුනන අමුත්තා නැවතත් කතා කිරීම ඇරඹුවේය.
“මේක ඔයාලගෙ රට. මේ ඉතිහාසයත් අයිති ඔයාලට. හරි නම් මේ වගේ රහස් ඔයාල වෙන රටවල් වලින් ආපු හොරුන්ට දෙන්නෙ නැතුව ආරක්ෂා කරන්න ඕනෙ.”
ඉන්පසුව අමුත්තා සහ දෙසොහොයුරන් දෙදෙනා අතර අඩ හෝරාවක පමණ දීර්ඝ සාකච්ඡාවක් ඇති විය. අවසානයේදී බලහත්කාරකමකින් තොරව අටෝනිව සහ අහොතේව තමන්ට අවශ්‍යය පරිදි නම්මා ගැනීමට අමුත්තා සමත් විය. ඒ ජෙරම් ලබා දීමට පොරොන්දු වූ මුදල මෙන් දස ගුණයක මුදලක් එවෙලෙහිම ලබා දීමෙන් පසුවය.
* * *
“උඹ බොරු නෙමේ නේද මේ කියන්නෙ? මං මේ වැඩේට දැනටමත් තමුසෙලට සෑහෙන්න වියදම් කළා.” ජෙරම් මැව්ඩොක් පැවසුවේ තරමක සැක මුසු හඩකිනි.
“අපෝ නෑ සර්. මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. මං දිවුරන්නම්.” ස්වදේශික රතු ඉන්දියානුවා පැවසුවේ තම දකුණු අත ඔසවමිනි.
“උඹ ඇරුනහම තව කවුද ඕක දැක්කෙ?”
“මාත් එක්ක ගියේ මගේ මල්ලි අහොතේ විතරයි. එයයි මායි විතරයි දැක්කෙ.”
“කෝ දැන් තමුසෙගෙ මල්ලි?”
“ගෙදර ඉන්නවා.”
“මිනිහව අපිට විශ්වාස කරන්න පුළුවන් නේද?”
“අපොයි ඔව් සර්. මිනිහ කට හොල්ලන්නෙ නෑ.”
ජෙරම් රතු ඉන්දියානුවා දෙස බලාගෙන සුළු මොහොතක් නිහඩව කල්පනා කරන්නට විය. ඔහු නැවතත් සිය හඩ අවදි කළේ තත්පර කිහිපයකට පසුවය.
“මට තාම තමුසෙව විශ්වාස නෑ. තමුසෙ කලින් කිව්වෙ ඔය ගුහාවෙ යානාවක් තියෙනව කියල. දැන් ගිහින් ආවට පස්සෙ කියනව මමි දෙකක් තියෙනව කියල. මොකද්ද මනුස්සයො මේ හතරබීරි කතාව?”
“මං පොඩි කාලෙ අහපු දෙයක්නෙ සර්. සමහරවිට සීයා කියපු දේ මං වරද්දල තේරුම්ගන්න ඇති. කොහොම හරි මමී දෙකක් නම් තියෙනවා. සර්ටත් අපිත් එක්ක ආවොත් සර්ගේ ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන්. එතනට යන්න එච්චර අමාරුත් නෑ.”
“හරි හරි. මං කොහොමත් හෙට එනවා. අනිත් එක… මට මේකට හොදට කල්පනා කරල උත්තර දෙනවා. තමුසෙ හිතන විදියට ඔය මමි දෙක තමුසෙටයි, මටයි, තමුසෙගෙ මල්ලිටයි උස්සගෙන එන්න පුළුවන් වෙයිද?”
“අපොයි පුළුවන්. සර් ඕනෙත් නෑ. අපි දෙන්නට විතරක් උනත් ඒව අරගෙන එන්න පුළුවන්. එක මමියක් අඩි තුනක්වත් උස නෑ.”
“නියමයි. මට ඔය මමි දෙක පරිස්සමෙන් එළියට අරගන්න ඕනෙ. වෙන කවුරු හරි දකින්න කලින්. අපිට කලින් කවුරු හරි ඕක දැකල එළියට ඇද්දොත් මං වියදම් කරපු සල්ලි ඔක්කොම වතුරෙ.”
කිසිවක් නොපැවසූ අටෝනි නමින් හැදින්වූ රතු ඉන්දියානුවා නිහඩව ජෙරම් දෙස බලා සිටියේය. අටෝනිගේ සිතෙහි වූයේ තරමක චකිතයකි. මුදලට කෑදර මේ සැරපරුෂ මහලු මිනිසා මීට හෝරා කිහිපයකට පෙර තමන්ට සහ තම සහෝදරයාට මුහුණ පෑමට සිදුවූ සිදුවීම පිළිබදව කිසිවක් නොදත්තේය. තමා මොහුව රැවටීමට උත්සහ කරන බව ජෙරම් දන්නේ නම් තමාට වෙඩි තැබීමට මොහු දෙවරක් නොසිතන බව අටෝනි දැන සිටියේය. එම නිසා ජෙරම්ට සැක නොසිතෙන අයුරින් හැකි තාක් සන්සුන්ව සිටීමට අටෝනි උත්සහ කළේය.
* * *
දිනය – 2023 සැප්තැම්බර් 12
ස්ථානය – කොන්ග්රස් රැස්වීම් ශාලාව, මෙක්සිකෝව
“ආයුබෝවන් ජෙරම් මැව්ඩොක්. එහෙනම් ඔබ දිවුරුම් ප්‍රකාශය දෙන්න සූදානම්ද?”
“ඔව්. මං සූදානම්.”
“හරි, මෙම ස්ථානයේ මෙක්සිකො කොන්ග්රස් මණ්ඩලයේ සියලුම සාමාජිකයන් රැස්වෙලා ඉන්නවා. මේ දිවුරුම් ප්‍රකාශය කරන්න කලින් ඔබ දැනගත යුතු දේ තමයි දිවුරුම් දීමෙන් පසුව ඔබ මේ කොන්ග්රස් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු අසත්‍යය බව ඔප්පු වුණොත් ඔබ නීතිය ඉදිරියේ වැරදිකරුවෙකු වෙන බව. ඔබට ඒක පැහැදිලියි නේද?”
“ඔව්. මට ඒක හොදින් පැහැදිලියි.”
“හොදයි, එහෙනම් ඔබ මේ කොන්ග්රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යන පෘතුවියෙන් පිට ජීවින්ගේ යැයි ඔබ විසින් පවසන මෘත ශරීර දෙක සහ එයට අදාල පරීක්ෂණ වාර්තා සියල්ලම සත්‍ය බව මේ කොන්ග්රස් මණ්ඩල සාමාජිකයන් ඉදිරියේ ඔබ දිවුරා ප්‍රකාශ කර සිටිනවද?”
“ඔව්. මේ සියල්ල සත්‍යයක් බව මං දිවුරා ප්‍රකාශ කර සිටිනවා.”
—-කෙටි කතාව නිමි—-